මීට බොහෝ කලකට පෙර මා එක්සත් රාජධානියේ වෛද්‍ය පුහුණුව ලැබූ මුල්ම රෝහල පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ, පොන්ටිෆ්රැක්ට් නම් නගරයෙහිය. මෙම නගරයේ ආදර්ශ පාඨය වුයේ “පියා මියගිය පසු, අපි පුතාටයි” යන අර්ථය ඇති Post mortem patris pro filio යන ලතින් වචනයි. මෙම අමුතු, අපබ්‍රංශ ආදර්ශ පාඨය ගැන විමසූ මම, මෙය එංගලන්තයේ සිවිල් යුධ සමය දක්වා දිවෙන බව දැනගතිමි.


බ්‍රිතානයේ සිවිල් යුද්ධය

එංගලන්ත රජු වූ, පළමුවෙනි චාලස්ට විරුද්ධව ඔලිවර් ක්‍රොම්වෙල් නම් රදළයාගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව 17 වෙනි සියවසේ ගැසූ කැරැල්ල, බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙහි වැදගත්ම සන්ධිස්ථානයක් විය. පාර්ලිමේන්තුවාදීන් විසින් මෙහෙයවන ලද මෙම කැරැල්ල 1649දී නඩු විභාගයකින් පසු චාල්ස් රජුගේ හිස ගසා දැමීමෙන් අවසන් විය. ඔලිවර් ක්‍රොම්වෙල් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍යයේ ආරක්ෂක බලධාරියා ලෙස පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද අතර, බ්‍රිතාන්‍ය රජ පරපුරේ අවසානය එය බව බොහෝ දෙනාගේ හැඟීම විය. එහෙත් එය එසේ නොවීය. රාජාණ්ඩුව පෙරලුණු පසු පාර්ලිමේන්තු පාලනය යටතේ බොහෝ වියවුල් ඇතිවූ අතර, මරාදැමුනු චාල්ස් රජුගේ පුත් පාර්ලිමේන්තු හමුදාවන්ට එරෙහිව සටන් ප්‍රකාශ කළේය. දුර්වල පාලනයත්, ආර්ථිකය බිඳ වැටීමත් නිසා නැවත රජ පරපුර ජනප්‍රියවූ අතර, ඔලිවර් ක්‍රොම්වෙල් ගෙන් පසු බලයට පත්වූ ඔහුගේ පුත් රිචඩ් පාර්ලිමේන්තුවේ නායකයා ලෙස කටයුතු කලේ වසරක් පමණි.

අජනප්‍රියවූ පාර්ලිමේන්තුව පරදා චාල්ස් රජුගේ පුත් 1659 වසරේදී බලයට පත්විය. වළලා තිබූ ඔලිවර් ක්‍රොම්වෙල්ගේ සිරුර ගොඩ ගෙන, හිසගසා, හිස්කබල කම්බියකින් බැඳ එල්ලා තැබුණි. මා විසු පොන්ටිෆ්රැක්ට් නගරවාසීන් මෙම යුධයේදී චාල්ස් රජුගේ පුත් කුමරුට පක්ෂව සටන් කරමින්, ඔවුන්ගේ සටන් පාඨය ලෙස Post mortem patris pro filio යොදාගත්තේය. ගතානුගතිකත්වයට ලැදි බ්‍රිතාන්‍යයන්ගේ පැතිකඩක් වන මේ නගර වැසියන්, අද දිනටත් එය එම නගරයේ ආදර්ශ වැකිය ලෙස පවත්වාගෙන යයි . බ්‍රිතාන්‍යයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණු සැබෑ විප්ලවය සිදුවුයේ එයටත් වසර තිහකට පසු 1688 දීය.

ලංකාවේ සිදුවුයේ කුමක්ද?

ලංකාවේ මහජන නැගිටීමක් සිදුවිය. එමගින් රාජපක්ෂ පරපුර බලයෙන් පහකර ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ රාජාණ්ඩුවක බොහෝ ලක්ෂණ පැවතිනි. එහි මුල් පුටුවේ සිටියේ සහෝදරකම් මත බලයට පත්වුයෙකි. ඔහු බලයට පත්වුයේ මහජන ඡන්දයෙන් වුවත්, ඔහුට ඡන්දය ලැබුනේ රජෙකු වැනි ප්‍රබල නායකයෙක් විසින් ශ්‍රී ලංකාව දියුණු කලහැකි බව විශ්වාසයක් ගොඩනැගී තිබුණු නිසාය. රාජාණ්ඩුවක සේම මෙහි බලයේ උල්පත් දැඩි ආගම්වාදය, ජාතිවාදය, මැවූ ඉතිහාසයක් ගැන ඇල්ම විය.මෙම පවුල ඉදිරිපිට වැඳ වැටීම සමාජ සාරධර්මයක් විය. ඉහල නිලතල දරන්නන් පවා, ඔවුන්ට වැඳ ඒ ඡායාරූප සමාජගත කිරීමට උත්සුක විය. තමන්ට ඇති බලතල රට දියුණු කිරීමට මදි යැයි කියූ රජු, ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ විට, සමාජයේ බහුතරයක් එය අනුමත කළේය. රජු තම කට වචනය රාජ නියෝගයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අණදෙන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු වෘත්තිමය නියාමන ආයතන සියල්ලටම රජු අත ගසන ලදී. මහ බැංකුව, මුල්‍ය මණ්ඩලය, ප්‍රමිති කාර්යාංශය, වෛද්‍ය සභාව, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම වැනි මෙකී නොකී ස්වාධීනව කටයුතු කලයුතු සියලු ආයතන රජුගේ ඍජු හෝ වක්‍ර අණසක යටතට ගනු ලැබිණි.

රජු ආර්ථික සංවර්ධනය පිළිබඳවද, ඖෂධ භාවිතය පිළිබඳවද, කෘෂිකර්මයේ පොහොර භාවිතය පිළිබඳවද, ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳවද, විදේශ සබඳතා ගැනද තම “විශේෂඥ මතය” ප්‍රකාශ කර සිටින විට එය අසා සිටිය හැකි වියතුන් පමණක් ඔහු හා එක්ව සිටියේය. මේ එහෙයියන්, රජුගේ මුවින් පිටවන වදන් දේව වාක්‍ය සේ සැලකුවා පමණක් නොව ඒවාට ආවඩමින්, මේ පඬිවදන් ක්‍රියාත්මක කිරීමට උත්සුක විය. රජ පවුලේ බලය රාජ්‍යය වසා පැතිරිණි. අපට අප වසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක බව අමතක විය.

රජුට වැරදුනේ කොතනද?

වාසනාවකට හෝ අවාසනාවකට අපට ලැබුනේ මුග්ධ රජෙකි. බොහෝ දෙනා දරුණු රජෙකු යැයි විශ්වාස කලත් ඔහු අප සිතු තරම් දරුණු නොවීය. දරුණු වීමටද යමෙකුට පෞර්ෂයක් තිබිය යුතුය. සැඟවී කරන ම්ලේච්ඡ ක්‍රියා ඕනෑම බියසුල්ලෙකුට කල හැකි වුවත්, ප්‍රසිද්ධයේ කෘෘර ක්‍රියා කිරීමට ආත්ම විශ්වාසයක් හා ධෛර්යක් තිබිය යුතුය. “මම දැඩි තීරණ ගැනීමට පැකිලෙන්නේ නෑ” වැනි හිස් ප්‍රකාශ වලින් ඔබ්බට ගොස් දැඩි තීරණ ගැනීමට තරම් ඔහුට ආත්ම විශ්වාසයක් නොතිබුණි. ලොව බොහෝ මහජන නැගිටීම් ඇතිවුයේ දරුණු රජවරුන් යටතේ නොව ජරාජීර්ණ සමාජ ක්‍රමයක් ආරක්ෂා කිරීමට සුදානම්ව සිටි ස්ථිර තීරණයක් ගත නොහැකි වැනෙන සුළු රජවරුන් යටතේය. බ්‍රිතාන්‍යයේ පලවෙනි චාල්ස්, ප්‍රංශයේ දහසයවෙනි ලුවී, රුසියාවේ දෙවෙනි නිකොලස් මෙවැනි වැනෙන සුළු රජවරුන්ය.

ඒ හැරුණු කොට ලොව බොහෝ මහජන නැගිටීම වලට හේතුවූ ආර්ථික අවපාතයකට අප රට ගොදුරු විය. ආර්ථික අවපාතයක් ඇති වන බව ආර්ථික විද්‍යාඥයන් පවසද්දී , තම ස්වයංභූ දැනුමද මිත්‍යා විශ්වාසද මත එලබ ගෙන සිටි රජු එය කණකට නොගත්තේය. රජු වටා සිටි වියතුන් රජුට වැඳ වැටෙමින් ඔහු පවසන දේම සත්‍යයක් යැයි පැවසුවේය. ලොව අන් සියලු රටවල සේම ආර්ථික අර්බුදය මහජන කැරැල්ලක් ඇති කළේය. ප්‍රංශ විප්ලවය ඇතිවීමට ආසන්නතම හේතුව දරුණු ශීත ඍතුවක් නිසා ඇති වුණු ආහාර හිඟයයි. ප්‍රංශයේ විදී බට ජනයා ඉල්ලා සිටියේ පාන් සහ බදු සහන පමණි. රුසියන් විප්ලවය ඇතිවුයේ පළමුවෙනි ලෝක යුද්ධය නිසා රුසියාව බංකොලොත් වීම නිසායි. ලෙනින් ඔවුන්ට පොරොන්දු වුයේ සාමය, ඉඩම් සහ පාන් පමණි. ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය පිළිබඳ සංකල්ප මත මේ රටවල නව සමාජයක් බිහිකළේ කැරලි ගැසූ ජනතාව මත අලුත් අදහස් රෝපණය කල උගතුන් විසිනි.


රජ පවුලට කුමක් වෙයිද?

සියළු වියවුල් මධ්‍යයේ රජු බලයෙන් පහවිය. රජ පවුල තවම යහතින් සිටී. දැන් රටෙහි ඇත්තේ දේශපාලන ව්‍යාකුලත්වයකි. ඉදිරියට ඇත්තේ රජු එළවීමට මුල්වූ බලවේග කුළල් කා ගැනීමේ යුගයයි. අනෙකාට ඊර්ෂ්‍යා කරමින්, තවත් අයෙක් බලයට පත්වීම වැළැක්වීමට උත්සාහ කිරීම රාජාණ්ඩුවක් බිඳවැටුණු පසු, සැමවිටම ලොවෙහි සිදුවී ඇත. ඊර්ෂ්‍යාව ලංකාවට පමණක් සීමාවුණු මනුෂ්‍ය ධර්මයක් නොවේ. එහෙත් මේ කුලල් කා ගැනීම සිදුවුවහොත් රට තවත් අගාධයට වැටෙනු ඇත. ජනතාව තවත් දුකට පත්වනු ඇත. මෙම දුක වැඩිවී එක් අවස්ථාවකදී “රජු සිටියා නම් මීට වඩා හොඳයි” යැයි මිනිසුන් පවසනු ඇත. එවිට ඔවුන්ට රජුන් තැනූ නෙලුම් කුළුණ පහන් ටැඹක් සේ පෙනෙනු ඇත. අධිවේගී මාර්ග සේද මාවත් සේ පෙනෙනු ඇත. ප්‍රයෝජනයකට ගත නොහැකි විශාල ගොඩනැගිලි දිව්‍ය මාලිගා සේ පෙනෙනු ඇත. එවිට ඇතිවන මහජන සංකාව පිරිමැසීමට රජ පවුලෙන් කෙනෙකු හෝ රජ පවුලේ නියෝජිතයකු ඉදිරිපත්වෙනු ඇත. ලොව බොහෝ මහජන නැගිටීම් වලින් පසු නව ප්‍රබල පාලනතන්ත්‍රයක් ඇති නොවුණු කල, තාවකාලිකව හෝ රජපවුලේ සාමාජිකයෙකු හෝ එහි නියෝජිතයෙකු නැවත බලයට පත්වීම සිදුව ඇත.

කලයුත්තේ කුමක්ද?

මෙම තත්ත්වයට විසඳුම රජ පවුලට දඬුවම් පැමිණවීම හා ඔවුන් සොරාගත් දේ සොයාගැනීම යැයි බොහෝ දෙනාගේ මතයයි. රජ පවුලට දඬුවම් පැමිණවීම හා ඔවුන් සොරාගත් දේ සොයාගැනීම වැදගත් වුවත්, එයටත් වඩා වැදගත් වන්නේ දුකට පත් මිනිසුන්ගේ දුක අඩු කිරීමට වැඩ කිරීමයි. වැටුණු අගාධයෙන් ගොඩ ඒම පහසු නැත.තවමත් අපි අගාධයට වැටෙමින් සිටිමු. ඒ එසේ වුවත් මේ ජනදුක අඩු කිරීමට, රජු පෙරලීමට ඉදිරියට ආ අරගල්කරුවන්ට,උගතුන්ට, යතිවරුන්ට, සමාජ ක්‍රියාකාරීන්ට කල හැකි දේ බොහෝය. ඉන් පළමුවැන්න බලය ලබා ගැනීමේ බලුපොරයට සුදානම්ව, උඩු බුරමින් සිටින වත්මන් දේශපාලඥයන් කැල මැදට පැන පොරය නැවැත්වීමයි. පොරය නවත්වා ජනදුක නිවන ලෙස මොවුන්ට බලකිරීමයි. මෙවැන්නක් සිදුකරන විට අරගලකරුවන්ද, උගතුන්ද, යතිවරුන්ද, සමාජ ක්‍රියාකාරීන්ද මොවුන්ගේ සැපීමට ලක්වීමට ඉඩ ඇත. එහෙත් දැනට ඔවුන්ට වෙනත් මඟක් ඉතිරිව නැත. එය නොකළහොත් වැඩිකලක් නොයා මිනිසුන් “පියා මියගිය පසු, අපි පුතාටයි” පවසනු ඇත. “Post mortem patris pro filio”

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ