“මම දන්නවා උඹලා ඔතන ඉන්නවා කියලා. මට දැන් උඹලව දැනෙනවා. මම දන්නවා උඹලා බයයි කියලා. උඹලා අපිට බයයි. උඹලා වෙනසට බයයි. මම අනාගතය දන්නේ නැහැ. මම මෙතනට ආවේ මේක අවසන් වෙන්න යන්නේ කොහොමද කියලා කියන්න නෙමෙයි. මේක පටන් ගන්න යන්නේ කොහොමද කියල කියන්නයි. මම දැන් මේ ටෙලිෆෝන් එක තියලා මිනිස්සු දකිනවට උඹලා අකමැති දේ මිනිස්සුන්ට පෙන්නනවා. මම එයාලට උඹලා නැති ලෝකයක් පෙන්නනවා. රීතින් සහ පාලනයක් නැති ලෝකයක්. සීමා මායිම් නැති ලෝකයක්. ඕනෑම දෙයක් සිදුවෙන්න පුළුවන් ලෝකයක්. අපි එතනින් කොහෙටද යන්නේ කියන එක තීරණය කරන්න මම උඹලට ඉතුරු කරනවා.”
ලානා සහ ලිලී වචොව්ස්කි සොයුරියන් දෙදෙනාගේ නිමැවුමක් වූ ‘Matrix’ චිත්‍රපට පෙළෙහි පළමුවැන්න අවසන් වන්නේ ඉහත ප්‍රකාශයෙනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන නියෝ මේ පණිවිඩය දෙන්නේ පරිගණක මගින් නිමැවූ ප්‍රබන්ධ යථාර්ථයේ ලෝකයක් තුළ මිනිස් වර්ගයා සිරගත කළ යාන්ත්‍රික පාලකයින් හටය. මිනිසුන් එතෙක් නොදැන සිටි දෙය වන්නේ ඔවුන් සැබෑ ලෝකය යැයි විශ්වාස කරමින් සිටියේ ප්‍රබන්ධයක්ය යන්නයි. මිනිසුන් එම ප්‍රබන්ධයෙන් පිටත ලෝකය දකිනවා යනු එතෙක් පැවති ලෝකය අවසන් වන බවයි. නමුත්, එය අවසානයක් පමණක් නොවේ. නව ආරම්භයකි. නව්‍යත්වය හඟවන නමක් ඇති නියෝගේ ප්‍රකාශය සිදුවන්නේ පැරණි ලෝකයේ අවසානයත් නව ලෝකයක ආරම්භයත් අතර නිමේෂය තුළයි. එය අවිනිශ්චිතතාවේ නිමේෂයකි. තවදුරටත් පැරණි රීතීන් ඒ තුළ වලංගු වන්නේ නැත. ඔවුන් එතැනින් කොතැනට යන්නේදැයි කිසිවෙකුටත් නිශ්චිතව කිව නොහැකිය. එය තීරණය වනු ඇත්තේ අරගලය මගිනි. අරගලය මගින් පමණි. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ෂන්තාල් මූෆ් දේශපාලනිකයේ (the political) නිමේෂය යැයි කියන්නේ මෙවන් නිමේෂයකටය.
පසුගිය ජූලි නමවෙනිදා ලක්ෂ ගණනක් ජනතාව ගාලු මුවදොර පිටියට රැස්වී දුන් පණිවිඩය නියෝගේ පණිවිඩය වැන්නකි. සැබවින්ම එය නියෝගේ පණිවිඩයටත් වඩා රැඩිකල් වූවකි. මන්දයත්, සියල්ල නිමා වන්නට යන්නේ කෙසේදැයි යන්න නොව සියල්ල පටන් ගන්නට යන්නේ කෙසේදැයි ඓතිහාසික ගාලු මුවදොර සටන් බිමේදී ප්‍රකාශයට පත් කරන ලද්දේ තනි වීරයෙකු හෝ වීරයින් කණ්ඩායමක් විසින් නොව ජනතාව නමැති සාමූහික කතෘවරයා විසිනි. එසේම, එතැන් සිට අප යන්නේ කොහේදැයි තීරණය කරන්නට පාලන තන්ත්‍රයට ඉඩදීමටද එම ජනතාව සූදානම් නැත. ඔවුන් එහි පැමිණියේ ඉතිහාසය අලුතින් නිර්මාණය කරන්නටය. ගාලු මුවදොර රැළිය අමතමින් දුමින්ද නාගමුව සහෝදරයා පැවසූ පරිදි “මේ වේදිකාවට පසුපස ජනාධිපති ලේකම් කාර්යාලය තුළ පවතින්නේ අතීතයයි; වේදිකාවට ඉදිරියෙන් ඇත්තේ අනාගතයයි.”
අලුත් ‘තරඟයේ නීතීන්’
ජූලි නමවෙනිදා පණිවිඩය හමුවේ පාලන තන්ත්‍රය බියෙන් සසැලුණු බවත් ජනපතිවරයා හට රටින් පළා යන්නට සිදු වූ බවත් සැබෑය. නමුත්, ඉතාම ඉක්මණින් දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිප්‍රහාරය ආරම්භ විය. Matrix චිත්‍රපටයේ බසින් කිව හොත්, ක්‍රමයේ ආරක්ෂකයා ලෙස වඩාත් සූක්ෂම සහ නිර්දය ස්මිත් කෙනෙකු අරගලයට අභිමුඛ විය. ඒ දැනටමත් අසීරු වැල් පාළමක් ඔස්සේ සංස්ථාපිතය නමැති දරුවා අර්බුදයෙන් එගොඩ කරන්නා වූ ගෘෂාගේ චරිතය සමග තමන්ව අනන්‍ය කරගත් රනිල් වික්‍රමසිංහය. අරගලය යළිත් තාවකාලික පසුබෑමේ අදියරකට තල්ලු කරන්නට ඔහු සමත්ව තිබේ. මෙවර පසුබැසීම මැයි නමවෙනිදායින් එළැඹුණු පසුබෑමට වඩා දුෂ්කර එකක් වීමට බොහෝදුරට හේතු වන්නේ තම පැවැත්ම සඳහා මර්දනීය රාජ්‍ය උපකරණ මත රඳා පැවතීමේ සූදානම අභිනව ජනාධිපතිවරයා දැනටමත් ප්‍රදර්ශනය කොට තිබෙන බැවිනි.
සංස්ථාපිතයේ මෙහෙයුම් භූමිකාව රනිල්ගේ අතට පත් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය වඩා මූලධාර්මික පෙරමුණු දෙකකට බෙදෙන බවක් පෙනී යයි. ඒ පාර්ලිමේන්තුව සහ විධායකය මගින් මූර්තිමත් වන්නා වූ දේශපාලන සංස්ථාපිතයේ පෙරමුණ සහ ඊට එරෙහි ජනතා අරගලයේ පෙරමුණ ලෙසයි. ජන අරගලයේ අභියෝගයට මුහුණදීම සඳහා ප්‍රභූ දේශපාලන සංස්ථාපිතය රනිල්ගේ නායකත්වය යටතේ නැවත සැකසෙමින් ඇත. ඒ තුළ කලින් අපේක්ෂා කළ නොහැකි වූ අන්දමේ සන්ධානගත වීම් පවා සිදුවිය හැකිය. මෙලෙස ඇරඹෙන නව යුගයේ දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කවර නීතීන් අනුවද? මේ ගැටළුව විසඳෙනු ඇත්තේද දේශපාලන බල තුලනය සහ අරගලය මගින්මය.
අර්නෙස්ටෝ ලැක්ලාවූගේ වචනයෙන් කිව හොත්, දේශපාලනය නමැති ගේම් එක සෙසු සියලු ගේම්වලින් වෙනස් ය. ඕනෑම ගේම් එකකට නීතීන් තිබේ (rules of the game). නිදසුනකට දෙදෙනෙකුට චෙස් ක්‍රීඩාවේ නිරත විය හැක්කේ ඒ දෙදෙනාම චෙස් ක්‍රීඩාවේ නීතීන් පිළිගන්නා තාක් දුරටය. නමුත්, වඩාත් මූලධාර්මික ගැටළුව වන්නේ එකී නීතීන් සකස් කරන්නේ කෙසේද සහ කවුරුන් විසින්ද යන්නයි. අප චෙස් ක්‍රීඩාවේ නිරත වන විට අප එම ක්‍රීඩාවේ නීතීන් සැකසූ අයගේ චින්තනමය රාමුව තුළ සිටින්නෙමු. එය අපගේ පැවැත්ම සම්බන්ධයෙන් එතරම් ගැටළුවක් ඇති කරන්නේ නැත.
නමුත්, චෙස් ක්‍රීඩාවෙන් පිටත අපගේ දෛනික ජීවිතය ක්‍රියාත්මක වන්නේද කලින්ම සැකසූ කිසියම් ‘ගේම් ප්ලෑන්’ එකක් අනුව විය නොහැකිද? Matrix චිත්‍රපටයේ චරිත මෙන් අපද වෙසෙන්නේ යම් යම් බල යාන්ත්‍රණයන් විසින් නිර්මාණය කරන ලද කෘතීම යථාර්ථයක් තුළ නොවේද? එම යථාර්ථ ලෝකයට අදාළ ප්‍රකාශිත සහ අප්‍රකාශිත නීති රාමුවක් පවතිනවා නොවේද? නිදසුනක් ලෙස, ඔබට කුසගිනි දැනුණු විට ඔබ කිසිවෙකුට මුදල් දී ආහාර ලබා ගත යුතුය. ඔබ සතුව මුදල් නොමැති නම්, ඔබ ශරීරය සහ මනස වෙහෙසවා මුදල් ඉපැයිය යුතුය. එසේ කළ නොහැකි නම්, එක්කෝ ඔබට අන් අයෙකු මත යැපීමට, සිඟමන් යැදීමට හෝ නිරාහාරව සිටින්නට සිදු වේ. මන්ද යත්, ආහාර යනු පළමු කොටම අළෙවි කරන්නට සහ මිළදී ගන්නට තිබෙන දෙයකි. සෙසු කිසිදු සත්ව වර්ගයකට අදාළ නොවන මෙම නීතිය මිනිසුන් විසින් නිර්මාණය කරගත් යථාර්ථය තුළ පමණක් පවතින්නකි. එබැවින්, එම නීතිය සැකසීම, ක්‍රියාවේ යෙදවීම, පවත්වාගෙන යාම, ප්‍රශ්න කිරීම සහ වෙනස් කිරීම යනාදී සියල්ල දේශපාලනික ය. මේ අරුතින් ගත් කල, දේශපාලනය යනු චෙස් ක්‍රීඩාවක් නොවේ යැයි මෑතකදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී රනිල් වික්‍රමසිංහ පවසන විට ඔහු නිවැරදිය. දේශපාලනික අරගලය යනු අපගේ සාමූහික ජීවිතය ක්‍රියාත්මක වන්නේ යම් යම් ‘තරඟයේ නීතීන්ට’ අනුවද, එම නීතීන් සකසන හෝ වෙනස් කරන භාවිතයයි.
මේ අනුව, දැන් අප ඇසිය යුතු වඩාත් තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙම නිශ්චිත නිමේෂය තුළ මෙරට දේශපාලනයේ තරඟයේ නීතීන් නැවත සැකසෙන්නේ කෙසේද යන්නයි. තවමත් මෙය විවෘත ප්‍රශ්නයකි. නමුත්, අරගලය ‘reloaded’ අදියර ආරම්භ වන්නේ මේ මූලධාර්මික ප්‍රශ්නය සමගිනි.
දේශපාලන ස්ථාවරත්වයේ මාවත් දෙකක්
දැනට දේශපාලනයේ නව තරඟ නීතීන් ගැන ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් ඉදිරිපත් වී තිබේ. එම ප්‍රවේශයන් දෙක ප්‍රතිවිරෝධී ඒවාය. එක් ප්‍රවේශයක දේශපාලනික ප්‍රකාශකයා වන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ප්‍රභූ සංස්ථාපිතය වන්නේ නම්, අනෙක් ප්‍රවේශයේ දේශපාලනික ප්‍රකාශකයා වන්නේ අරගලයේ සාමූහික නායකත්වයයි. මේ ප්‍රවේශයන් දෙක එකිනෙක හා ගැටෙන්නේ යම් යම් සුවිශේෂී ප්‍රතිපත්ති අරභයා පමණක් නොවේ. අපගේ අනාගත දේශපාලනය සැකසිය යුත්තේ කවර නම් තරඟයේ නීතීන් අනුවද යන වඩා මූලධාර්මික ගැටළුව අරභයා ය. රනිල් ලංකාවේ ‘සැබවින්ම පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයේ’ තරඟයේ නීතීන් රැකගැනීමේ දැනුවත් ක්‍රියාන්විතයක නිරත වී සිටින විට, අරගල බිම දැනට පවත්නා දේශපාලන තරඟ නීතීන් වෙනස් කිරීමේ දැනුවත් ප්‍රයත්නයක නිරත වී සිටී. සිංග්‍රීසි බසින් කිව හොත්, දැන් අරගලය ඇත්තේ ‘ගේම් ප්ලේයර්ස්ලා’ අතර නොව ‘ගේම් චේන්ජර්ස්ලා’ අතරය.
මේ මොහොතේ ජනප්‍රිය සමාජ ඉල්ලීමක් බවට දේශපාලන ස්ථාවරත්වය යන්න පත්ව තිබේ. රනිල් මෙන්ම අරගලයේ නායකත්වයද දේශපාලන ස්ථාවරත්වය සඳහා මාර්ග සිතියම් ඉදිරිපත් කොට ඇත. රනිල්ගේ මාර්ග සිතියම වන්නේ නීතිය සහ පර්යාය රැකීමේ නාමයෙන් වැඩි වශයෙන් මර්දනීය රාජ්‍ය උපකරණ මත පදනම්ව දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ බලය ප්‍රතිස්ථාපනය කිරීමයි. අරගල බිමේ මාර්ග සිතියම වන්නේ තෘණ මූල මට්ටමේ සිට සංවිධානය වන මහජන කවුන්සිල ජාලයක් ඔස්සේ ප්‍රභූ තන්ත්‍රයේ බලය සමග කේවල් කරන නව ප්‍රජාතාන්ත්‍රික යාන්ත්‍රණයක් ගොඩ නැගීමයි. පළමුවැන්න පදනම් වන්නේ නෛතිකත්වය (legality) අවධාරණය කිරීම මත නම්, දෙවැන්න පදනම් වන්නේ සුජාතභාවය (legitimacy) අවධාරණය කිරීම මතය. ඒ අනුව, දැන් අප දේශපාලනයේ ප්‍රධාන පසමිතුරුතා අක්ෂය නැවත ඇඳෙමින් පවතින මොහොතකට ප්‍රවේශ වී ඇති සෙයකි.
සුමිත් චාමින්ද | Sumith Chaaminda