iMage: vikalpa file

අරගලයක අභිලාෂයන් නිවැරදිව වරනඟා ගැනීමට අසමත් වෙතොත්, ඒ අරගලය එක්තරා මොහොතකින් පසු, අයාලේ යයි. අරගලයේ නිවැරදි අභිලාෂයන් අවශ්‍ය තන්හිදී ආපසු හැරී සමාලෝචනය කරමින්, උපක්‍රමික පරිවර්තනයන්ට භාජනය නොකළොත්, එම අරගලය භයානක අන්තයකින් කෙළවර විය හැකියි. අරගලයක් යනු, දෙන ලද සංඥ පුවරු අනුව රේල් පීල්ලක ධාවනය වන කෝච්චියක් නොව, කඳු හෙල් අතරින් මඟ පාදාගෙන යා යුතු වංගගිරි ගමනකි.

අපේ අරගලයේ ප්‍රාථමික අදියර එයාකාරයෙන්ම පැවතිය යුතුව තිබිණැයි කියන සිල්වත් මතවාදයක් තිබේ. සටන්පාඨ පුවරු අල්ලාගෙන, ප්‍රධාන මංසන්ධියක දහපහළොස් දෙනෙකු හැන්දෑවට පැය කිහිපයක් සිටගෙන සිටි අවධියකි එය. මෙරටට හදිසියේ අවශ්‍ය කළ අරගලයක සංකේතීය සහ අහිංසක පුරෝගාමීන් වන්නේ ඔවුන් ය. ඒ, මැදපංතිකයන් ය.

ඉන්පසු, කොහුවල, ජුබිලි කනුව සහ මිරිහාන හරහා මේ ප්‍රායාණය, එහි මූලික ගතිකත්වයන් ප්‍රවර්ධනය කරගනිමින් ගෝල්ෆේස් දක්වා ආවේය. එතැන් සිට එය, විධිමත් සංවිධාන මානයක් ඇතුළු කරගත්, පක්ෂ සහ මතවාද යාන්ත්‍රණයන් විසින් කෙමෙන් තමන් සන්තකයට ගනු ලැබූ, න්‍යාය පත්‍රානුකූල ව්‍යාපෘතියක් බවට පත්විය. එහි වරදක් ඇතත්, එය වැළැක්විය හැක්කක් නොවේ.

එහෙත්, එම අලූත් චින්තන පරාසය තුළ පවා, යහපත් දැක්ම සමග සමපාත වන, නිර්-පාක්ෂික වන මුත් නිර්-දේශපාලනික නොවන, පරිචයක් ඊට අවශ්‍ය කෙරේ. සමස්තයක් වශයෙන් ගත් විට, ගත වූ මාස තුනකට අධික අරගල කාලය, විශාල කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන්, සාධනීය සාර්ථකත්වයන් රාශියක් අත්පත් කරගත් පරමාදර්ශී කාලපරිච්ඡේදයක් වශයෙන් හැඳින්විය හැකිය.

මතක තබාගත යුතු වැදගත් කාරණය මෙයයි: අරගලයක් ආරම්භ කරන අවස්ථාවේ පැවති භෞතික සහ මනෝමය තත්වයන් වෙනස්වීමට අනුරූපව හැඩගැසීමේ නම්‍යතාව සහ දූරදර්ශී දැක්ම අරගලයකට තිබිය යුතුය. කොහුවල/මිරිහාන සිට ගෝල්ෆේස් දක්වා කෙරුණු ගමනේදී අත්පත් කරගත් ගුණාත්මක සහ සංඛ්‍යාත්මක වර්ධනය, අරගලයට පිටස්තරින් වෙනස්කම්වලට භාජනය වන අලූත් තත්වයන් සමග යාවත්කාලීන කළ යුතුව තිබුණි. එහෙත් එය එසේම විණිදැයි සැකසහිත ය.
(සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න සහ වසන්ත සමරසිංහ ඇතුළු අරගලය වෙනුවෙන් පෙනී සිටි අයවළුන්ට පවා පහරදීම?) එසේ වතුදු, පාර්ලිමේන්තුවේ ඇතැම් අපතයන් අද කියන පරිදි, එය කිසි මොහොතක, කුඩුකාරයන්ගේ, රස්තියාදුකාරයන්ගේ, සල්ලාලයන්ගේ සහ ත්‍රස්තවාදීන්ගේ අරගල භූමියක් බවට පත්වුණේ නැති බව නම් පැහැදිලියි.

විශේෂ නිමේෂයන්

හදිසි සමාජ විපර්යාසවලදී එළැඹෙන අනපේක්ෂිත ‘‘මොහොතවල්’’ තිබේ. විටෙක ඒවා පාලකයාට සේවය කරයි. විටෙක, අරගලකරුවාට සේවය කරයි. අප්‍රේල් 9 වැනිදා සහ ජුලි 9 වැනිදා එකී විශේෂිත ‘‘මොහොතවල්’’ ව්‍යුත්පන්න වුණේ වෙනස් මූලාශ්‍ර දෙකකිනි. එකක්, පාලකයාගේ ත්‍රස්තවාදය කෙරෙහි හටගත් නිරායාස කෝපය පිටාර ගැලීමෙනි. දෙවැන්න, සමස්ත මහා විනාශයේ ප්‍රධාන කර්තෘකයාගේ අසමත් භාවය කෙරෙහි පැවති කෝපාවිෂ්ට අසහනය පිටාර ගැලීමෙනි. පළමුවැන්න, නිරායාසවයි. දෙවැන්න, කැඳවීමක් ප්‍රකාරවයි. ඒ ‘මොහොතවල්’ දෙකම, පාලකයා දුර්වල කරමින් අරගලකරුවා ජවසම්පන්න කෙළේය.

ඒ අවස්ථා දෙකේදීම, ව්‍යවස්ථාව සහ නීතිය එක මොහොතකට නතර විය. හේතුව, ව්‍යවස්ථාවට උඩින් ජනතා පරමාධිපත්‍යය පැවති බැවිනි. එහෙත්, මේ කියන ජනතා පරමාධිපත්‍යය, ඊළඟට එළැඹෙන ආසන්නතම මොහොතේම යළි පූර්ණ ව්‍යවස්ථාමය රාමුව තුළට ගෙන ආ යුත්තේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය යන උත්තුංග පරමාදර්ශ දෙකට අන්‍යොන්‍ය වශයෙන් සහජීවනය කළ හැක්කේ එවිට පමණි. මහපාරේ ජනතා පරමාධිපත්‍යය (විශේෂයෙන් ප්‍රචණ්ඩත්වයත් සමග) අනවශ්‍ය සේ දිග්ගැස්සෙන සෑම මොහොතක් පාසාම, එරටේ ඉරණම ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකට ගමන් කිරීමේ ද්විත්ව ශක්‍යතාවන් තිබේ. එකක් වන්නේ, නිර්දය රාජ්‍ය මර්දනයයි. අනෙක වන්නේ, සියලු සංස්ථාපිතයන් සහ නෛතිකත්වයන් විනාශ කරන රංචු අරාජිකත්වයයි.

ඒ අවස්ථා දෙකම, ඕනෑම මිලක් ගෙවා, අප මඟහැරිය යුතුය. ඒ වෙනුවට, අතරමැද සම්මුතිකාමී අවසරයන් ආශ්‍රයෙන්, නව දිසානතීන් වෙත යොමු වීම පිළිබඳව සලකා බැලිය යුතුය. ඊයේ, හදිසි නීතිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පැවසී යැයි සමාජමාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්තියක් තිබුණි. ඊට අනුව, එළැඹෙන 9 වැනිදාට, නැවතත් කොළඹට ජනතාව කැඳවෙනු ඇත. ඒ, ‘අවසාන මහා සටන’ රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීමටලූ. එවිට ජනාධිපති වනු ඇත්තේ, දිනේෂ් ගුණවර්ධන බවත් කියැවෙයි. එම ප්‍රවෘත්තියේම තවත් තැනක ඊට වෙනස් කතාවක් කියැවෙයි. එනම්, එදාට පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින ජනතාවගේ අතට බලය පවරනු ලැබේවිලූ. මේ දෙකෙන් කොයි එක වෙතත්, ඒ වනාහී, ජීවම් කළ සුරයක් මෙන් ‘අරගලය’ කරේ එල්ලා ගැනීමකි. මෙවැනි සෙල්ලමක් අවසන් විය හැක්කේ, ඉහතින් කී අරාජිකත්වයෙන් නොව, නිර්දය හමුදා පාලනයකින් විය හැකි බවත් සිහියට ගන්නේ නම් මැනවි.

යළිත් රාජපක්ෂලා?

(මීට වෙනස් තවත් තත්වයක්ද නිරීක්ෂණය කළ හැකිය. ඊයේ (27) තෙල් පෝලිම්වල සිටින මිනිසුන් සමග පැය කිහිපයක සමීප කතාබහක යෙදීමට අවස්ථාව ලැබුණි. ඔවුන්ගේ අදහස මට සම්ප්‍රේෂණය වූ ආකාරය කෙටියෙන් මෙසේ ය: වළට තල්ලූ කළ අය ගැන විරෝධය දැක්වීම දැන් අවසන් වීගෙන යමින් ඇති සෙයකි. මිනිසුන් දැන් වැඩියත්ම බනින්නේ වර්තමාන පාලකයන්ටයි. එසේ තිබියදී, ගෝඨාභය රාජපක්ෂගේ නැවත සම්ප්‍රාප්තිය ගැන පවා බන්දුල ගුණවර්ධන කෙලින්ම කියා තිබුණි. වළට තල්ලූ කළ අය කෙරෙහි තිබූ ජනතා විරෝධය, වළෙන් ගොඩගැනීමට අසමත් වන රනිල් වික්‍රමසිංහ ඇතුළු අයවළුන් කෙරෙහි එල්ල වීමට පටන්ගනිමින් තිබෙන බවක් පෙනෙන්ට තිබුණි.

තමන්ව යම් විදිහකින් ජනතාව ප්‍රතික්ෂේප කළොත්, ඊට කලින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට සිටි පිරිස නැවත බලයට පත්කර නොගන්නැයි මීට කලකට ඉහතදී ගෝඨාභය රාජපක්ෂ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටි බව අපට මතකයි. එසේ කියා පෝය දෙකක් ගියේ නැත. තමා අන්ත අමාරුවේ වැටුණු අවස්ථාවේ ඔහු විසින්ම නැවත බලයට ගෙනාවේ, ඒ වන විට මුළු රටක්ම ප්‍රතික්ෂේප කොට තිබූ රනිල් වික්‍රමසිංහවයි.

ඉතිහාසය මේ විදිහටම තවත් වටයකින් සිදුවීමට බැරිකමක් නැත. එනම්, මේ නරා වළට රටම ඇද දැමූ රාජපක්ෂලාව නම් නැවත බලයට පත්කර නොගන්නෙමු යි මීට සති කිහිපයකට කලින් දිව්රා කියා සිටි ජනතාව විසින්ම, වර්තමාන රනිල් වික්‍රමසිංහගේ පාලනය කෙරෙහි නැෙඟන ජනතා විරෝධය යම් ආකාරයකින් පාවිච්චියට ගන්නා රාජපක්ෂලාගේ පිඹුරුපත්වලට යළි බිළිවීමට බැරිකමක් නැත).

අන්තර්කාලීන ප්‍රවේශයක් ගැන කටු සටහනක්

එසේ වෙතත්, මීට ඉහතින් සඳහන් කළ, අනුරාගී ජන ගඟක් යළි ගැලීමේ විභවයක් දක්නට නැත. මේ ‘‘මොහොත’’ වනාහී, පාර්ලිමේන්තු අවකාශය තුළ අල්ලාගත යුතුව ඇති මොහොතකි. පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳ විපක්ෂයේ අවධානය යොමු කිරීමටයි.

කවුරුත් දන්නා පරිදි වර්තමාන අර්බුදය දෙවදෑරුම් ය: මුලින්ම එය ආර්ථිකයි. ඊළඟට එය දේශපාලනිකයි. ඒ ද්විත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට එය භයානක සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. එහි අදහස වන්නේ, එක පැත්තකින් ආණ්ඩුව සහ ජනතාව අතර බරපතල අවිශ්වාසයක් ගොඩනැඟී තිබීමත්, අනිත් පැත්තෙන්, ඒ අවිශ්වාසය මහජන කෝපයක් බවට රූපාන්තරණය වෙමින් තිබීමත් ය.

මෙහි දැක්වෙන්නේ, කෙටිකාලීන ‘ගොඩ ඒම’ ගැන පමණි. ඒ කෙටිකාලීන ගොඩනැඟීම, දීර්ඝකාලීන ‘ගොඩනැඟීමකට’ පාදක විය යුතුය. (ඒ අදියර ගැන මෙහිදී සාකච්ඡා නොකෙරේ).

කෙටිකාලීන යනු, මාස 9-12 අතර කාලයකි. දීර්ඝකාලීන වැඩපිළිවෙල ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ආරම්භ කළ යුත්තකි.

මේ මොහොතේ ආර්ථික ප්‍රශ්නයට තාවකාලිකව හෝ විසඳුම් සෙවීම දුෂ්කර කෙරී ඇති ප්‍රධාන සාධකය සමාජ අස්ථාවරත්වයයි. ජාත්‍යන්තර ප්‍රජාව එය නිතර අවධාරණය කරයි. ඉන්දියාව හැරුණුකොට වෙන කිසි රටක් හෝ අන්තර් ජාතික සංවිධානයක් මේ මොහොතේ වහා අපේ උදව්වට පැමිණෙන පාටක් නැත. ඉන්දියාව පවා, එක දිගට අප රට තුළ වර්ධනය වන සමාජ අස්ථාවරත්වය තුළ, අපට අවශ්‍ය ප්‍රමාණයෙන් උදව්වට එතැයි සිතිය නොහැක.

ඒ නිසා, අප පටන්ගත යුත්තේ, මුලින්ම, ඊළඟ මැතිවරණයක් දක්වා වන සමාජ ස්ථාවරත්වය ගොඩනැඟීමෙනි.

සමාජ ස්ථාවරත්වය යනු, වර්තමාන සන්දර්භය තුළ මූලික වශයෙන් ගත් විට, දේශපාලනික ස්ථාවරත්වයයි.

මේ අරභයා, දෙපැත්තකට වගකීම් පැවරෙයි. එක පැත්තකින්, රටේ සමස්ථ ආයතනික සහ සමාජ සංවිධාන ව්‍යුහයන් අරාජිකත්වයට පත්කොට ඇති භෞතික කාරණය හෙවත් ඉන්ධන, ඖෂධ, ගෑස් සහ ආහාර ඇතුළු හදිසි ප්‍රශ්නය වහා විසඳිය යුතුය. ඒ වගකීම මුළුමණින්ම පැවරෙන්නේ, අලූතෙන් බලයට පත් ආණ්ඩුවටයි. ඊළඟට, ඒ ආණ්ඩුවට සුජාත භාවයක් නැතැයි ජනතාවගේ පැත්තෙන් නැෙඟන සාධාරණ මැසිවිල්ල, සමාජ අස්ථාවරත්වය තවත් උග්‍ර කරයි. ඒ මැසිවිල්ලට පාදක වන්නේ, පාලකයා සහ පාලිතයා අතර දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැඟුණු, ඉහතින් කී විශ්වාසයේ හිඟතාවකි.

මේ පාලක-පාලිත විශ්වාසයේ හිඟතාවට ආමන්ත‍්‍රණය කිරීම/ප්‍රතික්‍රියා දැක්වීම සම්බන්ධයෙන් පාලිතයන්ගේ (ජනතාවගේ) පැත්තෙන් විශාල දුරක් මේ වන විට ගොස් තිබේ. මැයි 9 වැනිදා සිද්ධි ආශ්‍රයෙන් උත්සන්න වූ ඒ ගමන, ජුලි 9 වැනිදා ගෝඨාභය බලයෙන් පහකිරීමෙන් කූටප්‍රාප්තියට පත්විය. ඉන්පසු, ඇති වුණේ සහ ඇති විය හැකිව තිබුණේ, ඒ කූටප්‍රාප්තියේ පසු-විපරම්කාරීත්වයයි. තවත් විදිහකින් කිවහොත්, මහපාරේ විරෝධතාව ජුලි 9 වැනිදායින් අවසන් වන බවත්, එතැන් සිට ව්‍යවස්ථානුකූලත්වය යළි පටන්ගත යුතු බවත් පිළිගත යුතු මොහොතකට ජනතාවගේ පැත්තෙන් මේ වන විට අප සම්ප්‍රාප්තව සිටින බවයි.

ඒ තත්වය, අපේ පූර්ණ සෑහීමට පත්වන තත්වයක් නොවිය හැකිය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමේ කඩඉම, අප කැමති වුවත් නැතත්, එතැනින් සනිටුහන් කරගත යුතු තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ නිශ්චිත මොහොත, පාලකයාගේ සුජාත භාවයේ අවසානය සනිටුහන් කරන අතරේම, අරගලකරුවාගේ සුජාත භාවයේ ආසන්න අවසානයත් සනිටුහන් කරනසුළු විය හැකිය. අපේ (ජනතාවගේ) සුජාත භාවය දිගටම පවත්වාගැනීමට නම්, අපේ ඉල්ලීම්වල උපරිමයට (225 ම එපා, 74 වසරක ශාපය, බලය පාර්ලිමේන්තුවෙන් එළියට, බලය ජනතාවට ආදී වශයෙන්) නොව, ව්‍යවස්ථානුකූල ප්‍රශස්තයට අපේ ඉල්ලීම් යටත් කිරීමට තරම් මේ මොහොතේ අප සම්මුතිවාදී විය යුතුය. ජනතාවගේ පැත්තෙන් එන ඒ සම්මුතියේ සාධාරණ වලංගු කාලය, තෙල් පෝලිම් නැති කිරීමේ කාලය සහ ලබන මාර්තුවේ හෝ ඒ ආසන්න කාලයක ඊළඟ මහ මැතිවරණය පැවැත්වීමේ උපරිම කාලය දක්වා දිග් කිරීම අපේ පැත්තෙන් ඉටු කර දිය යුතු යුතුකමකි.

ප්‍රායෝගික, සංක්ෂිප්ත යෝජනාවලියක්

පහත සඳහන් ප්‍රායෝගික කාරණා යෝජනා කරන්නේ, එකී දළ සන්දර්භය සැලකිල්ලට ගනිමිනි.

1. වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ ඇතුළත් අන්තර්-වාර ජාතික ආණ්ඩුවක් සහ 25 දෙනෙකුට නොවැඩි අන්තර්-වාර ඇමති මණ්ඩලයක් වහා පත්කරගත යුතුය. ඒ ඇමති මණ්ඩලය තුළ සෑම පක්ෂයක්ම නියෝජනය විය යුතුය. රාජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ආදී තවත් ඇමතිකම් මේ කාලය තුළ අවශ්‍ය නොකෙරේ. ඒ ජාතික ආණ්ඩුවට පැවරෙන ප්‍රධාන කාර්යයන් තුනකි.

(අ) ඉන්ධන අර්බුදය වහා විසඳීම ඇතුළු ආර්ථික තලයේ ප්‍රශ්න වෙත යොමු වීමත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී අන්තර්ජාතික සංවිධාන සමගත්, ඉන්දියාව, චීනය, ජපානය සහ ඇමරිකාව ආදී රටවල් සමගත් වහා සාකච්ඡාවන්ට අවතීර්ණ වෙමින්, මේ අවස්ථාවේ ‘වළෙන් ගොඩ ඒම’ සඳහා අවශ්‍ය කරන ආර්ථික ආධාර ලබාගැනීමට කටයුතු කිරීම.

(ආ) 19 වැනි ව්‍යස්ථා සංශෝධනය වෙත ආපසු යාම නොව, විධායක ජනාධිපති අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන ඒම: ගසේ අතුපෑහීම නොව, ගස උදුරා දැමීම එහිදී අත්‍යාවශ්‍ය කෙරේ. 19 වැනි සංශෝධනය තවදුරටත් ප්‍රමාණවත් නැත. ඊට අදාළ වෙනත් අවශේෂ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ (අරගලකරුවන් යෝජනා කරන ‘‘මහජන සභාවක්’’ වැනි) කාරණා ඒ සමගම සාකච්ඡා කළ හැකිය. වාර්ගික ප්‍රශ්නයට අදාළ ප්‍රතිසංස්කරණත් ඊට අදාළ කරගත යුතුය.

(ඇ) දැනට අනාවරණය වී ඇති, මහ පරිමාණ දූෂණ සහ වංචා පිළිබඳව, නිශ්චිත කාල රාමුවක් තුළ, ස්වාධීන පරීක්ෂණ පවත්වා අවසන් කොට, එකී ධනය ආපසු පවරා ගැනීමේ ක්‍රමවේද ගැන සොයාබැලීය යුතුය.

(ඈ) මේ ආර්ථික අර්බුදයෙන් බැටකන පහළ ස්ථරයේ ජන කොටස් ආවරණය කෙරෙන සමාජ ආරක්ෂණ/සුභසාධන වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කළ යුතුය.

(ඉ) ගෝඨාභය රාජපක්ෂගේ බදු ප්‍රතිපත්තිය ආපසු හරවමින්, සෘජු බදු-වක්‍ර බදු අනුපාතිකය, සමාජ සාධාරණත්වය මත පදනම් වෙමින් යළි ව්‍යුහගත කළ යුතුය.

(ඊ) අදාළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍ය කෙරෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසතොත්, මහමැතිවරණය දවසේම එම ජනමත විචාරණයත් පැවැත්විය යුතුය.‍

2. ව්‍යවස්ථාවෙන් අනුමැතිය ලැබෙන ආසන්නතම කාලයේදී (ලබන මාර්තුවේදී?) පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.

3. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ආසන්නතම කාලයේදී මැතිවරණයක් පැවැත්වීමේ කොන්දේසිය මත, වර්තමාන ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ නම්, ඔහුගේ ඉතිරි කාලය (2024 දක්වා) එම ධුරයේ රැඳී සිටීමට, අලූතෙන් ඇති කරගන්නා ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන ඇති කළ යුතුය.

ඊළඟ මහ මැතිවරණයක් දක්වා, ඉහතින් කී කෙටිකාලීන, කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේ ප්‍රායෝගික හැකියාවක් මේ මොහොතේ ඇති බව අපගේ විශ්වාසයයි. සියලූ පක්ෂ සහ (සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ අරගල ප්‍රජාව ඇතුළත්) සියලූ මහජන පාර්ශ්ව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් මේ තත්වයෙන් ගොඩඒමේ ආධ්‍යාශයකින් යුක්ත වන්නේ නම්, මේ මොහොතේම මේ කර්තව්‍යය පිළිබඳ සංවාදයක් ආරම්භ කළ හැක්කේය. එය, මාස ගණන් දිග්ගැස්සෙන එකක් නොව, සතියක් හෝ දෙකක් ඇතුළත අවසන් කොට, ක්‍රියාවට ප්‍රවිශ්ඨ වීම අවශ්‍ය කෙරෙන්නකි.

මේ ව්‍යායාමයේ පෙරමුණ ගත යුත්තේ සමස්ත විපක්ෂයයි.


ගාමිණී වියන්ගොඩ
| Gamini Viyangoda