පසුගිය දින (20) “ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය” මැයෙන් පළ වූ මගේ ලිපියෙහි, යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHCR) සහ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) කාර්යභාරය ඉස්මතු කොට දක්වා තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දැනට පැවැත්වෙන සැසිවාරයේ දී ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සහ එය වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති සාකච්ඡා මන්ත්‍රණවල පැනනැගුණු සමහර අදහස් ද මම සඳහන් කළෙමි.

කවුරුන්ද?

එම සාකච්ඡා සම්මන්ත්‍රණවල දී වඩාත් කැපීපෙනෙන කරුණ වූයේ අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ යුක්තිය පතා වසර 10කට වැඩි කාලයක් ජිනීවා බලා ගිය ගමන්-බිමන් සිහිපත් කර, ඇය මෙන්ම ඇය වැනි තවත් අයගේ ජිනීවා පැමිණීම තවත් වසර කීයක් අපේක්ෂා කරන්නේදැ’යි රජයෙන් විමසා සිටීමයි. ශ්‍රී ලංකාවේ දී අතුරුදන් වූවන් සිටින පවුල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ජිනීවා බලා ගිය මුල්ම පුද්ගලයන් අතර සන්ධ්‍යා එක්නැළිගොඩ ද සිටින අතර, එතැන් පටන් බොහෝ ශ්‍රී ලාංකිකයන් තම දුක්ගැනවිලි සහ ඉල්ලීම් ජිනීවා වෙත රැගෙන යාමට පටන්ගෙන තිබේ.

දින 2000කට වැඩි කාලයක් “අරගලය”ක යෙදී සිටින දමිළ ජාතික අතුරුදන් වූවන්ගේ පවුල්, 2006 දී ත්‍රිකුණාමලය වෙරළ තීරයේ දී ඝාතනයට ලක් වූ සිය පුතු වෙනුවෙන් වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන්, හමුදාව විසින් ආක්‍රමණය කරන ලද ඉඩම් ආපසු ලබාගැනීමට අරගල කරන ප්‍රජා නායකයින්, සහ නිරන්තර සෝදිසි කිරීම්, හිරිහැර කිරීම්, පහරදීම් සහ අසාධාරණ අත්අඩංගුවට ගැනීම්වලට ලක් වූ ක්‍රියාකාරීන් ද යුක්තිය පතා ජිනීවා වෙත ගොස් ඇත. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද ජිනීවා යමින් සිටින අතර, හිටපු ජනාධිපති සහ අගමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිතවත්, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යනු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව සාකච්ඡා කිරීමට 1990 දශකයේ මුල්භාගයේ දී ජිනීවා යාමට මූලික වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.

පසුගිය සතියේ (එනම්, සැප්තැම්බර් දෙවැනි සතියේ) මුල් වරට ජිනීවා ගිය අය අතර, පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ කතෝලික තරුණ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම ඇතුළු විවිධ පළිගැනීම්වලට ලක්විය. එසේම පසුගිය සතියේ ප්‍රථම වරට ජිනීවා නුවරට පැමිණි මානව හිමිකම් නීතීඥයෙකු වන නීතිඥ නුවන් බෝපගේ, අරගලයේ කොටස්කරුවන්ව සිටියදී අරගලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබූ බොහෝ දෙනෙකුට නීතිමය සහාය ලබා දී ඇත. ජූලි මාසයේ සාමකාමී විරෝධතා ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයක දී තවත් පුද්ගලයකු ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී නීතිඥ බෝපගේට ද පහර දී, පසුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අවම වශයෙන් එක් බෞද්ධ භික්ෂුවක් ඇතුළුව ක්‍රිස්තියානි පූජකවරු සහ වෙනත් ආගමික නායකයින් ද ජිනීවා වෙත ගොස් ඇත. ජිනීවා ගිය ප්‍රමුඛතම ආගමික නායකයා වූයේ කොළඹ අගරදගුරු අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ය. කාදිනල් රංජිත් හිමිපාණෝ මේ වසරේ මාර්තු මාසයේ දී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් (HCHR) හමුවූ අතර, පසුගිය වසරේ (2021) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ආරම්භ කරන ලද පාස්කු ඉරිදා සංහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කිරීම පිණිස සාක්ෂි රැස්කිරීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස ද, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් සැකසීමට සහාය දෙන ලෙස ද ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූහ.

මීට වසර දහයකට පෙර, 2012 දී දෙමළ කතෝලික රදගුරුවරයෙකු සහ පූජකවරයෙකු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ලිපියක් යවමින් යුද කාලීන සාහසික ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලා සිටි විට, මෙම කාදිනල් රංජිත් හිමිපාණන් විසින්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මැදිහත් වන බවට චෝදනා කළ අතර, එය ශ්‍රී ලාංකිකයන්ගේ “බුද්ධියට අපහාසයක්” බව පැවසීය.

කුමක් සඳහා ද

සැලකිය යුතු කරුණ නම්, ඉහත සඳහන් කළ බොහෝ දෙනා විමර්ශන කොමිෂන් සභා (CoI), අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිසිය සහ අධිකරණය වැනි දේශීය ක්‍රියාවලීන් සඳහා කාලය, ශක්තිය සහ මුදල් කැප කළ අය වීමයි. ඔවුන් සත්‍යය සහ යුක්තිය සෙවීම සඳහා දේශිය මාධ්‍ය, දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සමග ද සම්බන්ධ වී ඇත. පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකක පමණ කාලයක දී හුදු දේශීය යාන්ත්‍රණ හරහා සත්‍යය සහ යුක්තිය සෙවීමේ දුෂ්කරතා අවබෝධ කරගැනීමත්, ඒ අනුව සත්‍යය සහ යුක්තිය සෙවීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමත් පිළිබඳව කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ හදවතේ පරිවර්තනයක් ඇති වූවා විය හැක.

මේ වනාහි දෙමළ කතෝලික පූජකවරුන්, සන්ධ්‍යා එක්නැළිගොඩ වැනි අතුරුදන් වූවන්ගේ පවුල්වල අය, මෙන්ම දින 2000කට වැඩි කාලයක් උද්ඝෝෂණ කරන දෙමළ ජනතාව ද මෙයට වසර ගණනාවකට පෙර සිටම අවබෝධ කරගෙන සිටි සත්‍යයකි. සත්‍ය වශයෙන්ම, බොහෝ සෙයින් උත්සාහ කළ ද, ශ්‍රී ලංකාව තුළ සත්‍යය සහ යුක්තිය ලබා ගැනීමට නොහැකි වීම සහ දේශීය යාන්ත්‍රණ පිළිබඳ විශ්වාසය හා බලාපොරොත්තුව නැතිවීම යන කරුණු බොහෝ ශ්‍රී ලාංකිකයන් ජිනීවා වෙත යොමු වීමට හේතු වී තිබේ.


ජිනීවා වෙතින් ලැබෙන්නේ කුමක්ද?

ඉහත කී පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම්වල බලාපොරොත්තු සුන්වීම, කෝපය, දේශීය ක්‍රියාදාමයන් පිළිබඳ අපේක්ෂා භංගත්වය සහ ඒවා පිළිබඳ අවිශ්වාසය මෙන්ම, ජිනීවා යාම සහ ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධ වීමට අදාළ හේතු තේරුම් ගත හැකි වුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ සඳහා ආයෝජනය කරන ලද කාලය, ශක්තිය සහ මුදල්වලින් ඔවුන් ලබාගෙන ඇති දේ එතරම් පැහැදිලි නැත.

ඉහත සඳහන් බොහෝ උත්සාහයන් සමග ජිනීවා හි දී වසර ගණනාවක් පුරා මා සම්බන්ධ වී ඇති අතර, ඔවුන් සියලු දෙනා තමන්ට අවශ්‍ය, තමන් දන්නා සියල්ල පැවසීමට ඉමහත් ආයාසයකින් බලා සිටින බව මට වැටහුණි. කාදිනල් රංජිත් හිමිපාණන් මාර්තු මාසයේදී කළා හා සමානව, බෝපගේ පසුගිය සතියේ සිදු කළ පරිද්දෙන්ම, අයිතිවාසිකම් කඩකිරීමට ලක් වූ වින්දිතයින්ට, වින්දිතයෙකුගේ පවුලකට සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී විධිමත් ලෙස කථා කිරීමට අවස්ථාව ලැබීම මෙන්ම පසුගිය සතියේ සන්ධ්‍යා එක්නැළිගොඩ කළාක් මෙන් අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් හා එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට ජිනීවා හි වෙනත් සැසිවල දී පවා කතා කිරීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබීම වැදගත් වන්නේ එබැවිනි. පළමු සාකච්ඡා මන්ත්‍රණය අවසානයේ සන්ධ්‍යා එක්නැළිගොඩගේ හෘදයාංගම ප්‍රකාශය ශ්‍රී ලාංකිකයන් ඇතුළු මන්ත්‍රණ සභාවේ සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින් තුළ සලකුණක් ඉතිරි කළ බව මම විශ්වාස කරමි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අන්තර්-රාජ්‍ය ආයතන තුළ පවා නොවැළැක්විය හැකි ලෙස පවතින ජාත්‍යන්තර දේශපාලන බලපෑම් තිබියදීත්, සන්ධ්‍යා එක්නැළිගොඩ සහ ඇය වැනි අයගේ හැඟීම්, දුක්ගැනවිලි සහ ඉල්ලීම් OHCHR (සහ 2010-2011 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් විද්වත් මණ්ඩලය වැනි පෙර පැවති ආයතන) වාර්තාවලින් පිළිබිඹු වන අතර, UNHRC යෝජනාවල ද තරමක් දුරට පිළිබිඹු වන බව දක්නට ලැබේ. දිවි ගලවා ගත් අයගේ, වින්දිතයන්ගේ පවුල්වල සහ විපතට පත් වූ ප්‍රජාවන්ගේ අත්දැකීම් සහ හැඟීම් සම්බන්ධ සමීප ආඛ්‍යානයක් ඔවුන් ලෝකයට ඉදිරිපත් කරන නමුත් එය ශ්‍රී ලංකා රජයේ ආඛ්‍යානයට වඩා බෙහෙවින් වෙනස් ය.

නිදසුනක් වශයෙන්, 2020 මාර්තු මාසයේදී OHCHR හි ලිඛිත යාවත්කාලීන කිරීම් සහ 2021 මාර්තු මාසයේ දී නිකුත් කරන ලද විස්තීර්ණ වාර්තාවේ විශාලතම පශ්චාත් යුධ සමූලඝාතනය වූ පාස්කු ඉරිදා ප්‍රහාරය “මහා දේශපාලන කුමන්ත්‍රණයක්” බවට චෝදනා තිබියදීත් ඒ සම්බන්ධ පැහැදිලි සඳහනක් නොතිබුණි. කතෝලික පූජකවරුන් සහ ගිහි ක්‍රියාකාරීන්ගේ දැඩි බලපෑම්වලින් පසුව, 2021 සැප්තැම්බර් මාසයේදී OHCHR හි වාචික යාවත්කාලීනයේ මේ පිළිබඳව කුඩා සඳහනක් සහ 2022 මාර්තු වාර්තාවේ ලිඛිත යාවත්කාලීනයේ වඩාත් සවිස්තරාත්මක සඳහනක් තිබුණි.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙහි සම්පූර්ණ වෙළුම් සඳහා මහජන ප්‍රවේශය ලබා දීම සහ ජාත්‍යන්තර සහාය, පසුවිපරම් සහ වැඩිදුර විමර්ශන ද සහිත ස්වාධීන සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් විපතට පත්වූවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වය ඇතිව පැවැත්වීම සඳහා වන ඉල්ලීම් ඇතුළු වඩාත් ප්‍රබල සඳහනක් OHCHR විසින් 2022 සැප්තැම්බර් මස පළකළ වඩාත් විස්තරාත්මක වාර්තාවේ ඇතුළත් විය. අපේක්ෂා සුන් කරන ආකාරයෙන්, දැනට සාකච්ඡා කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පතේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරක් හා යුක්තිසහගත භාවයක් නොමැතිවීම පිළිබඳව සඳහන් නොවනමුත්, එම හේතුව මතම ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍යය සොයන්නන් සහ මේ සම්බන්ධයෙන් යුක්තිය සොයා යාමට කැපවූවන් UNHRC සමග දිගින් දිගටම සම්බන්ධ වී සිටියි.

තවත් උදාහරණයක් ගතහොත්, හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දැරූ දූෂිත, ජාතිවාදී සහ ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දැමූ ශ්‍රී ලංකාවේ මෑතකාලීන විරෝධතා අනුමත කරන යෝජනා කෙටුම්පතෙහි “සාමකාමී විරෝධතා මගින් සංවර්ධනයට ධනාත්මක දායකත්වයක් ලබා දිය හැකි බවත්, එමගින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ ඵලදායිතාවය ඇති කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා සහ සාමකාමීව රැස්වීමේ, ප්‍රකාශනයේ, සමාගමයේ සහ පොදු කටයුතු සඳහා සහභාගී වීම වැනි නිදහසේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා සාමකාමී විරෝධතාවලට සහභාගී වීම වැදගත් ආකාරයක් විය හැකි බවත්” දක්වා ඇත. අනිසි මිලිටරිකරණය, පාලනයේ වගවීම නොමැතිකම සහ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා දණ්ඩන මුක්තිය ද ඇතුළුව, මෙම වර්තමාන අර්බුදයට දායක වී ඇති පාලනය හා සම්බන්ධ සාධක සහ මූල හේතුන් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම මෙම යෝජනා කෙටුම්පතෙන් පිළිගෙන ඇත.

අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය වැනි සමහර අභ්‍යන්තර ආයතන පිහිටුවීම, හමුදාව විසින් අත්පත් කරගෙන සිටි ඉඩම් නිදහස් කිරීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ඝාතන සම්බන්ධයෙන් හමුදාවට, පොලිසියට සහ බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම වැනි සංහිඳියාව සහ වගවීම සඳහා වූ තවත් ධනාත්මක වර්ධනයන් ශ්‍රී ලංකාව තුළ ඇතිවීම සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනා සහ වාර්තා දායක වන්නට ඇත. UNHRC සැසිවාරය ජිනීවා නුවර දී පැවැත්වෙන අතරතුර, 2014 මාර්තු මාසයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) යටතේ කිලිනොච්චියේ දී මා අත්අඩංගුවට පත් වූ විට, UNHRC මගින් සහ ජාත්‍යන්තරව සිදු වූ බොහෝ මැදිහත්වීම්, මා සාපේක්ෂ වශයෙන් ඉක්මනින් නිදහස් කිරීමට දායක වන්නට ඇතැ’යි මම පෞද්ගලිකව විශ්වාස කරමි.

යථාර්ථයක් කරගැනීමට අපහසු සහ හුදෙක් බලාපොරොත්තුවක් පමණක් වුවද, සොරකම් කරන ලද වත්කම් තහනම් කිරීම සහ නැවත ලබා ගැනීමට කටයුතු කිරීමත්, යුද කාලීන අපරාධ, පාස්කු ඉරිදා සංහාරය, ආර්ථික අපරාධ සහ දූෂණ සඳහා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් සහ හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් 2021 දී පිහිටුවන ලද මෙම සාක්‍ෂි රැස්කිරීමේ යාන්ත්‍රණයට තිබේ.

ජිනීවා යන්නෝ ද්‍රෝහීන් ද?

ජිනීවා යාම පිළිබඳව, මමත් ඇතුළුව ඉහත කී බොහෝ අය නිරන්තරයෙන්ම පාහේ ද්‍රෝහියෙකු ලෙස හංවඩුවට ලක්ව තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් මා අත්අඩංගුවට ගත් විට, මගේ ජිනීවා යාම්-ඊම් පිළිබඳව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණු අතර, අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිකුත් කළ නිල ලදුපතෙහි සඳහන් වූ කරුණු තුනෙන් එකකි, “විදේශයන්ට තොරතුරු ලබාදීම”.

සිය සැමියා අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැළිගොඩ අධිකරණයක දී සාක්ෂි දෙමින් සිටින විට, ඇගේ ජිනීවා යාම්-ඊම් පිළිබඳව කර්කශ ලෙස ප්‍රශ්න කෙරිණි. ඇය ජිනීවා යාමට පටන්ගත්තේ ඇගේ සැමියාගේ අතුරුදන් කරවීමෙන් පසුව වූ අතර, එයත් ඔහුගේ අතුරුදන් වීමත් අතර කිසිදු සම්බන්ධයක් ද නොවීය. එමෙන්ම, ප්‍රශ්න කිරීමේ විලාශය දිස් වූයේ හුදෙක්ම ඇගේ දුක්ගැනවිල්ල UNHRC සමග බෙදාහදාගැනීම සම්බන්ධයෙන් ඇය අපකීර්තියට හා හිරිහැරයට පත්කිරීම සඳහා වූ උත්සාහයක් ලෙසින් මෙන්ම, ඇගේ සැමියා අතුරුදන් කරවීම පිළිබඳ සත්‍යය හා යුක්තිය උදෙසා ජාත්‍යන්තර සහය ලබාගැනීම ගැන චෝදනා මුඛයෙනි.

දේශපාලකයන්, මාධ්‍ය, ආගමික නායකයන් යනාදී අය විසින් කරපින්නාගත් “රටට එරෙහි යෝජනාව/වාර්තාව” යන ජනප්‍රියවාදී මතය සම්බන්ධයෙන් නැවත සිතාබලමින්, ඒ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් විසින් ප්‍රශ්න කළ යුතු කාලය එළඹ ඇත. එක්සත් ජාතීන්ගේ යෝජනාවක් හෝ වාර්තාවක් අඩුපාඩු සහිත විය හැකි හෝ යම් රජයක් පිළිබඳව විවේචනාත්මක විය හැකි වුවද, පසුගිය දශක කිහිපය පුරා පළකෙරුණු එකී යෝජනා හෝ වාර්තා ඝාතනයට ලක් වූ හෝ අතුරුදන් කිරීමට ලක් වූ සිය පවුලේ අයවලුන් වෙනුවෙන් හා වෙනත් දුක්ගැනවිලි සම්බන්ධයෙන් යුක්තිය හා සත්‍යය සොයායන ශ්‍රී ලාංකිකයන්ට එරෙහි වී නොමැත.

සත්‍යය සහ යුක්තිය සොයා ජිනීවා කරා යන ශ්‍රී ලාංකිකයන්ගේ දුක්-කම්කටොලු පිළිබඳව දේශපාලකයන්, මාධ්‍ය, ආගමික නායකයන්, වෘත්තිකයන්, කලාකරුවන් යනාදී අය සහකම්පනයෙන් යුතුව අවධානය යොමු කළ යුතු අතර, ඔවුන් පිළිබඳව බිහිසුණු චිත්‍රයක් ආරෝපණය නොකර, ශ්‍රී ලංකාවේ වීදි, අධිකරණ, මාධ්‍ය මෙන්ම ජිනීවා වැනි ජාත්‍යන්තර අවකාශයන්වල ද අරගල කරන, සිය අභිලාෂයන් ඉටුකරගැනීමට වෙහෙස වන ඔවුන්ට සහෝදරත්වයේ සහ සහයෝගයේ දෑත් දිගු කළ යුතු ය.

(2022 සැප්තැම්බර් මස 21 වැනි දින රුකී ප්‍රනාන්දු විසින් https://www.themorning.lk/who-goes-to-geneva-and-why/ හි ඉංග්‍රීසියෙන් පළකළ මුල් ලිපියේ සිංහල පරිවර්තනය)

රුකී ප්‍රනාන්දු | Ruki Fernando