ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික දෝෂයක් තිබිය හැකි බවයි. එය රෝගී තත්වයකි. ලංකාවට ඒ රෝගය බෝ කෙළේ ජේ. ආර්. ජයවර්ධනයි. එදා ඔහුට ඒ ගැන බැන්නාට ඔහුගේ රෝගය ඉන්පසු බලයට පත් සෑම කෙනෙක්ම බෝ කරගත්හ. අවුරුදු 44 ක කාලයක් තුළ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වරක් සංශෝධනය කර තිබේ. ඇමරිකානු ව්‍යවස්ථාව අවුරුදු 233 ක කාලයක් තුළ සංශෝධනය කර ඇත්තේ 27 වතාවක් පමණි.
පසුගිය සතියේ අප සම්මත කරගත් (මින් මතුවට 21 වැනි සංශෝධනය යැයි හැඳින්වෙන) 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය බොහෝ දෙනා දකින්නේ ජයග්‍රහණයක් වශයෙනි. ඒ, එතෙක් පැවති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂවයි. උන්න හැටියට මළා මදිදැයි කීමට සිදුවීම, සැමරීමට කාරණයක් නොවේ. ගොඩවෙදකම් නතර කොට ශෛල්‍යකර්මයක් කරගත යුතුව තිබියදී විවිධ අවසරයන් යටතේ එය කල් දැමෙයි. ශෛල්‍යකර්මය කළ යුතු බවට පළමු වරට දිව්රා පොරොන්දු වුණේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් 1994 දී ය. එහෙත් පසුගිය සතියේත් අප කෙළේ ගොඩවෙදකමකි.
විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කිරීමට අප පැකිළෙන්නේ ඇයි? රජෙකු කෙරෙහි ඇති ආශාව නිසා ය. එවැනි ආශාවක් නැතැයි කියන අය පවා, ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කිරීමේ අවශ්‍යතාව මහා බාධකයක් වශයෙන් පෙන්නා පස්ස ගසති. ජනමත විචාරණයකට පාලකයන් එච්චර බය ඇයි? තමන්ට වඩා ජනතාව ඉදිරියෙන් සිටින බව දන්නා ඒ හැමෝම විධායක ජනාධිපති ක්‍රමයට රහසින් හෝ පෙම් බඳින නිසා ය.
ගිය සතියේ සම්මත කරගත් සංශෝධනය තුළ ඉස්මතු වූ මූලික කාරණා දෙකක් ගැන පමණක් සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. එකක් වන්නේ, ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයයි. අනෙක, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ, පාර්ලිමේන්තුවක් අලුතෙන් තේරී පත්වී කොපමණ කලකට පසුවද යන ප්‍රශ්නයයි.
ද්විත්ව පුරවැසි ප්‍රශ්නය
ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂ නිරාකරණය කරගත්තේ තමන්ගේ ඇමරිකානු පුරවැසි භාවය අතහැරියා යැයි කටින් කීමෙනි. ඔහුගේ ඒ කටවචනය සෙස්සෝ පිළිගත්හ. (ඔහු ජනාධිපති පදවියට පත්වන අවස්ථාවේ ඔහු (ඇමරිකානු) ද්විත්ව පුරවැසියෙකු වී ය යන්න, දේශපාලන ඉතිහාසඥයන් විසින් අනාගතයේදී වෙනම සටහන් කර තැබෙනු ඇත). එයින්, එනම් හොරට හෝ ඒ මොහොතේ ඔහු ඇමරිකානු පුරවැසි භාවය ‘අතහැරීමෙන්’ පෙන්නුම් කෙළේ, රටේ නායකයා වීමට හෝ රටේ පාලකයන්ගෙන් කෙනෙකු වීමට හෝ යමෙකුට අවශ්‍ය වන්නේ නම්, එකී රටට (ලංකාවට) තමන්ගේ ඇති බැඳීම සහ ආදරය ප්‍රදර්ශනය කරමින් අනිත් රටේ (ඇමරිකාවේ) පුරවැසි භාවය අත්හැරීමේ හැකියාව සහ නිදහස යන දෙකම එම පුද්ගලයාට තිබුණු බවයි. එසේ තිබියදීත්, රැවුලයි කැඳයි දෙකම තමන්ගේ වාසියට පමණක්ම යොදා ගැනීමට සිතන කිසි පුද්ගලයෙකු (රටවල් දෙකෙන්) කිසි රටක පාලනයක් සඳහා සහභාගී කරගත යුතු නැති බවට, සාමාන්‍ය ඥානයෙන් අපට නිගමනය කළ හැක.
බැසිල් රාජපක්ෂ උදාහරණයට ගත්තොත්, ලංකාවේ අනාගත පාලකයා වීමටත්, ඒ සමග සමගාමීව, ඇමරිකාව වෙනුවෙන් අනාගතයේදී යුද වැදීම සඳහා ආයුධ අතට ගැනීමට තමන්ට ඇති අයිතිය ආරක්ෂා කරගැනීමටත් ඉල්ලා සිටීම, එනම් (ඇමරිකානු) ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ පාලනයට සහභාගී වීමේ තහනමක් නොතිබිය යුතු යැයි කීම, එවැනි අයිතියක් ඔහුට ලබා දීමට තබා ඒ ගැන ඈතින්වත් සලකා බැලීමට තරම් නොවන කාරණයක් බව පැහැදිලියි. ඒ නිසා, යහපාලන ආණ්ඩුව විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළමු වරට ඒ තහනම ගෙන ඒම, ඔහු සහ ගෝඨාභය පමණක් එල්ල කරගත් සංශෝධනයකැයි පොහොට්ටුකාරයන් ඒ දවස්වල කී කතාව සත්‍යයකැයි මොහොතකට පිළිගත්තත්, යහපාලන ආණ්ඩුව විසින් එසේ කිරීම අයුක්තියක් හෝ අසාධාරණයක් වශයෙන් සැලකිය හැකි දෙයක් නොවන බව ඒ පොහොට්ටුකාරයන්ම ගිය සතියේ එම තහනම ඇතුළත් 22 වැනි සංශෝධනයට පක්ෂව සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් ඔප්පු කොට ඇත.
අප මේ කතා කරන්නේ, (බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හෝ ගීතා කුමාරසිංහ වැනි) පුද්ගලයෙකුට පමණක් අදාළ කාරණයක් ගැන නොවේ. මෙවැනි තහනමකදී පුද්ගලයාට වඩා ඉදිරියෙන් තැබෙන්නේ රට ය. ‘පුරවැසි භාවය’ යන යෙදුම තුළම පවා (පුර සහ වැසි) ඒ බව කියැවෙයි. ඒ නිසා, රටක් මුල් කරගෙන ද්විත්ව පුරවැසි තහනමක් ඒ රටේ පාලකයන් අරභයා යොදා ගැනෙන්නේ නම්, යම් පුද්ගල කොට්ඨාශයක් ඊට ගොදුරු වීම, වැළැක්විය නොහැකි අනිවාර්ය කාරණයකි. ඉතිං, යම් මොහොතක ඒ කොට්ඨාශයට අයත් වන්නේ ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ පමණක් නම්, එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස රටේ ප්‍රශ්නයක් නොවේ. එහෙත් මේ රාජපක්ෂලා කෙළේ, රටේ ප්‍රශ්නය පැත්තකින් තියා, තමන්ගේ ප්‍රශ්නයට මුල් තැන දීමයි. 2019 දී ගෝඨාභය බලයට පත් සැණින් 20 වැනි සංශෝධනය ගෙන එමින් ඒ තහනම ඔවුන් ඉවත් කරගත්තේ එබැවිනි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ
ජනාධිපති බලය
මේ කාරණයට අමතරව, අප සාකච්ඡාවට ගන්නා ඊළඟ කාරණය වන්නේ, අලුතෙන් බලයට පත්වූ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ කොපමණ කලකට පසුවද යන්නයි. පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය සහ එම බලය ඔහුට අභ්‍යාස කිරීමට හැකිවන කාලය පිළිබඳ ප්‍රශ්නය මුලින් මතු වුණේ ඇයි? එක මහජන ඡන්දයකින් පත්වන විධායක ජනාධිපතිවරයා නමැති තනි පුද්ගලයා සහ තවත් මහජන ඡන්දයකින් පත්වන පාර්ලිමේන්තුව නමැති සාමූහිකය සතු බලතල, ජනාධිපතිවරයාගේ බලය සීමා වන ආකාරයෙනුත්, පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා වන ආකාරයෙනුත් පනවා ගැනීමට පැවති උවමනාවයි.
ඒ දීර්ඝ කතාව සන්දර්භගතව කෙටි කළොත් මෙසේ ය: විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කළ නොහැකි නම්, අඩු වශයෙන්, විධායක ජනාධිපති විසින් පාර්ලිමේන්තුව ගිල ගනු ලැබීමේ අවකාශයවත් සීමා කළ යුතුය. 2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ ඒ පරමාර්ථයෙනි. ඒ අනුව, ඊට කලින්, ජනාධිපතිවරයාට පවරාගෙන තිබූ බලයක් කප්පාදු කෙරුණි. එනම්, අලූතෙන් පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පසු අවුරුද්දක් ඇවෑමෙන් එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පවරා තිබූ බලය, මේ කියන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අවුරුදු හතර හමාරක් දක්වා දිග් කරන ලදි.
එය වරදක්ද? පාර්ලිමේන්තුවක් ජනතාව විසින් තෝරාපත් කරගන්නේ අවුරුදු පහකට ය. ඒ ජනවරමට අප ගරු කළ යුතුය. එකී ජනවරම යනු ආසන්න වශයෙන් සියයට සියයක ජනවරමකි. එනම්, පාර්ලිමේන්තුවේ (පක්ෂ-විපක්ෂ) සියල්ලන් තුළ සමස්ත ජනවරම ඇති බවයි. අනිත් පැත්තට, ජනාධිපතිවරයා සතු ජනවරම කිසි දවසක සියයට සියයක් වන්නේ නැත. උදාහරණයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ 2019 ජනවරම සියයට 52.25 ක් පමණි. එසේ තිබියදී, පාර්ලිමේන්තුව තුළ (පක්ෂ-විපක්ෂ) පූර්ණ ජනවරම ප්‍රකාශයට පත්වී අවුරුද්දක් වැනි කෙටි කාලයකින් එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය, සියයට 52.25 ක පමණක් ජනවරමක් භූක්ති විඳින ජනාධිපතිවරයා නමැති තනි පුද්ගලයෙකුගේ හිතුමතයට බාරදීම නොමනා ය. අවුරුදු හතරහමාරක් වැනි දීර්ඝ කාලයක් යන තෙක් ජනාධිපතිවරයාට තම හිතුමතේට පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය නොහැකිය යන ආස්ථානයට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආවේ එබැවිනි.
එය කෙළේ කවුද? වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේනත්, වර්තමාන සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු වර්තමාන විපක්ෂය ය. ඒ, 2015 දී ය. දැන් 22 වැනි සංශෝධනයට මෙම වසර හතර හමාරක කාලය ඇතුළත් කළ යුතුව ඇතැයි පොහොට්ටුකාරයන් කියන විට වර්තමාන විපක්ෂය (සමගි ජනබලවේගය) ඊට විරුද්ධ වන්නේ ඇයි? එසේ විරුද්ධ වෙමින් එදා රාජපක්ෂවාදීන් 20 වැනි සංශෝධනයෙන් ගෙනා අවුරුදු දෙකහමාරේ කෙටි කාල පරාසයේම එල්ලී සිටීමට ඔවුන් තීරණය කෙළේ මොන තර්කයක් උඩ ද?
උතුර දකුණ මාරු වීම
මෙහිදී කඳවුරු දෙක, පැති දෙක මාරු කරගෙන තිබේ. 2020 දී තමන් ගෙනා 20 වැනි සංශෝධනය තුළින් අවුරුදු දෙකහමාරකින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි යැයි කී රාජපක්ෂවාදීන් දැන් කියන්නට පටන්ගෙන ඇත්තේ එම කාලය අවුරුදු හතර හමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි. අනිත් පැත්තෙන්, අවුරුදු හතරහමාරකට මෙහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නොදිය යුතු යැයි 2015 දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් කියා සිටි වර්තමාන විපක්ෂය, අවුරුදු දෙකහමාරකින් පසු එකී විසිරවීමේ බලය ජනාධිපතිවරයාට දිය යුතු යැයි අද කියන්නේ ඇයි?
මෙය, මේ කඳවුරු දෙකේම අවස්ථාවාදය පෙන්නුම් කරන්නකි. පොහොට්ටුකාරයන් මේ කාලය අවුරුදු හතරහමාර දක්වා දිග් කරගැනීමට අද බැලූවේ, එසේ නොවුණොත්, ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් තමන්ව ගෙදර යැවීමට ජනාධිපතිවරයාට ඇති බලය අහුරාලීමටයි. අනිත් පැත්තෙන්, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය අවුරුදු දෙකහමාරෙන් පසු විසුරුවීමේ බලය ජනාධිපතිවරයා අතේ තිබිය යුතු යැයි දැන් කියන්නේ, එළැඹෙන මාර්තුවේදී වර්තමාන පොහොට්ටුව ගෙදර යවා තමන්ට බලයට පත්වීමේ අවස්ථාව ඒ මගින් උදා කරගැනීමට හැකි වන නිසා ය.
අපේ සමස්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉතිහාසයම, ව්‍යතිරේකයක් දෙකක් හැරුණු කොට, මෙවැනි පටු අවශ්‍යතා පෙරදැරිව කරන ලද අභ්‍යාසයන් බව ඒ ඉතිහාසය පිරික්සීමෙන් බලාගත හැකිය.
විශේෂිත තත්වයක්?
දැන් අපි මේ ප්‍රශ්නයේ තවත් පැත්තක් සලකා බලමු.
වර්තමාන පොහොට්ටුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. එය වර්තමාන පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර සංයුතියේ හැඩගැස්ම දෙස බැලූවත්, අරගලය තුළින් ඉස්මත්තට ගෙනා මහජන මනෝභාවය පැත්තෙන් ගත්තත් පෙනෙන්ට තිබෙන තත්වයකි. ඒ නිසා, අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයකින් පසු වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය දීම, වර්තමානයේ මහජනතාවගේ පැත්තෙන් ගත් විට, ඇසට පෙනෙන සාධාරණයක් බවට තර්කයක් නැත. එහෙත් ඒ ගැන දීර්ඝකාලීනවත් අප සිතා බැලිය යුතුය.
ඒ නිසා, වෙනත් නිර්ණායකයක් ඒ කාරණය විසඳා ගැනීම සඳහා යොදාගත යුතුව තිබුණි.
ඒ මෙසේ ය: වර්තමාන තත්වය ව්‍යතිරේකයකි. ජනතාව විසින් බලයට පත්කළ ජනාධිපතිවරයෙකු මහජන නැඟිටීමකින් පන්නා දමා තිබේ. ඇත්ත වශයෙන් බැලූවොත්, බලය අතහැර පලා ගොස් තිබේ. ඒ තත්වය තුළ, කාරණා දෙකක් ස්වයංසිද්ධ වී ඇත. මුලින් පැවතියේ 2019 දී ජනාධිපතිවරයා පත්කර ගැනීමයි. ඊළඟට, ඒ ජනාධිපතිවරයා මත පදනම්ව, 2020 දී පාර්ලිමේන්තුවේ පොහොට්ටු බහුතරය පත්කර ගැනුණි. ඒ පොහොට්ටු බහුතරයේ පදනම වූ ජනාධිපතිවරයා බලය හැර දා පැනගිය පසු, ඔහු මත පදනම්ව සිටි බහුතරයේ ජනවරමත් අහිමි වන බව සිතිය හැක. එවැන්නක් එයින් ගම්‍ය නොවන්නේ යැයි යමෙකු කියන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පොහොට්ටුකාරයෙකු පත්කර නොගත්තේ මන්ද යන ප්‍රශ්නයට උත්තර දිය යුතුය.
මේ නිසා, කළ යුතුව තිබුණේ, අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සදාකාලිකව ජනාධිපතිවරයාට පිළිගැන්වීම නොව, අවුරුදු හතරහමාරක් දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට නොහැකිය යන ප්‍රතිපාදනය ඊළඟ පාර්ලිමේන්තුවේ සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ගැනීමයි. ඒ මගින්, ඉහතින් කී වර්තමානයේ විශේෂිත තත්වයන් යටතේ අවලංගු වී ඇති පාර්ලිමේන්තුවේ ජනවරම (ලබන මාර්තුවේදී?) අලූතින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතරේම, ව්‍යවස්ථාමය වශයෙන් අනිසි බලයක් දීර්ඝ කාලීනව ජනාධිපතිවරයාට පැවරීමෙන් වැළකී සිටීමටත් හැකියාව ලැබෙන්නට තිබුණි.
මේ සංශෝධනය තුළ ඇති (ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා වැනි) වෙනත් නාමික සාධනීයතා මෙයින් ප්‍රතික්ෂේප නොකෙරේ. එහෙත් ඒවා ප්‍රායෝගික තලයක සාධනීය වීම, ජනාධිපතිවරයාගේ මූලික බලතල කප්පාදුවකින් තොරව සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවන බව දැන් තියාම කිව යුතුව තිබේ.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda