අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි වෙතැයි සිතීම වාගේම, අපරාධය යටගැසීමෙන් අපරාධය අහෝසි වෙතැයි සිතීමත් අපරාධයකි. ඒ නිසා, අපේ වර්තමාන ආර්ථික අහේනියට හේතු සොයා යමින් ඒවාට යථාවාදී පිළියම් සෙවීම වාගේම, ඒ අහේනිය ඇති කළ පාර්ශ්වකරුවන් ඔවුන්ගේ අපරාධය සඳහා වගවීමට බැඳගැනීමත් අවශ්‍ය කෙරේ.
ගිය සතියේ මේ කොලමේ කෙටි ඡේදයක්, ජනාධිපතිවරයා පසුගිය දා සිය අයවැය කතාවේ දී උපුටා දැක්වීය. ඒ මෙසේ ය:
‘‘ඒ නිසා, රට ගොඩගැනීමේ දිව ඔසුව තමන් අතේ ඇතැයි, ප්‍රශ්නය වලිගයෙන් අල්ලාගෙන යමෙකු කියන විට පරිස්සම් වන්න: තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි කීම එවැනි එක් ප්‍රවාදයකි. දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් තමන් බිහි කරන්නේ යැයි කීම තවත් එවැනි ප්‍රවාදයකි. ඒ කාරණා සියල්ල රටක දියුණුවට අත්‍යාවශ්‍ය වෙතත්, වර්තමාන ලංකාව ගොඩ දැමීමේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඊට වඩා සංකීර්ණ සහ දුෂ්කර පරාසයක බව අද නැතත් හෙට හෝ අප වටහාගත යුතුය’’.
මේ ඡේදයේ පළමු වචන දෙක, එනම් ‘‘ඒ නිසා’’ යන්න සැලකිල්ලට නොගත්තොත් හෝ ඉවත් කළොත්, සමස්ත ඡේදයේ අර්ථය වෙනස් වන්නේය. ‘‘ඒ නිසා’’ යන්නෙන් කියැවෙන්නේ, ඊට කලින් කරන ලද විස්තරයක් මත පදනම්ව, ඉතිරි කතාව අවබෝධ කරගත යුතු බවයි. ඊට කලින් කරන ලද විස්තරය නොකියා සිටියොත්, මා කියන්නේ සොරුන් දූෂිතයන් හිරේ විලංගුවේ දැමීම අවශ්‍ය නැතැයි යන අදහසක් බව කෙනෙකුට සිතෙන්නට පුළුවනි.
ඇත්තෙන්ම ඒ ඡේදය, ඊට කලින් ඡේද සමග එකට කියවන විට, ලැබෙන අර්ථය මෙසේ ය: සොරුන් සහ දූෂිතයන් හිරේ දැමීම හිතන තරම් ලෙහෙසි නැත. ඊට හේතු කිහිපයකි. එකක්, රන්ජන් රාමනායකගේ ‘‘උන් ඔක්කොම යාළුවො, මල්ලී’’ යන වැකියෙන් කියැවෙයි. දෙවැන්න වන්නේ, යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ පවතින ව්‍යුහාත්මක දුෂ්කරතාවන් ය. තෙවැන්න වන්නේ, දූෂණය සහ වංචාව යන ප්‍රපංචය ලංකාවේ සංස්කෘතියක් බවට මේ වන විට පත්ව තිබීම ය.
ඒවාට අමතරව ඒ ඡේදයෙන් අදහස් කළ තවත් කාරණයක් තිබුණි. එය ඉහත කී කාරණාවලට සෘජුවම අදාළයි. හොරුන් සහ දූෂිතයන් හිරේ දැමීම එතරම් අමාරු නම්, තමන් බලයට පත් වූ සැණින් ඒ හොරුන් සහ දූෂිතයන් හිරේ දමන බවට කෙනෙකු දෙන පොරොන්දු ගැන පරිස්සම් විය යුතුය. මන්ද යත්, බොහෝවිට එම පොරොන්දුව දෙන්නේම පහසුවෙන් ඡන්ද ගරාගැනීමේ උපක්‍රමයක් වශයෙන් පමණක්ම විය හැකි බැවිනි. ආර්ථිකය ගොඩගැනීමේ නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකොට යමෙකු මේ පොරොන්දුව දෙන්නේ නම්, ඒ ගැන තවත් වැඩියෙන් පරිස්සම් විය යුතු බව එයින් කියැවුණි.
අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ, තනි තනි සොරකම් හෝ දූෂණයන් ගැන නොව, රටක ආර්ථිකයක්ම අපයෝජනය කිරීම පිළිබඳවයි. රටේ ආර්ථිකය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ විනාශ කළ අපරාධකරුවෝ තවමත් නිදැල්ලේ සිටිති. එපමණක් නොව, එවැන්නෝ ‘‘ආර්ථික ඝාතකයන් මැද’’ යනුවෙන් එකී විනාශය ගැන පොත් පවා ලියා උජාරුවට එළිදක්වති. කෙසේ වෙතත්, අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකට මේ විනාශයේ පරාසය ලඝු කිරීම ගැන කෙනෙක් විරුද්ධ විය හැකිය.
වියහැකියාව අනිවාර්යයක් බවට පත්වීම
අද අප මුහුණදෙන විනාශය වනාහී දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිවිපාකයක් වශයෙන් අවසානයේ කෙදිනක හෝ ‘ඇති විය හැකිව තිබුණු’ තත්වයක් බව ඇත්ත. ඊට වගඋත්තරකරුවෝද බොහෝ ය. එහිදී, නිදහසේ පටන් බලයට පත් සෑම නායකයෙකුම අඩුවැඩි වශයෙන් ඊට වගකිව යුතු යැයි කෙනෙකු පෙන්වා දිය හැකිය. ඒ කතාවත් ඇත්තයි. එසේම, තමන්ගේ පාලනයෙන් පරිබාහිර (කෝවිඞ් උවදුර වැනි) ඇතැම් සාධකත් ඒ විනාශයට බලපෑ බව කියන්නේ නම් ඒ කතාවත් ඇත්ත. ඒවා ඔවුන්ගේ වගවීමේ බර සැලකිල්ලට ගැනීමේදී යම් තරමකින් අදාළ විය හැකිය. එහෙත් ඒ සියල්ල මැද්දේ පවා, ‘ඇති විය හැකිව තිබුණු’ විනාශය, රාජපක්ෂවාදී දූෂිත සහ අමනෝඥ චර්යාව නිසා, නොවැළැක්විය හැකි ‘අනිවාර්යයක්’ බවට පත්කෙරුණු බව, ඊටත් වඩා ඇත්තකි.
ඒ නිසා, අප මේ ගෙවන්නේ, ‘වළක්වාගත හැකිව තිබුණු’ විනාශයක වන්දියක් බව මුලින්ම වටහාගත යුතුය. 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කර ගැනීමට දායක වූ ඡන්දදායකයෝ තමන් කළ වැරැද්ද අඩුවැඩි වශයෙන් පිළිගන්නා බවත්, ඒ ගැන අවංකවම දැන් දුක් වන බවත් පොදුවේ දක්නට ලැබේ. එය, යන-එන තැන අසන්නට දකින්නට ලැබෙන දෛනික සංසිද්ධියකි. ඒ බව හොඳටම ප්‍රදර්ශනය වුණේ මහජන ගඟ ජාතික විරෝධතාවක් වශයෙන් පිටාර ගැලූ දා ය. එහෙත් මේ විනාශයට වගකිවයුතු කිසි නායකයෙකු අද වන තෙක් ඒ ගැන රටෙන් සහ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නැත. ඒ වෙනුවට අපට දකින්ට ලැබෙන්නේ, යම් යම් මට්ටම්වලින් නිදහසට කරුණු කියන වංචනික මඟහැරයාම් ය. වසර 70 ක ‘දේශපාලන සංස්කෘතිය’ වෙනස් කිරීමට හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ යැයි කී න්‍යායාචාර්යවරු, බලයට පත් වූ පසු තමන්ගේ ග්‍රහණයෙන් ගෝඨාභය රාජපක්ෂ ගිලිහී ගිය නිසා මේ නස්පැත්තිය ඇති වී යැයි අද කියති. එහිදී බැසිල් රාජපක්ෂ වැනි පවුලේ සහෝදරයන් පිටට මුළු වරද පැටවති. විමල් වීරවංශ වැනි අය පුනපුනා කියන්නේ, ගෝඨාභය ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අභ්‍යන්තරිකව තමන් විරෝධය පෑ බවත්, (බැසිල් වැනි) වෙනත් නායකයින් ඒවා මායිම් නොකළ නිසා මේ විනාශය සිදු වූ බවත් ය.
රාජපක්ෂ පවුලේ ප්‍රතිපත්ති සහ මේ කියන අයගේ ප්‍රතිපත්ති එදා සිටම සහසුද්දෙන් සමාන වූ බවත්, එවැනි ප්‍රතිපත්ති මීට වඩා වෙනස් ආකාරයකින් ඉවරයක් වීමේ හැකියාවක් නොතිබුණු බවත්, මොවුහූ නොකියති. කාබනික පොහොර වේවා, ධම්මික පැණිය වේවා, අයි.එම්.එෆ්. විරෝධය වේවා, ඥනසාරගේ ‘එක රටක්-එක නීතියක්’ වේවා, වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම් වේවා, එකම ප්‍රතිපත්තියක සහ එකම චින්තනයක අතුරු ඵල බව මොවුහූ තවමත් වසං කරති. ඒ නිසා, හෙට දවසේත්, විනාශයම මිස ඊට වෙනස් දායකත්වයක් මොවුන්ගෙන් රටට ලැබෙනු ඇතැයි සිතීමට තරම් කෙනෙකු නියාලූ විය යුතු නැත. ගෝඨාභයට හෝ රාජපක්ෂලාට එක දිගටම කඹුරමින් සිට, අද විවිධ නම්වලින් ඔවුන්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතත් පෙනී සිටීමට බලන වීරවංශ, ගම්මන්පිල සහ වාසුදේව ඇතුළු සියලූ දෙනා අයත් වන්නේ ඒ කාණ්ඩයටයි.
අපරාධකරුවන් ‘‘රජයේ සාක්ෂිකරුවන්’’ බවට පත්වීම
මොවුන්ගේ හිස්කම සහ අවස්ථාවාදය අවබෝධ කරගැනීමට මෑතකදී වාසුදේව නානායක්කාර පෙනී සිටි රූපවාහිනී වැඩසටහනකදී අසන්ට ලැබුණු එක් කාරණයක් දැක්වීම පමණක් සෑහේ. 17 වැනි, 18 වැනි, 19 වැනි, 20 වැනි සහ 21 වැනි ආදී ව්‍යවස්ථා සංශෝධන සියල්ලට පක්ෂව ඔහු ඡන්දය පාවිච්චි කෙළේ කෙසේදැයි මාධ්‍යවේදී කේ. ඩබ්. ජනරංජන අසන ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වන්නේ, ඒ ඒ අවස්ථාවේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ මතය සමග සිට ගත යුතුව ඇති නිසා එසේ කළ බවයි. ඒ හැරුණු කොට, එකී කාරණා පිළිබඳ ඊට වෙනස් තමන්ගේ වෙනම මතයක් ද තිබුණේලූ! මේ තරම් සාහසික සේ නිරුවත් විය හැකි දේශපාලනඥයෙකු මෙතෙක් කල් ‘වාම’ කඳවුරක් නියෝජනය කෙළේ යැයි කියන විට, දක්ෂිණාංශික කඳවුරක කෙනෙකුගේ තත්වය කෙබඳු විය හැකිද!
රාජපක්ෂලාට අමතරව මොවුන් ගැන කාලය මිඩංගු කෙළේ එක කාරණයක් අවධාරණය කිරීමටයි. අපරාධයක ප්‍රධාන විත්තිකරුවෙකු පවා රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්විය හැකිය. නඩු පවරන්නන් විසින් එවැනි අපරාධකරුවෙකු රජයේ සාක්ෂිකරුවෙකු බවට පත්කර ගන්නේ, ඊට වඩා ඉලක්කගත සහ බරපතළ වෙනත් අපරාධකරුවෙකු නීතියේ දැළට හසු කරගැනීමටයි. ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන්, අර කියන හිටපු අපරාධකරුවාට හෙවත් රජයේ සාක්ෂිකරුවාට, නිදහස හෝ දඬුවම අවම කිරීම වැනි සහන සලසා දෙනු ලැබේ. ඉහත කී, වීරවංශ, ගම්මන්පිල, වාසුදේව ආදීන් වර්තමාන දේශපාලන මොහොත තුළ රඟදක්වන්නේ මේ කියන ‘රජයේ සාක්ෂිකරුවන්ගේ’ භූමිකාවයි. (ගෝඨාභය හෝ මහින්ද හෝ බැසිල් වැනි) මහ අපරාධකරුවා පස්සේ හඹා යන පැමිණිලිකරුවා (ජනතාව) මේ පිරිස යළිත් පිළිගනිතියි ඔවුහූ සිතති. පුද්ගල අපරාධයක් පිළිබඳ නඩුවකදී කෙසේ වෙතත්, රටක් විනාශ කළ අපරාධයක් පිළිබඳ අවනඩුවකදී මෙවැනි ආකල්පයකට ජනතාව යට විය යුතු නැත. හේතුව, ඉතිහාසයේ වරක් සිදු වූ වරද නැවතත් එයාකාරයෙන්ම සිදු කරගැනීමේ හැම ඉඩක්ම එවැනි පිළිගැනීමක් තුළ ගැබ්ව තිබෙන බැවිනි.
රටක ආර්ථික විනාශය සාමාන්‍යයෙන් සිද්ධ වන්නේ සම්ප්‍රදායික ක්‍රමයටයි. උපයනවාට වඩා පරිභෝජනය කිරීමෙන් රටක් පරිහානියට පත්වීම, සම්ප්‍රදායික ක්‍රමයයි. එය සිදුවන්නේ හෙමින් ය. දීර්ඝ කාලයක් යන තෙක්, තමන් විනාශ වෙමින් සිටින බව තමන්ට දැනෙන්නේ නැත. පවුලක් උදාහරණයට ගත්තොත්, තමන්ගේ වර්තමාන යහපත සඳහා තාත්තා/අම්මා ලෝකයාට ණය වෙමින් සිටින බව සමහර දරුවන් නොදැන සිටීම දැක්විය හැකිය. එක පැත්තකින් එය දැනගැනීමේ උවමනාවක් දරුවන්ට නැත. අනිත් පැත්තෙන්, දරුවන්ට එය කියාදීමේ උවමනාවක් දෙමාපියන්ටත් නැත. අවසානයේ එක් දවසක, ගෙදර කුලියත් ගෙවා ගැනීමට නොහැකිව ගෙදරින් දොට්ට වැටෙන මොහොතේ ණයකාරයනුත් ඇවිත් දෙස්දෙවෙල් තියන විට ඛේදවාචකයේ තරම ගැන දරුවෝද යාවත්කාලීන වෙති.
රාජපක්ෂ ප්‍රතිපත්තිය: ‘‘අපි වෙනුවෙන් අපි’’
මේ සාදෘශ්‍යය අපේ පාලකයන් සහ ජනතාව ගැන කතාවට ඉඳුරා ගැලපෙන්නේ නැත. රාජපක්ෂලා උදාහරණයට ගත්තොත්, ඔවුන් අනුගමනය කෙළේ රටේ දරුවන් වෙනුවෙන් නොව, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හදාගත් ප්‍රතිපත්තියකි. මෙය සාහසික සහ අසාධාරණ විනිශ්චයකැයි කෙනෙකු කිව හැකිය. යුද්ධය ඉවරයක් කෙළේ ඔවුන් නොවේදැයි කෙනෙකු අසනු ඇත. යුද්ධය අවසන් කිරීම, ඔවුන්ගේ දරුවන්ගේ පමණක් නොව, රටේ දරුවන්ගේද භාග්‍යයට කාරණයක් නොවේදැයි තවත් කෙනෙකු අසනු ඇත. ඒ ප්‍රශ්නවලට විස්තරාත්මකව පිළිතුරු දීම වෙනම මාතෘකාවකට අපව යොමු කරවන බැවින්, පහත සඳහන් කාරණය පමණක් මෙහිදී සඳහන් කිරීම සෑහේ. ඉහත මතු කරන ලද ප්‍රශ්න සත්‍යය යැයිද, සාධාරණ යැයිද පිළිගත්තත්, යුද්ධය ජයගැනීමේ දේශපාලනික කීර්තියම, රටේ දරුවන් වෙනුවට තමන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා රාජපක්ෂලා පෙරළා පාවිච්චි කෙළේය යන්න නිෂේධ වන්නේ නැත. එසේ වන කල, යුද්ධය අවසන් කිරීම නිසා ඇත්තෙන්ම අත්විය හැකිව තිබුණු පොදු යහපත පවා, රාජපක්ෂවාදී ප්‍රතිපත්ති නිසා රටට අහිමිව ගියේය යන නිගමනයට පැමිණීම අසාධාරණ නොවේ.
අපේ වර්තමාන විනාශයේ එක පැත්තක තිබෙන්නේ, ආර්ථිකය පිළිබඳ වැරදි දෘෂ්ටිවාදයන් ය. ඒ සෑම දෘෂ්ටිවාදයක් පසුපසම ‘ජාතිකවාදී’ සෙවණැල්ල තිබේ. හොඳම උදාහරණය, කාබනික පොහොර සෙල්ලමයි. අපේ මුතුන්මිත්තන් ගොම පොහොරවලින් රට ස්වයංපෝෂිත කළ බව සමහරු කීහ. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ යාම, අපේ ස්වෛරීත්වයට හරි නැතැයි තවත් සමහරු කීහ. ඒ නිසා, ‘දේශීය විසඳුම්’ තමන්ට ඇතැයි කියමින් අජිත් නිවාඞ් කබ්රාල් වැනි අය රටම ඇන්දූහ.
මෙවැනි වැරදි දෘෂ්ටිවාද නිසා නොමඟ යාමට අමතරව රාජපක්ෂලාගේ ගතමනාව සඳහාද ආර්ථිකය විනාශ කෙරුණි. හම්බන්තොට ක්‍රීඩා පිට්ටනි, සම්මන්ත්‍රණ ශාලා සහ කොළඹ නෙළුම් කුලූනු ඒ අංශයෙන් අපට ඉතිරිව ඇති ස්මාරකයන් ය.
මෙතරම් විනාශයක් රටට අත්කර දුන් රාජපක්ෂ කඳවුර තවමත් සක්‍රීය දේශපාලනයේ නිරතයි. සමහරු ඇමති ධුර හොබවති. තවත් සමහරු ඊළඟ සැරේත් රාජපක්ෂලා බලයට පත්කරවන විදිහක් ගැන පොරොන්දම් බලති. මෙතෙක් ඒ කිසිවෙකු නීතිය ඉදිරියේ දඬුවම් ලබා නැත. මොවුන්ගෙන් සමහරෙකු වගඋත්තරකරුවන් කෙරෙන එක නඩුවක් පමණක් මේ වන විට විභාග වෙයි. අනෙක් සියල්ලෝ නිරුපද්‍රිතයි.
2014 පටන් ලංකාවේ පුරවැසියෙකු නොවන සහ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන කාන්තාවක් මේ වන විට රාජ්‍ය ඇමතිවරියක් වීම දක්වා උසස් වීමට තරම් පහසුකම් සහිත රටක් බවට පත්ව ඇති සිරිලංකාවක, ඉහත කී අපරාධකරුවන් කිසිවෙකු නීතියේ රැහැනට හසුකර ගැනෙතැයි අපේක්ෂා කිරීමට තරම් අප අඳබාල විය යුතුද! ඒත් ඉතිං අනිත් අතට කෙනෙකු මෙහෙමත් අසන්නට පුළුවනි: ඇමරිකානු පුරවැසියෙකුට ලංකාවේ ජනාධිපති විය හැකි නම් බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට ලංකාවේ රාජ්‍ය ඇමතිවරියක් විය නොහැක්කේ ඇයි?
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda