ගුරු වෘත්තීය සමිතියක් කළ ප්‍රකාශයක් තවත් සමාජ කතිකාවකට මග විවර කර ඇත. මාතෘකාව ගුරුවරියන්ගේ පාසල් ඇඳුමයි. නිල ඇදුම් නොඅඳින අනෙකුත් රාජ්‍ය සේවක සේවිකාවන්ට මෙන්ම ගුරුවරියන්ටද සුදුසු/සුවපහසු ඕනෑම ඇඳුමකින් සේවයට යාමට අයිතියක් තිබිය යුතු බව එම සංගමය පෙන්වා දෙයි. පමාවී හෝ මෙම මාතෘකාව කරළියට පැමිණීම ගැන මටනම් ඇත්තේ සතුටකි. ඕනෑම වෘත්තීය ඇඳුමක් තීරණය කළ යුත්තේ කරන රාජකාරිය අනුව මිස මුතුන් මිත්තන්ගේ සම්ප්‍රදාය මත රැඳී නොවේ. ලෝකයේ සියලුම පරිණත අධ්‍යාපන ආයතන අනුගමනය කරන මූලධර්මයද මෙයයි. ඒත් ලංකාවේ ඒ අයිතිය ඇත්තේ පිරිමි පාර්ශවයට පමණි.

පිරිමින්ට කැමති සුදුසු ඇඳුමක් ඇඳීමේ නිදහස ඇතත්, බාලාංශ පන්තියේ සිට විශ්ව විද්‍යාලය දක්වා ගුරුවරියන්ට ඒ නිදහස ලැබී නැත. මගේ වැටහීම අනුව මෙම සීමාව නීතියෙන් නොව සම්ප්‍රදාය හරහා බැඳි කඩුල්ලකි.

සංස්කෘතිය සහ සම්ප්‍රදාය, වෘත්තීයමය කාරණා සමඟ මිශ්‍ර කරගැනීමට රටක් වශයෙන් අපට ඇත්තේ සහජ හැකියාවකි. මෙම මාතෘකාව සම්බන්ධයෙන් ද එය එසේම සිදුවෙමින් පවතී. මෙම නව පියවර සංස්කෘතික තර්ජනයක් සේ දකිනා ඇතැමුන්, මේ වෙනසට සහය දුන් ගුරුවරියන්ව වාචික අපහරණයට ලක්කිරීමට තරම් සැහැසිවී තිබේ. මෙයින් පෙනෙන්නේ බොහෝ දෙනෙක් පණිවිඩය තේරුම් ගැනීමට උත්සාහ කරනවාට වෙනුවට පණිවිඩකරුවාට තඩිබෑමට යුහුසුළුවී ඇති බවයි.

මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණක් වන්නේ මෙවන් විවේචන බොහෝමයක් සිදුවී ඇත්තේ, තමන්ට අවශ්‍ය ඕනෑම ඇඳුමක් ඇඳීමට වරප්‍රසාද ඇති පිරිමින් අතින් බවයි. සාරිය වෙනුවට වෙනත් ඇඳුමක අදහසට විරුද්ධ වන්නන් ඒ සඳහා මෙතෙක් ගෙනැවිත් ඇති වඩාත් පොදු තර්කය වන්නේ සාරිය අපේ සංස්කෘතික උරුමයක් බවයි. එනම්, සාරිය ගුරුවරියන්ගේ සාම්ප්‍රදායික පාසල් ඇඳුම වී ඇති නිසා සම්ප්‍රදාය රැකගැනීම සඳහා එය වෙනස් නොකළ යුතු බවයි. තවත් ඇතැමෙක් පවසන්නේ ගුරුවරියක් පිළිබඳව අපේ මනසේ ඇඳෙන චිත්‍රය සාරියත් සමග බැඳී ඇති බැවින් එම මානසික චිත්‍රය රැකගැනීමට සාරිය වෙනස් නොකළ යුතු බවයි. ළමයෙකුට ගුරුවරියක්ගේ චිත්‍රයක් අඳින්න කිවූවිට ඔවුන් නිතරම සාරියෙන් සිටින කෙනෙක්ව අඳින නිසා, සාරිය නොවෙනස් වියයුතු බව තව සමහරුන්ගේ අදහසයි. ඇතැම් අය තර්ක කරන්නේ ගුරුවරියන් ද තම මව්වරුන් මෙන්ම සාරියකින් සැරසී සිටිනු දැකීමට ළමයින් වඩාත් කැමති බවයි. නව යෝජනාවට ඇතැම් ගුරුවරියන්ගෙන් ද විවේචන එල්ල වීම පුදුමයක් නොවේ. ගුරුවරියන් සාරිය වටා තම පෞරුෂය සහ අනන්‍යතාවය ගොඩනගාගෙන ඇති බවත්, සාරිය නොමැතිකල පාසලෙන් පිටත ගුරු අනන්‍යතාවය අහිමි වන බවත් ඔවුන්ගේ ප්‍රධාන තර්කයයි. මෙම නව පියවර ගුරුවරියන්ගේ ප්‍රතිරූපය කෙලෙසන කුමන්ත‍්‍රණයක් ලෙස හුවා දැක්වීමට පවා ගුරුවරියන් ඉතා සුළු පිරිසක් උත්සුකවී ඇති අයුරු පෙනේ.

සාරිය අපේ සම්ප්‍රදාය යැයි සිතන බොහොමයක්, එය ද සරම සහ කලිසම මෙන්ම මෑත ඉතිහාසයේදී දිවයිනට හඳුන්වා දුන් දෙයක් බව නොදන්නවා විය හැකිය. සම්ප්‍රදාය වෙනුවනේ කෑමොරදෙන බොහොමයක් නොදන්නා තවත් දෙයක් නම්, සියවස් ගණනාවකට පෙර ලංකාවේ බහුතර ජනතාව ඉණෙන් උඩට කිසිවක් නොඇඳි බවයි. සීගිරි බිතු සිතුවම්වල සිටින කාන්තාවන් අහම්බයක් නොවේ. එය නියෝජනය කරන්නේ අපේ ඉතිහාසයේ එක් වකවානුවක පැවති සම්ප්‍රදායයි. දැන් කාලයේ කුඩා දරුවෙක් චිත්‍රයට නගනා පොලිස් කොස්තාපල් කෙනෙක් දිග කලිසමකින් සැරසී ඉන්න එකම හේතුව අවුරුදු පනහකට පමණ පෙර කොස්තාපල් ඇදුම කොට කලිසමෙන් දිග කළිසමට මාරු වීමයි. මින් දෙන පණිවිඩය නම් එක් පරම්පරාවක මතකයන් හෝ ඇඳුම් ඉදිරි පරම්පරාවට ඒ ආකාරයෙන්ම ආරෝපණය කිරීම ප්‍රායෝගික නොවන බවයි. ගුරුවරියගේ සාරිය තුලින් දරුවන් තම මව දකිනා බව කියන සමහරු, සිය කැමැත්තෙන් හෝ ආර්ථික හේතු මත සාරි නොඅඳින මව්වරු ඕනෑ තරම් ලංකාවේ සිටින බව පහසුවෙන් අමතක කරති. සාරිය හරහා තම අනන්‍යතාවය සහ පෞරුෂය ලබා ගැනීම ගැන තර්ක කරන ගුරුවරියන් එම වෘත්තියේ තවමත් සිටීම කණගාටුවට කරුණකි. ‌මෙවන් පුහු තර්ක වෙනුවෙන් කලය මිඩංගු කිරීමත් අපරාධයකි. ලොව පුරා දේවල් සිදුවන ආකාරය ගැන මදක් හෝ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට ඉහත කරුණු සියල්ල විකාරයක් සේ පෙනෙනු ඇත. කෙසේ වෙතත්, මෙවන් අදහස් සැහැල්ලුවට ගත නොහැක්කේ, ඒවාට අභියෝග නොකරන විට මෙවන් හණමිටි අදහස් තව තවත් සමාජගතවන බැවිනි.

ගුරුවරියන් වඩාත් පහසු පාසල් ඇඳුමක් ඉල්ලා සිටීමට මෙතරම්ම ප්‍රතිරෝධයක් පැනනැගී ඇත්තේ ඇයි? පදනම් විරහිත තර්ක පවා ඉදිරිපත් කරමින් පාසලේ සාරියට පවතින තත්ත්වය ආරක්ෂා කිරීමට බොහෝ දෙනා පෙළ ගැසී සිටින්නේ ඇයි? මට නම් පෙනෙන්නේ මෙය සාරියට ඇති කැමැත්තට වඩා, “වෙනස් වීම” යන සාධකයට ඇති බිය නිසා ඇතිවූ තත්වයකි. මිනිසුන් වශයෙන් අපසැම වෙනස්වීම කෙරෙහි ස්වාවිකවම දක්වන්නේ සතුරු හැඟීමකි. අපගේ පුරුදු පුහුණු සුවපහසු කලාපය අහිමි වීමේ සැකසංකා දකින මොහොතේදීම, ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම, අර කවුදෝ කිව්වා වගේ අපේ මනුස්ස ස්වභාවයයි. කෙසේ නමුත්, අපගේ පෞද්ගලික ජීවිතවල හෝ රටක හෝ ප්‍රගතියක් ලබා ගැනීම රැඳී ඇත්තේ, වෙනස් වීමට ඇති මෙම බියෙන් මිදීම මතයි.

රටක් ලෙස අපි අපේ නිදහස් අධ්‍යාපන සම්ප්‍රදාය ගැන අද බොහෝ සතුටු වූවත්, 1945 නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරන විට ආචාර්ය කන්නන්ගර මහතාට මුහුණ දීමට සිදු වූයේ එසේ මෙසේ ප්‍රතිරෝධයකට නොවේ. ඉතිහාස පොතේ සඳහන් වන පරිදි, වෙනත් ප්‍රකට (පසු කලක අගමැති වූ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආචාර්ය කන්නන්ගර මහතාට එවකට පැවසූයේ “මේ මෝඩ පනත නිසා තව ටික දවසකින් අපිට පොල් කඩන එකෙක්වත් හොයාගන්න බැරි වේවි” යනුවෙනි. නමුත් මෙම පනතට පින්සිදු වන්නට අදවන විට ලංකාවේ අධ්‍යාපනය (යම්යම් අඩුපාඩු සහිතව වූවද) වරප්‍රසාදයක් නොව අයිතියක් බවට තහවුරුවී ඇත. 1931 දී, සර්වජන ඡන්ද බලය (ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම වැඩිහිටියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය) හඳුන්වා දුන් ප්‍රථම ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් වීම මීට තවත් සමාන උදාහරණයකි. එතෙක් පැවති ඊනියා සම්ප්‍රදායට අනුව ඡන්ද අයිතිය හිමිව තිබුණේ උගත්, ඉඩම් හිමි, පිරිමින්ගෙන් සුළුතර පිරිසකට පමණි. 1931දී සිදුවූයේ පැරණි සම්ප්‍රදාය බිඳ දමා ඊට වඩා හොඳ සම්ප්‍රදායකට මාරුවීමකි. නිදහස් අධ්‍යාපන පනතේදී මෙන්ම, සර්වජන ඡන්දබල ක්‍රමයට ද, එයින් තර්ජනයට ලක් ප්‍රභූ පැලැන්තියෙන් ප්‍රමාණවත් විවේචන ලැබී තිබිණි. මින් පැහැදිලිවම ඉස්මතුවන කාරණය නම් සම්ප්‍රදායන් යනූ ගලේ කෙටූ දෙයක් නොවන බවයි. නමුත් දශක නවයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති බවට උදම් අනීමට දැන් හැකිවී ඇත්තේ ඉතිහාසයේ සිදුවූ මෙම සම්ප්‍රදාය මාරුව නිසා බව බොහෝ දෙනෙක් පහසුවෙන්ම අමතක කර ඇත. මින් තහවුරු කරන්නේ සම්ප්‍රදායන්ද ප්‍රගතිශීලී වෙනස්කම්වලට භාජනය විය යුතු බවයි. අපේ මුතුන් මිත්තන් ඔවුන්ගේ ජීවිතවලට ධනාත්මක වෙනස්කම් එකතු නොකලානම්, අපි තවමත් ගල්ගුහාවල නිරුවතින් ජීවත් වන තවත් එක් සත්ව විශේෂයක් පමණක් වන්නෙමු.

ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ දැනට තිබෙන්නාවූ බොහෝ විශාල අඩුපාඩුකම් සමඟ සසඳන විට, ඇඳුම ලිහිල් කිරීමේ යෝජනාව සාපේක්ෂව කුඩා පියවරක් බව ඇත්තකි. නමුත් මේ ආකාරයේ කුඩා පියවරකදී පෙන්නුම් කරන සමාජ මතය, ජාතියක් ලෙස ඉදිරියට යාමට අප සූදානම් දැයි නිරූපනය වන වැදගත් නිර්ණායකයකි.

එමෙන්ම මෙම මාතෘකාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සමාජ අවබෝධය මනිනා පරීක්ෂණයකි. තමන් කැමති පහසු ඇඳුමක් ඇඳීමේ අයිතිය නිරායාසයෙන් ලබී ඇත්තේ පිරිමින්ට (ගුරුවරුන්ට) පමණි. ගැහැණුන් ඇඳිය ​​යුතු දේ ගැන තවමත් තීරණය කරන්නේ කළිසමක් අඳිනා ඇමැතිවරයෙක් විසිනි. අපි මේවන විට විසිඑක්වන සියවස තුලත් වසර විසි දෙකක් ගතකල ඇති නමුත්, මෙම මාතෘකාව පිළිබඳ මාධ්‍යවල හුවමාරු වූ සමහර අදහස් දකින විට මට දැනෙන්නේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් මනසෙන් තවමත් දහනව වන සියවසේ ජීවත් වන බවයි. නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්නට රටේ සාක්ෂරතා අනුපාතය ඉහළ ගොස් ඇතත් ලෝකය ගැන දැනුමත් විවේචනාත්මක චින්තන හැකියාවත් තවමත් ඇත්තේ සියවසක් පසුපසිනි.


මහාචාර්ය හිරෝෂාන් හෙට්ටිආරච්චි
| Prof; Hiroshan Hettiarachchi

සටහන: මෙම ලිපියේ මුල් ඉංග්‍රීසි පිටපත 2022 නොවැම්බර් 30 වන දින groundviews.org වෙබ් අඩවිය මගින් පළකරන ලදී (https://groundviews.org/2022/11/30/love-for-saree-or-fear-of-change/)