iMage: economynext
ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා මෙවර තරගාවලිය නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව බිලියන 3.6 කැයි ගණන් බලා තිබේ. එය වත්මන් ලෝක ජනගහනයෙන් බාගයකට ආසන්න සංඛ්‍යාවකි. ලෝකය පුරා සුසමාදර්ශී වෙනසක් සටහන් කිරීම සඳහා පාදක කරගත හැකි අගනා වේදිකාවක් එතැන තිබේ. ඒ නිසා, ‘ෆීෆා’ සංවිධානය මෙවර තරගාවලියේ තේමාව කරගත්තේ, ‘‘සැමට අධ්‍යාපනය’’ යන්නයි. ඒ බව ලියැවුණු බාහු-පටි, තරගාවලියේ පාර්ශ්වකරුවෝ පැලඳ සිටියහ.
මෙවැනි තේමාවක් ඔවුන් තෝරාගත්තේ ඇයි? මුලින්ම, අධ්‍යාපනය යනු මූලික මානව හිමිකමක් බව ලෝකයාට අවධාරණය කළ යුතුව තිබුණු බැවිනි. ඒ ඇයි? මෙතරම් දියුණු ලෝකයක පවා තවමත් ළමයින් මිලියන 244 ක් මූලික පාසල් අධ්‍යාපනයෙන් වියුක්තව සිටිති. වයස අවුරුදු 10 ළමුන්ගෙන් සියයට 70 කට, භාෂාවක සරල ෙඡ්දයක් කියවා තේරුම් ගැනීමේ හැකියාව නැත.
‘සැමට අධ්‍යාපනය’ සැපයීමට රටක නොදියුණුව බාධාවක් විය හැකිය. එහෙත් රටක දියුණුව තිබුණු පමණින් සැමට අධ්‍යාපනය සැපයෙතැයි නිගමනය කිරීමත් කළ නොහේ. වැදගත් වන්නේ, අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් තුළ සැපයෙන ප්‍රමුඛතාවයේ තරමයි. අකුරු කියැවීමේ/ලිවීමේ හැකියාව (සාක්ෂරතාව) අතින් ලංකාව වෙනත් බොහෝ ආසියාතික රටවලට වඩා ඉදිරියෙන් සිටී. එහෙත් අධ්‍යාපනය යන පුළුල් පරාසයේදී ඒ කියන ‘දියුණුව’ (අකුරු කියැවීමේ/ලිවීමේ හැකියාව), නූතන ලෝකයට ගැලපෙන භෞතික සහ ශාස්ත්‍රාලීය සැබෑ විද්‍යාර්ථීත්වයක් සඳහා සමානුපාතිකව දායක වී නොතිබීම උදාහරණයට ගත හැකිය. අප සිටින්නේ, අධ්‍යාපනයට වඩා ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ‘රණකාමී’ රටක් වශයෙනි.
මෙවර ලෝක පාපන්දු කුසලාන තරගාවලිය නැරඹීමේදී මට සිතුණු එක කාරණයක් ගැන පැවසීම, ඉහත කී කරුණ අවධාරණය කිරීම සඳහා වැදගත් ය. ක්‍රොඒෂියාව මෙවර අවසන් පූර්ව වටයට තේරී සිටියේය. ගිය වර, එනම් 2018 දී ප්‍රංශය සමග පැවති අවසන් වටයේ තරගයේ ප්‍රතිමල්ලවයා වූයේද ඒ රටයි. ක්‍රොඒෂියාව භූමි ප්‍රමාණයෙන් ලංකාවට වඩා කුඩා ය. මෙවර තරගයට සහභාගී වූ රටවල් අතරින් භූමි ප්‍රමාණයේ කුඩා බවෙන් එය දෙවැනි වුණේ නෙදර්ලන්තයට පමණි. ක්‍රොඒෂියාවේ ජනගහනය මිලියන 4 කි. එනම්, ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකකටත් අඩුයි. ඒ අතින්, මෙවර තරගාවලියට සහභාගී වූ රටවල් අතරින් ජනගහනයේ කුඩා බවෙන් එය දෙවැනි වුණේ උරුගුවේ රටට පමණි. එරටේ නූතන බිහිවීම, 1991 තරම් ඉතා මෑතක ය. එතරම් අලුත් රටක්, එතරම් සුළු ජනගහනයකින් මෙතරම් දක්ෂ කණ්ඩායමක් බිහි කරගැනීම පසුපස ඇත්තේ, ජාතික වශයෙන් ඊට ලැබෙන ප්‍රමුඛත්වය සහ වැදගත්කම නිසා විය හැකි යැයි මගේ සිත කීවේය. ඒ අතින් ගත් විට, ලංකාවේ (කුඩම්මාගේ) පාපන්දු ක්‍රීඩාව සහ ලංකාවේ අධ්‍යාපනයේ පිරිහීම අතර සමානත්වයක් ඇතැයි මට සිතුණි.
ඒකාධිකාරය කොයි දේටත් නරකයි
අධ්‍යාපනයේ ඒකාධිකාරය රාජ්‍යයක් සතු වන විට මේ තත්වය තවත් නරක අතට හැරෙයි. ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සැමට සැපයීමට නොදියුණු රාජ්‍යයක් පවා සමත් විය හැකි වෙතත්, උසස් අධ්‍යාපනය සැමට සැපයීම රජයකට එසේ තනියෙන් කළ හැකි දෙයක් නොවේ. (උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ‘‘සැමට’’ යනුවෙන් අදහස් වන්නේ, ‘‘සුදුසුකම්ලාභී’’ සැමට යන්නයි). අධ්‍යාපනය ‘උසස්’ වන විට බරපැනත් අධික වෙයි. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය පාසල් ගුරුවරයෙකු නිර්මාණය කරගැනීම වෙනුවෙන් රටක් දැරිය යුතු වියදමට වැඩි වියදමක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු නිර්මාණය කරගැනීම සඳහා දැරිය යුතුය. කලා අංශයේ උපාධිධාරියෙකු නිර්මාණය කරගැනීමට වැඩි වියදමක් වෛද්‍යවරයෙකු හෝ විද්‍යාඥයෙකු නිර්මාණය කරගැනීම සඳහා වැය වෙයි. එසේ තිබියදී, රජයක් විසින් පමණක් ඒ කාර්ය කළ යුතුව ඇතැයි විශ්වාස කිරීම අහේතුක ය. උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අධ්‍යාපනයේ අවශ්‍යතාව සහ වැදගත්කම සටහන් වන තැන මෙතැනයි.
මේ වසරේ අපොස උසස් පෙළ සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 160,000 කි. එහෙත්, පවතින පහසුකම් යටතේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගත හැක්කේ 40,000 ක් පමණි. එනම්, උසස් පෙළ සමත් සිසුන්ගෙන් 4 න් 3 කට විශ්ව විද්‍යාලයේ දොර වැසෙයි. එය, රාජ්‍යයේ දුගී බව සහ ජාතික ප්‍රමුඛතා අනුපිළිවෙලේ අපිළිවෙල නිසා ඇති වන තත්වයකි. දැන්, රාජ්‍ය අංශය විසින් පමණක්ම උසස් අධ්‍යාපනය සැපයිය යුතුව ඇතැයි කරන ඉල්ලීමට කන්දී, ආණ්ඩුව විශ්ව විද්‍යාල සංඛ්‍යාව වැඩි කළොත් සිදුවන්නේ කුමක්ද? උසස් අධ්‍යාපනයේ අද පවතින මට්ටමත් තවත් පහළට වැටීමයි. එවැනි තත්වයක් තුළ, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ප්‍රතිපත්තියක් වශයෙන් විරෝධය පෑම, සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අධ්‍යාපනයේ නිදහසට ජනතාවකට ඇති අයිතියට එරෙහිව විරෝධය පෑමක් වන්නේය.
මෙවැනි තත්වයක් තුළ, උසස් අධ්‍යාපනයේ රාජ්‍ය ඒකාධිකාරයක් පමණක් නොව, උසස් අධ්‍යාපනික ශිෂ්‍ය ප්‍රජාවගේ මහන්තත්වයේ ඒකාධිකාරී මනෝභාවයක්ද නිර්මාණය කෙරෙන බව, වර්තමාන ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ චර්යාව දෙස බැලීමේදී පෙනී යයි. රටේ කුදුමහත් සෑම කටයුත්තකම අවසන් තීරකයා තමන් විය යුතු බවට උද්ධච්ඡ හැඟීමක් මොවුන් තුළ ඇති බවක් පෙනෙන්ට තිබේ. ඕනෑ දෙයට මෙන්ම එපා දෙයටත් ඔවුහූ ඇසිල්ලෙන් පාරට බසිති. රටේ නැති නීති, විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කිරීමට ශුද්ධ වූ බලයක් තමන්ට ඇතැයි ඔවුහූ සිතති. (ගැහැනු ළමුන් ඩෙනිම් කලිසම් ඇඳීම නොහොබිනා බවට වරක් මේ මුල්ලාවරු තීරණය කළහ).
නවක වදය තවදුරටත් නවක නැත
වර්තමාන සරසවි ශිෂ්‍ය ප්‍රජාවේ අමානුෂිකත්වය පෙන්වන හොඳම කැඩපත නවක වදයයි. දැන් කාලයක් තිස්සේ නවක වදය නතර කිරීමේ විවිධ උත්සාහයන් ගනිමින් තිබෙන බවක් වාර්තා විය. සීමාව ඉක්මවා ම්ලේච්ඡත්වයේ ප්‍රපංචයක් වීම දක්වා නවක වදය වර්ධනය වීම ගැන සමාජ සංවාදය ආරම්භ වී දැන් දශක ගණනාවක් ගත වී තිබේ. එහෙත්, ඒ ශාපයේ අවසානයක් පේනතෙක් මානයේවත් නැත.
නවක වදය විවිධ කාලවල විවිධ අර්ථ ගත්තේය. මීට දශක කිහිපයකට පෙර ඒ සිරිත පවත්වාගෙන එතැයි කියැවුණේ, අලුතෙන් එන ශිෂ්‍යයන් සහ පරණ ශිෂ්‍යයන් අතරේ සහෝදර හැඳිනීමක් ඇති කරගැනීම අරමුණු කරගෙන ය. ඉන්පසු, මේ නවක වදය, දේශපාලනික හස්තයක් වශයෙන් පාවිච්චි කෙරෙන්නට විය. එනම්, අලුතෙන් එන ශිෂ්‍යයන් පැරැන්නන්ගේ දෘෂ්ටිවාදී දේශපාලනයට නම්මවා ගැනීම සඳහා එය පාවිච්චි විය. අලූතෙන් එන ආගන්තුකයන්ට පැරැන්නන් හඳුනාගැනීම සඳහා ලැබෙන අවස්ථාවක් වශයෙන් නවක වදය පාවිච්චි විණැයි කියන කතාව අප පිළිගන්නේ නම්, එම නවක වදයේ ස්වරූපය විසින් ඒ බව ඔප්පු කළ යුතුව තිබේ. එනම්, නවක වදය තුළ සහෝදරාත්මක ස්වරූපයක් තිබිය යුතුය. එකිනෙකා සහෝදරත්වයෙන් හඳුනාගැනීම පහසු කරවන බැම්මක් ඒ මගින් ගොඩනැඟිය යුතුය. එහෙත් එවැන්නක් නම් කිසි තැනක පෙනෙන්ට නැත. ඒ වෙනුවට, මේ තිරිසන් පුරුද්ද, වර්තමාන නවකයන් විසින් ඊළඟ අවුරුද්දේ එන නවකයන් කෙරෙහි මහත් අහ්ලාදයෙන් භාවිත කරනු ලැබේ.
පසුගිය දිනෙක ඉංග්‍රීසි මාධ්‍යයක වාර්තා කර තිබුණු පරිදි, පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයන් පිරිසක් නවක වදය පැනවීම සඳහාම වෙනම නිවසක් මීට කලකට ඉහතදී ගලහ පාරෙන් කුලියට ගෙන තිබී ඇත. ඒ, නවක සිසුන් නිරුවත් කොට, අප්‍රසිද්ධියේ ලිංගික වදයට පත්කිරීම සඳහා ය. එම මාධ්‍ය වාර්තාවම දක්වන පරිදි, 1975 සිට නවක වදය නිසා ජීවිතක්ෂයට පත්වීම් සහ සියදිවි නසාගැනීම් රාශියක් වාර්තා වී තිබේ. ඒ අතරින්, රූපා රත්නසීලී නමැති පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යාව 1975 දී නවක වදය නිසා සියදිවි නසාගැනීමට තැත් කිරීම හේතුවෙන් ඇති වූ ආබාධිත තත්වය දරාගත නොහැකිව 2002 දී සියදිවි නසාගත්තාය. නවක වදයට විරුද්ධව 2002 දී ප්‍රසිද්ධියේ පෙනී සිටි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ඒ ‘වරදට’ අනිත් ශිෂ්‍යයන් අතින් මැරුම් කෑවේය.
2018 දී, එවක උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ පෙන්වා දී ඇති පරිදි, ඊට කලින් අවුරුදු දෙකේ පමණක්, නවක වදය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර ගිය ශිෂ්‍ය සංඛ්‍යාව 2000 කට ආසන්නලූ. ඊට වසරකට පසු උසස් අධ්‍යාපන ඇමති වශයෙන් සිටි රවුෆ් හකීම් එදා පෙන්වා දී ඇති පරිදි, ඒ වසරේදී විශ්ව විද්‍යාල සිසුන් 1800 ක් නවක වදය නිසා විශ්ව විද්‍යාල අතහැර ගොස් තිබේ.
පෞද්ගලික විශ්ව විද්‍යාලවල නවක වදය නැත්තේ ඇයි?
රජයේ විශ්ව විද්‍යාලවල, විශේෂයෙන් එම විශ්ව විද්‍යාලයන්හි මානව ශාස්ත්‍ර පීඨයන්හි වැඩියෙන් දක්නට ලැබෙන මේ තිරිසන් නවක වදය සහ ප්‍රචණ්ඩකාරීත්වය කිසි පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් මෙතෙක් වාර්තා වී නැත. එක පැත්තකින්, පෞද්ගලික විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය ප්‍රජාව සහ අධ්‍යාපනය අතර ඇති භෞතික (මූල්‍ය) බැඳීම විසින් අධ්‍යාපනය පමණක් උත්තුංග කොට සැලකීමට පෙළඹවීමක් ඇති කෙරේ. අනිත් පැත්තෙන්, රාජ්‍ය විශ්ව විද්‍යාලයක සැපයෙන අධ්‍යාපනයට නිශ්චිත මිලක් හෝ ඇඟට දැනෙන විශාල වියදමක් හෝ නැති නිසා, ස්වභාවයෙන්ම ඒ අධ්‍යාපනයේ මූර්ත වටිනාකම ශිෂ්‍ය සිත්සතන්වලින් විතැන් වන්නේය. ඒ වෙනුවට, තාරුණ්‍යයට ආකර්ශණීය වන අරගලකාරීත්වය සහ ප්‍රචණ්ඩත්වය එම සන්තානයන් තුළ ආදේශ වෙනවා විය හැකිය. විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු අනාගතය ගැන අපේක්ෂා දල්වා ගැනීමට ඇති නොහැකියාව සහ ලැබෙන උපාධියට සමාජ වටිනාකමක් නැතැයි යන ලැජ්ජාව ආදිය ඒ මනෝභාවය පෝෂණය කරයි. එය, ඉතා සංකීර්ණ සමාජ ගැටළුවක් බව ඇත්ත. එහෙත්, එකී අතෘප්තිය, ම්ලේච්ඡත්වයට සැපයෙන ලැයිසමක් නොවේ.
පසුගිය සතියේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකුගේ නිවසට කඩාවැදී ඔහුටත් ඔහුගේ පුතාටත් ශිෂ්‍යයන් පිරිසක් විසින් පහරදීමේ සහ ඔවුන්ගේ නිවසට අලාභහානී කිරීමේ සිද්ධියක් වාර්තා විය. සිද්ධියට පාදක වී ඇත්තේ, උපකුලපතිවරයාගේ පුතා බීමත්ව පැදවූ වාහනයට ශිෂ්‍යයෙකුගේ බයිසිකලයක් හැපීම සහ ඒ ආශ්‍රයෙන් ඇති වූ බහින්බස් වීමක් ය. බීමත්ව වාහනයක් පදවා අනතුරක් සිදු කිරීම සහ (ශිෂ්‍යයන් කියන පරිදි) තමාගේ ලොකුකම් ගැන උපකුලපති පුතා කතා කිරීම යන වැරදි, ඔවුන්ට පහරදීමට සහ ඔවුන්ගේ නිවසට අලාභහානි කිරීමට ශිෂ්‍යයන්ට අයිතියක් පවරන්නේ කුමන නීතියක් යටතේද? අනතුර සිදුකිරීම සහ උපකුලපති පුතා වහසිබස් දෙඞීම පැත්තකින් තියන්න: අප මේ කතා කරන්නේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය පිරිසක් සහ උසස් අධ්‍යාපනික ශාස්ත්‍රාලීය ගුරුවරයෙකු ගැන ය. විශ්ව විද්‍යාලයක නොව, සාමාන්‍ය පාසලක වුව, ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයෙකුට පහරදෙයි නම් එතැනින් එහා අධ්‍යාපනය කියා දෙයක් ඉතිරි විය නොහැක. උසස් අධ්‍යාපනයක් තුළ ඇත්තේ පහත් බවක් නම් එය විකෘතියකි.
බීමත්ව සිටි ධනවත් පුද්ගලයෙකු පදවාගෙන ගිය සුඛෝපභෝගී වාහනයක්, ත්‍රීවීලරයක් යට කොට එහි රියැදුරා මරණයට පත්කළ සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය. මෙය සිදුව ඇත්තේ කොල්ලූපිටිය ප්‍රදේශයේදී උදේ පාන්දරක ය. ධනවත් වාහන හිමියා පලාගොස් ඇත. කෙසේ වෙතත්, ධනවතාගේ වාහනයේ ගමන් ගත් වෙනත් කාන්තාවක්, ප්‍රකෝපයට පත් අවට සිටි පිරිසකගේ ප්‍රහාරයට ලක් වී ඇත. ඒ ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, ඒ වෙලාවේ පාර අමදිමින් සිටි කොළඹ නගර සභාවේ පවිත්‍රතා සේවිකාවකි. ඇය කිසි දවසක විශ්ව විද්‍යාලයක් අහලකටවත් ගොස් නැතිවාට සැකයක් නැත. ඇගේ ප්‍රචණ්ඩ චර්යාව, පිළිගත් සමාජ සම්මත මිම්මෙන් ගත් විට, ඇගේ අධ්‍යාපනයට සපුරා නොගැලපෙන්නක් නොවේ. එහෙත්, ඇගේ වෘත්තියට යම් දවසක තමන්ද පත්වීමෙන් වැළැකී සිටීම සඳහා උසස් අධ්‍යාපනය තෝරාගෙන සරසවියට පිවිස, එම සරසවියේම තමන්ට ශිල්ප ලබා දුන් මහාචාර්යවරයෙකුට පහරදුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මහත්තුරු, අර පාර අමදින පවිත‍්‍රතා සේවිකාවට වඩා එක දශමයකින්වත් ප්‍රබුද්ධ ද?
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda