කුඩා කල මට මතක ඇති පළමු නිදහස් දින සැමරුම වන්නේ 1984යි. තවමත් එය මගේ මතකයේ ඇත්තේ මගේ උපන් ගම වන කළුතර එම සැමරුම් උත්සවය පැවැත්වූ බැවිනි. කාලයේ හැටියට එය මහා බැරෑරුම් උත්සවයකි. කටුකුරුන්ද ගුවන් ධාවන පථයේ පැවති ආචාර පෙළපාලියට, ත්‍රිවිධ හමුදාවන්ට අමතරව පාසල් දරුවනුත් ඇතුලත් විය. ප්‍රදේශයේ සියලුම ප්‍රධාන පාසල්වල වැඩිහිටි දරුවන්ට උත්සවයේ පෙළපාලියට සහභාගි වීම අනිවාර්ය කර තිබුණි. මට වඩා වසර කිහිපයක් වැඩිමහල් මගේ සහෝදරයා ඇතුළු ඔහුගේ පන්ති සගයින්ට මෙම පෙළපාලි පෙරහුරුව සඳහා දින ගණනක් මහන්සි වීමට සිදු වූ නමුත් ඔවුන් කවරෙක් හෝ ඒ ගැන මැසිවිළි නගනු මට මතක නැත. උත්සව සූදානමින් මුළු නගරයේම සාමාන්‍ය කටයුතුවලට විශාල බාධා එල්ල වුවද කිසිවකු හෝ ඒ ගැන මැසිවිළි නැගුවේද නැත.
මෙවන් මහා පරිමාණ උත්සවයක අවශ්‍යතාව හෝ ඒ සඳහා වැයවන මහජන මුදල් කන්දරාව ගැන ප්‍රශ්න කිරීමට කිසිවකු උත්සුක වූයේද නැත. එකල ජීවිතය සරල විය. වෙනත් විනෝදාස්වාද ක්‍රම දුලබ වූ එවන් යුගයක, ඉඳහිට පැමිණෙන මෙවන් බාධා කිරීම්වලට වැඩිදෙනෙකුගේ අකමැත්තකට වඩා තිබුණේ ඇල්මකි. අනික් අතින් මෙම උත්සවයට පින්සිදු වන්නට, ප්‍රාදේශීය මාර්ග පිළිසකර කිරීම සහ ජාතික පුවත්පත්වවල කළුතර පිළිබඳ වාර්තා පලවීම වැනි කාලයේ හැටියට ලැබුණු දුර්ලභ ප්‍රතිලාභ නගරයට ලැබිණි.
2002-2004 කාල වකවානුවේත්, තවත් සුවිශේෂී සැමරුමක් ගැන යම් පමණක කතා බහක් ඇතිවූ බව මගේ මතකයේ තිබේ. නමුත් මේ සුවිශේෂී සැමරුම් කතා බහ ඇති වූයේ නිදහස ගැන නම් නොවේ, යටත් වීම ගැනයි. පෘතුගීසීන් ලංකාවට පැමිණ වසර 500ක් පිරීම සැමරීම සඳහා පෘතුගාලයට ආරාධනා කිරීම පිළිබඳව රජයේ මට්ටමින් යම් යම් කතා බහක් 2002-2004 කාල වකවානුවේදී ඇති විය. ඒ වන විට මම උසස් අධ්‍යාපනය සඳහා රටින් පිටව සිටි නිසා වැඩිදුර තොරතුරු සොයා ගැනීමට මට අන්තර්ජාලයේ පිහිට පැතීමට සිදු විය. මෙයට දශක දෙකකට පෙර ඩිජිටල් මාධ්‍ය තවමත් පැවතුණේ ළදරු අවධියක බැවින්, ඒ පිළිබඳ තොරතුරු සෙවීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. මට හමුවූ තොරතුරුවලට අනුව, එවැනි සැමරුමක් සඳහා හිටපු යටත් විජිත ස්වාමියෙකුට ආරාධනා කිරීමේ අදහසට ඉතා සුළු මහජන විරෝධයක් තිබුණු බව මගේ හැඟීමයි. මගේ මතකයට අනුව අවසානයේදී මහා පරිමාණයේ සැමරුමක් සිදූවුණේ නැත. සමහර විට 2004 දී ඇති වූ ආණ්ඩු පෙරළිය නිසා එම සැමරුම යටපත් වූවා විය හැක. එතැනින් තවත් දශක දෙකක් ඉදිරියට ගිය විට අපට හමුවන්නේ, ශ්‍රී ලංකාව සිය අවසන් යටත් විජිත ස්වාමියාට සමු දී 75 වැනි සංවත්සරය සනිටුහන් කරන, වර්තමානයයි. ආර්ථිකව බංකොලොත් වී, වැටුප් ගෙවීමට, මැතිවරණ පැවැත්වීමට, හෝ අත්‍යාවශ්‍ය දෑ ආනයනය කිරීමට තරම්වත් වත්කමක් නොමැති වුව ද, 75 වැනි නිදහස් දිනය උත්කර්ෂවත් ලෙසින් සැමරීමට ආණ්ඩුව සූදානම් වෙයි. එනමුත් මෙවර කැපී පෙනෙන වෙනසකට ඇත්තේ මහජන ප්‍රතිචාරයයි. මා පෙර පැහැදිලි කළ අවස්ථා මෙන් නොව, මෙම අනිසි සහ අනවශ්‍ය වියදම් සම්බන්ධයෙන් මෙවර දැඩි ජනතා විරෝධයක් මතුව ඇති බව පෙනේ.
ඉහත විස්තර කළ අතීත සහ වර්තමාන කතා තුන එකිනෙකට සම්බන්ධයක් නැති බව මතුපිටින් පෙනුන ද, ඒවා එකිනෙකට සම්බන්ධ කරන්නා වූ එක් පොදු සාධකයක් තිබේ. එම සාධකය නම් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. 1984 නිදහස් දිනය මගේ ගමට එන විට තරුණ වික්‍රමසිංහ මහතා එම උත්සවයේ සංවිධායකයෙක් විය. පාසල් ළමුන් ආචාර පෙළපාලියට රැගෙන යාමේ වගකීම, එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඔහු දැරූ අතර එම හේතුව නිසාම එම දිනවල ඔහු නිතර එම ප්‍රදේශයේ ගැවසෙනු අයුරු අපට දැකගත හැකිවිය. ඉන් දශක දෙකකට පමණ පසු, පෘතුගීසි ආගමනයට වසර 500ක් පිරීම සැමරීම සඳහා පෘතුගීසි රජයට ආරාධනා කිරීමේ අදහස ඉදිරිපත් වනවිට, රටේ අගමැති වූයේ ද ඔහුමය. අවසාන වශයෙන්, වර්තමාන විධායක ජනාධිපතිවරයා ලෙස 75 වැනි නිදහස් දිනය සැමරීමට සූදානම් වන්නේද එම වික්‍රමසිංහ මහතාමය. පුදුමය නම් ඔහුගේ සැමරුම් කාල සටහන මෙතැනින් නතර නොවීමයි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව, “නිදහසේ 100 වැනි සංවත්සරය සමරන වසර 2048 වන විට අපට පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි” ඔහු මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් පවසා ඇත.
වික්‍රමසිංහ මහතාගේ ඉහත ප්‍රකාශය හාස්‍යජනක මෙන්ම උපහාසාත්මක එකක් බව මට සිතේ. අඩ සියවසකට ආසන්න කාලයක් රටේ ප්‍රබල සහ වැදගත් දේශපාලන තනතුරු රැසක් දැරූ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකු වූ ඔහු, රට සංවර්ධනය කිරීමට තවත් වසර 25ක් ඉල්ලා සිටීම නම් නිතැතින්ම හාස්‍යජනකය. නමුත්, දේශපාලන ප්‍රභූන්ට වසර 75ක් තිස්සේ ඉතා පහසුවෙන් රැවටිය හැකි වූ සහ තව සහ තවත් වසර 25ක් යනතුරුත් නිසැකවම රැවටිය හැකි ජනකායක් ලංකාවේ සිටිනු දැකීම ඔහුට නම් උපහාසයට කරුණක් විය හැකිය. වසර ගණනාවක් තිස්සේ නිදහස් දින නාටකය මෙරට දේශපාලන ප්‍රභූන්/පංතීන් විසින් අවභාවිත කළ ඇති ආකාරය පිළිබඳව මේ ප්‍රකාශයම කදිම උදාහරණයකි.
ජනතා අවධානය දැවෙන ගැටළු වලින් වෙනතකට යොමු කිරීමට ඉතා පහසු මෙවලමක් ලෙස නිදහස් දිනය වසරින් වසර අවභාවිත වී ඇත. මෙවර 100 වැනි නිදහස් දිනයට සංවර්ධන ඉලක්ක අමුණා එක දිගට වසර 25ක් ඉල්ලමින් ජනාධිපතිවරයා එය ඊළඟ තලයකටම ගෙන ගොස් ඇති සෙයකි. අපේ දේශපාලඥයන් විසින් අනාගතයට කරන ඕනෑම ප්‍රක්ෂේපණයක් ඔවුන්ගේ පැරණි වාර්තා සමඟ තක්සේරු කළ යුතුය. 1948 දී බ්‍රිතාන්‍යයන් ඉවත්ව යන විට ශ්‍රී ලංකාව ආසියාවේ දෙවන ශක්තිමත්ම ආර්ථිකය වූ අතර දැන් එය රටවල් පනස් ගණනක ලැයිස්තුවේ 30 වැනි ස්ථානයට සිටී. ආසියාවේ ඉහළම ආර්ථිකය (ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව) දැන් සිංගප්පූරුව වන අතර 15 වැනි ස්ථානය අපගේ කුඩා අසල්වැසියා වන මාලදිවයිනට හිමිව ඇත. මෙම දූපත් රාජ්‍යයන් දෙකම ලංකාව වාගේම බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ව පැවති අතර, නිදහස ලැබුවේ අපටත් දශක දෙකකටට පමණ පසුවය . මෙම රටවල් දෙකම ලංකාවට වඩා ඉතා කුඩාය: ඒවා වටා ඇති සාගරය හැර වෙනත් ස්වාභාවික සම්පත් වචනාර්ථයෙන්ම ඔවුන් සතුව නැත. නමුත් ඔවුන් සංවර්ධන හිණිපෙලේ ඉහළට නගිද්දී අපි තෝරාගෙන ඇත්තේ ප්‍රතිවිරුද්ධ දිශාවයි. තවත් වසර 25කට සංවර්ධන ඉලක්ක ලකුණු කිරීමට පෙර, පසුගිය වසර 75ට සිදුවූයේ කුමක්දැයි වික්‍රමසිංහ මහතාත් ඔහු නියෝජනය කරන දේශපාලන සංස්කෘතියත් පිළිතුරු බැඳිය යුතු නොවේද?
හමුදා පෙළපාලි සහ තුවක්කු ආචාර මගින් අවුස්සන ව්‍යාජ ජාතික අනුරාගය හෝ දේශප්‍රේමය සැබෑ ප්‍රශ්නවලින් සැඟවීමට කදිම පලිහකි. බොහෝ දෙනෙකුට නොතේරෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධිපත්‍යය වැනි ලොකු වචනවලින් ඔතා නිදහස් උත්සවය අප අතට පත්කරන විට අනවශ්‍ය ලෙස සැමරුම් පැවැත්වීමේ අවශ්‍යතාවය ගැන කිසිවකු ප්‍රශ්න කරන්නේ නැත. කෙසේ වෙතත්, අවසානයේ මෙහි බරපැන දරන්නේ රටේම ජනතාව නොවේද? “ස්වාධීනත්වයේ” නාමයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇති අනවශ්‍ය වියදම් වලට එරෙහිව මහා හඬක් ඉතිහාසයේ ප්‍රථම වතාවට දැන් ඇසේ. මගේ වැටහීම නම් මෙම විරෝධය ප්‍රධාන වශයෙන්ම රටේ දැනට පවතින දුෂ්කරතා සහ බංකොළොත් ආර්ථිකය යන කරුණු පමණක් පදනම්ව ඇතිවූ එකකි. එයට විරුද්ධ වීමට එකම හේතුව බංකොළොත් ආර්ථිකය පමණක් විය යුතුද? ස්වාධීනත්වයේ අරුත ද අප සොයා බැලිය යතු නොවේද? අවසාන වශයෙන්, එය පෙබරවාරි 04 වන දින සැමරීමට තරම්වූ ප්‍රබල හේතුවක් අප සතුව තිබේද?
ඇතැම් ඓතිහාසික හේතූන් මත රටවල් බහුතරයකට පිළිගත් “ජාතික දිනයක්” තිබුණ ද, ඒ සියල්ල නිදහස් දින ලෙස නම් කර නැත. නිදහස් දිනය යනු අප වැනි යටත් විජිත අතීතයක් ඇති රටවල ප්‍රචලිත සංකල්පයකි. මගේ මතය නම්, මිලිටරි ක්‍රියාමාර්ග හෝ වෙනත් බරපතල ප්‍රයත්නයන් මගින් යටත් විජිත පාලකයින් එළවා දමා නිදහස ලබා ගත් රටවලට, ඔවුන් වෙහෙස මහන්සි වී උපයා ගත් නිදහස සැමරීමට සාධාරණ හේතුවක් තිබේ. ඇමරිකා එක්සත් ජනපදය, ඇල්ජීරියාව සහ දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් මෙයට උදාහරණ වේ. නමුත් බොහෝ පැරණි යටත් විජිතවලට නිදහස ලබුුණේ යටත් විජිතහිමියන් විවිධ හේතූන් මත ඒවායින් ඉවත් වීමට තීරණය කළ නිසාවෙනි. නිදසුනක් වශයෙන්, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විශාල අධිරාජ්‍යයක් තිබීම තවදුරටත් ආර්ථිකමය වශයෙන් ශක්‍ය නොවන බව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තේරුම් ගත් විට, ඔවුන් තමන් සතුවූ යටත් විජිත 60 කින් පමණ ඉවත් වීමට තීරණය කළහ. ලංකාව යනු ඒ ලැයිස්තුවේ පස්වැන්නයි. 1948 දී එය සිදු වූ විට, එම විධිවිධානය පවා සිදු කෙරුණේ ඩොමීනියන් ආධිපත්‍යය යටතේයි: එනම් රාජ්‍ය නායකත්වය තවදුරටත් බ්‍රිතාන්‍ය රජ පවුළ සන්තක විය. මෙය වෙනස් වූයේ 1972 මැයි 22 වන දින ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කළ විට පමණි. අපි පෙබරවාරි 4 වෙනිදා සමරන්නේ බ්‍රිතාන්‍යයන් කැමැත්තෙන් අප හැර ගිය දිනය මිස උපයාගත් හෝ සැබෑ නිදහසක් නොවේ. රට වෙනුවෙන් අර්ථවත් ජාතික දිනයක් සෙවීමට අප උනන්දු වන්නේ නම්, ඒ සඳහා දැනට ඇති හොඳම විකල්පය වන්නේ මැයි 22යි.
මහාචාර්ය හිරෝෂන් හෙට්ටිආරච්චි
මෙම ලිපියේ මුල් ඉංග්‍රීසි පිටපත 2023 පෙබරවාරි 02 වන දින groundviews.org වෙබ් අඩවිය මගින් පළ කරන ලදී (https://groundviews.org/2023/02/02/february-4-has-it-ever-been-relevant/ )