ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම් අවධියෙන් සිටි වෙනත් ස්ථරයක් නැත. මොවුන් තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැන සදා සිත් තැවුල් වෙමින් සිටී. මෑත කාලයේදී සෑම දේශපාලන පක්ෂයක්ම කලේ මොවුන් රවටා, මොවුන්ගේ ඡන්ද වලින් බලයට පැමිණ මොවුන්ගේ අභිප්‍රායන්ට විරුද්ධව කටයුතු කිරීමයි.

ලංකාවේ පසුගිය මැතිවරණ දෙස බැලු විට මධ්‍යම පංතික සමාජ ස්ථර වල අය එක්සිත්ව යම් දේශපාලන පක්ෂයකට ඡන්දය දීමට තීරණය කලවිට එම පක්ෂ හෝ ජනාධිපති අපේක්ෂකයන් අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගත්තේය. 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංගට, 2009 වසරේදී මහින්ද රාජපක්ෂට, 2019 දී ගෝථාභය රාජපක්ෂට මෙසේ මධ්‍යම පංතිය, විශේෂයෙන්ම සිංහල බෞද්ධ මධ්‍යම පංතිය එක්සිත්ව ඡන්දය ලබා දුන්නේය. කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ මධ්‍යම පංතික ස්ථරය පැහැදිලිව පිළිබිඹු කරන මැතිවරණ කොට්ඨාශ කිහිපයක් නම් කඩුවෙල,හෝමාගම, මහරගම හා කැස්බෑවයි.

ගෝඨාභය රාජපක්ෂ හා මධ්‍යම පංතිය

මේ පිරිසේ බහුතරයේ ආකර්ෂණය දිනා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය. පෙනුමෙන් සහ ඇඳුමෙන් පැළඳුමෙන් ඔහු ලංකාවේ මධ්‍යම පංතියට අයත් වුවෙක් විය. වැඩි ආටෝපයෙන් තොර, නිහතමානී මධ්‍යම පංතික උගතෙකුගේ හැසිරීම ඔහු තුළ තිබුණි. ලංකාවේ බහුතරයකගේ සිතෙහි ඇති ජාතිය හා ආගම සුරැකීමටද ඔහුට හැකියැයි නිගමනයවූ විට ඔහුගේ සොහොයුරාටත් වඩා ඔවුන්ට සමීප ඇත්තෙක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්විය. මේ සියල්ල සමඟ පරිගණක විප්ලවයක් හා ක්‍රමවේද වෙනසක් මුසු කරගත් විට, මධ්‍යම පංතික තරුණයන්ගේ ආකර්ෂණයද ඔහුට හිමිවිය. ප්‍රතිවිරුද්ධ අපේක්ෂයා ලංකාවේ බහුතරය දුප්පත් පංතිය යැයි නිගමනය කර දුප්පතෙකු මෙන් ඇඳ පැළඳ, වේදිකාවේ ග්‍රාම්‍ය කථා කීම මධ්‍යම පංතියේ විහිළුවට ලක්විය. ගුවන්යානා පුරවා ඡන්දය ලබාදීමට ලංකාවට පැමිණියේ මධ්‍යම පන්තියට අයත් ශ්‍රී ලාංකිකයන් මිස, මැද පෙරදිග ගෘහ සේවයට ගිය දුප්පත් කාන්තාවන් නොවේ. ඡන්දය දීමට නොව, තම දරුවන් බැලීමට ලංකාවට ඒමට තරම්වත් ඔවුන්ට හැකියාවක් නැත. අවසානයේදී ප්‍රතිවාදියාට වඩා ගව් ගණනක දුරින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය.

ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ඔහු හා බැඳුනු අඳුරු බලවේග වැඩ ඇරඹිය. “වියත්මග“ නම් සීනි තැවරූ, මේ අඳුරු බලවේග සහිත ගුලියක්, ඊළඟ මහා මැතිවරණයේදී ද මධ්‍යම පංතිය ගිල්ලේය. මධ්‍යම පංතියේ ඡන්දවලින්, වියතුන්ට වඩා නුගතුන් සිටි ලැයිස්තු වලින්, මැරයන් හා හොරුන් පාර් ලිමේන්තුවට ඇතුළු විය. අවසානයේ ආණ්ඩුවේ බලය අතට ගත්තේ පවුලක් සහ ඔවුන් වටා සිටි චෞර එහෙයියන් පිරිසකි. වෙනසක් බලාපොරොත්තුවූ මධ්‍යම පංතිය තුල, තමන් රැවටීම පිළිබඳව පළමුවරට ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන වෛරයක් ඇති කරගත්තේය.

අරගලය හා මධ්‍යම පංතිය

“ගෝටා ගෝ හෝම්” නමින් 2022 මාර්තු මස ඇරඹී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලවා හැර ජුලි මස 09 වෙනි දින “අරගලය” නමින් හැඳින්වෙන ජනතා ක්‍රියාදාමයේ මුළුමනින්ම නිරතව සිටියේ මේ මධ්‍යම පංති ස්ථරයයි.

මෙම ක්‍රියාදාමයට පෙරහුරුවක් වුයේ එයට වසරකට පමණ පෙර පමණ ඇරඹී මාස කිහිපයක් ඇදෙමින් ගිය “ගුරු අරගලයයි”. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධයනය හරහා අසීමිත බලයක් කේන්ද්‍රගත කරගනිමින්, පාර් ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත්, ත්‍රිවිධ හමුදාවල සම්පුර්ණ අවනතභාවයත් හිමිව සිටි රජයක් අසරණ කරමින් ගුරු සටන ඉදිරියට ගියේය. මෙවන් බලතල තිබියදීත් දස දහස් ගණන් ගුරුවරුන් මාර්ග අවහිර කරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය වටා වාඩිලා ගනිමින්, පොලිස් ස්ථාන වටකරමින් කල සාමකාමී උද්ඝෝෂණ, තමන් සර්ව බලධාරි යැයි සිතා සිටි රජය අසරණ කළේය. රජයට, අත්අඩංගුවට ගත් ගුරු නායකයන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට සිදුවිය. අවසානයේදී ගුරු නායකයන් සමඟ සාකච්ඡා කොට එකඟතාවයකින් අවසන් කරන්නට සිදුවූ මේ ගුරු සටන සමාජ ස්ථර විග්‍රහය අනුව සම්පුර්ණයෙන්ම පහල මධ්‍යම පංතියේ නැගිටීමක් විය. මේ නැගිටීමෙන්, ජනතාව තුල රාජ්‍ය බලයට තිබු භීතිය අවසන් විය. ඉන් පසුව රසායනික පොහොර තහනම අරභයා ගොවියන් අභීතව නැගි සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති නිසා සීඝ්‍රයෙන් වලපල්ලට වැටුණු රටේ ප්‍රධාන වශයෙන්ම පීඩාවට පත්වුණේ මධ්‍යම පංතියයි. ඔවුන්ගේ ගෑස් උඳුන් නිවෙත්දී, නිවෙස් වල විදුලිය කැපෙත්දී, මෝටර් සයිකලයට, කාරයට තෙල් නොලැබෙත්දී, ගමන් යාමට ත්‍රී වීලර් නොලැබෙත්දී මෙතෙක් අපහසුවෙන් නිද්‍රාශීලිව සිටි මධ්‍යම පංතික යෝධයා අවදි විය. තමන්ගේ සිත තුල කැකෑරෙමින් පැවති, පවතින දේශපාලන හා සමාජ ක්‍රමයට විරුද්ධ සටන් පාඨ කියමින් මොවුන් මහපාරට පැමිණියේය.

අරගලයේ තරුණයෝ

ඊට පසුව ඇරඹි “ගෝටා ගෝ හෝම්” නම් ප්‍රධාන සටන් පාඨය හා බැඳුනු ක්‍රියාකාරම් වල මුලිකත්වය ගත්තේ මධ්‍යම පංතික තරුණ පිරිසයි. මේ අයගෙන් බොහොමයකට තම දෙමවුපියන්ට වඩා ඉංග්‍රීසි බස පිළිබඳ දැනුමක් ඇති අතර, අන්තර් ජාලය හරහා ලොවෙහි සිදුවන දේ ගැන එසැනයකින්ම දැන ගැනීම, එසේම සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ පණිවිඩ සීග්‍රයෙන් හුවමාරු කරගන්නා මොවුන් අතර තම දෙමවුපියන්ටත් වඩා ඒකාග්‍රතාවයකින් යුතුව වැඩ කිරීමේ හැකියාව ඇත. අරගලය තුල ජාත්‍යන්තර පාසල්වල උගත් තරුණ තරුණියන් හා මහා විද්‍යාලවල උගත් තරුණ තරුණියන් එක්ව ක්‍රියාකරනු බහුලව දැකිය හැකි විය. “ගෝඨා ගෝ ගම” ඇසින් දුටුවෙකුට මේ සංස්කෘතික සංකලනය හා ඒකාග්‍රතාවය මනාව වැටහී යනු ඇත. කුඩාරම් තුල විවිධ භාෂාවලින් දේශන පැවැත්විණි. ප්‍රශ්න අසන්නෝද තමන්ට රිසි බසකින් ප්‍රශ්න ඇසීය. එසේම මේ අලුත් පරපුර තම දෙමවුපියන්ට වඩා ලොව සමඟ එක්ව ක්‍රියා කලයුතු යැයි විශ්වාස කරන්නෝ වෙති. අලුත් තාක්ෂයණයට, අලුත් මතයන්ට මොවුන් ආකර්ෂණය වෙයි. ජාතිවාදී යුද්ධය අවසන්වී වසර 12ක් ගතවී ඇති නිසා මොවුන් තුල ජාතිවාදී හැගිම්ද අඩුය. එසේ නමුත් මොවුන් තුල ජාතික හැගීම් නොඅඩුව තිබේ.

මේ ක්‍රියාකාරිත්වය තුල ද්‍රවිඩ හින්දු සහභාගිත්වය අඩුවුයේ මන්දැයි ඇතැමුන් අසයි. මේ ගැන විවිධ මත ඇතත්, තිස් අවුරුදු යුද්ධය නිසා රට හැරගොස් සංඛ්‍යාවෙන් හා ශක්තියෙන් අඩුවූ ද්‍රවිධ මධ්‍යම පංතිය මෙයින් පිළිපිඹු වන බව මගේ හැඟීමයි. එසේ නමුත් කොළඹ නගරය ආශ්‍රිත මධ්‍යම පංතික හින්දු හා ක්‍රිස්තියානි ද්‍රවිධ තරුණයන් මේ අරගලය තුල වැදගත් කාර්ය භාරයක් කළේය.

සමාජ මාධ්‍ය තුලින් ලොව දැක ඇති මොවුන්ගේ මතයන් හැසිරවීමට සම්ප්‍රදායික මාධ්‍යන්ට නොහැකිවිය. යම් අසත්‍යයක් හෝ නොමග යැවීමක් ප්‍රතිවාදීන් කලත් දින කිහිපයක් තුළ එය හදුනාගෙන තමන් බලයෙන් පහ කිරීමට උත්සාහ කරන පුද්ගලයා හා කණ්ඩායම නිවැරදිව හඳුනාගෙන නැවත තම ඉලක්කය කරා යාමට මොවුන්ට හැකිවිය. අරගලයට බෞද්ධ විරෝධී ලේබලයක් ඇලවීමට ගත් උත්සාහය, අරගලය දෙස උද්යෝගීව බලා සිටි සිංහල බෞද්ධ මධ්‍යම පංතික ස්ථරය භාර ගත්තේ නැත. සියලු ආගමික යතිවරුන්ද අරගලයට එක්විය. අවසානයේදී “ගෝටා ගෝ හෝම්” විය. දැන් ඒ පුද්ගලයා, ඔහුගේ පවුල හා කණ්ඩායම ඍජුව බලය හැසිරවිය හැකි තැන්වල නැත.

එසේ වුවත්, අරගලය අවසානයේදී තමන්ගේ සිතෙහි තිබු “වෙනස” සිදුනොවුණු නිසා දැන් මේ මධ්‍යම පන්තිය ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. මං පැහැරූ හොරුන්ට දඬුවම් ලැබී නැත. ගෑස්, තෙල්, විදුලිය ලැබුණත් බඩු මිල සීඝ්‍රයෙන් ඉහල යයි. රටේ අනාගතය අවිනිශ්චිතය. දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටී ඇත. ලෙඩට-දුකට බෙහෙත් නැත. ඇතත් මිල වැඩිය. රට බංකොලොත් වීම නිසා සිදුවී ඇත්තේ ලංකාවේ මධ්‍යම පංතිය, මධ්‍යම පංතික සිතුම් පැතුම් එලෙසම තිබියදීම දුප්පත් වීමයි. මෙය එවුන්ගේ අසහනය තවත් වැඩි කරයි. මේ නිසා මොවුන්ගෙන් සමහරු රට අත්හැර යාමට උත්සාහ ගනියි. මේ සියල්ලන්ට රට හැර යා නොහැකිය. එනිසා මොවුන් ඉල්ලන “වෙනස” නොලැබුණහොත් හා මොවුන්ගේ අපහසුතාවයන් වැඩිවුවහොත් දැනට තාවකාලික නිද්‍රාවක වැටී සිටින මේ මධ්‍යම පංතික යෝධයා නැවත නැගිටිනු ඇත.

දේශපාලන සංදර්ශන

අද බොහෝ දේශපාලන පක්ෂ පවත්වනු ලබන රැලිවල, උද්ඝෝෂණවල දක්නට ලැබෙනුයේ බත් පැකට් එකකට, කුඩු පැකට් එකකට යමෙකු විසින් සපයන බස් රියකින් නගරයකටවිත් බීමත්ව නටන පිරිසකි. එසේත් නැත්නම් දේශපාලඥයන්ට වැඳ වැටෙන ඝෝෂාකාරී පිරිසකි. එසේම මැතිවරණ දිනීමට නම් වැසිකිලි පෝච්චි, ටකරන්, උළු, පරිප්පු හා කරවල පැකට් බෙදිය යුතු යැයි හැඟීමක් බොහෝ දෙනා තුළ ඇත. මෙවැනි බාල ගණයේ ක්‍රියාවලට මහා ප්‍රසිද්ධියක්ද ලැබේ. මේ සම්ප්‍රදාය කලක් තිස්සේ ලංකාවේ තිබුණු නිසා, ලංකාවේ දේශපාලනයේ දිශානතිය වෙනස් කරන්නේ මේවා ලබාගන්නා දුප්පතුන් පිරිස යැයි හැඟීමක් මධ්‍යම පංතිකයන් හා දේශපාලඥයන් තුල පවතී. දේශපාලන සංදර්ශනයන්හි පෙනී සිටීමෙන් ඔබ්බට ගිය දේශපාලන වෙනසක් කිරීමට ලංකාවේ ජනගනයෙන් 10% -15% ක් වන, මේ දුප්පතුන්ට නොහැකි බව පැහැදිලිය.

මේ තත්ත්වය හොඳින් තේරුම්ගත් ඇතැම් දේශපාලන ශුරයන් කරන්නේ දැන් කරන්නේ මධ්‍යම පංතියට සුදුසු වැඩපිළිවෙලක් හා මුහුණක් පෙන්වා ඒ සුවිශාල ඡන්ද ප්‍රමාණය තම ගොඩට දා ගැනීමයි. හාල් පොත, හඳෙන් හාල්, ඇට අට වැනි දුප්පතුන්ගේ සටන් පාඨ හැත්තෑවේ දශකයට පෙර ප්‍රධාන මැතිවරණ සටන් පාඨ වෙත්දී, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවර, දුෂණය භිෂණය නැවත්වීම, රට රැකීම යහපාලනය, ජාතික ආරක්ෂාව වැනි ක්‍රමවේද වෙනස වැනි මධ්‍යම පංතික සටන්පාඨ පසුකලක ප්‍රධාන මැතිවරණ සටන් පාඨ විය. මෙයට හේතුව, පසුකලක මධ්‍යම පංතියේ සංඛ්‍යාව වැඩිවීම විය හැක. ඒ සමඟම මේ කපටියන් දේශපාලන සංදර්ශන පෙන්වා, මේ රටේ නුගතුන් හා දුප්පතුන් තමන් බලයට කරන බව මධ්‍යම පන්තියට ඒත්තු ගැන්වීමද සිදු කරයි. “මේ වගේ අය නැතුව ඡන්ද කරන්න බෑ” යන මතය ලංකාවේ බහුතරයකගේ මනසට ඇතුළු කිරීමට මේ දේශපාලන කපටියන් සමත්වී ඇත. ඉන් අනතුරුව ඔවුන් කරන්නේ තමන්ට මෙල්ල කරගත හැකි, තමන් මෙන් දුෂණයට හා නාස්තියට බර නුගතුන් පිරිසක් මධ්‍යම පංතියේ ඡන්දයෙන් පාර්මේන්තුවට පත්කර ගැනීමයි.

ගොඩබිම ලොකුම සතාවන අලියා මැවූ දෙවියන්, ඔහුට ලොකු කන් දෙකක්ද ලබාදීම පිළිබඳ අපුරු කතාවක් තිබේ. මේ විශාල කන්දෙක නිසා තම ශරීරයේ විශාලත්වය නොදැකිය හැකි අලියා සිතත්නේ තමන් කුඩා සතෙකු බවයි. ඒ නිසා ඔහු වැඩි කලබලයකින් තොරව ජීවත්වෙයි.

මේ අලි කතාව සේම තමන් චන්දය දී බලයට පත් කලද, ලංකාවේ මධ්‍යම පංතිය දැන් විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ ලංකාවේ නුගත්, දුගී ජනතාවගේ ඡන්දයෙන් බවයි. හැට නම ලක්ෂයෙන් බහුතරයක් තමන්ම වෙත්දී, දැන් තමන්ටම විහිළු කරගැනීමට මොවුන් පෙළඹී ඇත.

මැතිවරණවලදී උගත්, අවංකයැයි ඔවුන් සිතන අපේක්ෂකයන්ට ඡන්දය දීමට මධ්‍යම පන්තිය සුදානම්ය. පසුගිය මහා මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලු “වියත්මග”හි බොහෝ අපේකෂකයන් ජයග්‍රහණය කල අතර ඇතැම් දිස්ත්‍රික්කවලට නවකයන් ඒ ඒ තැන්වල ඉදිරියටම පැමිණියේය. සත්‍යය නම්, මධ්‍යම පංතියේ ඡන්දයෙන් බලයට පත්වුවද, ඒ පංතියේ අපේක්ෂාවන් ඉටුකරන පිරිස් පාර්ලිමේන්තුවට හෝ පළාත් සහාවලට හෝ පළාත් පාලන ආයතන වලට හෝ බහුතර නියෝජිතයන් ලෙස නම් කිරීමට ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ අකමැති වීමයි. එසේ ඉදිරිපත් කර ඔවුන් යහමින් ජයග්‍රහණය කළහොත් මේ පිරිස නුගත්, තක්කඩියන් හා මැරයන් විස්ථාපනය කර දේශපාලන බලය ලබාගැනීමට ඇති ඉඩකඩ ගැන මේ දේශපාලන පක්ෂවල නායකයන් බියෙන් පසුවෙයි. එවැන්නක් තම දේශපාලන නායකත්වයට තර්ජනයක් බවද ඔවුන් දනියි.

රැස්විම් වලට, පෝස්ටර් වලට, දැන්වීම්වලට, මත්පැන්වලට, මත්ද්‍රව්‍ය වලට යහමින් මුදල් වියදම් නොකර ඡන්දය ජයගත නොහැකි යැයි මධ්‍යම පංතිය තුල පොදු මතයයි. ඒ නිසා මොවුන්ද ඡන්දය ඉල්ලීමට මැලිකමක් දක්වයි.. මැතිවරණ දේශපාලනය යනු තක්කඩියන්, හොරුන් සහ මැරයන්ට සීමාවූ තමන්ට නොතරම් ක්ෂේත්‍රයක් යැයි යන මතයද මොවුන් අතර බහුලය.නොහික්මුණු, නුගත් බහුතර ජනතාවකට සේවය කර ඇති ඵලය කුමක්ද? මොවුන්ගේ සිතෙහි තිබෙන අනෙක් ප්‍රහේළිකාවය. රටේ බහුතරය නුගතුන් නොව තමන්ද අයිති මධ්‍යම පංතිය බව මොවුන් නොදනී. “ඒ නිසා සමාජ මාධ්‍යවල බරපතල ලෙස ක්‍රියාකාරී වෙමින් මේ පිරිස තමන්ගේ මානසික ආතතිය තුරන් කර ගනියි.“ තමන් ඒවායේ පලකරන මත නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ හා සමාජයේ බලවත් වෙනසක් ඇතිවේ යැයි ඔවුන් තුල දැඩි විශ්වාසයක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී රටක අවසාන සමාජ වෙනස ඇතිවන්නේ මැතිවරණ තුලින් බවද, එය කිරීමේ ශක්‍යතාවය තමන් තුල ඇති බවද, එයට තමන් නායකත්වය ගතයුතු බවද, ලංකාවේ මධ්‍යම පංතිය නොදනී.

අනාගතය

බලයට පැමිණිය හැක්කේ ලංකාවේ නුගත්, දුගී ජනතාවගේ ඡන්දය දිනාගතහොත් බව යන මිත්‍යාව එලෙසම රැකගැනීම චෞර දේශපාලඥයන්ගේ හා ඔවුන් හා බැඳුනු කූට මාධ්‍ය ව්‍යාපාරිකයන්ගේද ව්‍යාපෘතියයි. මෙහි වාසි රැසක් තිබේ. නුගත්, චෞර, මැරයන් ඡන්දයට ඉදිරිපත් නොකර ඡන්ද දිනීම අපහසුබව සියලු දේශපාලන පක්ෂ වලට ඒත්තු ගැන්වුවහොත් සමස්ත දේශපාලන භූමියම සදහටම ඔවුන්ගෙන් පුරවා තැබිය හැකිය. එසේම මුදල් කෝටි ගණන් විසි කොට පෝස්ටර් අල්වා, බත් පැකට් දී, බස් වලින් සෙනඟ ගෙන්වා, ප්‍රතිවාදීන්ට මැර ප්‍රහාර එල්ල කොට, රුපවාහිනි නාලිකා මුදලට ගෙන ඡන්දයකට මුහුණ නොදුණහොත් පරාජය හිමිවන බව ඒත්තු ගියවිට එවැනි දේ කිරීමට අකමැති අවංක, උගතුන් දේශපාලනයට නොපැමිණේ. කුප්‍රකට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීමද, පාතාල කල්ලි සමඟ සබඳතාවයන් පැවැත්වීමද දේශපාලනයේ අත්‍යවශ්‍ය කටයුතු බව සියලු දේශපාලන පක්ෂ වල මතය වන නිසා මෙවැනි ජාවාරම්කරුවන් හා පාතාල කල්ලි වල පැවැත්මද තහවුරුවේ.

හොරකම, මැරකම, කපටිකම පිරුණු තණතිල්ලකට සියලු දේශපාලන පක්ෂ කැඳවා ගෙන ගියවිට එහි ජයග්‍රහණය කරන්නේ හොරකම, මැරකම, කපටිකම හොඳින්ම කළ හැකි පිරිසයි. මෙවන් තත්ත්වයක් යටතේ මේ අයගේ තණතිල්ලෙහි ක්‍රීඩා කිරීමට සුදානම් නැති, තමන්ට පහර එල්ල කල හැකි තණතිල්ලක් තෝරාගැනීමට තරම් නුවණක්, ආත්ම විශ්වාසයක් හා ධෛර්යක් ඇති නායකයන් සහිත දේශපාලන බලවේගයක් ඉදිරියට එනතුරු මේ පිළිකුල් සහගත දේශපාලන ක්‍රමය ලංකාවේ පවතිනු ඇත. ඒ අයුරින්ම වැදගත් වන්නේ මේ බලවේගය ලංකාවේ බහුතරයක් වන මධ්‍යම පංතියට පිළිගත හැකි නායකයන්, දේශපාලන මතවාදයක් හා වැඩපිළිවෙලකින් සමන්විත පිරිසක් වීමයි.

“තුවක්කුවෙන් ඉන්දියාව පාලනය කල අධිරාජ්‍යවාදීන්ට මහාත්මා ගාන්ධි මුහුණ දුන්නේ තුවක්කුවෙන් නොව අවිහිංසාවෙනි. වර්ණවාදයෙන් දකුණු අප්‍රිකාව පාලනය කල බෝයර්වරුන්ට නෙල්සන් මැන්ඩෙලා මුහුණ දුන්නේ වර්ණවාදයෙන් නොව සමානාත්මතාවයෙනි. දුෂණයෙන් හා අකාර්යක්ෂම බවින් පිරි සිංගප්පුරුව ලී-ක්වාන්-යු ගොඩ ගත්තේ අවංකකමින් හා කාර්යක්ෂමතාවයෙනි.“

“රටක විප්ලවීය වෙනසක් කල හැක්කේ නිර්ධන පංතියට පමණක් යැයිද, එය මාරාන්තික ලේ වැගිරීමක් වියයුතු යැයිද යන මතය, යල් පැනගිය මාක්ස්-ලෙනින්වාදී දෙයකි. ලෝකයේ රටවල බලවත්වූ මධ්‍යම පංතිය විසින් සිදුකරන ලද, සාමකාමී සමාජ විප්ලව බොහොමයකි.”

රට දිනවා, රටේ බහුතරයක් සමනය කිරීමට දැන් කලයුතු පළමු ක්‍රියාව වන්නේ ලංකාවේ අති මහත් බහුතරය මධ්‍යම පංතිය බව හඳුනාගැනීමයි. ඔවුන්ගේ ගැටළු, සිතුම් පැතුම් හා ඉල්ලන සමාජ වෙනස කුමක්දැයි විමසිල්ලෙන් බැලීමයි. ඔවුන් තුල වැරදි මතවාදයන් ඇත්නම් ඒවා වෙනස් කිරීමයි. ඉන්පසුව ඔවුන් පිළිකෙව් කරන දේශපාලන මතවාද, අදහස් හා පුද්ගලයන් අත්හැර දමා දේශපාලනයේ නියුතු වීමයි.

*ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා (පළමු කොටස) Read

* ශ්‍රී ලාංකික මධ්‍යම මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා (2වන කොටස) Read

අජිත් අමරසිංහ | Ajith Amarasinghe
(රචකයා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි)