iMage: dnaindia
75 වැනි නිදහස් උත්සවය පැවැත්වුණේ රටේ ජනතාවගේ සහභාගීත්වයකින් තොරව ය. නිදහස සමරන බිම්කඩ පවා රටේ ජනතාවට එදා දවසේ තහනම් කලාපයක් විය. ඒ හැරුණු කොට, පුරවැසියන් විසින් පෞද්ගලික මට්ටමින් නිදහස සමරන තත්වයක් පවා රටේ කිසි තැනක දක්නට නොලැබුණු බව වාර්තා විය. නිදහස් දිනය දා උදේ වරුවේ රාජගිරියේ සිට මහරගම දක්වා යන ගමනකදී, සිංහ කොඩිය ගසා තිබූ එකම වාහනයක් හෝ නිවසක් මේ ලියුම්කරුට දකින්ට නොලැබුණි. ඒ තරමට, මෙවර නිදහස, ජනතාවගෙන් පැහැරගත් නිදහසක් ගානට වැටී තිබුණි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ක්‍රියාත්මක කිරීමට විරුද්ධව පෙළගැසුණු ජාතිවාදී භික්ෂූන් ඊයේ (8) උදෑසන විරෝධතා දක්වමින් පාර්ලිමේන්තුව දක්වා වඩින්නට තැත් කරනු දකින්ට ලැබුණි. සෙසු ජාතිවාදී කණ්ඩායම් ද දැන් දින කිහිපයක සිට මෙවැනි විරෝධතා දක්වති. ඔවුන් කියන්නේ කුමක්ද? රටේ ව්‍යවස්ථාව මුළුමණින් ක්‍රියාත්මක කිරීම කිසිසේත් නොකළ යුතු බවයි. රටක ව්‍යවස්ථාවක කොටසක් ක්‍රියාත්මක නොකළ යුතු යැයි කීම, ව්‍යවස්ථාවට කරන නින්දාවකි. විකෘතියකි. මේ ප්‍රශ්නයෙන් ගොඩඒම සඳහා ඇත්තේ විසඳුම් දෙකක් පමණක් බව ජනාධිපතිවරයා කියා තිබුණි. එකක්, ව්‍යවස්ථාව (එනම්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය) මුළුමණින් ක්‍රියාත්මක කිරීම ය. එහෙත් එකී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට නොගැළපෙයි නම්, එය පාර්ලිමේන්තුවට ගෙනෙන පනතක් මගින් අවලංගු කළ යුතුය. ඒ දෙකෙන් එකක්වත් නොකොට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑල්ලක් ක්‍රියාත්මක කරමින් ද, තව කෑල්ලක් ක්‍රියාත්මක නොකරමින්ද එක දිගට සිටීම, රටේ ව්‍යවස්ථාව දිනපතා උල්ලංඝණය කිරීමකි.
ජනාධිපතිවරයාගේ යෝජනාව සහේතුකයි. ජාතිවාදය අවුළුවන භික්ෂූන් ඇතුළු සියලු කඳවුරු මේ කාරණය සම්බන්ධයෙන් පරාජය කළ යුතුව තිබේ. එසේ නොකොට මේ රටට කිසි දවසක සුගතියක් අත්නොවනු ඇත. ජාතීන් අතර සංහිඳියාව පතන කෙනෙකුගේ ප්‍රතිපත්තිය එය විය යුතු වුවත්, මේ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය මුළුමණින් බලගැන්වීම ගැන සාකච්ඡාව මහජන කරලියට ගෙන ඒම, ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ සැබෑ ආයාසයෙන් පිටස්තර වූ ස්වභාවයක් පෙන්නුම් කරයිද යන්න සලකා බැලිය යුතුය.
ජාතිවාදයෙන් දේශපාලනයට පිවිසි ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා එක්තරා සාකච්ඡාවකදී මීට අදාළ යම් අදහසක් ජනාධිපතිවරයා වෙත යොමු කරනු දක්නට ලැබුණි. ඔහු කියා සිටියේ මෙයයි: රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් දරන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලයයි. ඒ ඉතිරි ධුර කාලය රනිල් වික්‍රමසිංහ වෙත පවරා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා (හෝ ඒ කඳවුර) විසින්මයි. තවත් විදිහකින් කිවහොත්, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභ්‍යාස කරන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ජනවරමයි. ඒ 69 ලක්ෂයේ ජනවරම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥවක් දී නැත. එසේ වන කල, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් බලගැන්වීමේ අයිතියක් නොලැබෙනු ඇත. මේ කරුණු දැක්වීමට ජනාධිපතිවරයා දුන්නේ, තමන්ට සුපුරුදු ප්‍රහාරාත්මක උත්තරයකි. එනම්, ගෙවිඳු කුමාරතුංග ව්‍යවස්ථාව හරිහැටි කියවා නැති බවයි.
ඇත්ත, ඇති සැටියෙන්
එය සාධාරණ පිළිතුරක් නොවේ. රනිල් වික්‍රමසිංහ යනු, ව්‍යවස්ථාවෙන් පමණක් පත්කෙරුණු ජනාධිපතිවරයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව ගත් විට, එවැනි ජනාධිපතිවරයෙකු, තමන්ට ලැබෙන ධුරය පාවිච්චි කළ යුත්තේ, උපරිමයක සිට නොව, අවමයකට යටත්ව ය. උදාහරණයක් වශයෙන්, ආර්. ප්‍රේමදාසගේ මරණයෙන් පසු ජනාධිපති ධූරයට පත් ඞී. බී. විජේතුංගේ ධුර කාලය ගත හැකිය. තමන් වෙත ජනාධිපති ධුරය පැවරෙන එකම මූලය වන ‘ව්‍යවස්ථානුකූලත්වය’ තුළ පවා, තම පූර්වගාමියාගේ (ගෝඨාභය රාජපක්ෂගේ) ජනවරමේ දෘෂ්ටිවාදීමය සෙවණැල්ල රජයන බව රනිල් වික්‍රමසිංහ නොදන්නවා නොවේ. ඔහුම කියන පරිදි, (සහ පොහොට්ටු කඳවුරත් කිහිප විටක් පෙන්වා දී ඇති පරිදි) ඔහුව ජනාධිපති ධුරයට පත්කෙරුණේ වෙන කිසිවකට නොව, කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීම සඳහාම පමණි. එසේ නම්, ජාතික ප්‍රශ්නයට පිළිතුරක් පෙබරවාදි 4 වැනිදාට යෙදුණු නිදහස් දවසට කලින් ඉදිරිපත් කිරීමට හෝ 13 වැනි ව්‍යස්ථා සංශෝධනය මුළුමණින් බලගැන්වීමට හෝ ප්‍රමාණවත් දේශපාලනික බලයක් සහ සදාචාරමය හයියක් ඔහුට නොලැබෙන බව පැහැදිලියි.
එසේ වෙතත්, ගෙවිඳු කුමාරතුංගගේ ප්‍රශ්නය වඩාත් සබුද්ධිකව ප්‍රති-ප්‍රශ්න කළ හැකිව තිබූණි. එනම්, රනිල් වික්‍රමසිංහ බලයට පත්වන්නේ ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදනයක් තුළින් පමණක් වුවත්, ගෝඨාභය රාජපක්ෂ බලය අතහරින්නේ සම්ප්‍රදායික ‘ඉල්ලා අස්වීමකින්’ නොව, ජනතා නැඟිටීමක් තුළින් රටින්මත් පන්නා දැමීමෙන්ය යන්නයි. එසේ වන විට, ගෝඨාභය රාජපක්ෂගේ ‘ජනවරමක්’ ගැන තවදුරටත් කතා කිරීමට දෙයක් කෙනෙකුට ඉතිරි වන්නේ නැත. එවැනි තත්වයක් තුළ, ඔහුගේ අනුප්‍රාප්තිකයාට (රනිල් වික්‍රමසිංහට) තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමේ යම් ‘ස්වාධීනත්වයක්’ ඉබේ ලැබෙයි. එය, ගෝඨාභයගෙන් ලැබෙන ‘වරමක්’ නොව, ගෝඨාභය-විරෝධී ජන අරගලයකින් ලැබෙන වරමකි.
එහෙත්, ප්‍රායෝගිකත්වය සහ මහපොළොවේ තත්වය ඊට හරස් වෙයි. ජනාධිපතිවරයාගේ අභිප්‍රාය සත්භාවයෙන් යුක්ත යැයි අප පිළිගත්තොත්, ඒ අභිප්‍රාය සාර්ථක වීමට නම්, මුලින්ම පොහොට්ටුවේ අනුමැතිය අවශ්‍ය කෙරේ. එහෙත්, රාජපක්ෂලා මෙවැනි අවස්ථාවක මොන ලෙසකින්වත් 13 ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් බලාත්මක කිරීමට එකඟ විය හැකි බවට සාක්ෂි නැත. අද ඒ ගැන පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ යන ගමන් උත්තර දෙන්නේ, ‘13, ඒ තරම්ම වරදක් ඇති දෙයක් නෙවෙයි නේද’ යැයි පෙරළා ප්‍රශ්න කරමිනි. එය දියාරු උත්තරයකි. අවශ්‍ය මොහොත ආ විට, ‘13 නිසා රට දෙකඩ වේ ය’ යන ආස්ථානයට පැමිණීමට යම් ඉඩක් ඒ අනියමාර්ථ පිළිතුර තුළ පැහැදිලිවම ගැබ්ව තිබුණි.
පෙබරවාරි 4 වැනිදාට කලින් ‘ජාතික ප්‍රශ්නයට’ පිළිතුරක් සෙවීමට ජනාධිපතිවරයා ගනිමින් ඇතැයි කියන උත්සාහය ප්‍රෝඩාවක් බව මීට කලින් අප කියා ඇත. එය දැනටමත් සනාථ වී තිබේ. එසේම, පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ නැති බවත් අප කියා තිබේ. එය ඉදිරියේදී බලාගත යුතුව ඇති කාරණයකි. අද අපේ සාකච්ඡාවට ප්‍රස්තුත වන්නේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් බලාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශය, ඇත්ත වශයෙන්ම වෙනත් දේශපාලනික අභිමතාර්ථයක් පෙරදැරිව සිදුකරන්නේද යන්න සොයා බැලීමයි.
පළාත් පාලන මැතිවරණය මිරිඟුවක්?
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ ඔහුගේ අභිමතාර්ථය වන්නේ, නායයාම වැළැක්වීමයි. මේ මොහොතේ ඕනෑම ඡන්දයක්, රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කඳවුරේ දේශපාලනික මළගමක් වීමෙන් මෙහා බේරාගත හැකි තත්වයක් නොපවතී. ඒ නිසා, ඕනෑම වියදමක් දරා ඒ ‘වියදම’ නම් නොදැරිය යුතුය. කෙසේ වෙතත්, ඡන්ද නොපැවැත්වීම නිසා සමාජ අර්බුදකාරී තත්වයක් පොදුවේ නිර්මාණය කෙරෙන බව අනුමාන කළ හැකිය. 13 මුළුමණින් බලගැන්වීමේ ඊනියා ව්‍යාපෘතිය ඊට අගනා ඔසුවකි. එක අර්බුදයක සිටින ඔබට තවත් අර්බුදයක් පැමිණි විට පළමු අර්බුදය වැදගත්කමින් හීන වෙයි. ඒ වනාහී, සෘණ සහ සෘණ එකතු කළ විට ධන වන්නා සේ, ප්‍රශ්නයම ‘විසඳුමක්’ කරගන්නා උපායකි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් මුළුමණින් බලගැන්වීම පිළිබඳ ජනාධිපතිවරයාගේ යෝජනාව අප තැබිය යුත්තේ ඒ සන්දර්භය තුළයි. ඒ අනුව ගත් විට, ඔහුගේ ආයාසය වන්නේ 13 වැනි සංශෝධනය මුළුමණින් බලගැන්වීම නොව, විපක්ෂය ව්‍යාකූලත්වයට පත්කිරීමේ සුහුරු උපායක් වශයෙන් එය පාවිච්චියට ගැනීමයි.
මෙය, අදියර දෙකකින් ඕනෑම එක් අදියරකදී සාර්ථකත්වය අත්කරගත හැකි අත්හදාබැලීමකි. පළමු අදියර වන්නේ, සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය ඇතුළු ප්‍රධාන ධාරාවේ විපක්ෂය 13 ට එරෙහිව වීදී බැස්සවීමයි. මේ දක්වා එවැන්නක් පෙනෙන්ට නැත. ඇත්ත වශයෙන්ම, ජාතික ජනබලවේගය ආචාර්ය හරිනී අමරසූරිය හරහා යම් මතයක් මේ වන විට ප්‍රකාශයට පත්කොට ඇත. එය, ඔවුන්ගේ සුපුරුදු ආධානග්‍රාහීත්වයෙන් අත්මිදුණු ආස්ථානයකි. ඇගේ මතය සහ ජනතා විමුක්ති පෙරමුණේ මතය කොතෙක් දුරට මේ කාරණය සම්බන්ධයෙන් සමගාමී වෙයිද යන්න තවම ස්ථිර නැතත්, ඊයේ උදේ පාරට බැස්ස භික්ෂූන් තරම් ජනතා විමුක්ති පෙරමුණ විස්සෝප වෙන බවක් නම් පෙනෙන්ට නැත. එය හොඳ තත්වයකි.
ඒ වෙනුවට, කවදත් ජාතිවාදී අම්බලමේ ලගින විමල් වීරවංශ ඇතුළු කඳවුර ‘රට දෙකඩ කිරීමේ’ හොරණෑව පිඹින්ට පටන්ගෙන ඇත. මතක තියාගන්න: නිර්ධනයා තුළ පමණක් නොව, යමක් කමක් ඇති මැදපංතිකයා තුළත් එදා වේල ජීවත් වීමට නොහැකි තත්වයක් පිළිබඳ දෛනික කෝපය බුර බුරා නැෙඟන මොහොතක, ඊට උඩින් රට-ජාතිය බේරාගැනීමේ දේශප්‍රේමය ආදේශ වුණොත්, බඩගින්න ඔබට මොහොතකට අමතක විය හැකිය. රෝහල්වල බේත්හේත් නැති කම ඔබ පැත්තකින් තැබිය හැකිය. එසේ වෙතත්, වාසනාවකට මෙවර ප්‍රධාන විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ කාරණය අළලා ජනතාව අවුස්සන්නේ නැති නිසා, වීරවංශලාගේ සුපුරුදු ජාතිවාදී පඩංගුවලට, මහා පෙරළියක් කිරීමේ හැකියාවක් දැනට ඇති බවක් නොපෙනේ.
එහෙත් දෙවැනි අදියරක් තිබේ. එනම්, පොහොට්ටුවේ විරෝධය ඉස්මත්තට එන මොහොතයි. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ විරෝධයට පොහොට්ටුවේ මඟපෙන්වීම සහ ආශීර්වාදය ඇතැයි සිතිය හැකිය. ඊයේ ජාතිවාදී භික්ෂු පාගමනත් එවැනි දිගුවක් විය හැකිය. අවශ්‍ය මොහොතේදී, 13 වැනි සංශෝධනයේ නපුරු පැත්ත, ඊලාම්වාදීන්ගෙන් රටේ ඒකීයත්වය යුද බිම තුළ බේරාගත් සජීවී කර්තෘවරුන්ගේම කටින් පිට කෙරෙන විට, අවශ්‍ය කරන මනෝමය තත්වය සමාජය තුළ මෝරනු ඇත.
සැබෑ නිෂ්ඨාව ඇත්තේ වෙනත් මානයක ය
දැන්, මෙයින් මා කීමට අදහස් කරන්නේ කුමක්ද? ඔව්, ඔවුනුත් විරෝධය දැක්වුවහොත්, කළ යුතුව ඇත්තේ 13 ගැන කතාව පැත්තකින් තැබීම වැනි ඉතා සරල දෙයක් නොවේදැයි කෙනෙකු ඇසිය හැකිය. ඔව්, ‘ඔයගොල්ලන්ගේ සහයෝගයක් නැත්නම්, මං මේක පැත්තකින් තියන්නම්’ යැයි රනිල් වික්‍රමසිංහත් කියනු ඇත. 13 ක්‍රියාත්මක කිරීමට තමා උත්සාහ කළ අවස්ථාවේ අහවල් අය නිසා එසේ කරගැනීමට නොහැකි වී යැයි අනාගතේ දවසක රනිල්ගේ ඉතිහාස පොතේ ලියාගැනීමටත් ඔහුට හැකි වනු ඇත.
නැත, ඒ සියල්ල ද්විතීයිකයි. මෙවැනි අර්බුදයක් නිර්මාණය කිරීම තුළින් සැබෑ අර්බුදය යම් කාලයකට ඉවසා සිටීම සඳහා ජනතාව පුහුණු කරවීමත් ද්විතීයිකයි. ඊට වඩා වැදගත් වන, මුඛ්‍ය අභිලාෂයක් තිබේ. එය, රාජපක්ෂ කඳවුර සමග නොනිල මට්ටමින් ඇති කරගත්, රනිල් වික්‍රමසිංහගේ සාර්ව දේශපාලනික කොන්ත්‍රාත්තුව සමග කෙළින්ම බැඳී තිබේ. ඒ කුමක්ද? අරගලය විසින් ඉල්ලා සිටි ‘සිස්ටම් චේන්ජ්’ මනෝභාවය නසා, ‘ස්ටේටස් කෝ’ නමින් ලතින් භාෂාවෙන් හැඳින්වෙන, ‘සුපුරුදු තත්වය’ හෙවත් ‘පැවති තත්වය’ යළි අත්කරගැනීමයි.
මේ සඳහා වන පෙරහුරුව දැන් රඟදැක්වෙයි. ගෝඨාභය රාජපක්ෂ ගංගාරාමයේදී රනිල් වික්‍රමසිංහ සමග විවෘත සමාජ අවකාශයට පැමිණ සිටියේය. බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අතහැර ලංකාව ගොඩගැනීමේ ජාතික කර්තව්‍යයට උරදීමට තමන් තීරණය කොට ඇති බව ප්‍රකාශ කෙළේය. රාජපක්ෂලා පිළිබඳ පවතින අප්පිරියාව ටිකෙන් ටික ඔබෙන් දැන් ඉවත් වනු ඇත. මීට සමගාමීව, පසුගිය අවුරුද්දක පමණ කාලයක් තිස්සේ, විමල් වීරවංශ-ගම්මන්පිල කල්ලිය, රාජපක්ෂලාගේ නුගුණ කියන විට ඒ තුළ යම් නුහුරු ගතියක් ඔබට දැනුණා මතකද? උදාහරණයක් වශයෙන්, දේවදත්ත රහත් වී ඇති සැටියක්? මේ නුහුරුව වීරවංශලාටත් දැනුණාට සැක නැත. එහෙත් දැන් ඔවුන්ටත් බඩපිනුම් ගැසිය හැකි වේදිකාවක් නිමැවෙමින් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ විසින්, අපේ නිදහස් ඉතිහාසයේ පළමු වතාවට, සංස්ථාපිත සමාජ සැකැස්මේ ආකෘතික ව්‍යුහය දෙදරවා හරිනු ලැබුණි. එතෙක් රට කැරැවූ සියලූ බලවේග, මහා ජනතා නැඟිටීම ඉදිරියේ නිරුත්තර විය. අසරණ විය. ඔවුන්ගේ වාසනාවට, ජනතා නැඟිටීමත් අඩු මාසයෙන් ගබ්සා විය. දැන්, පටන් ගත් තැනට ආපසු යා යුතුව තිබේ. ඒ සඳහා, එකිනෙකා එතෙක් රඟපෑ භූමිකාවන් වෙත යළිත් වරක් කැඳවාගෙන ඒම රනිල් වික්‍රමසිංහට භාර වී තිබේ. ඔවුන්ට (එනම් රාජපක්ෂලාට) අහිමි වූ හඬ පෞරුෂය නැවත ඔවුන්ට ලබාදීම ඔහුගේ ප්‍රධාන කාරියයි. ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය කෙරේ. ඒ කාලය තුළ ක්‍රියාවේ යෙදැවිය යුතු වැඩ කොටසක් තිබේ.
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම, මේ මොහොතේ ඒ සඳහා අවශ්‍ය කෙරෙන එක් පූර්ව-කොන්දේසියකි. 13 මුළුමණින් බලගැන්වීමේ වෘත්තාන්තය දිගහැරෙන්නේ, ඉහත කී ඡන්දය නොපැවැත්වීමෙන් ඇති කැරැවිය හැකි සමාජ කම්පනය උරාගත හැකි, ‘ෂොකැබ්සෝබරයක්’ වශයෙනි. මේ රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බව ඊයේ රාජාසන කතාවේදී ජනාධිපතිවරයා කීවේය. නිදහස් දිනයට කලින් දා රෑ මරදාන එල්පින්ස්ටන් රඟහල ළඟ සාමකාමීව වාඩි වී විරෝධය පළ කිරීමත්, ජනාධිපතිවරයාගේ අර්ථකථනය තුළ ‘රට අරාජික වීමකි’.
වැඩි දුර නොයා, ඔහු අදහස් කරන දෙය සම්පිණ්ඩනය කළොත් මෙසේ ය: ‘‘පරණ දේවල්වලට නැවත පුරුදු වන්න. පරණ දේවල් පරණ ආකාරයෙන් කිරීමට නැවත පුරුදු වන්න.’’
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda