මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත. මෙතෙක් කල් ඡන්දය පවත්වමියි පුන පුනා කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයටම ගොස් ඡන්දය පැවැත්විය නොහැකි බව දැන් කියා සිටී. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙතෙක් කල් නොදන්නා බවක් අඟවමින් සිටි හෝඩියේ පාඩමක් අප කියවා තිබුණි. එය ඉතා සරල සමීකරණයකි.
ඒ මෙසේ ය: මේ මොහොතේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින්, රාජපක්ෂවාදී පොහොට්ටුවත්, එය ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහ ඇතුළු කඳවුරත් බිංදුවටම සේදී යනු ඇත. එවැනි විලිලැජ්ජාවක් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික ආම්පන්න රාශියක්, ලංකාවේ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය තුළින් සපයා දෙනු ලැබේ. මේ ක්‍රමය තුළ, රජයේ සෑම ආයතනයක්ම, බලයේ සිටින පාලක ජනාධිපතිවරයාගේ අණසකට යටත් ය. ඒ ඕනෑම ආයතනයක් තමන්ට අවශ්‍ය පරිදි කෙක්කෙන් හෝ කොක්කෙන් හීලෑ කිරීමේ බලයක් ජනාධිපතිවරයාට තිබේ. ඒ අනුව ගත් විට, මැතිවරණ කොමිසම ස්වාධීන නැත. පොලිස් කොමිසම ස්වාධීන නැත. රාජ්‍ය සේවා කොමිසම ස්වාධීන නැත. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන නැත. අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන නැත. ඒ හැම තැනකටම ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අඬුපඬු විහිදී තිබේ. ඊට අමතරව, ඉහත කී නින්දනීය පරාජය මඟහැරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි යන නිගමනයට අප පැමිණියේ, තවත් සාධකයක් මුල් කරගෙන ය. එනම්, මේ ජනාධිපති තනතුරට පත්වන කිසි පුද්ගලයෙකු ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් තවදුරටත් නොසිටින්නේය යන නිශ්චිත නිගමනයයි. ඒ කාරණය, රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පමණක් අවලංගු වීමට හේතුවක් නැත.
අවසාන පළාත් පාලන ඡන්දය පැවැත්වුණේ 2018 දී ය. ඒ වන විට අලුතෙන් පිහිටුවාගෙන තිබු, එවක විපක්ෂයේ සිටි ‘පොහොට්ටුවට’ සියයට 40 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණි. එදා බලයේ සිටියේ යහපාලන ආණ්ඩුවයි. එදා පටන් අද දක්වා, පළාත් පාලන ඡන්දයක් පවත්වා නැත. ජනතාව 2018 දී පොහොට්ටුව කෙරෙහි තැබූ විශ්වාසය අද වන විට බිංදුවට වැටී ඇති බව කවුරුත් දනිති. අප කාටත් වඩා ඒ බව දන්නේ ඔවුන් සහ ඔවුන්ගේ එකම ආරක්ෂකයා වන රනිල් වික්‍රමසිංහ ය. ඉතිං, ඡන්දය නොපවත්වා සිටීමට ඔහු පියවර ගැනීම අසාමාන්‍ය නැත.
ඡන්දයක් පැවැත්වීම සඳහා රජයට මුදල් නොමැති බවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන හේතුව ඇත්තක් නම්, ඔහුගේ සහ ඔහුගේ ආණ්ඩුවේ වෙනත් චර්යාවන්ගෙන් එය පෙනෙන්ට තිබිය යුතුය. උදාහරණ රාශියක් අතරින් එකක් පමණක් ගත්තොත්, ජාතික නිදහස් දිනයක් රුපියල් මිලියන 200 ට අධික මුදලක් වැය කොට නොපැවැත්විය යුතුව තිබුණි. අනිත් අතට, මුදල් නැති නිසා පළාත් පාලන ඡන්දය කල් දැමිය හැකි නම්, ඒ හේතුවම දක්වා, ඊළඟ මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය පවා කල් දමා ගැනීමේ පූර්වාදර්ශයක් ඇති වන බවත් අමතක නොකළ යුතුය. මීට කලින් දෙවරක් එසේ කර තිබේ. එක් වරක්, සිරිමා බණ්ඩාරනායක 1975 දී අවුරුදු දෙකකින් පාර්ලිමේන්තු ඡන්දය කල් දමා ගත්තාය. ඊළඟට ජේ. ආර්. ජයවර්ධන 1982 දී පාර්ලිමේන්තු ඡන්දය අවුරුදු 6 කින් කල් දමා ගත්තේය. ඉදිරියේදීත් මෙවැනිම තත්වයක් ඇති වුණොත් අප කරන්නේ කුමක්ද? ඉහතින් කී අවස්ථා දෙකේදීම, ඡන්ද කල් දමා ඇත්තේ දේශපාලනික සහ ව්‍යාජ ව්‍යවස්ථාමය අවසරයන් යටතේ ය. මෙවර පළාත් පාලන ඡන්දය කල් දමන්නේ මුල් වරට, ආර්ථික හේතුවක් හුවාදක්වමිනි. එය ඉතා භයානක ය. මන්ද යත්, අනාගතයේදී ඡන්ද කල් දමා ගැනීම සඳහා අපේ පාලකයන්ට පෘථුල පරාසයක කරණම් ගැසීමේ අවසරයක් ඒ මගින් නිර්මාණය වන බැවිනි.
ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවට උඩින් යන
ජනාධිපතිගේ චක්‍රලේඛය
ඡන්ද පත්‍රකා මුද්‍රණය කිරීමට වැය වන මුළු මුදල වන රුපියල් මිලියන 400 ම එක විට නොලැබෙන්නේ නම්, ඒ රාජකාරිය ඉටු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය කියා ඇත. ජනාධිපතිවරයා විසින් හදිසියේ නිකුත් කොට ඇති චක්‍රලේඛයකට අනුව, රජයේ කිසි ආයතනයක් තමන්ගේ සේවාවන් කිසිවක් ණයට සැපයීමෙන් වැළකී සිටිය යුතුය. හේතුව වශයෙන් දක්වා ඇත්තේ මුදල් හිඟයයි. ඉතිං, තමාට දැන් ජනාධිපතිවරයාගේ චක්‍රලේඛය උඩ වැඩි කිරීමට සිදු වන බව, රජයේ මුද්‍රණාලයේ අධිපතිනියගේ ස්ථාවරය වී ඇත. ඒ තීරණයෙන් පසු, මැතිවරණ කොමිසම ඒ වන විට ප්‍රකාශයට පත්කොට තිබූ පරිදි මේ මාසයේ 22, 24 සහ 28 පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇත.
රජයේ මූල්‍ය කටයුතුවල වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටයි. රජයේ මූල්‍ය කටයුතු පිළිබඳ වාර්ෂික ලියවිල්ල, වසරක් පතා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා, අය-වැය ලේඛනයයි. පසුගිය අය-වැය ලේඛනයෙන් මේ කියන පළාත් පාලන ඡන්දය සඳහා අවශ්‍ය කරන වියදම් වෙන් කෙරුණි. එය පාර්ලිමේන්තුව විසින් අනුමත කෙරුණි. එසේ තිබියදී, දැන් ඒ පාර්ලිමේන්තු අනුමැතියට උඩින් විධායක ජනාධිපතිවරයාගේ චක්‍රලේඛයක් උඩ පදනම් වෙමින් පාර්ලිමේන්තුවේ සම්මත වූ තීන්දුව කණපිට හැරවීම යනු, තවත් වතාවක් මේ ජනාධිපති ක්‍රමයේ ඇති ඒකාධිපති ස්වරූපය පෙන්නුම් කරන්නකි.
දෙවැනි කාරණය මෙයයි: අපේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි, මැතිවරණ කොමිසමේ නියමයන් අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ මඟහරින ඕනෑම රජයේ නිලධාරියෙකු නීතිය යටතේ වරදකරුවෙකු වන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එසේ කියා තිබියදී, මුදල් ඇමතිවරයා වශයෙනුත්, ජනාධිපතිවරයා වශයෙනුත්, රනිල් වික්‍රමසිංහ නිකුත් කරන චක්‍රලේඛයකට අනුගතව වැඩ කිරීමට රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය තීරණය කොට තිබීමෙන් පෙනී යන්නේ, ඇයට රටේ ව්‍යවස්ථාවට වඩා ජනාධිපතිවරයාගේ චක්‍රලේඛය බලසම්පන්න වී ඇති බවකි.
බොහෝ දෙනා මීට එරෙහිව ප්‍රතිතර්ක දෙකක් මතු කරති. එකක් වන්නේ, පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමෙන් ආර්ථිකය ගොඩගත හැකිද යන ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයේ වංචාවට යටින් විශාල ගොබ්බකමකුත් තිබේ. කිසි මැතිවරණයකින් ආර්ථිකයක් ගොඩගත නොහැක. මැතිවරණයක් පවත්වන්නේ, ආර්ථිකයක් ගොඩගත හැකි යැයි සිතන පිරිසක් බලයට පත්කර ගැනීමට ය. එහෙත්, මේ කියන පළාත් පාලන ඡන්දය, ඒ අර්ථය යටතටවත් ගැනෙන්නේ නැත. පළාත් පාලන සභා ක්‍රමයෙන් කෙරෙන්නේ ඒ ඒ පළාත්වලට අදාළ සිල්ලර කටයුතු ගණනාවක්, ප්‍රාදේශීය වශයෙන් ඉටු කිරීමට හැකි පිරිසක් බලයට පත්කර ගැනීම මිස, රටේ ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමෙහි සමතුන් පිරිසක් තෝරා පත්කරගනු ලැබීමක් නොවේ. ඒ නිසා, මේ මැතිවරණය පැවැත්වීමෙන් රටේ ආර්ථිකය ගොඩගත හැකිදැයි නඟන ප්‍රශ්නයම ගොබ්බ ය.
දෙවැනි තර්කය වන්නේ, මේ ඡන්දය ජයග්‍රහණය කරන විපක්ෂය ඊළඟට හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකුත් ඉල්ලා සිටිය හැකිය යන්නයි. එසේ වූ විට, ආර්ථිකය ගොඩගැනීමේ වර්තමාන ප්‍රයත්නයන් අඩාල විය හැකි යැයි ඔවුහූ තර්ක කරති. 2018 අවසාන පළාත් පාලන ආයතන ඡන්දය ජයග්‍රහණය කළ පොහොට්ටුවට ඊළඟට ඡන්ද අවස්ථාවක් එළැඹෙන්නේ, 2019 ජනාධිපතිවරණයේදී ය. ඊටත් පසුව ඔවුන්ට නැවත අවස්ථාවක් ලැබෙන්නේ, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ය. ඒ ඡන්ද දෙකම, ව්‍යවස්ථාවේ සඳහන් පරිදි නියමිත වකවානුව සම්පූර්ණ වීමෙන් පසුව පැවැත්වූ ඡන්ද මිස, 2018 පළාත් පාලන ඡන්දය ජයගත් නිසා, නියමිත කාලයට කලින් බලහත්කාරයෙන් ලබාගත් ඡන්ද නොවේ. ඉතිං, මෙවරත් විපක්ෂය එදා මෙන්ම පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරතියි උපකල්පනය කළත්, ඒ නිසාම, මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නියමිත කාලයට කලින් පැවැත්වීමේ තෙරපීමකට ඔවුන් විසින් තත්වයන් නිර්මාණය කරතියි සිතිය යුතු නැත. ඇත්ත වශයෙන්ම එවැන්නක් වැඩියත්ම සිදු විය හැක්කේ, මේ මොහොතේ ජනතාවට හිමි ඡන්ද වරම ඔවුන්ගෙන් අහිමි කරනු ලැබුවොත් ය. අනිත් අතට, වර්තමාන පාලකයන්ගේ ක්‍රියාකලාපය රටේ අනර්ථයට තුඩුදෙයි නම්, නියමිත කාලයට කලින් ඕනෑම මැතිවරණයක් ඉල්ලා සිටිමින් ජනතාව කරන සාධාරණ උද්ඝෝෂණ නතර වන්නේද නැත.
‘‘ඌන ප්‍රජාතන්ත්‍රවාදය’’
මේ සියල්ල, වර්තමාන ප්‍රශ්නයේ වටපිටාවට අදාළ කාරණා ය. මේ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්භාවිත විශ්වාසයන් සහ සම්මතයන් නිරන්තරයෙන් කඩකෙරෙන්නේ වෙනත් මූලයක ක්‍රියාකාරීත්වයෙනි. එය, ‘‘ඌන ප්‍රජාතන්ත්‍රවාදය’’ වශයෙන් හැඳින්විය හැකිය. එවැනි ක්‍රමයක් තුළ, ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චියට ගැනෙන්නේ දේශපාලනික අධිකාරීවාදය සහ ජාවාරම්කාර ආර්ථික පද්ධතීන් නඩත්තු කිරීමට ය. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් ඔහුගේ ‘‘ගෝලීයකරණය සහ එහි අතෘප්තිකර තත්වයන් දෙස ආපසු හැරී බැලීමක්’’ නමැති කෘතියේ රුසියාව ආශ්‍රයෙන් මේ කාරණය අවධාරණය කරයි. ඔහුගේ තර්කය වන්නේ, අවුරුදු 70 ක් තිස්සේ සමාජවාදී සංවෘත ආර්ථික සහ දේශපාලන ක්‍රමයක් විසින් ඇති කරන ලද දැඩි රාජ්‍ය ආයතනික ව්‍යුවහයන් එක රැයකින් කණපිට පෙරලා, වෙළෙඳපොල ආර්ථිකයක් සාර්ථකව ස්ථාපිත කළ නොහැකි බවයි. පවතින ආයතනික ක්‍රමය එසේම තිබියදී හෝ පුර්ණ වෙනසකට භාජනය නොකොට, පෞද්ගලීකරණ ක්‍රියාවලිය අතිධාවනකාරී කිරීමෙන් රුසියාවේ සිදු වුණේ, දේශපාලනික හෙංචයියන් විසින් රජයේ සම්පත් කුණු කොල්ලයට මිල දී ගැනීමත්, අවසානයේ ඒවා පවා තවත් කුණු කොල්ලයට විකුණන් කෑමත්, රටේ අලුතෙන් නිෂ්පාදනය වූ ධනය පවා ඔවුන් විසින් පිටරට පැටවීමත් බව ඔහු පෙන්වා දෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේ ප්‍රශ්නය බොහෝ දුරට ඊට සමානයි. අප තවමත් ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනික පද්ධතිය ප්‍රමාණවත් පරිද්දෙන් ශක්තිමත් කරගෙන නැති තත්වයක ය. උදාහරණයක් වශයෙන්, අපේ මහබැංකුව පවා දේශපාලනික අතපෙවීම්වලින් බේරාගැනීමට අපට හැකි වී නැත. එසේ තිබියදී, රුපියල් බිලියන දෙකක් නොගෙව්වොත්, පළාත් පාලන මැතිවරණය සඳහා ආරක්ෂණ ආවරණය සැපයීමට තමන්ට නොහැකි යැයි කියන පොලිස්පතිවරයෙකු අපට සිටීම පුදුමයක්ද? (හෙට මේ රටේ කැරැල්ලක් ඇති වුණොත්, එය මැඩපැවැත්වීම සඳහා ඔහු කීයක් ඉල්ලනු ඇත්ද!) දෙවැනුව, ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන් සමග එකට ගමන් කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් මහපොළොවේ වගාදිගා කරගැනීමට අපට හැකි වී නැත. වෙන රටවල ඉතා සුළු වරදකටත් ඉල්ලා අස්වෙන නායකයන් සිටියදී, අපේ රටේ මිනීමරුවන් සහ කම්බා හොරුන් නැවත නැවතත් පාර්ලිමේන්තුවට පත්කර එවීම ඊට එක් උදාහරණයකි. අවුරුදු 75 ක් තිස්සේ රටේ ආර්ථිකය නඟා සිටුවීමට අසමත් වීමටත් වඩා අපේ පාලකයන්ට සමාව දිය නොහැකි කාරණය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මේ කියන ගරාවැටීමට හේතුකාරක වීමයි.
සාරංශය මෙයයි: පාලකයාට අවශ්‍ය වන ඕනෑම මොහොතක, ඕනෑම රාජ්‍ය ආයතනයක් තමන්ගේ පටු දේශපාලනික අවශ්‍යතාවන් සඳහා පාවිච්චියට ගැනීමට හැකියාව ඇත. ඉහතින් සඳහන් කළ සිරිමා බණ්ඩාරනායකගේ සහ ජේ. ආර්. ජයවර්ධනගේ භූමිකාවන් කිසිවක් අපේ ව්‍යවස්ථාවේ සඳහන් වචනවලට හෝ ඒ වචනවලට දිය හැකි අර්ථකථනවලට පටහැනි නැත.
දැන් මෙසේ සිතන්න: ඇමරිකාවේ අවුරුදු හතරකට වරක් ජනාධිපතිවරණය පැවැත්විය යුතු නිශ්චිත මාසය සහ දිනය ව්‍යවස්ථාවේම සඳහන් කොට තිබේ. ඒ නිසා, ඒ කාරණය සම්බන්ධයෙන් අධිකරණයකට ගොස් ‘අර්ථ නිරූපණ’ ලබාගැනීමේ අවශ්‍යතාවක් පැනනඟින්නේ නැත. අවුරුදු පහකට වරක් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු යැයි අපේ ව්‍යවස්ථාවේ සඳහන් වුවද, ඒ කියන අවුරුදු 5 පටන් ගන්නේ කොතැනින්ද සහ අවසන් වන්නේ කොතැනින්ද යන්න ගැන ‘අර්ථ නිරූපණ’ කිහිපයක් තිබිය හැකිය. එසේ වන කල, අදාල අධිකරණය පැමිණිය හැකි නිගමනද නිශ්චිත නැත.
අපි මෙසේ සිතමු: ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රඥප්තිය වන්නේ ඡන්ද අයිතියයි. ඒ අයිතිය ප්‍රකාශයට පත්කෙරෙන්නේ මැතිවරණ මගින් නිසා, සෑම මැතිවරණයක්ම පැවැත්විය යුතු නිශ්චිත දින වකවානු නියම කොට, වෙනත් සාධක නිසා ඒවා වෙනස් කළ නොහැකි වන සේ ව්‍යවස්ථා සම්පාදනය කරගැනීමට අපට නොහැක්කේ ඇයි? එසේම, මැතිවරණ කොමිසම වැනි ආයතනවල ස්වාධීනත්වය සහතික කෙරෙන මූල්‍ය රැකවරණය, නීතිය මගින්ම සැපයිය නොහැක්කේ ඇයි? එය තවදුරටත් පැහැදිලි කළොත් මෙසේ ය: ඕනෑම ආයතනයක ස්වාධීනත්වයක් නඩත්තු කිරීමට යම් වියදමක් දැරිය යුතුය. ඒ වියදම දරන්නේ, පාලකයෙකුගේ අනුමැතියට යටත්ව නම් සහ ඔහුගේ කැමැත්ත/අකමැත්ත ප්‍රකාරව නම්, එකී ආයතනයේ ‘ස්වාධීනත්වය’ කියා දෙයක් ඉතිරි වන්නේ නැත. අද මහභාණ්ඩාගාරය, රජයේ මුද්‍රණාලය සහ පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මාර්ගයෙන්, මැතිවරණ කොමිසමට පැනවෙන මූල්‍යමය බාධක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික කැමැත්ත ව්‍යුහාත්මකව ප්‍රකාශයට පත්වන අවස්ථාවන් මිස, රටේ පවතින සැබෑ ආර්ථික අහේනියක් නිරූපණය කරන තථ්‍ය අවස්ථාවන් නොවෙතැයි අප කියන්නේ එබැවිනි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda