iMage: Vikalpa File
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්‍රජාතන්ත්‍රවාදයද? ඔහු අසන ප්‍රශ්නය එයයි. ජනතා කැමැත්තකින් තොරව බලයට එන ඕනෑම නායකයෙකු ප්‍රශ්නය මතුකරන්නේ එයාකාරයෙනි. එහිදී ඒ සෑම නායකයෙකුම වැඩි බර හෝ මුළු බර තබන්නේ ප්‍රරජාතන්ත්‍රවාදයට නොව, ආර්ථිකයටයි. බොහෝ විට ප්‍රශ්නය මෙසේ ඉදිරිපත් කරන්නේ, එක් තනි සාධකයක් සාධනය කරගැනීම සඳහා ය. එනම්, තමන්ගේ බලය ආරක්ෂා කරගැනීම සඳහා ය. තමාගේ බලය යනු, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය යන්ත්‍රයෙන් මිස, ජනතාවගේ අනුමැතියකින් පවතින්නක් නොවන බව ඔහු දනී.
ප්‍රජාතන්ත්‍රවාදය යනු, අධිකාරීවාදයට බර ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට තමාගේ බලය රැකගැනීම සඳහා පහසුවෙන් නාස්ති කළ හැකි සහ කැප කළ හැකි පාලන මොඩලයකි. අධිකාරීවාදී ප්‍රජාතන්ත්‍රවාදියා තමන්ගේ බලය ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළම ඇති මෙවලම් ය. ඒකාධිපතියා, ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින් ප්‍රතික්ෂේප කොට නග්න බලය කෙරෙහි පමණක් විශ්වාසය තබයි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්, ආර්ථිකය හෝ ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකින් එකක් පමණක් තෝරාගැනීම යන අවස්ථාවක් වෙත තල්ලු වෙතොත්, එයම ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක ය. මේ දවස්වල රනිල් වික්‍රමසිංහ කිරමින් සිටින්නේ එවැනි තරාදියකිනි. ආර්ථිකය හැරුණු විට, එවැනි වෙනත් දේවල් සමග ප්‍රජාතන්ත්‍රවාදය කිරාබැලෙන තවත් අවස්ථා ලෝකයේ විටින්විට පැනනඟී. උදාහරණයක් වශයෙන්, කෝවිඞ් වසංගත සමයේ සෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්ම ජනතාවගේ නිදහස සීමා කෙළේය. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය භාවිතයන් පවා, ඇතැම් අවස්ථාවක, අතහැරියේය. නිදහස යනු නිරපේක්ෂ දෙයක් වශයෙන් ගත් (එන්නත පවා ප්‍රතික්ෂේප කළ) නරුම සුළුතරයක් හැරුණු විට, එම හදිසි තත්වය, අප කවුරුත් අවනත විය යුතු සහ හිස නැමිය යුතු තත්වයක් බව පොදුවේ ලෝකයා පිළිගත්තේය. එහිදී, ප්‍රජාතන්ත‍්‍රවාදය දෙවැනි තැනට වැටීම අපට තේරුම්ගත හැකිය.
යුද්ධයක් ඇති අවස්ථාවක, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තේරීම මතුවන්නේද එයාකාරයෙනි. අපේ රටේ යුද්ධය පැවති අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය නොවැදගත් තැනකට වැටීම උදාහරණයට ගත හැකිය. ඒ සෑම අවස්ථාවකදීම ප්‍රජාතන්ත්‍රවාදය පසුබැස ජාතික ආරක්ෂාව පෙරට එයි. එහෙත්, යුද තත්වයකදී ජාතික ආරක්ෂාවත්, වසංගත තත්වයකදී ජීවිත ආරක්ෂාවත්, අඩුවැඩි වශයෙන්, ‘ඇසට පෙනෙන’ සහ ‘ඇඟට දැනෙන’ තත්වයන් බව අපි දනිමු. ආර්ථිකය ගොඩගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ඔට්ටුවට තැබීම යනු වෙනම කාරණයකි. ප්‍රජාතන්ත්‍රවාදයට නිවාඩු දී ආර්ථිකය ගොඩගැනීම යනු, ලෝකය පුරා සිටි බලලෝභීන් වරින් වර පාවිච්චියට ගෙන ඇති බොරුවකි. අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් ඒ බව නොයෙක් වර සනාථ කොට තිබේ.
දෙගොල්ලන්ම දෙගිඩියාවක?
මෙය, නරුම සරදමක් රඟදැක්වෙන දේශපාලනික මොහොතකි. ආණ්ඩුව කරවන රනිල් වික්‍රමසිංහ තමාගේ ඉදිරි සාර්ථකත්වය ගැන පවා ඇති යම් දෙගිඩියාවක් නිසා පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල්දමා ගැනීමට බලන මොහොතක, කෙසේ හෝ මේ මැතිවරණය මේ මොහොතේම ලබාගත යුතු යැයි විපක්ෂය සිතන්නේ, වික්‍රමසිංහගේ අනාගත ‘සාර්ථකත්වයක්’ ගැන වික්‍රමසිංහට වඩා විශ්වාසයක විපක්ෂය සිටින බැවින් විය යුතු යැයි මේ ලියුම්කරුට සිතේ. පළාත් පාලන ඡන්දය නොපවත්වා ගත වන දවසක් පාසා, ආර්ථිකයේ ඇති වන ඕනෑම සාධනීය තත්වයක් තමන්ට අවාසිසහගත තත්වයකින් අවසන් වෙතැයි යන බියක් විපක්ෂයට තිබෙනවා විය හැකිය. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව, මේ මොහොතේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින්, ජාතික ජන බලවේගය සියයට 48 ක් ද, සමගි ජන බලවේගය සියයට 46 ක්ද ලබාගනු ඇතැයි පෙන්වා දී තිබුණි. (මෙවැනි සමීක්ෂණ අකුරට නිවැරදි නොවෙතත්, දළ රටාවක් වශයෙන් නිවැරදි විය හැකි බව අනුමාන කළ හැකිය). මේ මොහොතේ විපක්ෂය සතු එකී වාසිසහගත තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය ලැබීමෙන් පසු, චීනය සහ ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අතගැසූ පසු, ආපස්සට කැරකිය හැකි බව විපක්ෂය සිතනවා ඇති. ඒ නිසාම, පළාත් පාලන ඡන්දය වහා ලබාගැනීමේ දේශපාලනික අවශ්‍යතාවක් ඔවුන්ගේ පැත්තෙන් මතුව තිබේ.
මේ කඳවුරු දෙකම කටයුතු කරන්නේ, බල අරගලය ඉලක්ක කරගත් ධාවන පථයක බව පෙනී යයි. රනිල් වික්‍රමසිංහට, ආර්ථිකය (යැයි ඔහු හඳුන්වන ඔහුගේ බලය තරම්) ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් නැත. සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට, ආර්ථිකයට වඩා, ප්‍රජාතන්ත්‍රවාදය (යැයි ඔවුන් හඳුන්වන) මැතිවරණ බලය වැදගත් ය. කරුණු එසේ වෙතත්, එකී බල අරගල ව්‍යාපෘතිය තුළ, රනිල් වික්‍රමසිංහට නැති සුජාත භාවයක් මේ මොහොතේ විපක්ෂයට ඇති බව පැහැදිලියි. ව්‍යවස්ථාව සහ දේශපාලනික සදාචාරය එහිදී ඔවුන්ගේ ශක්තියට සිටී. ඒ නිසා, විපක්ෂය විසින් පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ ඉල්ලා සිටීම, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔවුන්ගේ සත්භාවය කුමක් වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි කිසිවෙකුට කිව නොහැක.
මේ මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ‘‘වඩාත් සුදුසු දිනය’’ වන්නේ අප්‍රේල් 25 වැනිදා යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කෙළේය. වචන හැසිරවෙන ලස්සන ඔබට පෙනේද? වඩාත් සුදුසු දිනය! මේ අතර, මැතිවරණය අරභයා ප්‍රකාශයට පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණයෙන් පසුව පවා ජනාධිපතිවරයා නැවතත් කියා සිටියේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන තුරු ඡන්දයක් නොපවත්වන බවයි. එහිදී ඔහු තවත් කාරණයක් අපට දැනුම් දුනි. එනම්, පාර්ලිමේන්තු ක්‍රමයෙන් මිස බල හුවමාරුවක් සිදු විය නොහැකි බවත්, පාරේදී එවැනි ගනුදෙනුවකට ඉඩක් නැති බවත් ය. එසේ කියන්නේ, පාරේ ගනුදෙනුවකින් (අරගලයෙන්) බලයට පත් පුද්ගලයෙකි! පාර්ලිමේන්තු ක්‍රමයේ කාලීන මැතිවරණ පවා ප්‍රතික්ෂේප කරන්නෙකි!
අන්තවාදය විසඳුමක් නොවේ
කරුණු එසේ වෙතත්, පුරුද්දට සහ මෝස්තරයට විරෝධතා පැවැත්වීමත් ප්‍රජාතන්ත්‍රවාදයට නොහොබී. අන්තරය නමින් හැඳින්වෙන පිරිස, අරාජකත්වයම ඉල්ලා පාරට බසින පිරිසක් බවට පත්විය යුතු නැත. උසස් අධ්‍යාපනය ලබන්නන් වූ පමණින්, රටේ දේශපාලනය තීන්දු කරන ගාමක බලවේගය තමන් යැයි ගැනීම, ඔවුන්ම අදහතියි කියන මාක්ස්වාදයට පවා පටහැනි ය. විරෝධය සහ විවේචනයටත්, ඒ ඒ සන්දර්භයන් යටතේ බලපැවැත්වෙන වෙනස් මාත්‍රාවන් තිබේ. මේ කණ්ඩායම නියෝජනය කරන එක් ආර්ථික විශ්ලේෂකයෙකු, රුපියලේ වර්තමාන අගය ඉහළ යාම ගැන දීර්ඝ යූ ටියුබ් විවරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා මුදාහැර තිබුණි. ඔහුගේ කරුණු දැක්වීමෙන් පෙනී ගියේ, පටු පක්ෂ අවශ්‍යතාවන් මත යථාර්ථය විකෘති කිරීමට ගන්නා අසාර්ථක උත්සාහයකි. තමන් හැර වෙන කිසිවෙකු ඉදිරිපත් කරන කිසි ආර්ථික මොඩලයක් තමන් පිළිනොගන්නා බව ඔහුගේ කතාවේ සාරාංශය විය.
භාණ්ඩ හා සේවාවන්හි පවතින හිඟය නැති කිරීම, බලයේ සිටින ඕනෑම පාලක පංතියක රාජකාරිය විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. රටේ ජාතික නිෂ්පාදන ධාරිතාව වැඩි කරගැනීම සඳහා අවශ්‍ය කරන මූලික භෞතික වාතාවරණය නිර්මාණය වන්නේ ඒ මගිනි. එනම්, ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ හැකිළුණු ආර්ථික අවකාශය ක්‍රමයෙන් ප්‍රසාරණය කිරීමෙනි. එහි අදහස වන්නේ, වැඩි වැඩියෙන් ආර්ථික ක්‍රියාවලිය තුළට දායකත්වය සැපයෙන ව්‍යාපාරික සහ ආයෝජන ඉඩකඩ සැලසිය යුතු බවයි. විදේශ විනිමය හිඟ කම නිසා පසුගිය කාලයේ එම ක්ෂේත්‍රය සංකෝචනය වී තිබුණි. ලංකාව කුඩා වෙළෙඳපොළක් වීමත්, ලෝකය සමග වඩාත් තදින් ගැටගැසී තිබීමත් නිසා, මෙවැනි සංකෝචනයක් (පටු වීමක්/හිර වීමක්) රටට බලපානුයේ ඉතා නරක අන්දමිනි. උදාහරණයක් වශයෙන්, අපේ නිමි භාණ්ඩ අපනයන ක්ෂේත්‍රයෙන් සියයට 70 කටත් වැඩි ප්‍රමාණයක යෙදවුම් සමන්විත වන්නේ ආනයනයන්ගෙන් බව පෙන්වා දිය හැකිය. ඉතිං, ආනයනයන් සීමා වූ විට අපනයනයන්ද සීමා වෙයි.
පසුගිය කාලයේ ආනයනයන් සීමා කිරීම නිසා, විශේෂයෙන් සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය කඩාවැටුණි. ආනයනයන් සීමා කිරීමට හේතුව, විදේශ විනිමය හිඟකමයි. දැන්, ඒ විදේශ විනිමය ආදායම් ඉහළ යමින් තිබෙයි නම්, ඊළඟට වහා කළ යුතුව තිබෙන්නේ, ආනයන ක්ෂේත්‍රයේ ඇති වූ පෙර කී අවහිරකම් ක්‍රමයෙන් ඉවත් කොට, අපනයන ක්ෂේත්‍රයට අවශ්‍ය කරන තල්ලූව ඒ මගින් ලබා දීමයි.
කරුණු එසේ තිබියදී, ගිය වසරට වඩා මේ වසරේ විදේශ විනිමය රට තුළට ගලා ඒම ඉහත කී පිරිස් දකින්නේ තාවකාලික දෙයක් වශයෙනි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීම ඔවුන්ට අනුව මායාවකි. රුපියලේ අගය වැඩි වුණා නොව, හංගාගෙන තිබූ ඩොලර් ප්‍රමාණයක් බැංකු ගනුදෙනු පද්ධතියට ඇතුළු වීම නිසා රුපියලේ තාවකාලික අගයක් නිර්මාණය වුණා පමණක් බව ඔවුන්ගේ අදහසයි. එහි යම් ඇත්තක් ඇතත් එය වර්තමාන අර්බුදයේ එක සාධකයක් පමණි. කෙසේ වෙතත්, රුපියලේ අගය වැඩි වීමේ ප්‍රධාන සහ එකම සාධකය එය පමණක්ම යැයි මොහොතකට උපකල්පනය කළත්, එයම පවා, එනම් හංගාගෙන සිටි ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීමට කෙනෙකු පෙළඹවිය හැකි උත්තේජන තත්වයක් නිර්මාණය වීම පවා, ආර්ථිකය ඉදිරි දිසාවකට යොමු කරවන යහපත් තත්වයක් වශයෙන් පිළිගැනීමට ඇති බාධාව කුමක්ද?
රුපියල ඉහළ යාම සහ උද්ධමනය පහළ යාම
නැත, රුපියලේ අගය ඉහළ යන්නේ මීට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් නිසා ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ක ආධාරය ලැබීම පිළිබඳ විශ්වාසය තහවුරු වෙමින් තිබීම එහිදී ප්‍රධානයි. ඉන්දියාව, චීනය, ජපානය සහ යුරෝපා සංගමයත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ආදී ජාත්‍යන්තර සංවිධානත් අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයාසයට සෘජුවම ආධාර කරන බව පෙනී යාම තවත් පැත්තකින් තිබේ. ගිය සතියේ ලෝක බැංකුවට අනුබද්ධිත ආයතනයක් මගින් ඩොලර් මිලියන 400 ක මුදලක් අපේ බැංකු පද්ධතියට එන්නත් කරන බව ප්‍රකාශයට පත්විය. ඒ, දේශීය ආනයනකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් සැපයීමටයි. මේ අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එවන මුදල් ප්‍රමාණය වැඩි වෙමින් තිබේ. ඒ සියල්ලේ එකතුවෙන් මූල්‍ය වෙළෙඳපොළේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසයක් පොදුවේ ජනිත වීම, රුපියලේ අගය ඉහළ යාමට හේතු වූ බව කිව හැකිය. එය නරක තත්වයක් නොවේ. (යම් මට්ටමකට වඩා රුපියලේ අගය ඉහළ නොයන බවට වගබලාගැනීමත් වැදගත් ය. මන්ද යත්, අපනයන කෙරෙහි එය නරක අන්දමින් බලපෑම් ඇති කළ හැකි බැවිනි. එය වෙනම මාතෘකාවකි). එවැනි යහපත් වර්ධනයන් ඇති වෙමින් තිබෙන බව ප්‍රතික්ෂේප කිරීම කුහකකමකි.
දේශීය වෙළෙඳපොල හැකිළීමේ ඊළඟ හේතුව වන්නේ, අධික උද්ධමනයයි. අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ පවා මිල දී ගැනීමට විශාල ජනතාවකට නොහැකි තත්වයක් අද උද්ගතව තිබේ. එයින් සිදුව ඇත්තේ පරිභෝජන වෙළෙඳපොල හැකිළීමයි. මේ කියන පරිභෝජනය පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් සියයට 40 කින් හැකිළී ගොස් ඇති බව සඳහන් ය. කොටින්ම, රුපියලේ අගය වැඩි වීම, උද්ධමනය පාලනය කිරීමටත් සහායකි. පාන් ගෙඩියේ පවා මිල මේ සතියේ පහළ ගියේ ඒ හේතුවෙනි.
මේ සියල්ලෙන් කියැවෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇති කළ විනාශයෙන් යම් තරමකින් අප ගොඩඑමින් සිටින බවක් මිස, තිරසාර සංවර්ධන මාවතකට පිවිස ඇති බවක් නොවේ. මේ වනාහී, එකී සංවර්ධනයේ මාවතට පිවිසීම සඳහා පිටිය සකස් කිරීමක් පමණි. එහෙත්, එසේ ඇති කරගන්නා හුස්මගැනීමේ අවකාශය, හුදෙක් අපේ ණය බර තවත් වැඩි කරගැනීම සඳහා පමණක් අනාගතයේදී පාවිච්චියට ගැනෙයි ද, එසේ නැතහොත්, ලැබෙන අවසරය වඩාත් තිරසාර ආර්ථික පදනමක් දමාගැනීම සඳහා පාවිච්චියට ගැනේවිද යන්න ඉදිරියේදී බලාගැනීමට ඇති කාරණයක් මිස දැන් තියා විවේචනය කිරීමට සහ පහරදීමට යොදා ගත හැකි කාරණයක් නොවේ. කෙසේ වෙතත්, ඉදිරිපත් කරන එවැනි ඕනෑම විවේචනයක් සමග තමාගේ විසඳුම ඉදිරිපත් කිරීමටත් විවේචකයා සමත් විය යුතුය. එසේ නොමැති විවේචන, හිස් බස් පමණි.
මේ සියල්ල එකට කැටි කොට ගත් විට, ආර්ථික අගාධයෙන් ගොඩඒමේ නිවැරදි දිසාවන් සහ ප්‍රතිපත්ති කඩාකප්පල් නොකරමින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ දිනාගැනීම සඳහා විපක්ෂය මේ මොහොතේ සටන් කළ යුතුව තිබේ. එය, රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයෙන් ඉටු විය යුතු ප්‍රජාතන්ත්‍රීය කාර්යභාරයකි. අනිත් පැත්තෙන්, ආර්ථික අගාධයෙන් ගොඩඒම නමැති අවසරය දඩමීමා කරගනිමින්, මැතිවරණ ආදී මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ජනතාවගෙන් පැහැරගැනීමෙන් ආණ්ඩුව වැළකිය යුතුව තිබේ. එය, ආර්ථික දුෂ්කරතාවෙන් හෙම්බත්ව සිටින ජනතාවකගේ අසහනය පුපුරා යාමකට හේතු විය හැකි බැවිනි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda