iMage: Vikalpa File/ July 2018_Jaffna
මේ සටහන ලිවීමට පොලඹවන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ විසින් ඔහුගේ ෆෙස්බුක් ප්‍රොෆයිලය තුළ ප්‍රසිද්ධ කර තිබූ සටහනකි. වසන්ත මුදලිගේ ගේ එම සටහන විසින් මෙම මා ලියන සටහන ලිවීමට බල කෙරුණත්, මෙය වසන්ත මුදලිගේ අරඹයා පමණක් කේන්ද්‍ර කරගනිමින් ලියන සටහනක් නොවන බව මුලින්ම ලියා තැබිය යුතුය. මෙය අතුරුදහන් කරවූවන් සම්බන්ධයෙන් දකුණේ ඇතැම් අය තූළ ඇති ‘ට්‍රෝමා’ තත්ත්වයට ලබා දෙන එක් ප්‍රතිචාරයකි.
‘අන්තරේ’ වසන්ත මුදලිගේ ලියා තිබූ සටහන කුමක්ද?
// යාපනයේ “ජනතාව” අන්තරේ එළවපු හැටි…🏃♂️🏃♂️🏃♂️
ඊයේ(25) අන්තරේ PTA අහෝසි කරන්න බලකරමින් යාපනය නගරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. යාපනයේ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ඒකට සම්බන්ධ වුණා. ඒ වගේම ඩග්ලස් දේවානන්දගේ(EPDP) පක්ෂයේ 25ක වගේ පිරිසක් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් එක්ක ඇවිත් හෝල් එක ඉස්සරහා voice cut එකක් මීඩියා වලට දුන්නා ටිකක් අමාරුවෙන් වැනි වැනී. එයා කිව්වා එයාලට අපි කියන ප්‍රශ්න නෑ කියලා. ඒ වගේම අරගලයක් ගැන එයා දන්නේ නෑ කියලා එයාම EPDP කියලා කිව්වා. ඇත්ත. අපි කියන ප්‍රශ්න ඩග්ලස්ගේ පක්ශයටවත්, ඒ ආව සභාපතිටවත් නෑ. තමන්ගේ අතුරුදන් වුණ දරුවට මරණ සහතිකයක් හරි දෙන්න කියන ප්‍රශ්නය ඩග්ලස්ට නෑ. PTA එකේ අපි කියන මර්දනය ඒ පක්ෂයට නෑ ආන්ඩුවේ ඔඩොක්කුවේ හුරතල් වෙන නිසා. ඒ නිසා ඊයේ “යාපනය ජනතාව විරෝධය දැක්වූවා කියන එක…, EPDP පක්ෂය විරුද්ධ වුණා කියලා වෙනස් වෙන්න ඕන. එයාලගේ බල දේශපාලනයට අභියෝගයක් වෙන නිසාම මේක බලාපොරොත්තු විය යුතු තත්වයක්. හැබැයි අපිට ඒක අදාළ වුනේවත් නෑ. සම්මන්ත්‍රණ සිද්ද වුණා. යාපනේ ඇවිදලා එහේ අය හදලා දුන්න කෑමත් කාල හවස ක්‍රිකට් එහෙමත් ගහලා කොළඹ ආවා. අපි ආයෙත් ළගදිම යාපනේ යනවා.. ජය. //
වසන්ත ලියා ඇති ඉහත සටහනේ ඩග්ලස් දේවානන්ද සහ ඊපීඩීපී පිළිබද ලියා ඇති දේවල් සමග එකග වුවත් එක් අදහසක් ඉතාමත් බරපතල ප්‍රතිගාමී හැගවුමක් සපයයි.
එය කුමක්ද?
//තමන්ගේ අතුරුදන් වුණ දරුවට මරණ සහතිකයක් හරි දෙන්න කියන ප්‍රශ්නය ඩග්ලස්ට නෑ.//
මෙයින් කියැවෙන අර්ථය නම් ලංකාවේ දී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයන් ගේ සමීපතමයින්ට මරණ සහතිකයක් ලබා දී එම ‘අතුරුදහන් කිරීම’ ‘මරණයකට’ පරිවර්තනය කර අතුරුදහන් කිරීම නම් අපරාධය අතුරුදහන් කිරීමයි. කෙසේ නමුත් මරණ සහතික ලබාදීම පිළිබද මෙම අදහස නැවත වරක් කරළියට පැමිණෙන්නේ පසුගිය ‘යහපාලන’ ආණ්ඩු සමයේ ය. ඒ වන විට දකුණේ දී අතුරුදහන් කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඇතැම් කණ්ඩායම් මෙම මරණ සහතික ලබා දීම පිළිබද එකගතාවයක් පෙනෙන්නට තිබිණි. එපමණක් ද නොවේ, රු 6000.00ක් වැනි දීමනාවක්(සහණාධාරයක්) පිළිබද අදහසක් ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ විසින් යෝජනා කළ විට ද දකුණේ ඇතැම් කණ්ඩායම්/පුද්ගලයින් එයට එකගත්වය පළ කලේය. සමස්ථයක් ලෙස ගත් විට ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ සහ ආණ්ඩුව බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් පිළිබද ගෙන එන ලද බොහෝ යෝජනා සදහා දකුණේ බොහෝ පිරිස්/කණ්ඩායම්/ ඇතැම් සංවිධාන තම එකගත්වය පළ කලේය. ඒ සදහා පෙනී සිටියේය. කෙටියෙන් කිවහොත් දකුණේ බොහෝ පිරිස්වලට ‘මරණ සහතික’ ඇතුලු ‘සහණාධාර’ නැමති දිලිසෙන මායාවෙන්, යුක්තියේ ඉල්ලීමට ඇති වලංගුතාවය අවම කිරීමට දකුණේ ආණ්ඩුවලට, දකුණේ දී හැකියාව ලැබිණි.
එම නිසා දකුණේ ජීවත් වූ දකුණේ සිට අතුරුදහන් වූවන්ගේ ගැටලුව දෙස බලන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වැනි අයට ඉහතින් දක්වන ලද තත්ත්වයෙන් මිදී සැබෑ ගැටලුව, යුක්තිය පිළිබද ගැටලුවක් ලෙස නොපෙනී ‘මරණ සහතික’ ලබා දීම නැමති ‘රැවටීම’ ලෙස පෙනීම පිළිබද පුදුම විය යුතු නැත.
උතුරේ ඉල්ලීම කුමක්ද?
පසුගිය වසර ගණනාව තුළම වන්නියේ දී අතුරුදහන් කළ වූවන්ට යුක්තිය ඉල්ලා, යුද්ධයෙන් පසුව උතුරේ සහ නැගෙණහිර විවිධ ස්ථානයන් හී දී විවිද අන්දමින් ප්‍රබල ක්‍රියාකාරීත්වයන් මතු විය. ඒ අතරින් කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ප්‍රමුඛ ස්ථානයක් විය. වසරේ කිහිපවරක්ම අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් කෝවිලට පැමිණ දෙවියන් යදිමින් ඉල්ලා සිටියේ එකම දෙයකි. අතුරුදහන්කළ, හමුදාවට බාර වූ, බාරදුන් ඔවුන්ගේ දරුවන්ට, සැමියන්ට, බිරින්දෑවරුන්ට සිදු වූයේ කුමක්ද කියා හෙළි කරන ලෙසයි. එසේම ඔවුන්ට යුක්තිය ඉටු කරන ලෙසයි. යුක්තිය පිළිබද ගැඹුරු අපේක්ෂාවෙන් ඒ සියලු දේවල් ඔවුන් සිදුකලේ උතුරේ ක්‍රියාත්මක වූ ආරක්ෂක හමුදාවන් විසින් නිරන්තරයෙන් එල්ල කරන බලපෑම් මධ්‍යයේ ය. නමුත් ඒ කටුක පීඩනය හමුවේ වුවද යුක්තිය පිළිබද බලාපොරොත්තු අත්නොහැරී ඔවුන් උතුරේ දී ද නැගෙණහිර දී ද අතුරුහන් වූ සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා දින 2000කට වඩා අව්-වැසි නොතකා තවමත් යුක්තිය ලබා ගැනීමේ දුක්ෂකර මාවතේ ගමන් කරමින් සිටී.
පසුගිය ‘යහපාලන’ ආණ්ඩු සමයේ ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ විසින් 2018 ජූලියේ දී උතුරේ ජනයාගේ අදහස් විමසීමට යාපනයේ සහ කිළිනොච්චියේ රැස්වීම් දෙකක් පවත්වන ලදි. එම රැස්වීම් 2කටම සාමකාමී විරෝධය දැක්වූ උතුරේ අතුරුදහන් කළ වූවන්ගේ සමීපතමයින් ප්‍රකාශ කර සිටි කරුණු කිහිපයක් විය.
1. ඔවුන්ට කිසි විටකත් මරණ සහතික අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වෙන්නේ සත්‍ය සහ යුක්තිය බවත්ය. 2. ඔවුන්ට කිසි විටකත් සහණාධාර අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ සත්‍ය සහ යුක්තිය බවත්ය. 3. එසේම අතුරුදහන් වූවන්ට යුක්තිය ලගා කර ගැනීම සදහා ඔවුන් ඉල්ලා සිටින්නේ විනිවිද පෙනෙන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇතුලු කරුණු ගණනාවක් ඔවුන් එහිදී ඉදිරිපත් කළේය.
ඒ සියලු කරුණු තුළ ගැබ්ව තිබුණේ ‘සත්‍ය සහ යුක්තිය’ මිසක් ‘මරණ සහතික’ හෝ ‘සහණාධාර’ නොවේ. උතුරේ එම යතාර්තය දකුණට සන්නිවේදනය වුයේ නැති තරම්ය. සන්නිවේදනය වුවත් දකුණේ බොහෝ අය ඔවුන් ‘කැමති සත්‍ය’ තුළ කරනම් ගසමින්, උතුරට ‘දේවල්’ යෝජනා කරමින් සිටියේ ය. එබැවින් අද ද ‘තමන් කැමති සත්‍ය’ පමණක් දකින්නට වෙහෙසෙන අය විසින් දෙමළ ජනයාගේ ඉතිහාසය පුරා යුක්තියේ ඉල්ලීමත්, ඔවුන් විසින් ඉතාමත් දුෂ්කර තත්ත්වයන් තුළ වුව ද, අද ද පෙනී සිටින ‘යුක්තිය’ පිළිබද නොසිදී ඇති බලාපොරොත්තුව පිළිබද කියවා ගන්නේ නම් යහපතක් විය හැකිය.
හමුදාවට බාර වූවන්ට ත් ‘මරණ සහතික’ද?
අතුරුවූවන් පිළිබද දෙමළ ජනයාගේ ඉල්ලීම තුළ තවත් විශේෂ කරුණක් සදහන් කිරීම ‘මරණ සහතික’ යෝජනා කරන දකුණේ අයට වැදගත් වනු ඇත. එම සුවිශේෂී කරුණ නම් යුද්ධයේ අවසාන කාලයේ දී හමුදාවට බාර දුන් සහ හමුදාවට බාර වූ දෙමළ ජනයා පිළිබද ප්‍රශ්ණයයි. ‘මේ අත් දෙකෙන්මය මම අපේ පුතා හමුදාවට බාර දුන්නේ..’ වයෝවෘද්ධ මවක් කිලිනොච්චියේ දී මා සමග කීවේ මීට වසර කිහිපයකට පෙරය. එවැනි බොහෝ දෙනෙක් තවමත් උතුරේ සහ නැගෙණහිර ජීවිත්ව සිටිනු ඇත. එසේ හමුදාවට බාර වූ කිසිවෙක් අද වෙනතුරු දැක ගැනීමටවත්, ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් දැනගැනීමටවත් නොමැති බව භාර වූවන්ගේ සමීපතමයින් අද ද පවසයි. ඒ බාරවන ලද්දේ රාජ්‍යයේ නිළ හමුදාවටයි. නිළ හමුදාවට නිළ ලෙස බාර වූ කිසිදු අයෙක් පිළිබදව කිසිදු තොරතුරක් නැතිව වසර කීයක්ද? එසේ වූයේ ඇයි?
එබැවින් එසේ හමුදාවට භාර වූ අයගේ සමීපතමයින් අසන ප්‍රශ්ණය මෙයයි. ‘ඔවුන් කොහේද?’ ‘ඔවුන්ට සිදු වූයේ කුමක්ද?’…….
දැන් ඔවුන්ට රාජ්‍ය විසින් කිව යුතු වන්නේ ඔවුන් ‘අතුරුදහන්’ කියාද? නැතිනම් ඔවුන් ‘මරණයට’ පත් ව ඇති බව කියාද?
එසේ නැතිනම් ඔවුන්ටත් ‘මරණ සහතික’ ලබා දී අතපිහදා ගැනීමද?
‘මරණ සහතික’ – අපරාධය වසන් කිරීම සදහා එක් උපායක් නොවන්නේ ද?
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සදහා අත්සන් කරල ලද රටක් වන ශ්‍රී ලංකාව, එය නීතියෙන් අපරාධ වරදක් බවට පත් කරන ලද්දේ 2017 දීය. ඒ නීතිය ය.
නමුත්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමක දී එම අතුරුදහන් කිරීම සිදුකල අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා වින්දිතයන්ට ‘යුක්තිය’ ඉටු කිරීම ශිෂ්ට සමාජයක ප්‍රමුඛ කාර්යයකි. නමුත් එම ප්‍රමුඛ කාර්ය පසෙකලා අතුරුදහන්වූවන් ‘මිය ගොස්’ ඇති බවට උපකල්පනය කරමින් ඔවුන් සදහා ‘මරණ සහතික’ වැනි අපරාධය වසංකිරීම සදහා අලේපනයන් සදහා උනන්දු කරවීම අපරාධකාරී රාජ්‍යන්ගේ දේහ ලක්ෂනයකි. නමුත් එයට වෙනස්ව අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉටු කිරීමට බලකිරීම ශිෂ්ට සම්පන්න, යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ගේ යුතුකමකි.
නමුත් ඒ පුරවැසි යුතුකම වෙනුවෙන් පෙනී නොසිට ‘තමන් කැමති සත්‍ය’ තුළ සිටිමින්, අපරාධයන් වසං කිරීමට ගෙන එන ඇතැම් යෝජනා වෙනුවෙන් පෙනී සිටීමට පෙර, කටුක, අමිහිරි අත්දැකීම් මැද වුවද ‘යුක්තිය’ පිළිබද නොසැලෙන වන්නියේ හදවත් කියවා ගැනීමට යෝජනා කරමු.
පසු සටහන් – අතුරුදහන්කළවූවන් සම්බන්ධයෙන් ඉහතින් ලියා ඇති ලිපිය ලිවීමට පදනම අන්තරේ වසන්ත මුදලිගේ ගේ ෆෙස්බුක් සටහන වුවත්, එය දකුණේ ඇතැම් මනුෂ්‍ය ජීවීන් තුළ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වන සිතිවිලි වලට සෘජුවම අදාළ වන බව ද සලකන්න.