iMage: seismopolite.com

මීට වසර තුනකට කලින්, ගෘහස්ථ සූර්ය බලශක්ති ක්‍රමයට මාරු වීමට අපේ නිවසට හැකි විය. එහි අමතර ප්‍රතිඵලයක් වශයෙන්, අපේ මාසික විදුලි බිල පියවා අවසන් වීමෙන් පසුව රුපියල් 10,000-15,000 අතර මුදලක් මාසිකව තවමත් අපේ අතට ලැබේ. ඒ සඳහා අප වැය කළ ප්‍රාග්ධන මුදල, රුපියල් මිලියනයකි. මේ කාලයේ අපේ මිතුරන් තුන් දෙනෙක් මේ ක්‍රමයට මාරු වීමට බැලුහ. ඔවුන් කී පරිදි, ඒ වන විටමත් අවුරුදු දෙකකට වැඩි කාලයක් ඒ මාරු වීම කරගැනීමේ ආයාසයේ ඔවුන් නිරත වී තිබු‚. එහෙත්, එය සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකි විය.

අපට මේ සඳහා ගත වුණේ සති පහක කාලයක් පමණි. කිසි රස්තියාදුවක් නොවු‚. එක දවසක්, කලින් වෙන් කරගත් පැය භාගයක කාලයක් වෙනුවෙන්, අප අතරේ අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා අදාළ ආයතනයට යාමට සිදු විය. මුළු මුදලෙන් යම් කොටසක් අදාළ සමාගමට මුලින් ගෙවූ දා සිට, අවසානයේ අපේ වහලේ සූර්ය පැනල සවි කොට, සූර්ය බලශක්තියෙන් විදුලිය ජනනය කරන ක්‍රමයට මාරු වී, විශේෂ රස්තියාදුවකින් තොරව, ඉහත කී මුදල මාස්පතා අපේ අතට ලැඛෙන දවස උදාවීමට ගතවුණේ මාස දෙකක කාලයකි. අපේ මිතුරන් තුන්දෙනා, මෙය ලියන මොහොත වන විටත්, ඒ කාර්ය සඵල කරගත නොහැකිව ලතවෙති. (එවැනි තවත් බොහෝ දෙනා ගැන අනන්තවත් කතා අප අසා තිබේ.) මොවුන් සියල්ලන්, ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගියන් ය. අප, ලෙකෝ නමැති පෞද්ගලික සමාගමේ පාරිභෝගිකයන් ය.

කාරණා දෙකක් මෙහිදී අවධාරණය කෙරේ. එකක් වන්නේ, ආණ්ඩුවේ ලංකා විදුලිබල මණ්ඩලය මේ විදිහට එක දිගටම සිය පාරිභෝගිකයන් වෙනත් විදුලි ජනන ක්‍රමයකට මාරු වීම වළක්වන්නේ ඇයිද යන්නයි. උත්තරය ඉතා සරලයි. විදුලිබල මණ්ඩලයේ දූෂිත නිලධාරී පැලැන්තිය තමන්ගේ පාරිභෝගික සංඛ්‍යාව අඩුවෙනවා දකින්නට කැමති නැත. මන්ද යත්, වැඩියෙන් විදුලිය සපයන ජාලයක, එනම් වැඩියෙන් පාරිභෝගිකයන් සිටින ජාලයක, කොමිස් ඇතුළු වෙනත් දූෂිත ගනුදෙනුවලට මේ නිලධාරීන්ට ලැඛෙන ගණනත් වැඩි බැවිනි. ඒ නිසා, තමන්ගේ සැපයුමෙන් තොර වෙනත් සැපයුම් මාදිලියකට තමන්ගේ පාරිභෝගිකයන් මාරු වීම නිසා, යම් දවසක ඔවුන්ගේ වර්තමාන වළ ඉහගෙන කෑමේ සෙල්ලම ලාබදායි නොවන අවස්ථාවකට පැමිණෙන බව දන්නා බැවිනි. සෑම වසරකම ලංකා විදුලිබල මණ්ඩලය, ආයතනයක් වශයෙන් ලබන දැවැන්ත පාඩුව තුළ, වෙනත් නොයෙකුත් සාධකවලට අමතරව, මේ කියන දූෂිත ගනුදෙනුවේ පංගුවත් තිබේ. ඒ වනාහී, පරපෝෂිත නිලධාරී පැළැන්තියක්, ජනතාවගෙන් අය කරගන්නා වැඩි මිලකින් නඩත්තු කිරීමකි.

ඇති-හැකි එකාගේ බර,
නැති-බැරි එකා කරට ගත යුතු නැත

දෙවැන්න වන්නේ, රුපියල් මිලියනයක් වියදම් කිරීමට හැක්කේ කාටද යන ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම, මේ කියන වියදම අද වන විට ඊට වඩා තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිඛෙනවාට කිසි සැකයක් නැත. ඒ නිසා, එවැනි මූලික වියදමක් දැරීමට බොහෝ දෙනාට අපහසු බවටත් සැකයක් නැත. එහෙත් අප මේ කතා කරන්නේ, එම වියදම තමන්ගේ සාක්කුවෙන් දැරිය හැකි පිරිසක් ගැනයි. එම පිරිස, අර කියන විදුලිබල මණ්ඩලයේ මාෆියාව විසින් මර්දනය කරනු ලැබීම ගැනයි. එම පිරිසට, ඔවුන්ගේ පෞද්ගලික වියදමින්, එම විකල්ප විදුලි ජනන ක්‍රමයට මාරු වීමට ඉඩ දීමේ ප්‍රශ්නයක් තිබිය යුතු නැති බවයි. (අනිත් අතට, ඊට අඩු වියදමකින් අඩු ධාරිතාවෙන් යුත් සූර්ය බලශක්ති ක්‍රමයකට මාරු වීමේ ක්‍රම ඇති බවත් මතක තබාගත යුතුය). එසේ නොකිරීමෙන් වෙන්නේ, එවැනි අතමිට ඇති පාරිභෝගිකයන්ගේ විදුලි බිලෙන් කොටසක් පවා, මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සහනාධාර ක්‍රමයක් යටතේ දැරීමට සිදුවීමයි. උදාහරණයක් වශයෙන්, එක විදුලි ඒකකයක් නිපදවීමේ වියදම සාමාන්‍ය ජනතාවට මුළුමනින්ම දැරිය නොහැකිය යන පදනම යටතේ ආණ්ඩුවක් එම විදුලි ඒකකය එහි නිෂ්පාදන පිරිවැයට අඩු මිලකට පාරිභෝගිකයාට සපයන විට, ඒ පාඩුව ආණ්ඩුව දරාගනු ලැබේ. ආණ්ඩුව ඒ පාඩුව දරාගැනීම යනු, අවසානයේදී ජනතාව විසින්ම ඒ පාඩුව දරාගැනීමයි. ඉතිං, අතමිට සරු මිනිසා වෙනුවෙනුත් ආණ්ඩුව එවැනි පාඩුවක් දරන්නේ ඇයි? විදුලිය පරිභෝජනය කිරීමේ මට්ටම අනුව, ආරෝහණ ක්‍රමයකට විදුලි බිල වැඩි වන බව ඇත්ත. ඒ අනුව, මාසයකට විදුලි ඒකක 500 ක් පාවිච්චි කරන ධනවතෙකු ඉතා විශාල ගෙවීමක් කරන බවත් ඇත්ත. එහෙත්, ඒ ධනවතාටත්, අර සාමාන්‍ය ජනතාවට අඩු මිලට දෙන මුල් ඒකක 90 සපයනු ලබන්නේද එකී අඩු මිලටම ය. එසේ කළ යුතුද?

විදුලිය ඒකකයක් නිපදවීමට යන වියදම, විදුලිබල ජනන මූලාශ්‍ර අනුව, වෙනස් වෙයි. ජලවිදුලියෙන් නිපදවෙන ඒකකයක් සඳහා වැය වන්නේ රුපියල් 2.76 ක් බව කියැවෙයි. සුළං බලයෙන් ජනනය කෙරෙන විදුලිය ඒකකයක් සඳහා රුපියල් 10 කි. සූර්ය බලශක්ති ඒකකයක් සඳහා රුපියල් 30 කි. ගල්අගුරුවලින් වියදම රුපියල් 50 කි. බොරතෙල් සහ ඩීසල්වලින් නිපදවෙන ඒකකයක් සඳහා රුපියල් 125 කි. මේ සියලූ වියදම් කලවමේ තබා එකට ගණනය කළොත්, එක විදුලි ඒකකයක් සඳහා වැය වන මුදල රුපියල් 56 ක් බව කියැවෙයි. එහෙත් වැදගත් කාරණය මෙයයි. අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන නැති බැරි මිනිහාගේ විදුලි අවශ්‍යතා, අඩු නිෂ්පාදන වියදමක් සහිත ජලවිදුලියෙන් නිපදවෙන ධාරිතාවෙන් සැපිරිය හැකි වීමත්, රුපියල් 56 ක් වැනි වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ, වැඩිම විදුලියක් පරිභෝජනය කරන කෙනාගේ අවශ්-zඅවතයතා පියවීමට සිදු වීම නිසා බවත් ය. උÞහරණයක් වශයෙන්, මේ වසරේ ගිගාවොට් 4500 ක ධාරිතාවක් ජලවිදුලියෙන් (එනම්, අඩුම වියදම සහිත මූලාශ්-zඅවතරයෙන්) නිෂ්පාදනය කළ හැකි බවට ගණන් බලා තිබේ. මසකට එAකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන පහළම පංතියේ පාරිභෝගිකයන්ගේ වසරේ විදුලිය අවශ්‍යතාව ගිගාවොට් 2500 කි. ඒ අනුව, ලාභදායී ජල විදුලිය ධාරිතාවෙන් ඔවුන් සියල්ලන්ට විදුලිය සපයා තවත් ගිගාවොට් 2000 ක් ඉතිරිත් වෙයි. එහෙත්, රටේ මුළු අවශ්‍යතාව සඳහා එය නොසෑහෙන බැවින් ඊට වඩා මිල අධික ගල්අඟුරු සහ ඉන්ධන වැනි, පරිසර හිතකාමී නොවන, වෙනත් නිෂ්පාදන මූලාශ වෙත යාමට සිදුව ඇත. ඒ නිසා අවසානයේ සිදුව ඇත්තේ, අඩුම වියදමකින් නිපදවෙන විදුලියෙන් සෑහීමකට පත්විය හැකි ජන කොටසකගෙන් වැඩිම මිල ප්‍රතිශතයක් අය කරගැනීමයි. එනම්, එම ජනතාවගේ (එනම්, මසකට විදුලි ඒකක 90 ට අඩුවෙන් පාවිච්චි කරන පිරිසගෙන්) අය කරගන්නා විදුලි ගාස්තුව, පසුගිය මිල වැඩි කිරීමේදී, සියයට 1200 කින් වැඩි කර ඇති අතර, වැඩිම විදුලියක් පරිභෝජනය කරන (මසකට විදුලි ඒකක 300-600 අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන) පිරිසගෙන් අය කරගන්නා මිල වැඩි කර ඇත්තේ සියයට 200 කින් පමණක් වීමයි.

ඇත්ත, විදුලිය යනු ගෙවල් එළිය කිරීමට පමණක් පාවිච්චියට ගැනෙන දෙයක් නොවේ. රටක කර්මාන්ත අංශය දුවන්නේ විදුලියෙනි. ඒ නිසා, වැඩියෙන් විදුලිය පරිභෝජනය කෙරෙන විට වැඩියෙන් අය කිරීමේ පවා සීමාවක් තිබිය යුතුය. එසේ නොවුණොත්, රටේ කර්මාන්න කඩාවැටෙන්නේය. ආර්ථීකය අඩපන වන්නේය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් අප මෙහිදී අවධාරණය කරන කාරණය වන්නේ, නිෂ්පාදන වියදම පියවාගැනීමේ ක්‍රමය, ආර්ථීක සංවර්ධනය සහ සමාජ සාධාරණත්වය යන සිද්ධාන්ත දෙක අතරේ සාධාරණ තුලනයක් මත සිද්ධ විය යුතුය යන්නයි. මෙවර විදුලි බිල වැඩි වීමේදී ඒ බවක් දක්නට නොවුණි.

තවත් පැත්තකින් මේ කාරණය තේරුම්ගත හැකිය. පෞද්ගලික සෞඛ්‍යය අංශයක් (පෞද්ගලික රෝහල් සහ චැනලින් ආදිය) මේ රටේ නැතැයි මොහොතකට සිතන්න. එවිට, නැතිබැරි කෙනා මෙන්ම ඇතිහැකි කෙනාත්, රජයේ රෝහලකින්ම ප්‍රතිකාර ලැබිය යුතුය. එහෙත් ඒ රජයේ රෝහල සඳහා ආණ්ඩුව වැය කරන්නේ මහජන මුදල් නිසා, පෞද්ගලික රෝහලකට හෝ පෞද්ගලික වෛද්‍යවරයෙකුට වැඩි මිලක් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව සහ කැමැත්ත ඇති කෙනාවත් අප රජයේ රෝහල් පද්ධතිය තුළම බැඳ තබාගත්තොත්, නැතිබැරි මිනිසා සම්බන්ධයෙන් එය කොතෙක් දුරට සාධාරණ විය හැකිද? මේ නිසා, වැඩියෙන් වියදම් කිරීමට හැකියාව ඇති කෙනාව, අඩු වියදම් සහිත කෙනා වෙනුවෙන් සපයන මොනම පහසුකම් ජාලයකටවත් ඇතුළත් කරගත යුතු නැති බව කිව යුතුය.

පාරේ දුවන වාහන සහ ඉගිල්ලෙන වාහන

මෑතකදී පෙට්‍ර්ල් මිල වැඩි කරන තෙක්, සෑම ප්‍රෙට්‍ර්ල් ලීටරයකින්ම ආණ්ඩුව විශාල පාඩුවක් ලැබුවේය. ඒ පාඩුවට හේතුව, වෙනත් දූෂණ, අක්‍රමිකතා සහ නාස්තිවලට අමතරව, සෑම ලීටරයක් සඳහාම ආණ්ඩුවට දරන්ට සිද්ධ වූ සහනාධාරයයි. ලීටරය රුපියල් 100-200 අතර මිලකට තිබුණු කාලයේ සෑම ලීටරයක් වෙනුවෙන්ම ආණ්ඩුව (මගේ මතකය නිවැරදි නම්) රුපියල් 30-50 අතර සහනාධාරයක් දුනි. මේ සහනාධාරය රටේ සියල්ලන්ට එක සේ ලැබු‚. එනම්, අප සියල්ලන්ම පෙට්‍ර්ල් ලීටරයක් මිලට ගත්තේ එකම මිලකට බව ය. (තවමත් එසේමයි). එසේ වීම සාධාරණද? මගේ වාහනය පෙට්‍ර්ල් ලීටරයට කිලෝමීටර් 20 ක් දුවයි. මා දන්නා තව කෙනෙකුගේ වාහනයක් තිබේ. එය එක ලීටරයට දුවන්නේ කිලෝමීටර් 3 ක් පමණි. එය, ඒ තරමට සුඛෝපභෝගී සහ මිල අධික වාහනයකි. අද ඇමතිවරුන් ඇතුළු අපේ බොහෝ දේශපාලනඥයන් පාවිච්චි කරන වාහන ඒ ගණයට අයත් වෙයි. දැන් ප්‍රශ්නය මෙයයි. පෙට්‍ර්ල් ලීටරයකින් ආණ්ඩුව මට දෙමින් තිබූ සහනාධාරය, අර වාහනයටත් දිය යුතුද? නැත, යන්න මගේ උත්තරයයි. ඒ වෙන කිසිවක් නිසා නොව, ඇති-හැකි කිසිවෙකුට, කිසි ආණ්ඩුවක් දැවැන්ත පාඩු ලබමින් සහනාධාර දිය යුතු නැති බැවිනි.

පසුගිය කාලයේ පැවති ඉන්ධන ප්‍රශ්නය සමනය කරගත්තේ කිව්.ආර්. කේත ක්‍රමයක් අනුගමනය කිරීමෙනි. එහෙත්, මෙතෙක් කල්, අර කී පැලැන්තියේ සුපිරි වාහනවලට දෙන සහනාධාරය, එවැනිම කිව්.ආර්. කේත ක්‍රමයක් භාවිතයෙන් වළක්වා ගත නොහැකි වුණේ ඇයි? එක්කෝ, එවැනි වාහන මෙරටට ගෙන්වීම මුල පටන්ම නතර නොකෙළේ ඇයි? ඇත්ත, එවැනි වාහනයක් මෙරටට ගෙන්වන මොහොතේ පටන්, සෑම අදියරකදීම (වාර්ෂික වාහන ආදායම් බලපත්‍රයෙන් පවා) වෙනත් වාහනවලට වඩා බදු අය කරගන්නා බව සැබවි. එහෙත්, ඊට වඩා විශාල ලාභයක් ඒ වාහන අයිතිකරුවන් අර කී පෙට්‍ර්ල් මිල තුළ අඩංගු සහනාධාරයෙන් හිලව් කරගන්නා බව අප සැලකිල්ලට ගෙන තිබේද? තවත් පැත්තකින් බැලූවොත්, මගේ වාහනය කිලෝමීටර් 20 ක් දුවද්දී පරිසරයට මුදාහරින විෂ වායුව, අර වාහනය කිලෝමීටර් 3 ක් දුවද්දී පරිසරයට මුදාහරියි. එසේ හෙයින්, ඒ සෑම කිලෝමීටරයක් සඳහාම ඔහුගෙන් අමතර මිලක් අයකරගත යුතු නැත්ද? විශේෂයෙන් දුගී ජනතාවගේත්, පොදුවේ සමස්ත රටේත් සමාජ ආරක්ෂණ දැළක් ගැන සලකා බැලීමේදී, සහනාධාර ක්‍රමයේ ඇති එවැනි හිල් ගැනත් සැලකිලිමත් විය යුතුව තිබේ.

පෙට්‍ර්ල් ගැන මෙය ලියන දවසේ (19) උදේ වරුවේ සමාජ මාධ්‍ය තුළ නිවේදනයක් පළ විය. එය සැකෙවින් මෙසේ ය: මේ දිනවල උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන්, වාහනවල ටැංකි පිරෙන තෙක් පෙට්‍ර්ල් ගැසීමෙන් ටැංකි පුපුරා යාමට ඉඩ තිබේ. ඒ නිසා, ටැංකියෙන් බාගයකට වඩා පිරවීමෙන් වළකින ලෙස එයින් ඉල්ලා තිබුණි.

නිවේදනය නිකුත් කොට තිබුණේ, ලංකා ඉන්ඩියන් ඔයිල් සමාගම විසින් යැයි කියැවුණි. මෙය දුටු ගමන් මගේ කල්පනාවට ආවේ, උෂ්ණත්වය අධික මැදපෙරදිග රටවල වාහනවලට මොනවා වෙනවා ඇත්ද යන්නයි. වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීම පසුපස තිබූ දූෂණයට සමාන දූෂණයක් මෙරටේ වාහන සම්බන්ධයෙන්ද ඇතොත් මිස, එවැනි පිපිරීමක් ඇති වීමට කිසි ඉඩක් නැති බව අපේ සිල්ලර මොළය කීවේය. ඒ නිසා, අපට හිතුණේ, මෙය තවත් ආකාරයක නොනිල කිව්.ආර්. කේත ක්‍රමයක් විය හැකි බවයි. එනම්, පෙට්‍ර්ල් හිඟය මඟහැරගැනීම සඳහා බලධාරීන් විසින් ප්‍රචාරය කරනු ලබන උප්පරවැට්ටියක් විය හැකි බවයි. කෙසේ වෙතත්, හවස් වන විට ලංකා ඉන්ඩියන් ඔයිල් සමාගම එම ප්‍රතිචාරය සාවද්‍යය එකක් බව කියා තිබුණි. නවීන වාහන නිපදවන්නේ ඒ සියලූ කාරණා තරයේ සැලකිල්ලට ගෙන බවත්, ඒ නිසා ටැංකිය පිරෙන තෙක් ඉන්ධන ගැසීමේ කිසිම අවදානමක් නැති බවත් එම නිවේදනයෙන් කියා තිබුණි.

මේවා සිල්ලර කතා ය. එහෙත්, තොග ගණනින් නිතිපතා සිද්ධ වෙයි. ඒ නිසාමදෝ, අපේ අවධානයට නිතර ලක් නොවන දේවල් බවට පත්ව තිබේ.

ගාමිණි වියන්ගොඩ | Gamini Viyangoda