iMage: blog.usaid.gov

අප මේ පසුකරමින් සිටින්නේ අරගලය හමුවේ බරපතල අර්බුදයකට ලක් වූ ‘සිස්ටම් එක’ නොහොත් සංස්ථාපිත දේශපාලන ක්‍රමය යළි සැකසෙමින් පවතින කාල පරිච්ජේදයකි. නැතහොත් සිස්ටම් එක ප්‍රතිස්ථාපනය වීමට ප්‍රයත්න දරන කාල පරිච්ජේදයකි. එම ප්‍රතිස්ථාපන ප්‍රයත්නයේ ප්‍රධාන කතෘකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහය. නිසැකවම බරපතල අර්බුදයක් හමුවේ සිස්ටම් එකට එය මෙතෙක් පැවති ආකාරයෙන්ම යළි සැකසිය නොහැකිය. ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි දේශපාලන අර්බුද සමයකදී පැරණි දේශපාලන පක්ෂ හා නායකත්වයන් නව ස්වරූප අත්පත් කර ගනී. මින් පෙර නොපැවති ආකාරයේ සන්ධාන ගොඩ නගා ගනී. නව නායකත්ව රටාවන් සහ උපායමාර්ගික එළඹුම් සොයා ගනී. නව දෘෂ්ටිවාදී ආඛ්‍යාන නිර්මාණය කර ගනී. එලෙස නව තත්ත්වයන්ට හැඩ ගැසෙන්නට අසමත් වන පක්ෂ, සංවිධාන සහ ව්‍යාපාර දිරාපත් වී අභාවයට යාමට නියමිතය. මන්ද යත්, දේශපාලනය තුළ පොදුවේත් දේශපාලන අර්බුදයක් තුළ විශේෂයෙනුත් කිසිවක් ස්ථාවරව නොපවතින බැවිනි. දේවල්වල වේගවත් වෙනස්වීම් වටහාගෙන ඒ අනුව තියුණු උපායමාර්ගික/උපායික තෝරාගැනීම් කිරීමට අසමත් වන නායකත්වයන්ට අනාගතය හිමි වන්නේ නැත.

නිදසුනක් ලෙස, පළාත් පාලන මැතිවරණ උණුසුම පැවති පසුගිය කාලයේදී වාමාංශයේ පැත්තෙන් අඩුතරමින් උපායික තෝරාගැනීම් දෙකක් ඉදිරිපත් විය. පළමුවැන්න නියෝජනය කළේ පවතින ආයතනික සහ නෛතික රාමුව තුළ මැතිවරණය නොපවත්වා සිටීමට හැකියාවක් නොමැතිය යන්නත්, එබැවින් කළ යුත්තේ තම මුළුමහත් ශක්තිය හා සංවිධාන ක්‍රියාකාරීත්වය ඉදිරි මැතිවරණ ජයග්‍රහණයක් වෙනුවෙන් ආයෝජනය කළ යුතුය යන්නත් අවධාරණය කළ කණ්ඩායම විසිනි. ජවිපෙ/ජාජබ සහ එයට සම්බන්ධ බුද්ධි ශ්‍රේණීන් අයත් වූයේ එම කණ්ඩායමටයි. ඒ අතුරින් ඇතැමුන් පැවසුවේ ප්‍රභූ තන්ත්‍රය පරාජය කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් දැනටමත් උදා වී ඇති බවයි. දෙවෙනි තෝරාගැනීම නියෝජනය කළේ මෙරට දේශපාලන ප්‍රභූ තන්ත්‍රය තම පැවැත්ම අභියෝගයට ලක්ව තිබෙන වාතාවරණයක් තුළ සාමාන්‍ය ආයතනික සහ නෛතික රාමුවට අනුව ක්‍රියාත්මක නොවනු ඇති බවත් එබැවින් මැතිවරණයක් දිනාගැනීම සඳහා වුවත් ජනතා අරගල ක්‍රියාමාර්ගයක් වුවමනා වනු ඇති බවත් අවධාරණය කළ කණ්ඩායම විසිනි. රැඩිකල් වාමාංශය සහ එයට සහාය දක්වන බුද්ධි ශ්‍රේණීන් අයත් වූයේ මෙම දෙවෙනි කණ්ඩායමටයි. පළමු කණ්ඩායම විශ්වාස කළේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ වුවමනාකම් අනුව මෙහෙයවිය නොහැකි තරමේ කිසියම් සාපේක්ෂ ස්වායත්තතාවක් මෙරට ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය සතුව තිබේය යනුවෙනි. දෙවෙනි කණ්ඩායම එම විශ්වාසය බෙදා ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් අවධාරණය කළේ පැවැත්ම පිලිබඳ තර්ජනයකට ලක්ව සිටින ප්‍රභූ තන්ත්‍රය කිසිසේත්ම සාමාන්‍ය ‘තරඟ රීතීන්’ අනුව ක්‍රීඩා නොකරනු ඇති බවයි.

නාට්‍යයේ ඒ ජවනිකාව ඉක්මණින්ම අවසන් විය. දැන් තවදුරටත් පළාත් පාලන මැතිවරණයක් මෑතකදී පවත්වනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැත. නොපැවැත්වෙන මැතිවරණයක් සඳහා පැවති ප්‍රචාරක ව්‍යාපාරයද අවසන්ව ගොස් ඇත. තවදුරටත් දවසේ දේශපාලන න්‍යාය පත්‍රය සැකසීමේ ශක්‍යතාව ප්‍රභූ තන්ත්‍රය – සහ එහි වික්‍රමසිංහ පාර්ශවය – සතුය. නමුත්, තම උපායික තෝරාගැනීමේ වරද ජවිපෙ/ජාජබ නායකත්වය සහ ඊට සම්බන්ධ බුද්ධි ශ්‍රේණීන් තවමත් වටහාගෙන තිබේදැයි සැක සහිතය.

මධ්‍ය-වාමාංශයේ අකර්මණ්‍යතාව

උපායික තලයෙහි අසමත්භාවයට එකම නිදසුන වත්මන් ජවිපෙ/ජාජබ පමණක් නොවේ. ගැටළුව වන්නේ අද දිනයේ ජනතාවගේ ජීවිත කෙරෙහි තීරණාත්මකව බලපාන තීන්දු තීරණ වික්‍රමසිංහ පාලනාධිකාරය විසින් ගනු ලබන විට සමස්තයක් ලෙස විපාක්ෂික කණ්ඩායම් කරමින් සිටින්නේ කුමක්ද යන්නයි. අයි.එම්.එෆ් වැඩ පිළිවෙළේ අංගයන් ලෙස සමාජයේ වඩාත්ම දරිද්‍ර සහ ආන්තික කොටස් පීඩනයට ලක් වන විට ඔවුන් සිටින්නේ කොතැනද? තම සුභසාධක අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව සංවිධානය වන වෘත්තීය සමිති අතර ඒකාබද්ධතාවක් ගොඩ නගා එය සක්‍රීය දේශපාලන විරෝධතාවක් බවට පත් කරන්නට ඔවුන් ඉදිරිපත් නොවන්නේ ඇයි? ඊනියා ප්‍රති-ත්‍රස්ත පණතට එරෙහි ඒකාබද්ධ විපාක්ෂික උද්ඝෝෂණයක් දක්නට නොලැබුණේ මන්ද? ප්‍රති-ත්‍රස්ත පණතින් එල්ල වන්නට යන මර්දනය තමන් කරා නොඑනු ඇතැයි ඔවුන් කල්පනා කරනවාද? එසේනම්, ඒ කවර සාධක මත පදනම් වීද? ජනතාවාදී දේශපාලනය යනු තමන්ව බලයට පත් කරන්නැයි පීඩනයට පත් ජනතාවගෙන් ඉල්ලා සිටීම පමණක්ද? තම මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් අති විශාල ජනතා රැළි සංවිධානය කරන්නට උනන්දු වන පක්ෂ ප්‍රති-ත්‍රස්ත පණතට එරෙහිව ජනතාව බලමුළු ගැන්වීමට තමන් සතු ශක්තීන් යොදා නොගන්නේ මන්ද?

විපක්ෂයේ මෙම අකර්මණ්‍යතාව පසුපස තිබෙන දේශපාලන චින්තන මාදිලිය වටහා ගන්නට මෑතකදී ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායක එක්තරා වෙබ් අඩවියක් සමග කළ සාකච්ජාවකදී පළ කළ අදහසක් උපුටා දැක්වීම ප්‍රයෝජනවත්ය. ප්‍රති-ත්‍රස්ත පණත පිළිබඳව ප්‍රශ්න කළ විට ඔහුගේ පිළිතුර වූයේ තමන් එය පරාජය කිරීම සඳහා කළ හැකි සියල්ල කරන බවත් (සැබවින්ම ඔවුන් සියල්ල කරමින් සිටීද යන්න වෙනම ප්‍රශ්නයකි), එම පණත සම්මත වුවද ජනතා අනුමැතියකින් තොරව එයට ජීවයක් හිමි නොවනු ඇති බවත්ය. මේ දෙවන කාරණයෙන් හැඟවෙන්නේ කුමක්ද? ජනතා අනුමැතිය සහ සහයෝගය අනුව ක්‍රියාත්මක වන නෛතික පිළිවෙලක් පිළිබඳ මේ අධි-විශ්වාසය ගලා එන්නේ කොතැනින්ද? තමන් මේ සංවාද කරමින් සිටින්නේ ප්‍රංශයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා සමගදැයි ප්‍රශ්න විචාරකයා හට මොහොතකට සැක සිතුනා විය නොහැකිද? (මේ දිනවල ප්‍රංශයේ සිදුවෙමින් පවතින දේ දෙස බලන විට සමාජ සම්මුතියක් මත පදනම් වූ නියෝජන ප්‍රජාතාන්ත්‍රික මාදිලියක් පිළිබඳ ආඛ්‍යානයේ ප්‍රබන්ධමය ස්වභාවය ගෝලීය උතුර තුළ පවා හෙළිදරව් වෙමින් තිබෙන බව වටහාගැනීම අසීරු නොවේ). මගේ අදහස නම් පවත්නා ප්‍රජාතාන්ත්‍රික සංකේත නීතිය පිළිබඳ මෙම අධි-විශ්වාසයට අමතරව තම දේශපාලන ව්‍යාපාරය පිළිබඳ අධි-තක්සේරුවක්ද ජවිපෙ/ජාජබ නායකයාගේ ප්‍රකාශය තුළින් ගම්‍ය වන බවයි. සරලව, මර්දනයේ ඉලක්කයක් බවට පත්වීමට තරම් තමන් කුඩා පක්ෂයක් නොවේ යැයි ඔහු කල්පනා කරනවා විය යුතුය. නමුත්,
බලය, පසමිතුරුතාව සහ උපායික බව පමණක් සැලකිල්ලට ගන්නා දේශපාලනිකයේ යෂ්ටිය ශක්තිමත් ලෙස අත දරාගෙන සිටින වික්‍රමසිංහ කල්පනා කරන ආකාරය එයින් වෙනස් විය නොහැකිද?

සීනුව හැඬවෙන්නේ කා හටද?

වික්‍රමසිංහ නියෝජනය කරන දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ දෘෂ්ටියෙන් බැලූ විට එහි පැවැත්ම අභියෝගයට ලක් කරන බලවේග දෙකක් අඩු තරමින් පවතී. පළමුවැන්න, රැඩිකල් වාමාංශය ඇතුළු අරගලයයි. දෙවැන්න, මැතිවරණ දේශපාලනය තුළ වේගයෙන් ඉහළට එසැවුණු ජවිපෙ/ජාජබ ජන රැල්ලයි. අවාසනාවකට මේ දෙක අතර පවතින්නේ තරඟකාරී සම්බන්ධයකි. මේ තත්ත්වය තුළ ප්‍රති-ත්‍රස්ත පණත ඇතුළු මර්දනීය උපකරණ මගින් පළමුවැන්න සහමුළින්ම අහෝසි කර දැමීමට තරම් ලාංකීය දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අපරිණත යැයි සිතිය නොහැකිය. මන්ද යත්, එසේ කළහොත් ඉන්පසුව මැතිවරණ දේශපාලනය තුළ තමන්ට අභියෝගයක් වන දෙවන බලවේගය තවදුරටත් ශක්තිමත් වීම වැළැක්විය නොහැකිය. එසේ වන්නේ සියලු ප්‍රධාන ධාරාවේ පක්ෂ කෙරෙහි පවතින පොදු ජනතා විරෝධයේ එකම සුජාත නියෝජිතයා බවට ජවිපෙ/ජාජබ පත් වීම නිසා පමණක් නොවේ. දේවල් ඊට වඩා සංකීර්ණය. පෙරටුගාමී පක්ෂය ඇතුළු රැඩිකල් වාමාංශය ප්‍රමාණාත්මකව කුඩා එකක් වුවද, කතිකාමය ලෙස ඉතාම බලපෑම් සහගත දේශපාලන ගුරුත්ව කේන්ද්‍රයකි. නොවැදගත් තරමේ අල්ප ජන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශකයින් හට අඛණ්ඩවම රූපවාහිනී සංවාද තුළ වැදගත් නියෝජනයක් ලැබෙන්නේ එබැවිනි. මෙම වාම ගුරුත්ව කේන්ද්‍රය විසින් ජවිපෙ/ජාජබ තුළ සිටින වඩා රැඩිකල් කොටස් – විශේෂයෙන්ම ජවිපෙ ක්‍රියාකාරී කාඩරය – වාම ස්ථාවරයන් වෙත අදිනු ලබයි. එම වමට ඇදෙන කොටසත් ජාජබෙහි වඩා මධ්‍යස්තවාදී කොටසුත් අතර නිරන්තර ආතතියක් පැවතීම වැළැක්විය නොහැකිය. විශේෂයෙන්ම ජාජබට සම්බන්ධ ඇතැම් බුද්ධිමතුන් ආර්ථික දක්ෂිණාංශික ස්ථාවරයන් වෙතට ඇදෙන විට එය පාලනය කෙරෙන අභ්‍යන්තර තිරිංගයක් ලෙස වාම ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියාත්මක වේ. එම වාම ගුරුත්ව කේන්ද්‍රය අහෝසි කර දමනවා යනු ජවිපෙ/ජාජබ සමන්විත වන අභ්‍යන්තර ප්‍රතිවිරෝධය විසඳා දීමකි.

අනෙක් අතින්, දක්ෂිණාංශික පාලකයින් තම ඓතිහාසික ඉගැන්වීම් අනුව ඉගෙනගෙන ඇති පරිදි, ඔවුන් වඩාත් උත්සුක වන්නේ ඔවුනට එරෙහිව මතුවන සංඛ්‍යාත්මකව බලවත් සතුරාව කොටස්වලට බෙදා දුර්වල කිරීමටය. එසේ කරනු ලබන්නේ සම්භාව්‍ය දෘෂ්ටිවාදී උපායන් මගින් පමණක් නොවේ. මර්දනය ක්‍රියාත්මක වන්නේද උපායිකවය. නිදසුනක් ලෙස, පසුගිය අරගලය සමයේදී පොලිස් මර්දනය ක්‍රියාත්මක වූයේ ජවිපෙ නොව පෙසප ඉලක්ක කරගෙනය. ඒ අතරම, එය ජවිපෙ දෙසට හැරෙන විට පක්ෂ නායකත්වය නොව සමාජවාදී තරුණ සංගමය ඉලක්ක කළේය. එම රටාව අනුව ඉදිරියේදී ඇතැම්විට ජාජබ වෙනුවට ජවිපෙ කාඩරයත් ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති එකතුවත් වෙත මර්දනය ඉලක්ක විය හැකිය. වෘත්තීය සමිති ව්‍යාපාරය වඩා වැදගත් වන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අයි.එම්.එෆ් නිර්දේශවලට එරෙහිව ප්‍රධානතම විරෝධයක් මතු කිරීමේ ශක්‍යතාව ඒවා සතු බැවිනි. මීට සමාන්තරව පසුගිය කාලයේදී ජාජබ වෙතට ආකර්ෂණය වූ ඇතැම් පොහොට්ටු සාමාජිකයින් නැවත වික්‍රමසිංහ-රාජපක්ෂ පෙරමුණ වෙතට එකතු කරගැනීමේ ප්‍රාසාංගික රැස්වීම් පවා ඉදිරියේදී අපේක්ෂා කළ යුතුව ඇත. එහි සංකේතාත්මක පණිවිඩය වනු ඇත්තේ දැන් රැල්ල ආපස්සට හැරෙමින් පවතින බවය. වෙනත් වචනවලින් කිව හොත්, ප්‍රභූ සංස්ථාපිතය සරලව සහ පහසුවෙන් තම බලය අත් හරිනු ඇතැයි අපේක්ෂා නොකළ යුතුය. එසේම, එය මැතිවරණ දේශපාලනය තුළ තමන්ට අභියෝගයක් වන සංඛ්‍යාත්මකව විශාල පක්ෂය දුර්වල කිරීමට ක්‍රියාමාර්ග නොගනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා නොකළ යුතුය. එබැවින්, ප්‍රති-ත්‍රස්ත පණතේ ඉලක්කය තමන් නොවනු ඇතැයි කල්පනා කිරීම තරම් අදූරදර්ශීකමක් වාමාංශයට තවත් නැත.

ජනතාවාදී හුදෙකලාවාදයක්?

මැතිවරණ තරඟයෙන් මොබ පවතින තීරණාත්මක දේශපාලන හැරවීම් වෙතට මැදිහත් වන්නට මධ්‍ය-වාමාංශය අසමත් වන්නේ එහි නායකත්වයට ඒ සඳහා දේශපාලන අධිෂ්ටානයක් නොමැති නිසා යැයි පැවසීම සාධාරණ නැත. සැබවින්ම, ඔවුනට එවන් මැදිහත්වීමක් සඳහා බාධා කරන තත්කාර්යවාදී බාධාවක් පවතී. එනම්, වෙනත් කිසිදු විපාක්ෂික කණ්ඩායමක් සමග (අඩු තරමින් වෙනත් වාමාංශික කණ්ඩායම් සමග පවා) පොදු ක්‍රියාමාර්ගවලට එළැඹීමට ඔවුන් දක්වන මැලිකමයි. ජවිපෙ/ජාජබ එසේ පොදු ක්‍රියාමාර්ග සඳහා මැලි වන්නේ කිසිදු වාමාංශික පවිත්‍රතාවාදයක් නිසා නොවේ. ඒ වෙනුවට, තමන්ට හිමිවීමට නියමිත ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරා යන ගමනට එවන් පොදු ක්‍රියාමාර්ග බාධාවක් වනු ඇතැයි යන ආකල්පය ඔවුන් අතර මුල් බැසගෙන තිබෙන බවක් පෙනේ. පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ජවිපෙ/ජාජබ විවේචනය ප්‍රධාන වශයෙන්ම එල්ල වූයේ විපක්ෂයේ විවිධ කණ්ඩායම් වෙතය. එය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. නමුත්, ප්‍රති-ත්‍රස්ත පණත වැන්නක් පරාජය කළ හැක්කේ පුළුල් ප්‍රජාතාන්ත්‍රික එකතුවක් මගින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සැබවින්ම, දැන් එම පණත තරමක් හෝ පසුපසට ගන්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සුළුතර ජනවාර්ගික ප්‍රජාව වෙතින් එයට එරෙහිව එල්ල වෙමින් පවතින විරෝධය බවයි, මගේ අදහස. මන්ද යත්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා මාර්ග සිතියමක් එළමින් සිටින වික්‍රමසිංහ පරිපාලනයට සුළුතර ජනවාර්ගික ජන්දය අතිශයින්ම වැදගත්ය. මෙම සාධකය දක්ෂිණාංශයේ බල තරඟයේදී ඉතාම තීරණාත්මකය. සමගි ජන බලවේගය දැන් මර්දනයට එරෙහි පොදු සන්ධානයක් ගොඩ නගා ගැනීමේ තේමාව යටතේ සුළුතර ප්‍රජාවේ නායකත්වයන්ට ආමන්ත්‍රණය කරන්නේ එබැවිනි. අර්බුදය හමුවේ දේශපාලනයේ නව සන්ධානගත වීම් රැසක් සිදුවෙමින් පවතින අතර සන්ධාන සහ දේශපාලන පෙරමුණු නිර්මාණය විය හැකි ආකාර කිහිපයක් පවතී. දැන් සජබද සන්ධාන තැනීමේ තරඟයට අවතීර්ණ වී සිටී. එහිදී ජවිපෙ/ජාජබට මග හැරුණු මර්දන-විරෝධී පොදු ක්‍රියාමාර්ගයක් පිළිබඳ තේමාව එය විසින් අත්පත් කර ගනිමින් සිටින බවක් පෙනේ. මධ්‍ය-වාමාංශය යළිත් දිස්වන්නේ සියල්ලන්ගෙන් හුදෙකලාව තනි මගක උදාරම් ලෙස පිය මැන යන හස්ති රාජයෙකු ලෙසිනි.

සුමිත් චාමින්ද | Sumith Chaaminda