iMage: lematinal
දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත. ඒ අතරින්, ප්‍රධාන සාධක කිහිපයක්,ඒවා විසින් සමාජය වෙත මුදාහරින ලද පරිහානියේ බරපතලකම අනුව වර්ග කළොත් මේ ආකාරයේ දළ සටහනක් අපට ලියාගැනීමට හැකි වනු ඇත:
(1) දේශපාලන නායකත්වයේ අදූරදර්ශී භාවය (2) ආගම සහ ජාතිය, රාජ්‍ය පාලනය කෙරෙහි මැදිහත් වීම (3) වැඩවසම් විඥානය (4) විධායක ජනාධිපති ක්‍රමය සහ ඒ සමග බැඳුණු මැතිවරණ ක්‍රමය (5) නීතියේ ආධිපත්‍යයේ බිඳවැටීම (6) සොරකම සහ දූෂණය (7) අධ්‍යාපන ක්‍රමය යථාවත් නොවීම හේතුවෙන් උගතුන් සහ නූගතුන් අතර චින්තනමය වෙනස මැකී යාම (8) ලෝකයේ සීඝ්‍ර දියුණුවට අනුගතව දේශීය ආර්ථිකය ප්‍රතිසංස්කරණය නොවීම ආදී වශයෙනි.
මේවා, එකකින් අනික වෙන් කොට ගත නොහැකි තරමට, එකකට එකක් අන්‍යොන්‍යව සම්බන්ධයි. උදාහරණයක් වශයෙන්, දූරදර්ශී දේශපාලන නායකත්වයක් තිබුණේ නම්, ඉහත කී ඉතිරි කරුණු දිගහැරෙන ක්‍රමය මෙතරම් නරක් නොවෙනු ඇත. එවැනි නායකත්වයක්, ආගම සහ ජාතිය තමන්ගේ බලය වඩවාගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහා පාවිච්චි නොකරනු ඇත. නීතියේ ආධිපත්‍යයට අත නොතබනු ඇත. අනිත් අතට, නීතියේ ආධිපත්‍යය තිබිණි නම් සොරකම සහ දූෂණය සමාජයේ මෙතරම් ඔඩුදුවන්ට සමත් නොවනු ඇත. තවද, අධ්‍යාපන ක්‍රමය ප්‍රවර්ධනය විණි නම්, වැඩවසම් විඥානය මෙතරම් හීන දීන නොවනු ඇත. වැඩවසම් විඥානය දුර්වල විණි නම්, ආගම සහ ජාතිය මේ ආකාරයෙන් රාජ්‍ය පාලනය කෙරෙහි මැදිහත් කරගැනීමට ජනතාව ඉඩ නොතබනු ඇත. මේ ආකාරයට ඒවා එකිනෙක සමග බැඳී ඇතත්, ඒවා වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට එය බාධාවක් නොවේ.
මේ ලිපිය ලිවීමේ නිමිත්ත හිතට ආවේ, දැන් සති කිහිපයක සිට දේශපාලන තලයේ ප්‍රමුඛත්වයට පැමිණ තිබෙන, පොහොට්ටුවේ ඊළඟ නාකත්වයට අදාළ වර්ධනයන් පිළිබඳ පළවෙන අදහස් උදහස් නිරීක්ෂණය කිරීමේදී ය. හැම කරුණකින්ම පෙනී යන්නේ, එහි ඊළඟ නායකයා වශයෙන් බැසිල් රාජපක්ෂ පත්කරගැනීම, එම පක්ෂයේ වර්තමාන නායකත්වයේත්, අනුගාමිකත්වයේත් අභිමතය වන බවයි. 2005 දී පටන්ගත් රාජපක්ෂ පාලනය 2022 මැයි මාසයේදී, එනම් හරියටම මීට අවුරුද්දකට කලින් පත්ව තිබුණු අදියර අනුව, මෙතරම් ඉක්මණින් නැවතත් ඒ පවුල මේ රටේ එක් ප්‍රධාන දේශපාලන ධාරාවක නායකත්වයට පත්වීම පසුපස ඇති වැඩවසම් චින්තන නැමියාව ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණයි.
මැජික්ලන්තයේ මැජික්
බැසිල් රාජපක්ෂ පිළිබඳ පුරාවෘත්තයක් තිබේ. එය, ගෝඨාබය රාජපක්ෂ ගැන තිබූ පුරාවෘත්තයමයි. එනම්, මොවුන් වනාහී, මැජික්කාරයන් බව ය. මේ රටේ වියතුන් යැයි කියාගත් ශාස්ත්‍රාලීය සහ ශාස්ත්‍රාලීය නොවන උගතුන් රාශියක් 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා ගොඩනැඟූ ප්‍රබන්ධය, හුදෙක් ඒ උගතුන් තුළ තිබූ බල තණ්හාවක් නිසා ඇති වූවක් යැයි සිතීම අසීරු ය. ඔවුන් සත්භාවයෙන්ම ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තැබූ බව පෙනෙන්ට තිබේ. මේ කියන පිරිස, සහතික ලත් උගතුන් වෙතත්, ‘වියතුන්’ නොවන්නේද එබැවිනි. වියත්තු යම් නිගමනයකට පැමිණීම සඳහා, සාධාරණ තර්ක ක්‍රමයක් අනුගමනය කරති. එහිදී, විෂය දැනුමට අමතරව, අත්දැකීම් සහ විචාර බුද්ධිය ආශ්‍රය කරගනී.
ගෝඨාභය රාජපක්ෂ ගැන, ඔහු බලයට පත්වීමට කලින් තිබූ අතීත අත්දැකීම් ඇත්තෙන්ම මොන වගේද? මේ කියන ‘වියතුන්ට’ සාධාරණයක් වනු පිණිස අපි මෙසේ සිතමු: ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් සිටියදී, දැඩි ප්‍රතිපත්ති මත පිහිටා ‘දක්ෂ’ ලෙස කටයුතු කළ බවට විශ්වාසයක් සමාජයේ තිබුණි. ඒ කියන දැඩි ප්‍රතිපත්ති සහ ‘දක්ෂතාව’ ඔහු පාවිච්චි කෙළේ කුමක් සඳහාද? ලැයිස්තුව ඉතා දිග වැඩි නිසා, එක කෙළවරකින් එකක් සහ තවත් කෙළවරකින් තවත් එකක් පමණක් මෙහි සඳහන් කරමු: කොළඹ නගරය ශෝභමාන කිරීම, ඔහුගේ ‘දක්ෂතාවයේ’ මෙහා කෙළවරේ තිබේ. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම එහා කෙළවරේ තිබේ.
දැන් මේ දෙපැත්ත අරගත්තොත්, ලංකාව වැනි රටක් දියුණු කිරීම සඳහා, වෙනස් අර්ථ දෙකකින්, ඒ දෙක වලංගු නොවෙයි. එකක්, එනම් නගර සෝබනය සහ රටක් සංවර්ධනය කිරීම අතර ගව් ගානක දුරක් සහ වෙනසක් ඇත. ‘‘විනාඩි තුනෙන්, බුලත් කහට ඉවත් කරයි: මුතු සුදු දත් බෙහෙත- මිල රුපියල් 70 යි’’ නමැති වෙළෙඳ දැන්වීමට එය සමාන ය. අනිත් පැත්තෙන්, රටක විනය ඇති කිරීමේ වාහකයක් වශයෙන් සුදු වෑන් පාවිච්චිය, ලංකාව වැනි හැම අතකින්ම දුප්පත් මුත් ප්‍රජාතන්ත්‍රවාදී සොච්චමක් පමණක් ඉතිරි කරගෙන සිටි රටක ඒ සොච්චම පවා අවසානයේදී නැති කරගැනීමට කියාපු ඖෂධයක් විය හැකිව තිබුණි.
එහෙත් එසේ වුණේ නැහැ නේදැයි දැන් කෙනෙකු පෙරලා ඇසිය හැකිය. ඔව්, එසේ නොවුණු බව ඇත්ත. සාධක දෙකක් ඊට බලපෑවේය. එකක් වන්නේ, ගෝඨාභය බලයට පත්වීමෙන් ගත වූ පළමු වසර තුළ එවැන්නක අවශ්‍යතාව පැන නොනැඟීමයි. එය වනාහී, 69 ලක්ෂයක් ජනතාව තමා සමග සිටිතැයි යන හැඟීම විසින් ඔහුගේ රාජ්‍ය තන්ත්‍රය තුළ ඇති කරන ලද හයියයි. එය බොරුවක් නොවේ. අසාධාරණ සිතිවිල්ලක්ද නොවේ. ඒ හයිය පිළිබඳ හැඟීම මොන තරම් ඔහුගේ ඔළුවට ගොස් තිබුණේද යත්, යම් කාර්යයක් කිරීමට චක්‍රලේඛයක් අවශ්‍ය බව කෙනෙකු පෙන්වා දුන් අවස්ථාවේ, චක්‍රලේඛ යනු තමා යැයි පරිපාලන නිලධාරීන් අමතා කීමට තරම් හයියක් ඔහුට තිබුණි. ‘‘රාජ්‍යය, ඒ මම ය’’ යනුවෙන්, 1755 දී පැරිස් පාර්ලිමේන්තුව අමතා 14 වැනි ලූවි රජුන් කී කතාවට එය සමාන ය.
දෙවැනි සාධකය වන්නේ, ඔහුගේ මුග්ධ තීරණ මාලාවක් විසින් සමාජය තුළ ඇති කළ කම්පනයේ රැල්ල තුළට අර 69 ලක්ෂයත් අවශෝෂණය කරගැනීම හේතුවෙන්, ආපස්සට හැරී වෙනත් මඟක් ගැනීමට ඉඩක් සහ කාලයක්, දෙවැනි වසර තුළ, මොන පැත්තකින්වත් ඔහුට ඉතිරි නොවීමයි. අවසාන මොහොතේ උමං මාර්ගයක් ඔස්සේ ජනාධිපති මන්දිරයේ සිට කොළඹ වරායට පැන යන අවස්ථාවේ පවා, ‘අරගලයට’ වෙඩි තැබීමට නියෝග දෙන්නැයි හමුදා අධිකාරීන් විසින් ඉල්ලද්දීත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව කියැවෙයි. හමුදා පළපුරුද්ද ඇති නිලධාරියෙකු වශයෙන්, පෙරලා පහරදීමක් සහ පසුබැසීමක් අතර කිරාබැලීමක් කිරීමට තරම් සංග්‍රාම භූමිය පිළිබඳ විෂයබද්ධ ඥානයක් ඔහුට තිබුණාට සැක නැත. ඒ නිසා ඔහු ඒ නියෝගය දුන්නේ නැත. බලය අභ්‍යාස කරන යමෙකු ඒකාධිපතියෙකු වන්නේ, රටේ සුළුතරයක් තමන්ට විරුද්ධව නැඟී සිටින තත්වයකදී පමණි. රටේ බහුතරයක් නැඟී සිටි හැම විටකම ඒකාධිපතියන් (ටියුනීසියාවේ බෙන් අලී) පලාගොස් ඇත. නැතහොත් ඝාතනය (ලිබියාවේ ගඩාෆි) වී ඇත.
එක මහාචාර්වරියකට යට වුණු
‘වියත්’ ආණ්ඩුවක්!
පහරදීමේ සහ පසුබැසීමේ හමුදා ඥානය රටක් පාලනය කිරීමට ප්‍රමාණවත් නැත. සමාජය ගැන, ආර්ථිකය ගැන සහ පරිපාලනය ගැන මනා අවබෝධයක් ඊට අවශ්‍ය කෙරේ. ඒ කිසිවක් ඔහුට තිබුණේ නැත. බලයට පත්වීමට කලින්, මාධ්‍යවේදීන් නඟන ප්‍රශ්නවලට උත්තර දීමට තරම් දැනුමක් ඔහුට තිබුණේ නැති බව බොහෝ අවස්ථාවල ප්‍රදර්ශනය කෙරුණි. තමා වටේ ‘වියතුන්’ සිටින නිසා, තමන්ට එවැනි දැනුමක් අවශ්‍ය නැතැයි ඔහු සිතන්ට ඇති. එහෙත්, ඒ වටේ සිටි ‘වියතුන්’ ද එවැනිම පටු චින්තනයකින් මෙහෙයවෙන පිරිසක් වූ විට තත්වය කුමක් වෙයිද? පසුගිය දා පාර්ලිමේන්තු විවාදයකට සහභාගී වෙමින් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මෙවැන්නක් කීවේය: එනම්, කෝවිඞ් රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ මිනී භූමදානය කිරීමෙන් ඒ රෝගබීජ පොළොවේ ජල තලයට මිශ්‍ර වන බවටත්, එයින් රෝගය පැතිරීම සීග්‍ර වන බවටත් වැරදි මතයක් ඉදිරිපත් කරමින් එක් මහාචාර්යවරියක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මුළු ආණ්ඩුවම එදා රැවැට්ටූ බව ය. මේ කියන්නේ, අර ‘වියත් මගේ’ එක් මහාචාර්යවරියක් ගැනයි.
කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු මුළු ඇමති මණ්ඩලයම ඒ මහාචාර්යවරිය කියන්නේ බොරුවක් බව එදා දැන සිටියහ. දැන නොසිටියේ නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ ලෝකයේ විවිධ තැන්වල සිටින එම විෂය පිළිබඳ විශේෂඥවරුන් ඒ ගැන දරණ මතය ඉතා පහසුවෙන් දැනගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්කම තිබුණි. (අප එය දැනගත්තේ එසේ ය). සත්‍යය වන්නේ, ජාතිකවාදී සහ ජාතිවාදී ‘වියත් මගේ’ චින්තනයම, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ ආණ්ඩුවට එදා පාර කියන එකම තරුව වී තිබුණු බව ය. මතක තියාගන්න: පාස්කු දින ප්‍රහාරයේ උපරිම වාසිය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ය. පස සහ ජලය රෝග වාහකයක් වීම පිළිබඳ අර කී දේශීය විද්‍යා ප්‍රබන්ධය ගොඩනැඟුණේ, පාස්කු ප්‍රහාරයේ සිට යාවත්කාලීන කෙරුණු මුස්ලිම්-විරෝධය මත ය.
දැන්, එම ගෝඨාභය රාජපක්ෂ නැවත මේ රටේ බලයට පත්කළ යුතු යැයි කියන කිසිවෙකු වේද? නැත. එසේ නම්, ඔහු තුළ නැති, අනිත් මැජික්කාරයා හෙවත් බැසිල් රාජපක්ෂ තුළ ඇති දක්ෂතාව කුමක්ද? මේ ලිපියේ මුල් ෙඡ්දයේ අංක 3 යටතේ ලියා ඇති වැඩවසම් විඥානය මිස වෙන කිසි පදනමක් බැසිල් රාජපක්ෂ කෙනෙකුගේ නායකත්වයක් සඳහා වන මහජන යෝජනාවකට පිටුබලය සපයන්නේ නැත.
අපූරු මොළයක්
නායකයන්ගේ දක්ෂතාව මණින මිම්ම වන්නේ, රටේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් කර ඇති හෝ කිරීමට ඉඩ ඇතැයි සිතිය හැකි පුරෝගාමී මැදිහත්වීම් ය. මේ කියන බැසිල් රාජපක්ෂ ඒ අංශයෙන් පෙන්වා ඇති දක්ෂතාව කුමක්ද? ඉහතින් කී ගෝඨාභය රාජපක්ෂගේ සෑම මුග්ධ තීරණයක් පසුපසම මේ බැසිල් රාජපක්ෂත් සිටියේය. 2010 සිට 2015 දක්වා ඔහු මෙරටේ ‘ආර්ථික සංවර්ධන’ ඇමතිවරයා ය. මෙරට ඉතිහාසයේ සංවර්ධන ව්‍යාපෘති සමග දූෂණය සහ සොරකම සම්මතයක් බවට පත්වන කාලය එයයි. ‘මිස්ට 10 පර්සෙන්ට්’ නමැති අපනාමය ඊටත් කලින්ම ඔහු උපයාගෙන තිබුණි. ඔහු මුදල් ඇමති වුණොත්, මැජික් පොල්ල ක්‍රියාත්මක වෙතැයි 2021 ජුලි මාසයේදී රාජපක්ෂවාදියෝ සිතූහ. ඉතිං, ඔහුට මුදල් ඇමති පදවිය දුනි. ප්‍රතිඵලය කුමක්ද? අවුරුද්දක් යන්නටත් කලින් (2022 අප්‍රේල්) සියලූ අවමාන මැද්දේ ඉල්ලා අස්වීමට සිදු වීමයි.
බොහෝ දෙනා ඔහුගේ ‘මොළයක්’ ගැන කතා කරති. අප මේ අයගෙන් ඇසූ විට ඔවුන් කියන්නේ, මැතිවරණ දිනීමට, වෙන අයට නැති හැකියාවක් ඔහුට ඇති බවයි. එහෙත්, 2015 දී ඒ හැකියාවට වුණේ කුමක්දැයි අප අසන විට ඔවුන් දෙන උත්තර ඉතා ළාමක ය. ඉන්දියානු හෝ ඇමරිකානු කුමන්ත්‍රණ න්‍යාය සරණ යාමට එහිදී ඔවුන්ට සිදු වෙයි. කෙසේ වෙතත්, මැතිවරණ දිනවීමට මනා හැකියාවක් ඇති බව සත්‍යයක්ම යැයි මොහොතකට පිළිගත්තත්, එය රටක් පාලනය කිරීමට සහ රටක් සංවර්ධනය කිරීමට සුදුසුකමක් වන්නේ කෙසේද? නැත, මෙතැන ඇත්තේ වැඩවසම් චින්තනයයි.
බණ්ඩාරනායක දේශපාලනික ප්‍රවේණිය, 2005 න් පසු වෙනත් වේශයකින් සමාජය අරක්ගත්තේය. ඒ, රාජපක්ෂවාදයයි. එහිදී, බණ්ඩාරනායක ප්‍රවේණියේ නොතිබුණු අංගයක් ඊට ආදේශ විය. ඒ, මහපරිමාණ සොරකම සහ දූෂණයයි. ඒ පවුල්වාදය, සාමාන්‍යයෙන් නම්, කෙටි කලකින් අවසන් විය යුතුව තිබුණි. එහෙත්, යුද්ධය අවසානයකට පත්කිරීම, රාජපක්ෂවාදයේ හැරවුම් ලක්ෂ්‍යය විය. සේනානායකලාට සහ බණ්ඩාරනායකලාට කිසි දවසක නොතිබුණු බලයක් මේ ජයග්‍රහණය විසින් රාජපක්ෂලාට අත්කර දුනි. එතැන් සිට එය ගමන් කරන්නේ වැඩවසම් පවුල් ප්‍රවේණියක් වශයෙනි. මහින්දගෙන් පසු ගෝඨාභය, ඔහුගෙන් පසු බැසිල් සහ බැසිල්ගෙන් පසු නාමල් ආදී වශයෙනි. පොහොට්ටුවේ ඊළඟ නායකත්වයට බැසිල් රාජපක්ෂ පත්වීමේ හේතුව එයම මිස වෙනත් මැජික් එකක් හෝ ‘මොළයක්’ හෝ නොවේ.
මේ රාජපක්ෂවාදය තුළ අප නිතර කතා නොකරන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, ඔවුන්ගේ රාජ්‍ය කාලය තුළ, බලය හසුරුවන මර්මස්ථානවලට එන්නේ, සැබෑ සුදුස්සන් වෙනුවට පවුලට තර්ජනයක් නොවන පිරිසක් වන බවයි. පවුල ඉදිරියේ දණගැසීමට හැකියාව ඇති පුද්ගලයන්ට එම ධූරාවලියේ ඉහළටම ගමන් කළ හැකිය. ඕනෑම රටක පාලක පවුලක් නොදියුණු වන විට, ඒ පවුල වටා ගොඩනැඟන පරිවාරය දියුණු මිනිසුන්ගෙන් හැඩි කර නොගැනීමට විශේෂ පියවර ගනු ලැබේ.
එදා ඔවුන් සමග සිටි සමහර ‘වියතුන්’ අද ඔවුන්ව විවේචනය කරන්නේ, මීට වසරකට කලින් ඇති වූ පෙරළිය විසින් ඔවුන්ගේ ළමා සිහිනය අතරමගක නතර කර දමන ලද බැවිනි. එසේ නොවුණි නම්, අදටත් ඔවුන් රාජපක්ෂලාගේ ප්‍රාතිහාර්යයක් ගැන ස්තෝත්‍ර ගායනා කරමින් සිටිනු අපට දකින්ට තිබුණි.
මුහුණ හංගාගන්නේ නැතිව, ආඩම්බරයකින් යුක්තව, ‘බැසිල් රාජපක්ෂ තමයි අපේ අනාගත නායකයා’ යැයි කියන්ට පුළුවන් වන ජාතියක් මොන තරම් ලැජ්ජා නැති ජාතියකද! අපේ අධ්‍යාපනය තුළ මුලින්ම ඉගැන්විය යුත්තේ ‘අ’ යන්න ‘ආ’ යන්න නොව, ලැජ්ජාව ය.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda