iMage: asianmirror.lk

තමා අනාගතවක්තෘ කෙනෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කළා යැයි කියන ප්‍රකාශයක්, බුදුන් වහන්සේට මෙන්ම ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමටත් නිග්‍රහයක් විණැයි විශාල හාහෝවක් මේ දවස්වල රටේ පැතිරෙයි. මේ ගැන පරීක්ෂණයක් කොට වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයි ජනාධිපතිවරයා නියෝග කොට තිබේ. ඒ සමගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති අතර ඔහුට රටින් පිට වීම වළක්වන නියෝගයක් මහේස්ත්‍රාත් අධිකරණයකින් ප්‍රකාශයට පත්කොට තිබේ. එහෙත් මේ වන විටමත් ඔහු රටින් පිටව ගොස් ඇති බවත්, ලබන ඉරිදා (21) ආපසු ලංකාවට එන බවත්, එහිදී අත්අඩංගුවට ගන්නා බවත් මාධ්‍ය වාර්තා කොට ඇත.

මොහු කිව්වා යැයි කියන කතාව ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ජාලයෙන් සොයා බැලීමේදී මට තේරුම්ගිය ආකාරයට දළ වශයෙන් ඔහු කියා ඇත්තේ මෙවැන්නකි: බුදුන් වහන්සේ යනු ‘ආලෝකයට පත් තැනැත්තා’ ය. යේසුස් වහන්සේ යනු ආලෝකය ය. වඩා වැදගත් වන්නේ, ආලෝකයට පත් තැනැත්තා වීම ද, නැත්නම් ආලෝකයම වීමදැයි ඔහු ප්‍රශ්නය කරයි.

දැන්, මෙහි ඇති ප්‍රශ්නය හෝ අපහාසය කුමක්ද? මේ ප්‍රශ්නය මේ ආකාරයෙන්ම ඉදිරිපත් කොට, මේ උත්තර දෙකෙන් එකක් පමණක් දෙන්නැයි මේ දේවගැතිවරයා මගෙන් ඉල්ලා සිටියේ නම් මා කියන්නේ, ආලෝකයට පත් තැනැත්තා වීමට මා කැමති වන බවයි. මන්ද යත්, ආලෝකයට පත් තැනැත්තා වූ විට, එය වෙනත් කෙනෙකු විසින් දෙන ලද්දක් නොව, මා විසින්ම අත්පත් කරගත් දෙයක් වන බැවිනි. එය මගේම දෙයක් වන බැවිනි. මට ආලෝකය සපයන්නේ වෙනත් කෙනෙකු නම්, ඔහු ඒ ආලෝකය නිවා දැම්මාත් මට අඳුරේ සිටින්ට සිදු වන්නේය. මා ඊට කැමති නැත.

ඉස්ලාම් ආගම අපහාසයට ලක් කළ බවට ඉදිරිපත් කරන ‘සාක්ෂිය’ මෙසේ ය: අල්ලා දෙවියන්වහන්සේට නම් 99 ක් කුරානයේ ඇතුළත් වන බවත්, ඒ කිසි නමක් ‘ආදරය’ හෝ ‘පියා’ වශයෙන් හඳුන්වා නැති බවත් මේ දේවගැතිවරයා ඉහත කී දේශනයේදී කියා තිබේ. එයට පිළිතුරු දෙන මව්ලවීතුමෙකුගේ ප්‍රවෘත්ති සාකච්ඡාමය වීඩියෝ පටයක් අසන්ට ලැබුණි. මේ මව්ලවීතුමා කුරානයේ ඒ නමින් (එනම්, ආදරය සහ පියාණන් නමින්) අල්ලා දෙවියන්වහන්සේව හඳුන්වා ඇති තැන් කිහිපයක් පෙන්වා දෙමින්, දේවගැතිවරයාගේ කතාව බොරුවක් බව ඔප්පු කරයි. ඉතිං, ප්‍රශ්නය කුමක්ද? දේවගැතිවරයා වැරදි අර්ථකථනයක් දී තිබේ, මව්ලවීතුමෙකු එය නිවැරදි කර තිබේ. අපහාසයක් තිබෙන්නේ කොහේද?

හින්දු ආගම සම්බන්ධයෙන් පාදිලිවරයා කියන කතා පැහැදිලිව අසාගැනීමට වීඩියෝ හඬපටයක් සොයාගත නොහැකි විය. එහෙත් වෙනත් වාර්තා අනුව පෙනී යන්නේ, සතෙකු දේවත්වයේ ලා සැලකීම අර්ථ විරහිත යැයි ඔහු කියා ඇති බවයි. දෙවියෙකුට ඇත් හොඬක් සවි කර තිබීම අභව්‍ය යැයි ඔහු කියා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් හින්දු පූජකතුමෙකු දෙන උත්තරයක් සොයාගැනීමට නැතත්, සත්ව වර්ගයා මේ පවතින ‘ස්වභාවික’ රූපයෙන් සතියක් ඇතුළත මැවීමට ඒ දේවවගැතිවරයාගේ දෙවියන් වහන්සේට හැකි විණි නම්, ඒ මැවීමට සපුරා වෙනස් (අලි හොඬක් සහිත) වෙනස්ම දෙවි කෙනෙකු වීමට හැකි වීම ඊටත් වඩා විශිෂ්ට සහ ප්‍රාතිහාර්යාත්මක වන බවට කෙනෙකුට තර්ක කළ හැකිය.

ඔහු කියන මේ සියලූ කතාවලින් ගම්‍ය වන්නේ, (තමාගේ ඇදහිලි හැර) වෙනත් ආගම්වල විශ්වාසයන් සහ ඇදහිලි ඔහු ප්‍රශ්න කරන බවයි. එය, මොන විදිහකවත් අපහාසයක් නොවේ. මුළු ලෝකයම එක ආගමක් අදහන මිනිස් සමාජයක් බවට පත්වෙතොත් මිස, එක ආගමිකයෙකු තවත් ආගමිකයෙකු ප්‍රශ්න කිරීම නතර වන්නේ නැත. එක ආගමකට වැඩි ආගම් ප්‍රමාණයක් ලෝකයේ තිබේය යන්නෙහි හුදු අර්ථයම වන්නේ, සෑම ආගමක් විසින්ම අනිත් සෑම ආගමක්ම ප්‍රශ්න කරනු ලබන බවයි. ප්‍රතික්ෂේප කරනු ලබන බවයි.

ප්‍රශ්න කිරීම සඳහා යොදාගත හැකි
ප්‍රවේශ තුනක්

කෙනෙකුව ප්‍රශ්න කිරීමේ ක්‍රම තුනක් ඇතැයි මට සිතේ. එකක් වන්නේ, ප්‍රශ්න කරන්නාගේ දෘෂ්ටිකෝණයේ පිහිටා සිටිමින් අනෙකාව ප්‍රශ්න කිරීමයි. උදාහරණයක් වශයෙන්, මාක්ස්වාදය විශ්වාස කරන කෙනෙකු ධනපති ක්‍රමය විශ්වාස කරන තැනැත්තෙකුව ප්‍රශ්න කිරීම නවත්වන්නේ දෙවැන්නා මාක්ස්වාදියෙකු බවට පරිවර්තනය කරගැනීමෙන් පසුව පමණක් නම් හෝ, එකී දෙවැන්නාව පරාජය කොට තමාගේ මාක්ස්වාදී රාජ්‍ය බලයක් ස්ථාපිත කරගැනීමෙන් පසුව පමණක් නම්, එම ප්‍රශ්න කිරීම මේ කියන ගණයට වැටෙයි. තවත් උදාහරණයක් ගත්තොත්, එක ආගමක් අදහන්නෙකු තවත් ආගමක් අදහන්නෙකු ප්‍රශ්න කරන්නේ තමාගේ ආගමික සිද්ධාන්ත මත පමණක් පිහිටා සිටිමින් නම් එය ද මේ ගණයට වැටෙයි. මේ කියන දේවගැතිවරයා අයත් වන්නේ ඒ ගණයටයි.

දෙවැනි ප්‍රශ්න කිරීම වන්නේ, තමාගේ දෘෂ්ටිය පැත්තකින් තියා, ප්‍රශ්න කිරීමට භාජනය වන තැනැත්තාගේ දෘෂ්ටිකෝණයටම බැස ඔහුව/ඇයව ප්‍රශ්න කිරීමයි. උදාහරණයක් වශයෙන්, මේ දේවගැතිවරයාගේ ප්‍රකාශය ගැන විරෝධය පළකිරීම සඳහා මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය භික්ෂූන් පිරිසක්, අපි සියම් නිකායේ යැයි කියති. එතැන සිටි තවත් භික්ෂුන් කිහිප දෙනෙකු පෙන්වා, ඔවුන් රාමඤ්ඤ සහ අමරපුර නිකායේ යැයි කියති. සියම්, අමරපුර, රාමඤ්ඤ ආදී වශයෙන් වන, කුලය නිසා බෙදුණු සංඝ සාසනයක් බුදුන් වහන්සේගේ සාසනයක් නම් විය නොහැකි බව, මේ සිද්ධිය පමණක් වුව ආශ්‍රය කරගෙන කෙනෙකු පෙන්වා දුන්නොත්, එය අප කියන මේ ගණයට වැටෙයි. එය, මගේ ක්‍රීඩා පිටියක නොව, ඔහුගේ ක්‍රීඩා පිටියක ඔහු සමග සෙල්ලම් කිරීමක් වැන්න. එහෙත්, මේ ප්‍රශ්න කිරීම සාධාරණ වීමට නම්, එක කොන්දේසියකට යටත් විය යුතුය. එනම්, ප්‍රශ්නයට භාජනය වන අවුල, ප්‍රශ්න කරන්නාගේ දෘෂ්ටිය/මතවාදය තුළ නොතිබිය යුතු බවයි. පළමුව කී ක්‍රමයට වඩා මේ ක්‍රමය අර්ථවත් ය. බුද්ධිමත් ය.

තුන්වැනි ක්‍රමය වන්නේ, ප්‍රශ්න කරන්නාගේ සහ ප්‍රශ්න කිරීමට භාජනය වන්නාගේ දෘෂ්ටිවාදය/ධර්මය නොසලකා, ප්‍රශ්නය පමණක් ප්‍රශ්න කිරීමයි. උදාහරණයක් වශයෙන්, මරණින් මතු පැවැත්මක් තිබේද යන ප්‍රශ්නය, අහවල් ආගමට හෝ ධර්මයට බැර නොකොට අපට සලකා බැලිය හැකිය. ඇත්ත වශයෙන්ම, ඒ ගැන ආගමික ශාස්තෘවරුන් තරමටම දාර්ශනිකයන් ද අනාදිමත් කාලයක සිට සැලකිලිමත් වී තිබේ. සියලු සංස්ථාපිත ආගම් ගොඩනැඟී ඇත්තේ, මරණින් මතු පැවැත්මක් ඇතැයි හෝ නැතැයි යන විශ්වාසය උඩ වෙතත්, එසේ වූ පමණින්, එම ප්‍රශ්නය ගැන ආගමෙන් බැහැරවත් කතා කිරීමට එය බාධාවක් නොවේ. මෙය, මීට වඩා සිල්ලර සහ පෘථග්ජන අඩියකට දැම්මොත් අපට මෙසේ කිව හැකිය: ගිය වසරේ මේ මාසය වන විට අප වැටී සිටි අගාධයෙන් ගොඩ ඒමට නම්, ලෝකයේ වෙනත් ඕනෑම තැනකින් හදිසි ණයක් ගත යුතුව තිබිණිද නැද්ද යන ප්‍රශ්නය ගත හැකිය. එය, ධනවාදී හෝ සමාජවාදී යනුවෙන් විග්‍රහ කළ යුතුව පැවති තත්වයක් නොවේ. එනම්, දෘෂ්ටිවාදය/ධර්මය එහිදී අදාළ කරගැනීමේ හැකියාවක් නොතිබුණු බව ය.

මේ දේවගැතිවරයා කළ දෙය, එනම් ඔහුගේ ආගමික දෘෂ්ටියේ පිහිටා තවත් ආගම් තුනක දෘෂ්ටිය/දර්ශනය ප්‍රශ්න කිරීම හෝ විවේචනය කිරීම, මීට අවුරුදු දෙදහසකට කලින් ඔහුගේ ශාස්තෘවරයාණන් වන ක්‍රිස්තුස් වහන්සේද කෙළේය. යුදෙව් පාලකයන් විසින් ඔහුව කුරුසයේ තබා ඇණ ගසනු ලැබුවේ ඒ ‘වරදට’ ය. ඊටත් අවුරුදු පන්සීයකට පමණ කලින් බුදුන්වහන්සේත් එය කෙළේය. එදා ඉන්දියාවේ පැවති හැටහතරක් මිථ්‍යාදෘෂ්ටි හෝ වෙනත් චින්තනයන් ප්‍රශ්න කිරීම, ඔහුගේ සත්‍යය සොයා යාමට ඔහුව යොමු කළ එක් ප්‍රේරණයක් විය. ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව මහම්මත්තුමා කෙළේද එයමයි. මේ අනුව, සෑම සංස්ථාපිත ආගමක්ම බිහි වී ඇත්තේ ඊට කලින් තිබුණු ආගම් සහ විශ්වාස සියල්ල, ආංශිකව හෝ මුළුමණින් හෝ ප්‍රශ්න කිරීමෙන් සහ ප්‍රතික්ෂේප කිරීමෙනි.

සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශය

අප ඉතා ගරු කරන, මේ රටේ ආගමික සහ සමාජ සහජීවනය වෙනුවෙන් පෙනී සිටින සිරිල් ගාමිණී පියතුමා, මේ ගැන පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී කියන්නේ, මේ කියන දේවගැතිවරයා කතෝලික සභාවට හෝ කිසි කතෝලික පර්ෂදයකට අයත් හෝ ඒවා නියෝජනය කරන හෝ කෙනෙකු නොවන බවයි. ඒ නිසා, ඔහුගේ ප්‍රකාශය කතෝලික පල්ලියේ ප්‍රකාශයක් වශයෙන් භාර නොගන්නා ලෙස ඉල්ලන සිරිල් ගාමිණී පියතුමා අර දේවගැතිවරයාගේ කතාව හෙළාදකින බවද කියයි.

ඒ ඇයි? සිරිල් ගාමිණී පියතුමාගෙන් ගෞරවපූර්වකව මම ප්‍රශ්නයක් අසමි: ඔබතුමාට අනුව, වඩා ශ්‍රේෂ්ඨ කවුද? බුදුන් වහන්සේද, ක්‍රිස්තුස් වහන්සේද? ප්‍රශ්නය මඟහැර නොගොස් කෙළින් කිව්වොත් ඔබතුමාගේ අවංක පිළිතුර වනු ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ බව ය. එයින් අදහස් වන්නේ ඔබතුමා බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රතික්ෂේප කරන බව නොවේදැයි දෙවැනුව මා ඇසුවොත්, ‘ඔව්’ යැයි පිළිතුරු දීමට ඔබතුමාට සිදු වනු ඇත. දැන්, සිරිල් ගාමිණී පියතුමාගේ උත්තරය, බුද්ධාගමට හෝ බුදුන් වහන්සේට කරන ලද නිග්‍රහයක් හෝ අගෞරවයක් වශයෙන් කෙනෙකු ගත යුතු ද? කොහෙත්ම නැත. මීට වෙනස් ආකාරයක ප්‍රකාශයක් ඉහත සඳහන් දේවගැතිවරයාගේ කතාව තුළින් දැකගැනීමට නැත.

ආගමික කාරණා එසේ වෙතත්, අප තවත් පැත්තකින් මේ ගැන සිතිය යුතු බව මෙයින් ප්‍රතික්ෂේප නොකෙරේ. (සිරිල් ගාමිණී පියතුමාත්, මව්ලවීතුමාත් ඒ ගැනත් සඳහන් කිරීමට වගබලාගත් බව ඔවුන්ට ගෞරවයක් වශයෙන් කිව යුතුය).

අපේ සමාජය, ජාතිය සහ ආගම මත බෙදී පවතින්නකි. එසේ නැතැයි අවශ්‍ය නම් කෙනෙකුට මනෝරාජිකව කිව හැකිය. මෙහිදී මා අදහස් කරන්නේ, ප්‍රතිවිරුද්ධ ජාතීන් සහ ප්‍රතිවිරුද්ධ ආගමිකයන් ශතවර්ෂ ගණනාවක් අපේ සමාජය තුළ සහජීවනයෙන් සිට ඇතැයි යන්න ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. ඇත්ත වශයෙන්ම, අපේ ලිඛිත ඉතිහාසයෙන් වැඩි කාලයක් තිස්සේ යුද්ධ කරගෙන තිබෙන්නේ සහ ගහමරාගෙන තිබෙන්නේ, ජාතිය නිසාවත් ආගම නිසාවත් නොව, රජවරුන්ගේ බල ලෝභය නිසාවෙනි. ඒ කරුණ පිළිගන්නා අතරේම, සමකාලීන ලාංකීය සමාජය තුළ ජාතිය මුල් කරගෙන හටගත් සිවිල් යුද්ධයක් අපේ රටේ දශක තුනක් විනාශ කළ බව අමතක නොකළ යුතුය. ආගම සහ ජාතිය මුල් කරගෙන, 1810 පටන් වාර්ගික සහ ආගමික ගැටුම් ඇති වී තිබෙන බවත් මතක තබාගත යුතුය. මෙහිදී අවධාරණය කෙරෙන මුඛ්‍ය කාරණය මෙයයි: ඕනෑම අවස්ථාවක, නායකයන් නම් බලය සඳහා ද, ජනතාව නම් තම තමන්ගේ ආගමික සහ වර්ගවාදී අගතීන් නිසා ද, වරින්වර සේවයට කැඳවිය හැකි ගිනි පුපුරක්, ජාතිය සහ ආගම ඔස්සේ අපේ සමාජය තුළ නිරුපද්‍රිතව තිබේ. අවශ්‍ය විටෙක ඒ දෙකෙන් ඕනෑම එකක් සේවයට කැඳවීමට හැකි සමාජ සැකැස්මක් රටේ පවතී. මේ නිසා සෑම ජාතිකයෙකුම, සෑම ආගමිකයෙකුම, තම තමන්ගේ චර්යාවන්හි දී, යම් ආකාරයක සංයමයක් සහ සංවරයක් ඇති කරගැනීම යහපත් ය.

පරිස්සම් විය යුතු තැන

එහෙත් මේ කියන සංයමය සහ සංවරය මොන තරම් දිග-පළල එකක් විය යුතුද? වැදගත් ප්‍රශ්නය එයයි. අප සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක ය. මිනිසුන්ගේ නිදහස උපරිමයෙන් ආරක්ෂා කෙරෙන සමාජ සැකැස්මක ය. එහිදී, තමන් කැමති මතයක් හෝ විශ්වාසයක් දැරීමත්, එම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට ඇති හැකියාවත්, මූලික අයිතීන් වශයෙන් පිළිගැනේ. අපි උදාහරණයක් ගමු: මා කිසි ආගමක් විශ්වාස කරන්නේ හෝ අදහන්නේ නැත. එහි අරුත, සියලූ ආගම් මා ප්‍රතික්ෂේප කරන බවයි. එසේ වීම වරදක් ද? එය, සියලූ ආගම්වලට මා කරන අපහාසයක් ද? කොහෙත්ම නැත. වැරදි වන්නේ, ආගමක් ප්‍රශ්න කිරීම නොව, ගැරහීමයි. එය, ආගම සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් ඕනෑම දෙයක් සහ පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද වලංගු වන්නකි.

දේවගැතිවරයාගේ ප්‍රකාශයෙන්, ආගම් අතර ගිනි ඇවිළෙන බව කියන්නේ කවුද? ගලගොඩඅත්තේ ඥානසාර, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක වැනි භික්ෂූන් ය. පසුගිය කාලයේ මේ රටේ ජාතිවාදී සහ ආගම්වාදී විෂබීජ වපුරමින් ගිනි ඇවිළවූ භික්ෂූන් කවුරුන්දැයි මා ඇසුවොත් ඔබ දෙන උත්තරයත්, ඒ නම් ලැයිස්තුවමයි. ඉතිං, අපි දැන් අර දේවගැතිවරයාගේ ප්‍රකාශය අර්ථකථනය කිරීමට භාරදිය යුත්තේත් ඔවුන්ටමද?

ඇත්ත වශයෙන්ම, මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දකින්ට ඇත්තේ ගිනි ඇවිළීමකට වඩා ගිනි ඇවිළවීමකි. සෑම ආගමක්ම මේ වන විට අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතී තිබීම හේතුවෙන් ඕනෑම විවේචනයකට සහ ප්‍රශ්න කිරීමකට මුහුණදීමට තරම් ඒ සෑම ආගමක්ම ශක්තිමත් විය යුතුය. විචාර බුද්ධියට මුල් තැනක් දෙන බුද්ධ ධර්මය සම්බන්ධයෙන් එය වඩාත් වලංගු විය යුත්තේය. කාලාම සූත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කෙළේත් එයමයි.

එසේ තිබියදී, ධර්මයේ යම් සිද්ධාන්තමය කාරණයක් ප්‍රශ්න කිරීම එම ධර්මයට අගෞරවයක් සහ අපහාසයක් වශයෙන් සලකා මර්දනය කිරීමට ගියොත්, ඒ මර්දනයේ සීමාව ඉතා භයානක අන්තයන් කරා ගමන් කළ හැකිය. ආගමික අපහාසය යන කාරණය, අධිකරණය විසින් තීන්දු කිරීමට කලින් ගලගොඩඅත්තේ ඥානසාරට තීන්දු කිරීමට දුන්නොත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පමණක් නොව, ආගමික සහ ජාතික සහජීවනය පවා ලක්වනු ඇත්තේ බලවත් අවදානමකට බව නම් නිසැක ය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda