iMage: thehindu.com

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන රෙහානා ෆාතිමා හට ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත (POCSO), බාලවයස්කරුවන්ගේ යුක්තිය පිළිබඳ පනත (Juvenile Justice Act) සහ තොරතුරු තාක්ෂණ (IT act) පනතේ වන විවිධ විධිවිධාන යටතේ චෝදනා එල්ල විය.

කාන්තාවන් විෂයෙහි ගත් කල සිය ශරීරය පිළිබඳව පවතින ස්වාධීනත්වයේ අයිතිය බොහෝ විට ප්‍රතික්ෂේප කිරීමට භාජනය වන අතර ඔවුන් හට සිය ශරීරය සහ ජීවිතය පිළිබඳ තේරීම් කිරීම නිසා හිරිහැරයට, වෙනස් කොට සැලකීමට, හුදකලා කිරීමට සහ හිංසාවට ලක් වන බව කේරළ මහාධිකරණය විසින් සඳුදා(05) දින ප්‍රකාශයට පත් කරන ලද්දේ ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත (POCSO) යටතේ වූ නඩුවකින් කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක නිදහස් කරමින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවෙනි.

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන රෙහානා ෆාතිමාට ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත (POCSO,) බාලවයස්කරුවන්ගේ යුක්තිය පිළිබඳ පනත (Juvenile Justice) සහ තොරතුරු තාක්ෂණ (IT) පනත් වල විවිධ විධිවිධාන යටතේ චෝදනා එල්ල විය. එනම් ඇය සිය බාල වයස්කාර දරුවන්
සමග අඩ නිරුවතින් පෙනී සිටිමින් ඔවුන්ට තම සිරුරේ තීන්ත ආලේප කිරීමට ඉඩ සලසන වීඩියෝවක් සංසරණය වීම හේතුවෙනි.

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියව නඩුවෙන් නිදහස් කරමින් විනිසුරු කෞසර් එඩප්පගත් (Kauser Edappagath ) ප්‍රකාශ කළේ 33 හැවිරිදි මෙම සමාජ ක්‍රියාකාරිනියට එල්ල වී ඇති චෝදනාවලට අනුව, ඇයගේ දරුවන් කිසියම් සැබෑ හෝ අනුකරණය කරන ලද ලිංගික ක්‍රියාවක් සඳහා යොදාගෙන ඇති බවත් එය ලිංගික තෘප්තිය සඳහා යොදාගත් බවත් කිසිවෙකුට අනුමාන කළ නොහැකි බව ය.

මෙම ප්‍රස්තුත සිදුවීම පිළිබඳ ව වැඩි දුරටත් සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කර සිටියේ තම දරුවන්ට චිත්‍ර ඇඳීමට තම සිරුර කැන්වසයක් ලෙස භාවිත කිරීමට පමණක් ඇය අවසර දී ඇති බව මෙහිදී පෙනී යන බවයි.

“ස්ත්‍රියකට තම ශරීරය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට ඇති අයිතිය සමානාත්මතාවය සහ පෞද්ගලිකත්වය සඳහා වන ඇයගේ මූලික අයිතිවාසිකමේ හරය වේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තිය මගින් සහතික කර ඇති පුද්ගලික නිදහසේ විෂය පථයට ද අයත් වේ.” යැයි. නඩු තීන්දුවේ වැඩි දුරටත් සඳහන් ය.

තමාට එරෙහිව පවරා ඇති උක්ත නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ඇය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇයට විරුද්ධව පවරා තිබූ නඩුව විභාගයට ගැනීමට පහල අදිකරණය විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව ෆාතිමා කළ අභියාචනය මත කේරල මාහාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කලේ ය.

මහාධිකරණයට කළ අභියාචනයේදී, පෙත්සම්කාර සමාජ ක්‍රියාකාරිනිය ප්‍රකාශ කර සිටියේ සිරුර පින්තාරු කිරීම සමාජයේ පවත්නා සාම්ප්‍රදායික දැක්මට (default view) එරෙහි දේශපාලන ප්‍රකාශයක් බවයි. එනම් ස්ත්‍රියගේ උඩුකය නිරුවත් වීම සෑම සන්දර්භයකදීම ලිංගිකත්වය යටතට පත් වන නමුත් නිරුවත් පිරිමි උඩුකය මෙම සාම්ප්‍රදායික ලිංගිකත්වයට (default sexualisation) යටතේ නොසැලකෙන නිසාවෙනි.

ඇයගේ තර්කවලට එකඟ වූ විනිසුරු එඩප්පගත් පැවසුවේ මවකගේ උඩුකය මත ඇගේම දරුවන් විසින් චිත්‍ර ඇඳීම කලා කටයුත්තක් ලෙසත්, “එය සැබෑ හෝ අනුකරණය කරන ලද ලිංගික ක්‍රියාවක් ලෙස දැක්වීම කළ නොහැකි අතරම එය ලිංගික තෘප්තිය සඳහා හෝ ලිංගික චේතනාවෙන් සිදු වූවක් යැයි පැවසීමට ද
නොහැක”
යනුවෙනි.

එවැනි “අහිංසක කලාත්මක ප්‍රකාශනයක්” සැබෑ හෝ අනුකරණය කරන ලද ලිංගික ක්‍රියාවක් සඳහා දරුවෙකු භාවිතා කිරීමක් ලෙස හුවා දැක්වීම “දරුණු” බව විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

“ළමයින් අසභ්‍ය දර්ශන සඳහා යොදාගත් බව පෙන්වීම සඳහා උක්ත වීඩියෝවෙහි කිසිදු නිරූපණයක් නොමැත. එම වීඩියෝවේ ලිංගිකත්වය පිළිබඳ ඉඟියක් නොමැත. පිරිමි හෝ කාන්තාවකගේ නිරුවත් උඩුකය සිත්තම් කිරීම ලිංගිකව හැසිරෙන ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කළ නොහැක”

යැයි අධිකරණය ප්‍රකාශ කළේ ය.

උක්ත පැමිණිල්ල මඟින් පෙන්වා දීමට උත්සහ කරනු ලැබූයේ ප්‍රශ්නගත වීඩියෝවෙන් ෆාතිමා තම උඩුකය නිරාවරණය කර ඇති බවත්, එබැවින් එය අසභ්‍ය සහ අශෝභන බවත් ය.

මෙම තර්කය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය ප්‍රකාශ කර සිටියේ “නිරුවත සහ අසභ්‍යත්වය” සැම විටම සමාන පද නොවන බවයි.

එසේම මෙම නඩු තීන්දුවෙන් “නිරුවත අත්‍යවශ්‍යයෙන්ම අසභ්‍ය හෝ අශෝභන හෝ දුරාචාර ලෙස වර්ගීකරණය කිරීම වැරදිi” බව තවදුරටත් ප්‍රකාශ කර සිටී.

අධිකරණය විසින් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ , කේරළයේ පහත් කුලවල කාන්තාවන් වරක් තම පියයුරු වැසීමේ අයිතිය ඉල්ලා සටන් කර ඇති අතරම, රට පුරා ඇති පුරාණ විහාරස්ථානවල සහ විවිධ පොදු ස්ථානවල අඩ නිරුවතින් බිතුසිතුවම්, ප්‍රතිමා සහ දේව චිත්‍ර තිබූ බවත් ඒවා “ශුද්ධ” යැයි සලකනු ලැබූ බවයි.

පිරිමින්ගේ උඩුකය නිරුවත් කිරීම කිසිවිටෙක අසභ්‍ය හෝ අශෝභන ලෙස නොසලකන අතර එය ලිංගිකත්වය හා යා කරමින් නිරූපණය නොකරන නමුදු “කාන්තා ශරීරයට ද එම පිරිමි ශරීරයට සලකන ආකාරයෙන්ම නොසලකන” බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

“සෑම පුද්ගලයෙකුටම ඔහුගේ/ ඇයගේ ශරීරයේ ස්වාධීනත්වයට හිමිකම් ඇත – මෙය ස්ත්‍රී පුරුෂ භාවය මත තෝරා ගැනීමක් නොවේ. නමුත් මෙම අයිතිය බොහෝ විට සාධාරණ ලිංගිකත්වය උදෙසා පහත් කර හෝ ප්‍රතික්ෂේප කර ඇති බව අපට පෙනී යයි. කාන්තාවන් හිරිහැරයට ලක් වේ, වෙනස් කොට සැලකීමට ලක් වේ, හුදකලා කිරීම් වලට ලක් වේ, සහ ඔවුන්ගේ ශරීර සහ ජීවිතය පිළිබඳ තෝරා ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබේ”

යැයි අධිකරණය ප්‍රකාශ කළේ ය.

අධිකරණය තව දුරටත් ප්‍රකාශ කර සිටියේ, කාන්තා නිරුවත තහනම් ලෙස සලකන සහ කාමුක අරමුණු සඳහා පමණක් අදහස් කරන ඇතැම් පිරිස් සිටින බවත්, ෆාතිමා විසින් ප්‍රචාරය කරන ලද වීඩියෝවේ අරමුණ වූයේ “සමාජයේ පවතින මෙම දෙබිඩි පිළිවෙත හෙළිදරව් කිරීම” බවත් ය.

“නිරුවත, ලිංගිකත්වය හා බැඳිය යුතු නැත. ස්ත්‍රියගේ උඩුකය නිරුවතින් දුටු පමණින් සම්ප්‍රදායික (default) ලිංගිකත්වය ලෙස එය නොසැලකිය යුතුය. එසේම, කාන්තාවකගේ නිරුවත් සිරුර නිරූපණය කිරීම අසභ්‍ය, අශෝභන හෝ ලිංගික ප්‍රකාශිතයක් යැයි හැඳින්විය නොහැක,” යැයි විනිසුරු එඩප්පගත් තව දුරටත් පැවසීය.

මෙම වීඩියෝව සදාචාරය පිළිබඳ ප්‍රසිද්ධ අදහස්වලට පටහැනි බවත් එය නරඹන මිනිසුන්ගේ මනසට සදාචාරාත්මකව දූෂිත බලපෑමක් ඇති කරන බවත් පැමිණිල්ල විසින් තර්ක කර තිබුණි. සමාජ සදාචාරය පිළිබඳ සංකල්ප සහජයෙන්ම පුද්ගලබද්ධ බව පවසමින් අධිකරණය මෙම තර්කය ද ප්‍රතික්ෂේප කළේය.

“සදාචාරය සහ සාපරාධීත්වය සහසම්බන්ධ නොවේ. සදාචාරමය වශයෙන් වැරදි ලෙස සලකනු ලබන දේ අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල ලෙස ද වැරදි නොවන බවද” තීන්දුවේ වැඩි දුරටත් සඳහන් කළේය.

අනාචාරය, සම්මුතිවාදී සමලිංගික සබඳතා සහ සජීවී සබඳතා බොහෝ දෙනා දුරාචාර ලෙස සලකන නමුත් ඒවා නීත්‍යානුකූල ක්‍රියා බව අධිකරණය තව දුරටත් පෙන්වා දුන්නේය.

“සමාජයේ සදාචාරය සහ සමහර පුද්ගලයන්ගේ හැඟීම් අපරාධයක් සිදු කිරීමට සහ පුද්ගලයෙකුට නඩු පැවරීමට හේතුවක් විය නොහැක. යම් ක්‍රියාවක් මඟින් රටේ කිසිදු නීතියක් උල්ලංඝනය නොකරන්නේ නම් එම ක්‍රියාව සිදු කිරීමට අවසර ඇත”
යනුවෙන් ද මෙම තීන්දුවේ තව දුරටත් සඳහන් වේ.

ෆාතිමාගේ දරුවන් ලබා දෙන කටඋත්තරවලින් පවා ඔවුන් මවගේ ආදරය හා රැකවරණය ලබන බව ද අධිකරණය සඳහන් කළේය.

මව-දරුවා යන සබඳතාවය යනු පෘථිවියේ වඩාත්ම උත්තරීතර හා ධාර්මික සම්බන්ධතාවයකි. මවක් සහ ඇගේ දරුවා අතර ඇති බැඳීම තරම් ශක්තිමත් හා අවංක බැඳීමක් තවත් නොමැත. පෙත්සම්කාරිය ට( ෆාතිමා) නඩු පැවරීම දරුවන්ට වධහිංසා පැමිණවීමට සහ අහිතකර ලෙස බලපානු ඇති බවට සැකයක් නැත. එම නිසා වින්දිතයන්ගේ යහපත වෙනුවෙන් ද පැමිණිල්ල ඉදිරියට ගෙන යාමට ඉඩ දිය නොහැකි බව මහාධිකරණය ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවෙහි වැඩි දුරටත් සඳහන් වේ.

විනිසුරු එඩප්පගත් ප්‍රකාශ කළේ මෙම වීඩියෝව ප්‍රකාශයට පත් කළ සන්දර්භය සහ එය මහජනතාවට ලබා දුන් පණිවිඩය පහළ අධිකරණය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවයි.

“පෙත්සම්කාරිය ට එරෙහිව නඩු කටයුතු ඉදිරියට කරගෙන යාමට ප්‍රමාණවත් හේතු නොමැත. නඩුව තවදුරටත් විභාග කිරීමට පහල අධිකරණය ලබාදුන් ප්‍රශ්නගත නියෝගය ඒ අනුව ඉවත් කර පෙත්සම්කාරිය නිදහස් කරනු ලැබේ” යැයි මහාධිකරණය පැවසීය.

“ශරීරය සහ දේශපාලනය” යන මාතෘකාවෙන් යුත් වීඩියෝව සමාජ මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් ෆාතිමාට එරෙහිව කේරළ පොලිසියේ සයිබර් අංශය වන Cyberdom විසින් ගොනු කරන ලද වාර්තාවක් මත පදනම්ව, ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ (POCSO) පනත සහ තොරතුරු තාක්ෂණ පනතේ විවිධ වගන්ති යටතේ කොචි නගර පොලිසිය විසින් මෙම නඩුව පවරා ඇත.

මීට පෙර, භාරතීය ජනතා පක්ෂ ඕබීසී(BJP OBC) මෝර්චා නායක ඒ වී අරුන් ප්‍රකාශ් විසින් කරන ලද පැමිණිල්ලක් මත තොරතුරු තාක්ෂණ පනත සහ බාලවයස්කාර යුක්ති පනත යටතේ පතානම්තිත්ත (Pathanamthitta  ) දිස්ත්‍රික්කයේ පොලිසිය විසින් ද ඇයට එරහිව නඩු පවරා තිබිණි.

ළමා අයිතිවාසිකම් සුරැකීමේ කේරළ ප්‍රාන්ත කොමිෂන් සභාව ද පතානම්තිත්ත (Pathanamthitta ) දිස්ත්‍රික් පොලිස් ප්‍රධානියාගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳ වූ අතර, ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ (POCSO )පනතේ විවිධ වගන්ති යටතේ කාන්තාවට එරෙහිව නඩු පවරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔසප් වීමේ වයසේ සිටින කාන්තාවන්ට සිද්ධස්ථාන වලට යාමට අවසර දීමෙන් පසු ෆාතිමා , සබරිමාලාවේ අයියප්ප දෙවියන්ගේ සිද්ධස්ථානයට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, එම නිසාවෙන් ඇයව ඇතැම් කණ්ඩායම්වල ඉලක්කයක් බවට පත්වී තිබේ.

(මෙය නිළ පරිවර්තනයක් නොවන අතර, NDTV වෙබ් අඩවිය විසින් පළ කල “Nudity Shouldn’t Be Tied To Sex”: High Court Cancels Case Against Woman සටහනේ සිංහල පරිවර්තනය ‘විකල්ප වෙබ් අඩවිය’ විසිනි)