iMage: Vikalpa FIle/April 2022
අරගලයෙන් පසුව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද ජනතා බලයට බියව සිටින්නේ යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ වරක් පැවසීය. ඔහුගේ ප්‍රධාන විවේචනය එල්ල වූයේ ජනතාව ඉමහත් දුක් පීඩාවන්ට පත් කරමින් ක්‍රියාවට නැගෙන ඇතැම් බරපතල ආර්ථික සහ දේශපාලන තීන්දු තීරණ හමුවේ නිෂ්ක්‍රීයව අකර්මණ්‍යව සිටින සජබ සහ ජවිපෙ/ජාජබ යන පක්ෂ වෙතය. එම පක්ෂවල මෙහෙයවීමෙන් කෙරෙන යම් යම් විරෝධතා වරින් වර දක්නට ලැබෙන බව සැබෑය. නමුත්, ඒවා දිස්වන්නේ හුදෙක් සංකේතාත්මක විරෝධතා ලෙසින් මිස තම ශක්තිය සහ සංවිධාන හැකියාව යහමින් යොදවා කරන ප්‍රබල විරෝධතා ව්‍යාපාර ලෙසින් නොවේ. කොටින්ම තම දේශපාලන න්‍යාය පත්‍රයේ කේන්ද්‍රයේම පවතින කාරණයක් වන පළාත් පාලන මැතිවරණය දිනා ගැනීමට අදාළව පවා ජවිපෙ/ජාජබ තීරණාත්මක විරෝධයක් සංවිධානය කළේ නැත. එම පක්ෂයේ පළාත් පාලන ජන්ද අපේක්ෂකයින් මැතිවරණ ලේකම් කාර්යාලය අසල පැවැත්වූ විරෝධය පවා සංකේතාත්මක විරෝධයකින් ඔබ්බට ගමන් නොකළේය. එය ඉතාම ඉක්මණින් මාධ්‍ය අවධානයෙන් ගිලිහී ගියේය. ඉනික්බිති කිසිවක් සිදු වූයේ නැත.
නිර්-දේශපාලනීකරණයේ දේශපාලනය
සජබ නායකත්වය එක් අතකින් වික්‍රමසිංහගේ අයි.එම්.එෆ් විසඳුම් මාර්ගය අනුමත කරන අතරම අනෙක් අතින් ඒ විසඳුම් මාර්ගය තුළ මුණගැසෙන ප්‍රජාතන්ත්‍රහරණයට පමණක් විරෝධය දක්වයි. මේ අද දවසේ ලාංකීය ලිබරල්වාදීන් මුහුණ පා තිබෙන අකරතැබ්බය මනාව සංකේතවත් කරන්නකි. ඔවුන් ඉල්ලා සිටින්නේ ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන අතරම දේශපාලන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දෙන ලෙසයි. නමුත්, තවදුරටත් ආර්ථික ලිබරල්වාදයත් දේශපාලන ලිබරල්වාදයත් එකට ගමන් කරන්නේ නැති යුගයකට අපි දැන් ප්‍රවේශ වී සිටිමු. කෙසේ වෙතත්, වික්‍රමසිංහගේ අයි.එම්.එෆ් විසඳුම් මාර්ගය පිළිගෙන සිටින සජබ නායකත්වය ආණ්ඩු-විරෝධී විරෝධතා ව්‍යාපාරයක් සඳහා උත්සුක වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. ඒ වෙනුවට ඔවුන් බලා සිටින්නේ වික්‍රමසිංහ අසාර්ථක වන මොහොතක එම විසඳුම් මාර්ගයම ක්‍රියාවට නගන අනුප්‍රාප්තිකයාගේ තැන අත්පත් කර ගන්නටයි.
සුජාතභාවය අහිමි වීමේ තියුණු අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් සංකේතාත්මක දුරක් තබාගෙන සිටින්නට විශාල පරිශ්‍රමයක් දරන විමල් වීරවංශගේ පක්ෂ එකතුව, ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම මෙන්ම ශ්‍රීලනිපය වැනි කොටස්ද මේ මොහොතේ ජනතා විරෝධතා සංවිධානය කරන්නට උත්සුක නොවීම පහසුවෙන් වටහාගත හැකිය. ඔවුන් සිටින්නේ ආණ්ඩු බලය දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේම වෙනත් පාර්ශවයක් වෙතට මාරු කරගත හැකි ආකාරයේ බල තුලනයක් නිර්මාණය වන තෙක් දැනට පවතින ප්‍රභූ තන්ත්‍රයේ පාලනයට තීරණාත්මකව බාධා නොකර සිටීමේ ප්‍රතිපත්තියක බැව් පෙනේ. ඔවුන් තම ජනප්‍රියත්වය සඳහා වික්‍රමසිංහගේ එක් හෝ තවත් ක්‍රියාමාර්ගයක් විවේචනයට ලක් කළද වික්‍රමසිංහ පාලනයේ පැවැත්ම අභියෝගයට ලක් වන ආකාරයේ ක්‍රියාමාර්ගයක් මේ මොහොතේදී තෝරා ගනු ඇතැයි සිතීම උගහටය. සරලව, පාලනාධිකාරය දැවී යා නම් එසේ විය යුත්තේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේම වෙනත් නියෝජිතයෙකු විසින් උඩ පන්දුව රැක ගත හැකි වාතාවරණයක් තුළ පමණක්ය යන්න මෙහි අප්‍රකාශිත අදහසයි. මේ කාරණයේදී ඔවුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරි වී සිටින කොටස් අතර වෙනසක් නොමැත. මෙයින් ගම්‍ය වන්නේ ඔවුනොවුන් අතර කොතරම් ගැටුම් හා බල තරඟ පැවතුණද දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ලෙස තමන්ගේ පොදු පැවැත්ම අභියෝගයට ලක් වන විට ඔවුන් කිසියම් පොදු න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියා කරන බවයි. මේ වනාහී මාක්ස්වාදී භාෂාවෙන් කිව හොත් පාලක ප්‍රභූ තන්ත්‍රය තුළ ගොඩ නැගී ඇති පන්ති විඥානයක ප්‍රකාශමාන වීමකි.
මේ අනුව මෙරට ජන සමාජයේ අති බහුතරයක් ඉමහත් දුක් පීඩාවන්ට ලක් කෙරෙන ආකාරයේ බරපතල ආර්ථික ශල්‍ය කර්මයක් සිදුවෙමින් පවතින විටදී පවා විපක්ෂයේ සියළුම කොටස් ඇදහිය නොහැකි තරමේ නිහඬතාවක ගිලී සිටින බවක් පෙනේ. ජීවන වියදම තුන් හතර ගුණයකින් වැඩි වෙයි. එහෙත් විපක්ෂය වාචික විරෝධතාවලින් ඔබ්බට නොයයි. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැසී යයි; නමුත්, වීදි උද්ඝෝෂණ නොමැත. සාගින්න, දරිද්‍රතාව වේගයෙන් පැතිර යයි; එහෙත්, අහිමි කළ සමෘද්ධි සහනාධාරය ඉල්ලා කෙරෙන සටන්වල ඉදිරිපෙළ කිසිදු විපක්ෂ නායකත්වයක් පෙනෙන්නට නොමැත. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය විවෘතව ක්‍රියාවට නැගෙමින් පවතී; පෙර මෙන් මහා සටන් පෙරමුණු නොමැත. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ඇතුළු පොදු සුභසාධනය මහා පරිහානියකට ලක්වෙමින් පවතී; විපක්ෂය ඒ ගැන සමාජ කතිකාවක් ගොඩ නගන්නේ නැත. බිඳ වැටෙන සමාජ අනාරක්ෂිත භාවයේ ගැලවුම්කරුවන්ගේ වේශය ගෙන ෆැසිස්ට් ගති ලක්ෂණ සහිත ආගමික හා ජනවාර්ගික ස්වෝත්තමවාදීන් යළිත් හිස ඔසවමින් සිටියි; ජවිපෙ/ජාජබ ඇතුළු වාම-ලිබරල්වාදීන් තම ජන්ද පදනම් ගැන සංවේදී වෙමින් ඊනියා සමාජයීයව සංවේදී කලාපවලට අත නොදා සිටින්නට ප්‍රවේසම් වෙයි. සැබවින්ම දැන් මධ්‍ය-වාමාංශික සහ දේශපාලන ලිබරල්වාදී විපක්ෂ නායකත්වයන් කරමින් සිටින්නේ කුමක්ද? ඔවුහු ඉතාම කාර්යක්‍ෂම ලෙස එක් කාර්යයක පමණක් නිරත වී සිටින බව පෙනේ. එනම්, තම තමන්ගේ පක්ෂ බල මණ්ඩල ගොඩ නගා ගනිමින් ඉදිරි මැතිවරණ තරඟයක් සඳහා තමන්ව සූදානම් කර ගැනීමයි. සරදම්ජනක ලෙස පක්ෂ අතර කෙරෙන දේශපාලනය පොදු ජන සමාජයේ ඓන්ද්‍රීය ගැටළු මුල් කොටගත් සමාජයීය දේශපාලනයෙන් එන්ට එන්ටම දුරස් වෙමින් පවතී. නව ෆැසිස්ට් පන්නයේ කල්ලි කණ්ඩායම්වලට මතු වීමට අවකාශය නිර්මාණය කරනු ලබන්නේ මේ නිහඬතාවයේ දේශපාලනය විසින් නිර්මාණය කෙරෙන රික්තකය තුළය. වික්‍රමසිංහ පාලනාධිකාරයේ අයි.එම්.එෆ් විසඳුම නමැති ශල්‍ය කර්මය එතරම් බාධාවකින් තොරව ක්‍රියාවට නගන්නට හැකිව තිබෙන්නේද නිහඬතාවයේ දේශපාලනය නොහොත් නිර්-දේශපාලනීකරණය පසුබිම් කොටගෙනය. (ශල්‍ය කර්මයකට පෙර ශරීරය නිර්වින්දනයට ලක් කළ යුතුය). විශේෂයෙන්ම මෑතක් වන තුරුම අයි.එම්.එෆ් විසඳුම් මාර්ගය සම්බන්ධයෙන් ජවිපෙ/ජාජබ විසින් දක්වන ලද වැනෙන සුළු ස්ථාවරය වික්‍රමසිංහගේ ආර්ථික මෙහෙයුම සඳහා වාසිදායක සාධකයක් වූ බව රහසක් නොවේ.
නිදහසට ඇති බිය
කෙසේ වුවත්, විපක්ෂයේ නිහඬතාව සහ අකාර්යක්‍ෂමතාව වත්මන් දේශපාලන උභතෝකෝටිකයේ එක් පැත්තක් පමණක් වන බව මගේ අදහසයි. මේ ලිපිය ආරම්භයේදී මා උපුටා දැක්වූ ‘උයන්ගොඩ ප්‍රවාදයට’ තවත් අංගයක් එකතු කළ යුතු යැයි යෝජනා කරන්නට මම කැමැත්තෙමි. ඔහු නිවැරදිව පවසා ඇති පරිදි විපක්ෂයේ සියළු කණ්ඩායම් අද ජනතාවට බියව සිටී. මගේ උපන්‍යාසය වන්නේ තවත් කණ්ඩායමක් ජනතා බලයට බිය වී සිටින බවයි; ඒ අන් කවරෙකුවත් නොව ජනතාවයි. පසුගිය වසරේ අරගලයේදී ජනතාව පාරට ආවේ කිසිදු විපක්ෂ නායකත්වයක මෙහෙයවීමෙන් නොවේ. නමුත්, අද ඒ ජනතා කොටස් සිටින්නේ කොතැනකද? එතරම් සුවිසල් ජනතා අරගලයකින් පසුව බලය අත්පත් කරගත් කිසිදු සුජාතභාවයක් නොමැති පාලනාධිකාරයකට කිසිදු ජනප්‍රියත්වයකින් තොර ආර්ථික ප්‍රතිපත්ති මාළාවක් ක්‍රියාවට නැගිය හැකි වී තිබෙන්නේ කෙසේද? කලින් මෙන් කැපී පෙනෙන සක්‍රීය මහජන විරෝධතාවකින් තොරව එසේ කළ හැකිව තිබෙන්නේ මන්ද? මෙම නව වියහැකියාව තේරුම් කිරීමට විපක්ෂයේ අකාර්යක්‍ෂමතාව පිළිබඳ විශ්ලේෂණයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ වෙනුවට අරගල සමයේදී අළුතින් දේශපාලනීකරණය වූ ජනතා කොටස්වල වත්මන් අක්‍රීයත්වය පැහැදිලි කළ හැක්කේ ජනතාවම ජනතා බලයට බිය වීමක් ලෙස නොවේද?
මේ මතබේදාත්මක අදහස පැහැදිලි කිරීමට කිසියම් න්‍යායික ප්‍රවේශයක් ගැනීමට මට ඉඩ දෙන්න. ෆ්‍රෑන්ක්ෆර්ට් පාසැලේ කීර්තිමත් චින්තකයෙකු වූ එරික් ෆ්‍රොම් ඔහුගේ ‘Escape from Freedom’ නමැති කෘතියේදී මිනිසුන් නිදහස සමග දක්වන සංකීර්ණ සම්බන්ධය පැහැදිලි කරයි. නිදහස පිළිබඳ ගතානුගතික ලිබරල්වාදී පැහැදිලි කිරීම වන්නේ මිනිසුන් තම ජීවිතයේ ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට නෛසර්ගික ආශාවක් දක්වන්නේය යන්නයි; එබැවින් නිදහස හඹා යාම ඔවුනගේ නොවැලැක්විය හැකි නිෂ්ටාවක් වන්නේය යන්නයි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය වටහා ගන්නේ මෙසේ මිනිසුන් තම ජීවිතයේ ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට දක්වන ආශාව හඹා යාමේ ඉතිහාසයක් ලෙසයි. නාසිවාදී ජර්මනියේ දේශපාලන අත්දැකීම් හමුවේ මේ ගතානුගතික අදහස ප්‍රශ්න කරන්නට එරික් ෆ්‍රොම් පෙළඹේ. ඔහු අසන ප්‍රශ්නය වන්නේ මිනිසුන් එතරම් නිදහසට ආශා කරන්නේ නම් ඔවුනගේ නිදහස වළ පල්ලට යැවූ හිට්ලර් වැනි පීඩාකාරී පාලකයෙකුට ඔවුන් කැමති වූයේ මන්ද යන්නයි. විශේෂයෙන්ම ජර්මානු සහ ඉතාලියානු කම්කරුවන් තම ආසන්න ආර්ථික වුවමනාකම් පවා පිටුදකිමින් ෆැසිස්ට්වාදයට හා නාසිවාදයට සහාය දුන්නේ මන්ද? දැනට සියවසකට පෙර යුරෝපයේ ඒකාධිකාරී දේශපාලන ප්‍රවණතා පැන නැගීමට බලපෑ සමාජ ආර්ථික සහ දේශපාලන සාධක ගණනාවක් පවතින බව සැබෑය. නමුත්, මධ්‍යම පන්තිකයන් සහ කම්කරුවන් එම ව්‍යාපාර වෙත ආකර්ෂණය වූයේ මන්ද යන ගැටළුවේ මනෝ විද්‍යාත්මක මානයක් තිබේ. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ඇසුරු කරමින් මේ ගැටළුවට ප්‍රවේශ වන එරික් ෆ්‍රොම් පෙන්වා දෙන්නේ මිනිසුන් නිදහසට ආශා කරන අතරම ඔවුන් නිදහසට බිය වන බවයි.
පළමුව ෆ්‍රොම් නිදහසට ඇති බියෙහි ඓතිහාසික පසුබිම පහදයි. මධ්‍යකාලීන යුගයේ යුරෝපා සමාජයන් තුළ මිනිසුන්ගේ ඉරණම උපතින්ම තීන්දු වී තිබිණ. (ආසියාතික සමාජවල තත්ත්වය එයින් වෙනස් වී යැයි කිව නොහැකිය). මිනිසුන් යම් යම් පන්තීන්ට නොහොත් තලයන්ට අයත් විය. ඔවුන් ජීවිතය තුළ කළ යුතු දේ කලින්ම නිශ්චය වී තිබිණ. 16 වන සියවසේ ඉතාලියානු පුනරුදයෙන් ආරම්භ වී වාණිජවාදය (එහි අනෙක් පැත්ත යටත්විජිතවාදයයි), ප්‍රංශ ප්‍රබුද්ධත්ව ව්‍යාපාරය, ඉංග්‍රීසි ලිබරල්වාදය, ඇමෙරිකානු ජනරජවාදය, කාර්මික ධනවාදය, 19 වන සියවසේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනාදී ඓතිහාසික මංසන්ධි ඔස්සේ ගලාගෙන ආවේ ඉහත කී මධ්‍යකාලීන ජීවන ඉරණමට එරෙහි මිනිසුන්ගේ අරගලයයි; නැතහොත් තම ජීවිතවල ඉරණම තමන් විසින්ම පාලනය කිරීමේ නිදහස උදෙසා වූ අරගලයයි. නමුත්, ඒ කාසියේ එක් පැත්තක් පමණි. ඒ පැත්ත පමණක් දකින ලිබරල්වාදීන් ඉතිහාසය දකින්නේ ඒකමානීය කතාන්තරයක් ලෙසය. ෆ්‍රොම් පෙන්වා දෙන පරිදි කාසියේ අනෙක් පැත්ත වන්නේ මිනිසුන් නිදහස කෙරෙහි දක්වන බියයි. අප නිදහසට බිය වන්නේ ඇයි? එයද ඓතිහාසිකව වටහා ගැනීම පහසුය. පුනරුදයට පෙර මිනිසුන් තමාව දක්නා ලද්දේ කිසියම් වර්ගයකට, ප්‍රජාවකට, ශ්‍රේණියකට අයත් සාමාජිකයින් ලෙසින් නම්, ධනවාදී නූතනත්වයෙන් පසුව ඔවුන් නිදහස් පුද්ගලයින් ලෙස තමන්ව දකින්නට පටන් ගනියි. නමුත්, ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිළක් තිබේ. එනම්, තමන් කිසියම් සමූහයකට අයත්ය යන හැඟීමත් එයින් පැන නගින ආරක්ෂාකාරීත්වයත් ඔවුනට අහිමි වී යාමයි. දැන් නිදහස් මිනිසා තනි වූවෙකි. හුදෙකලා වූවෙකි. අසරණයෙකි. නූතන යුගයේ මිනිසාට (නොහොත් පුද්ගලයාට) තම ජීවිතයේ ඉරණම තීරණය කරන්නට ලැබෙන නිදහස වනාහී සැබවින්ම ඔහුට/ඇයට ඉසිලිය නොහැකි මහා බරකි. නිදහස හා බද්ධ වූ වගකීම අපව බියට පත් කරයි. එය මිනිසුන් කාංසාවට හෙළයි. මාක්ස් කතා කරන පරාරෝපණය පිළිබඳ කාරණයද මේ සමග බැඳී ඇත. එයින් කියැවෙන්නේ මිනිසුන් තමන්ගේම ශ්‍රමයෙන් නිමැවූ ලෝකය තුළ ආගන්තුකයන් බවට පත් වන බවයි. සේකරගේ වදනින් කිව හොත්, නූතන පරාරෝපිත හුදෙකලා නිදහස් මිනිසාගේ කාංසා සහගත හැඟීම මෙබඳුය; “දහස් ගණනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ.”
නිදහසෙන් පළා යාමේ දේශපාලනය
නූතන මිනිසා හට නිදහස යනු දරා ගත නොහැකි මහා බරක් වන්නේ ඔහුගේ/ඇයගේ පුද්ගලත්වය විකසිත කර ගන්නට
හැකි ආකාරයේ සමාජ ආර්ථික තත්ත්වයන් නිර්මාණය වී නොමැති නිසාය. මෙහිදී මාක්ස්වාදියෙකු වූ ෆ්‍රොම් නිදහසට ඇති බියෙහි මනෝ විද්‍යාව තේරුම් කරන්නේ එය සමාජයීයව පැන නැගුණක් ලෙසිනි. නූතන මිනිසා පීඩාකාරී වැඩවසම් බැමි වලින් නිදහස් වුවද ඉනික්බිති තම මානුෂ ජීවිතයේ නිර්මාණශීලීත්වය හඹා යාමේ නිදහසක් නොලබයි. එය යමකින් නිදහස් වීමක් (freedom from) මිස යමක් කිරීමට ලැබෙන නිදහසක් (freedom to) නොවේ. එබැවින් නිදහස සමග කුමක් කරන්නදැයි නොදැන අතර මං වන මිනිසා ස්වකීය නිදහසින් පළා යාමේ මාවත් සොයයි. ෆ්‍රොම් පෙන්වා දෙන පරිදි අධිකාරීවාදය වනාහී එවන් එක් මාවතකි. සෙසු ඒවා වන්නේ විනාශකාරීත්වය සහ යාන්ත්‍රික අනුගත වීමයි. ෆැසිස්ට් ප්‍රවණතාවල පැන නැගීම වටහා ගන්නට වඩා අදාළ වන්නේ ඉහත පළමුවැන්නයි. නිදහස ඉදිරියේ හුදෙකලාව අසරණ වූ මිනිසාට අධිකාරීවාදය විසින් යෝජනා කරනු ලබන්නේ තමන්ට වඩා සුපිරි මහා බලයක් ඉදිරියේ මුළුමනින්ම යටත් වීමටය. එම බලය ආර්ය ජාතිය, මව්බිමේ නිදහස, ආගමික උත්තරීතර බව හෝ අන් යමක් විය හැකිය. එම සුපිරි බලයේ අංගයක් බවට පත්වීමෙන් මිනිසුන්ට නිදහසේ හා තනිකමේ උභතෝකෝටික ගැටළුවට විසඳුමක් ලැබේ. දැන් ඔවුන් කිසියම් මහා ප්‍රවාහයක කුඩා අංශු බවට පත් වේ. විශේෂයෙන්ම ආර්ථික හා සමාජ අර්බුදයක ගිලෙමින් සිටින ජන සමාජයක සාමාජිකයින් හට තම පුද්ගලික ජීවිතයේ නොවැදගත්, නොවටිනා හා කාලකන්නි බව ආවරණය කරගත හැකි දෘෂ්ටිවාදී ආවරණයක් වර්ගවාදය හා ආගම්වාදය විසින් සපයනු ලැබේ. තමන් ශ්‍රේෂ්ඨ ආර්ය ජාතියක කොටස්කරුවන් බවත් එම ජාතිය විනාශ මුඛයට ඇද දමන්නේ විදේශික පරයින් (යුදෙව්වා, මුසල්මානුවා, දෙමළා, ත්‍රස්තවාදියා, අරගලකරුවා, එන්.ජී.ඕකාරයා හෝ අන් ඕනෑම අනන්‍යතාවක් මෙතැනට ආදේශ විය හැකිය) විශේෂයක් විසින් බවත් ඔවුන් ඔබට පවසනු ඇත. අර්බුද සමයකදී වාර්ගික හා ආගමික උම්මත්තකවාදී ගැලවුම්කරුවන් දේශපාලන වේදිකාවට කඩා වැදීම පිළිබඳ නිදසුන් කොතෙකුත් තිබේ.
ඉහත විශ්ලේෂණය ලාංකීය සමකාලීනත්වය වටහා ගැනීමට කිසියම් ආලෝකයක් සපයන බව මගේ විශ්වාසයයි. පළමු කොටම ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ ඉතිහාසය වැඩි වශයෙන් සමන්විත වන්නේ මිනිසුන් තම ජීවිතවල ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට දක්වන බිය සහ නොකැමැත්ත පිළිබඳ සාධකයෙනි. එම ඉතිහාසය නිදහස උදෙසා කළ අරගලයන්ගෙන් සේම නිදහසෙන් පළා යාමේ ප්‍රයත්නයන්ගෙන්ද සමන්විත වේ. තමන් වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රභූ දේශපාලන පැලැන්තියක් ගොඩ නැගීමට මෙතෙක් සක්‍රීයව දායක වී තිබෙන්නේ මෙරට බහුතර ජන්දදායකයින්ම නොවේද? නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අනුග්‍රාහක-සේවාදායක රාමුවක් තුළ කොටු වීමේ ඉතිහාසය ගොඩ නැගී ඇත්තේ ජනතා සහභාගීත්වයකින් නොවේද? ජනවාර්ගික ජාතිකවාදය අනුව ප්‍රජාතන්ත්‍රවාදය යළි නිර්වචනය වී ඇත්තේ ජන සහභාගීත්වයක් ඇතිව නොවේද?
එසේ වුවත්, පසුගිය වසරේ අරගලය වනාහී බහුතරයක් මිනිසුන් විසින් ස්වකීය නිදහස සම්මුතිගත කිරීමේ දිගු ඉතිහාසයෙන් ඛණ්ඩනය වූ අත්දැකීමක් වීය යන්න මගේ අදහසයි. එහිදී මිනිසුන් ඉතිහාසයේ කතෘකයන් බවට තමන්වම පත් කර ගත්හ. ඔවුන් නිෂ්ක්‍රීය ජන්දදායකයින් වෙනුවට සක්‍රීය පුරවැසියන් බවට පරිවර්තනය විය. ජනතාව නිදහසේ නිමේෂයකට අවතීර්ණ වූහ. එම නිදහස මූලික වශයෙන් යමකින් නිදහස් වීමේ නිදහසක් (ගෝඨා ගෝ හෝම්) වූ බව සැබෑය. නමුත් යමක් කිරීමේ නිදහසද එයට ඇතුළත් කරගන්නට දැරුණු ප්‍රයත්න ඒ තුළ පැවති බව අමතක නොකළ යුතුය. ගාලු මුවදොර අරගල බිමේ පුස්තකාලයක්, ජංගම සිනමා හලක්, ජංගම රඟහළක්, කලාගාරයක්, සංවාද මණ්ඩප රැසක් පමණක් නොව ආදර්ශ වගාබිමක් පවා පවත්වාගෙන ගිය බව අමතක නොකළ යුතුය. විකල්ප ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් නොහොත් මහජන කවුන්සිල ගොඩ නැගීම පිළිබඳ සංවාදය මතු වූයේ අරගල බිම වෙතිනි. මේ වනාහී නිශේධනීය නිදහස වෙනුවට එරික් ෆ්‍රොම් යෝජනා කරන සාධනීය නිදහස පිළිබඳ ජීවමාන අත්හදා බැලීම්ය. මිනිසුන්ගේ පෞද්ගලිකත්වය සේම සාමූහික නිර්මාණශීලීත්වයද විකසිත කර ගන්නට දැරුණු ප්‍රයත්නයන්ය. නමුත් අවාසනාවකට මෙම සාධනීය නිදහසේ දේශපාලනය පුළුල් සහභාගීත්වයක් ඇතිව කල් පවතින දේ බවට පරිවර්තනය කරන්නට අරගලය සමත් වූයේ නැත. එබැවින් අරගල බිම විසිර ගිය පසුව අරගලයේ නිරත බහුතර ජනතාවක් ඇද වැටුණේ හුදෙකලාව සහ අසරණභාවය වෙතටය. එතැන් සිට නිදහස යනු ඉසිලිය නොහැකි බරක් බවට පත් වේ. එම නිදහසෙන් පළා යාමේ මාවත් කරා ඔවුන් ආකර්ෂණය වේ. අරගල බිමේ සක්‍රීය ඒජන්තයින් වූ නිර්-පාක්ෂික ජනතාව මැතිවරණ රැළි තුළට රැස්වී තම පක්ෂ නායකයින්ගේ උද්වේගී කතාවලට අත් පොළොසන් දී ගෙදර යන නිෂ්ක්‍රීය පරායත්ත පාක්ෂික ජනතාවක් බවට පරිවර්තනය වේ. නොඑසේනම් තම තනිකමේ හැඟීමට හා කාංසාවට ආමන්ත්‍රණය කරන ස්වෝත්තමවාදී නව ගැලවුම්කරුවන් වෙත ආකර්ෂණය වේ. එසේත් නැතහොත්, නිදහසෙන් පළා යාමේ වෙනත් මාවත් සොයා ගනී.
මට කියන්නට අවශ්‍ය යළිත් මහජන නැගිටීමක් සිදු නොවනු ඇතැයි යන්න නොවේ. බරපතල ආර්ථික හා සමාජ අර්බුදවලට මුහුණ දුන් සමාජවල නැවත නැවතත් මහජන නැගිටීම් සිදුව තිබේ. ලංකාවේ එසේ නොවන්නට විශේෂ හේතුවක් නොමැත. නමුත්, අද දිනයේ දේශපාලන හැසිරීම් වටහා ගැනීමේදී විපක්ෂයේ නිහඬතාව හා අක්‍රීයත්වය තරමටම අරගලය තුළ නිදහසේ මොහොතක් අත් විඳි ජනතා කොටස් අතර දැන් වර්ධනය වෙමින් පවතින නිදහසෙන් පළා යාමේ මානසිකත්වයද අප සැළකිල්ලට ගත යුතුය යන්න මගේ අදහසයි. නොඑසේනම්, වික්‍රමසිංහ පාලනාධිකාරය එක දිගට දින පහක් බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කොට බරපතලම ආර්ථික ශල්‍ය කර්මයකට සැරසෙන මේ මොහොතේදී පවා ජන සමාජයේ රජයන ඇදහිය නොහැකි නිහඬතාව තේරුම් කරන්නේ අන් කවර ලෙසකින්ද?
සුමිත් චාමින්ද | Sumith Chaaminda