එක්සත් ජාතික පක්ෂය තමන්ව හඳුන්වා ගන්නේ තත්කාර්යවාදී (pragmatic) පක්ෂයක් ලෙසිනි. පසුගියදාක චම්පික රණවකද තමන්ව එලෙස හඳුන්වා ගත්තේය. දැන් තවත් බොහෝ දෙනෙක් තමන්ව තත්කාර්යවාදීන් ලෙසින් හඳුන්වා ගන්නට උත්සුක වන බවක් පෙනේ. තවමත් මධ්‍ය-වාමාංශික යැයි හඳුනාගත හැකි ජවිපෙ/ජාජබටද තත්කාර්යවාදී වන ලෙසට උපදෙස් දෙන ජනප්‍රිය දේශපාලන රචකයන් දැන් අපට දැකගත හැකිය. තත්කාර්යවාදය පදනම් වන්නේ එක් මූලික පිළිගැනීමක් මතය. එනම්, යමක් සත්‍යය වන්නේ එය ප්‍රයෝජනවත් වන තාක් දුරට පමණක්ය යන්නයි. ප්‍රයෝජනවත් වනවා යනු ප්‍රායෝගිකව වැඩක් ගත හැකිය යන්නයි. එසේ නොවන කිසිදු අදහසක්, දර්ශනයක්, ප්‍රතිපත්තියක් හෝ වැඩ පිළිවෙලක් ගැන කතා කිරීමේ දේශපාලනික වැදගත්කමක් නොමැත. මන්ද යත්, යමක සදාචාර අන්තර්ගතයට (normative content) වඩා අපට වැදගත් වන්නේ ඒවා කොතරම් දුරට ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වන්නේද යන්න පමණි. දාර්ශනික තත්කාර්යවාදයේ ඉගැන්වීම එයයි.
තත්කාර්යවාදයේ බංකොලොත් බව
ඇතැමුන් මෙකී තත්කාර්යවාදී ප්‍රවේශයට නිදසුන් කොට දක්වන්නේ නිකොලෝ මකියාවෙලීගේ ඉගැන්වීම්ය. නමුත්, මකියාවෙලී යනු හුදෙක් බලය හඹාගෙන යන කුමාරයෙකුට උපදෙස් දුන් කපටි කෛරාටික න්‍යායාචාර්යවරයෙකු නොවූ බව මෙහිදී සිහි තබා ගත යුතුය. මකියාවෙලී වනාහී ජනතාවගේ ආණ්ඩුවක් කුමාරයෙකුගේ ආණ්ඩුවකට වඩා උත්තරීතර යැයි විශ්වාස කළ අයෙකි. ඔහුට ෆ්ලොරන්සියානු ජනරජයක් පිළිබඳ සිහිනයක් තිබිණ. ඔහු තත්කාර්යවාදී විණි නම්, එසේ වූයේ ඔහුගේ ජනරජවාදී අපේක්ෂාව සාක්ෂාත් කරගැනීමේ ප්‍රායෝගික මාර්ග ගවේෂණය කිරීමේ අරුතිනි. එම අපේක්ෂාවෙන් හුදෙකලා කොට ගත් කල්හි මකියාවෙලීගේ තත්කාර්යවාදී ප්‍රවේශයෙහි කිසිදු හරයක් නොමැත. මෙය සැබවින්ම සෙසු ඕනෑම තත්කාර්යවාදියෙකුට අදාළය. එජාපයේ තත්කාර්යවාදය නිදසුනකට ගනිමු. එය අර්ථවත් වන්නේ එජාපය අනුයන සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැගීමට යාමේදී කොතරම් දුරට ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් උපාය උපක්‍රම අනුගමනය කළ යුතුද යන කාරණයේදී පමණි. තත්කාර්යවාදයේ නාමයෙන් එජාපය කිසිකලෙක සමසමාජ ප්‍රතිපත්තීන් වැළඳගත්තේ නැත.
මෙසේ සලකා බැලූ කල ලොව කොතැනකවත් පරම තත්කාර්යවාදයක් පැවතිය නොහැකි බව පැහැදිලි විය යුතුය. එබැවින් කිසියම් දේශපාලන නායකත්වයක ප්‍රතිපත්ති රාමුව කුමක්දැයි විමසූ කල තමන් තත්කාර්යවාදී වන්නේ යැයි කීමෙහි කිසිදු අරුතක් නැත. “තැනේ හැටියට ඇණේ ගැසීම” වුවත් තේරුමක් ඇති දෙයක් වන්නේ සැබවින්ම එසේ ඇණේ ගැසීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන කාරණය අනුවය. දේශපාලනයේ යෙදෙන වෙනස් කණ්ඩායම්වලට ඇත්තේ වෙනස් අපේක්ෂාවන්ය. බලය දිනාගැනීමට සැවොම ප්‍රයත්න දරන්නේ තමන්ගේ සවිඥානක හෝ අවිඥානක අපේක්ෂාවන් ඉටු කර ගැනීම පිණිසය. අප අතර වෙනස් (මෙන්ම පසමිතුරු) අපේක්ෂාවන් පවතින බව ප්‍රතික්ෂේප කරන්නේ නම් දේශපාලනයක් ගැන කතා කිරීමේ පවා තේරුමක් නැත. එසේම තම දේශපාලන අපේක්ෂාවන් ඉටු කර ගන්නට ප්‍රයත්න දරන ඕනෑම දේශපාලන කණ්ඩායමක් අඩු වැඩි වශයෙන් තත්කාර්යවාදී වීමද වැළැක්විය නොහැකිය. නමුත්, දේශපාලනයේ යෙදෙන යමෙකු තමන් දක්ෂිණාංශික හෝ වාමාංශික නොව තත්කාර්යවාදී වන්නේ යැයි කීම කිසිම වැදගැම්මකට නැති ප්‍රකාශයකි. දක්ෂිණාංශික තත්කාර්යවාදයක් හෝ වාමාංශික තත්කාර්යවාදයක් දේශපාලනිකව වැදගත් විය හැකි නමුත් නිකම්ම නිකම් තත්කාර්යවාදයක් යනු හිස් වාගාලාපයක් පමණි.
දක්ෂිණාංශික තත්කාර්යවාදය
එවන් පරම තත්කාර්යවාදයක සැඟවුණු කාර්යභාරය වන්නේ බොහෝ විට පවතින ක්‍රමය එලෙසම පවත්වා ගැනීමය. සැබවින්ම, 1990 දශකයේ ආරම්භයේ පටන් දේශපාලනිකව ප්‍රායෝගික වීමටත්, තත්කාර්යවාදී වීමටත්, අතරමැද එකඟතාවලට පැමිණීමටත් කෙරුණු ඇරයුම් තුළ සැඟව පැවතියේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව ශීත යුද්ධයේ අවසානයෙන් පසුව නව-ලිබරල් ලෝක ක්‍රමය යනු ප්‍රායෝගිකව පැවතිය හැකි එකම යථාර්ථය වේය යන ධර්මය වැළඳ ගැනීමය. සමාජවාදය හා ධනවාදය අතර වූ දෘෂ්ටිවාදී අරගලය අවසාන වී ඇතැයිද, එබැවින් අප දැන් පශ්චාත්-දෘෂ්ටිවාදී යුගයකට පිවිසී ඇතැයිද උදම් ඇනීම් එකල දැක ගත හැකි විය. වාමාංශික හා දක්ෂිණාංශික යන බෙදුම්කඩනය ඓතිහාසිකව අවසන් වී තිබේය යන අදහසද ’90 දශකයට අයත් ය. වමේ හෝ දකුණේ නොවන අතරමැද එකඟතාවක් පිළිබඳ අදහස එකල දේශපාලන කතිකාවේ මධ්‍යයට පැමිණියේය. (වාමාංශික දේශපාලනය යනු යල් පැන ගිය අදහසක්ය යන මතය තවමත් ලංකාව තුළ පුනරුච්ජාරණය කරමින් සිටින්නේ එම 90 දශකයේ සංවාද අවකාශය තුළ තවමත් සිරවී සිටින බුද්ධිමතුන් පිරිසක්ය යන්න මගේ අදහසයි). පාවුලෝ ජර්බඩෝ පෙන්වාදෙන පරිදි, 1990 දශකයේදී දෘෂ්ටිවාදී අරගලය නිමා වූ බවක් පෙනුණේ සැබවින්ම එම අරගලයෙන් එක් දෘෂ්ටිවාදයක්, එනම් නව-ලිබරල්වාදය ජයග්‍රහණය කිරීම නිසාය. එතැන් පටන් දේශපාලනය තුළ වම හෝ දකුණ නොවී තත්කාර්යවාදී වීම යන්නෙන් අදහස් වූයේ එම නව-ලිබරල්වාදය සමග සම්මුතිගත වීමය. ප්‍රායෝගික වීම යන්නෙන් කියැවුණේ සංස්ථාපිතය හා අනුගත වීමය. අතරමැද එකඟතා යන්නෙහි අතරමැද පිහිටියේ දකුණු අන්තයේ මිස ජ්‍යාමිතික මධ්‍යයෙහි නොවේ.
නිශ්චිත දේශපාලන ස්ථාවරයක් ගැනීමෙන් තොරව තත්කාර්යතාවාදී වීමටත්, ප්‍රායෝගික වීමටත් කෙරෙන ඇරයුම් තුළ සැබවින්ම සැඟව පවතින්නේ සංස්ථාපිතය එලෙසම පවත්වා ගැනීමේ දේශපාලනයක් වන්නේ මෙනිසාය. එම දේශපාලනය පිහිටන්නේ ‘සිස්ටම් චේන්ජ් දේශපාලනයට’ සපුරාම ප්‍රතිවිරුද්ධ තැනකය. චම්පික රණවකගේ එක්සත් ජනරජ පක්ෂය මේ ගතානුගතිකවාදී තත්කාර්යවාදයේ දෘෂ්ටිවාදී ප්‍රකාශකයා වන විට රනිල් වික්‍රමසිංහගේ බල-හවුල එහි දේශපාලන සන්නිදර්ශකය වෙයි. වික්‍රමසිංහ සෙසු බොහෝ දක්ෂිණාංශික නායකත්වයන්ගෙන් වෙනස් වන්නේ ඔහු වත්මන් බහු-විධ අර්බුදයට කිසියම් ප්‍රායෝගික විසඳුම් පැකේජයක් ඉදිරිපත් කරන්නට සමත් වීය යන කාරණයෙනි. එම විසඳුම් පැකේජය සකස්ව ඇත්තේ මෙරට සුපිරි ව්‍යාපාරික-දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට හැකි තරම් අඩු හානියකුත් අති බහුතරයක් වන සාමාන්‍ය ජනයාට වැඩි හානියකුත් සිදු වන ආකාරයටය. එසේම, එම විසඳුම් පැකේජය නව-ලිබරල්වාදී අන්තවාදය මෙරට තුළ නග්න ලෙස ක්‍රියාවට නගන්නට දැරෙන ප්‍රයත්නයක්ද වේ.
වික්‍රමසිංහගේ විසඳුම විසින් ජනිත කෙරෙන ප්‍රායෝගික සමාජ-දේශපාලන ප්‍රතිපල ප්‍රකාශයට පත් වන්නට පටන් ගන්නා විට අප මෙතෙක් ලාංකීය ඉතිහාසය තුළ නොදක්නා ලද මහා සුළි කුණාටුවකට මැදිව සිටිනු ඇත. මන්ද යත්, නිදහසින් පසු මෙරට දේශපාලන ක්‍රමය තුළ ක්‍රමානුකූලව ගොඩ නැගුණු සමාජ ගිවිසුම්වල පදනම් ‘වික්‍රමසිංහ විසඳුම් පැකේජය’ විසින් සෙලවීමට ලක් කෙරෙන බැවිනි. සසැලෙමින් හා දුර්වල වෙමින් පවතින්නේ ලිබරල්වාදයේ අරුතින් රාජ්‍යය සහ පුරවැසියා අතර සම්බන්ධය පමණක් නොවේ. කෘෂිකාර්මික ප්‍රජාව හා දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අතර සම්බන්ධයේ රැහැන් පටවල් පෙර නොවූ විරූ අයුරින් අබල දුබල වෙමින් පවතී. වෘත්තියික ශ්‍රේණීන් හා සුදු කරපටි කම්කරුවන් ඇතුළු නව මධ්‍යම පන්තික කොටස් මත පාලක පන්ති හෙජමොනිය පවත්වා ගන්නට ඉවහල් වූ සංවර්ධන කතිකාව ක්ෂණික ප්‍රහාරයකට ලක්ව තිබේ. පොදු ජන අවබෝධයේ තලය තුළ සිස්ටම් එකෙහි පැවැත්ම තහවුරු කරන්නට දායක වූ ජනසම්මතවාදී පාලනය පිළිබඳ ගතානුගතික දෘෂ්ටිවාදී රාමුව දුර්වල වෙමින් පවතී. සමාජයීය තලයෙහි අර්බුදය අන් සියල්ලට වඩා තීරණාත්මකය. පුද්ගලයින් හට සමාජ සාමූහිකත්වයන් පරිකල්පනය කරන්නට දායක වන්නා වූ අධ්‍යාපනය, ආගම, සදාචාරය, පොදු වටිනාකම් යනාදිය පෙර නොවූ විරූ ගරා වැටීමකට ලක් වෙමින් පවතින අතර එය ප්‍රකාශයට පත්වන්නේ ගතානුගතික බුද්ධිමය ශ්‍රේණීන්ගේ (ආගමික නායකයින්, ගුරුවරුන්, රාජ්‍ය සේවකයින්) සුජාතභාවය බිඳ වැටීමක් ලෙසිනි.
පරමාදර්ශවාදයේ ප්‍රායෝගිකත්වය
මහා ආර්ථික, දේශපාලනික මෙන්ම සමාජයීය බිඳ වැටීමකට මුහුණ දෙමින් සිටින ජන සමාජය දැන් ඉතාම ප්‍රායෝගික විසඳුම් ඉල්ලා සිටින බව සත්‍යයකි. කිසිදු විපාක්ෂික නායකත්වයක් පැහැදිළි විසඳුම් මාර්ගයක් පෙන්වීමට අසමත් වූ තත්ත්වය හමුවේ වික්‍රමසිංහගේ විසඳුම (එය කොතරම් ජන-පීඩක එකක් වුවත්) සැලකිය යුතු තරමේ අක්‍රීය ජන අනුමැතියක් දිනා ගැන්මට කිසියම් දුරකට සමත් වී ඇති බවද පෙනේ. තීරණාත්මක මොහොතේදී වික්‍රමසිංහ-අයි.එම්.එෆ් විසඳුමට වඩා වෙනස් ප්‍රායෝගික විසඳුමක් තමන් සතුව ඇතැයි කාටත් ඒත්තු යන ආකාරයෙන් පෙන්වීමට ජවිපෙ/ජාජබ පවා අසමත් විය. ඒ වෙනුවට, එහි ප්‍රධාන පෙළේ නායකයින් පවා අයි.එම්.එෆ් වැඩ පිළිවෙල සමග පෙරට යා යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටියහ. සජබ ආර්ථික දැක්ම වික්‍රමසිංහ දැක්ම මිස අන් කිසිවක් නොවේ යැයි එහි ප්‍රධානතම ආර්ථික විශේෂඥයා විසින්ම පවසන්නට යෙදිණ. ප්‍රධාන ධාරාවේ සියලු පක්ෂ විසින් ‘අන් විකල්පයක් නොමැත’ යන එකඟතාව එක් හෝ තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නට යෙදුණු වාතාවරණයක් තුළ වික්‍රමසිංහ කළ එකම දෙය නම් පවතින එකම ප්‍රායෝගික විකල්පය හොඳින්ම ක්‍රියාවට නැගිය හැකි නායකයා තමන් යැයි ඒත්තු ගැන්වීම පමණි. තත්කාර්යවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ එසේය. වත්මන් යුගයේ දේශපාලකයින් පමණක් නොව පොදු ජනයාද තත්කාර්යවාදී තර්කණයේ ග්‍රහණයට ලක්ව සිටින බැවින් ඔවුන් වික්‍රමසිංහ-රාජපක්ෂ පාලනාධිකාරයේ විසඳුමට එරෙහිව තවමත් මහා පරිමාණයෙන් පාරට නොබැස සිටීම පුදුමයට කාරණයක් නොවේ.
මෙයින් පෙනී යන්නේ ප්‍රතිමානික අන්තර්ගතයකින් (normative content) තොර වූ තත්කාර්යවාදයකින් කිසිවෙකුට සංස්ථාපිතය පරාජය කළ නොහැකි බවයි. වඩාත් ප්‍රායෝගික වීම සඳහාම පවත්වනු ලබන තරඟයකින් දක්ෂිණාංශය පරාජය කළ නොහැක්කේ ප්‍රායෝගිකත්වය සංවිධානය වී ඇත්තේම දක්ෂිණාංශික පදනමක් මත වන නිසාය. එම පවත්නා ප්‍රායෝගිකත්වයම මූලධාර්මිකව ප්‍රශ්න කරන වාමාංශික පරමාදර්ශවාදය (idealism) තවමත් වලංගු වන්නේ මෙනිසාය. වඩ වඩාත් ප්‍රායෝගික වීමට කෙරෙන ඇරයුම් හමුවේ අපට මග හැරෙමින් පවතින්නේ ‘සිස්ටම් චේන්ජ්’ පිළිබඳ සටන් පාඨය ඔස්සේ ප්‍රකාශයට පත් වූ පොදු ජන ඉල්ලීමයි. එම සටන් පාඨය තුළ ගැබ්ව පැවති අනුරාගික ශක්තිය පසුගිය වසරේ අරගලය තුළ අපි අත් දුටුවෙමු. ජන සමාජය නව පරමාදර්ශයක් වටා නැවත සංවිධානය කිරීමේ ශක්‍යතාව අරගලයේ නිමේෂය විසින් කදිමට තේරුම් කර දෙන ලදී. නව දේශපාලනයේ හැරවුම ඇත්තේ අන් සියලු දෙනා විසින් එක් හෝ තවත් ආකාරයකින් අත් හැර දමමින් සිටින, නැතහොත් සම්මුතිගත කරමින් සිටින පරමාදර්ශ කරා නැවත හැරීමේ ප්‍රවේශයක් තුළය. එම පරමාදර්ශ කරා යාමේ ප්‍රායෝගික මාර්ගයක් කාටත් ඒත්තු යන ආකාරයේ සරල කතාන්තරයක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවද ඒ සමගම ප්‍රගතිශීලීන් විසින් අත්පත් කරගත යුතුව තිබේ. බිඳ වැටෙමින් පවතින ජන සමාජය අලුත් පදනමක් මත නැවත ගොඩ නැංවීමේ බලාපොරොත්තුව ජය ගත හැක්කේ පරම ප්‍රායෝගිකවාදයක් වෙනුවට පරමාදර්ශ-මූලික ප්‍රායෝගිකවාදයක් අනුගමනය කිරීමෙනි.
සුමිත් චාමින්ද | Sumith Chaaminda