‘‘බේබද්දෙකු වීමට, අලසයෙකු වීමට, බියගුල්ලෙකු වීමට, වලත්තයෙකු වීමට ඔබට නිදහස ඇත. එහෙත්, නිදහසේ හිතන්නට ඔබට නිදහස නැත.’’ – ජෝර්ජ් ඕවල්
ඉහත කී උද්ධෘතයේ මුලින් කී කාරණා සඳහා ලැබෙන නිදහස සහ දෙවැනුව කී කාරණය සඳහා නොලැබෙන නිදහස අතර සහසම්බන්ධයක් ඇත. මේ ලැබීම සහ නොලැබීම, හුදෙක් පිටස්තර කිසිවෙකු විසින් ඔබේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් පටවන දෙයක් නොවේ. එහෙත්, යම් පිටස්තර ක්‍රියාවලියක් විසින් ඔබව හැසිරවිය හැකි මූලික යාන්ත්‍රණය නිපදවා ඇති අවස්ථාවක, ඔබ යනු බේබද්දෙකු සහ වලත්තයෙකු වීමට අවසර ඇති මුත්, නිදහසේ හිතන්නට අවසර නැති පුද්ගලයෙකු බවට ඉබේම පත්වෙයි. වැදගත් වන්නේ මෙයයි: තනියෙන් සිතීමට අවසරයක් තමාට තිබිය යුතු යැයි නොසිතන පුද්ගලයෙකු බවට ඔබම මේ මොහොත වන විට පත්ව සිටීමයි.
මෙවැනි මොහොතක විශේෂත්වය මෙයයි: ඔබ වෙනුවෙන් සිතන වෙනත් පිරිසක් බිහිවෙති. ඔබ වෙනුවෙන් ඔවුන් සිතතියි ඔබට සිතෙයි. එහෙත් ඇත්තෙන්ම සිදුවන්නේ, ඔවුන් සිතන දෙය ඔබත් සිතන දෙයක් බවට ඔවුන් විසින්ම පත්කිරීමයි. කාලයක් යද්දී ඔබ ඒ ක්‍රමයට හුරු වෙයි. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන්, චැනල් 4 අනාවරණය මත ගෝඨාභය රාජපක්ෂව හෝ සුරේෂ් සලේ නමැති හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව හිරේ දැමිය යුතු යැයි සිතීම මුග්ධ ය. ඒ වැඩසටහනෙන් ඉදිරිපත් වූ කරුණු එවැන්නක් සඳහා කොහෙත්ම නොසෑහෙයි. ඊට වඩා, ගෝඨාභය හිරේ දැමීම සඳහා ලෙහෙසියෙන් ඔප්පු කළ හැකි සිදුවීම් රාශියක් තිබුණි. එහෙත් ඒ කිසිවක්, යුක්ති ධර්මයේ විනිශ්චයාසනය වෙත නොපැමිණියා පමණක් නොව, කිසි දවසක පැමිණෙන්නේද නැත.
දැන්, අලූත් පරිච්ඡේදය හැඩගැසෙන්නේ මෙසේ ය: සැබෑව නිරාවරණය කරගැනීම සඳහා යම් උත්සාහයක් ගන්නා යමෙකු සිටී ද, ඔහු/ඇය ඉවරයක් කර දැමිය යුතුය. එවැනි මිනිසුන් සිටින තාක්, ඉහතින් කී ‘රොබෝ සමාජයක්’ පවත්වාගෙන යාම කළ නොහේ. දිල්රුක්ෂි ඩයස් නම් වූ උගත්, බුද්ධිමත් කාන්තාව ඔබට මතකද? සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඇගේ මැදිහත් වීම, එක් දූෂිත දේශපාලනඥයෙකුගේ සහ එක් දූෂිත ව්‍යාපාරිකයෙකුගේ කූඨ මැදිහත්වීමෙන් සහ රාජ්‍ය අනුග්‍රහයෙන් නතර කළ හැකි විය. ශානි අබේසේකර නමැති පොලිස් නිලධාරියා සම්බන්ධයෙන්ද එම ක්‍රියාවලියම දියත් කෙරුණි. ශානී අබේසේකර හිරේ යැවීමට සහ අපරාධකරුවන් නිරුපද්‍රිත වීමට එය ඉවහල් විය.
චැනල් 4 ගැන දැන් පිස්සු වැටී සිටින්නේ, ඒ වැඩසටහනේ මොනයම් හෝ විශේෂිත හෙළිදරව්වක් නිසා නොව, හෙළිදරව්වක් සඳහා අවශ්‍ය කළ මුත්, එතෙක් පාවිච්චි කළ නොහැකිව තිබූ ‘තහනම් වචන’ කිහිපයක් සමාජගත වීම නිසා ය. සුරේෂ් සලේ එවැනි එක් නාමයකි. ඒ සමග ගැටගැසුණු, හමුදා බුද්ධි අංශ සහ දේශපාලනය අතර සහසම්බන්ධතාව, එතෙක් තහනම්ව පැවති, දැන් ඉස්මත්තට පැමිණ ඇති, තවත් පරිශ්‍රයකි. මෙය, භයානක ඉඩහසරක් වශයෙන් සැලකේ. එනිසා වහා එය වසා දැමිය යුතුය. ඒ සඳහා, පාස්කු ප්‍රහාරයේ වගකීම, ගොඩින් බේරාගත හැකි හෙවත් පැටවිය හැකි, අහුමුලූ ඇවිස්සිය යුතුය.
‘‘ටෘත් විත් අහවලා’’ නමින් යූටියුබයක් දැන් කාලයක සිට ක්‍රියාත්මකයි. පසුගිය සතියේ එහි එක් වැඩසටහනක මාතෘකාව වුණේ, ‘‘සහරාන් අල්ලන්න ගිය කණ්ඩායමට ශානී ආපහු එන්න කිව්වා’’ යන්නයි. මාතෘකාවේ සඳහන, සාකච්ඡාවේ/වාර්තාවේ අඩංගුව තුළ නොමැති වීම, මෙවැනි බොහෝ ඉදිරිපත් කිරීම්වල දකින්ට ලැබෙන විශේෂ ලක්ෂණයකි. පැයකට ආසන්න කාලයක් තිස්සේ දිවෙන වැඩසටහන පුරා කිසි තැනක, එසේ ශානී කී බවක් සඳහන් නොවීම ඊට උදාහරණයකි.
මොහු කවුද?
මේ සාකච්ඡාවට කැඳවා සිටියේ, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන පාලිත සිරිවර්ධන ය. මොහුම ඊට දවස් කිහිපයකට පසු, වෙනත් රූපවාහිනි නාලිකාවකත් මේ මාතෘකාවම සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබුණි. මොහු කවුද? සරත් වීරසේකර ඇමතිවරයෙකු වශයෙන් සිටියදී ඔහුගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. ඒ නිසා, පාස්කු ප්‍රහාරය සහ රාජපක්ෂලා සම්බන්ධ වෙනත් කරුණු අරභයා සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශ සහ මේ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ප්‍රකාශ අතර අපූරු සමානත්වයක් සටහන් වෙයි.
මීට වසර විස්සකට පමණ කලින්, වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති වශයෙන් සිටියදී, මොහු සහ යම් කාන්තාවක් අතර අයථා සම්බන්ධයක් විණැයිද, ඒ කාන්තාවගේ සැමියා වන ශාන්ති කුමාර් නමැත්තාව මොහුගේ අවශ්‍යතාව හෝ අනුදැනුම මත, ‘ආමි ඉන්දික’ නමැත්තා ලවා ඝාතනය කරවන ලදැයිද කියැවුණු සිද්ධියක් ඇති විය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ පොලිස් නිලධාරියා මාස හයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. අපරාධකාර ‘ආමි ඉන්දික’ රටින් පැන්නේය. සාක්ෂි නැති කම නිසා පොලිස් නිලධාරියා නිදහස් වුණේය. අපරාධය සෘජුව කළ තැනැත්තා රටින් පැනගොස් ඇත්නම් හෝ මියගොස් ඇත්නම්, අපරාධයක ‘මහ මොළකරුවෙකු’ සොයාගැනීම අපහසු ය. පාස්කු ප්‍රහාරයත් ඊට තරමක් සමානයි. පුදුමය වන්නේ, මේ කියන සාකච්ඡාව අවසානයේ මේ පොලිස් නිලධාරියාගේ (පාස්කු ප්‍රහාරය පිළිබඳ) අවසාන නිගමනයද එයම වීමයි. එනම්, පාස්කු ප්‍රහාරයේ ‘මහමොලකරුවා’ සහරාන් බවයි. ඉන් එහා වෙන කවුරුවත් නැත. රාජපක්ෂලාගේ චින්තාවලියත් එයම මිස අන් කවරක්ද!
මාවනැල්ලේ බුදු පිළිම කඩන කාලයේ මොහු කෑගල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. මේ සිද්ධිවලට සම්බන්ධ විශේෂිත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට නොගත් බව මේ පොලිස් නිලධාරියා කියයි. ඊට හේතුව විමසන විට ඔහුගේ පිළිතුර වන්නේ, එවක බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි විසින් ඔවුන් දෙන්නා අහවල් දවසට කලින් ගෙනැවිත් පොලීසියට භාරදෙන බවට පොරොන්දු වූ නිසා අර සැකකරුවන් දෙන්නා තමන් විසින් අත්අඩංගුවට නොගත් බවයි. මේ කියන සැකකරුවන් දෙන්නා සහරාන්ගේ සමීපතම අනුගාමිකයන් ය. අසාද් සාලි පොරොන්දු වූ පරිදි මොවුන් දෙන්නා භාර දී නැත. අවසානයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසම මේ සිද්ධිය ගැන මෙසේ කියා ඇති බව, ඉහත කී සාකච්ඡාව තුළ මොහු කියයි. එනම්, ‘‘මෙවැනි ක්‍රියා, (එනම්, දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම) පොලීසියේ ස්වාධීන ක්‍රියාකාරීත්වයට හානියක් බැවින් එවැනි දේශපාලනඥයන්ගේ ක්‍රියාවන් දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් සැලකිය යුතුව ඇති’’ බවයි. කොමිසමේ එම නිර්දේශය මේ සාකච්ඡාව තුළ පොලිස් නිලධාරියා ගෙනහැරපාන්නේ, එය දේශපාලනඥයන්ට කළ තරවටුවක් වශයෙන් අවධාරණය කරමිනි. එහෙත්, එම තරවටුවම, අර දේශපාලනඥයාට යට වූ ඉහළ පොලිස් නිලධාරියා වශයෙන් තමන්ටත් අදාළ නොවන්නේද යන්න, ප්‍රශ්නකරු ඔහුගෙන් නොවිමසයි.
දැන්, ඔහුගේ ප්‍රධාන චෝදනාව සහ එය අතිශයෝක්තියට නැඟූ යූටියුබ්කරුවාගේ සිරස්තලය ගැන සලකා බලමු: 2019 පෙබරවාරි 19 වැනිදා (එනම්, පාස්කු ප්‍රහාරයට මාස දෙකකට පමණ කලින්) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා සහරාන්ගේ බිරිඳගේ නිවසට ගොස් තිබේ. ඒ අවස්ථාවේ සහරාන් එහි සිට නැත. සහරාන්ගේ බිරිඳගෙන් කටඋත්තරයක් ගැනීමෙන් පසු පොලිස් කණ්ඩායම අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ ප්‍රධානියාට කතාකොට, ඊළඟට කළ යුත්තේ කුමක්දැයි උපදෙස් පතා ඇති අතර, ඔවුන්ට එතැනින් ආපසු එන්නැයි ඔවුන්ගේ කණ්ඩායම භාර ප්‍රධානියා කියා ඇතැයි මොහු කියයි. එදා, සහරාන්ගේ බිරිඳ ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේ නම් පාස්කු ප්‍රහාරය වළක්වාගත හැකිව තිබිණැයි යන්න මේ පොලිස් නිලධාරියාගේ තර්කයයි. අදාළ අපරාධය අරභයා බිරිඳගේ සහභාගීත්වයක් නැති අවස්ථාවක, සැමියා වෙනුවෙන් බිරිඳ අත්අඩංගුවට ගැනීමක් නීත්‍යානුකූල කෙරෙන තර්කයක් ඔහුගෙන් පළ නොවෙයි. ඊටත් වඩා, එදා සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේ නම්, පාස්කු ප්‍රහාරය වැළකෙනු ඇත්තේ කෙසේද යන්නත් ඔහු අපට විස්තර නොකරයි.
කෙසේ වෙතත්, ආපසු එන ලෙස අංශ ප්‍රධානියාගෙන් පොලිස් කණ්ඩායමට ලැබුණු උපදේශය එන්නට ඇත්තේ, එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ වශයෙන් සිටි ශානි අබේසේකරගෙන් යැයි තමා සිතන බව මොහු කියයි. මේ සමස්ත සාකච්ඡාව පදනම් වන්නේ ඔහුගේ ඒ ‘උපකල්පනය’ මත ය. මීට පෙර, මෙම පොලිස් නිලධාරියා විසින් විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේද, විශේෂ විමර්ශන අංශය ඉදිරියේ ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ශානි අබේසේකරට විරුද්ධ කාරණා ගෙනහැර දක්වා ඇති බවත්, ඒවා ගැන නිසි පරීක්ෂණ පවත්වා, ඒ චෝදනා පදනම් විරහිත බවට ඒ සියලූ පරීක්ෂණ මගින් නිගමනය කොට ඇති බවත්, මෙහිදී සඳහන් කිරීම වටී. (ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් මේ නිලධාරියා අරභයා ඊට කාලයකට පෙරාතුව රාජකාරිමය වශයෙන් ගෙන ඇති පියවර වෙනම ලිපියකට නිමිති විය යුතුය. ඔහුගේ වර්තමාන කොන්තරයේ මූලය ඒ මගින් දැනගත හැකි වනු ඇත.)
ඔහුගේ ඊළඟ ‘උපකල්පනය’ වන්නේ, එදා රෑ සිය බිරිඳ රැගෙන යාමට සහරාන් මේ නිවස වෙත පැමිණීමට නියමිතව සිටි බවයි. ඉතිං, බිරිඳව අත්අඩංගුවට නොගැනීම සහ සහරාන් එදා නොපැමිණීම අතර සහසම්බන්ධයක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න ඔහු පැහැදිලි කළ යුතුව තිබුණි. එහෙත් එවැනි හෝඩුවාවක් මේ සාකච්ඡාව තුළ අපට හමු නොවෙයි. කෙසේ වෙතත්, මේ කියන දවසේම සිය බිරිඳ රැගෙන යාමට සහරාන් පැමිණීමට නියමිතව සිටියේ මන්ද යන ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වන්නේ, ඊට කලින් වනාතවිල්ලූව යන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ පුපුරන ද්‍රව්‍ය සහ අවිආයුධ පිළිබඳ සිද්ධිය සැල වී තිබීම නිසා, බිරිඳව එදා එම නිවසින් ඉවත් කරගැනීමට සහරාන්ට අවශ්‍ය වූ බවයි. අප මේ කතා කරන්නේ, 2019 පෙබරවාරි 19 වැනිදා සිද්ධියක් ගැනයි. එහෙත්, වනාතවිල්ලූවේ සිද්ධිය වී තිබුණේ, ඊට මාසයකටත් ඉහත, 2019 ජනවාරි 16 වැනිදා ය. එතකොට මොහු කියන්නේ, මාසයකට කලින් සිද්ධියක් නිසා, සිය බිරිඳ එතැනින් ඉවත් කරගත යුතු යැයි සහරාන්ගේ මතකයට ඇවිත් ඇත්තේ මේ දවසේ කියාද? බිරිඳ රැගෙන යාමට සහරාන්ට අවශ්‍ය කළ බව බොරුවක් නොවේ. එහෙත් ඒ අවශ්‍යතාව සමග වනාතවිල්ලූව සිද්ධිය මේ කියන දවසේම ඔහුගේ කල්පනාවට ඇවිත් ඇතැයි කීම, පොලිස් නිලධාරියෙකු තබා අප වැනි පෘථග්ජනයෙකු පවා කෙසේ නම් තේරුම්ගන්නද?
එක්කෝ නොදැනුවත්කම
නැතහොත්, දැනුවත්ව බොරු කීම
ඊළඟට, සහරාන් ඇතුළු පිරිස මරාගෙන මැරෙන්ට දිව්රුම් දුන් ඡායාරූපය ගත්, සහ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් නිතර ආගිය (ගල්කිස්සේ) ස්ථානය පිළිබඳ කරන ලද පරීක්ෂණ සඳහා ගලවාගෙන ආ සී.සී.ටී.වී. කැමරාවල අඩංගු සියල්ල මකා දමා ඇතැයි මේ පොලිස් නිලධාරියා චෝදනා කරයි. ඔහුගේ අනුමිතිය වන්නේ, ඒ වනාහී, සිද්ධි වසං කිරීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද තවත් ප්‍රයත්නයක් බවයි. සී.සී.ටී.වී. කැමරාවල අඩංගුව, තාක්ෂණික කාරණයක් නිසා මැකී ගොස් ඇති බව සත්‍යයකි. එහෙත්, මේ පොලිස් නිලධාරියාගේ චෝදනාව ඒ මත පදනම් කළ හැක්කේ කෙසේද යන්න ප්‍රශ්නයකි. මන්ද යත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම මේ කැමරා ආපසු ඇමරිකාවට යවා, ඒ මැකී ගිය සියලූ දත්ත ආපසු ලබාගෙන ඇති බවත්, ඒවා සියල්ල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාර’ ගබඩා දෙකක අදටත් තැන්පත්කොට ඇති බවත් මොහු දැන සිටිය යුතු බැවිනි. නැත, තමන්ගේ ද්වේෂසහගත චෝදනා ගොඩනැඟිය හැක්කේ, එවැනි දැනුමක් ඇතත්, එවැන්නක් නොදන්නා සේ කතා කිරීමෙන් පමණක් බව මෙවැනි අය දනිති.
මේ සාකච්ඡාව තුළ ඔහු මතු කරන සියලූ කරුණු මීට කලින් අවස්ථා තුනකදී ආයතනික මට්ටමින් පරීක්ෂාවට ලක් වී ඇත. එකක් වන්නේ, පාස්කු ප්‍රහාරය ගැන සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කළ ‘‘මලල්ගොඩ කොමිසමයි’’. දෙවැන්න වන්නේ, ඒ විෂය අරභයාම පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයි. තෙවැන්න වන්නේ, මලල්ගොඩ කොමිසමේ නිර්දේශ අනුව, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම පත්කළ ‘‘විශේෂ ජනාධිපති කොමිසමයි’’. ඒ කිසි වාර්තාවක, මේ කියන කිසි සිදුවීමක් සම්බන්ධයෙන් (ඒවා සියල්ල සාකච්ඡාවට ගෙන ඇතත්), ශානී අබේසේකරට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙන කිසිවෙකුට හෝ විරුද්ධ කිසි සඳහනක් හෝ ඈතින්වත් ගෑවෙන දෝෂාරෝපණයක් හෝ චෝදනාවක් සොයාගන්නට නැත.
‘‘ටෘත් විත් අහවලා’’ නමැති මෙම වැඩසටහනට, අඳුරු අතීතයක් ඇති, පෞද්ගලික කෝන්තර පිරිමහන මෝඩ පොලිස් නිලධාරියෙකු කැඳවන්නේ, හුදෙක් ශානී අබේසේකරට මඩගැසීමට යැයි මේ ලියුම්කරු නොසිතයි. ඉන් එහා ගිය අභිලාෂයක් ඊට ඇත. එය, මුළු සමාජයම ආවරණය කෙරෙන අභිලාෂයකි. එනම්, සත්‍යය ඔළුවෙන් සිටුවීමයි. පුරවැසියන් මබ්බෝද කොට, සත්‍යයෙන් අසත්‍යය වෙන් කරගත නොහැකි ඉසව්වකට පුරවැසියා කැඳවාගෙන යාමයි. හරි-වැරැද්ද අතර වෙනසක් නොපෙනෙන මංමුළාවකට පුරවැසියා පත්කිරීමයි. එවිට, සියලූ අපරාධකාරයෝ නිදහස් වෙති. සියලූ දූෂිතයෝ රජ වෙති.
ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. සමාජය දැනුවත් කිරීම තවදුරටත් අදාළ නැත. ‘ටෘත්’ යන්නෙහි සිංහල තේරුම සත්‍යය යන්නයි. එය මෙවැනි වැඩසටහන්වල අපට හමු නොවන හිඟ ‘භාණ්ඩයකි.’
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda