iMage: Vikalpa/ Sampath Samarakoon(2022 January)

දන්නා නොදන්නා සියළුම බිරින්දෑවරුන්ගෙන්, දරුවන්ගේ අම්මාවරුන්ගෙන් මං අහනව. ඒ භයංකර සිතිවිල්ල මොහොතකට කැඳවාගැනීම වුව ඔබ තුළ ඇති සියල්ලම දවා අළු කරන බව දැන දැනම, සමා වෙන්නැයි ඉල්ලා සිටිමින් වුව, දන්නා නොදන්නා සියළුම ලාංකික බිරින්දෑවරුන්ගෙන් මම අහනව.

ඔබේ සැමියා, ජීවිතය බෙදා හදා ගත් ජීවන සහකරුවා, ඔබේ දරුවන්ගේ තාත්තා, බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළහොත්, නිමේෂයක් නිමේෂයක් පාසා පපුතුරේ පුපුරා යන කිසිදා නොනිවෙන ගිනි කන්දක දැවෙමින් ඔබ කුමක් කරාවිද?

******

සන්ධ්‍යා කරන්නෙත් එයමයි….
සෙවීමයි
ඇසීමයි
කෑ ගැසීමයි
දන්නා නොදන්නා හැම උසාවියකම නඩු කීමයි
මරා දැමුවානම්
මිනිය හෝ දියව් යැයි පලි ගැසීමයි
මිනිසුන් ඇසුරේ යුක්තිය නැති තැන
දෙවියන් වෙතින් වර යැදීමයි
දවස් පන්දාහක්
ඇය තවමත් හොයනව.
සෙවීමේ වෙහෙසෙන්ම
එක් ඇසක් කණ වී ගිහින්
දුබල අනිත් ඇසට ද
පොලිස් පොලු වදිනව
ඒත් ඇය හොයනව
හොයන්නෙපා යැයි කීවොත්
ඔබ නවත්තනවද?
සන්ධ්‍යාත් කරන්නේ එයමය
නොනවත්වා සෙවීමය…
කපා කොටා
විසි කළ
ඇට කටු වැළලූ තැනක් හෝ කියනතුරු
සෙවීමය

ඔබ කී දෙනෙක් සන්ධ්‍යා එක්නැළිගොඩගේ කතන්දරය දන්නවාදැයි මම දන්නෙ නැහැ. ඇය රාජ්‍ය මර්දන යාන්ත්‍රණය විසින් ක්‍රියාත්මක කරන ලද, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම නැමැති ම්ලේච්ඡ සාපරාධයේ ගොදුරුක් වූ දහ දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කෙනෙකු වූ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ.
දින කීපයකට පෙර ඇය විසින් මාධ්‍යවල පළකර තිබූ ආරාධනාවක් හදිසියෙන් මගේ ඇස ගැටුණා. අතුරුදහන් කළ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ වෙනුවෙන් යුක්තිය සොයා පියමන් කරන ගමනේ ගෙවී යන 5000 වන දිනය සටහන් කිරීම වෙනුවෙන් “පාංශුකූලය අහිමි මිනිසුන්ට යුක්තිය අකැපද?” නමින් ඔහු ජිවත් වුණු පන්නිපිටිය, සුහද මාවතේ කුඩා නිවසේ පැවැත්වෙන සැමරුමකට සහභාගි වන්නැයි කළ ඇරයුමක් ඒ.

ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා සහ කාටූන් ශිල්පියා අතුරුදහන් කරවන්නේ මිට අවුරුදු 13 කට පෙර, 2010 ජනවාරි මාසයේ 24 වෙනිදා. මහින්ද රාජපක්ෂ දෙවෙනි වරටත් රටේ ජනාධිපති බවට පත්වුණු ජනාධිපතිවරණයට දින තුනකට කලින්. ඊට වසර කීපයකට පසු රටේ ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටිය දී…

එතැන් සිට ලංකාවේ ආණ්ඩු 4 ක් බලයේ හිටියා. නමුත් සන්ධ්‍යා තවමත් ප්‍රගීත්ව හොයනවා. නඩු විභාග අතර මග නැවතිලා. අවසාන වරට ගිරිතලේ හමුදා කඳවුරේදී ප්‍රගීත් පණ සිටින් සිටිනවා දුටු බවට විමර්ශනවලින් හෙළිදරවු වී ඇති බවත්, හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු ආරක්ෂක හමුදාවල නිලධාරීන් කිහිප දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ හේතු මත තොරතුරු දිය නොහැකි යැයි හමුදාව කියා ඇති නිසා නඩුව ඉදිරියට නොගොස් හිර වී ඇති බවත් මාධ්‍යවල පළ වූ ලිපිවල මා කියවා තිබෙනවා.

දවස් 5000 ට පසුත් සන්ධ්‍යා තවමත් සොයනවා.

අතුරුදහන් කරවීම වනාහී මනුෂ්‍යත්වයට එරෙහි කුරිරුතම සාපයයි. බුද්ධ රාජ්‍යය යැයි කියන ශ්‍රී ලංකාවේ බලයේ සිටි ආණ්ඩු දිගින් දිගටම අතුරුදන් කරවීම තමන්ට විරුද්ධ අදහස් මර්දනය කිරීමේ සහ ප්‍රතිවිරෝධයන් යටපත් කිරීමේ උපක්‍රමයක් හැටියට යොදාගෙන ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වරින් වර නිකුත් කළ වාර්තාවල සඳහන් කර තිබෙනවා. බලහත්තාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ Working Group හමුවේ ඇති අතුරුදහන් වීම් පිළිබඳ ලැයිස්තුවට අනුව ලංකාව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදුවන රටවල් අතුරින් ‍ලෝකයේ දෙවෙනි තැන සිටින බව කියැවෙනවා.

1990 පෙබරවාරියේදී රාජ්‍ය ආරක්ෂක අංශ විසින් නිවසට කඩා පැන පැහැරගෙන ගොස් මරා දැමූ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරියෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා ගේ මව වන මනෝරානී සරවනමුත්තු කිසියම් සම්මුඛ සාකච්ඡාවකදී කියා ඇති දෙයක් මගේ සිතේ කා වැදී තියෙනවා.

පැහැරගෙන යෑමෙන් පැය 48 ට පසුව මුහුදු වෙරළට ගසා ගෙන ඇවිත් තිබූ ඇට කඩු පොඩි කර තලා පෙලා දැමූ මළ සිරුර තම පුතු රිචඩ්ගේ බව ඇය අඳුනා ගන්නවා.

“ලංකාවේ දරුවො අතුරුදහන් වෙච්ච අම්මලා අතරින් මං වාසනාවන්ත කෙනෙක්. මං මගේ දරුවාගේ මිනිය දැක්කා”

අතුරුදහන් කරවීම නැමැති ම්ලේච්ඡ සාපරාධයට ගොදුරු වූවන්ගේ පවුල්වල අය මුහුණ දෙන කිසිදා නොනිමෙන ඛේදවාදකය තේරුම් ගන්නට මේ වචන ටිකට වඩා තව යමක් ඇවැසිද!

අපේ රටේ රාජ්‍ය මර්දන යාන්ත්‍රණය විසින් බලහත්කාරයෙන් අතුරුදන් කරවූ මනුෂ්‍යයන්ගේ ලැයිස්තුව ඉතා දිග එකක්. කිසිදු දේශපාලන ක්‍රියාවකට හෝ විරෝධතාවකට සහභාගී නොවූ අහිසංක දෙමළ තරුණයින් පවා පසුගිය කාලවල ආරක්ෂක හමුදාවල නායකයන්ගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ කල්ලි විසින් පැහැරගෙන ගොස් මරා දැමූ සිදුවීම් ප්‍රසිද්ධියට පත් වුණා. නේවි 11 සිද්ධිය, ත්‍රිකුණාමලය මුහුදු වෙරළේදී මරා දැමූ දරුවන් 5 දෙනාගේ සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය…..මේ අතුරින් දෙක තුනක් පමණයි. රාජපක්ෂ පාලනය සමයේ සිදු වූ මේ කිසි අතුරුදන් කිරීමකට, ඝාතනයකට අදාළ නඩුවක් අවසානය කරා ගොස් නැහැ. කිසිම වරදකරුවෙකුට දඬුවම් ලබා දී නැහැ. ඒ දරුවන්ගේ දෙමාපියන් මරණ තර්ජන ගර්ජන හමුවේ අවරුදු ගණන් උසාවි ගානේ පොලීසි ගානේ ඇවිද, ඇතැමුන්ට රට හැර පලා යාමට සිදු වුණා. ඇතැමුන් තම දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු වෙනවා නොදැක මිය ගියා.

***
අවසන් වරට තම සැමියා දුටු දිනය පිළිබඳ සෑම කුඩා විස්තරයක්ම සන්ධ්‍යා සිහිපත් කරනවා. එදින ඔහු තම ලොකු පුතාගේ සුදු කමිසයක් ඉල්ලාගෙන ඇඳගෙන ගිය බවත් වේලාසන ගෙදර එන බව දරුවන්ට කියා ගිය බවත් ඇය කියනවා. එතැන් සිට ඇයත් දරුවනුත් අවුරුදු 13 ක් ඔහු ගෙදර එන තුරු බලා සිටිනවා. මෑතක BBC ය විසින් ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන් පිළිබඳව කර තිබූ වාර්තා වැඩසටහනක තම පියා අතුරුදහන් වන විට වයස 13 ක් වූ සන්ධ්‍යාගේ පොඩි පුතා කතා කරනවා මම දුටුවා. “මං එයාට ආදරේ බව මට තාත්තට කියාගන්න බැරි වුණා. එයා කවදහරි ආවොත් මං ඒක එයාට කියනවා.”

තමන්ගේ සැමියා සෙවීමේ, ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමේ සටන කිසිදා අත් නොහැරි සන්ධ්‍යා ඒ අපරාධයට වග කිය යුතු පාලකයන්ගේත් ඔවුන්ගේ සහචරයන්ගේත් ගැරහුමට, අවමානයට, ප්‍රහාරයට, නිරන්තරයෙන් ගොදුරු වුණා. අපේ සාමාන්‍ය සමාජයේ බහුතරයක් ගැහැණුන් මිනිසුන් ඇගේ හෝ ඇගේ දරුවන්ගේ ඛේදවාචකයට එතරම් සංවේදී වුණේ නෑ. ඇය වීදිවල සිය කුඩා පුතුන් දෙදෙනාත් සමග වාඩි වී විරෝධය පළ කරන තැන්වල බොහෝ විට ඇගේ සහයට හිටියේ දෙතුන් දෙනෙකු පමණයි. නමුත් ඇය නොනවත්වා, විස්මය දනවන ධෛර්යයකින් යුතුව තම සැමියා සෙවීමේ සටනේ අනවරතව නිමග්න වුණා.

සන්ධ්‍යා කොහේ දුටුවත් ප්‍රගීත්ගේ රුව සහිත කුඩා බැජ් එකක් ඇඳුමේ පැළඳ සිටිනවා මා දැක තිබෙනවා. ඇගේ කුඩා නිවසේ සෑම තැනකම ප්‍රගීත්ගේ සැමරුම්, ඔහුගේ චිත්‍ර වලින් පිරී තිබෙනවා. කුඩා වියේදීම සිය පියා අහිමි කරවනු ලැබූ පුතුන් දෙදෙනාද දශකයකට ආසන්න කාලයක් පුරා වීදි වල උසාවිවල පොලීසිවල පය ගෙවෙනකං ඇවිදිමින් තාත්තා සෙවීමේ සටනේදි අම්මා දෙපැත්තෙන් සිටියා.

අධිකරණයකින් යුක්තිය ඉටු නොකරන බව පසක් වූ විට සන්ධ්‍යා දෙවියන් කරාද හැරෙනවා. දැන් ඇය හිස බූ ගා කළු ඇඳගෙන කාලි මෑණියන් වෙනුවෙන් පේ වී සිටිනවා. කාලි මෑණියන් සමග එක්ව අපාරාධකරුවන් හඹා යනවා.

මේවා කිරීමෙන් පලක් නැතැයි කියා අපට ඇය නැවැත්විය හැකිද? ඇයට සහ ඇගේ දරුවන්ට හෝ අතුරුදහන් කර මරා දැමුණු උතුරේත් දකුණේත් දස දහස් ගණනක් ශ්‍රී ලාංකංකයන්ට යුක්තිය ඉටු කර දෙන්නට සමාජයක් හැටියට අපට කළ හැකි වූයේ කුමක්ද?

මනුෂ්‍යයන්ගේ ජිවිතවලට කිසිදු වටිනාකමක් නොදෙන අතිශය අමානුෂික පාලකයන් අපි නැවත නැවතත් මේ ‘ධර්මද්වීපයේ’ බලයට පත් කරා. උතුරේ දස දහස් ගාණක් අතුරුදහන් කරවූ අයම දකුණේ මාධ්‍යවේදීන් දේශපාලන විරුද්ධවාදීන්, අහිංසක දරුවන් අතුරුදහන් කරවූ අයම, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයද සැලසුම් කළ අය බවට බරපතල චෝදනා නැගෙනවා. රට බංකොලොත් රටක් බවට පත් කොට සකල විධ පුරවැසියන්ට කන්න බොන්න බෙහෙත් ටික නැති තැනට පත් කළේද ඔවුන්මයි. අපරාධකරුවන් රකිනු වස් අපරාධකරුවන් විසින්ම බලයට ගෙනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ අපරාධ ගැන ඇසූ විට පොල්ලෙන් පහර කෑ උන්මත්තක නයෙකු සේ කිපී විදෙස් මාධ්‍යවලටත් තර්ජනය කරනවා. බෝම්බවලින් තුවක්කුවලින් සිය පුරවැසියන් ඝාතනය කළ අයම දැන් හාමතේ අහේනියේ තබමින්, බේත් හේත් අහිමි කරමින් පරම්පරාවන් දෙක තුනක්ම ටික ටික මියෑදෙන්නට සලස්වා තිබෙනවා.

සන්ධ්‍යා කියා තිබෙනවා ඔත්කෝබර් 4 වෙදි සිට දින හතරක් පන්නිපිටියේ සුහද මාවතේ ප්‍රගීත් විසූ නිවස මහජනයාට විවෘත කර තබන බව. ඇවිත් ප්‍රගීත්ගේ ජීවිතය සිහිපත් කරන්නැයි ඇය ඉල්ලා සිටිනවා.

ප්‍රගීත්ගේ ජිවිතය මතු නොව, සියලු තර්ජන, මර්දන අවමන් කිරීම් හමුවේ තම සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් අවුරුදු 13 ක්, දවස් 5000ක්, දරු දෙදෙනෙකුත් සමග නොනවත්වා සටන් වදිමින් අති දුෂ්කර ජීවිතයක් ගත කළ ඒ ගැහැණියගේ ජිවිතය මොහොතකට දකින්නට, හැකිනම් ඒ නිවසට ගොඩ වැදෙන්න කියා මං බිරින්දෑවරුන්ගෙන් සහ අම්මාවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

නදී කම්මැල්ලවීර | Nadie Kammallaweera