iMage: guggenheim.org

‘‘ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට, සමාජය දැනුවත් කිරීම තවදුරටත් අදාළ නැත.’’

පසුගිය සැප්තැම්බර් 24 වැනිදා මේ කොලමේ එසේ සටහන්ව ඇත. ඉන් අදහස් කෙරුණේ, අප සිතිය යුතු ආකාරය තීන්දු කරන බාහිර මාර්ගයක් අලූතෙන් විවෘතව ඇති බවයි. ‘මම සිතනවා’ කියා දෙයක් තවදුරටත් ඉතිරිව නැත. දැන් ඇත්තේ, ‘මාව සිතවනවා’ තත්වයකි. තනියෙන් සිතීම කියා දෙයක් කිසි දවසක තිබී ඇත්ද යන ප්‍රශ්නය කෙනෙකු මෙහිදී මතු කළ හැකිය. ඔව්, තනියෙන් සිතීම කියා දෙයක් කිසි දවසක පැවතී ඇති බවට සාක්ෂි නැති බව ඇත්ත. හැමදාමත් අප සිතා ඇත්තේ, සිතීමට බල කෙරෙන බාහිර කොන්දේසි යටතේ ය. උදාහරණයක් වශයෙන්, බඩගින්න යන හැඟීම කායිකව දැනෙන විට, සතෙකු දඩයම් කරගත යුතුව ඇතැයි යන අදහස ආදි-මානවයාගේ හිතට ආවේය. ඊළඟට, ඌව දඩයම් කරගන්නේ කෙසේද යන කාරණය ඔහු සිතන්නේද, ඔහු වටා ඇති බාහිර තත්වයන් සැලකිල්ලට ගැනීමෙනි. සතාගේ රෞද්‍ර බව, ගල් කෑල්ලක මුවහත, ඒ ගල් කෑල්ලෙන් සතා මරාගැනීමට ඇති හැකියාව, ඒ ගල් කෑල්ල සතා දෙසට දමා ගැසීමට තමාට ඇති ශක්තිය ආදී බාහිර කරුණු රාශියක්, ආදි-මානවයාගේ ‘චින්තනය’ වර්ධනය කිරීමට දායක වුවාට සැකයක් නැත. මේ නිසා, සිත යනු, බාහිර ලෝකයේ ප්‍රක්ෂේපණයක් යැයි සැලකිය හැකිය. ඒ මූලික සාධකයේ වෙනසක් සිදුව නැතත් එහි ස්වරූපයේ සහ ආකෘතියේ බරපතල වෙනසක් ඇතිව තිබේ.

මිනිසාට පිටස්තරින් ඇති බාහිර සැබෑව හෙවත් ස්වභාවය සමග මෙතෙක් හැඩගැසුණු ඔහුගේ ඒ සිතීම, අද වන විට, යාන්ත්‍රිකව වෙනස් කරනු ලබන ‘කෘතෘම ස්වභාවයක්’ විසින් හැඩගස්වමින් සිටින බව එහි අදහසයි. එනම්, ඉස්සර දවසක කැලෑව විසින් ස්වභාවයෙන් සකස් කළ අපේ සිතීම, නූතන ලෝකය තුළ, ‘තථ්‍යසමාන’ නූතන යාන්ත්‍රණයන් විසින් කෘතීමව සකස් කරනු ලැබෙන බවයි.

තථ්‍ය-සමාන යනු, සැබෑවට සමාන බවයි. එහෙත්, සැබෑව නොවන බවයි. චිත්‍රපටයක් ගන්න. එය සැබෑවට සමානයි. එහෙත් සැබෑව නොවේ. යම් චිත්‍රපටයක එළාර ඝාතනය කළ නළුවා හැබෑවටම එළාර ඝාතනයකොට ඇතැයි සිතා පාර්ලිමේන්තු යැවූ මිනිසුන් සිටින බව ඇත්ත. එහෙත්, සමස්ත ජනතාව එසේ නොවේ. තථ්‍ය සහ තථ්‍ය-සමාන බව අතර වෙනස හඳුනන මිනිස්සු තවමත් වෙසෙති. එහෙත් එවැනි මිනිසුන් ප්‍රමාණය දිනෙන් දින හීන වෙමින් යාමේ අවදානමක සිටින බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.

චිත්‍රපටයක් නැරඹීමට අප යන්නේ, සත්‍යය දැනගැනීමට නොවේ. ‘ගොළු හදවතේ’ අනුලා කරුණාතිලක සහ වික්‍රම බෝගොඩ සත්‍ය පෙම්වතුන් නොවුණු බව අපි දනිමු. ඒ, කාල්පනික ලෝකය සහ තථ්‍ය ලෝකය වෙන්කොට හඳුනාගැනීමට අපට හැකියාව ඇති බැවිනි. එහෙත්, තථ්‍ය ලෝකයේ ප්‍රක්ෂේපනයක් වශයෙන් සැලකෙන ප්‍රවෘත්ති ඇසීම හෝ දැකීම ඊට වෙනස් ය. ප්‍රවෘත්ති තුළින් අප සොයන්නේ තථ්‍ය-සමාන දෙයක් නොව, තථ්‍යයමයි. රූපවාහිනිය ඉදිරියේ රාත්‍රී ප්‍රවෘත්ති ඇසීමට කෙනෙකු වාඩි වෙන විට ඔහුගේ/ඇගේ හිතේ ඇත්තේ, ‘සත්‍යය’ දැනගැනීමට ඒ විනාඩි කිහිපය තුළ තමාට හැකි වන බවයි. ඒ නිසා, ‘ගොළු හදවත’ චිත්‍රපටය නැරඹීමට වඩා වෙනස් අරුතක් සහ අපේක්ෂාවක්, රූපවාහිනී ප්‍රවෘත්ති ‘නැරඹීම’ තුළ තිබේ.

ඒ වෙනස අපි මෙසේ හඳුනාගමු: රාජපක්ෂලා සොරකම් කළ බව, ප්‍රවෘත්ති රාශියකින් කියැවෙයි. ඒ සඳහා, අප්‍රමාණ සාක්ෂි ඉදිරිපත් කෙරේ. උදාහරණයක් වශයෙන්, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා සහ කොළඹ නෙළුම් කුලූනු වැනි ව්‍යාපෘති පටන්ගැනීමේ පටන්, චීන රජයෙන් රාජපක්ෂලාට ලැබුණු පාරිතෝෂික ධනය තැන්පත් කරන ලද බැංකු ගිණුම් පවා ඉදිරිපත් කෙරේ. ඒ සියල්ල, අවශ්‍ය කෙනෙකුට, ඒ ව්‍යාපෘතිවල ස්වභාවය සහ බැංකු ගිණුම්වල තොරතුරු ආදිය ආශ්‍රයෙන් පිරික්සා බැලිය හැකිය. ඒ සියලූ කරුණු සමග, ඔවුන් දූෂිතයන් ය යන කාරණය දීර්ඝ කාලයක් තිස්සේ සමාජගත කෙරුණි. එසේ තිබියදී, ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන් අතරින් තුන්වැනි ස්ථානය ලබා සිටින්නේ මහින්ද රාජපක්ෂ බවට ප්‍රවෘත්තියක් හිටිහැටියේ පළ විය. රාජපක්ෂලා දූෂිතයන් බවට අනුමිතීන් ඇති කරගෙන සිටි පිරිස එම ප්‍රවෘත්තියෙන් පිනාගියහ. ‘‘අපි කිව්වෙ ඕක තමයි’’ ඔවුහූ කීහ.‍

රාජපක්ෂලා බලයේ සිටියේ අවුරුදු දොළහකි. ඒ කාලය තුළ, අර කියන සියලූ ව්‍යාපෘතිවලින් සියයට පනහක් ගසාකෑවත්, ඒ කියන ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ එතරම් ඉහළින් සිටීමට එය ප්‍රමාණවත් නොවන බව වටහාගැනීමට කෙනෙකුට සාමාන්‍ය තර්ක ඥනය ඉවහල් කරගත හැකිය. නැත, ඒ වෙනුවට, තමන්ගේ සිත පිනවන ප්‍රවෘත්තියේ ආශ්වාදය විඳගැනීමට යොමු වීම වඩාත් පහසු ය. ඕනෑම සත්‍යයක් අතිශයෝක්තියට නැෙඟන තරමට, ඒ සත්‍යය අසත්‍යයක් වශයෙන් කෙළවර වන බව ඒ මොහොතේ අපට අමතක වෙයි. රූප මාධ්‍ය, පරිභෝජන භාණ්ඩයක් වූ විට එය ගිලීමට අපව පුහුණු කෙරේ.

කතාව මෙතැනින් ඉවර නැත. ඊළඟට තවත් ප්‍රවෘත්තියක් පැළ කෙරෙයි. ඊට අනුව, අනුර කුමාර දිසානායක ඒ ධනපතියන්ගේ ලැයිස්තුවේ හත්වැනි ස්ථානයේ සිටී. මේ දෙවැනි ප්‍රවෘත්තිය නිර්මාණය කරන්නේ රාජපක්ෂලා හෝ ඔවුන්ගේ හිතවාදීන් විසිනි. එම ප්‍රවෘත්තියෙන් සිදු කරන්නේ කුමක්ද? කලින් ප්‍රවෘත්තියේ, එනම් නෙළුම් කුලූනු පිළිබඳ රාජපක්ෂලාගේ ප්‍රවෘත්තියේ නග්න සත්‍යය පවා, පට්ටපල් බොරුවක් සහ ප්‍රබන්ධයක් විය හැකිය යන සැකය සහ අඩමානය ජන මනස තුළ ජනිත කිරීමයි.

කරන ලදැයි කියන අපරාධය පිළිබඳ කිසියම් හෝ සැකයක් ජනිත කළ පමණින් විත්තිකරුවා නිදහස් කිරීම අධිකරණමය මූලධර්මයකි. ඉතිං, අනුර කුමාර දිසානායකගේ කතාව බොරුවක් නම් මහින්ද රාජපක්ෂලාගේ කතාවත් බොරුවක් විය හැකි යැයි සිතීමට පෘථග්ජන මනස තල්ලූ වෙයි.

සමාජ මාධ්‍ය පැමිණීමත් සමග මේ කර්තව්‍යය වඩාත් සංකීර්ණ විය. ඒ තරමටම, එය වඩාත් සාර්ථක විය. යූ ටියුබර්ස්ලා නමින් හැඳින්වෙන බොහෝ දෙනාද, වෙනත් සමාජ මාධ්‍ය අවකාශයන්ද දිනපතා ප්‍රවෘත්ති ‘මවති’. ඒ ප්‍රවෘත්ති, අර කියන අතිශයෝක්තිය ආත්මය කොට පවතී. විශ්මය, ආන්දෝලනය, භාවාතිශය වීම සහ තිගස්සවනසුළු වීම, ඒ අතිශයෝක්තිය තුළ නිදහසේ සැරිසැරීමට පටන්ගනී. ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා සහ පාඨකයා මේ ක්‍රියාවලිය තුළ, අප ඉහතින් කී ‘සිතීමට නිදහසක් නැති’ සත්ව විශේෂයක් බවට ඉබේම පත්කෙරේ.

ඇත්තෙන්ම සිදු විය යුතුව ඇත්තේ එහි අනිත් පැත්තයි. එනම්, ප්‍රවෘත්ති රාශියක් ඇති විට, විවිධ කෝණයන්ගෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරෙන විට, තෝරාගැනීමේ පරාසය පුළුල් වන නිසා, වඩාත් සබුද්ධික වීමේ අවස්ථාව ග්‍රාහකයාට ලැබිය යුතුය. එහෙත් ඛේදය වන්නේ, එසේ වීමට තරම් ‘පෙනේර හැකියාවෙන්’ (පෙරාගැනීමේ හැකියාවෙන්) මුහුකුරා නොගිය සමාජයක, ප්‍රවෘත්තියක් නිවැරදි දිසාවට මෙහෙයවීමට වඩා, රැවටිලිකාරී දිසාවකට මෙහෙයවීමට දුස්-ප්‍රවෘත්ති නිෂ්පාදකයාට අවස්ථාව සැලසීමයි.

පසුගිය දිනවල අන්තර්ජාලයේ වීඩියෝ දර්ශනයක් සංසරණය විය. කළු ජාතික ගැහැනියක් නිරුවතින් බිම දණගසාගෙන, ඔළුව බිමට හොවාගෙන සිටී. සුදු ජාතික පිරිමියෙකු ඇවිත් මේ ගැහැනියගේ ඇඟට මූත්‍රා කරයි. ඊළඟට තවත් සුදු ජාතික පිරිමියෙකු ඇවිත් මූත්‍රා කරයි. අවසානයේ සුදු ජාතික ගැහැනියක්ද ඇවිත් ඒ දේම කරයි. මේ දර්ශනය දෙස, තවත් සුදු ජාතිකයෝ පිරිසක් ඒ අසළින් බිම වාඩි වී බලා සිටිත්.

මේ දර්ශනය පිළිබඳ විස්තරයක් ඊට පහළින් ලියා තිබේ. එයින් කියැවෙන්නේ මෙවැන්නකි: මෙය බටහිර ශිෂ්ටාචාරයේ හෙලූව පෙන්වන්නකි. දණගසා සිටින්නේ, ප්‍රංශයේ ගමක වෙසෙන, අප්‍රිකානු සම්භවයක් ඇති කළු තරුණියකි. ඇගේ ඇඟට මූත්‍රා කරන තිදෙනා ප්‍රංශයේ සුදු ජාතිකයන් ය. මේ ජඩ, අස්වාභාවික ක්‍රියාව දෙස බිම වාඩි වී බලා සිටින සියල්ලන්ද ප්‍රංශයේ සුදු ජාතිකයන් ය. ඒ කිසිවෙක් අර ම්ලේච්ඡ ක්‍රියාව නතර කිරීමට ඉදිරිපත් නොවෙයි. මෙය, 21 වැනි සියවසේ අප දකින තුච්ඡතම සිද්ධියක් බව ලේඛකයා කියයි. අප්‍රිකාවේ කළු ජාතිකයන් වෙසෙන මාලි නමැති රටේ සිටි ප්‍රංශ තානාපතිවරයාව එරටින් පිටුවහල් කිරීමට පළිගැනීමක් වශයෙන් මේ ප්‍රංශ ජාතිකයන් ඒ නොහොබිනා ක්‍රියාව තම රටේ දී සිදු කළ බව ඉහත කී විස්තරයේ සඳහන් වෙයි. විස්තරය ලියූ තැනැත්තා අවසානයේ අපට සිතීමට ප්‍රශ්න දෙකක් මතු කරයි. එකක් වන්නේ, උසස් යැයි අප කියන්නේ මෙවැනි තිරශ්චීන ශිෂ්ඨාචාරයකට ද යන්නයි. දෙවැන්න වන්නේ, ඊනියා මානව හිමිකම් ක්‍රියාධරයන්ට මේවා නොපෙනෙන්නේද යන්නයි.

මෙය දුටු සැණින් එය සැබෑවක් විය නොහැකි බව මගේ හිත කීවේය. ඊට හේතු කිහිපයකි. මුලින්ම, ළඟදී හමුදා කුමන්ත්‍රණයක් සිදු වූ මාලි රටේ ඉතා තදබල ප්‍රංශ-විරෝධයක් ඒ මොහොතේ දළුලමින් තිබුණු බව මා දැන සිටියේය. දෙවැනුව, මේ දර්ශනය තුළ කිසි බලහත්කාරයක් හෝ ප්‍රචණ්ඩත්වයක් ඇති බවක් නොපෙනුණි. දණගසාගෙන සිටින නිරුවත් කළු තරුණිය සෙලවීමකින්වත් ඊට විරෝධය පාන ගතියක්ද නොපෙනුණි. ඇගේ ඇඟට මූත්‍රා කරන කිසිවෙකුගේ මුහුණේ හෝ වෙනත් අංගචලනයක, කෝපයක් ගැබ්ව නොතිබුණි. ඒ සියල්ලටමත් වඩා, තව පිරිසක් කිසිවක් නොකර එදෙස බලා සිටීම, දශක තුනකට ආසන්න කාලයක් ප්‍රංශයේ ජීවත්ව සිටි සහ තවමත් එරට සමග සම්බන්ධතා ඇති මට අදහාගත නොහැක්කක් විය.

මම විද්‍යාවේ සරණ ගියෙමි. ඒ සඳහා තාක්ෂණික මෙවලම් තිබේ. සත්‍යය මෙයයි: එතැන සිටි කිසිවෙකු ප්‍රංශ ජාතිකයන් නොව, ගෝතමාලාව නමැති ලතින් ඇමරිකානු රටේ වැසියන් ය. ලතින් ඇමරිකානු සමාජයේ වෙසෙන ගැහැනියගේ විඳවීම සහ ඇගේ සිරුරට එරෙහිව මුදාහැරෙන සමාජ ප්‍රචණ්ඩත්වය විදහාපෑම සඳහා 2013 දී එක් රැඩිකල් සිනමා කණ්ඩායමක්, සමාජය දැනුවත් කිරීම සඳහා රූගත කළ වැඩසටහනක මෙය එක දර්ශනයකි. ඊට වසර 10 කට පසු, වර්තමාන ප්‍රංශ-විරෝධය ප්‍රකාශයට පත්කිරීම සඳහා යම් පිරිසක් විසින් මෙය අලූතෙන් පාවිච්චියට ගෙන තිබේ. ඒ, සහමුලින්ම එය විකෘති කරමිනි. එනම්, එය සත්‍යයක් සේ ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමෙනි. ඊට යටින් අර විස්තර ලියූ පුද්ගලයා, ප්‍රංශය ඇතුළු බටහිරට වඩා අපේ ශිෂ්ටාචාරය මොන තරම් උතුම්ද යන අදහසත් ගම්‍ය කිරීමට බැලීම එහි ඇති ලොකුම විහිළුවයි.

දැන් මගේ ප්‍රශ්නය මෙයයි: මෙය, ලංකාවේ සමාජ මාධ්‍යයට මුදාහැරිය හෝ එය බෙදාහැරිය පුද්ගලයන්ට විරුද්ධව පියවර ගත යුතු ද? මගේ උත්තරය නැත යන්නයි. මන්ද යත්, එය ඉතා පැහැදිලිවම මිනිසුන් නොමග යැවීම සඳහා පාවිච්චියට ගෙන ඇති දුස්-ප්‍රවෘත්තියක් බව පැහැදිලි වෙතත්, ඒ මගින් මෙරටේ වෙසෙන ප්‍රංශ ජාතිකයෙකුට හෝ සුදු ජාතිකයෙකුට කිසි හානියක් සිදුවීමේ ඉඩක් නැති බැවිනි. එහෙත් මේ වීඩියෝව කළු ජාතිකයන් වෙසෙන මාලි රටේදී සංසරණය වීමේදී, එහි වෙසෙන ප්‍රංශ ජාතිකයන්ට යම් හානියක් පැමිණීමේ ඉඩකඩ බැහැර කළ නොහැක. එබැවින් ඒ රටේදී ඊට විරුද්ධව නීතිමය පියවර ගැනීම අයුතු නැත.

මේ වීඩියෝව මට එවූ මිතුරන් කිහිප දෙනා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් වැඩිමහල්ලන් ය. මගේ සිතට කනගාටුවක් සේම බියක්ද දැනෙන්නේ එබැවිනි.


ගාමිණී වියන්ගොඩ
| Gamini Viyangoda
|
|
|
|
[*Footage of a woman being defiled was a staged act from 2013 by an artist in Brazil, unrelated to Mali(Read) | [FALSE – The video was a theoretical work of art by Regina Jose Galindo, a Brazilian performance artist. It was meant to draw attention to the suffering of Latin American women. It dates back to 2013.(Read) | https://www.guggenheim.org/map/regina-jose-galindo – EDITOR: VIKLPA.ORG]