1993 නොවැම්බර් මස 13 වන සෙනසුරාදා පෙරවරු 7.20ට පමණ යාපනයේ ගුරුනගර්හි, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් බෝම්බ දෙකක් හෙළන ලදී. එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනෙක් මරණට පත් වී, තවත් කිහිපදෙනෙක්ට තුවාල සිදුවිය. දේවස්ථානයට සහ අසළ ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදු විය. එදින උදෑසන දිව්‍ය පුජාව පැවැත්වුනේ අසල තිබුණු කුඩා දේවස්ථානයේ මිස ශාන්ත ජේම්ස්හි නොවේ, එසේ නොවුනානම් තවත් බොහෝ දෙනෙක් මිය යාමට හා තුවාල වීමට ඉඩ තිබුණි. පල්ලියේ සිටි ඇතැමෙක් යාච්ඥා කිරීමට පැමිණි අය වන අතර තවත් පිරිසක් එදින උදෑසන යාපනයේ අහසේ සැරිසරන ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා බෝම්බ ප්‍රහාර වලට බියෙන් එහි පැමිණ ඇත්තේ, පල්ලියෙ සිටීමෙන් තමන්ට ආරක්ෂාවක් ලැබේවි යැයි සිතමිනි. නමුත් එය එසේම නොවීය.
කතෝලික පූජකවරයෙකු ලෙස පැවදි වීමට සිටි සාක්ෂිකරුවෙක් සිද්ධිය සිදු වූ අවස්ථාවේදී පල්ලියේ පූජකවරයාගේ නිවසේ සිටි බව සිහිපත් කලේය. ගුවන් යානයක් හිසට ඉහළින් පියාසර කරන බව කිහිප වතාවක්ම දැක තිබු නිසා, ආරක්ෂාව සොයා, වාසස්ථානයෙන් පිටව ගොස්, අසළ තිබු ජල ටැංකිය අසලට ගොස් ඇත. එහෙත් ඔහුගේ පාදයට තුවාල සිදු වී ඇත.
මිය ගිය අය අතරේ සිටි පල්ලියේ මුලුතැන්ගෙයි සේවකයා බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂාව පතා පල්ලියට දිව ගොස් ඇත. පල්ලියේ ප්‍රධන දහම් පාසැල් ගුරුවරයා ද මරණයට පත් වී ඇත. එක කාන්තාවකගේ සිරුර කැබිලිවලට කැඩීගොස් තිබුනි. මියගිය අය අතර කුඩා ළමයෙක්ද විය. දේවස්ථානයේ පූජකවරයා හා ලේකම් විසින් අත්සන් කරන ලද ලිපියක සදහන් වුයේ පුද්ගලයන් දෙදෙනකු පණ පිටින් පිළිස්සී ඇති බවත් අනෙක් අය සුන්බුන්වලට යටවී මියගොස් ඇති බවත්ය.
එක කාන්තාවක් හදුනාගෙන ඇත්තේ ඇගේ ස්වර්ණාභරණ මගින් හා ඇය නිවසින් පිටවීමට පෙර සැමියා දුන් රු.35 ඔතා තිබුණු ලේන්සුවෙන්ය. ශරීර කොටස් හැම තැනම විසිරී තිබුණු අතර මෙම දේහයන් හා සුන්බුන් යට මිය ගොස් සිටි අය එක් මිනී පෙට්ටියක තැන්පත් කරන ලදී. දිවි ගලවා ගත් එක් අයෙක් කම්පනය ගැන කතා කළ අතර, ඔහු ප්‍රකාශ කලේ තමාට දින ගණනාවක් බෝම්බ ප්‍රහාරය ගැන සිහිනෙන් පෙනී ගිය බැවින් මනෝ උපදේශන සේවා ලබා ගැනීමට සිදු වූ බවයි. පූජනීය ද්‍රව්‍ය පවා විසිරී විනාශ වී තිබිණි. දේවස්ථානයේ වහල, බාල්ක හා බිත්ති කඩා වැටී තිබුණි. පියතුමාගේ නිවසට, පල්ලියේ රැස්වීමේ ශාලාවට හා ඒ අවට ගොඩනැගිලිවලටද හානි සිදු වී ඇත. බෝම්බවල බලය කොයිතරම් ද කිව්වොත් විශාල හා දැඩි බරකින් යුතු සරනේරුවක් සොයාගැනීමට හැකි වූයේ ගසක් මුදුනේ තිබියදී ය.
ගුරුනගර් කතෝලිකයන්ගේ ඉතිහාසය වසර 400ක් පමණ ඈතට දිව යන්නේ 1624 දක්වා වන අතර 1861 දී ඉදි කර ඇති බවට වාර්තා වන ශාන්ත ජේම්ස් දේවස්ථානය යාපනයේ පැරණිතම දේවස්ථානයක් වේ. 1993 දී එය එවකට යාපනයෙ තිබූ විශාලතම දේවස්ථානවලින් එකක් විය. එය ඉහළ සිට ඉතාම පහසුවෙන්ම පල්ලියක් ලෙස හදුනාගැනීමට හැකියාව තිබුණි. අවට කිසිම තැනක සන්නද්ධ කණ්ඩායම්වල කඳවුරු නොතිබු බව පල්ලියේ පියතුමාගේ සහ ලේකම්වරයාගේ ලිපියේ සඳහන් කර තිබුණි.
ආරක්ෂාව සදහා පල්ලිවලට හා කෝවිල්වලට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා රජය මිනිසුන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටි බවත්, පසුව රජයේ සන්නද්ධ හමුදා විසින් මෙම ගොඩනැගිලි තුළට බෝම්බ දමා මිනිසුන් මරා දැමීමට කටයුතු කළ බවත් එම ලිපියේ සඳහන් වේ. මෙම පල්ලියේ ප්‍රහාරයෙන් පසුව හා පෙර තවත් බෝම්බ ප්‍රහාර මාලාවක් වාර්තාවී ඇත. ඊට පෙර දින එනම් 1993 නොවැම්බර් 12 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට (කච්චේරියට) බෝම්බ ප්‍රහාරයක් එල්ල වු අතර ඉන් දිස්ත්‍රික් ලේකම්වරයා (දිසාපතිවරයා) තුවාල ලැබීය. පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වු දිනයේම හවස්වරුවේ කොකුවිල්හි පිහිටි නාන්තාවිල් අම්මාන් හින්දු කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට පසුදා, එනම් 1993 නොවැම්බර් 14 වනිදා, වයිරවර් හින්දු කෝවිලට බෝමබ් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාර නිසා පුද්ගලයන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති අතර අවට නිවාස කිහිපයකට ද හානි සිදුවී ඇත. පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් පසු දින වන 1993 නොවැම්බර් 14 වන දින යාපනය රෝහලේ ආරක්ෂිත කලාපයේ පිහිටා තිබෙන රෝහලේ ප්‍රවේෂයේ සිට මීටර් 50ක් ඇතුළතට බෝම්බ හෙළන ලදී.1993 නොවැම්බර් 15 වනි දින කිලිනොච්චයේ හා මුල්ලියවලායි රෝහල්වලට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී.
1993 දෙසැම්බර් 03 වන දින ප්‍රදේශවාසින් විසින් ප්‍රහාරයට ලක් වුණු පල්ලියේ සිට ජාත්‍යන්තර රතුකුරුස කමිටු කාර්යාලය (ICRC ) දක්වා හා එතැන් සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වාත් නිහඬ විරෝධතා පාගමනක් පවත්වන ලදී. ඇතැම් විරෝධකරුවන් කළු රෙදි වලින් කට වසාගෙන බැනර් රැගෙන ගිය බව එක් සහභාගි වුවකු සිහිපත් කලේය. විරෝධතාව පැවැති දිනයේ හවස දේවස්ථානය අසල ප්‍රදේශය නැවතත් ගුවන් බෝම්බ ප්‍රහාරයකට ලක් වූ අතර, එමගින් අවම වශයෙන් සිවිල් වැසියන් 08 දෙනෙක් මරණයට පත් වු අතර තවත් බොහෝ දෙනෙක් තුවාල වීම හා කඩ-සාප්පු වලට හානි සිදු වී ඇත. විරෝධතාවයෙන් පසු දෙසැම්බර් 03 වනිදා හවස තම නිවසට ෂෙල් වෙඩිල්ලක් වැටී තිබුනු බව පල්ලියේ එක් නායකයෙක් පැවසීය.
1995 දෙසැම්බර් 05 වන දින කොළඔ කතෝලික අගරදගුරු පදවිය විසින් පළ කරන ලද “ඥානාර්ථ ප්‍රදීපය” සහ “මැසෙන්ජර්” යන සිංහල සහ ඉංශ්‍රිසි සතිපතා පුවත්පත්වල මේ පිළිබද පුවත් පළ කර තිබුණි. මෙම ප්‍රහාරය අවාසනාවන්ත ලෙස ඉල්ලකය වැරදීමක් බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර බවත්, නමුත් මෙම බෝම්බ ප්‍රහාරයේ සම්පුර්ණ වගකීම රජය බාරගත යුතු බව පවසමින් යාපනයේ කතෝලික රදගුරුවරයා එවක ජනාධිපති ඩී.බී විජේතුංග මහතාට ලිඛිතව දන්වා තිබුණ බවත් මෙම පුවත්පත් දෙකම වාර්තා කර ඇත. ශ්‍රි ලංකා කතෝලික රදගුරු සම්මේලනය මේ සම්බන්ධයෙන් රජයට කරුණු දැක්වීමක් හෝ ඒ පිළිබදව ප්‍රකාශයක් සිදුකර තිබෙන කිසිදු තොරතුරක් මට සොයා ගැනීමට නොහැකි විය.
පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පල්ලියේ ප්‍රජාව එකතු වී ශාන්ත ජේම්ස් දේවස්ථාන ප්‍රතිසංස්කරණ මණ්ඩලය පිහිටුවා ගන්නා ලදී. මේ සඳහා යාපනයේ කතෝලික රදගුරුතුමාත් සම්බන්ධ වී ඇත. එවකට යාපනයේ පැවැති යුද්ධය නිසාත්, රජය විසින් ඉදිකිරීම් ද්‍රව්‍යවලට පනවා තිබුණු සම්බාධක නිසාත් පල්ලිය නැවත ගොඩනැගීම ඉතා අපහසු වී ඇත. වැලි ගෙන්වා ගැනීමට පවා දිසාපතිගෙන් අවසර ගැනීමට සිදු වී ඇත . 1993 සිට අවම වශයෙන් 2002 දක්වා පල්ලියේ නායකයින්, එවක ජනාධිපවරයාට, ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට, පුනරුත්ථාපන හා සමාජ සුභ සාධන අමාත්‍යංශයට, උතුරේ නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන අධිකාරියට සහ යාපනයේ දිසාපතිවරයාට ලිපි යොමු කර ඇත.
2000 පෙබරවාරි 14 වනිදා වන විට පල්ලියේ ජනතාවගෙන් හා ධානපතින්ගෙ දායකත්වයෙන් ලැබුණු රු. 3286240 මුදලින් කණු, බාල්ක ඉදි කිරීම, වහල හා බිත්ති අලුත්වැඩියා කිරීම ඇතුළුව පල්ලියේ ප්‍රධාන කොටසේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට හැකි වී තිබේ. පල්ලියේ තිබෙන ලියවිලිවලට අනුව, 1994 පෙබරවාරි 06 වනිදා යාපනයේ ඉංජිනේරු දෙපාර්තුමේන්තුව රු.9078000 මුදලක් පල්ලියේ අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය බව තක්සේරු කර තිබුනත්, 2002 ජනවාරි 12 වනිදා දක්වා රජය විසින් ලබා දී තිබුනේ රු.2350000 මුදලක් පමණි.
දැන් පල්ලියේ අලුත්වැඩියා කටයුතු සිදු කර අවසන්ව ඇත. ප්‍රදේශවාසීන්ට අනුව පල්ලියේ ප්‍රමාණය හා ස්වරුය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ඇත. ගුරුනගර් පල්ලියේ ඇති සිහිවටන පුවරුවක, 1624 සිට 2013 දක්වා සිදු වු ප්‍රධාන සිදුවීම් ලැයිස්තුගත කර ඇත. 1993 දී පල්ලියට එල්ල වු ගුවන් ප්‍රහාරයට ගොදුරු වුවන් 09ක් ලෙස එහි සටහන් කර ඇත. 1986 දී ගුරුනගර් ධීවරයින් 31 දෙනෙකු මුහුදේදී සමුළ ඝාතනය කිරීම (මාධ්‍ය වාර්තා හා ප්‍රදේශවාසීන් නාවික හමුදාවට චෝදනා කරයි) හා 1995 යාපනය හැරදමා යාමට සිදුවීමද සමරු ඵලකයේ සටහන් වේ. පල්ලියට වැටුණු බෝම්බ වලින් එකක් වැටුණු ස්ථානයේ ස්මාරකයක් ඉදිකර ඇති අතර එය ‘මළවුන්ට ගෙෳරවය, ජීවත්ව සිටින අයට අනතුරු ඇඟවීම හා යුක්තිය සඳහා මාලිගාව’ යන වචනවලින් සමන්විත වේ. මෙම ස්මාරකයට ඉහළින් ඇති වහල මත ‘ස්වාමින් වන මම යුක්තියට ප්‍රේම කරන බැවින් ඔවුන්ට පෙර පැවති විනාශයන්ගෙන් උත්ථාන කරනු ඇත’ යන බයිබලයේ උපුටනයක් ද කොටා ඇත.
සෑම වසරකම නොවැම්බර් 13 වන දින මෙම ස්ථානයේ වාර්ෂික අනුස්මරණය පැවැත්වෙන අතර මෙම ඛේදවාචකයෙන් වසර 30කට පසුව මෙම වසරේ ද අනුස්මරණ මෙහෙයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මගේ දැනුමට අනුව යුද්ධය අතරතුර පල්ලියකට එල්ල වූ පළමු ප්‍රහාරය මෙයයි. යාපනය දිස්ත්‍රික්කයේ නාවාලි සහ අල්ලයිපිඩ්ඩි දේවස්ථාන හා මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු සහ පේසාලේ දේවස්ථාන වැනි දේවස්ථාන වලට තවත් එවැනි ප්‍රහාර කිහිපයක් එල්ල වුයේ ඉන් පසුවය. නිකුත් කරන ලද මරණ සහතිකවල මරණයට හේතුව ‘ගුවන් බෝම්බ ප්‍රහාරයක්’ ලෙස දැක්වේ. ඝාතනය ලක් වු එක් මවකගේ දරුවන්ට රු.10000 බැගින් එක් අයෙකුට ලැබී තිබුණු නමුත්, මිය ගිය අයට හා තුවාල වුණු අයට වන්දි ගෙවූ බවට වැඩි තොරතුරු ලබා ගත නොහැකි විය.
පල්ලියට බෝම්බ දෙකක් දැමු ගුවන් හමුදාවේ ගුවන් යානයේ සිටියේ කවුද? බෝම්බ හෙලීමට නියෝග කලේ කවුරුන්ද? යන්න සොයාගැනීම එතරම් දුෂ්කර විය නොහැක. සිද්ධිය පිළිබඳ විමර්ශන හා වගකිවයුත්තන්ට නඩු පැවරීමක් වෙලා තිබේද කියා මම ඇසුවිට, පල්ලියෙ සිටි දෙදෙනෙක් මගේ මුණට හිනාවිය. මෙම සංහාරයට ගුවන් හමුදාව වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් කිසිදු පරීක්ෂණයක්, නඩු පැවරීමක් හෝ වරදකරුවන්ට දඩුවම් දීමක් සිදු කර නොමැති බවට පැහැදිලිය. දැනටමත් ප්‍රමාද වුවත්, වරද පිළි ගැනීමට, සමාව අයැදීමයට, ප්‍රමාණවත් වන්දි ගෙවීමට සහ නීතිමය අධිකරණ ක්‍රියාමාර්ග සඳහා තවමත් අවස්ථාව ඇත.
[*මූලාශ්‍ර: ශාන්ත ජේම්ස් දේවස්ථානයේ ලේඛනාගාරය, 1993 සිට මාධ්‍ය වාර්තා, දිවි ගලවා ගත් අයගේ සාක්ෂි, ඇසින් දුටු සාක්ෂිකරුවන්, වින්දිතයන්ගේ පවුල්, කතෝලික පූජකවරුන් සහ පල්ලියේ සේවකයන් ]
රුකි ප්‍රනාන්දු | Rkuii Fernando