18 නම් පසුගිය කාලසමයේ වැඩියෙන්ම කථාබහට ලක්වූ මාතෘකාවයි. ඒ මෙරට සිදුවූ ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය හේතුවෙනි. ගෙවුනු කාලසමය පුරා දේශපාලනික බලය විවිධ ස්වරූපයන් ඔස්සේ අපගේ ජීවිතවලට හොල්මන් කළද මෙම 18 වැනි සංශෝධනය මඟින් බලයේ උම්මත්තක වේශය කරළියටම පැමිණ ඇත. නීත්‍යනූකූල ලෙසම මෙරට යම් තරමකින් හෝ අප බුක්ති විඳි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙතට, 18 වන සංශෝධනය විසින් මරාලයක් හෙළන ලදී. හුදෙක් තම බලය අසීමිත ලෙස වැඩිකිරීමේ අරමුණින්ම පමණක් ක්‍රියාත්මක වූ මේ සංශෝධනයෙන් මෙරට ප්‍රජාවට ඉදිරි කාලය තුළදී බොහෝ අන්තරාදායී ප්‍රතිඵල ගෙන එන බොහෝ ලක්‍ෂණයන් දැනටම ප්‍රදර්ශණය කර ඇත. ලෝකයේ රාජාණ්ඩු පවතින රටවල පවා එම බලතල, සමූහයක් වෙත පවරමින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය අරුත්ගන්වද්දී, රාජාණ්ඩු යටතේ ඉතිහාසයේදී ඉතාම දැඩි ලෙස බැටකෑ අප නැවතත් එවැනිම එකාධිපති පාලනයක් වෙත පිවිසෙමින් සිටී. පැහැදිලි ලෙසම මෙම සංශෝධන ඔස්සේ ඒකාධිපති සහ අසීමිත බලයෙන් උම්මත්තක පාලනත්‍රන්තයකට මාර්ගය විවර කර ගෙන යයි.
මර්වින්ගෙන් වැඩ පටන් ගනී
සමුද්ධි නිළධාරියෙකු ගස්බැදීමේ සිද්ධියක් වෙනුවෙන් පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ මර්වීන් සිල්වාගේ සාමාජිකත්වය ජනාධිපති විසින් පිහිටවූ විනය කමිටුවක් මඟින් එය විහිළුවක් යැයි පවසා නැවත පක්‍ෂ සාමාජිකත්වය පුදනු ලැබුවේ දැන් ටික දිනකට පෙරය. 18 වන සංශෝධනයෙන් පසු ඔහුට තිබූ එම අමාත්‍යධූරයම බලාදෙනු ලැබීය. නැවත ඇමතිධූරය ලැබීමෙන් පසු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ මාධ්‍ය භාවිතයේදී ප්‍රවේශම් වන ලෙසත් එසේ නොවන්නේනම් එල්ලුම් ගසේ නැගීමට සූදානම්වන ලෙසත්ය. එම ප්‍රකාශය මහින්ද ආණුඩව විසින් යළිත් වරක් මාධ්‍යවෙත එල්ල කළ කනේ පහරකි. ඔහුගේ ප්‍රකාශය හරහා බිළිඹිබු වන කාරණයනම්, මින් පසු මහින්දට කඩේ නොයනා සැමට හිමිවන්නේ එල්ලුම්ගහ යන කාරණාවය.
එවැනි ප්‍රකාශයක් කර එහි රගේ ද මෑත දිනකදීම අප දුටුවෙමු. මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන යන වාරඋරෙයිගල් පුවත්පත් කාර්යාලයට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධූරයක් දරන හිස්බුල්ලා ගේ අනුදැනුම ඇතිව මැර ප්‍රහාරයක් එල්ල වුනි. හිස්බුල්ලා ඇමතිවරයා විසින් සිදුකර ඇති වංචා හෙළිවීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ලකළ බව වාර්ථා වෙයි. දිගින් දිගටම මාධ්‍යවෙත අඩම්තේට්ටම් කරමින් ආණ්ඩුව තැත්කරන්නේ තමන්ට ගැති මාධ්‍යක්, තමන් වන්දනාමාන කරනා මාධ්‍යයක් බිහිකර ගැනීමටය. ඒ හරහා අහෝසි වී යන්නේ මෙරට පෙදු ජනයාහට සත්‍ය දැනගැනීමට ඇති අයිතියයි. මෙය ඉදිරියේදි තවත් දරුණු ස්වභාවයක් වෙත පරිවර්ථනය වනු නොඅනුමානයි.
කඹරගොයා තළගොය වීම
18 වන සංශෝධනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති බරපතලම කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සියලුම සිවිල් යාන්ත්‍රණයන් දැඩි දේශපාලනික ග්‍රහණයකට හසුවීමයි. ඒ හරහා කිසිදු විටෙක සමානත්මතාවයක් හෝ නීතියක් ක්‍රියාත්මක වීමට ඇති ඉඩ නොලැබී යයි. කැලෑ නීතිය නිල ලෙස මෙරට ස්ථාපනය කිරීම පසුගිය 8 වැනිදා සිදු විය.
එසේම මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසිකරන බවට දිවුරා පොරොන්දු දෙමිනි. ඒ සඳහා ඔහුගේ මහින්ද චින්තනයේ එක් පරිඡේදයක් පවා වෙන් කෙරිණි. ඒ අනුව මෙවර මැතිවරණයේදී ද එම මහින්ද චින්තනයම උස්සාගෙන ප්‍රචාරාත්මක වැඩපිළිවල දියත් කෙරිණි. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශණයේ 53 වන පිටුවේ මෙලෙස සඳහන් වෙයි.
ජනාධිපති ධූරය භාරකාර ධූරයක් බවට
‛‛විධායක ජනාධිපති ධූරයේ බලතල පරිහරණය කිරීමේදී මම ඉතා ප්‍රවේශම්කාරී වූයෙමි. අතීතයේදී විධායක ජනාධිපති ධූරය යොදාගන්නා ලද්දේ මැතිවරණ කල් දැමීමට, මැතිවරණවලින් පත්වූ ආණ්ඩු පෙරළා දැමීමට, අධිකරණයට බාධා කිරීමට, පක්ෂ තහනම් කිරීමට, උද්ඝෝෂණ මර්දනය කර ඝාතන සංස්කෘතියකට රට ගෙනයෑමට, රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විකුණා දැමීමට, අපරාධකරුවන් රැකීමට සහ ජාවාරම්කරුවන්ට සහන ලබාදීමටය. රට පාවාදෙන ගිවිසුම් ඇතිකරගත්තේ ද විධායක ජනාධිපති ධූරය යොදා ගෙනය. විධායක ජනාධිපති ධූරය පිළිබඳ සියලු පක්ෂ හා ජනතා නියෝජිතයන් සමග විවෘත සාකච්ඡාවකට එළඹෙමි. පාර්ලිමේන්තුවට ලැබෙන ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුවට වග කියන නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ප්‍රතිපත්තිය ගරු කරමින් අධිකරණයට වගකියන ව්‍යවස්ථා සම්පාදනය, විධායකය හා අධිකරණය එකිනෙකට ගැටෙන ඒකක ලෙසින් නොව, සහජීවනයෙන් බැඳුණු එකම රාජ්‍යයක කොටස් බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධූරයක් බවට විධායක ජනාධිපති ධූරය පත්කරමි.’’
මැතිවරණ ප්‍රකාශණයේ එසේ තිබියදී මහින්ද කඩිමුඩියේම කර ගත්තේ තමන්ගේ බලය වැඩිකර ගැනීමයි. මහින්ද කියූ පරිදි අනෙකුත් පක්‍ෂ සමඟ, සිවිල් සංවිධාන හෝ කිසිදු මේ පිළිබඳ සංවාදයකට ගියේ නැත. ඇතැම් ආණ්ඩුවේ ඇමතිවරුන් පවා මෙම සංශෝධනය පිළිබඳ කිසිත් නොදන්නා බවද වාර්ථා විය. කලක් විධායකය අහෝසි කරනු කියා උගුර කැඩෙන තුරුම කෑගැසූ අයම විධායකය වන්දනා මාන කරන තැනට පැමිණීම ඔවුන්ට දෛවයේ සරදමකි.
ආණ්ඩුවේ ඇතැම් මාධ්‍ය වීරයන් ගේ ප්‍රකාශ චාලි චැප්ලින්ගේ චිත්‍රපටවලටත් වඩා විහිළුය. ඔවුගේ තර්කයන් ට අනුව මෙරට සංවර්ධන ක්‍රියාවලිය සිදුකිරීමට ඇති එකම බාධාව විධායකයේ පැවති ධුර කාලය සීමා සහිත වීම බවයි. ඔවුන්ගේ මතයට අනුව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය එකට ගමන්කළ නොහැකි බවයි. කෙතරම් විහිළුවක්ද? මොවුන්ට මේ සංවර්ධනයක් අවශ්‍ය නැත. අවශ්‍යය තමන්ගේ බලය වැඩිකර ගැනීමයි. එම නිසා ඒකාධිපති බලය හ ප්‍රජාතන්ත්‍රවාදය සමාන්තර ගමන්කළ නොහැකි නිසා ඔවුන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මරා තමන්ගේ බලය තරකර ගත්හ.
අගමැති විසින් 18 සංශෝධන පිළිබඳ කරන ලද ප්‍රකාශය ද ඊට දෙවැනි විහිළුවක් නොවෙයි. ඔහු විසින් කියනු ලැබුවේ පළාත් සභා සහ පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ට අසීමාන්තිකව මැතිවරණ සඳහා ඉදිපත් වීමට හැකිනම් ජනාධිපතිවරයාට එම අවස්ථාව ලබාදිය යුතු බවයි. මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින බලය දෙස බැලීමෙන් ඔහුගේ දේශපාලන ඔලමොට්ටල කම එම ප්‍රකාශය හරහාම එළියට පැමිණේ. ඇත්ත කාරණාව ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයක අවශ්‍යතාවයක් නැත. ඔහුට උවමනා ලබන නොවැමබර් මාසයේදී සිදුවන ඇමති මණ්ඩල සංශෝධනයේදී තම අගමැතිකම බේරාගැනීමටය. ජනතාවට හෙණ ගැහුවත් තමන්ගේ බලය රැකේනම් ඔවුන්ට ප්‍රශ්ණයක් නැත.
මැතිරවරණ ක්‍රියාවලිය සම්බන්ධව විශ්වාසය ඇත්වීම
එවැනි සංවාදාත්මක වැඩ පිළිවෙලක් වෙත යාම පැත්තකට විසිකර රාජපක්‍ෂ විසින් කරනු ලැබුවේ පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පුටවල එහා මෙහා කරගැනීමක් ය. එය මෙරට මැතිවරණ ක්‍රියාවලිය, තම ඡන්දය සමබන්ධයෙන් විශ්වාසය තැබූ ජනායාට කෝචොක් කිරීමකි. මෙය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් සිදුකරනා ඉතාම පහත් ක්‍රියාවකි. ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංගයක් වන මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනයාගේ විශ්වාසය නැති කිරීම එම රටට ඉතාම හානිදායක ප්‍රතිඵලයන් ලබාදෙන කාරණයක් වේ. ගෙවුනු කාලසමයේ මෙරට වැඩිම මුදලකට අලෙවි වූ භාණ්ඩයන් අතර මන්ත්‍රීධූරය පදවිය ඉහළින්ම තිබුණි. විපක්‍ෂයේ සිට ආණ්ඩුවට එකතුවන මන්ත්‍රීවරුන්ගේ වටිනාකම කෝටි ප්‍රෝකෝටි ගණනක්වේ. ඊට අමතරව නොයෙකුත් වරප්‍රසාද ද ඔවුන්ට හිමිවුනි. එවිට මැතිවරණයේදී ඡන්දය දුන් ජනතාවගේ අභිලාශයන්, අභිප්‍රායන් වලට සිදුවන්නේ කුමක්ද? දෙයියන්ගේම පිහිට හැර අන් සරණක් මහජනයාට නැත. ව්‍යවස්ථාදායකය තුළ දී මහජන මතය මුදල් වලට විකිණිම හරහා විකිණී විනාශ වී යන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයයි. බහුපක්‍ෂ ක්‍රමය මෙලෙස හෑල්ලුවට ලක්වීම හරහා ඒකාධිපතිත්වයකට පාර කැපෙනු විනා රටට සිදුවන සුගතියක් නැත.
18 වන සංශෝධනය හරහා මැතිවරණ කොමසාරිස්වරයා පඹයෙකුගේ තත්ත්වයට පත්කර ඇත. එම සංශෝධන අනුව මැතිවරණකාල සමයේදී ජනාධිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව සෑහීමට පත්නොවේ නම් ඔහුට අවශ්‍ය පරිදි එම කටයුතු සිදුකර ගැනීම නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු පත්කර ගත හැක. බලයේ සිටින ජනාධිපතිට සෑහීමකට පත් නොවීම යනු ඔහුට පක්‍ෂපාතී නොවීම යන්නයි. එවැනි පක්‍ෂපාතීත්වයක් හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සම්බන්ධව කුමන ලෙසකවත් බලාපොරොත්තු තබාගත නොහැක.
නීතියේ ස්වාධිපත්‍ය සම්බන්ධව විශ්වාසය ඇත්වීම
පසුගිය කාලය පුරා සිදුවූ නීතියේ ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් මෙරට ජනයාතුළ පැවති විශ්වාසය මහින්දයන් විසින් ඉරා ගුළිකර දමනා ලදී. පසුගිය කාලය පුරා දුන් තීන්දු තීරණ විශේෂයෙන්ම යුද්ධාධිකරණ සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකරය දෙස සබුද්ධිකව බැලීමේදී එම කාරණය මනාව පැහැදිලි වේ. මෙවන විට සරත් ෆොන්සේකා හට දෙවන යුධ අධිකරණ තීන්දුවද ලැබී තිබේ. ඒ වසර 3 ක පමණ සිර දඩුවමකි. විවේචන රැසක් එල්ලවෙමින් ඇති එවැනි අධිකරණයක් වෙතින් එවැනි තීන්දුවක් දීම හරහා මහජනයා නීතිය කෙරෙහි පැවති විශ්වාසය තව දුරටත් පළුදු වේ. නඩුත් හාමුදුරවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නම් වූ රාජ – පාක්‍ෂික නීති නිසා ශ්‍රී ලංකාවේ ජීවත්වීමේ නිදහස වෙතට ඇදබානා කුළුගෙඩි පහරවල් සුළුපටු නොවේ. නීති කෙටුම්පත් ආයතනද විධායකය අනසක යටතේ පවතින නිසාම නිර්මාණය වන නීති සම්බන්ධව කිසිදු සාධාර්ණත්වයක් බලාපොරොත්තු විය නොහැක.
පාර්ලිමෙන්තුවට මාස 3 වතාවක් පැමිණේ. නමුත් කිසිඳු වගකීමක් තැත.
නව සංශෝධනයට අනුව තුන් මසකට වරක් පාර්ලිමේන්තු සැසිවාරයන්යන්ට සහභාගී වන නමුත් එසේ පැමිණි විටකදී යම් මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් කඩවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති වරයාට නැත.
මෙතෙක් යම්කිසි ස්වාධිපත්‍යක රාජ්‍ය සේවාව තුළ පැවතියානම්, දැන් එම තත්ත්වයද නැත. ප්‍රජාතන්ත්‍රවාදය සිහිනෙන් දකිනවා විනා ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ ජීවත් වීමක් මෙරට ජනයාට නොමැත. මේ අරඹෙන්නේ අවසරයි…. මහ රජ නම් වූ ඒකචරිත නාටකයේ හොඳව පරිච්ඡේදය යි. 8 වැනිදා 18ට අහස් වෙඩිගැසූ සියල්ලෝම හොඳින් ඇස්කන් අරගෙන බලාගෙන ඉන්න… නාටකය අතරතුර තම ඇඳුම් ගැලවී ගොස් නිර්වස්ත්‍ර වන හැටි…. ඉතින් අවසරයි …
ක්‍රිශාන් රාජපක්‍ෂ