iMage: VIKALPA.ORG/ September 2023
ශ්‍රී ලංකාවේ දී වසර ගණනාවක් පුරා සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබදව ‘සෙවීම සදහා’ බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් ජනාධිපති කොමිෂන් සභා ඇතුලු යාන්ත්‍රණ විශාල ප්‍රමාණයක් මේවන විට ක්‍රියාත්මක කර තිබේ. එම යාන්ත්‍රණවල එක් යාන්ත්‍රණයක් වන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයයි. 14 of 2016 (OMP Act) දරණ පනතින්, යහපාලන ආණ්ඩුව සමයේ පිහිටුවනු ලැබූ එම කාර්යාලයට එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන විසින්, 2018 පෙබරවාරි 28 වනදා කොමසාරිස්වරු 7දෙනෙක් පත් කරමින් ස්ථීර කාර්යාලයටක් ලෙස ස්ථාපිත කළේය. මේවන විට එම කාර්යාලයට වසර 5ක් ඉක්මා ඇති නමුත්, අතුරුදහන්කරන ලද පුද්ගලයින් පිළිබද ඔවුන්ගේ සොයාගැනීම් මොනවාද? පරීක්ෂණ? සහ පරීක්ෂණවල ප්‍රගතිය කවරේද? බලහත්කරයෙන් අතුරුදහන්කරන ලද එක් පුද්ගලයෙක් පිළිබදව හෝ ඔහුට/ ඇයට එම අපරාධය සිදුකලේ කවුරුන්ද යන්න පිළිබදවවත් සිදුකළ පරීක්ෂනයක සාධනීය ප්‍රතිඵල තිබේද? ආදී, සත්‍ය සහ යුක්තියට අදාළ සොයාගැනීම් මොනවාද? වැනි ප්‍රශ්ණ වැලක් සමාජයෙක් මතුවෙමින් පවතී. නමුත් එම කිසිදු ප්‍රශ්නයකට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිළිතුරු දීමට සමත්ව නැත.
එසේම මෙම කාර්යාලය ආරම්භ කරන කාලයේ සිටම උතුරු නැගෙණහිර දෙමළ ජනයාට එම කාර්යාලය පිළිබද විශ්වාසයක් තිබුණු බවක් දක්නට ලැබුණේ නැත. නමුත්, සත්‍ය නම් වසර ගණනාවක් යුද්දයෙන් අතිශය පීඩාවට පත් ව සිටි දෙමළ ජනයාගේ විශ්වාසය දිනා ගැනීමට එම කාර්යාලය සථාපිත කිරීමේ යෝජනාව ගෙන එනු ලැබූ යහපාලන ආණ්ඩුවට දේශපාලන උනන්දුවක් තිබුණේ නැත. යුක්තිය සහ සත්‍ය ප්‍රමුඛ අනෙකුත් දේවල් වෙනුවට, යහපාලන ආණ්ඩුව විසින් ‘වන්දි මුදල්’ යන්න ප්‍රමුඛත්වයට ගෙන එනු ලැබූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. නමුත් උතුරු නැගෙණහිර මිනිසුන් විසින් දිගින් දිගටම ඉල්ලා සිටියේ ‘සත්‍ය සහ යුක්තිය යි’. කොතරම් කටුක තත්ත්වයක් තුළ වුවද ඔවුන් විසින් අද ද ඉල්ලා සිටින්නේ, බලකර සිටින්නේ ඔවුන්ට අවශ්‍ය සත්‍ය සහ යුක්තිය බවයි.
“…..මේ වෙද්දී අතුරුදන් කළ වූවන්ගේ දෙමාපියන් 150කට වැඩි පිරිසක් මැරිලා තියෙනවා. මගේ දරුවන් කොහෙද ඉන්නේ කියලා පෙන්වලා දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. තමන්ගේ මුණුබුරාව වඩාගත්තාම ඇඟේ හිරිගඩු පිපෙනවා කියලා ගෝඨාභය කිව්වා. අපි වැදුවේ ගල් ද.?”
අතුරුදහන් කරන ලද සිය ආදරණීය යා සොයා යන, අයි. සිවපාලන්, යාපනයේ මවක ගේ අදහස් ඒ බවට තවත් සාක්ෂියක් වීම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට හෝ ආණ්ඩුවට මගහැර යා නොහැකි තත්ත්වයක් නොවේද?
“ඇයි ද අපි OMP එක ප්‍රතික්ෂේප කරන්නේ කිව්වොත්, අපි මෙච්චර කාලයකට නොගිය තැනක් නැහැ. සංහිඳියා කොමිසම, ජනාධිපති කොමිසම, ICRC, මානව හිමිකම් කොමිසම ඇතුළුව හැම තානාපති කාර්යාලයකට ම ගිහින් තියෙනවා.
අවසානයේ දී OMP ආවා. ඒ වෙලාවේ අපි කිව්වා, අපිට ඔයාලාව විශ්වාස නැහැ. ඒ නිසා අපි මහ පාරේ අරගල කරනවා. එහෙම කළොත් අපිට ප්‍රතිඵලයක් ලැබෙයි නේ කියලා. නැහැ, ඔයාලා මේ විදිහට කරන්න කියලා අපිට OMP එකේ අය උපදෙස් දුන්නා. අපි පස් දෙනෙකුගේ විස්තර දෙන්නම්, ඔයාලා එයාලාව හොයලා දෙන්න ඊට පස්සේ අපි අනිත් අයගේ විස්තර දෙන්නම් කියලා කිව්වා. මේක අපේ නායිකාවන් එකතු වෙලා කතා කරලා තීරණයක්. අද වෙනකම් ඒ පස් දෙනා ගැන විස්තරයක් නැහැ. එයාලා ගැන දුන්න ලියවිලි කිසිවක් අපිට නැවත දුන්නෙත් නැහැ. ඉතිං අපි මොනවා කරන්න ද.?
මෙහෙම කරන ඔයාලාව අපිට කොහොමත් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාලා අපි මානසිකව පීඩා විඳිනවා කියලා උපදේශන දෙන්න ඕනේ කියනවා. රාජ්‍ය බලය තහවුරු කරගන්න OMP කියලා රඟපෑමක් කරනවා. දැන් අලුතින් දෙයක් ඇවිත් තියෙනවා. අපි ඒ හැමදෙයක්ම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ දී අපිට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. මොකද කිව්වොත් අපි සුළුතර මිනිසුන් නේ. දැනුත් එහෙමයි කියන්නේ. කලිනුත් එහෙමයි කිව්වේ. ඒ නිසා අපිට යුක්තියක් ලැබෙන්නේ නැහැ. ඕනෑම ආණ්ඩුවක් තවත් ආණ්ඩුවකට උදව් කරනවා මිස අපි වෙනුවෙන් පෙනී ඉන්න එකක් නැහැ. ඔයාලා සත්‍ය හෙළිදරව් කළේ නැති නිසා නේ අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපේ දරුවන් ව නම්, ගම් ලියලයි ඔයාලාට භාර දුන්නේ. ෆ්‍රැන්සිස් පියතුමා හිටියොත් එයා ඇත්ත කියයි කියලා ඔයාලා එයාවත් අතුරුදන් කළා. අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමා එයා ගියේ. ඇයි මෙහෙම කළේ කියන එකට අදටත් අපිට පිළිතුරක් නැහැ.
භාර වෙනවා කියන්නේ, සමාවක් ඉල්ලනවා කියන එකයි. අවුරුදු 5 ක් හෝ 10ක් තියාගෙන ඉඳලා එවන්න ඕනේ. නමුත් දැනට අවුරුදු 14ක් වෙනවා. අපි පාරේ සටන් කරන නිසා ගෙවල්වලට රහස් පොලිසියෙන් එනවා. බුද්ධි අංශයෙන් ඇවිත් බය කරලා යනවා. පින්තූර අරන් යනවා. අපිවත් මරන්න ද හදන්නේ. අපේ දරුවන්ව දකිනකම් මැරෙන්න නැහැ. මැරෙනකම් අපි සටන් කරනවා. මේ වෙද්දී අතුරුදන් කළ වූවන්ගේ දෙමාපියන් 150කට වැඩි පිරිසක් මැරිලා තියෙනවා. මගේ දරුවන් කොහෙද ඉන්නේ කියලා පෙන්වලා දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. තමන්ගේ මුණුබුරාව වඩාගත්තාම ඇඟේ හිරිගඩු පිපෙනවා කියලා ගෝඨාභය කිව්වා. අපි වැදුවේ ගල් ද.?”