iMAGE:Vikalpa
“එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ.
එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා. එවිට මට පොලිස් වාහනය තුළම සිටින ලෙස පැවසූ පොලීසිය, මගේ ස්වාමිපුරුෂයාව පුතාව බලන්න කියලා එක්කගෙන ගියා. පුතාව බලන්න ගිය මගේ ස්වාමිපුරුෂයා කලන්තෙ හැදිලා වාහනයට දානවා මම දැක්කා. මා සමග කතා බහක නිරත වී සිටි පොලිස් කාන්තා නිළධාරිනියවත් තල්ලූ කරගෙන මම ඇතුළට ගිහිල්ලා බැලූවා. එවිට මම මගේ පුතාගේ මළ සිරුර දැක්කා”
2009 නොවැම්බර් 05 වනදා(මීට වසර 14කට පෙර) මිතුරෙකු සමඟ යතුරු පැදියක ගමන් කරමින් සිටි ගනේෂන් නිමල්රූබන් වව්නියාව, වේප්පංකුලම් ප්‍රදේශයේදී පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන වසර 3ක් වව්නියාව බන්ධනාගාරයේ රඳවා තබා ගෙන සිටි අතර 2012 ජූනි 29 බන්ධනාගාරයේ ඇතිවූ කලබලකාරී තත්ත්වයකින් පසු නිමලරූබන්ව අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවූ බවත්, ඉන්පසු මහර බන්ධනාගාරයට යවා තිබූ බවත්, පසුව ජූලි 07 වනදා එක්වරම රාගම රෝහලට රැගෙන ගොස් සිය පුතාගේ මිය ගිය සිරුර පෙන් වූ බවත් නිමලරූබන්ගේ දෙමාපියන් පවසා සිටියේ 2012 ජූලි 09 වනදාය.එනම් මීට එකොළහකට පෙරය.
පුතාගේ පපුව ප්‍රදේශයේ බොහෝ තුවාල තිබෙනවා මම දැක්කා. ඔළුවෙ සහ පපුවෙ ලේ ගලලා තිබුණා. අත් සහ කකුල් කඩලා තිබුණා. කකුල් දෙකම ගැට ගහලා තිබුණා. මළ සිරුරෙන් දුර්ගන්ධයක් පිටවුණා. පුතාගෙ ඇෙඟ් ඇදුම් තිබුණෙ නැහැ. සරමකින් මළ සිරුර වහලා තිබුණා.
මිය ගොස් සිටි නිමලරූබන්ව මුලින්ම දුටු ඔහුගේ පියා ඒ සිද්ධිය විස්තර කොට තිබුණේ එසේය. අද නිමලරූබන්ගේ පියා ද ජිවතුන් අතර නැත.
ගනේෂන් නිමලරූබන්ගේ මළසිරුර රාගම රෝහලේදී මව්පියන් වෙත පෙන්වා තිබුණේ 2012 ජුලි 7 දාය. එහෙත් නිමලරූබන්ගේ දේහය පසුව අධිකරණ නියෝගයක් ද සහිතව මව්පියන්ට භාර දෙන්නේ 2012 ජූලි 24 දින අවසන් කටයුතු සිදු කරන ලෙස දන්වමිනි. අවසන් කටයුතු කරන්නට මව්ව්පියන්ට ලැබෙන්නේ ඔවුන් මරණය දැන ගැනීමෙනුත් දින 17 කට පසුවය. එහෙත් ඔහු මිය ගිය ජුලි 4 වන දා බවට සැක කෙරේ. ඒ අනුව දින 20 කට ආසන්න කාලයක් ඔහුගේ අවසන් කටයුතු කිරීම ප්‍රමාද කොට තිබේ.
නිමලරූබන් මිය ගියේ රිය අනතුරකින් නොවේ. වස්තුව කොල්ලකන්නට ගෙදරට පැමිණි සොරෙකු හෝ අපරාධ කරුවෙකු විසින් එල්ල කළ ප්‍රහාරයකින්ද නොවේ. ඔහුව හිතාමතාම මරා දමා තිබුණි. රෝහලේ කොනක තුවාලවල වේදනාවෙන් ජීවිතය ඉල්ලා කෑගසද්දී, හිතාමතාම මැරෙන්නට ඉඩ හැර තිබුණි ‘ඔහු එල්.ටී.ටී.ඊ කාරයෙකි.’ මිලේච්ඡ ඝාතනයක් ගැන ඇතැමුන් හිත හදාගන්නට උත්සාහ කරන්නේ එසේ සිතමිනි. නමුත් ඔහුටම වෙන් වූ ජීවිතයක් විය. ඔහුට වෙන් වූ ආදරයක් විය. ඒ ඔහු ද ඔබ මෙන්ම මිනිසෙක් වන නිසාය. ලංකාවේ සිටින අන් මිනිසුන් මෙන්ම ජීවිතය පිළිබඳව නොයෙක් බලාපොරොත්තු පොඳිබැඳගෙන ජීවිතය ජයගන්නට පොර බැදි මිනිසෙකි. සිමෙන්ති ගොඩවල් තුළ, ග්‍රාම සේවක විභාගය, ලිපිකාර විභාගය තුළ, ටෙක්නිකල් කොලේජ් තුළ නිමලරූබන් ජීවිතය සෙව්වේය. සෙවිලි තහඩු, වැලි ගෙනවිත්, ජීවිතය ගරා වැටෙන්නට නොදී අළුත්වැඩියා කරන්නට ඔහු උත්සාහ කළේය. නමුත් ඔහුව සුරතල් කළ, ඔහු වෙනුවෙන් ජීවිතයේ බලාපොරොත්තු ගොඩනගා ගත්, ජීවිතයේ නොයෙක් වේදනා අමතක කර ඔහු වෙනුවෙන් ජීවත් වෙන්නට තීරණය කළ මිනිසුන් දෙදෙනෙක් තනි කර ඔහු මිය ගියේය.
අද නිමලරූබන් නැත. තාත්තා ද නැත. මේ බර හදවතම තනිවම දරාගෙන නිමලරූබන්ගේ අම්මා යුක්තිය ඉටුවීම පිලිබඳ කිසිදු සේයාවක් නැති හෙයින්ම තම දරුවා මැරූ අපරාධකරුවන්ට දෙවියන් වත් දඬුවම් දෙනු ඇතැයි තවමත් බලාපොරොත්තුවෙන් සිටින්නේ ඔහු මරාදමා 11 වන වසර ද නිහඬව ගෙවෙමින් තිබියදීය.
“ඔයාව ගහලා මරන්න නීතියේ කොහෙද ලියවිලා තියෙන්නේ. කීවෙනි වගන්තියේද එහෙම කරන්න කියලා තියෙන්නේ. මම කාටවත් බය නෑ. ඔයගොල්ලන් කවුරු උනත් කමක් නෑ. ඇවිල්ලා මට වෙඩි තියන්න. මම බය නෑ. සාධාරණය, ඇත්ත තමයි මිනිසුන්ට ඕන. පුතාට ගහලා මරපු අය සත්තු. මගේ පපුව දනවා. මගේ පුතා මරපු උන්ට කවදා හරි ඒකම වෙනවා. මම මංකොල්ල කන්න, මීනී මරන්න මගේ පුතාට ඉගැන්නුවේ නෑ. මගේ පුතාගේ තාත්තා මහන්සිවෙලා හම්බ කරලා තමයි මගේ පුතාව හැදුවේ. උන්ට හොදක් නම් වෙන්නේ නෑ.මට වෙඩිතියපල්ලා මම බය නෑ. මගේ පපුවට බුලට් ඇතුල් වෙන්න පුලූවන්. මට රිදෙන්නත් පුලූවන්. ඒත් මම බය නෑ. මට මගේ දරුවා ලැබුනේ අවුරුදු දොලහක් බලං ඉදලා. මම ගොඩක් ආසාවෙන් මම මගේ දරුවා ලොකු මහත් කරේ. මගේ දරුවා වැරද්දක් කරලා තියනවා නම් නඩු අහලා දඩුවම් දෙන්න ඕන. ඒත් මොන නීතයේද තිබ්බේ මගේ දරුවට වද දීලා මරා දාන්න. මගේ පුතා කොහේදෝ තැනක හංගලා තමා මරලා තියෙන්නේ. මගේ ඉස්සරහ මගේ පුතා මැරුවනන් එතකොට උඹලට තේරෙයි මම කවුද කියලා. දැන් දහස් ගනන් තුවක්කුත් එක්ක මගේ ගේ වටේටම ඉන්නවා. මම මුකුත් නැතුව ඉන්නේ. පුලූවන් නම් වරෙල්ලා. ඉදි ආප්ප කවපු මේ අතින් මම අද උඹට ‘වායික්කරිසි’ දානවා. මගේ පුතේ මාව එක්කං පලයං. මගේ දෙයියෝ මාවත් එක්කං පලයං.”
නිමලරූබන්ගේ දේහය අසල මීට වසර 11 කට පෙර වැළපෙමින් නිමලරූබන්ගේ අම්මාගේ මුවින් ගලා ගිය ඒ වේදනාව තවමත් යන්තමකින් හෝ අඩු වී නැත. සිය ආදරණීය පුතාට යුක්තිය ඉටුවනතුරු ඇය තවමත් නොසිදෙන ධෛර්යකින් යුතුව බලා සිටින්නීය.
කියවන්න