කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ එක් භික්ෂුවක්ද විය. ඒ භික්ෂුව මේ පුද්ගලයාට දණගසා වැන්දේය. ඒ ගැන සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති බොහෝ බෞද්ධයන් මේ භික්ෂුවට පරිභව කරනු දක්නට ලැබුණි. චීවරයට වඳිනවා මිසක්, චීවරයක් කලිසමකට නොවැඳිය යුතු බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවයි. (ලංකාවේ චීවරය, කෝට්-කලිසම් සහ සාටකවලටත් වඳිනු අප නම් ඕනෑ තරම් දැක තිබේ. කෙසේ වෙතත්, ඒ භික්ෂුවක් නොව, භික්ෂුනියක් බව පසුව හෙළි විය. කෙසේ වෙතත්, සිවුර පිළිබඳ සැදැහැවත් කෝන්තරය ඉන් නිෂේධ වන්නේ නැත).
මේ බෝධි(සතා) ගේ ඇඳුම පමණක් නොව, කොණ්ඩයත් හිපි සම්ප්‍රදාය අනුව දිගට වවා, පහළට ගැටගැසා ඇත. ඔහු වැඩම කර සිටියේද බුද්ධගයාවෙන් සාරානාතයට නොව, ඊජිප්තුවෙන් කටුනායකට ය. එර්දියෙන් නොව, අහස්යාත්‍රාවෙනි. ඇත්ත, තමන් බුදුන් යැයි මොහු නොකියයි. එහෙත්, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අර්හත් වැනි සම්භාව්‍ය ආධ්‍යාත්මික ප්‍රභේද මේ වන විට දක්නට නැති නිසාත්, ඒ නැතිකමේ දරිද්‍රතා වෙළෙඳපොල පවා හයිබ්‍රිඩ් (සංකර) වී ඇති නිසාත්, මේ බෝධි(සතාගේ) මාදිලිය වන්නේද බොල් සංඥවම වන නිසාත්, අපද අතීත සංඥර්ථ සමග ටිකක් සෙල්ලම් කිරීම ‘පාපයක්’ විය යුතු නැත.
ස්වරූප රාගය යනුවෙන් හැදින්වෙන දෙයක් තිබේ. නාසිසස් නමැති සුරූපී තරුණයෙකු තමාගේම රූපයට වහවැටී ජීවිතය විනාශ කරගන්නා ග්‍රීක දේව කතාවක් ඊට පාදක වී තිබේ. දඩයමේ යද්දී වතුර බීමට ගිය විලක වතුරේ පිළිබිඹු වූ තමාගේම රූපයට පිස්සුවෙන් වශී වී කල් ගෙවීමෙන් ඔහු මරණයට පත්විය. නූතන ලෝකයේ මේ යෙදුම භාවිත කරන්නේ, එක්තරා මානසික ආබාධයක් හැඳින්වීමටයි. අප කවුරුන් තුළත්, තමා කෙරෙහි වන මේ කියන ස්වරූප රාගය තිබේ. එහෙත් එය අධිකතර වශයෙන් පුම්බාගෙන, කල්පනා ලෝකයක අතරමංව, සෙස්සන්ගේ අවශ්‍යතා, දුර්වලතා සහ හැඟීම් ආදිය තමාව පිම්බීම සඳහා පාවිච්චියට ගන්නා මනෝභාවය රෝගී තත්වයකි. ඉහත කී ග්‍රීක කතාව කාලයේ මේ කියන ස්වරූප රාගය තවත් කෙනෙකුට බෝ වීමට මාර්ගයක් තිබුණේ නැත. එහෙත් නූතන ලෝකයේ, විශේෂයෙන්ම ෆේස්බුක් සහ යූ ටියුබ් වැනි වෙනත් තාක්ෂණික මෙවලම් ඔස්සේ, එය සෙස්සන්ටත් බෝ වන්නේ නිරායාසයෙනි. බෝධි(සතා) ආවේද ෆේස්බුකියෙනි. ‘ෆේස්බුක් හී’ ඒ නම තබා ඇත්තේ ආවාටගියාට නොවේ.
එයින් පල ලබන අති-බහුතරය අහිංසක ය. ඔවුන් කරන්නේ තමා ගැන අනෙක් අය තුළ යම් ආකාරයක කල්පනාවක්, උනන්දුවක් ඇති කිරීමෙන් සහ එසේ වන බව (කමෙන්ට්ස් සහ ලයික්ස් ආදිය ඔස්සේ) දවස තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් සන්තර්පණය වීමයි. නූතන ලෝකය තුළ නවතම වෙළෙඳපොළ බිහි වන්නේ ඒ කියන අහිංසක ආශාව වෙළෙඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරමිනි. මේ ස්වරූප රාගී මෙවලම්හි හිමිකරුවන්, කිසිම ‘නිෂ්පාදනයක්’ නොකර, ලෝකයේ පළමු ධනවතුන් දහ දෙනා අතරට පත්ව සිටින්නේ එබැවිනි.
මගේ තර්කය මෙයයි: නව තාක්ෂණ සන්නිවේදන දියුණුව තුළ, ආගමික ප්‍රාතිහාර්යයන් පෑමට සහ බුදු වීමට ඇති අවස්ථා බහුල බවයි. බුදු වීම, රහත් වීම සහ බෝධිසත්වයෙකු වීම ආදිය ‘සැබෑවක්’ වන්නේ, ඒ ගැන අනෙකෙකු තුළ විශ්වාසය ජනනය කරන තරමටයි. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වෙත වැඩම කර දම්සක් පැවතුම් දේශනාව කිරීමෙන් සිදු කළ මුල්ම කාර්යය, ඒ විශ්වාසය ජනනය කිරීමයි. හුදෙක් ඒ ධර්ම ශ්‍රවණයෙන්ම එම පිරිස අර්හත් ඵලයට පැමිණියා යැයි ධර්මයේ සඳහන් වෙතත්, එය, කියන තරම් පහසු කාර්යයක් වන්නට ඇතැයි සිතීම අපහසු ය. එහෙත් ෆේස්බුක් හරහා තමාගේ කාර්යය ඊට වඩා පහසු වෙතැයි නූතන බෝධි(සතා) සිතන්නට ඇත.
තාක්ෂණය පමණක් ප්‍රමාණවත් නැත. සමාජ අවශ්‍යතාවක්ද තිබිය යුතුය. මෑත කාලයේ ලංකාවේ විශාල පරිවර්තනයක් සිදු විය. එනම්, ආගමික හැඟීම සහ භක්තිය, නිවසක ඇති පහන්පැලේ සිට, ගමේ ඇති පන්සලේ සිට, මහපාරට සම්ප්‍රාප්ත වීමයි. එනම්, ශ්‍රද්ධාව ප්‍රදර්ශනකාමී වීමයි. එය, මෑත කාලයේ ලංකාවේ පොදු අවකාශය තුළ සිදු වූ, විශාලතම ආක්‍රමණික ප්‍රපංචය වශයෙන් ගිණිය හැකිය. ආගම විසින් සමස්ත දකුණු අවකාශය ආක්‍රමණය කෙරුණි. පින් සිද්ධ කරගැනීමේ විශාල පිපාසයක් ජනිත කෙරුණි. ඒ පිපාසය පසුපස, සමාජ දේශපාලනික කාරණා රාශියක් ඇති බව ඇත්ත. (එය, වෙනම ලිපියකට මාතෘකා විය යුත්තකි). කෙසේ වෙතත්, ඕනෑම සමාජයක් වඩාත් ආගමික වන්නේ, වැඩි වැඩියෙන් බුදුවරු පතන්නේ, වඩාත් අවදානම් සහ අර්බුදකාරී තත්වයකට එම සමාජය සහ එහි වෙසෙන ජීවිත පත්වීමේදී බව, සාමාන්‍යයෙන් නිරීක්ෂණය කළ හැකි කාරණයකි. එ අනුව බැලූවොත්, සමාජ ආධ්‍යාත්මය අරක්ගන්නා එකී පින් පිපාසය තාර්කිකයි, ස්වභාවිකයි. (කලකට ඉහතදී මවිසින් පරිවර්තනය කරන ලද, ඇමරිකානු ලේඛක ගෝර් විදාල්ගේ ‘‘ගැලවුම්කාර ඉසිවරයා’’ සහ ‘‘කල්කි’’ නමැති නවකතා ද්වයේ ඒ කාරණය කලාත්මකව නිරූපණය කෙරේ).
වැදගත්ම කාරණය වන්නේ, ඒ පින් පිපාසය වෙළෙඳපොළක් බවට පරිවර්තනය කරගැනීමත් ඊට සමගාමීව සිද්ධ වීමයි. ඊළඟ ආත්මය සඳහා ‘ඉතිරි කිරීමේ බැංකු කටයුත්තක්’ බවට ආගම පත්වීම එහි ප්‍රතිඵලයයි. ලංකාවේ මිනිස්සු, මේ කියන කාලයේ තම තමන් වෙනුවෙන් ‘පුණ්‍ය ගිණුම්’ ආරම්භ කළහ. ගෙදර පහන්පැලේ පුංචි බුද්ධ රූපය ඉදිරියේ පන්සිල් ගැනීමෙන් හෝ ගාථාවක් කීමෙන් අනුමෝදන් වෙතැයි සිතූ පින, ගත වූ දශක තුනක පමණ කාලය තුළ, මහ පරිමාණ ව්‍යාපෘතීන් බවට පත්විය. එය, සශ්‍රීක ආගමික වෙළෙඳපොළක් නිර්මාණය කෙළේය. අද රට පුරා තිබෙන ලස්සන ‘අසපු’ එහි එක් නිරූපණයකි. ප්‍රධාන පන්සල් රාශියක්, ධන කුවේර මාලිගා බවට පත්වීම සහ ඒවායේ වැඩවසන භික්ෂූන්, යසඉසුරින් පිරි කාමසුඛල්ලිකානුයෝගීන් බවට පත්වීම එහි තවත් නිරූපණයකි. මේ මහා පරිවර්තනය, යුද්ධය විසින් ඇති කරන ලද, ජාතියේ ඒකාත්මික වීම නමැති අනන්‍යතා අවශ්‍යතාව විසින් උත්පාදනය කරන ලද්දකි. (එයද වෙනම ලිපියකට නිමිත්තකි).
කටුනායක ගුවන් තොටුපොළෙන් ලංකාවට වැඩම කළ මේ බෝධි(සතා), එතැන් සිට ලිමුසින් රථයකින් කැළණියට වැඩම කිරීමේ සන්දර්ශනය ගැන අප සලකා බැලිය යුත්තේ, ඒ පසුබිම් කරුණු සිහියේ තබාගෙන ය. ඉහතින් කී, ස්වරූප රාගය සහ වෙළෙඳ ව්‍යාපාරය යන සාධක දෙකට අමතරව, මේ පුද්ගලයාගේ තක්කඩි චරිතයත්, මේ රංගනය පසුපස ඇති බවට සැකයක් නැත. ඔහුගේ සමාජ-විරෝධී අතීත චර්යාවන් ගැනත් සමාජ මාධ්‍ය තුළ මේ වන විට සාකච්ඡා කෙරේ. එහෙත් ඒ කිසිවක් ගැන නිශ්චිත සාක්ෂි මෙතෙක් අපට නැති නිසා, දැනට අපට සිදුවන්නේ හුදෙක් ඔහුගේ වර්තමාන චර්යාව ගැන සොයා බැලීමටයි.
කැළණියේදී යම් පිරිසක් ඔහු වටා රොක් වෙති. ඔහු ඔවුන්ට යම් ‘දේශනයක්’ කරයි. ඒ අතර සිටි දෙදෙනෙක් ඒ මොහොතේම, එම ‘දේශනාවෙන්’ යම් මාර්ග ඵලයකට පැමිණි බව තමන්ට පෙනුණි යැයි ඔහු කියයි. මොහු වනාහී, රෝගියෙකුට වඩා, තමා කරන වංචාව පිළිබඳව හොඳින් දැනුවත් මෝඩයෙකි. සාමාන්‍යයෙන් මෙවැති ‘ගැලවුම්කාර’ චරිතවලට පණ දෙන පුද්ගලයන්, කතාවෙන් සහ පෙනුමෙන්, යම් ආකර්ශණීය ශක්තියක් ඇති පුද්ගලයන් ය. එහෙත් මොහු එහි අනිත් පැත්තයි.
මොහුගේ කතාවෙන් හැෙඟන සංඥවන් ඔස්සේ ගියොත්, යම් කාලයක මොහු ‘එක්ස් කණ්ඩායමේ’ සාමාජිකයෙකු වශයෙන් සිටියෙකු හෝ එහි යම් ආභාෂයක් ලැබූවෙකු හෝ වෙතැයි මට සැක සිතුණි. විනාඩි දෙකක හෝ තුනක පමණ කෙටි කාලයක් තුළ, ඔහු ශ්‍රාවකයන් අමතා කිහිප වරක් කියන එක් වැකියක් කැපීපෙනුණු බැවිනි. එනම්, ‘මං කියන දේ පැහැදිලිද මන්දා.’ යන්නයි. එය, එක්ස් කණ්ඩායමේ හිටපු ‘ශාස්තෘවරයෙකු’ නිතර භාවිත කළ වාග් විලාසයකි.
(ආධ්‍යාත්මික වශයෙන්) තරමක් ඉහළ අහසේ වැජඹෙන්ට හිතාගෙන ලංකාවට වැඩම කළ මේ බෝධි(සතා) හිටිහැටියේ පොළොවට කඩාවැටුණු එක් නිමේෂයක් විය. එනම්, 69 ලක්ෂයක් ගැන කතාවක් ඔහුගේ කටින් පිටවීමයි. එහිදී ඔහු කියන දේ හරියටම පැහැදිලි නැතත්, 2019 පටන් ඊජිප්තුවේ සිට ඔහු බලාගෙන සිට ඇත්තේ ඒ 69 ලක්ෂයට කෙළවෙන තෙක් ය! ඒ කතාව පසුපස යම් දේශපාලන ව්‍යාපෘතියක් ඇතැයි කෙනෙකු සිතන්ට පුළුවන. එය ඇත්තක් නම්, මෙවැනි මෝඩයෙකු සහ මෙවැනි රංගනයක් ඒ සඳහා යොදාගත් දේශපාලනඥයා හෝ දේශපාලන කඳවුරද මැටි කරත්තයක්ම විය යුතුය.
ඒ නිසා මොහු ගැන අනවශ්‍ය සේ ඇවිස්සීමට කාරණා නැත. එක පැත්තකින්, අතේ පැළවෙන ඔහුගේ මෝඩ චර්යාව විසින් ඔහු අපට මහත් පහසුවක් සපයයි. මන්ද යත්, මොහු සිය ව්‍යායාමය තුළ ‘ස්වාභාවික මරණයට’ පත්වීමට ඉරණම් කෙටි ඇති බැවිනි. අනිත් පැත්තෙන්, තවත් බුදුවරයෙකු යැයි කියාගන්නා සමන්තභද්‍ර තරම් මොහු දක්ෂයෙකු වූවද, තවදුරටත් කෙලෙසීමට තරම් පූජනීයත්වයක්, තත්කාලීන බෞද්ධ සංස්ථාව තුළ ඔහුට ඉතිරි කර තබා නැති බැවිනි. තවත් පැත්තකින්, ආගම නමැති වෙළෙඳපොළේ සැදැහැවත් ගැනුම්කරුවන් බහුල නිසා මෙවැනි පුද්ගලයන් ව්‍යාපාරිකයන් බවට පත්වීමද අස්වාභාවික නොවන බැවිනි. කාගේ කර්තෘත්වයෙන් කෙරුණත්, තත්කාලීන ලාංකීය සමාජය නිර්දය හාස්‍යයට ලක්කිරීමට ගත් ප්‍රයත්නයක් වශයෙන් වුවත්, මෙය අසාර්ථක ව්‍යාපෘතියකි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda