(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය)
වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’ කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ කිසිවෙක් ඒ දෙස නොබලයි. ශ්‍රී ලංකා හමුදාවේ යුද සංචාරක ව්‍යාපෘතියට රහ වැදී දකුණෙන් උතුරට යන ඇතැමෙක් ඒ ලේ වැකි බියකරු සංඛේතය පසුබිමට තබා සිනාමුසුව සෙල්ෆි ගනු දක්නට ලැබෙයි. නිරන්තරයෙන් ඒ අසල හමදා සෙබලුන් කිහිපදෙනෙක් ගැවසෙන්නේ තවමත් කැකෑරෙන වන්නි මිනිසාගේ වේදනාව ලෝකයාගෙන් වසන් කරන්නට මෙනි. නමුත්, මිනිස් ජීවිත ලක්ෂ ගණනක් වන්නි මහපොළවට යටකර දැමූ ඒ සන්නද්ධ සේනාව තවමත් වන්නි බිමේ වාඩිලා ගෙන සිටින ඒ පොළවේ, තවමත් යුක්තිය ඉල්ලා යාදින වියපත් මව්වරුන්, පියවරුන් කදුලු සලමින් ජීවිතය ඉල්ලා අතුරුදන් සිය දරුවන්ගේ සුවද තුරුලුකරන් කදුළු වගුරුවති.
වන්නිය තලා දැමූ ඒ සේනාවෝ සහ යුද අවි තවමත් එහිම ගබඩා කර ඇත්තේ සංදර්ශනයන්ට මෙනි. දකුණට ඒවා විනෝදය සපයන සංචාරක ආශ්වාදයන් වුවත් වන්නි මිනිසා ට තව තවත් එය වේදනාවකි. ඛේදවාචකයකි. ඒ වේදනාව දකුණට තවමත් ගැඹුරින් ඇසෙන්නේවත්, දැනේන්නේවත් නැති සේයකි. එදවස ජීවිතය බේරා ගන්නට දුවගිය වන්නි මිනිසුන් අද තමන්ගෙන් මගහැරුනු, බලා සිටියදීම හමුදාවට බාරදුන්, පසුව අතුරුදහන් යැයි කියන තමන්ගේ සමීපතමයින් ඉල්ලා ගිණිගහන අවුවේ කදුලු වගුරුවති. කිලිනොච්චියේ කන්දසාමි කෝවිල අසල තවමත් ඇති හමුදා කදවුර තුළ ඇත්තේ මල් නොවන බව කිලිනොච්චි වැසියන් දන්නේය. ඒ හමුදාවම එදවස එම කලාපයම පාලනය කරන විට තමන්ගේ දරුවන් අතුරුදන් වූ බවද ඔවුන් දන්නේය. හොදින්ම දන්නේය. මේ අදහසට සමාන අදහසක් මා ලියන්නේ පසුගිය 2017 මාර්තුවේ දී ය. ඒ බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චියේ දී ඇරඹි උපවාසය ආරම්භ කර මාසකට පසු ඔවුන් මුණ ගැසීමෙන් පසුය. දැන් 2017 මාර්තුවේ සිට 2024 පෙබරවාරියට(20) වසර 7ක් ගෙවෙමින් තිබේ.
“ඔබේ හමුදාව විශ්වාස කරලා බාර දුන්න දරුවන් අතුරුදහන් වූයේ කෙසේද” ඔවුන් මේ වසර ගණනාව පුරාම අසන්නේය. අද ද අසන්නේය. නමුත් රාජ්‍ය නිහඩය.
අතුරුදහන් කළ සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චියේ ඇරඹි උපවාසයට පසුගිය පෙබරවාරි 20 වනදාට වසර 7ක් ගත විය. ඒ වසර 7 පුරා ම තමන්ගේ දරුවන්, සැමියන් තවමත් ඔවුන් වෙත පැමිණියේ නැත. කිසිදු තොරතුරක් ඔවුන්ට ලැබුණේ නැත. ඒ වසර 7 පුරාම උසුලාගත නොහැකි වේදනාවෙන් සමග නොපසුබට ධෛර්්‍යයයෙන් ඒ වියපත් දෙමාපියන් තවමත් ඒ හිරුරැස් යට දෑස් දල්වා බලා සිටින්නේ සිය ගැඹුරු බලාපොරොත්තු තුරුළු කරන් ය. ඒ වසර 7 පුරාවටම 100කට ආසන්න වියපත් මව්පියන් කිසිදු තොරතුරක් නොමැතිවම මෙළොව හැර ගොස් ඇත. නමුත් මේ වසර 7 පුරාවටම ඒ බලාපොරොත්තු අබමල් රේණුවකින්වත් ඉටු කිරීමට මෙතෙක් ලංකා රාජ්‍ය පාලනය කිරීම සදහා බලය ලබා ගැනීමට වහසි බස් දොඩමින් පැමිණි කිසිම පාලකයෙක් සමත්ව නැත.
ඒත්, ඒ යුක්තියේ බලාපොරොත්තුව කිසි දිනක අත්නොහරින ඒ මිනිසුන් සහ ගැහැණුන් සියගණනක්, පසුගිය පෙබරවාරි 20 වනදාත්, සිය සමීපතමයින්ගේ ‘යුක්තිය’ වෙනුවෙන් කිලිනොච්චියේ වීදි පුරා යමින් යුක්තිය වෙනුවෙන් වූ සිය නොසිදෙන බලාපොරොත්තුව ලොවට කීවේය. ‘අපට අවශ්‍ය යුක්තිය යි’. අපේ දරුවන්ට මොකද උනේ කියලා ඇත්ත දැනගන්නයි. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතය තියනකන් සටන් කරනවා’ ඒ ඔවුන්ගේ සාමුහික හෘදසාක්ෂියේ හඩයි.
නමුත් දකුණේ බොහෝ හදවත් හිරිවැටී ඇති සේයකි!
සම්පත් සමරකෝන් | Sampath Samarakoon