iMage: reuters.com

ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන ශ්‍රමයක්ද යන්න), ආර්ථිකයේ දියුණුව/නොදියුණුව සහ සමාජ සාධාරණත්වය ආදී කරුණු කෙලින්ම බලපායි. පෞද්ගලික ආයතනයක් නම්, මේ අවසානයට කී සමාජ සාධාරණත්වය පිළිබඳ සාධකයට වඩා හිමිකරුවන්ගේ ලාභ පංගුව ආරක්ෂා කරගැනීම සැලකිල්ලට ගැනේ. රාජ්‍ය ආයතනයක, ඒ සියල්ලට අමතරව, පොදුවේ සැලකිල්ලට ගැනෙන අනෙක් ප්‍රධාන සාධකය වන්නේ, යම් මොහොතක රටේ පවතින ආර්ථික තත්වයයි. උදාහරණයක් වශයෙන්, ලංකාවේ වර්තමාන ආර්ථික අගාධයේ ස්වභාවය අනුව දෙයාකාරයක විසඳුම් දෙපැත්තකින් ඉල්ලා සිටිනු ලැබේ. එක පැත්තකින්, ලැබෙන වැටුපෙන් ජීවත් වීමට කොහෙත්ම බැරි නිසා, වැටුප් වැඩි විය යුතු බව ශ්‍රමිකයෝ කියති. අනිත් පැත්තෙන්, රටේ ආර්ථිකයට මේ අවස්ථාවේ එවැනි වියදමක් ඔරොත්තු නොදෙන නිසා කවුරුත් පටි තද කරගත යුතු යැයි පාලකයෝ කියති. හෙවත්, වැඩි වැටුප් ඉල්ලා සිටීමෙන් වැළකී, රට ගැන ආදරයක් ඇති පුරවැසියන් වශයෙන් යම් කැප කිරීමක් කළ යුතුව ඇතැයි කියති.

මේ අවසානයට කී කාරණය පසුගිය දිනවල මූලාශ්‍ර දෙකකින් අවධාරණය කෙරුණි. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඉන් එකකි. අනෙක් පාර්ශ්වය වුණේ, මහ බැංකුව නියෝජනය කරන වර්තමාන මහ බැංකු අධිපතිවරයා ය. ඔහු කැමරාවක් සහ මයික්‍රෝෆෝනයක් ලැබුණු සෑම අවස්ථාවකම නැවත නැවතත් ඒ කාරණය රටට මතක් කර දුන් බව අපට මතකයි. මහ බැංකු අධිපතිවරයාගේ එම උපදේශය තවත් ඈතට ගෙන යමින් මේ ළඟඳී තවත් බලධාරියෙක්, ඉස්ත්‍රික්ක නොකර ඇඳුම් අඳින්නැයිද, ලාම්පු එළියෙන් පාඩම් කිරීමට පුරුදු වන්නැයිද රටෙන් ඉල්ලා සිටියේය.

ජනතාව විසින් කළ යුතු යැයි කියන මෙකී කැප කිරීම්වල සාරය කුමක්ද? මූලිකවම, අරපිරිමැස්ම, ලද පමණින් සෑහීමට පත්වීම සහ උපරිමයෙන් රටේ නිෂ්පාදන කාර්යයට දායක වීම ආදියයි. එය, සාධාරණ ඉල්ලීමක් සහ අපේක්ෂාවක් බවට සැකයක් නැත. එහෙත්, රටවැසියාගෙන් එවැනි ඉල්ලීමක් කිරීමට මේ නිශ්චිත මොහොතේ මහ බැංකු අධිපතිවරයාට සිදු වුණේ ඇයි? 2019 බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති නිසා රට අගාධයට වැටී තිබුණු නිසා ය. එතකොට, රට ඒ ප්‍රපාතයට පත්කිරීම ගැන ‘ආර්ථික ඝාතකයන්’ වශයෙන් වර්තමානයේ චෝදනා ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ පමණක්ද? නැත, ඔහු ඇතුළු දේශපාලනඥයන් හැරුණු විට, එහි ප්‍රධාන චූදිතයන් කිහිප දෙනෙකුම අයත් වන්නේ මේ කියන මහ බැංකුවටමයි. මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් යන හිටපු මහබැංකු අධිපතිවරු ඒ අතර ප්‍රමුඛයෝ ය. ඔවුන් දෙන්නාම මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ වන විට ආර්ථික ඝාතකයන් වශයෙන් වැරදිකරුවන් වී සිටිති.

විනාශයේ විශාල පංගුවකට වගකිව යුතු මහ බැංකුව – තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදාගැනීම

එතකොට, රටේ ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුතු එක් පාර්ශ්වයක් වන්නේ මහබැංකුව බව පැහැදිලියි. මන්ද යත්, රටේ මූල්‍ය පාලනය සහ මිල ස්ථායීකරණය, වෙන කිසිවෙකුට හෝ වෙන කිසි ආයතනයකට නොව, ඔවුන්ට පමණක්ම පැවරෙන රාජකාරියක් සහ වගකීමක් වන බැවිනි. අසීමිත සේ මුදල් අච්චු ගැසීම සහ ඩොලරයේ රුපියල් අගය කෘත්‍රීම ආකාරයෙන් ඉහළ මට්ටමක තබාගැනීම සඳහා, තිබෙන සීමිත විදේශ විනිමය සංචිතය අනවශ්‍ය කාලයක් තිස්සේ නාස්ති කිරීමේ මුග්ධ ප්‍රතිපත්තිමය තීරණ ගත් ආයතනය වන්නේද මේ මහ බැංකුවමයි.

දැන් හදිසි වැටුප් වැඩි වීම් ඉල්ලා උද්ඝෝෂණය කරන සාමාන්‍ය ශ්‍රමික ප්‍රජාව යනු, එම මහ බැංකුවේ සහායකත්වයෙන් හෝ නොසැලකිලිමත් භාවයෙන් සිදු කළ ඒ විනාශයට තනි තනිව මුහුණදීගත නොහැකිව අන්ත පීඩාවට පත්ව සිටින අසරණ ශ්‍රමිකයන් ය. ඔවුන්ගෙන් ඉතා සීමිත කොටසකට ඒ අනුව යම් සහනයක් ලැබුණි. එනම්, රුපියල් 10,000 ක වැටුප් වර්ධකයකි. ඒ, රජයේ සේවකයන්ට ලැබුණු වැටුප් වැඩි වීමකි. අනුන් ඇති කළ එකී විනාශයෙන් බැටකෑ අනිත් දුගී කොටස්වලටත් අස්වැසුම නමින් තවත් සොච්චම් සහනාධාර ලැබුණි. තවත් පිරිසකට, එතෙක් ලැබෙමින් තිබුණු සහනාධාරත් කපා හැරුණි.

මේ සියල්ලෙන් කියැවෙන කතා සාරංශය මෙයයි: පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් රටේ පවතින අවස්ථාවක රටේ සියලු පුරවැසියන්, එනම්, අන්ත දරිද්‍ර කම්කරුවාගේ පටන් මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයා දක්වා විවිධ ආකාරයෙන් ‘පටි තද කරගැනීම’ අනිවාර්ය කෙරෙන බවයි. එසේ තිබියදී, ඒ කියන මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගේ වැටුප සියයට 76.97 කින් මෙවර වැඩි කරගෙන ඇත. එය, මීට තුන් වසරකට පෙර, එනම් වර්තමාන ආර්ථිකය කඩාවැටීමේ ආරම්භක වසරේ (2021) ඔහු ලබා ඇති වැටුප් වර්ධකයේ ප්‍රතිශතය සමග සසඳන විට, සියයට සියයකටත් වඩා වැඩි වර්ධකයකි. ඒ වසරේ ඔහු ලබා ඇති වැටුප් වර්ධකය සියයට 32.67 ක් පමණි. ඒ ආදර්ශයෙන් මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයා අපට කියාදෙන පාඩම කුමක්ද? එකක් මෙසේ ය: ආර්ථිකය කඩාවැටීමේ ආරම්භක වසරේ සියයට 32.67 ක වර්ධකයක් පමණක් ලැබූ තමා මේ වසරේ සියයට 76.97 ක වැටුප් වර්ධකයක් ලබන්නේ, ආර්ථික අගාධයෙන් මේ වන විට රටක් සහ ජනතාවක් වශයෙන් අප මුළුමණින් ගොඩ ඇවිත් සිටින නිසා ය! එසේ නම්, සෙසු ශ්‍රමිකයන්ටත් ඊට සමගාමී මට්ටමකින් වැටුප් වැඩි වීම් ලැබිය යුතු බවට ඔහු නිර්දේශ කරන්නේද? තමාගේ සාක්කුවට තඩි පඩිපතක් දමා ගැනීමෙන් ඔහු කියා සිටින පාඩම එය නොවේ යැයි ඔහු කියන්නේ නම්, ඔහුගේ ආදර්ශයෙන් ඉතිරි වන දෙවැනි පාඩම මෙයයි: උඹලට හෙණ ගැහැව්වට මට මොකෝ!

දී කිරට සාක්කි කියන බළල්ලු

මේ තඩි පඩි වැඩි කරගැනීම යුක්තිසහගත කරන වර්තමාන මහ බැංකු අධිපතිවරයා අපූරු තර්ක ගණනාවක් ඉදිරිපත් කරයි. ඒ සෑම තර්කයක්ම ඔහු වැනි විද්වතෙකුට, ගෝඨාභය රාජපක්ෂ හෑරූ මේ නරා වළෙන් ගොඩඒම සඳහා මේ වන විට දූරදර්ශී ආර්ථික පියවර ගණනාවක්ම ගෙන සිටින ඔහු වැනි පුද්ගලයෙකුට තරම් නොවන බව මුලින්ම අවධාරණය කළ යුතුව තිබේ.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ තඩි පඩි වැඩි කරගැනීම් යුක්තිසහගත කිරීම සඳහා ඔහු ගෙනහැර දක්වන තර්ක කිහිපයක් මෙසේ ය: මහ බැංකුවේ ගිවිසුම්ගත එක්තරා සම්මුතියක් අනුව, එහි සේවකයන්ට පඩි වැඩි කරගැනීමට අවසර ඇත්තේ සෑම වසර තුනකටම එක් වරක් පමණක් බව ඔහුගේ පළමු තර්කයයි. එයින් ඔහු අදහස් කරන්නේ, ඊළඟ අවුරුදු තුන ඇතුළත කිසි පඩි වැඩි වීමක් ලබාගැනීමට මහ බැංකු සේවකයන්ට අදාළ ඉහත කී ගිවිසුම්ගත නීතියෙන් ඉඩක් නොලැබෙන නිසා, ඒ වසර තුනටම හරියන තරමට මේ වසරේදීම වැටුප් වැඩි වීම් ලබාගත යුතු බවයි. මෙහිදී ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි. එවැනි ගිවිසුම්ගත නීතියකින් බැඳී නොසිටින රටේ සෙසු ශ්‍රමිකයන්ට, ඉදිරි වසර තුන ඇතුළත යම් වැටුප් වැඩි වීමක් ලැබෙතැයි ඔහුට දිය හැකි සහතිකය කුමක්ද යන්නයි. විශේෂිත ගිවිසුම් ඇතිව හෝ නැතිව, එසේ සෑම වසරකම වැටුප් වැඩි වීම් ලබන කිසි රාජ්‍ය ආයතනයක් මෑත ඉතිහාසයෙන් ඔහුට සොයා දිය හැකිද යන්න ඔහුගෙන් ඇසිය යුතුව ඇති දෙවැනි ප්‍රශ්නයයි. ආර්ථික අර්බුදය රටේ සමස්ත ජනතාවට බලපාන්නේ නම් සහ රටේ වෙසෙන සියල්ලන් ඒ සඳහා කැප කිරීම් කළ යුතුව ඇත්නම්, මහ බැංකුව පමණක් ඒ වගකීමෙන් කරඅරින්නේ කෙසේද යන්න ඔහු පැහැදිලි කළ යුතුය.

ඔහු කියන දෙවැනි තර්කය, පසුගිය දිනවල බොහෝ විශේෂඥ සේවාවන්හි නියුතු වූවන් ඉදිරිපත් කළ ජනප්‍රිය තර්කයමයි. එනම්, අපේ විශේෂඥයන් රට හැරයාම නතර කිරීමට නම්, ඒ විශේෂඥ සේවාවන් සඳහා ප්‍රමාණවත් වැටුප් තිබිය යුතු බවයි. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ වෙනත් රජයේ විශේෂඥවරුන් පසුගිය දවස්වල අහවල් ප්‍රමාණයෙන් රට හැර ගොස් ඇති බව නොයෙක් වර පුනපුනා පෙන්වා දී ඇති කාරණයකි. ඇත්ත වශයෙන්ම නම්, මේ කියන විශේෂඥයන් රට හැර ගියේ වැටුප් මදිකමක් නිසාවත්, බදු වැඩිවීමක් නිසාවත් නොව, තමන්ට සහ තමන්ගේ දරුවන්ට මේ රටේ අනාගතයක් නැතැයි යන අශුභවාදී මුත් සාධාරණ සැකය නිසා ය. මේ රටේ දිගහැරෙන මජර දේශපාලන සංස්කෘතිය ගැන අසීමිතව කලකිරීමට පත්ව සිටි නිසා ය. කරුණු එසේ වෙතත්, මහ බැංකු අධිපතිවරයා කියන තර්කය, එනම් මහ බැංකුවේ විශේෂඥ සේවාවන්හි නියුතු වූවන් රඳවාගැනීම සඳහා ඔවුන්ට වැඩියෙන් වැටුප් වර්ධක දිය යුතුය යන තර්කය මොහොතකට පිළිගත්තත්, ඒ මහ බැංකුවේ කාර්යාල සහායකයන්ගේ වැටුප සියයට 35.92 කින්ද, කළමනාකරණ සහායකයන්ගේ වැටුප සියයට 54.39 කින්ද මෙවර වැඩි කරගෙන ඇත්තේ, එසේ නොවිණි නම් ඔවුන්ගේ ‘විශේෂඥ’ ඥානය, මහ බැංකුව අතහැර වෙනත් ආයතනයකට හෝ වෙනත් රටකට යතැයි ඇති වුණු බියකින්ද යන ප්‍රශ්නය මහ බැංකු අධිපතිවරයාගෙන් ඇසිය යුතුව තිබේ. (කාර්යාල සහායකයන් යනු, සාමාන්‍ය ව්‍යවහාරයේදී පියන් යනුවෙන් හැඳින්වෙන සේවක කොටස වන අතර, කළමණාකරන සහායක යනු ලිපිකරු සේවාවේ නියුක්ත පිරිසයි).

ඔහු කියන තෙවැනි තර්කය වන්නේ, මේ කියන පඩි වැඩි වීමෙන් කොහොමත් සියයට 24 ක් ‘උපයන විට ගෙවීමේ’ බද්දට හසු වන බවයි. මේ කියන කතාවෙන් පෙනෙන්නේ ඔහු ඊට ඉහතින් කී තර්ක පිළිබඳව ඔහු තුළම පවා වැඩි විශ්වාසයක් නැතිකමටම කියන දියාරු කතාවක් බවයි. ‘උපයන විට ගෙවීමේ බද්දට’ මහ බැංකු සේවකයන් පමණක් නොව, සියලු වැටුප් ලබන සේවකයන් අයත් වන බව ඔහු නොදන්නවා නොවේ. එපමණක් නොව, 2019 දක්වාම මහ බැංකු සේවකයන්ගේ මේ කියන ‘උපයන විට ගෙවීමේ’ බද්ද පවා ගෙවා ඇත්තේ ඔවුන් විසින් නොව, ඔවුන් වෙනුවෙන් රජය විසිනි. ඒ ඇයි? එය, මොන ආර්ථික විද්‍යා තර්කයක් මත ඒ කාලයේ පවත්වාගෙන ආ පුරුද්දක්දැයි මේ ආර්ථීක විශේෂඥයන් රටට කියාදිය යුතුය. එහිදී කෙනෙකුට හමු වනු ඇත්තේ, විශේෂඥ භාවයකට වඩා යම් ප්‍රභූ භාවයක් ආරක්ෂා කරගැනීම සඳහාම එවැනි භාවිතයක් මේ ආයතනය විසින් ඉස්සරත් පවත්වාගෙන පැමිණ ඇති බවකි. ඔවුන්ගේ වර්තමාන හැසිරීමත් එහිම දිගුවකි.

දඬුවම් ලැබිය යුතු පිරිස් පාරිතෝෂික ලබති

මහ බැංකු අධිපතිවරයා දක්වන එක් තර්කයක්, ඔහුගේ සමස්ත තර්ක පරාසයම කණපිට හරවයි. එය මෙසේ ය: මීට කලින් 2021 දී මහ බැංකු සේවකයන්ට දෙන ලද වැටුප් වැඩි වීම ගණනය කෙරුණේ, එම වසර තුළ උද්ධමනය සියයට 5 සීමාවෙන් එහාට නොයතැයි යන අපේක්ෂාවෙන් බව ඔහු කියයි. එහෙත්, උද්ධමනය 2022 වන විට සියයට 70 දක්වා ඉහළ ගියේය. එතකොට, උද්ධමනය සියයට 5 කට අඩු වෙතැයි ප්‍රක්ෂේපනය කෙළේ කවුද? ඒ, මේ මහ බැංකුවමයි! රටේ උද්ධමනයේ සාමාන්‍ය වේගයවත් අකුරට නිවැරදිව නොව, ඈතින්වත් නිවැරදිව ගණනය කළ නොහැකි ‘විශේෂඥ’ සේවාවක් ගැනයි අප මේ කතා කරන්නේ! සියයට 76.97 ක වැටුප් වැඩි වීමක් ලැබීමට සුදුසුකම් ඇතැයි කියන්නේ එවැනි ‘විශේෂඥ ඥානයකට!’ ය.

මහ බැංකුව දැන් ස්වාධීන ආයතනයකි. එසේ හෙයින් ආණ්ඩුවට වගකීමට එය බැඳී නැත. ඒ නිසා, ඔවුන් විසින් තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදාගත් මේ තෑග්ග නීතිය ඉදිරියේ ප්‍රශ්න කිරීමේ හැකියාවක් සමහරවිට නොතිබිය හැකිය. එහෙත්, මහ බැංකුව යනු රාජ්‍ය ආයතනයකි. එනම්, මහජනතාවට වගවීමට බැඳී ඇති ආයතනයකි. තමන් ආණ්ඩුවෙන් ‘ස්වාධීන’ ආයතනයක් වූ පමණින්, මහජනතාව කෙරෙහි බැඳී ඇති නෛතික සහ සදාචාරමය බැඳීමෙන් මහ බැංකුව කිසි සේත් නිදහස් වන්නේ නැත. ස්වාධීන වීම පවා මේ මොහොතේ පාවිච්චියට ගැනෙන්නේ, ඊනියා ‘විශේෂඥ’ භාවයක නාමයෙන්, ප්‍රභූ ආකාරයකින් තමන්ගේ මඩි තර කරගැනීමට නම්, එය ගර්හා කටයුතු ය.

වැටුප් වැඩි වීම් මහ බැංකු සේවකයන්ට නොදිය යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. අනිත් සෑම සේවකයෙකුට සේම ඔවුන්ටත්, පවතින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීම සඳහා වැටුප් වැඩි වීම් ලබා දිය යුතුය. එහෙත්, ඒ වැඩිවීම්වල යුක්තිසහගත මිම්මක් තිබිය යුතුය. මේ මිම්ම ගණනය කළ යුත්තේ, මහ බැංකු අධිපතිවරයා කියන විදිහට, පෞද්ගලික බැංකු සේවයේ සුපිරි නිලධාරීන්ගේ වැටුප් සමග සැසඳීමෙන් නොවේ. පෞද්ගලික බැංකු, ලාභය අරමුණු කරන අතරේම පාඩුව පිළිබඳව වගකීම දැරීමටත් උරදෙයි. මහ බැංකු අධිපතිවරයාගේ සිට එම ආයතනයේ කිසි ඉහළ කළමණාකාරීත්වයක් මත එවැනි බරක් පැටවෙන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මේ වන විට වැරදිකරුවන් වී සිටින හිටපු මහ බැංකු ලොක්කන්ට පවා කිසි දඬුවමක්/දඩයක් පැනවී නැත.

ගෝඨාභය රාජපක්ෂගේ ‘මූල්‍ය අත්හදාබැලීමේ’ අපූරු න්‍යාය සැපයුණේ මහ බැංකුවෙන් බව අමතක නොකරන්න. වර්තමාන නියෝජ්‍ය අධිපතිවරු එදත් ඔය මහ බැංකුවේ ඉහළ පුටුවල සිටියාට සැක නැත. හරි නම්, මහ බැංකුවේ මොනයම් හෝ වැටුප් වැඩි වීමක් ගැන සලකා බැලිය යුතුව ඇත්තේ, රටේ සියලු සෙසු ක්ෂේත්‍රවල වැටුප් වැඩි වීමක් දියත් කිරීමෙන් අනතුරුව පමණි. ඊට හේතු දෙකකි. බරපතළ වැටුප් වැඩි වීමක් සමස්ත රටට ඉල්ලා සිටීමට තරම්, මූල්‍ය අව-පාලනයේ කර්තෘකයා මහ බැංකුව වීම ඉන් එකකි. දෙවැනුව, රජයේ සාමාන්‍ය ලිපිකරුවෙකුගේ වැටුප තවමත් රුපියල් ලක්ෂයකට අඩු අගයක් ගන්නා අතර මහ බැංකුවේ ලිපිකරුවෙකු දැනටත් ලක්ෂ තුනහමාරකටත් වැඩි වැටුපකට හිමිකම් කියන බැවිනි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda