iMage: VIKALPA file
2024 වසරේ අප්‍රේල් 21 වන දිනට, 2019 වසරේ ශ්‍රී ලංකාවේ මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 5ක් සනිටුහන් කරයි. කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන දෙකක්, නැගෙනහිර පළාතේ සියොන් පල්ලිය සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් සහ තවත් ස්ථාන දෙකක් ප්‍රහාරය සඳහා ඉලක්ක විය. විදේශිකයන් 40ක් පමණ සහ ළමුන් 45ක් ඇතුළුව පුද්ගලයන් 315ක් පමණ ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වන අතර, එය ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමයේ සිදු වූ විශාලතම සමූල ඝාතනය බවට පත්ව ඇත. හානියට පත් දේවස්ථාන සහ හෝටල් ඉක්මණින් නැවත ගොඩනැගූවද දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට සහ වින්දිතයින්ගේ පවුල්වලට තවමත් වෛද්‍ය, චිත්තවේගී සහය සහ මූල්‍යමය ආධාර අවශ්‍ය වේ. ඔවුන්ගේ කඳුළු, ශෝකය සහ වේදනාව තුළින් පිළිඹිබු වන්නේ ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අමාරු තත්වයක පවතින බවයි.
ප්‍රහාරයන් සිදු කරන ලද්දේ ඉස්ලාමීය සටන්කාමීන් විසිනි. ප්‍රහාරයෙන් පසු අඩුම තරමින් එක් මුස්ලිම් වැසියෙක් හෝ ඝාතනය කළ බවට වාර්තා වී ඇති අතර බොහෝ මුස්ලිම් වෙළඳසැල් සහ නිවාස වලට ප්‍රහාර එල්ලවී, හානිවීම් සහ විනාශ වීම්වලට ලක්විය. ප්‍රහාරයෙන් පසුව, මුස්ලිම් වැසියන් බොහෝ දෙනෙක්ව මාස සහ වසර ගණනාවක් අසාධාරණ ලෙස රඳවා තබා ගත් අතර ඒ අතර දරුවන් සිටින කාන්තාවන් ද විය. ප්‍රහාරයන්ට වගකිව යුතු මුස්ලිම්වරුන් පිළිබඳ දැඩි විවේචන එල්ල කරමින් සහ දිවි ගලවා ගත් අය සහ වින්දිතයින්ගේ පවුල් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් කවි ලියන ලද, තරුණ මුස්ලිම් කවියෙකු සහ ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම, ජාතික සහ ජාත්‍යන්තර අවධානයට ලක් වූ එක් සිද්ධියකි. පාස්කු ප්‍රහාරය ප්‍රසිද්ධියේ හෙළා දකින ලද මුස්ලිම් නීතීඥ සහ සමාජ ක්‍රියාකාරී හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමද එවැන්නකි. තමන් ජීවත්ව සිටි රටවල තාඩන පීඩන හේතුවෙන් පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිට තාවකාලික රැකවරණ පතා ලංකාවට පැමිණි සරණාගතයින් මුස්ලිම්වරුන් සේ සැලකූ අතර ප්‍රහාරවලින් දින කිහිපයකට පසු ඔවුන්ව නිවාසවලින් ඉවත් කර, නැවත අවතැන් කර ලදි. පාස්කු ප්‍රහාරයන් සඳහා වන යුක්තිය ඉෂ්ඨ කර ගැනීමේදී මොවුන්ට සහ පාස්කු ප්‍රහාරයෙන් අමතක වූ සහ බොහෝ විට නොසලකා හරින ලද වින්දිතයන් සඳහාද යුක්තිය ඉටුවිය යුතුය.
විමර්ශකයින්, නඩු පවරන්නන් සහ අධිකරණය ඇතුළු ශ්‍රී ලංකාවේ අපරාධ යුක්තිය පසිඳලීමේ පද්ධතිය, වසර පහක් පුරාවට ප්‍රහාරවලට වගකිවයුත්තන් සොයා දඩුවම් කිරීමට අපොහොසත් වී ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා විත්ති පාර්ශ්වයෙන් සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන්ට එරෙහිව පවරා තිබූ නඩුවලින් නිදොස් කොට නිදහස් කෙරුණි. නීතිපතිවරයා විසින් පවරා ඇති අනෙකුත් අපරාධ නඩු තවමත් විභාගවෙමින් පවතී. ප්‍රහාර වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගකිව යුතු බවට පුරවැසියන් කිහිප දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩු විභාගයෙන් පසුව, ඔවුන්ට වන්දි ගෙවීමට නියෝග කරන ලදී. වධහිංසාවන්ට ලක් වූ වින්දිතයින් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර ලබාදුන් මුදලට සාපේක්ෂව එම මුදල කුඩාය. කිසිම වග උත්තරකරුවකු සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග හෝ උපදෙස් දී තිබුණේ නැත. මාස පහළොවකට පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සම්පූර්ණ මුදල, තවමත් ගෙවා නැත. ජනාධිපතිවරයාගේ මුක්තිය පවසමින් තීන්දුවට පෙර, එවකට අගමැති සහ වත්මන් ජනාධිපති(අනුප්‍රාප්තික) රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට අධිකරණය තීන්දු කර තිබුණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීම ගැන රාජ්‍ය බුද්ධි සේවා (SIS) හි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණද එය මෙතෙක් සිදු වී නොමැත. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා 2022 වසරේ අප්‍රේල් මස දී ගොණු කළ පොලිස් පැමිණිල්ලට සහ 2022 වසරේ මැයි මාසයේදී පොලිස් ප්‍රධානියාට යැවූ ලිපියටද ප්‍රතිචාරයක් ලැබී නැත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් තවමත් විභාග වෙමින් පවතී. එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රහාර වැලැක්වීම සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසමක් මගින් පෙනී ගිය නමුත් ඒ ගැන ඔහු වග කියනු වෙනුවට ඔහුව පොලිස් ප්‍රධානියා ලෙස පත් කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “මහා කුමන්ත්‍රණයක්” ක්‍රියාත්මක වූ බව මූලික විමර්ශන අධීක්‍ෂණය කළ හිටපු නීතිපතිවරයා 2021 වසරේ මැයි මාසයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. 2022 වසරේ මාර්තු මාසයේදී කොළඹ කතෝලික අගරදගුරු ගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ජිනීවා හී පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමතා ප්‍රකාශ කරන ලද්දේ, පාස්කු ප්‍රහාර, මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව විමර්ශනවලින් පෙනී යන බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය සහිතව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් ඉල්ලා තිබුණි. අයිඑස්අයිඑස් (ISIS) සංවිධානයට සහය දැක්වීමේ චෝදනා මත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ ගොනු කර තිබූ නඩුවක් අත්හිටුවා ඇති අතර, මා දන්නා තරමින් පාස්කු ප්‍රහාර, යුධ සමයේදී හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවේ සිදුවූ විදේශ ජාතිකයින්ගේ විශාලම සමූල ඝාතනය වුවද වෙනත් කිසිදු රටක් අපරාධ නඩු පැවරීම ආරම්භ කර නොමැත.
සත්‍යය සහ යුක්තිය සොයායන්නන්ට විවිධ හිංසාවන්ට මුහුණ දීමට සිදුව ඇත. පසුගිය වසරේ මීගමුවේදී යුක්තිය ඉල්ලමින් පැවති විරෝධතා පාගමනක් සහ රැළියක් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන නැවැත්වීමට උත්සාහ කළ ද එය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදි. එලෙසම, පසුගිය වසරේ පාස්කු ඉරිදා දින, සත්‍ය සහ යුක්තිය ඉල්ලා බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා (ප්‍රහාරවලින් වැඩිම බලපෑමක් එල්ල වූ දේවස්ථානය) පැවති රථ පෙළපාලියකදී බැනර්, කළු කොඩි සහ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පොලිසිය විසින් තහනම් කරන ලදි. සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රකට කතෝලික පූජකවරුන් තිදෙනෙකු කොළඹ කතෝලික අගරදගුරු තුමාට එරෙහිව කුමන්ත්‍රණය කළ බවට මාධ්‍ය වාර්තාවක් විසින් බොරු චෝදනා කරන ලදි. ප්‍රසිද්ධියේ දේශපාලන කුමන්ත්‍රණ චෝදනාවක් සිදුකළ ප්‍රසිද්ධ තරුණ සමාජ ක්‍රියාකාරිකයෙක් වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියත් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරා තිබේ.
පාස්කු ප්‍රහාරයට පෙර, දෙමළ සිවිල් වැසියන් දස දහස් ගණනක් ඝාතනය කරමින් සහ තුවාල ලබමින්, නවාලි, ගුරුනගර්, අල්ලයිපිඩ්ඩි සහ පේසාලේ වැනි යුද්ධයෙන් විනාශයට පත් යාපනයේ සහ මන්නාරම කතෝලික රදගුරු පදවිවල පල්ලිවලට සන්නද්ධ හමුදාවන් ප්‍රහාර එල්ල කරන ලදි. මේවාට මෙන්ම, දස දහස් ගණනක් නීතිවිරෝධී ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් ඇතුළු දශක තුනක් පැවති යුද්ධය තුළ තවත් බොහෝ බරපතල සාපරාධී අපරාධ සඳහා අපරාධමය වගවීමක් සහ වන්දි මුදල් ඇතුළු හානි පූරණයක් සිදුන්කර නැත. එලෙස වින්දිතයන් වූ දෙමළ කතෝලික පූජකවරුන් අතර, 1985 වසරේ දී යුධ හමුදාව විසින් ඝාතනය කරන ලදැයි සළකන ගරු මේරි බැස්ටියන් පියතුමා, 2006 වසරේදී නාවික හමුදා පාලන ප්‍රදේශයකට ඇතුළු වන නාවික හමුදා මුරපොලකදී අවසන් වරට දැකීමෙන් පසු අතුරුදහන් වූ ගරු ජිම් බ්‍රවුන් පියතුමා, 2009 වසරේ යුද්ධය අවසානයේ තවත් බොහෝ දෙනෙකු සමඟ හමුදාවට භාරවී අතුරුදහන් වූ ගරු ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා යන අයද වේ. යුද සමයේ, මුස්ලිම් පල්ලි සහ බෞද්ධ සිද්ධස්ථානවලට ද LTTE) ප්‍රහාර එල්ල වී සිය ගණනක් මිය ගියහ. යුද්ධයෙන් පසු, එවැන්ජලික කිතුනුවන්, ඉස්ලාමීය සහ හින්දු ආගම්වල ජනතාව ද ශ්‍රී ලංකාව තුළ පීඩාවන්ට මුහුණ දුන් අතර ඒ සඳහා වගවීමක් දක්නට ලැබුණේ ඉතා කලාතුරකිනි. 2019 වසරේ පාස්කු ඉරිදාට පෙර ඉරිදා දින 11 තුළ, ක්‍රිස්තියානි දේවස්ථානවල මෙහෙයන්වලට බාධා එල්ල වී ඇති වී ඇති අතර දිස්ත්‍රික්ක 9 ක අවම වශයෙන් පල්ලි 13 කට වත් බලපෑම් එල්ල විය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර 2019 වසරේ කිතුනුවන්ට එරෙහිව සිද්ධීන් 35ක් සහ ආගමීක නිදහස උල්ලංඝනය කිරීම් 70ක් පමණ වාර්තා වී ඇත.
ශ්‍රී ලංකාවේ යුක්තිය පසඳලීමෙහි ලා ප්‍රධාන අභියෝග දෙකක් තිබේ. එකක් යුක්තිය වඩා පරිපූර්ණ ලෙස ලබාගැනීම සහ අනෙක, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය සඳහා වන අරගල සඳහා එක්සත් පෙරමුණක් ගොඩනැගීමයි.
යුක්තියට, සත්‍ය සෙවීම සහ සාපරාධී වගවීම යන කොටස් දෙකම ඇතුළත් විය යුතුය. මෙයට මහා මොළකරු සෙවීම ඇතුළත් විය යුතුය. අනාගතයේදී එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා මේ දෙකම ඉතා වැදගත් වේ. යුක්තිය තුළ දීර්ඝ කාලීන සහ ප්‍රමාණවත් හානිපූරණය, වන්දි ඇතුළුව මානසික හා ශාරීරික සෞඛ්‍ය සේවා, දිවි ගළවාගත් අයගේ සහ වින්දිතයන්ගේ පවුල්වල අයගේ අධ්‍යාපනය, ජීවනෝපාය යනාදී අයිතිවාසිකම් සහතික කිරීම ද ඇතුළත් විය යුතුය. රජයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව ඒ දෙකෙන්ම අසාර්ථක වී ඇත. දිවි ගලවා ගත් බොහෝ අය සහ වින්දිත පවුල් හානි පූරණය ගැන බලාපොරොත්තු සුන් වූ තත්වයක සිටියදී, ආගමික නායකයින් සහ සිවිල් සමාජය, සත්‍ය සහ අපරාධමය වගවීම වෙනුවෙන් වැඩි අවධානයක්ද හානි පූරණය ගැන අඩු අවදානයක්ද යොමු කර ඇත.
කතෝලික පල්ලිය ඇතුළු ශ්‍රී ලාංකිකයන්ට ඇති අනෙක් අභියෝගය වන්නේ, වාර්ගික, ආගමික, භූගෝලීය සහ වෙනත් බෙදීම්වලින් ඔබ්බට ගොස් දිවි ගලවා ගත් සියලුම දෙනාට සහ වින්දිතයන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට අත්වැල් බැඳ ගැනීමයි. දෙමළ අය බොහෝ දුරට අවධානය යොමු කර ඇත්තේ යුද සමයේ සිදු වූ ම්ලේච්ඡ කෲර ක්‍රියා කෙරෙහි වන අතර සිංහල අය බොහෝ දුරට අවධානය යොමු කළේ පාස්කු දින ප්‍රහාරය, ආර්ථික අපරාධ සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි ය. 2012 වසරේ දී පමණ එවකට මන්නාරම කතෝලික රදගුරුතුමා සහ දෙමළ කතෝලික පූජකවරු ඇතුළු පිරිසක් දස දහස් ගණනක ඝාතන, අතුරුදන් කිරීම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම ඉල්ලා සිටි අවස්ථාවක, කාදිනල් රංජිත් හිමිපාණන් ජාත්‍යන්තර මැදිහත්වීම්වලට විරුද්ධ වූයේ “එවැනි උත්සාහයන් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ බුද්ධියට කරන අපහාසයක්.” යනුවෙන් ප්‍රකාශ කරමින්. නමුත් පසුගිය වසර දෙක තුළ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම ඉල්ලා කාදිනල්තුමා ඉදිරියෙන්ම සිටියේය.
ශ්‍රී ලංකාවේ දූෂිත, ඒකාධිපති සහ ජාතිවාදී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කිරීමට දැවැන්ත ජනතා විරෝධතා සමත්විය. මේ වන විට, පාස්කු දින ප්‍රහාරයට පසු අවුරුදු 5ක්, යුද්ධය අවසන් වී වසර 15ක් සහ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවෙන් වසර 2ක් පසුවී ඇත. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ මේ වසරේ සහ ලබන වසරේ පැවැත්වීමට නියමිත අතර, බොහෝ කල් ප්‍රමාද වූ පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ද ළඟදීම පැවැත්විය හැකිය. මෙම වසර අගදී ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණාත්මක සැසිවාරයේ, සාක්ෂි රැස් කිරීම සම්බන්ධයෙන් 2021 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය අලුත් කිරීම සලකා බලනු ඇත. යුක්තිය සඳහා වඩාත් ශක්තිමත් සහ එක්සත් අරගල ඇති කිරීමට දැන් කාලය එළඹ තිබේ.
රුකී ප්‍රනාන්දු | Ruki Fernando