iMage: Portugal carnation revolution

වසර හතළිස් අටක් තිස්සේ පෘතුගාලයේ පැවතුණු ෆැසිස්ට් ඒකාධිපති රාජ්‍යය පෙරලා දැමූ කානේෂන් මල් විප්ලවය සිදුවී මේ මස 25 දාට අවුරුදු 50 සපිරෙයි. පෘතුගාලය සියවස් ගණනාවක්ම යටත් විජිත හිමි අධිරාජ්‍යවාදී රටක් විය. ලංකාව මුලින්ම බටහිර යටත් විජිතයක් බවට පත්කරන ලද්දේ ද පෘතුගීසින් විසින් බව අපි දනිමු. ඔවුන්ගේ විජිතවාදී පාලනය තුළ ලද සංස්කෘතික අංගයන් අපේ ජන ජීවිතයේ අංගයන් බවට පත්ව ඇත. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් අමෙරිකාවේ රටවල් ගණනාවක්ම පෘතුගීසි යටත් විජිත බවට පත් විය.

මෙසේ අධිරාජ්‍යවාදී බලවතකු ලෙස පැවති පෘතුගාලය 1926 දී හමුදා කුමන්ත්‍රණයක් තුලින් ඒකාධිපති හමුදා රාජ්‍යයක් බවට පෙරලුණි.

පෘතුගාලය රිපබ්ලික් ජනරජයක් ඇති රාජ්‍යයක් බවට පත් වන්නේ 1910 ඔක්තෝබර් මාසයේ දීය. නමුත් අර්බුද මැද ගතවන පෘතුගීසි ජනරජයට වැඩි ආයුෂ නොතිබුණි. 1926 ජුනි මස 06 වැනි දින ජනරාල් කොස්තා (Gomes da Costa) සහ ජනරාල් ඩි කර්මොනා (António Óscar de Fragoso Carmona) සිය හමුදා ලිස්බන් නගරයට මෙහෙයවමින් රජය හමුදා අතට ගත්තේය. 1926 ජූලි මස 9 දින අගමැතිකම සහ ජනාධිපතිකම අතට ගත් ජනරාල් කර්මෝනා සියලු බලය තම අතටගත් ඒකාධිපති‍ ආණ්ඩුවක් පිහිට වූයේය.

මෙසේ පෘතුගීසි ජනරජය ඉතා කෙටි ආයු වළඳා ජනතා ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයා ඉවත්කර ඒකාධිපති රජයක් බවට පත් විය.

එම ඒකාධිපති රජයේ මුදල් ඇමති ලෙස කතෝලික ගතානුගතිකවාදී ඇන්ටෝනිඕ ඩි ඔලිවේරියා සල්සාර් António de Oliveira Salazar පත් විය. ආරම්භයේ සිටම වෘත්තිය සමිති වෘත්තීය සටන් මර්දනය කළ සලාසාර් තමාගේ ඒකාධිපති ක්‍රියාදාමයන් ආරම්භ කළේය.

1932 වන විට ජෙනරාල් කාර්මෝනා විසින් ඔහුගේ රජයේ ‍අග්‍රාමාත්‍යවරයා ලෙස සලාසාර් පත් කර ගත්තේය.

මෙයින් පසු පෘතුගාලයේ ඇරඹෙන්නේ සලාසාරිස්මුස් ලෙස හැඳින්වෙන දේශපාලන යුගයයි. සලාසාර්ගේ දේශපාලනය සම්පූර්ණයෙන් ෆැසිස්ට් යැයි නොකියවුනා වුවත් එහි මූලික පදනම වැටී තිබුණේ ආගමික ෆැසිස්ට්වාදය මතයි. එමෙන්ම ගතානුගතික පසුගාමී ඒකාධිපති රාජ්‍යයක් ලෙස පෘතුගාලය පවත්වා ගැනීමටයි. සලාසාර් තම ඒකාධිපති ෆැසිස්ට්වාදී රාජ්‍ය ගොඩනැගීම අරඹන්නේ ජර්මනියේ හිට්ලර්ගේ නට්සි රාජ්‍ය අනුකරණය කරමිනි. 1936 දී ඔහු තම රහස් පොලිසිය PIDE ගොඩනඟන්නේ හිට්ලර්ගේ ගෙස්ටාපෝ Gestapo අනුකරණය කරමිනි. එමෙන්ම හිට්ලර් තරුණයෝ (Hitler Jugend) අනුකරණය කරමින් mocidade Portuguesa නමින් තරුණ සංවිධානයක් ගොඩනඟන ලදී. ඔහුගේ පාලන කාලය අවසාන වන විට පෘතුගාලය බටහිර යුරෝපයේ තිබූ දුප්පතුන්ගේ නිවස ලෙස හැඳින්වෙන මට්ටමකට පහත වැටී තිබුණි. රැකියා විරහිතභාවය, සාක්ෂරතාවය නැතිකම, ළදරු මරණ අනුපාතිකය ආදී ඉහළ ගිය විපත්තිකර තත්ත්වයක් ඔහුගේ කාලය තුල ඇති විය. එමෙන්ම හමුදා සඳහා වැය කළ විශාල මුදල් ජනයාට ඉසිලිය නොහැකි බරක් බවට විය. හිරගෙවල් පිරුනේ දේසපාලන විරුද්ධ මත දැරූ අයගෙනි. ඒ කාලය තුළ රටෙහි ජනතාව විදෙස් ගතවීම ඇරඹුණු අතර නීතියෙන් එය තහනම් කරන ලදී. රටෙහි සියළුම ධනය පවුල් තිහකට ගොනු විය. ජනයා ඛේදජනක තත්ත්වයකට ඇද වැටුණි. 1970 ඔහුගේ මරණය දක්වාම ඔහුගේ ඒකාධිපති පාලනය පෘතුගාල මත බල පැවැත්වුණි.

පෘතුගාලය වසර පන්සියයක පමණ සිට යටත් විජිත හිමි අධිපති රටක් විය. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ එරටට අයත් යටත් විජිත පැවතුණි. විසිවන සියවසේ මැද වන විට ලෝකයේ බොහෝ යටත් විජිත රටවල් අධිරාජ්‍ය විරෝධී, යටත්විජිත විරෝධී දේශපාලනයක් තුළින් නිදහස ලබමින් පැවතුණ තත්වය යටතේ පවා පෘතුගාලය තම යටත් විජිත නිදහස් කිරීමට සිහිනෙකින්වත් නොසිතුවේය. ඒ පෘතුගාලය ඒකාධිපති රටක්ව පැවතුන හෙයිනි.

නමුත් 1960 ගණන් වන විට අප්‍රිකාවේ පැවැති පෘතුගීසි යටත් විජිතයන්හි නිදහස් අරගල ආරම්භ වෙමින් පැවතුණි.

විශේෂයෙන්ම අප්‍රිකානු-පෘතුගීසි යටත් විජිත වූ වූ ගිණි බිසව්, කේප් වර්ඩ්, ඇන්ගෝලාව, මොසැම්බික් ආදි රටවල පෘතුගීසි ආධිපත්‍යයට එරෙහිව නිදහස් සටන් ඇරඹිණි. මෙම නිදහස් අරගල වලට එරෙහිව පෘතුගීසි ඒකාධිපති රාජ්‍ය කියා නිම කළ නොහැකි කෲර මර්ධනයක් දියත් කළේය.

විශේෂයෙන්ම ගිනි බිසව් රට තුළ අමිල්කා කබ්රාලගේ (Amilcar Cabral) නායකත්වයෙන් සිදු වෙමින් තිබූ නිදහස් සටන මර්ධනය කිරීම සඳහා පෘතුගීසි ඒකාධිපති රාජ්‍ය විසින් විශාල හමුදාවක් ස්ථානගත කර ඉතාම කෲර යුද්ධයක් මුදා හරින ලදී. විමුක්ති හමුදා මර්දනය සඳහා නාපාම් බෝම්බ පවා හෙලමින් කෲර මිනිස් ඝාතන සිදු කළේය. දෙපාර්ශවයටම විශාල පාඩු සිදු වූ යුද්ධයෙහි සිදුවන මිනිස් ඝාතන සහ විජිතවාදී යුද්ධයේ කෲරත්වය තුළින් පෘතුගීසි හමුදාවන්හි පහළ පෙළ නිලධාරීන් මෙන්ම සොල්දාදුවන්ද විශාල වශයෙන්ම කලකිරීමකට පත් වීම ඇරඹුණි. මෙම විජිතමය පවත්වා ගැනීමේ කෲර යුද්ධයෙහි ඇති අසාධාරණ බව අත්දුටු පෘතුගීසි පහල සහ මධ්‍යම හමුදා නිලධාරීන් ක්‍රමයෙන් ස්වකීය පෘතුගීසි යටත් විජිත වලට සහ සිය රටෙහි ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව මතවාදීව එක් රැස්වන්නට පටන් ගත්තේය. මෙම අතෘප්තියෙන් පෙළෙන නිලධාරීන් අතර ප්‍රධාන තැනක් හිමිවූයේ කැප්ටන් සල්ගුවේරෝ මයියා ටය. (Capitan Salgueiro Maia ) මෙම පෘතුගීසි හමුදා නිලධරයන්ට තම යුද්ධයේ අසාධාරණ බව වටහාගැනීමට අමිල්කා කබ්රාල්ගේ ලිපි සහ දේශන ඉවහල් වූ බව කියවේ.

මෙම නිලධාරීන් සහ හමුදා කාණ්ඩ ඇතුළත පැවති ෆැසිස්ට්වාදී රාජ්‍යයට එරෙහිව අදහස් උදහස් සහ බලවේගයන් ගොඩනැගෙන්නේ කැප්ටන් මයියා ඇතුළු විජිතවාදී යුද්ධය අත්විඳි නිලධාරීන් තුලිනි. මධ්‍යම සහ පහළ හමුදා නිලධාරීන් අතර ෆැසිස්ට්වාදී ඒකාධිපති රාජ්‍යයට එරෙහිව රහසිගතව හමුදා කාණ්ඩ පෙළ ගස්වන්නේ කැප්ටන් මයියාගේ මෙහෙයවීමෙනි.

1974 අප්‍රේල් 24 වන දින රාත්‍රි දොළහ පසු වී විනාඩි ගණනකින් තහනම් කර තිබූ ගීතයක් ගුවන් විදුලියහි ප්‍රචාරය කරනු ලැබීමෙන් සෑම හමුදා කාණ්ඩයකටම මෙම පණිවිඩය යන ආකාරයට ඔවුන් එය සැලසුම් කර තිබිණ. සැලසුම් කළ ආකාරයටම රාත්‍රී දොළහ පසු වී මිනිත්තු ගණනාවකදී ගුවන් විදුලියෙන් ගීතය ගායනා වූ අතර අප්‍රේල් 25 වනදින පාන්දර විවිධ පැති වලින් හමුදා කාණ්ඩ ලිස්බන් නගරය වෙත ගමන් කිරීම ආරම්භ විය.

වසර දෙකක් තිස්සේ සංවිධානය කල එම නැගිටීමට පහල නිලධාරීන් සහ භටයින් 5000 ක් අයත් වූ අතර Grandola (https://www.youtube.com/watch?v=tv_Tb1TutvU) නම් තහනම් ගීතයේ පණිවිඩය අනුව Movimento das Forcas Armadas සංවිධානයේ මෙහෙය වීමෙන් ලිස්බන් නගරයේ ඒකාධිපති නායකයා සිටින කඳවුර ඇතුළු ප්‍රධාන තැන් ගණනාවක් අල්ලා ගැනීමට සැලසුම් කර තිබුණි.

අප්‍රේල් 25 දින උදේ පාන්දර වැඩට එන මිනිසුන් සිවිල් ජනයා සහ දේශපාලන වශයෙන් සංවිධානාත්මක සිවිල් ජන කණ්ඩායම් උදේ ඇතිවන තත්ත්වයත් සමඟ වීදි අරක් ගත්හ. ඒ අතර හමුදා කණ්ඩායම් වලින් සහ යුද ටැංකිවලින් නගරය වැසී ගියේය. සිදුවන්න යන්නේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට සැක සහිතව තිබුණි. ඒකාධිපතියාගේ පීඩේ PIDE මධ්‍යස්ථානයට හිතවත් හමුදා කණ්ඩායම් එයට රැකවරණය දෙමින් තිබූ අතර එය වට කරමින් හමුදා කණ්ඩායම් සමග සිවිල් ජනයා විශාල වශයෙන් රොක් ව සිටියහ.

උදෑසන වැඩට යමින් සිටි ආපනශාලා සේවිකාවක් බියෙන හමුදා කාණ්ඩ අතරින් ගමන් කරමින් සිටින විට යුද ටැංකියක් උඩ වාඩි වී සිටි හමුදා භටයෙක් වචනයෙන් නොව හස්ත සලකුණු වලින් සිගරට් එකක් ඇගෙන් ඉල්ලීය. සිගරට් නොබන ඇය අතේ තිබුණේ ආපන ශාලාවට ගෙන යාමට රැගත් රතු කානිෂන් මල් මිටියකි. ඇය නිකමට අර සොල්දාදුවාට කානේශන් මලක් දික් කළේය. ඇයගේ පුදුමයට මෙන් එය අතට ගත් සොල්දාදුවා තමාගේ කරෙහි එල්ලාගෙන සිටි තුවක්කුවේ කානුවට එය ගසා ගත්තේය.

මෙය දුටු තැන් තැන්වල සිටි ජනයා විශේෂයෙන්ම ස්ත්‍රීන් කානේශන් මල් රැගෙන පාරට පැමිණ සොල්දාදුවනට මල් ප්‍රදානය කිරීම ඇරඹීය. සෑම සොල්දාදුවෙක්ම තම තුවක්කු කාණුවල කානේෂන් මල් ගසා ගත්හ. එනිසාම එයට කානේෂන් විප්ලවය යන නම පටබැඳිණ.

උදෑසන පාන්දර සිට හවස හතහමාර වනතුරු සිදු වූ සාකච්ඡා මාලා අවසානයේදී විප්ලවවාදී හමුදා කණ්ඩායම් සමග එකඟතාවයකට පැමිණි රජයේ හමුදා ජනරාල්වරු සහ රාජ්‍ය නායකයා යුද ටැංකියක සැඟවී පිටුවහලට ගෙන යන ලදී. එමගින් ලේ නොහැලෙන විප්ලවයක් තුළින් ෆැසිස්ට්වාදී රාජ්‍යයක් පෙරලා වසර හතළිස් අටකට පසු ‍ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වෙත පෘතුගාලය ගමන් කළේය. අද දක්වාම පෘතුගාලයේ පවතින්නේ එදා ඒ ලේ නොහලන විප්ලවයකින් හමුදා ඇතුලු සිවිල් ජනයා විසින් ෆැසිස්ට් රාජ්‍ය ය පෙරලා දමා ගොඩනැගූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි.

රංජිත් හේනායකආරච්චි | Ranjith Henayaka Arachchi
23. 04. 2024