Colombo, Featured Articles, Features

LLRC යට, කිලිනොච්චි-මුලතිව් වැසියන් කිව්වේ මොනවාද? ‘සිංහල පත්තර’ ඒ ගැන වාර්තා කළේ මොනවාද?


Pic; by Sunday Leader
‛‛උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC)’’ යනු කුමක්ද යන්න දේශපාලනිකව සබුද්ධික ජනතාව මේ වන විට හොදාකාරවම දනී. මෙම කොමිසම පිළිබඳව අටුවා ටීකා කීමට මෙහිදී අදහස් නොකරමි. මේ වන විට මෙම කොමිසම ඉදිරියේ සාක්‍ෂි ලබා දුන් දේශපාලනික, ආගමික හා සමාජයීය කොටස් බොහෝ ය. ඒ අතරින් ගෝඨාභය රාජපක්‍ෂ, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති මහින්ද බාලසූරිය, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, මහාචාර්ය රජීව් විජේසිංහ සහ කිලිනොච්චිය-මුලතිව් වැසියන් යන පිරිස් ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකි වෙයි.

ඉහත සඳහන් පාර්ෂව මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්‍ෂි මොනවාද යන්න පිළිබඳව සිංහල පාඨකයින් දන්නෙහි ද? පිළිතුර වන්නේ එක් කොටසක් හැර අනිත් කොටස ලබාදුන් සාක්‍ෂි පිළිබඳව දන්නවා යන්න ය.

ඒ අනුව රජය සහ හමුදාව විවේචනය නොකරන, යුද්ධයේදි සිදු වූ ඇතැම් අකටයුතුකම් පිළිබඳව කිසිදු සඳහනක් නොකරන, රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමය තුළ සිදු වූයේ යැයි කියන විවිධ අක්‍රමිකතා පෙන්වා දෙන, එල්.ටී.ටී.ඊ. සංවිධානය විවේචනය කරන සහ ජාත්‍යන්තර සංවිධානවල මෙරටේ ක්‍රියාකාරීත්වය නිසා එල්.ටී.ටී.ඊ සංවිධානය ශක්තිමත්වීම වැනි කරුණු කාරණා සාක්‍ෂි ලෙස ලබා දෙන සාක්‍ෂි කරුවන්ගේ ප්‍රකාශයන් සහිත ප්‍රවෘත්ති පමණක් සිංහල පුවත්පත් වඩාත් උනන්දුවකින් වාර්තාකර තිබූ බව පෙනී යයි. මෙම පාර්ෂවයන් කොමිසමට ලබාදෙන සාක්‍ෂි පිළිබඳව වැඩි ඉඩ ප්‍රමාණයක් යොදා ගනිමින් ඇතැම් විට ලබාදුන් සමස්ථ සාක්‍ෂීයම වාර්තාකරණ අවස්ථා අපට දැකගත හැකි වේ. උදාහරණ ලෙස 2010 අගෝස්තු 17 වැනි දින ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් සාක්‍ෂි සහ 2010 සැප්තැම්බර් 24 වැනි දින මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිගේ ලාබාදුන් සාක්‍ෂි වාර්තාකිරීම පෙන්වාදිය හැකි වේ. අගෝස්තු 18 වැනි දින දිනපතා ලක්බිම පුවත්පත ‛‛උතුරේ ප්‍රදේශ ආරක්‍ෂිත බවට සරණාගත කවුන්සලය සහතික කිරීමේ ප්‍රමාදය නිසා නැවත පදිංචි කරවීම කල්ගියා: ලැබූ අත්දැකිම් තුළින් ප්‍රතිසංවිධානය කොමිසමට ආරක්‍ෂක ලේකම් කියයි’’ යනුවෙන් මේ පිළිබඳ ප්‍රවෘත්තියක් වාර්තාකර ඇත. එමෙන්ම බෙල්ලන්විල අනුනාහිමියන්ගේ සාක්‍ෂි පිළිබඳව දිනමිණ හා ලංකාදීප පුවත්පත් වැඩි ඉඩ ප්‍රමාණයක් ලබාදෙමින් ප්‍රවෘත්ති දෙකක් වාර්තාකර ඇත. දිනමිණ පුවත්පත ඒ සඳහා සැප්තැම්බර් 28 වැනි දින 11 වැනි පිටුවේ වැඩි ඉඩක් වෙන්කර ඇත. එය පිටු තුන්කාලක් පමණ වේ. ලංකාදීප පුවත්පත ද මෙදිනම 9 වැනි පිටුවේ වැඩි ඉඩක් වෙන්කර ඇත. එය පිටු කාලක් පමණ වේ.

මා සඳහන් කර ඇති පළමු සිංහල පාර්ෂවය කොමිසම ඉදිරියේ ‛‛කුමක්ද ප්‍රකාශ කළේ?’’ යන්න පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව වාර්තාකර තිබීම සුවිශේෂි ලක්‍ෂණයකි.

නමුත්, මා සඳහන් කරන දෙවන පාර්ෂවය වන කිලිනොච්චි-මුලතිව් වැසියන් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ කුමක්ද? යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ සිංහල පුවත්පත් මිලදීගෙන කියවන පාඨකයින් තවමත් දන්නේ නැති බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන්ම සඳහන් කළ හැකි කරුණක් වේ (වෙබ් අඩවි පරිශීලනය කරන සුළුතර ප්‍රමාණයක් දන්නවා විය හැකි ය).

මෙම කොමිසම සැත්තැම්බර් 18 වැනි දින කිලිනොච්චියේ, කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ සැත්තැම්බර් 20 වැනි දින මුලතිව් ප්‍රාදේශීය කාර්යාලයේදී රැස් වූ සිවිල් වැසියන් රාශියක් (200කට වැඩි ප්‍රමාණයක්) මෙහිදී කොමිසමට සාක්‍ෂි ලබාදුන් බව දෙමළ ජනමාධ්‍ය වාර්තාකර තිබිණි. ප්‍රධාන ධාරාවේ දිනපතා පලවන ජාතික පුවත්පත් වන දිනමිණ, ලංකාදීප, දිවයින සහ ලක්බිම යන පුවත්පත් මෙම ප්‍රවෘත්තිය වාර්තාකර තිබෙන අයුරු නිරීක්‍ෂණය කිරීමේදී එය පැහැදිලිව දක්නට ඇත. 2010 සැත්තැම්බර් 21, 22, 23 යන දිනයන්හිදී මේ පිළිබඳ පුවත පමණක් (ලබා දී තිබූ සාක්‍ෂි වාර්තා නොවේ) වාර්තාකර ඇත්තේ ලංකාදී හා ලක්බිම පුවත්පත පමණි. මෙමගින් සාක්‍ෂි කරුවන් කුමක් ප්‍රකාශ කළේ ද? යන්න පිළිබඳව වාර්තාකර නොමැති අතර ‛‛මෙම ප්‍රදේශවල ජනතාව කොමිසමට සාක්‍ෂි ලබා දුන්නාය’’ යන ප්‍රවෘත්තිය පමණක් සඳහන් කරයි. මෙම වාර්තාකරණය සඳහා ඉතාමත්ම කුඩා ඉඩ ප්‍රමාණයක් මෙම පුවත්පත් වෙනකර තිබිණි. ඒ බව පහත දැක්වෙන ස්කෑන් කොපි තුළින් මනාව වටහා ගත හැකි වේ.

දිනපතා ලක්බිම (2010 සැත්තැම්බර් 21, පි. 1)

දිනපතා ලංකාදීප (2010 සැත්තැම්බර් 21, පි. 6)

දිනපතා ලක්බිම (2010 සැත්තැම්බර් 22, පි. 12)

අප පුවත්පතක් මිලදී ගනු ලබන්නේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික යනාදී ක්‍ෂේත්‍ර පිළිබඳව නිවැරදි තොරතුරු සමුදායක් කියවා දැන ගැනීම සඳහාය. ඉහත ක්‍ෂේත්‍රයන් තුළ වැදගත්විය හැකි සහ ජාතික තලයේ වැදගත්කමක් ඇති කුමන හෝ තොරතුරක් වාර්තාකිරීම ජනමාධ්‍ය සතු වගකීමකි. එම සමාජමය වගකීම්සහගත බවින් මිදීමට ජනමාධ්‍යට නොහැකි වන අතර ඔවුන් විවිධ ආචාර ධර්ම පද්ධතීන්ගෙන්ද බැඳී සිටිති.

නමුත් මෙම ප්‍රවෘත්තිය වාර්තා කිරීමේදී ජාතික පුවත්පත් කිසියම් වාරණයකට ලක් වී ඇති බව පෙන්නුම් කෙරේ (ස්වයං වාරණයකට හෝ). උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමට සාක්‍ෂි ලබාදෙන සිංහල උගතුන්, දේශපාලඥයින්, ආගමික නායකයින් ඇතුළු පිරිස ප්‍රකාශ කරණ සාක්‍ෂි පිළිබඳව පිටු පුරවන ජාතික පුවත්පත් දෙමළ ජාතිකයින් ලබාදෙන සාක්‍ෂි පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උත්සුක වන්නේ නැත.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිගේ සාක්‍ෂි වලින් පිටු තුන්කාලක්ම පුරවන දිනමිණ පුවත්පත 200කට අධික දෙමළ ජනතාවක් ලබාදි තිබූ සාක්‍ෂි වාර්තා නොකරයි.

දෙමළ ජනතාවගේ සාක්‍ෂි පිළිබඳව ලංකාදීප හා ලක්බිම පුවත්පත් ද ඉතාමත්ම පටු වාර්තා ඉදිරිපත් කරයි. මෙම වාර්තාවල දෙමළ ජනතාව ලබාදුන් කිසිදු සාක්‍ෂියක් වාර්තා නොවේ.

සංස්කාරක සටහන
මෙම මාධ්‍ය ප්‍රවණතාවය ඉදිරියට ගියහොත් දකුණේ මාධ්‍ය(විශේෂයෙන් මුද්‍රත මාධ්‍ය) පිලිබදව පසුගිය කාලයේදී උතුරේ ජනයා තුළ තිබූ අවිශ්වාසය සහ සැකය තව දුරටත් වර්ධනය වනවාට කිසිදු සැකයක් නැත. එසේම මෙය එක් පසෙකින් යුද්ධයෙන් පසු ජාතීන් අතර සහජීවනය, එකිනෙකා තෙරුම්ගැනීම සහ සමාධානය අැතිකිරීම වැනි අත්‍යවශ්‍ය කරුණු කෙරෙහි සෘණාත්මක(-) සාධක ලෙස ප්‍රබලව බලපානු ඇත.