‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල් හි දී සිහිකරන ලද්දේ ඊයේ එනම් මැයි 18 වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ, තරුණියන් දහස් ගණනක් සිය සමීපතමියින්ට පහන් දැල්වූයේ කඳුලු පිරි දෑස් අහසට යොමා ගෙනය. නමුත්, ඔවුන් ඉල්ලා සිටියේ එක් දෙයක් පමණි.
මරා දැමූ, අතුරුදහන්කළ, පැහැරගත්, හමුදාවට බාර කළ තමන්ගේ සමීපතමයින් ගැන සත්‍ය දැනගැනීමට අවශ්‍ය බවය. යුක්තිය ඉටු විය යුතුම බවය.
දැන් යුද්ධය නිළ වශයෙන් අවසානය යැයි කියා 2024 මැයි මසට වසර 15කි. ඒ සංහාරයේ කිසිදු අපරාධයකට හෝ දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්ණයට පිළිගත හැකි ‘යුක්ති සහගත’ විසදුමක් ලබා දීමට, පසුගිය වසර 15 තුළ ලංකාවේ කිසිදු පාලනයක් අසමත් ව තිබේ. ඒ වෙනුවට යුද්ධයෙන් මිය ගිය සියලු මිනිසුන් සිහි කරමිනි කැද(මුල්ලිවෛක්කාල් කණ්ජි) බෙදා ගනිමින් සිය සමීපතමයින් සිහිපත්කළ මිනිසුන් අත්අඩංගුවට ගනිමින් වික්‍රමසිංහ ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය ලොවටම පෙන්වූයේ ය. නමුත් එම අනීතික අඩංගුවට ගැනීම්වලට දසතින් නැගී ආ විරෝධය හමුවේ එම අනීතික ක්‍රියාවන් ආපසු හරවා ගැනීමට වික්‍රමසිංහ ආණ්ඩුවට සිදුවිය. වසර 15කට පසුත්, සත්‍ය සහ යුක්තිය කෙසේ වෙතත්, සිය සමීපතමයින් සිහි කිරීමට පවා ශ්‍රී ලංකා ආණ්ඩුව බාධා කිරීමෙන්ම ආණ්ඩුවේ සහජීවන කයිවාරුවේ තරම ඕනෑම කෙනෙක්ට තේරුම්ගැනීමට අපහසු නැත. මේ සියලු මර්දන, තර්ජන, පීඩනයන් මධ්‍යයේ වුවද දහස් ගණනක් මිනිසුන් (ඊයේ)මැයි 18 වනදා සිය ආදරණියන්ගේ මතකය ද සමග මුල්ලිවෛක්කාල් ‘ඝාතක භූමියට’ පැමිණියේ ය. ඒ සෑම විඩාබර වසරක මෙන්ම සත්‍ය සහ යුක්තියේ බලාපොරොත්තු සහිතවය.
මැයි 18 වනදා, මුල්ලිවෛක්කාල් ඝාතක භූමියට පැමිණි දහස් ගණනක් මිනිසුන් පහන් දල්වා සිය ආදරණියන් සිහි කරමින් ආපසු නිවෙස්වලට ගියේ වසර 15ක් සේම එවැනි ම වූ තවත් බලාපොරොත්තු රහිතව එළැබෙන තවත් වසරකට මුහුණ දීමට සූදානමින්ද? අප ඉදිරියේ ඇති ප්‍රධාන ගැටලු එයයි. ලාංකීය දේශපාලන භූමියේ විසදිය යුතු, ප්‍රමුඛ ගැටලුව වන්නේ ද එයයි. නමුත් දකුණේ දේශපාලනය විසින් හිතාමතාම මගහරිනු ලබන ගැටලුව ද එය වීම කෙතරම් ඛේදවාචකයක්ද?