iMage: ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ එක් ස්ථානයක කේබල් මදු යොදා එකම අවස්ථාව මරා දමා තිබූ මුවන් සයදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් කේබල් මදු වනජීවී නිලධාරීන් තම භාරයට ගත් අවස්ථාවක්

යාල ජාතික උද්‍යානයේ සයවන කොටස ලෙස මෑතකදී නැවත වරක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කෙරුණු ලුණුගම්වෙහෙර වන උයන පුරා පැතිර ඇත්තේ මහා කාලකන්නි මුස්පේන්තු ගතියක්. සෆාරි ජීප් රථ මාර්ග වල පවා ඔබ මොබ ඇවිද ගිය මිනිසුන්ගේ නිරුවත් පා සටහන් දුලභ නැහැ. ඒවා වනසතුන් දඩයම, දැව ජාවාරම, ගංජා වගාව වැනි කුමන හෝ වනජීවී අපරාධයක් සිදුකිරීම සඳහා උද්‍යානයට ඇතුළුවූ පුද්ගලයින්ගේ බවට සැක නැහැ. ඇතැම් අවස්ථාවලදී දිවගොස් වන පෙත් තුළ සැඟවෙන මිනිස් හොල්මන් පවා උද්‍යානයේ ඉඳහිට හෝ ගමන් කරන සංචාරකයින්ගේ නෙත ගැටී තිබෙනවා. මහා දහවලේ පවා වන සතුන් ඉලක්කකර තබන වෙඩි උණ්ඩවල කටෝර හඬ එම සංචාරකයින් බියෙන් සලිත කරවීමට සමත්.

මේ අවාසනාවන්ත තත්ත්වයට ලුණුගම්වෙහෙර වන උයන ඇද වැටීමට හේතුවූ කණගාටුදායක සිදුවීම සිදුවන්නේ ඉකුත් 2023 වසරේ නොවැම්බර් පහළොස්වැනිදා. ඒ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවෙකු මරණයට පත්වීම. අසරණ වන සතුන් සිය දහස් ගණනකට දිවි අහිමිකළ දඩයක්කරුවෙකු වනජීවී රක්ෂිතයක් තුළ හෝ ඉන් පිටත දී මරණයට පත්වීම පරිසරයට ආදරය කරන අයවලුන්ට නම් කණගාටුවට කරුණක් නොවේ. කණගාටුවට කරුණ වන්නේ මෙම සිදුවීම නිසා එදින වැටලීමට සහභාගීවූ වනජීවී නිලධාරීන් තිදෙනෙකු මිනීමැරුම් චෝදනා එල්ල කරමින් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමයි. ඒ හේතුව නිසා දිවයින පුරාම වනජීවී නිලධාරීන් අධෛර්යමත් වීම සහ වනජීවී අපරාධකරුවන්ට එරෙහිව ඔවුන් විසින් සිදුකරන වැටලීම් අඩපණ වීම මේ දක්වාම මෙරට සොබා උරුමයන්ට එල්ලකර ඇති පීඩනය සුළු පටු නැහැ.

වනජීවී නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයට ලක්වූ දඩයක්කරුවන් විසින්
මරා දමන ලද තිත් මුවදෙන

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිපාලනය වන්නේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ නෛතික විධි විධානයන්ට යටත්වයි. එම පනතේ බලයලත් වනජීවී නිලධාරීන් වන අඩවි ආරක්ෂකවරුන්, අඩවි සහකරුවන් සහ නියාමකවරුන්ට පනත බලාත්මක කරමින් මෙරට වනජීවීන්, ස්වභාවික සම්පත් හා වනජීවී වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා ටී 56, රිපීටර්, බෝර දොළහා සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි භාවිතය පිළිබඳව විශේෂ කාර්ය බලකාය මගින් පුහුණුවක් ලබාදී සහතිකපත්‍ර ද පිරිනමා තිබෙනවා. වනජීවී කාර්යාලවලට ගිනි අවි සහ පතුරොම් ලබාදී උක්ත බලයලත් නිලධාරීන්ට ගිනි අවි භාවිතයට බලපත්‍රද ලබාදී තිබෙනවා.

ඒවගේම 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ 60 ‘ආ’ වගන්තිය ප්‍රකාරව පනත යටතේ යම් වනජීවී නිලධරයෙකු විසින් සද්භාවයෙන් නීත්‍යානුකූලව කරන ලද යම් දෙයක් සඳහා ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතුයි.

ලෝකයේ නීති විරෝධී ධනෝපායන මාර්ග අතරින් වනජීවී ජාවාරම පවතින්නේ ඉහළම තැනකයි. වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට වනජීවී අපරාධකරුවන් මැඩලීම සඳහා ගිනි අවි ලබාදී තිබෙන්නේ එම ජාවාරමේ ඇති සංකීර්ණ සහ බිහිසුණු බව හේතුවෙන්මයි. එසේම වනජීවීන් සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම රටකට ඒ තරම්ම වැදගත් නිසයි. අත්අඩංගුවට ගැනීමට අවනත නොවන අවස්ථාවලදී වනජීවී අපරාධකරුවන්ට වෙඩි තැබීමට අවසර ලබාදී ඇති රටවල් අතරට අප අසල්වැසි ඉන්දියාවත් අයත්. නමුත් ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රයක් ද වන ශ්‍රී ලංකාවේ ඒ ආකාරයෙන් වනජීවී සංරක්ෂණ කටයුතුවලට දායක වන වනජීවී නිලධාරීන්ට උරුමවන්නේ සිපිරිගෙයද යන්න ලුණුගම්වෙහෙරේ වනජීවී නිලධාරීන්ට අත් වූ ඉරණය මගින් අපගෙන් විමසයි. නැතිනම් එම ගිනි අවි ලබා දෙන්නේ රජයේ මුදල් අපතේ හරිමින් ගස් ගල් වලට වෙඩි තැබීමට හෝ සතුන් දඩයමේ යාමට ද යන්න ද විමසිය යුතුයි. අදාළ නිලධාරීන්ට ඇති පුද්ගල ආරක්ෂාවේ අයිතියවත් මෙහිදී හිමිකරදී ඇතිද යන්න ප්‍රශ්න සහගතයි.

මෙම සිදුවීම ආරම්භ වන්නේ පසුගිය 2023 වසරේ නොවැම්බර් 15 වැනිදා ලුණුගම්වෙහෙර උද්‍යානයේ කරවිලේ සහ වෙහෙරගල බීට්ටු කාර්යාලවල නිලධාරීන් විසින් වනජීවී රක්ෂිතය තුළ සිදුකළ ඒකාබද්ද මෙහෙයුමකින්. එහි ප්‍රතිපලයක් ලෙස එදින පස්වරුවේ වෙහෙරගල ඇල මාර්ගය ආසන්න ස්ථානයකදී වෙඩි තබා මරණ ලද මුවෙකු, ගිනිඅවි දෙකක්, විදුලි පන්දම්, ඉවුම්පිහුම් උපකරණ සහ මස් වියලීම සඳහා යොදා ගන්නා දැල් ඇතුළු දඩයම් ආම්පන්න සමග දඩයක්කරුවෙකු තම භාරයට ගැනීමට එම නිලධාරීන්ට හැකි වෙයි. එහිදීද වෙඩි හුවමාරුවක් සිදුවී ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුවී ඇති බව දැනගන්නට නැත. නමුත් තවත් දඩයක්කරුවන් පිරිසක් පලා යන අතර ඔවුන් පලා යන්නේ ලුණුගම්වෙහෙර ජලාශය දෙසට බව එම නිලධාරීන් ලුණුගම්වෙහෙර මුලස්ථානයට දන්වයි.

ලද හෝඩුවාව අනුව එම දඩයක්කරුවන් රැකසිට අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් සංවිධානය කෙරෙයි. එවක ලුණුගම්වෙහෙර මුලස්ථානයේ රාජකාරි කළ නියාමක එච්. කේ. සම්පත්, වම්ඉවුර බීට්ටුවේ රාජකාරි කළ නියාමක පී. චමින්ද ලක්මාල් සහ බෝගහවැව බීට්ටුවේ රාජකාරි කළ නියාමක එච්. ජී. කේ. රසාංග ගුණසේන ඒ සඳහා යොමු කරයි. පලාගිය දඩයක්කරුවන් ගමන්කළ දිශාව අනුව ඔවුන්ට උද්‍යානයෙන් පිටතට යෑමට පහසුම ඉසව්ව වන්නේ වම්ඉවුර ප්‍රදේශය බැවින් නිලධාරීන් එහි රහසේ සැඟව සිටී. ඔවුන්ගේ උපකල්පනය සනාථ කරමින් දඩයක්කරුවන් ඔවුන් සිටි දෙසට පැමිණි අතර දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී නැවතත් වෙඩි හුවමාරුවක් සිදුවේ. එහිදී වනය තුළින් පුද්ගලයෙකු තුවාල ලබා කෑ ගසන හඬ ඇසුණු වනජීවී නිලධාරීන් කඩිනමින් ඔහුව ලුණුගම්වෙහෙර රෝහල වෙත රැගෙන යයි. නමුත් ඒ වන විට අදාළ පුද්ගලයා වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මරණයට පත්ව ඇති බව දැනගන්නට ලැබේ.

ලොව පුරා වනජීවී සංරක්ෂණ වෘත්තිකයින් වැඩිම සංඛ්‍යවක් මරණයට පත්වී ඇත්තේ වනජීවී ජාවාරම්කරුවන් සමග ඇතිවූ ගැටුම් අතරතුරයි. අපේ රටට හිමි ස්වභාවික සම්පත් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට දැරූ උත්සාහයන් වලදී ද වනජීවී නිලධාරීන් 16 දෙනෙකු පමණ වනජීවී අපරාධකරුවන් අතින් මරණයට පත්වී ඇත. වෙඩි තැබීමෙන් සිදුවූ මරණ 11 ක්, පිහි ඇනුම් තුනක් සහ පහරදීම් දෙකක් ඒ අතර වෙයි. එම ඝාතන අතරින් 14 ක් ම සිදුකර ඇත්තේ දඩයක්කරුවන් විසින් වන අතර වැලි ජාවාරම්කරුවන් එක් මරණයකට වගකිවයුතු බව අනාවරණය වේ.

ලුණුගම්වෙහෙරේ ජීවත්වූ මෙම ඇත් පැටවා ද පාදයට වෙඩි වැදී රෝගාතුරව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනගොස් සිටියදී අකාලයේ මරණයට පත්විය

ලුණුගම්වෙහෙරේ සිදුවීමේදී ද මුලින් වෙඩි තැබූ දඩයක්කරුවන්ගේ ඉලක්කය වැරදී වනජීවී නිලධාරීන්ගේ ගිනිඅවි ඉක්මන් නොවුනානම් මෙසේ රාජකාරි අතරතුර මරණයට පත්වූ වනජීවී නිලධාරීන්ගේ ලේඛණය එදින නැවතත් යාවත්කාලීන වන්නට තිබූ ඉඩ අතිශයින්ම වැඩියි.

වනජීවී නිලධාරීන් අතින් සැකකරුවන් මරණයට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ රියදුරුට මරණකරු සමග ඥාති සම්බන්ධයක් පැවතීම මෙම සිදුවීම පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී පොලීසිය වෙනස් ආකාරයකින් කටයුතු කිරීමට හේතු වුණා දැයි අප දන්නේ නැහැ. එහි ප්‍රතිපලය දිවි නොතකා වැටලීමට සහභාගීවූ නිලධාරීන් තිදෙනාට සිව් මසකට වැඩි කාලයක් (වනජීවී රාජකාරි වෙනුවෙන් වැඩිම කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවූ නිලධාරීන් පිරිස මොවුන් බව සැළකේ) රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සිදුවීම. එපමණක් නොවේ, ඒ හේතුව නිසා දිවයිනේ බොහෝ වනජීවී රක්ෂිත වල වනජීවී අපරාධ මැඩලීමේ කටයුතු මේවනවිට ඇත්තේ ඉතා පසුගාමී තත්වයක. ගිනි අවි නොමැතිව දඩයක්කරුවන් මැඩලීමට ගියහොත් උන් අතින් මරණයට පත්වීමට සිදුවෙතැයි ද වැටලීම් වලදී ගිනිඅවි භාවිතා කිරීම නිසා යම්කිසි සිදුවීමක් සිදුවුවහොත් තමන්ට අත්වෙන්නේ ලුණුගම්වෙහෙරේ නිලධාරීන්ට අත්වූ ඉරණමම නොවේදැයි ද වනජීවී නිලධාරීන් තුළ බියක් ඇතිවීම සාධාරණයි.

සිර මැදිරි තුළ සිටියදී මෙන්ම ගිනිඅවි පෙන්වීමට වැනි කටයුතු සඳහා පිටතට රැගෙනගොස් සිටියදී පොලීසිය භාරයේ සිටි සැකකරුවන් මරණයට පත්වූ වාර පසුගිය සමයේ අසන්නට ලැබුණේ ඉඳහිට නම් නොවෙයි. පලා යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තැබූ වෙඩි පහරවල් වල ඉලක්කද මරණයෙන් කෙළවරවූ අවස්ථා තිබුණා. ඒ සෑම විටෙකම මරණකරුගේ අපරාධ ඉතිහාසය තළුමරමින් ප්‍රකාශ කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කටයුතු කළා විනා අදාළ සිදුවීම් වලට සම්බන්ද තම නිලධාරීනට දණ්ඩ නීතී සංග්‍රහ පනතේ 296 වගන්තිය ප්‍රකාරව මිනී මැරුම් චෝදනා එල්ල කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කළාද? නොඑසේනම් එම නිලධාරීන් සඳහා නඩු පැවරුනේ 298 වගන්තියෙන්ද? වනජීවී නිලධාරීන් සම්බන්ධයෙන් පොලීසියේ මෙම න්‍යාය වෙනස් වුණේ කෙසේද? පොලිස් රාජ්‍යවල පොලීසිය කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්ද? පොලීසියේ මෙවැනි කටයුතු නිසා යුක්තියේ දෙවඟන පවා තමන්ගේ පතිවත රැකගැනීමට නොහැකිව අපහසුතාවයට පත් නොවේද? මේ මොහොතේ රටේ ජනතාවගේ සිත් තුළ එවැනි උභතෝකෝටික ප්‍රශ්න රැසක් ඇතිවිය හැකියි.

වනජීවීන් පාදක කරගත් සංචාරක කර්මාන්තය හරහා මෙරට රාජ්‍ය භාණ්ඩාගාරය පුරවන්නට දේවකාරියටත් එහා ගොස් උතුම්කොට රාජකාරි ඉටුකරන වනජීවී නිලධාරීන්ගෙන් ලැබෙන දායකත්වය ඉමහත්. නමුත් එම කුලකයේ නිලධාරීන් තිදෙනෙක් ඉකුත් අප්‍රේල් තෙවැනිදා හම්බන්තොට මහාධිකරණය මගින් ඇප ලබා පැමිණ නැවත රාජකාරියට වාර්තා කරන තෙක් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හිඟා නොකා හිඟා කන්නට ඇති බවනම් සැක නැහැ. බන්ධනාගාරගතව සිටියදී ලැබුණු සොච්චම් මූලික වැටුපෙන් ණය වාරික කැපී ඔවුන් අතට පත්වුණු රුපියල් කිහිපය (වනජීවී වෘත්තීය සමිති සහ දානපතීන් පිහිටට නොඑන්නට) වර්තමාන ජීවන වියදමට අලගු තබන්නවත් ප්‍රමාණවත් ද? මෙරට ආණ්ඩුව රාජ්‍ය අංශයේ සංරක්ෂණ වෘත්තිකයන්ට සළකන්නේ මේ ආකාරයෙන් නම් රටේ සංරක්ෂණය ගැන ඉදිරියේදී කතා කරන්නට වත් දෙයක් ඉතිරි වේද?

මෙම සිදුවීමට අදාළ නඩු හම්බන්තොට මහාධිකරණයේ තවමත් විභාග වෙමිනුයි පවතින්නේ. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පූර්ණ විශ්වාසය තබමින් අප මෙම එඩිතර වනජීවී නිලධාරීන්ට එමගින් හෝ යුක්තිය ඉටුවෙතැයි අපේක්ෂාවෙන් පසුවෙනවා.

සුපුන් ළහිරු ප්‍රකාශ් | Supun Lahiru Prakash

SPECIAL NOTE;

2001 වසරේ ක්ෂේත්‍ර සහායකවරයෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණු එච්. කේ. සම්පත් (44) මහතා එම තනතුරේ ස්ථීර වන්නේ 2005 වසරේ අප්‍රේල් 18 වැනිදාය. ඉන්පසු 2017 වසරේ ජනවාරි 16 දින වනජීවී නියාම තනතුරේ තුන්වැනි ශ්‍රේණියට උසස්වීම් ලබන ඔහු තම රාජකාරි දිවිය තුළ රැකව, නුගේපොකුණ, යාල, හෝටන්තැන්න, ඇල්ල හා ලුණුගම්වෙහෙර ප්‍රදේශ වල රාජකාරි කර තිබේ. 2018 වසරේ වනජීවී අපරාධකරුවන්ට එරෙහිව දිවයිනේ වැඩිම නඩු සංඛ්‍යාවක් පැවරීමට කටයුතු කළ වනජීවී කාර්යාලය බවට ලුණුගම්වෙහෙර උද්‍යාන මුලස්ථානය පත්කිරීමට සම්පත් මහතාගේ ද සක්‍රීය දායකත්වය ලැබුණු අතර ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට තණමල්විල දෙසින් ඇතුළුවීමට ඇති දොරටුව වන ‘කළු පාලම’ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සම්පත් මහතා ලබාදුන් සුවිශේෂී දායකත්වය 2023 වසරේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ ඇගයීමට ලක්වූ බව දැනගන්නට තිබේ. වනජීවී අපරාධකරුවන් මර්ධනය සඳහා නොබියව පෙරට යන නිලධාරියෙකු ලෙස දෙපාර්තමේන්තුව තුළ නමක් දරා සිටින සම්පත් මහතා ඇතුළු පිරිසක් සමග 2018 වසරේ බෝගහවැව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවෙකු තුවාල ලැබීය. විවාහකයෙකු වන ඔහු එක්දරු පියෙකි.

2001 වසරේ ස්වේච්ඡා මාර්ගෝපදේශකයෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු පී. චමින්ද ලක්මාල් (41) මහතා 2006 වසරේදී ක්ෂේත්‍ර සහායකවරයෙකු ලෙස පත්වීම් ලබා 2017 වසරේදී වනජීවී නියාම තනතුරේ තුන්වැනි ශ්‍රේණියට උසස්වීම් ලබා ඇත. ඔහු බූන්දල, යාල, උඩවලව, ලුණුගම්වෙහෙර, උඩවලව ඇත් අතුරු සහ වම්ඉවුර යන සේවා ස්ථාන වලට අනියුක්තව සේවය කළේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දශක දෙකකට වැඩි අත්දැකීම් ඇති චමින්ද ලක්මාල් මහතා විවාහකයෙකු වන අතර එක්දරු පියෙකි.

2019 අගෝස්තු දෙවැනිදා පුහුණුවන වනජීවී නියාමකවරයෙකු වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු එච්. ජී. කේ. රසාංග ගුණසේන (29) මහතා මනම්පිටිය සහ කල්පිටිය, ඉලන්තිඅඩිය යන බීට්ටු කාර්යාල වල රාජකාරි ඉටුකර 2020 පෙබරවාරි තුන්වැනි දින වනජීවී නියාම තනතුරේ තුන්වැනි ශ්‍රේණියට ස්ථීර පත්වීම් ලබා ඇත. 2020 මාර්තු පළමුවැනි දින ඔහු බෝගහවැව බීට්ටු කාර්යාලයට අනියුක්තව සේවය කළේය. අධිකරණ කටයුතු සම්බන්ධයෙන්ද විශේෂ උනන්දුවක් දක්වන ඒ මහතා මෙම සිදුවීම සිදුවූ දිනද සවස්වන තුරුම තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ රැඳී සිටි බවට සාක්ෂි තිබේ. ඉකුත් පෙබරවාරි 28 වැනිදා විවාහ දිවියට ඇතුළත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණත් මෙම කණගාටුදායක සිදුවීම හේතුවෙන් එදින ඔහුට ගතකිරීමට සිදුව තිබුණේ අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේය.