iMage Art: galleriesnow.net
බොරු කීමට ඇති පුරුද්ද පමණක් නොව, තමන් කියන බොරුව හෙළිදරව් වීම ගැන ලැජ්ජාවක් බයක් නැතිකමත් දේශපාලනය කිරීමට ඇති සුදුසුකමකි. පක්ෂ-පාට මාරු කරන විට දේශපාලනඥයෝ කොහොමත් බොරු කියති. ඉස්සර සතුරා දැන් මිතුරා වන විට හෝ ඉස්සර මිතුරා දැන් සතුරා වන විට අටෝරාශියක් බොරු කීම, කැත භාවිතාවක් වශයෙන් දේශපාලනඥයන් දකින්නේ නැත. දේශපාලනය තුළ සදාතනික මිතුරන් හෝ සදාතනික සතුරන් නැති බවට ජනප්‍රිය කතාවක් ගොඩනැඟී තිබෙන්නේ, මේ කියන අවස්ථාවාදී බොරුවට හැමදාමත් යම් ඉඩක් තබා ගැනීම සඳහා විය හැකිය.
දේශපාලනඥයා කියන බොරුව ඡන්දදායකයා විශ්වාස කරයි නම්, එය ඡන්දදායකයාගේ වරදක් මිස දේශපාලනඥයාගේ වරදක් නොවන බව සමහරු කියති. කියන්නා කෙසේ වෙතත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන පැරණි කියමන ව්‍යවහාරයට පැමිණ ඇත්තේද, මෙවැනි අවස්ථාවාදයකට කවදත් ඉඩක් තබාගැනීම සඳහා විය හැකිය. ඉතිං, කෛරාටික දේශපාලනඥයෝ දිගටම බොරු කියති. මෝඩ ජනතාව දිගටම රැවටෙති!
මේ නිරීක්ෂණය, එනම්, දේශපාලනඥයා කෛරාටිකයෙකු බවත්, ජනතාව මෝඩ බවත්, මතුපිටින් පෙනෙන තරම් සරල සංසිද්ධියක් නොවේ. දේශපාලනඥයා හැම වෙලාවෙම කෛරාටිකයෙකු වන්නේවත්, ජනතාව හැම වෙලාවෙම නෝන්ජල් වන්නේවත් නැති බව, ඕනෑම රටක විශේෂිත තත්වයන් ආශ්‍රයෙන් අපට දැකගත හැකිය. වඩාත් යථාර්ථයට එබී බැලූවොත්, දේශපාලනඥයාගේ කූට භාවයට සේම, ජනතාවගේ නෝන්ජල් භාවයටත් සීමාවන් තිබේ. එහෙත්, ඒ තරාදියේ වැඩි බර හිටින්නේ, ජනතාවගේ වාසියට වඩා දේශපාලනඥයාගේ වාසියට බව, බොහෝවිට පෙනෙන්ට තිබේ.
එසේ වන්නේ ඇයි? විවිධ භෞතික හේතු ඊට පාදක වෙයි. එහෙත් මෙහිදී සාකච්ඡා කෙරෙන්නේ ඒවා ගැන නොවේ. ගගේ ගහගෙන යන විට පරඬැලේ පවා එල්ලෙන අසරණයන්ගේ කතාව, හුදෙක් නෝන්ජල්කමකට වඩා, පවතින හදිසි භෞතික තත්වයන් විසින් තීන්දු කරනු ලබන්නකි. එහෙත්, ඒ භෞතික තත්වයෙන් පිටස්තර මනෝමය වටාපිටාවකට සහ ලෝකයකටත්, ඒ නොන්ජල් මිනිසාව එක්තරා යාන්ත්‍රණයක් විසින් දැනුවත්ව පුහුණු කරවනු ලැබේ. මීට දශක පහකට කලින් රැවටුණාට වඩා, අධ්‍යාපනයෙන් සහ දැනුමෙන් දියුණු අද ලංකාවේ ඡන්දදායකයා, තවමත් රැවටෙන්නේ එබැවිනි.
මෙය, ප්‍රබන්ධිත ලෝකයකි. එනම්, සත්‍යයක් සේ පෙනෙන බොරුවක් මත පදනම් වූ ලෝකයකි. එම ලෝකයේ, වැදගත්කමේ අනුපිළිවෙලින් ගත් විට, උඩින්ම විරාජමාන වන්නේ දේශපාලනඥයා ය. මීට පෙර නොයෙක් වර අප කියා ඇති, එක් සාදෘශ්‍යයක් මේ තත්වය පැහැදිලි කිරීම සඳහා ගෙනහැරපෑම යෝග්‍ය යැයි සිතෙයි. සිනමා සක්විති වශයෙන් හැඳින්වෙන ගාමිණී ෆොන්සේකා සහ නිළි රැජින වශයෙන් හැඳින්වෙන මාලනී ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට ආශාවක් ඇති කරගත්තේ කෙසේද? ඒ දෙන්නාම, තමන්ගේ ක්ෂේත්‍ර තුළ යා හැකි ඉහළටම ගිය පසු, එතැනින් එහා ඒ ක්ෂේත්‍රයේ යාමට තවත් දුරක් නැති වූ පසු, තවත් විදිහකින් කිවහොත්, ඔවුන් වෑරුණු පසු, ක්ෂේත්‍රය මාරු කිරීමට හිතාගත්තා යැයි කෙනෙකු කිව හැකිය. එහි අදහස වන්නේ, එතෙක් කල් තමන් විසින් සමාජයට සපයන ලද සේවයට වඩා වැඩි වටිනාකමක් ඇති වෙනත් ක්ෂේත්‍රයක් හරහා රටට හෝ සමාජයට සේවයක් කළ හැකි යැයි සිතුවා විය හැකි බව ය. එහෙත්, ඇත්තෙන්ම ඒ දෙන්නා එවැනි සේවයක් දේශපාලනය හරහා කෙළේද? මාලනී ෆොන්සේකා පාර්ලිමේන්තුව නියෝජනය කළ සමස්ත කාලය තුළ ජනතාව වෙනුවෙන් යම් අදහසක් දක්වා ඇති විරල අවස්ථාවක්වත් වෙතොත්, එය මිනිත්තු දෙකතුනකට එහා නොගිය කාලයකි. කරුණු එසේ වෙතත්, ඔවුන් දේශපාලනයට ආවේ, හුදෙක් ආත්මාර්ථකාමී අවශ්‍යතා පෙරදැරිව යැයි කීමත් අර්ධ සත්‍යයක් පමණි. ඊට වැඩි අර්ථයක් තිබුණේ වෙනත් කාරණයක් තුළයි. එනම්, කලාවේ බලයට වඩා දේශපාලනික බලය සම්භාවනාවට පත්වන බවට හැඟීමක් සමාජය තුළ අරක්ගෙන ඇති බව ඔවුන්ට පෙනීමයි.
තවත් පැත්තක උදාහරණයක් ගන්න: මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ලංකාවේ ශාස්ත්‍රාලීය නීති ක්ෂේත්‍රයේ විශිෂ්ට චරිතයකි. නීති විෂය ගැන ඔහු ලියා ඇති පතපොත අදටත්, මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දෛනිකව පරිශීලනය කරති. ඔහු එක දිගටම ශාස්ත්‍රාලීය බුද්ධි අභ්‍යාසයේ සිටියේ නම්, ලංකාවේ නීති අධ්‍යයන අංශය තව දහස් වාරයකින් පෝෂණය වීමට ඉඩ තිබුණු බව නිසැකවම කිව හැකිය. එහෙත්, ඊට වඩා (පක්ෂ) දේශපාලනය වැදගත් බව යම් දවසක ඔහුට සිතුණි. එදා සිට අද දක්වා, එකී භාවිතය තුළ ඔහු මෙරටට උපයා දී යමක් ඇත්නම්, ඒ වනාහී, ඔහුට වඩා බුද්ධිමය වශයෙන් ගව් ගානක් පහළින් සිටින දේශපාලනික නිකමුන් රාශියක් ඉදිරියේ දෙකට නැවෙන සැටි රටට පෙන්වා දීම පමණි. මෙය, අතිශයෝක්තියක් හෝ ඔහුට කරන අපහාසයක් හෝ නොවේ. ඇස්පනාපිට මුළු රටම දැක ඇති සත්‍යයකි.
මැති-ඇමති දේශපාලනය මෙතරම් ආකර්ශනීය වී ඇති එකම රට ලංකාව නොවන බවත් ඇත්ත. නළු නිළියන් වෙනත් රටවලත් ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ මැති-ඇමතිවරුන් වී ඇත. එහෙත් ඒ බොහෝ තැන්වල, නළුනිළි භූමිකාවට වැඩි සාර්ථකත්වයක් දේශපාලනික භූමිකාව තුළ ඔවුන් විසින් රඟදක්වා තිබේ. ඇමරිකාවේ රොනල්ඞ් රීගන් එක් උදාහරණයකි. බුද්ධිමය අංශයෙන් ගත්තොත්, චෙකොස්ලොවැකියාවේ අවසාන ජනාධිපති සහ චෙක් ජනරජයේ ප්‍රථම ජනාධිපති වශයෙන් සිටි වක්ලාව් හවෙල්, ඒ වන විට ලෝකයාට ඔහු විසින් පිරිනමා තිබූ සාහිත්‍ය, කලා සහ දාර්ශනික විශිෂ්ට දායාදයන්ට සමාන තරමේ භූමිකාවක්, දේශපාලනය තුළත් ඉෂ්ට සිද්ධකොට පෙන්නුවේය. ඒ අතින් ගත් විට, පාර්ලිමේන්තුවට පැමිණි අපේ කලාකරුවන් (පබා!) සහ බුද්ධිමතුන් (ජී.ඇල්), අර පිරිස සමග සැසඳීමට තරම්වත් නොවටී.
පාර්ලිමේන්තු දේශපාලනය මෙතරම් ආකර්ශනීය තලයක් වීමට එක් ප්‍රධාන හේතුවක් වශයෙන් පෙනෙන්නේ, සංදර්ශනාත්මක හැඩයක් ඊට ආරෝපණය කර, ඒ දෙස පිළිකුලෙන් නොව, ආශාවෙන් නරඹන ප්‍රේක්ෂාගාරයක් බවට සමස්ත සමාජය පත්කරනු ලැබ තිබීමයි. මේ රාජකාරිය සාර්ථකව සිද්ධ කෙරෙන්නේ නූතන දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ ය. ‘‘මුන් ඔක්කොම හොරු!’’ කියා විසිහතර පැයේ කොච්චර කියූවත්, දිනපතාම ඔවුන් පිළිබඳ තොරතුරුවලට මුල් තැන දෙන රූපවාහිනී ප්‍රවෘත්ති හෝ වෙනත් දේශපාලනික විශේෂාංග නරඹන ප්‍රේක්ෂක ආශක්ත බව සුළුපටු නැති බව, මාධ්‍ය නාලිකා දනී. උදාහරණයක් ගන්න: ‘‘ජනාධිපතිතුමා/අගමැතිතුමා/ඇමතිතුමා අද ශ්‍රී මහා බෝධිය වැඳපුතා ගත්තා’’ වැනි සිද්ධියක්, රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විකාශය වීම සහ එය ‘ප්‍රවෘත්තියක්’ වශයෙන් ප්‍රේක්ෂකයා විසින් සාදරයෙන් භාරගනු ලැබීම පැහැදිලි කළ හැකි ක්‍රමයක් තිබේද? බටහිර ලෝකයේ ඕනෑම රටක, ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ එරටේ දේශපාලනඥයෙකු දකින්ට ලැබුණොත්, ඒ ඉතා කලාතුරකින් සහ විශේෂිත ජාතික වැදගත්කමක් ඇති සිද්ධියක් පාදක කරගෙන පමණි. අපේ රටේ ඕනෑම නාලිකාවක, ඕනෑම දවසක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් අරගෙන බලන්න: මුල සිට අග දක්වාම, සියයට හැත්තෑවක්වත් අපට දකින්ට ලැබෙන්නේ දේශපාලනඥයන්ගේ සිල්ලර තොරතුරු ය! ‘‘ප්‍රවෘත්ති’’ නමින් අප දන්නේ එපමණි.
එවැනි පිළිගැනීමක් තමන්ට ඇති බව දන්නා දේශපාලනඥයා, ඡන්දදායකයාව මහදවල් ඇන්දවීමට බිය නොවෙති. බොරුවක් කිව්වත්, ඊට ප්‍රතිලාභයක් මිස විපාකයක් නැති බව ඔහු/ඇය දනී. ඩයනා ගමගේ නමැති කාන්තාව අවුරුදු කීයක් මුළු රටක්ම ඇන්දුවේද? අවසානයේ, මන්ත්‍රී ධුරය අහිමි වීම හැරුණුකොට, ඇගේ මහා බොරුව වෙනුවෙන් ඈට දඬුවමක් ලැබුණු බවට ආරංචියක් නැත. බුදුන් වැඩියා යැයි කියන කැළණියෙන් නයෙකු වඩම්මවා, ගැරඬියෙකු බලයට පත්කොට මුළු රටම විනාශයට හෙලූ, මාධ්‍ය අධිපති දිලිත් ජයවීර ලෑලි කඩේක රොටියක් කන එකත්, අද ලංකාවේ විශාල ප්‍රවෘත්තියකි! ‘ඇඞ්වටයිසින්’ නමින් හැඳින්වෙන බොරුව සහ දේශපාලනයේ බොරුව එකක්ම වී ඇති සෙයකි.
විමල් වීරවංශ මෑතකදී යම් ප්‍රකාශයක් කර තිබුණි. ඒ, වෛද්‍ය සාෆි කළා යැයි කී වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙනි. (මේ සිද්ධියට අදාළ සියලූ නඩු අවසන් වී, වෛද්‍ය සාෆි නිදොස් කර නිදහස් කර තිබේ. ඔහු වඳ සැත්කම් කළා යැයි පැමිණිලි කළ ගැහැනු ඉන්පසු දරුවන් වදා තිබේ). දැන් එම මහ බොරුවෙන් අත හෝදාගැනීම සඳහා විමල් වීරවංශ මෑතකදී කළ ප්‍රකාශයක වීඩියෝ පටයක් තිබේ. එහිදී ඔහු කී දෙය, ඔහු කියා ඇති වචනවලින්ම මෙසේ ය:
‘‘ඔය වඳ කොත්තු, අපි කියපු කතා නෙවෙයි. ඔය සමාජ මාධ්‍යයේ එක එක්කෙනා කියලා තියෙන කතාවක් මිසක් අපි කොහේවත් කියපු කතාවක් නෙවෙයි. පුළුවන් නම් අභියෝග කරනවා, ඔහොම කතාවක් අපි කියලා තියෙනවා නම් කරුණාකරලා පෙන්නන්න කියලා. අපි කියපු කතා නෙවෙයි. ඔය අනුන් කියපු කතා අපිට ආරෝපණය කරන්න එපා. අපි හැම වෙලාවෙම දේශපාලනේ වගකීමෙන් කතා කරපු අය. සී.අයි.ඞී. එක ගෙනාපු චෝදනාව තමයි ‘දිවයින’ පත්තරේ පළ කළේ. ඊට පස්සෙ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයත් ඒ චෝදනාව ඉදිරිපත් කළා. පැමිණිලි කළා. මට මතකයි කුරුණෑගල රෝහලේ සේවකයොත් ඉස්පිරිතාලේ ඉස්සරහ පිකට් එකකුත් කළා. ඉතිං ඔහොම වුණහම මහජන නියෝජිතයො හැටියට අපි රෝහලට ගිහිල්ලා මේකෙ ඇත්ත නැත්ත විමසලා එළියට ඇවිල්ලා කිව්වා මේක ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. එහෙම නැතුව, අපි දන්නෙ නැහැනෙ එතුමා ඒක කළාද නැද්ද කියලා කියන්න අපි විශේෂඥයො නෙවෙයිනෙ. මහජන නියෝජිතයො හැටියට, පුද්ගලිකව ගත්තොත් මම කළේ ඒක. ඉතිං ඒකේ ඇති වරද මොකක්ද?’’
මොන තරම් ආචාරසම්පන්න සහ සුවිනීත දේශපාලනඥයෙක්ද!
ඔහුගේ මේ ප්‍රකාශයේ ඉතා වැදගත් යෙදුම් කිහිපයක් කැපීපෙනෙයි. ඉන් එකක් වන්නේ, ‘‘පුළුවන් නම් අභියෝග කරනවා’’ යන්නයි. දසඅතේ හොරකම් කර ඇති, දසඅතේ බොරු කියා ඇති හැම එකෙක්ම, ‘ඔප්පු කළොත්, ඉල්ලා අස්වෙනවා,’ සහ ‘ඔප්පු කළොත් ගිනි තියාගන්නවා’ වැනි පපඩම් කතා කියනු අප අනන්තවත් අසා තිබේ. ඒ එකෙක්වත්, සිය වරක් උන්ගේ බොරුව ඔප්පු වුණත්, ගිනි තියාගෙනත් නැත. ඉල්ලා අස්වීත් නැත. ඊළඟට, ‘‘අපි හැම වෙලාවෙම, දේශපාලනේ වගකීමෙන් කතා කරපු අය’’ යැයි වීරවංශ කියයි.
‘හැම වෙලාවෙම දේශපාලනයේදී වගකීමෙන් කතා කළ’ ඒ මිනිසා, 2019 දී, මේ වෛද්‍ය සාෆිගේ සිද්ධිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක වීඩියෝ පටයක්ද මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි. ඔහු එදා කියා ඇති ආකාරයෙන්ම ඒ ප්‍රකාශය මෙසේ ය:
‘‘පැමිණිලිවල අතිබහුතරයක් මව්වරු කියන්නෙ සාෆි නමැති වෛද්‍යවරයාගෙන් ශල්‍යකර්මය කරගත්තට පස්සෙ තමන්ට දරුවො ලැබුණෙ නැහැ කියලා නම්, ඒකම ප්‍රමාණවත් මොහු අපරාධකාරයෙක් හැටියට හඳුනගන්න. මේ තමයි ගර්භාෂ යුද්ධය. මේක එක්තරා ආකාරයක ජනවාර්ගික සංහාරයක්. මේ රටට උපදින්න ඉන්න දරුපැටියෙකුට උපදින්න තියෙන අයිතිය අහිමි කිරීමක්. සිංහල ජනතාවගේ සිංහල මව්වරුන් පමණක් ඉලක්ක කොටගෙන කරපු අපරාධයක්. ඒ නිසා මේ අපරාධකාරයට සුදුහුණු ගානවා නම් කවුරුහරි, ඒක ඊට වඩා අපරාධයක්. අපේ අම්මලාට හම්බ වෙන්න හිටපු දරුවො තමයි මේ නැති කළේ. අපේ මේ හිරු එළිය දකින්න හිටපු දරුවොයි මේ නැති කළේ. මේ රත්තරං රටේ ඉපදෙන්න හිටපු පැටව් ටිකයි අපිට මේ නැති කරලා තියෙන්නෙ.’’
මොවුන්ට දිය යුතු දඬුවම කුමක්ද? දැන්වත්, රටක් වශයෙන් මේ ගැන අප සිතා බැලිය යුතු නැත්ද?
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda