ශ්‍රී ලංකා රාජ්‍යයේ අපරාධකාරීත්වයේ තවත් එක් කැඩපතක් බදු ඡායාරූප ප්‍රදර්ශණයක් එළඹෙන ජූලි 8 දක්වා, කොළඹ, ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි.

අවුරුදු 30ක යුද්ධයකුත්, ආයුධ නිහඩ වී අවුරුදු 15කුත් දැනටමත් ගතවී තිබේ. එහෙත් යුද්ධයෙන් තමන් සතු සියල්ලම අහිමි වූ මොහොතක ද අපට මෙරටින් ද, මෙරට පාලකයන්ගෙන්ද නැවත නැවතත් බලකර ඉල්ලා සිටින්නට වී ඇත්තේ යුක්තිය යි.

අපේ ජිවිතවල අවසන් වූ සියල්ලක්මද, සිදුවෙමින් පවතින සියල්ලක්මද තීරණය කරමින් සිය ආධිපත්‍ය පෙනෙන හා නොපෙනෙන ලෙස මේ වනවිටත් අප වෙත මුදාහරිමින් සිටින්නේ, මිලිටරිය නම් යක්ෂයාගේ ආත්මයත්, ඔහුගේම ආත්ම සගයා වන ඊනියා මහා සංවර්ධන ව්‍යාපෘති නම් ශරීර හැඩගත් සර්පයාත් ඇතුලු විෂගෝර සර්පයින්ය.(එම විෂගෝර සර්පයින්, ලයනල් වෙන්ඩ් නම් ප්‍රකට කලාකරුවා අනුස්මරණය කිරීමට ගොඩනගන ලද කලාගාරයට ද ඇතුලුවීම අපට වැළැක්විය නොහැක. එසේවුවත් එවන් විෂගෝර වේෂයකින් එන ජාතිවාදීන් පරාජය කිරීම මේ මොහොතේ ලංකාවේ සියලුම ප්‍රගතිශීලීන්ගේ ප්‍රමුඛම කාර්යයකි.)

එසේම…..,

දකුණ විසින් විවිධාකාරයෙන් අර්ථගන්වා ඇති යුක්තිය මේ මොහොතේත් කැමරාගත කිරීම අතිදුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එම නිසාම යුක්තියේ ඉල්ලීම ලංකාවේ දකුණටත්, ලෝකයටත් සම්මුඛ කිරීම වෙනුවෙන් අපට වෙහෙසකර අභ්‍යාසයක යෙදීමට වීම අනිවාර්යයක් වී ඇත. තනිව නිහඩව නින්දෙන් ඉකිගසමින් හඩන මිනිසුන් වෙනුවට ආදරයෙන් ජීවිතය දකින, එකී ආදරයේ සුවඳ බෙදාගනිමින් ජීවිතය විදින ගෞරවනීය මිනිසුන් මෙරටින් දකින්නට අපට කළ යුතුව ඇති වැඩකොටස සුළුපටු නොවේ.

එසේම පින්තූරයක් හා සම්මුඛ වන මොහොතක් කියන්නේම වෙනත් තර්කයක් තබා අපට පැනයාමට බැරි මොහොතක්. සාමූහිකත්වය පිලිබඳ තමන්ගේ වගකීම නැවත නැවතත් තම මුහුනටම අල්ලා පෙන්වන මොහොතක්.

එබැවින්, එන්න…. ලයනල් වෙන්ඩ් කලාගාරයට…..

සහකම්පනිත මොහොතක් ඔබට සම්මුඛ වනු ඇත.

[ACTNOW තරුණ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනයට, විකල්ප වෙබ් අඩවිය විසින් ඡායාරූපගතකරන ලද ඇතැම් ඡායාරූප ලබා දුන් අතර, එය එසේ ලබා දෙන ලද්දේ එම තරුණ කණ්ඩායමේ යුක්තිය පිළිබදව වන ඇවිලෙමින් ඇති අනුරාගය තවත් අවුලනු පිණිස ය.]