හින්දු බැතිමතුන් විසින් අතීතයේ සිට චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන යාපනයේ සිට කතරගම දේවාලය දක්වා පා ගමනින් ගමන් ගනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ හින්දු ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් සමග තදින් ඇත. නමුත් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මෙම වන්දනා ගමන මේ වන විට ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් දුරස් වෙමින් යාල සහ කුමන ජාතික උද්‍යානවල පැවැත්මටද දැඩි තර්ජනයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ප්‍රවේශපත්‍රයක් ලබාගැනීමෙන් තොරව නොමිලේ පා ගමනින් ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානයන් හරහා ගමන් කිරීමට ලැබෙන අතිශය විරල අවස්ථාවක් ලෙස මෙම පාද යාත්‍රාව හැඳින්විය හැකිය. එසේම කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළුවී යාල ජාතික උද්‍යානයෙන් පිටතට පැමිණීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වේ. යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක තුළ සංචාරය කිරීමටද විශේෂ කොන්දේසි තිබේ. එබැවින් එවැනි කිසිඳු අවසරයක් අවශ්‍ය නොවන පාද යාත්‍රාව දඩමීමා කරගෙන තමන්ගේ පටු ඕනෑ එපාකම් සරිකරගැනීම සඳහා විවිධ පිරිස් මේ වන විට පෙළඹී තිබේ. ඊනියා පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වික්‍රමාන්විත සංචාරකයින් ඊට ඇතුලත් වේ. මේ හේතුවෙන් කතරගම පාද යාත්‍රාවේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ගිලිහී වනජීවී රක්ෂිතද විනාශ මුඛයට යාමට පටන්ගෙන තිබේ. තවද මෙහි බොර දියේ මාළු බාමින් යාල සහ කුමන වෙත ඇතුළුවීමට කටයුතු කරන ආරක්ෂක අංශ, දන්සැල් කරුවන් සහ විවිධ රාජ්‍ය ආයතනද වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම ඉතා බරපතල තත්වයකි.
මෙම වසරේද පාද යාත්‍රාවට සහභාගී වීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන පුද්ගලයින්ට ඇතුළුවීම සඳහා ජුනි මස තිස්වැනි දින කුමන ජාතික උද්‍යානයේ දොරටුව විවෘත කෙරිණි. එය නැවත වසා දැමුනේ ජූලි මස දොළොස්වන දින සවස හතරටය. යුද්ධය අවසන් වීමෙන් පසු වාර්ෂිකව 25000 – 30000 අතර පිරිසක් මෙම වන්දනා ගමනට සහභාගීවූ අතර මෙවර එම ගණන වාර්තාගත ලෙස 32000 කට ඉතා ආසන්නව වන ලෙස ඉහළ ගියේය. හින්දු බැතිමතුන් ඉමහත් දුෂ්කරතා විඳිමින් මෙම පාද යාත්‍රාවට සහභාගී වෙමින් කතරගම වෙත පැමිණෙන්නේ දෙවියන් කෙරෙහි ඇති අප්‍රමාණ භක්තිය පෙරදැරිවය. ඔවුන් අනුගමනය කළ අල්පේච්ඡ වන්දනා විධි ක්‍රම මගින් පරිසරයට සිදුවූ හානිය අල්ප විය.
යුධ සමයේ මෙම පාද යාත්‍රාව ඔස්සේ එල්ටීටීඊ සාමාජිකයන් දකුණට ගමන් කිරීමේ අවධානමක් ඇතැයි පෙන්වා දෙමින් වන්දනා කරුවන් ගණන් ගැනීමට යුධ හමුදාව මගින් කටයුතු කෙරිණි. නමුත් ඉන් නොනැවතී යුධ තත්ත්වය අවසන් වීමෙන් පසුවද ආරක්ෂක අංශ මගින් වන්දනාකරුවන්ට ජලය සහ ආහාරපාන වෙළඳාම් කිරීමට කටයුතු කිරීම මගින් මෙම වන්දනාවේ ඓතිහාසික වත්පිළිවෙත් වලට බලපෑම් එල්ල විය. වන්දනාකරුවන් ප්‍රමාණාත්මකව වැඩි වීමටද මෙම තත්ත්වය හේතු විය. සැබෑ බැතිමතුන්ගේ අපේක්ෂාව තමන්ට අවශ්‍ය සියලු දෑ පොදි බැඳගෙන දුෂ්කරතා විඳ ගනිමින් මෙම වන්දනා ගමන නිමා කිරීමය. එමගින් ඔවුන්ගේ භක්තිමත්බව දෙවියන් හමුවේ සනාථ කිරීමය. ඔවුන්ට ජාතික රක්ෂිත ප්‍රදේශය හරහා ගමන් කරන විට භාවිතා කිරීමට බෝතල් කළ ජලය හෝ ආහාර පාන තබා සෞඛ්‍ය පහසුකම් වත් වෙනත් පාර්ශවයන් මගින් සැපයීම අවශ්‍ය නොවීය. නමුත් සැබැවින්ම ඒවා අවශ්‍ය වූයේ අප ඉහත කී ඊනියා පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වික්‍රමාන්විත සංචාරකයින්ටය. ඊට උඩගෙඩි දෙන වැඩි දෙනෙක් රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සහිත පාර්ෂවයන් බවද කියති. එහි අවසන් ප්‍රතිපලය සැබෑ අල්පේච්ඡ වන්දනාව වෙනුවට පරිසරයට විශාල වශයෙන් බලපෑම් එල්ලවන විකෘතියක් බවට මෙම චාරිකාව පත්වීමය.
නාවික හමුදාවේ මැදිහත්වීම
කුමන ජාතික උද්‍යානයට ඇතුළුවූ තැන සිට වන්දනාකරුවන්ට ජලය ලබාගැනීමට ස්වභාවික ජල මුලාශ්‍ර රැසක් තිබේ. එසේම බවුසර් මගින් නොමිලේ ජලය ලබාදීමේ කටයුත්තකද (බෝතල් ජලය විකිණීමට අමතරව) යුද හමුදාව වසර ගණනාවක සිට නිරතවී සිටී. එසේ තිබියදී වන්දනාකරුවන් සඳහා ප්‍රති අසෘත ජල පිරිපහදු පද්ධතියක් උද්‍යානයේ ළිං තුන ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට බව පවසමින් නාවික හමුදාව වන්දනා සමයේ ජාතික උද්‍යානයට ප්‍රවේශ විය. එතැන් සිට නාවික හමුදාවේ ප්‍රධානියෙක්ද පාද යාත්‍රාවේ ගමන් කිරීමට පැමිණීම නිසා ඔහුට ආරක්ෂාව සහ සේවා සැපයීමට බව පවසමින් විශාල භට කණ්ඩායමක් යාල ජාතික උද්‍යානයට ඇතුළුවී එහි පැවැත්මට හානිකර ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ලවේ. රැයක් දවාලක් නොමැතිව උද්‍යානය තුළ රථවාහන ගමන් කරවීම, විවිධ ස්ථාන වල වැසිකිළි කැසිකිලි පද්ධති ඇතුළු පහසුකම් සකස් කිරීම සඳහා වනය විනාශකිරීම, වෙන්කරදී ඇති වන්දනා මාර්ගයෙන් පරිබාහිරව උද්‍යානයේ වෙනත් ප්‍රදේශ හරහා ගමන් කිරීම එවැනි අහිතකර කටයුතු ඒ අතර වේ.
කුමන බලපෑම් පැමිණියද පලටුපාන ප්‍රවේශය හරහා නියමිත වේලාවට පෙර යාල ජාතික උද්‍යානයට වාහන ඇතුළු කිරීමෙන් වැළකී සිටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. නමුත් පාන්දර යාමයේ සිට එහි පැමිණ නියමිත වෙලාව එළැඹෙන තුරු රැඳී සිටින නාවික හමුදා වාහන මුලින්ම උද්‍යානයට ඇතුළුවීම නිතැතින්ම සිදුවේ. එම රථ පෙළ වනය දෙවනත් කරගෙන ඇදී යන විට වනයේ සිටින අලි-කොටි-වලස් ඈ ආකර්ශණීය වනජීවීන් පලා යාම නොවැලැක්විය හැකිය. එවිට දුරු කතර ගෙවාගෙන පැමිණ, තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටල් කාමරවල නවාතැන්ගෙන, හිමිදිරියේ උද්‍යානයට ඇතුළුවී සතුන් වැඩි ප්‍රමාණයක් නැරඹීමට සැදී පැහැදී සිටින දෙස් විදෙස් සංචාරකයින්ට සිදුවන්නේ හිස් අතින් නැවත පිටවී යාමටය. එසේම පාද යාත්‍රාවේ පැමිණි නාවුක හමුදා ප්‍රධානියා සහ ඔහුට ආරක්ෂාව සපයන හැට-හැත්තෑවක හමුදා අනුඛණ්ඩය ඉකුත් වසරේ මෙන්ම මේ වසරේදීද වන්දනාකරුවන්ට වෙන්වූ මාවතෙන් මෑත්ව තල්ගස්මංකඩ ප්‍රදේශයෙන් යාල ජාතික උද්‍යානයේ සංචාරකයන් ගමන් ගන්නා මාර්ග පද්ධතියට අවතීර්ණව අත්තනෝමතික අකාරයෙන් ගමන්කර ඇති බව දැනගන්නට ලැබේ. එයද වන සතුන්ට මෙන්ම සංචාරක කර්මාන්තයට කොහෙත්ම හිතකර තත්වයක් නොවේ.
දන්සැල් කරුවන්ගේ බලපෑම
ශ්‍රී දළදා මාලිගාව ඇතුළුව විවිධ රාජ්‍ය සහ පුද්ගලික අංශ සහ පුද්ගලයින් ද මෙම සමයේදී දන්සැල් පැවැත්වීමට බව පවසමින් රක්ෂිත ප්‍රදේශයට ඇතුළුවීම සිදුකරයි. ඔවුන් අතර සිටින අප ඉහත කී ඊනියා පරිසරවේදීන් සහ වනජීවී ඡායාරූප ශිල්පීන් මෙන්ම සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සඳහා බව පවසමින් පැමිණෙන පුද්ගලයින් පවා තමන්ගේ ඩිපෙන්ඩර් රථ වල නැගී රාත්‍රී කාලයේ වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සරණ බවට චෝදනා එල්ලවේ. එවැනි තත්වයන් වනජීවී සංරක්ෂණය අතින් කොහෙත්ම යහපත් නොවේ.
අදාළ ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවා නිසි බලපත්‍රයක් ලබා ගෙන ජාතික උද්‍යානයකට ඇතුළුවන සංචාරකයින්ට පවා උද්‍යානයේ ගමන් කිරීමට අවසර ඇත්තේ පෙරවරු හයත් පස්වරු හයත් අතර කාලය තුළදී පමණි. නමුත් විවිධ උප්පරවැට්ටිය යොදා ගනිමින් මෙම වන්දනා සමයේ උද්‍යානය තුළට ඇතුළුවන ඉහතකී පාර්ශව අදාළ කාලසීමාව තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලැබෙන අවසරය වල්බූරු නිදහසක් කරගැනීමට සංරක්ෂණ නීතී උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ජුගුප්සාජනකය. විශේෂයෙන්ම යාල කලාප අංක එකට අයත් පරණ තොටුපොළ සංචාරක බංගලාව වෙන්කරවා ගන්නා දළදා මාලිගයේ දන්සැල් නඩය ඔවුන් විසින් දන්සැල පවත්වාගෙන යන කලාප අංක දෙකට අයත් පිළින්නාව දක්වා (ඉන් ඔබ්බටද) රැයක් දවාලක් නොමැතිව ගමන් කිරීමට දන්සැල දඩමීමා කරගන්නා බවට චෝදනා එල්ලවේ. එසේම කලාප අංක දෙකට අයත් ළිං තුන සහ කැබැල්ලෑවල ප්‍රදේශවලද බත් සහ කඩල දන්සැල් පවත්වාගෙන යෑමට බව පවසමින් විශාල පිරිසක් උද්‍යානයට ඇතුළුවී තමන්ට රිසිසේ කටයුතුකර තිබේ.
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. එමනේම දන්සැල් දඩමීමා කරගෙන මෙසේ පිටස්තර පුද්ගලයින් යාලට ඇතුළුවන්නේ වන්දනාකරුවන් කෙරෙහි උපන් දයාවෙන් ද නැතිනම් හුදෙක් තමන්ගේ විනෝදාස්වාදය සඳහා ද යන්න එම පාර්ශව විසින් සමාජ මාධ්‍ය මගින් පළකර ඇති ඡායාරූප සහ වීඩියෝපට මගින් මොනවට පැහැදිළි වේ. සැතපුම් ගණන් පා ගමනින්ම පැමිණ, සුළු ආහාරයක් උයා පිහාගෙන කා විවෘත පිටියක රැය පහන් කරන පාද යාත්‍රාවට පහසුකම් සැළසීමට ඇතැම් දන්සැල් සංවිධායකවරුන් පැමිණ තිබුණේ සුඛෝපභෝගී කැරවැන් (Caravan) ද රැගෙන බව කිවයුතුය.
සමීපව අධීක්ෂණය නොකිරීම
ව්‍යුත්පන්න කිහිපයකදී හැර මෙරට ජාතික උද්‍යානය වලට ඇතුළුවන සංචාරකයින් ඒවා තුළ ගමන් ගන්නා සියලුම අවස්ථා වලදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සංචාරක මාර්ගෝපදේශකයෙකු ඔවුන් සමග ගමන් කිරීම සිදු කරයි. නොඑසේ අදාළ දෙපාර්තමේන්තුවට වග කිවයුතු සෆාරි ජීප් රථ රියදුරන් හෝ ඔවුන් සමග වෙති (විවේචන තිබිය හැක). නමුත් දෙසතියකට ආසන්න කාලයක් තුළ පිටස්තර පුද්ගලයින් දස දහස් ගණනින් කුමන සහ යාල ජාතික උද්‍යායේ කලාප අංක එක සහ දෙක තුළ නිදහසේ ගමන් ගන්නේ එවැනි සංචාරක මාර්ගෝපදේශකයින් කිසිවෙක් නොමැතිවය. එබැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යවේ. එවැනි පසුබිමක් තුළ අප ඉහත සඳහන් කළ ආකාරයෙන් ඩිපෙන්ඩර් රථවල නැගී රාත්‍රී කාලයේ පවා වනජීවීන්ට බාධා වන පරිදි අධි බලැති ආලෝක ධාරා එල්ල කරමින් ඉබාගාතේ සැරි සැරීම, ඩ්‍රෝන කැමරා යොදාගෙන රූපගත කිරීම වැනි කටයුතු එළිපිටම සිදුකිරීම මගින් පෙනී යන්නේ එවැනි සමීප අධීක්ෂණයක් සිදු නොවන බවය.
මේ ආකාරයෙන් මහා ජනකායක් දීර්ඝ කාල සීමාවක් තුළ වනජීවී රක්ෂිත තුළ හැසිරීම නිසා වනජීවීන්ගේ ස්වභාවික හැසිරීම් රටාවන්ට බලපෑම් එල්ලවීම, කැලිකසල සහ මලපහ මගින් ස්වභාවික පරිසර පද්ධතීන් සහ ජල මුලාශ්‍ර දූෂණය වීම වැනි පාරිසරික බලපෑම් රැසක් ඇතිවේ. සංචාරකයින් සංඛ්‍යාව වැඩිවන විට ඊට අනුලෝමව බලපෑමද වැඩිවේ. කතරගම පාද යාත්‍රාවද දුෂ්කර වන්දනා ගමනක සිට සැණකෙළියකට පරිවර්තනය වීමෙන් සිදුවන්නේ සංචාරකයින් සංඛ්‍යාව වැඩිවී පාරිසරික බලපෑම වැඩිවීමය. එබැවින් මීට අදාළ අනුමැතීන් ලබාදීමේදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට යාල සහ කුමන ජාතික උද්‍යාන භාරකරුවන් දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කලමනාකරණ ධුරාවලියේ සියලු ස්ථර මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. එසේම සිදුවන මානව ක්‍රියාකාරකම් සහ ඇතිවන තත්ත්වයන් සමීපව අධීක්ෂණය කිරීමට සහ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග නොබියව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වනජීවී සංරක්ෂණ නිලධාරීන් සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබාදීමද ආණ්ඩුවේ වගකීමය. එසේම තමන්ගේ කෙටිකාලීන විනෝදාස්වාදය සඳහා මෙම ඉපැරණි වන්දනා ගමන දඩමීමා කර නොගැනීම, ඊට ඈඳුණු ප්‍රෝඩාකාරී කටයුතු සඳහා රජයේ මුදල් අපතේ නොහැරීම, වනජිවීන්ගේ සුරක්ෂාව තහවුරු වන පරිදි වගකීමෙන් කටයුතු කිරීම සහ පාරිසරික අන පනත් නොසලකා හැරීමට මෙය අවස්ථාවක් කර නොගැනීම දිසාපතිවරුන්ගේ, ආගමික නායකයිගේ සිට සියලු රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ යුතුකම බව අප අවධාරණය කරමු.
සුපුන් ලහිරු ප්‍රකාශ් | Lahiru Prakash