පාසලේ විභාගයක් ළං වන විට පාචනය හෝ වෙනත් ලෙඩක් හැදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිටිති. එය ඔවුන් බොරුවට මවාපාන රෝගී තත්වයක් නොව. ප්‍රතිකාර අවශ්‍ය කරන තරමට, ඒ ශාරීරික රෝගී තත්වයන් ඇත්තෙන්ම ඔවුන් තුළින් විද්‍යමාන වෙයි. එසේ වන්නේ, පීඩාකාරී මානසික හේතුවක් නිසා ය. එනම්, විභාගයෙන් අසමත් වෙතැයි යන භීතිය සමග, ඒ අසමත් වීම විසින් ඇති කරන ලැජ්ජාව වැනි තවත් නොයෙක් කරුණු හරහා ඇති කෙරෙන මානසික පීඩන තත්වයන් ඊට හේතු වෙයි. විභාගයෙන් සමත් වන බවට තිරසාර විශ්වාසයක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙවැනි ලෙඩ රෝග වැළඳුණොත් ඒ ඉතා කලාතුරකිනි. එසේම, විභාගය අසමත් වීම කිසිසේත් ප්‍රශ්නයක් සහ බරක් කර නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මෙවැනි ලෙඩ රෝග නොවැළඳෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ හේතුකාරක දෙකම බලපායි. විභාගයෙන් (ජනාධිපතිවරණයෙන්) අසමත් වීමට ඇති ඉඩකඩ ඇස් ඉදිරියේ පෙනෙන්ට ගන්නා විට ඔහු ලෙඩ වෙයි. ඒ සමගම, විභාගයෙන් අසමත් වීම ගණන් නොගෙන සිටින මානසික තත්වයක්ද දැන් ඔහුට නැත. මීට කාලයකට ඉහතදී, විභාගයෙන් අසමත් වීම ඔහුව මේ විදිහට රෝගී කෙළේ නැත. සමහරුන් කියන පරිදි, 16 වතාවක්ම ඔහු විවිධ ආකාරයෙන් විභාගය අසමත්ව (පරාජය වී) ඇත. එහෙත් ඒ හැම විටෙකම, කිසිවක් සිදු නොවූවා සේ යළිත් රටට මුහුණදීමට ඔහු පැකිළුණේ නැත.
වෙනත් රටවල නායකයෝ අසාර්ථක වූ මොහොතේම තනතුරු හැර යති. ලංකාවේ පවා, ඩඞ්ලි සේනානයක වැනි නායකයන් එවැනි තත්වයන් යටතේ නායකත්වය අත්හලේය. එහෙත් රනිල් වික්‍රමසිංහ එසේ නොවේ. එසේ නොවීම හෙවත් කිසිවක් සිදු නොවූවා සේ සිටීම, යහපත් දෙයක් වශයෙන්ද, අයහපත් දෙයක් වශයෙන්ද දැකිය හැකිය. එහි ඇති යහපත් ලක්ෂණය වන්නේ, වැටි වැටී නැඟිටීමට කෙනෙකුට ඇති ශක්තියයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට හත් වරක් වාඩි වූ කෙනෙකු මම දනිමි. එය යහපත් දෙයකි. එහෙත්, පක්ෂ දේශපාලනයේදී එය අයහපතක් වන්නේ, පක්ෂයේ උන්නතියටත්, පක්ෂය තුළ දක්ෂයන්ට ඇති අවස්ථා ඇහිරීමටත් එය හේතුවක් විය හැකි නිසා ය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමාගේ ආසනයත් පරාජය වී, තමාගේ පක්ෂයත් මුළු රටෙන්ම එක ආසනයක්වත් ජයග්‍රහණය නොකළ තත්වයේදී පවා රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වය අත්හළේ නැත. පක්ෂය, කුටුම්භයක් හෝ පවුලක් වශයෙන් සැලකුවොත් එහි ඇති වරදක් නැත. පවුලක පියා අසාර්ථක වන විට අලුත් පියෙකු සොයාගැනීමට පවුලක් වෙහෙසෙන්නේ නැත. එහෙත්, පක්ෂ දේශපාලනයේදී එම ගතිය, ප්‍රජාතන්ත්‍රවාදී සාරයටත් පසමිතුරුයි.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහගේ ඒ චරිත ස්වභාවය, ඔහුගේ පක්ෂය සම්බන්ධයෙන් බලපවත්වන ආකාරය, ඒ පක්ෂයට සම්බන්ධයක් නැති කෙනෙකුට ප්‍රශ්නයක් විය යුතු නැත. එහෙත්, දැන් රටේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු විභාගයෙන් අසමත් වෙතැයි බියෙන් පෙළීමත්, ඊට ප්‍රතිකර්මයක් වශයෙන් විභාගය (ජනාධිපතිවරණය) නොපවත්වා සිටීමට ගන්නා උත්සාහයත්, මේ රටටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් අයහපතක්ම ගෙන දෙනු ඇත.
ගිය වර මේ කොලමේ සාකච්ඡාවට ගැනුණු අධිකරණමය කාරණයක් තිබුණි. එනම්, ජනාධිපතිවරණයක් මේ වෙලාවෙ අවශ්‍ය නැතැයි කියමින්, එක් ව්‍යාපාරිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය සිද්ධියයි. ‘‘මේ වෙලාවෙ රනිල් තමයි’’ යනුවෙන් ඒ වන විට රට පුරා අලවා තිබුණු පෝස්ටර් ප්‍රචාරක ව්‍යාපාරයට කෙලින්ම බද්ධ වුණු මේ ව්‍යාපාරිකයාගේ එකී දුක්ගැනවිල්ල, විභාගයටත් නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැම්මේය. සතියක් ගත වුණේ නැත. තවත් එවැනිම පුද්ගලයෙක් එම කාරණයම නැවත කියමින් මේ සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. මේ දෙන්නාම නීතිඥයන් ය. කලින් පුද්ගලයාගේ පෙත්සම වීසි කරමින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ දෙවැනි නීතිඥයාගේ පෙත්සමත් වීසි කරමින් රුපියල් ලක්ෂ පහක් ගෙවීමට නියෝග කෙළේය. මේ දෙන්නාගේම ආස්ථානය වුණේ කුමක්ද? මේ වෙලාවේ ඡන්දයක් පැවැත්වීම තමන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වීමක් වන බවයි. පුරවැසියෙකුගේ මූලික අයිතියක් උල්ලංඝණය විය හැක්කේ, යම් ඡන්දයක් පැවැත්වීමෙන් නොව, නොපවත්වා සිටීමෙන් බව, නීතිඥයන් නොවන ඕනෑම පෘථග්ජන පුරවැසියෙකු දන්නා කාරණයකි. එහෙත් අර බඩ යන ලෙඬේට ඇති එකම ඔසුව විභාගය නොපවත්වා සිටීම බව දන්නේ ඔවුන් පමණි.
පරම සතුරා අධිකරණයද?
මෙවැනි නීතිඥයන් සහ පාලකයන් සිටින ලංකාවේ මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ අධිකරණයේ හයියෙනි. රාජ්‍ය පාලකයන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලසීමට බලන විට අධිකරණය මැදිහත් වී ඒ ගමන නැවැත්වීමට පියවර ගත් අවස්ථා කිහිපයක්ම මෑත අතීතයේ අප දැක තිබේ. එහි දීප්තිමත්ම අවස්ථාව වන්නේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අද ජනාධිපති වශයෙන් සිටින එදා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් පිහිටවූ අවස්ථාවයි. ඒ අනීතික ආණ්ඩුව දින 52 ක් පැවතියේය. අවසානයේ, ජනාධිපති සිරිසේනගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට නියම කරමින් එදා ඒ ඒකාධිපති ගමන නතර කෙළේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂලා ගෙදර ගිය අතර රනිල් වික්‍රමසිංහ යළිත් අගමැති විය. ඒ කාලයේ, අධිකරණය තරම් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවෙක් රනිල් වික්‍රමසිංහට තවත් සිටියේ නැත.
එහෙත් දැන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අවසරයක් ලැබෙන සෑම අවස්ථාවකම මේ අධිකරණයට අපහාස කරයි. එය, මේ වන විට එක්තරා ආකාරයක ද්වේශයක් බවට පත්වී ඇති සැටියක්ද පෙනේ. ඒ කෙතෙක්ද යත්, පසුගිය දවසක ඔහු අධිකරණයේ චර්යාව හැඳින්නුවේ ‘කැනිබලිසම්’ යන වචනයෙනි. එහි අර්ථය ‘පෝරිසාද චර්යාවක්’ යන්නයි. පෝරිසාදයෙකු යනු තමන්ගේ මස් තමන්ම බුදින කෙනෙකි. මිනිසෙකු මිනීමස් බුදියි නම් ඒ මිනිසා පෝරිසාදයෙකි. මෙසේ කීමෙන් ජනාධිපතිවරයා අදහස් කරන්ට ඇත්තේ, අධිකරණය වරක් දුන් තීන්දුව, ඊළඟ වාරයක දෙන තීන්දුවෙන් නිෂේධ කරන්නේය යන්න විය හැකිය. එවැනි අවස්ථා, ඕනෑම රටක අධිකරණ විනිශ්චයන් සමාලෝචනය කළොත් කෙනෙකුට දැකගත හැකි තත්වයකි. එසේ වන්නේ, ඉඳහිට සිදුවන යුක්තියේ පීලිපැනීමක් නිසා වීමටත් බැරි නැත. එහෙත් බොහෝවිට එසේ වන්නේ, අදාළ නිමිත්තේ සිද්ධිමය වෙනස්කම් සහ නෛතික වෙනස්කම් නිසා ය. ඒ කෙසේ වෙතත්, වරක් දුන් තීන්දුවකට පටහැනි යැයි පෙනෙන වෙනත් තීන්දුවක් දුන් පමණින්, අධිකරණයක් ‘පෝරිසාද’ වන්නේ නැත. රටක ජනාධිපතිවරයෙකු එවැනි සාදෘශ්‍යයක් අධිකරණය අරභයා පාවිච්චි කිරීමම නරුම ගතියකි.
දැන් ඔහු තවත් පැත්තකින් අධිකරණය හෑල්ලූ කිරීමට පටන්ගෙන තිබේ. එය කරන්නේ, ඉහත කී පරිදි, පහත් තත්වයෙන් නොව, ඊනියා විද්වත් සහ ව්‍යවස්ථා-විශාරද ආවේශයක් ආරෝපණය කරගනිමිනි. ඔහු කියන පරිදි, පාර්ලිමේන්තුවට (ව්‍යවස්ථාදායකයට) අධිකරණය යටත් ය. එහි අදහස කුමක්ද? පාර්ලිමේන්තුවේ වැඩවලට ‘ඇඟිලිගැසීමේ’ බලයක් අධිකරණයට නැත යන්නයි. පාර්ලිමේන්තුවේ ‘වැඩ’ යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද? මූලික වශයෙන් ගත් විට, නීති සම්පාදනය කිරීමයි. එයට ‘ව්‍යවස්ථාදායකය’ යැයි කියන්නේ එබැවිනි. එතකොට, අධිකරණයේ ප්‍රධාන කාර්යභාරයක් වන්නේ කුමක්ද? එකී නීතිරීති රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න විනිශ්චය කිරීමත්, රටේ නීතිරීති නිවැරදිව ක්‍රියාවේ යෙදවෙන්නේද යන්න සොයාබැලීමත් ය. දැන්, ජනාධිපතිවරයා කියන පරිදි, පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නීතිරීති ගැන අධිකරණය සොයාබැලිය යුතු නැත්නම්, ජනතාව වෙනුවෙන් ඒ කාර්යය ඉෂ්ට කිරීමත් භාරවන්නේ පාර්ලිමේන්තුවටම ය. එනම්, තමන් පනවාගන්නා ඕනෑම නීතියක අවසාන විනිශ්චයකරුවාද තමන්ම වන බවයි.
එසේ කීමට තරම් කෙනෙකුට හයියක් ලැබෙන්නේ, ජනතා ස්වාධිපත්‍යය යන්න තමන්ගේ වාසියට අර්ථකථනය කරගැනීමෙන් පමණි. ජනතා ස්වෛරීත්වය හෙවත් ස්වාධිපත්‍යය තිබෙන්නේ, පාර්ලිමේන්තුව ඇතුළේ යැයි ජනාධිපතිවරයා සිතයි. එය සහමුලින්ම සාවද්‍ය මතයකි. ස්වෛරීත්වය තිබෙන්නේ ජනතාව අතේ ය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ එය සඳහන් වන්නේ මෙසේ ය: ‘‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය.’’
පාර්ලිමේන්තුව යනු, ජනතාව ස්වකීය ස්වෛරීත්වය හෙවත් පරමාධිපත්‍යය ක්‍රියාවට නංවන එක් ආයතනයක් පමණි. අනිත් ආයතන දෙක වන්නේ, විධායකය සහ අධිකරණයයි. අධිකරණය විසින් ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) කටයුතු ප්‍රශ්න නොකළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වා ඇත්තේ එක කාරණයක් සම්බන්ධයෙන් පමණි. එනම්, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පමණි. ඒ කාරණය හැරුණුකොට, පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා වෙනත් ඕනෑම නීතියක්, අණපනතක් (නියමිත කාලයක් තුළ) ප්‍රශ්න කිරීමේ බලය අධිකරණයට ඇති බව ඉතා පැහැදිලිව අපේ ව්‍යවස්ථාවේ දක්වා තිබේ.
මෛත්‍රීපාල සිරිසේනගේ දින 52 අවනීතික ක්‍රියාව සහ රනිල් වික්‍රමසිංහගේ වර්තමාන හැසිරීම අතර මූලික වෙනසක් දැන් නොපෙනෙන ගානයි. මෛත්‍රීපාල සිරිසේන විසින් එදා රනිල් වික්‍රමසිංහව ගෙදර යවනු ලැබුවේ, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් නියමයක්, තමාගේ පටු දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව අවභාවිතයට ගනිමිනි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයක් නොපවත්වා සිටීමට මේ මොහොතේ ගන්නා උත්සාහයන්ද, ව්‍යවස්ථාවේ යම් නියමයක් සිය දේශපාලනික අවශ්‍යතා සාධනය සඳහා අවභාවිත කිරීමට ගන්නා කූට ප්‍රයත්නයන් බව පෙනේ.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය පිල්ලි දෙකම අසාර්ථක වීමෙන් පසු දැන් ජනාධිපතිවරයා වෙනත් ක්‍රමයක් ඒ සඳහා යොදාගැනීමට මානබලයි. එනම්, ජනමත විමසුමක් අවශ්‍ය කරන බවට ව්‍යවස්ථාවේම දක්වා ඇති එක්තරා කාරණයක් මේ මොහොතේ දඩිබිඩියේ සංශෝධනය කිරීම සඳහා උත්සාහ කිරීමයි. ඊළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස තුනක පමණ කාලයකි. එවැනි අවස්ථාවක, ජනමත විචාරණයකුත් අවශ්‍ය කළ හැකි මෙවැනි සංශෝධනයක් කොහෙත්ම උචිත නොවේ. උක්ත සංශෝධනය කිරීමට අපේක්ෂා කරන 83 (ආ) යන වගන්තියේ සඳහන් වන, ‘‘ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ, නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ’’ යන වාක්‍යාංශයේ අඩංගු ‘සාවුරුද්ද’ යන වචනය ‘පස් අවුරුද්ද’ යනුවෙන් වෙනස් කිරීම මේ සංශෝධනයේ අරමුණලූ. එවැන්නක් කුමට? ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැවූ පිල්ලි දෙකටම ලැබී ඇති අධිකරණමය නියමය වන්නේ, ජනාධිපති ධුර කාලය පස් අවුරුද්දක් පමණක් වන බවයි. දැන් ඒ ගැන කිසි සැකයක්, කහටක් නැත.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් මේ සතියේ ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කෙරුණි. එහෙත් පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ කොමිසමේ සභාපතිවරයා එවැනි දිනයක් ප්‍රකාශයට පත්නොකළා පමණක් නොව, එකී දිනය නියම කිරීම සඳහා රාහු කාලය බැලීමටද අවශ්‍ය යැයි කීවේය! විගඩමේ තරම පෙනේද? මැතිවරණ භාර ස්වාධීන කොමිෂන් සභාවක් යැයි නම් කරගන්නා ආයතනයක්, දෛවඥයන්ගේ කේන්දරත් බලන තත්වයකට පිරිහී ඇති සැටියෙන් පෙනෙන්නේ, නායකයෙකුට බඩ යන විට රටකට දැනෙන දුර්ගන්ධයේ තරමයි!
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda