ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් 2024 ජූනි 30 වැනි දින අභාවප්‍රාප්ත විය. ඔහු 91 වැනි වියෙහි පසු වූයේය. සම්බන්දන් ගෞරවනීය සහ කෘතහස්ත දෙමළ දේශපාලනඥයෙක් විය. ඔහුගේ සමුගැනීම යුගයක අවසානය සනිටුහන් කරයි. මාධ්‍යවේදිනී මීරා ශ්‍රීනිවාසන් The Hindu obit හි ලියා ඇති පරිදි,

අඩසියවසකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සම්බන්දන් මහතා පාර්ලිමේන්තුව තුළ තිබූ නිර්භීත සහ තියුණු හඬකි. ඔහු 2009 සිවිල් යුද්ධය අවසන් වූ දා සිට අනවරතව ‘එක්සත්, නොබෙදුණු, නොබෙදිය හැකි’ රටක් තුළ දෙමළ ජනතාව සඳහා සමාන අයිතිවාසිකම් ඉල්ලා සිටියේය.

නීතීඥයකු වූ ඔහු, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය සහ දකුණේ සිංහල සංස්ථාපිතය අතීතයේ දී ලබා දුන් නමුත් ඉටු කිරීමට අපොහොසත් වූ බොහෝ පොරොන්දු පසුබිම් කරගෙන දේශපාලන විසඳුමක් සඳහා වන සිය තර්ක ඉදිරිපත් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා Twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “කෘතහස්ත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්ගේ පවුලේ සමාජිකයන්ට සහ මිතුරන්ට මගේ බලවත් ශෝකය පළ කරමි. ඔහු සමඟ හමුවීම් පිළිබඳ සොඳුරු මතකයන් සැමවිටම මතකයේ පවතිනු ඇත. ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් සඳහා සාමය, ආරක්‍ෂාව, සමානාත්මතාවය, යුක්තිය සහ ගෞරවනීය ජීවිතයක් වෙනුවෙන් නොනැවතී ක්‍රියා කළේය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිටින ඔහුගේ මිතුරන්ට සහ අනුගාමිකයන්ට ඔහු නැති අඩුව දැඩිව දැනෙනු ඇත”

Facebook සහ Twitter පරිශීලකයන් මෙම අභාවය සම්බන්ධයෙන් කිනම් අදහස් දරන්නේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා මම එම සමාජ මාධ්‍යවල පළ කරන ලද අදහස් දැක්වීම් (comments) අධ්‍යයනය කළෙමි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ෆේස්බුක් හි වැඩිපුරම අදහස් දැක්වීම් කර ඇති ප්‍රසිද්ධ සටහන් හතර වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන්), පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් (ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්), පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකඛ්‍යන් රාසමානික්කම් (දෙමළ භාෂාවෙන්), සහ The Morning පුවත්පත (ඉංග්‍රීසියෙන්) විසින් පළ කළ සටහන්ය.

ප්‍රේමදාසගේ සටහනට අදහස් 441ක්, සුමන්තිරන්ගේ සටහනට අදහස් දැක්වීම් 238 ක්, රාසමානික්කම්ගේ සටහනට අදහස් දැක්වීම් 203 ක් සහ The Morning සටහනට අදහස් දැක්වීම් 176 ක් ලැබී තිබුණි. මම දෙමළ භාෂාව නොදන්නා බැවින්, දෙමළ භාෂාවෙන් පළ කළ අදහස් අධ්‍යයනය කිරීමට පෙර google Translate හරහා විග්‍රහ කර ගතිමි.

මම ‘සම්බන්ධන්’ සහ ‘සම්බන්දන්’ යන වචන දෙකම යොදා සෙවීම් (Search) කළෙමි. ප්‍රේමදාසගේ සටහන හැරුණු විට වැඩිම පිරිසක් අදහස් දැක්වීම් කළ අනෙකුත් ලිපි දෙක පළ කර තිබුණේ Newsfirst විසිනි. ඒ අතරින් එකක් වීඩියෝවක් වන අතර අනෙක සම්බන්දන්ගේ අභාවය පිළිබඳ පුවතකට අදාළ සබැඳියකි.

Twitter හි පසුගිය පැය 24 තුළ ‘Sampanthan’ ලෙස පළ කරන ලද Twitter පණිවිඩ 174 ක් අධ්‍යයනය කළෙමි. සිංහලෙන් ඒ හා සමාන Twitter පණිවිඩ (සම්බන්දන් පිළිබඳව) 2කට වඩා පළ නොවීය.

දේශපාලකයන් සහ The Morning විසින් පළ කරන ලද සටහන්වලට පළ කර තිබූ අදහස් දැක්වීම්

ප්‍රේමදාස විසින් පළ කළ සටහනට සහ The Morning පුවත්පත විසින් පළ කළ සටහනට පළ වූ අදහස් දැක්වීම්වලින් බහුතරයක් සම්බන්දන් වෙත ගෞරවය සහ ඔහුගේ අභාවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කරයි. බොහෝ පරිශීලකයන් ‘Rest in Peace’ (සාමදානයේ සැතපේවා) හෝ නිව සුව ලැබේවා යනුවෙන් පළ කර තිබුණි. සම්බන්දන් කෘතහස්ත දේශපාලනඥයකු ලෙසත් ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනයේ වැදගත් චරිතයක් ලෙසත් පුළුල් පිළිගැනීමක් පවතී. ඇතැමුන් ඔහුව වඩා දැඩි මතධාරී දෙමළ දේශපාලනඥයන් (නම් සඳහන් කර නොමැති) හා සැසඳමින් එක්සත් ශ්‍රී ලංකාවක් අපේක්ෂා කළ මධ්‍යස්ථ මතධාරියෙක් (දෙමළ දේශපාලනයේ) ලෙස ඔහුට ප්‍රශංසා කරති. තවත් සමහරු සම්බන්දන්ගේ දිගු දේශපාලන ජීවිතය ගැන ආවර්ජනය කරන අතර, කිහිප දෙනෙක් ඔහු මෙතරම් වයෝවෘධ වනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ සිටියේ මන්දැයි ප්‍රශ්න කරති. අදහස් අතර දේශපාලනඥයන් කලින් විශ්‍රාම ගත යුතු බවට යෝජනා තිබේ. මෙම අදහස් දැක්වීම් අතර කුඩා සංඛ්‍යාවක්, අනෙකුත් වයෝවෘද්ධ දේශපාලඥයන්ද ඉක්මනින් සම්බන්දන්ව අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරමින් සම්බන්දන්ගේ මරණය පුළුල් ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය විවේචනය කිරීමට අවස්ථාවක් ලෙස භාවිතා කරයි.

සම්බන්දන්ගේ මරණයට ප්‍රතිචාර දැක්වීම තුළ සෘණාත්මක යටිපෙළක් තිබීම සහ ඇතැමුන් ඔහුගේ මරණය සැමරීමට පවා පෙළඹීම කණගාටුවට කරුණකි. කිහිප දෙනෙක් වුවද ප්‍රවෘත්තිවලට හාස්‍යයෙන් හෝ ප්‍රීතියෙන් ප්‍රතිචාර දක්වන අයව, එසේ කිරීම නින්දිත, අගෞරවනීය සහ මූලික මානව මූලධර්මවලට පටහැණි ක්‍රියාවක් යැයි පවසමින් විවේචනය කරන බව අවධාරණය කළ යුතුය. දේශපාලන භේදයකින් තොරව සංවේදනය පෙන්විය යුතු බවට කළ ඉල්ලීම්ද දක්නට ඇත.

● සමහර පරිශීලකයන් ඔහුගේ අභාවය ගැන ප්‍රීතිය ප්‍රකාශ කරයි: “ශුභාරංචිය” (Good News) සහ “දවසේ ශුභාරංචිය😂” (Good news of the day) ලෙස ඉංග්‍රීසියෙන් පළ කර තිබුණි. සිංහලෙන්: “ආරංචිය සුබයි කිව්වෙ මේකද?” ලෙස පළ කර තිබුණි.

● සම්බන්දන් බෙදුම්වාදයට හෝ දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට (එල්.ටී.ටී.ඊ. සංවිධානය) සහය දුන් බවට චෝදනා කරමින් අදහස් පළ කර තිබුණි. ”ප්‍රභාකරන්ගේ Pka ලෙවකාපු එකා..හොද වැඩේ ඕකාට..අපායටම පල tooooow”. ”දැන් ඉතින් ප්‍රභාකරන් කියන මස් වැද්දා සහ උගේ ගෝලයෝ රොත්ත එක්ක අපායත් දෙකඩ කරල වෙනම අපායක් හදා ගනින්”

● සම්බන්දන්ගේ දායකත්වය අවතක්සේරු කරන හෝ ඒ ගැන උදාසීනත්වය ප්‍රකාශ කරන අදහස් තිබේ: “ඔහු රටට හෝ ජාතියට කිසිවක් කර නැත. එහෙත් මම ඔහු සාමදානයේ සැතපේවා’යැයි පතමි” (”:”He has done nothing to country or nation . But. I pray for Rest in peace.”). ”කරපු දේවල් මතක් වෙන්න ඇති රටට”

● සමහර අදහස් ඔහුගේ මරණය ගැන නින්දා සහගත භාෂාවක් භාවිතා කිරීම හෝ ඒ ගැන තෘප්තිය ප්‍රකාශ කිරීම කර ඇත : “කාළකන්නියා උඹ අපායේ පිච්චියන්”. (Burn In Hell Asshole) “…… උඹ අපායටම පලයන්” (Go to hell you ……”) “ශ්‍රී ලංකාවේ තවත් එක සාපයක් එලෙස අවසන් විය.” (Okk…😪Sri Lanka’s one curse ended like that🐖)

දිගුකාලීන දේශපාලන චරිතයක් ලෙස සම්බන්දන් කෙරෙහි තවමත් සැලකිය යුතු ගෞරවයක් පවතින අතර, සුමන්තිරන් සහ රාසමානික්කම්ගේ ෆේස්බුක් සටහන්වලට දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පළ කර ඇති අදහස් දැක්වීම් තුළ ඔහුගේ ජීවිතය, නාමය, නායකත්වය සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ දේශපාලන නියෝජනයේ අනාගතය සම්බන්ධයෙන් දෙමළ කතා කරන ප්‍රජාව තුළ වඩාත් විචාරශීලී සහ ස්වයං විවේචනාත්මක ස්වරයක් පිළිබිඹු වේ.

The Morning පුවත්පතට සහ ප්‍රේමදාසගේ සටහන්වලට පෙර පළ කළ අදහස් මාලාවට සමාන ලෙස “ஆழ்ந்த அனுதாபங்கள்” (බලවත් ශෝකය) හෝ “Rest in peace” (ඉංග්‍රීසියෙන්) ආදි ලෙස අදහස් දක්වා ඇත. කෙසේ වෙතත්, මෙම ශෝකය ප්‍රකාශ කිරීම් බොහෝ විට පළ කර ඇත්තේ සම්බන්දන්ගේ දේශපාලන ජීවිතය සහ එහි බලපෑම පිළිබඳ වඩා විවිධාකාර හා සංකීර්ණ මෙනෙහි කිරීම් සමඟිනි.

බොහෝ දෙනෙක් සම්බන්දන් සැලකිය යුතු දේශපාලන චරිතයක් ලෙස පිළිගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් ඔහුගේ නායකත්වයේ ඵලදායී බව ප්‍රශ්න කරති. නිදසුනක් වශයෙන්, සමහර අදහස් දැක්වීම් ඔහුව “කෘතහස්ත දේශපාලනඥයෙක්” හෝ “ශ්‍රේෂ්ඨ නායකයෙක්” ලෙස විස්තර කරන අතරම ඔහුගේ ධූර කාලය තුළ දෙමළ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් සිදු නොවීම ගැන කලකිරීම ප්‍රකාශ කරයි.

මෙම අදහස් දැක්වීම් තුළ සම්බන්දන් පිළිබඳ ඇති විවේචනය වඩා නිශ්චිත සහ කැපී පෙනෙන සුළුය. විශේෂයෙන්ම, 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමෙන් පසුව, දෙමළ ජනතාවගේ අවශ්‍යතාවලට වඩා ඔහුගේම දේශපාලන ජීවිතයට ප්‍රමුඛත්වය දුන් බවට ඇතැම් පරිශීලකයෝ ඔහුට චෝදනා කරති. සිංහල ආණ්ඩු සමඟ ඇති කරගත් සම්මුති පිළිබඳ සඳහනක් සහ දෙමළ ජනතාවට අර්ථවත් ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ බවට චෝදනාද මේ අතර ඇත.

ප්‍රේමදාස සහ The Morning පත්‍රයේ සටහනෙහි පළ කර තිබූ අදහස් දැක්වීම් මෙන් නොව, සම්බන්දන්ගේ මරණය පිළිබඳව ප්‍රීතිමත් සැමරුම් හෝ අගෞරවනීය අදහස් නොමැති තරම්ය. නිෂේධාත්මක හැඟීම් බොහෝ විට ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන විවේචන සහ දෙමළ දේශපාලනයේ තත්ත්වය පිළිබඳ කලකිරීම ප්‍රකාශ කිරීමෙනි. පශ්චාත්-සම්බන්දන් යුගය තුළ දෙමළ දේශපාලනයේ අනාගතය ගැන සාකච්ඡා කරමින් ඇතැමුන් නව නායකත්වයක් සහ නැවුම් ප්‍රවේශ පිළිබඳ බලාපොරොත්තුව පළ කරන අතර, තවත් සමහරු ඔහුගේ අභාවයෙන් ඇති වූ රික්තය ගැන කනස්සල්ල පළ කරති.

Newsfirst පළ කිරීම් දෙකට පළ වූ අදහස් දැක්වීම්

ශ්‍රී ලංකාව තුළ ඇති දැඩි ධ්‍රැවීකරණයේ අනු-දර්ශකයක් (proxy indicator) ලෙස සැලකුවහොත් (මම එය 2012 වසරේ සිට Facebook තුළ වර්ධනය වන බව අධ්‍යයනය කර ඇත්තෙමි), බොහෝ සිංහල සහ ඉංග්‍රීසි අදහස් දැක්වීම් තුළ සම්බන්දන්ගේ අභාවය පිළිබඳ එදිරිවාදී බවක් සහ ඔහුගේ මරණය සැමරීම ඉහළ මට්ටමක පවතී. Newsfirst Facebook පිටුවෙහි සිටින පරිශීලකයෝ මිලියන 2.3ක් සිංහල කතා කරති. ඒ අතරින් සමහරක් දැන් ඩයස්පෝරාවට අයත් වුවත් (විශේෂයෙන් 2022 න් පසු රටින් පිටව ගිය), බොහෝ දෙනෙක් තවමත් රට තුළ සිටිති.

විශේෂයෙන් සිංහල භාෂාවෙන් සම්බන්දන්ගේ මරණය සැමරීම සහ ඒ පිළිබඳව අවමන් සහගත සහ උපහාසාත්මකව අදහස් දැක්වීම් සැලකිය යුතු ප්‍රමාණයක් දක්නට ඇත. ජනාධිපතිවරණ ප්‍රචාරක සටන් පාඨය යොදා ගනිමින් බොහෝ දෙනෙක් “ආරංචිය සුභයි” හෝ “සුභ ආරංචියක්” ලෙස සිය ප්‍රීතිය හෝ තෘප්තිය ප්‍රකාශ කරති. මෙම අදහස්වල බොහෝ විට හාහා/සිනාසෙන ඉමෝජි ඇතුළත් වේ. සම්බන්දන් “කොටියෙක්” (එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන සඳහන් කරමින්) හෝ ඔහු බෙදුම්වාදය සහ වාර්ගික බෙදීම ප්‍රවර්ධනය කරන බවට බොහෝ දෙනා සටහන් කරති. සමහරු අපහාසාත්මක යෙදුම් භාවිතා කරති, නැතහොත් සරලවම ඔහු “අපායට යා යුතු”යැයි (Go to hell) ප්‍රාර්ථනා කරති.

පෙර දක්වා තිබූ අදහස් දැක්වීම්වලට තරමක් සමාන නමුත් සියුම්ව ආවරණය කරන ලද ජාතිවාදී යටි ස්වරයක් සහිතව බොහෝ දෙනා සම්බන්දන් එතරම් වියපත් වන තෙක් දේශපාලනයේ රැඳී සිටීම ගැන විවේචනය කරති. දේශපාලනඥයන් කලින් විශ්‍රාම ගත යුතු බවට යෝජනා කරන අතර, ඔවුන් බලයේ එල්ලී සිටින බවට චෝදනා එල්ල කර තිබේ.

පුද්ගලයකුගේ මරණය සමරන අයවලුන් විවේචනය කරමින් මූලික මිනිස් මූලධර්ම ගැන අන් අයට මතක් කිරීමට උත්සාහ කරන අදහස් දැක්වීම් කිහිපයක්ද තිබේ. සුළු පිරිසක් සම්බන්ධන්ගේ දිගු දේශපාලන ජීවිතය සහ දෙමළ අවශ්‍යතා නියෝජනය කිරීමට ඔහු දැරූ උත්සහය පිළිගනිති. කෙසේ වෙතත්, මෙම ධනාත්මක, සමාජීය හැඟීම බොහෝ සෙයින් පවතින්නේ සුළුතරය තුළය. පළ කර ඇති නිෂේධාත්මක හැඟීම් සහ එදිරිවාදී අදහස් ඒවාට වඩා ඉතා ඉහළය.

අධ්‍යයනය කළ සමහර අදහස් දැක්වීම් අතර පහත ඒවා ඇතුළත් වේ.

● ලංකාවට අනවශ්ය පුද්ගලයෙකි …🤚
● ජයම වේවා!!!අපාගත වෙයන් පරයා
● දෙමල ජනතාව රවටා බලයේ රැදිසිටි මහල්ලෙකි
● හරි දුකයි මහ කොටියා සාමදානයේ සැතපේවා (So sad RIP big tiger) (කොටියා යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයයි.)
● අපාගත වේවා
● ආරංචිය සුභයි
● Loku deyak
● Marilada kiyala hariyatama balapalla
● හොදයි
● කලින් මැරෙන්න ඔින එකෙක් දැන් හරි මැරිල ගිය එක ලොකු දෙයක් මුන්ට යන්න අපායක් නැ
● මහ කොටියෙක් ඉවරයි
● Aye thopi wage ewn me loketa bihiwenta epa
● දෙමළ මිනිස්සුන්ගේ චන්ද ටික අරගෙන අවස්ථාවාදී විදිහට ඒ පැත්තට මේ පැත්තට deal දාපු මනුස්සය….

අනෙක් අතට, මෙම අදහස් දැක්වීම් අතර ඒවාට එකඟ නොවූ පුද්ගලයෝද සිටිති.

● තම ජාතිය වෙනුවෙන්, සුවිශේෂී කැපකිරීම් කර ජාතික මෙහෙවරක් ඉටු කළ සැබෑ ජාතික, දේශපාලන නායකයෙක්. (කණගාටුවට කරුනනම්,
සිංහල ජාතියට මෙවන් නායකයකු නොමැති වීමයි.)

● ඔහු තමන්ගේ ජනකොටස වෙනුවෙන් දකුණේ… දේශපාලන නායකයන් සමඟ මධ්‍යස්ථව කටයුතු කරා… යුද සමයේ හා සාම සාකච්ඡා වලදී ඔහුගෙ
දේශපාලන ශක්තිය පාලමක් ලෙස ක්‍රියාවට නැංවූවා..

● තම ජාතිය වෙනුවෙන් අසීමිත කැපකිරීම් කල නායකයෙක්..සිංහල ජාතික නායකයින්ට මේවා හොද උදාහරණ.. මැරෙන්නට කලින් නිවන් සුව
පතන යුගයක,ඔබට නිවන් සුව පතමි..

● 1970 දශකයේ මා ත්රිකුණාමලයේ සේවයේ නිරතව සිටියදි මා රාජකාරි වශයෙන් හා පෞද්ගලිකවම දැන හදුනාගෙන සිටි එවකට ත්‍රීකුණාමලය
අධිකරණයේ සීටි දක්ෂ නීතීඥ මහත්මයෙක්. ඔබට මා අදහන දහම අනුව සදාතනික නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

● බහුතරයක් සිංහල අපි ඔබව කිරවා ගත්තේ දකුණේ සිංහල දේශපාලකයින්ගේ වචනයෙනි. ඔබ ඔවුන් පැවසූ පුද්ගලයාම නොවන බව ස්වාධීනව
බැලිමේදි අවබෝධ විය. ඔබට නිවන් සුව ලැබේවා..

● මේ අදහස් දක්වන්නේ බහුතරයක් බෞද්ධයන් නේද? කෝ කරුණාව දයාව මෛත්රිය කො මධ්‍යස්ත බව

Twitter

ඉහත අධ්‍යයනය කරන ලද ෆේස්බුක් අදහස් තුළ අමු, සංස්කරණය නොකළ, ජාතිවාදී, අශෝබන අදහස් දැක්වීම් සහ එදිරිවාදිකම් ඇතුළත් විය. නමුත් Twitter තුළ දක්වා ඇති අදහස් තුළ සම්බන්දන්ගේ දේශපාලන චරිතය, ජනතාවට හා රටට කළ සේවය සහ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ ප්‍රගමනය සඳහා ඔහු කළ කැපවීම ඉස්මතු කරමින් සම්බන්දන්ගේ අභාවය පිළිබඳ වඩා විධිමත්, උපායශීලි ප්‍රතිචාර ගැබ් වේ.

බොහෝ Twitter පණිවිඩ, විශේෂයෙන් දේශපාලනඥයෝ සහ අනෙකුත් නිල ගිණුම් සම්බන්දන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට ශෝකය පළ කරති. Twitter පණිවිඩ තුළ දෙමළ ජනයාගේ අරමුණ වෙනුවෙන් ඔහුගේ කැපවීම සහ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනයාට සමාන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඔහු දැරූ උත්සහය පිළිබඳ නොවෙනස් පිළිගැනීමක් තිබේ.

අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයා කෘතහස්ත දේශපාලඥයකු, මධ්‍යස්ථ මතධාරියකු සහ සාමය හා සංහිඳියාව වෙනුවෙන් අනවරතව පෙනී සිටින්නෙකු ලෙස හඳුන්වනු ලබයි. නිර්-ප්‍රචණ්ඩ දේශපාලන විසඳුම් සඳහා ඔහුගේ වූ කැපවීම සහ ශ්‍රී ලංකා රජය සමඟ සාකාච්ඡා කිරීමට ඔහුගේ තිබූ කැමැත්ත බොහෝ පණිවිඩවල මතු කර තිබුණි. විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉන්දීය දේශපාලනඥයන්ගේ සහ මාධ්‍යවල Twitter පණිවුඩ කිහිපයක් ද්විපාර්ශ්වික සබඳතාවලදී සම්බන්ධන්ගේ භූමිකාව අවධාරණය කරයි. ඔහුව හමුවී ගනුදෙනු කිරීම් පිළිබඳ සොඳුරු මතකයන් කිහිපයක් ගැනද සඳහන් වේ.

යුද්ධයට පෙර යුගයේ සිට කටයුතු කළ දෙමළ නායකයකු ලෙස ශ්‍රී ලංකා දේශපාලනයේ ඔහුගේ දිගුකාලීන පැවැත්ම පිළිබිඹු කරමින්, Twitter පණිවිඩ ගණනාවක් සම්බන්දන්ගේ අභාවය “යුගයක අවසානයක්” ලෙස සඳහන් කරයි.

පෙර Facebook අදහස් දැක්වීම් මෙන්ම, දෙමළ ජනයා සඳහා සාර්ථක ප්‍රතිඵල අත්කරදීමට සම්බන්දන් කෙතරම් සමත් වී දැයි ඇතැමුන් ප්‍රශ්න කරන අතර, තවත් සමහරු වයස්ගත හා දුර්වල සෞඛ්‍ය තත්ත්ව යටතේත් ඔහු දිගින් දිගටම පාර්ලිමේන්තුවේ සිටීම විවේචනය කරති. ඔහුගේ අභාවයෙන් නයකත්වය තුළ ඇති විය හැකි රික්තකය ගැන ඉස්මතු කරමින්, සම්බන්දන්ගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනයේ අනාගතය ගැන කනස්සල්ල පළ කරන Twitter පණිවිඩ කිහිපයක් ද තිබේ.

සම්බන්ධන්ගේ මරණය, විනිවිදීමේ නිමේෂයක් ලෙස

පොදු මහජන මනෝභාවය පෙන්නුම් කිරීම සඳහා Facebook සහ Twitter හි පළ කරන ලද අදහස් දැක්වීම් සිය ගණනක් සාමාන්‍යකරණය කිරීම වැරදි සේ ම භයානකද වේ. නමුත් සම්බන්දන්ගේ අභාවයට අදාළව මම අධ්‍යයනය කළ දෙය සමාජ මාධ්‍යවල සහ පාර්ලිමේන්තුවේ පවා හුරුපුරුදු වෙහෙසකර ජාතිවාදී කතාවකි. අභාවප්‍රාප්ත සම්බන්දන් ම 2018 පෙබරවාරි මාසයේදී එවකට විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුව අමතා මීට එරෙහිව කතා කළේය.

සම්බන්දන් ජීවතුන් අතර සිටියදී අපට අනතුරු ඇඟවූ දෙය ඔහුගේ වියෝව පිළිබඳ දක්වන ලද අදහස් දැක්වීම් අතර හමුවීම පුදුමයක් නොවුණත් ඇත්තෙන්ම එය කණගාටුදායකය.

සිංහල අදහස් දැක්වීම් (Facebook සහ Twitter තුළ පළ කළ) මඟින් බොහෝ විට ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ අනන්‍යතාවයට ප්‍රමුඛත්වය දෙන ඒකීය රාජ්‍යයක් ලෙස සංකේතවත් කරයි. මෙම බහුතරවාදි දෘෂ්ටිකෝණය අනුව, සම්බන්දන් වැනි දෙමළ දේශපාලනඥයන් දෙස සැකයෙන් බලන අතර ඔවුන් ජාතික සමගියට තර්ජනයක් ලෙස හෝ සැඟවුණු බෙදුම්වාදීන් ලෙස සැලකේ. මෙම දෘෂ්ටිය අනුව දෙමළ දේශපාලන අභිලාෂ ත්‍රස්තවාදයට සමාන වන අතර, ඒ තුළ සම්බන්දන් ‘කොටියෙක්’ ලෙස සැළකෙන්නේ එබැවිනි. මෙම දෘෂ්ටිකෝණය දෙමළ දුක්ගැනවිලි ක්ෂුද්‍ර කිරීමත්, මුලුමනින්ම බැහැර කිරීමත් කරන අශිෂ්ට එකකි. එසේම මෙම දෘෂ්ටිකෝණයට අනුව වඩා පුළුල් දේශපාලන ස්වායත්තතාවයක් හෝ අයිතිවාසිකම් සඳහා වන ඉල්ලීම් ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකාග්‍රතාවයට එල්ලවන තර්ජන වේ.

ඊට ප්‍රතිවිරුද්ධව, දෙමළ අදහස් දැක්වීම් මඟින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ පිළිගැනීම සඳහා සටන් කරන පීඩිත සුළුතරයක් වන දෙමළ ජනයා පිළිබඳ දැක්මකි. සම්බන්දන්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මධ්‍යස්ථ මතධාරී දෙමළ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නකු ලෙස සැලකේ. මෙම දැක්ම දෙමළ අයිතිවාසිකම් සඳහා වන අරගලය, සටන්කාමීත්වය, ත්‍රස්තවාදය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වෙනස් වූ යුක්තියුක්ත දේශපාලන ව්‍යාපාරයක් ලෙස සලකයි. වසර 30 කට ආසන්නව පැවති යුද්ධය හේතුවෙන් ඇති වූ සාමූහික කම්පනයක් සහ ආන්තීකරණයට ලක් කිරීම විඳ දරාගැනීම හේතුවෙන් ඇති වූ මහත් කනස්සල්ලක් ඒ තුළ ගැබ්ව තිබේ.

අධ්‍යයනය කරන ලද Facebook සහ Twitter හි පළ කළ සිංහල අදහස් දැක්වීම් ජාතික සමගිය පවත්වා ගැනීම සඳහා ශක්තිමත් මධ්‍යගත පාලනයක අවශ්‍යතාවය අවධාරණය කරන දෘෂ්ටිකෝණයක් වන අතර දෙමළ අදහස් දැක්වීම් හි ඇති දැක්ම සුළුතර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා බලය විමධ්‍යගත කිරීමේ සහ බලය බෙදා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.

දෙමළ ජනයාට ලැබෙන ඕනෑම වාසියක් සිංහලයන්ට සිදුවන ආපසු හැරවිය නොහැකි, ප්‍රචණ්ඩකාරී පාඩුවක් ලෙස සලකන ‘ජය-පැරදුම් මානසිකත්වයක්’ සිංහල අදහස් දැක්වීම්වලින් පිළිබිඹු වේ. ඊට වෙනස්ව දෙමළ අදහස් දැක්වීම් තුළින් බහුත්වවාදී ශ්‍රී ලංකාවක් තුළ සහජීවනය සහ සමාන අයිතිවාසිකම් සඳහා ඇති අභිප්‍රාය ප්‍රකාශ කරයි. මෙකී දෘෂ්ටීන් දෙක එකිනෙක මුසු නොවේ – ඒවා තාර්කික ක්ෂේත්‍ර වන්නේ ඒවාටමය.

අදහස් දැක්වීම් තුළින් පෙන්නුම් කරන දැඩි ධ්‍රැවීකරණය පුදුමයට කරුණක් නොවේ.

සිංහලෙන් සම්බන්දන් කෙරෙහි දැඩි ඍණාත්මක අදහසක් ඇත. බොහෝ අදහස් දැක්වීම් අවමන් සහගත අමානුෂික භාෂාවක් යොදා ගනිමින් ඔහුගේ අභාවය ගැන ප්‍රීතිය හෝ තෘප්තිය ප්‍රකාශ කරන අතර, දෙමළ ජනයා සිංහල ජනයාට තර්ජනය කරන ආකාරය පිළිබඳ සංකේතයක් බවට ඔහුව ඌණනය කරයි. කෝපය, සැකය සහ වෛරය ලෙස අර්ථ දැක්විය හැකි දේ පවා ඇතුළත් චිත්තවේගීය සංතෘප්තියක් (ඉමෝජි භාවිතා කිරීම ඇතුළුව) මේ තුළ පිළිබිඹු වේ. මෙම ඍණාත්මක ආකල්පය පුද්ගලයකු වශයෙන් සම්බන්දන් වෙත පමණක් එල්ල වන්නක් නොවන අතර, එය දෙමළ දේශපාලනඥයන්ට සහ ඔහු නියෝජනය කළ දෙමළ දේශපාලනය වෙතද එල්ල වේ.

පවතින දැඩි ධ්‍රැවීකරණය සම්බන්න්ගේ ජීවිතය හෝ චරිත ලක්ෂණ විග්‍රහ කරන ආකාරය හරහා විශේෂයෙන් පැහැදිලි වේ. නිදසුනක් වශයෙන්, බොහෝ දෙමළ ජනයා විසින් ඔහුගේ දිගු දේශපාලන ජීවිතය කැපවීමේ සහ නොපසුබට උත්සාහයේ සාක්ෂියක් ලෙස සළකන අතර, සමහර සිංහල අදහස් දැක්වීම් විසින් එය අර්ථ දක්වන්නේ මුරණ්ඩුකම හෝ බලය අත්හැරීම ප්‍රතික්ෂේප කිරීමක් ලෙසයි.

සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීම අරඹයා දක්වා ඇති අදහස් හොඳින්ම ග්‍රහණය කර ගන්නේ ඉහත වීඩියෝ පටයේ ඇති ඔහු පාර්ලිමේන්තුවේදී පැවසූ දෙය විය හැකිය.

අපි කතා කළේ එක්සත්, නොබෙදුණු, නොබෙදිය හැකි, තනි රටක් තුළ අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ, සැලකිය යුතු බලයක් බෙදාගැනීමේ විසඳුමක් ගැන පමණයි. අපි අපේ හැම ප්‍රදේශයකම අරගෙන ගිය අදහස ඒකයි. අපි එහෙම කළාම මැතිවරණයෙන් පස්සේ ඊළම පිපෙන්න පුළුවන් කියලා ජනාධිපති රාජපක්ෂ කියන්නේ කොහොමද? මේක දකුණේ ඉන්න ජනතාව, දකුණේ ඉන්න අහිංසක ජනතාව විතරක් නෙමේ, තමන්ව ඇතුළුව සියලුම දෙනාව රැවටීමක්. මම කියන්න කැමතියි මහත්මයාණෙනි, මම මේක ලේඛනගත කරන ලෙස ඉල්ලා සිටින්න කැමතියි, මොකද මේවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ පොදුජන පක්‍ෂයේ ද්වේෂසහගත, දුෂ්ඨ, සාවද්‍ය, බොරු ප්‍රචාර බව මේ රටේ හැමෝම දැනගන්න මට අවශ්‍යයි. ඔබ දිගටම මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළොත්, මට ඔබට කියන්නට අවශ්‍යයි, ඊළම පිපෙන්නේ අපි නිසා නෙමේ ඔබේ නෙළුම් පොහොට්ටුව නිසා.

සම්බන්දන්ගේ ජීවිතය නිර්වචනය කළේ ඔහු වෙත එල්ල කරන ලද දරුණුතම ප්‍රචණ්ඩත්වයන් නොතකා නොසැලෙන උදාර බවෙන් යුතුව ඔහු ඉපදුණු රටට වඩා හොඳ තැනකට ශ්‍රී ලංකාව හැර නොයා සිටීමට දැරූ උත්සහයන් මගිනි. දේශප්‍රේමියා යන්නට ඊට වඩා සුදුසු නිර්වචනයක් මම නොදනිමි.

හින්දු පුවත්පතේ ශ්‍රීනිවාසන්ගේ obit සටහන අවසන් වූ පරිදි,

දශක ගණනාවක් තිස්සේ රටේ නායකත්වය පුරුද්දක් ලෙස ඔහුව පහත් කර දැමුවද, බුද්ධියේ අශුභවාදයට ඔහුගේ කැමැත්තේ ශුභවාදී බව මඳක් හෝ අඩු කිරීමට ඔහු ඉඩ දුන්නේ නැත. යුක්තිය, ගෞරවය සහ සමානාත්මතාවය උදෙසා වන දෙමළ ජනතාවගේ දිගු, අඛණ්ඩ අරගලයේ දී, ඔහු කැපී පෙනෙන දේශපාලන සටන්කරුවකු ලෙස සිහිපත් කෙරනු ඇත.

May he rest in peace.

ආචාර්ය සංජන හත්තොටුව | Dr. Sanjana Hattotuwa

[ආචාර්ය සංජන හත්තොටුව විසින් sanjana.wordpress.com The passing of R Sampanthan MP: Snapshots from a divided country නමින් පළ කරන ලද ලිපියේ පරිවර්තනයකි.]