“මානව හිමිකම් රාමුවක් මත පදනම් වෙමින් වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා”
සමාජ මාධ්‍යය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ලංකාව තුළ ක්‍රියාකාරී සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, ක්‍රියාකාරී මාධ්‍ය සංවිධාන, ස්වේච්ජා තරුණ ක්‍රියාකාරී සංවිධාන, ඇතුලු මානව අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන ඇතුලු පාර්ශව 18ක දායකත්වයෙන් නිම කරන ලද “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : 2වන සංස්කරණය | Social Media Declaration(SMD 2.0) : Version 2.0” සාර්ථක අයුරින් ජූලි 25 වන දින කොළඹ, රේනුකා හෝටලයේ දී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එළිදැක්විය.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී, සමාජ මාධ්‍ය ප්‍රකාශනයේ පළමු එළිදැක්වීම සිදුකරන ලද්දේ 2019 වර්ෂයේ මාර්තුවේදීය. එතැන් පටන් වසර 5ක් පුරාවට සමාජ මාධ්‍ය ප්‍රකාශනය හා සබැදි ක්‍රියාකාරකම් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ ද, ශ්‍රී ලංකාවෙන් පිටත ද සිදුවිය. විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළ ලෝකයේ සමාජ මාධ්‍ය ඇතුළු ඔන්ලයන් අවකාශය තුළ ඇති වෙමින් නව ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් සහ විශේෂයෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදුකරන ලද සාකච්ඡා, වැඩමුලු ඇතුලු පරිශ්‍රමයන් තුළින් ලබා ගත් අදහස් සහ යෝජනා ද සැලකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය ප්‍රකාශනය – 2වන සංස්කරණය සකස් කර ඇත. එසේම මෙම 2වන සංස්කරණය තුළ ලංකාවේ Online Safety Act සම්මත වීමත් ඒ හරහා මිනිසුන්ගේ ප්‍රකාශනයේ නිදහසට(Freedom of Expression) ඇතිවන බලපෑම ඉතාම ගැඹුරින් සලකා බලමින් ප්‍රකාශනයේ 2වන සංස්කරණයේ අන්තර්ගතය තුළ විශ්ලේෂනාත්මකව විග්‍රහයක් සමග සකසා ඇත.

ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, විශේෂයන්ම මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්‍යය පරිශිලකයින් වෙත යහපත් සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම උදෙසා සකස් කරන ලද මග පෙන්වීම් මාලාවක්, සමාජ මාධ්‍යය සුරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමෙහිලා ආණ්ඩුව, සමාජ මාධ්‍යය වේදිකා, සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන සතු වගකීම් මෙම සමාජ මාධ්‍යය ප්‍රකාශනය තුළ අන්තර්ගත කොට තිබේ.

මෙම ප්‍රකාශනය, සමාජ මාධ්‍ය තුළ හෝ ඒ හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ නොබිඳිය හැකි වැදගත්කම හඳුනා ගැනීමේ උත්සාහයක් වන අතර, ආචාරධාර්මික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ වගකීම සහ යහපත අරමුණු කරගත් සමාජ මාධ්‍ය භාවිතය දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීම ද සිදු කරයි.

“සමාජ මාධ්‍ය වගකීමෙන් යුතුව ආචාරධාර්මිකව භාවිතා කිරීම දිරිමත් කරන ප්‍රජාවක් පෝෂණය කිරීම සහ ප්‍රවේශ වීමේ අයිතිය සහ තොරතුරු මත පදනම් වූ සමාජයකට ඉඩ සැලසීම සඳහා ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමත්, ඒත් සමගම සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීමට ඉඩකඩ ඇති බව පිළිගන්නා අතර ම, මෙම ප්‍රකාශනය විසින් ඩිජිටල් අයිතීන්, ‘මානව හිමිකම්’ රාමුවක් මත පදනම් වූ, සමාජ සාධාරණත්වය, මානව ගරුත්වය සහ මූලික මානව සහ සමාජ පරමාදර්ශ මත ගොඩනගන ලද සමාජයක අවියෝජනීය කොටසක් ලෙස පිළිගනී.” සමාජ මාධ්‍ය ප්‍රකාශනයේ – 2වන සංස්කරනයේ අරමුණ ලෙස එහි දැක්වෙයි.

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය(SMD 2.0) : Version 2.0 ” අදහස් පළ කිරීමේ නිදහසෙහි පවත්නා අනුල්ලංඝනීය වැදගත්කම හඳුනා ගැනීමට දරන ප්‍රයත්නයකි. ඒ අනුව සමාජ මාධ්‍යය නිශේධනාත්මක ලෙස පරිශීලනය කිරීමේ ශක්‍යතා බැහැර කරමින් සමාජ සාධාරණත්වය මානව ගරුත්වය ඇතුලූ ආචාරධර්මීය, ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම මානව අයිතිවාසිකම් මත පදනම් වූ හා සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම සඳහා වන මෙම කාර්යභාරය වෙනුවෙන්, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය( Sri Lanka Working Journalists’ Association), විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) , නැගෙනහිර පළාත් ජනමාධ්‍ය සංසදය (Eastern Province Journalist Forum), ග්‍රවුන්ඩ්විවුස් වෙබ් අඩවිය ( groundviews.org), අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය (Internet Media Action), යාපන මාධ්‍ය සමාජය(Jaffna Press Club), නීතිය හා සමාජ භාරය (Law and Society Trust) , මාට්‍ර්ම් වෙබ් අඩවිය (maatram.org), ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය( MONLAR), සර්වෝදය(Sarvodhya Shramadana Movement Sri Lanka), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය(SriLaka Muslim Media Forum), වැඩබිම මාධ්‍ය සාමූහිකය(සිංහල සහ දෙමළ), Human Elevation Organization, ActNow Youth Campaign, minormatters.org, Best Vision foundation, ජාතික සහයෝගිතා සංවර්ධන පදනම සහ විකල්ප වෙබ් අඩවිය (vikalpa.org) මෙම ප්‍රකාශනයේ හවුල්කරුවන් ලෙස දායකත්වය දක්වයි.

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය : 2වන සංස්කරනය” එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන දේශනය ආචාර්ය පාක්‍යසෝති සරනමුත්තු මහතා(Executive Director, Centre for Policy Alternatives) විසින් පැවැත්වූ අතර , විශේෂ අදහස් දැක්වීම ආචාර්ය සංජන හත්තොටුව මහතා(Research Director at the The Disinformation Project in New Zealand, and Special Advisor at the ICT4Peace Foundation in Switzerland.)) විසින් සිදුකරන ලදී. සමාජ මාධ්‍ය ප්‍රකාශනය, එහි අරමුණු, වසර 5ක කාලය තුළ ගමන් මග සහ ඉදිරි දැක්ම පිළිබද සම්පත් සමරකෝන් (Editor vikalpa.org Senior Researcher, Centre for Policy Alternatives) විසින් සිදුකරන ලදි.

මෙම වැඩසටහන සදහා පහසුකම් සපයන ලද්දේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ,මාධ්‍ය ඒකකය විසිනි.

“සමාජ මාධ්‍ය ප්‍රකාශනය ගැන සාකච්ඡා කරන විට, ඉතාමත් ප්‍රබල මාධ්‍ය මෙවලමක් වන සමාජ මාධ්‍ය, මිනිසුන් වඩ වඩාත් ආකර්ශනීය විය හැකි තාක්ෂණික දියුණුව සමඟ වේගයෙන් පරිණාමය වෙමින් පවතින මාධ්‍යකි. තීරණාත්මක ප්‍රශ්නය වන්නේ අප වඩාත් යහපත් අරමුණු සඳහා සුදුසු ලෙස භාවිතා කරන්නේද යන්නයි.” ආචාර්ය සරවනමුත්තු

“Disinformation ලෝකයේත් ලංකාවේත් නව යථාර්ථයන් නිර්මාණය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී පදනම් බිද දැමීමට, ඒවායේ විටිනාකම් ඛාදනය කිරීමට සමත්වෙමින් තිබේ. මෙය ඉතාමත් බරපතල ලෙස සැලකිය යුතු ගැටලුවක් වන ඒ පිළිබද ඉතාමත් සංවේදී වීම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සමාජයකට අතිශයින් වැදගත් වනු ඇත. ඒ වගේම විශේෂයෙන් ලංකාව තුළ නීතියක් බවට පත්ව ඇති Online safety Act මිනිසුන්ගේ ප්‍රකාශනයේ නිදහස ට(Freedom of Expression) බරපතල තර්ජනයක් වන බව අවබෝධ කර ගැනීමත් වැදගත්. විශේෂයෙන් මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශනය ඔන්ලයින් අවකාශය පිළිබද ගැඹුරු සංවාදයක් ආරම්භ කිරීමටත්, එය පවත්වාගෙන යාමටත් ඉතා හොද පදනමක් සපයයි. එය ඉදිරියට සැළසුම් සහගතව පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්” ආචාර්ය හත්තොටුව

(එහිදී සාකච්ඡා කෙරෙණු අදහස්වල සම්පූර්ණ විස්තරයක් ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වන්න)

කෙසේවෙතත් “සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2024 – 2වන සංස්කරනය” දියත් කෙරුණේ ජූලි මස වන අතර, 1983 ජූලියේ දී සැළසුම් සහගත ලෙස දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් ගෙන ගිය ඒ “1983 කළු ජූලි” අපරාධයට තවමත් යුක්තිය ඉටු වී නොමැති තත්ත්වයක් තුළ වීමද අප සටහන් කළ යුතුමය. ඒ සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය ප්‍රකාශනය සංවේදී වෙමින් ලංකාව තුළ යුක්තිය පිළිබද වන සංවාදයට ද දායකත්වය දක්වනු ඇත. එසේම මේ එළඹ ඇත්තේ මැතිවරණ වසරකි. එහිදී බලය සහ මුදල් යහමින් ඇති පක්ෂ, දේශපාලන කණ්ඩායම්, පුද්ගලයන් සිය බලය සහ මුදල් යොදා ගනිමින්, විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් “නිදහස් සහ සාමකාමී” මැතිවරණයකට ඇති අවස්ථා බිද හෙලීමට කටයුතු කිරීමට උත්සහා ගනු ඇත. ඒ පිළිබදවද ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන ඒ පදනම්ව ඔන්ලයින් අන්තර්ගතයන් විශ්ලේෂනය කරන මෙම ප්‍රකාශනය නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිමු.

“සමාජ මාධ්‍යය ප්‍රකාශනය : කොළඹ 2024 – 2වන සංස්කරණය” ජනගත කිරීමෙන් පසුව එය ක්‍රියාවට නැංවීමත් සහ ඒ සදහා මේ වන විට ලංකාව තුළ ඇති අභියෝගයන් හදුනාගැනීමත් සහ මේ ක්‍රියාදාමයේ ඇති ඉදිරි වගකීමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අප ඇතුලු සියලු පුරවැසියන් කෙරේ පැවරී ඇතැයි අප විශ්වාස කරමු. “සමාජ වගකීමක්” ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ එය භාවිතා කරන්නන් ඇතුලු වගකීම් සහගත පුරවැසියන් ලෙස එය “ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහ ඇතුලු ප්‍රජතන්ත්‍රීය වටින්කාම් ආරක්ෂා කරමින් ප්‍රවර්දනය කිරීම” ප්‍රයත්නයක් ලෙස අප ඉදිරියේ තිබේ.

සමාජ මාධ්‍යය ප්‍රකාශනය කියවීමට හා භාගත කිරීමට socialmedialanka.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

ට්විටර් මත පළකිරීම් නැරඹීම සඳහා #EngageSMInSL හෑෂ් ටැග් එක වෙත පිවිසෙන්න