IHP ආයතනයේ ජූනි මාසයට අදාළ සමීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්, අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446 න් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිතා කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි පැවසුවා. නමුත් සමීක්ෂණය ආරම්භයේ සිට ඉකුත් අප්‍රේල් දක්වාම සියයට පනහකටත් වැඩි ප්‍රතිශතයක් අනුර දිසානයකට වැඩි වී තිබූ බවටයි IHP නිවේදනය කළේ. ඒ අනුව පළමුවරට සජිත් ප්‍රේමදාස ප්‍රථම ස්ථානය රැගෙන ආවෙ ජුනි වාර්තාවෙන්. ඔවුන් මාසික වාර්තාවට අමතරව 2021 සිට මෙතෙක් කළ සමීක්ෂණ සමස්ථයක් ලෙස ගෙන අවසන් ප්‍රථිපලයක් ද IHP ඉදිරිපත් කරයි. ඒ නිසා ඔවුන්ගේ සමීක්ෂණය පිළිබඳව අධ්‍යයනයක් කිරීම වැදගත්.
ජනමත සමීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ මාලාවක් World Association for Public Opinion Research (WAPOR) හඳුන්වා දී තිබෙන්නේ ජනමත සමීක්ෂණයන්ගේ වලංගුභාවය (Validity) හා විශ්වසනීයත්වය (Reliability) පිළිබඳ ගෝලීය වශයෙන් තිබෙන ගැටලු සඳහා විසඳුමක් හැටියට. එහෙත් මෙවන් නීතීමය රාමුවකට හෝ මාර්ගෝපදේශ මාලාවකට අවතීර්ණ වීමේ සූදානමක් ලංකාවේ සමීක්ෂණ ආයතනයන්ට නැතත් මැතිවරණ සමයේ මාධ්‍ය ආයතන පිළිපැදිය යුතු මාධ්‍ය උපමානවල එක් වගන්තියකින් ජනමත සමීක්ෂණ පිළිබඳව මාධ්‍ය හැසිරිය යුතු අන්දම නම් පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික සාධක නිසා තම ඡන්දය පිළිබඳව කිසිවෙකුට අනාවරණය නොකර එය පෞද්ගලික කාරණයක් ලෙසම තබා ගන්නා බවට ආචාර්ය උයන්ගොඩ මතු කරන කාරණයට එකඟවන ආචාර්ය ප්‍රදීප් පීරිස් පවසන්නේ “විද්‍යාත්මකව ගත්තොත් ජනමත සමීක්ෂණයකින් කියන්න බෑ මොන පක්ෂය ද දිනන්නේ කියල. ලංකාවේ වගේ රටක කොහොමත් කියන්න බෑ” ආචාර්ය ප්‍රදීප් පීරිස් (World Association for Public Opinion Research (WAPOR)හි ශ්‍රී ලංකා නියෝජිතයා වේ.) ලංකාවේ ජනමත සමීක්ෂණ කර්මාන්තය නොදියුණු තැනක තිබීම ගැනත් WAPOR මාර්ගෝපදේශ පිළිපදින කණ්ඩායමක් ලංකාවේ නැති වීම ගැනත් ආචාර්ය ප්‍රදීප් කණගාටු වෙයි. “ජනමත සමීක්ෂණ කරන අයගේ උනන්දුව තමයි Push Poll ආකාරයට ඡන්දයට කලින් කිසියම් කණ්ඩායමක් දිනනවා කියල සමීක්ෂණයකින් කිව්වට පස්සේ එකෙන් Bandwagon Effect එකට අනුව ‘යන පැත්තට හෝයියා‘ කියල ඉන්න කට්ටිය ඒ කියන කණ්ඩායම නියෝජනය කරන්න යොමු කිරීම.” ජනමත සමීක්ෂණය මැතිවරණ ප්‍රචාරණයේ එක් සංඛ්‍යා විද්‍යාත්මක සෙල්ලමක් හැටියටත් ආචාර්යවරයා දකී.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ සිදු කිරීම ආරම්භ වන්නේ 2021 සිට. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy – IHP) මාසිකව සමීක්ෂණයක් සිදු කිරීමට ආරම්භ කිරීමත් එක්ක. 2024 ජනාධිපතිවරණය අදාළව, බහුලව කතාබහට ලක් වූ සමීක්ෂණ වාර්තාවත් මෙයයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මාසිකව පිරිසක් සමඟ ජංගම දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා පවත්වා SLOT නම් මෙම සමීක්ෂණය කරනවා. වෛද්‍ය රවී රන්නන්-එළිය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂවරයා වගේම SLOT සමීක්ෂණයේත් ප්‍රධානියා. පහුගිය මාස කිහිපයක ඔවුන් කළ සමීක්ෂණ ප්‍රතිපල මාධ්‍ය වෙතත් ඉදිරිපත් කළා. ප්‍රධාන වශයෙන් මෙම ආයතනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළත් ජනාධිපතිවරණය සම්බන්ධව දැනට පිළිගත් වෙනත් ආයතනයකින් සිදුකළ සමීක්ෂණයක් නොමැති නිසා දේශීය මෙන් ම ද හින්ද් වැනි විදේශීය මාධ්‍ය ආයතන පවා ඔවුන්ගේ සමීක්ෂණය උපුටා දක්වා තිබුණා පහුගිය කාල වකවානුව තුළ.
සමීක්ෂණයක තිබිය යුතු මූලික සිද්ධාන්ත බිඳ වැටී ඇත.
විද්‍යාත්මක නියැදියක් භාවිත කිරීම
2023 වසරේ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 17,088,869ක්. මිලියන 17ක ජනගහනයෙන් සංගනන සමානුපාතය 50% වන පරිදි, 95%ක විශ්වාස මට්ටමේ සහ සම්මත දෝශ 3ක් ලෙස සමීක්ෂණයක සඳහා 1068ක නියැදියක් තෝරාගත යුතුයි. ජනමත විමසුම අති සංවේදි සමීක්ෂණයක් බැවින් සමීක්ෂණ ප්‍රථිපලයේ වලංගුභාවය (Validity) වැඩි වීමට නම් නියැදිය සකස් විය යුත්තේ ජනගහනයේ සැබෑ සමාජ ආර්ථික හරස්කඩ නිරූපණය වන අයුරින්.
එනම් මෙරට ජනසංයුතිය අනුව නියැදිය තුළ 52.8%ක් කාන්තා හා 47.2%ක් පිරිමි ද 18.2%ක් නාගරික, 77.4%ක් ග්‍රාමීය හා 4.4% වතු ක්ෂේත්‍රය නියෝජනය විය යුතුයි. රැකියාවේ ස්වභාවය අනුව රාජ්‍ය 15.1%ක්, පෞද්ගලික අංශ 42.9%ක්, සේවායෝජක 2.9%ක්, ස්වයං රැකියා 33.1%ක් සහ සෙසු 5.9%ක් නියැදියේ සමන්විය යුතුයි. ඊට අමතර ජාතීන් අනුව සිංහල 74.9%, ලංකා දමිළ 11.2%, ලංකා මුස්ලිම් 9.3% ඉන්දියානු දමිළ 4.1% හා වෙනත් 0.5% වශයෙන් ද ආගම් අනුව බෞද්ධ 70.1%, හින්දු 12.6%, ඉස්ලාම් 9.7% සහ ක්‍රිස්තියානි හා රෝමානු කතෝලික 7.6%ක් යන ප්‍රතිශතය අනුව සකස් විය යුතුයි.
මීට අමතරව වයස් ඛාණ්ඩ මෙන් ම අධ්‍යාපන මට්ටම හා ආදායම් මට්ට ම ද නියැදිය තේරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු වන්නේ එකී සියලු සාධක ඡන්දදායක චර්යාවට බලපාන හෙයිනි. සියලු දිස්ත්‍රික්කවල ජනගහනයන්ට සමානුපාතික ප්‍රතිශතයක් නියැදිය තුළ නිරූපණය වීමත් වැදගත්. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් නියදිය සකස් නොකරන්නේ නම් සමීක්ෂණයේ විශ්වසනීයත්වය (Reliable) ගිලිහෙයි.
IHP ආයතනයේ සමීක්ෂණයට සහභාගි කරගත් දත්තදායකයන්ගේ සමාජ ආර්ථික හරස්කඩ නියෝජනය අපැහැදිලි ය. සහභාගීකරගත් දත්තදායකයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, අයත් වන දිස්ත්‍රික්කය, වයස් මට්ටම ආදි Demographic දත්ත ඉදිරිපත් කර නැත. WAPOR හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන විට ඒ සඳහා සහභාගී කරගත් ජනගහණයේ Demographic තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. නමුදු IHP සමීක්ෂණයට අදාළව කිසිඳු Demographic තොරතුරු ඉදිරිපත් කර නැත. සමීක්ෂණ වාර්තාවේ වැඩි විස්තර සඳහා ඔවුන් සම්බන්ධ කරගන්නා ලෙස පවසා තිබුණු හෙයින් විද්‍යුත් තැපෑලකින් එම තොරතුරු ඉල්ලා සිටියත් පිළිතුරු දුන් වෛද්‍ය රවි රන්නන් මහතා Demographic විස්තර පිළිබඳව නිශ්චිතව තොරතුරු ඉදිරිපත් නොකළේ ය. වෛද්‍ය රවී කියා සිටින්නේ දුරකතන සංවාදවලදී වයස හා ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය නියෝජනය නොවන බව පර්යේෂණ ලිපියේ සඳහන් කොට ඇති බවත් නියැදිය ජාතික ජනගහණයට සමාපත කිරීමට උත්සහ ගෙන ඇති බවත් ය.
අප්‍රේල් මස සමීක්ෂණයට යොදාගත් 444ක නියැදිය 2023 වසරේ සමස්ථ ලියාපදිංච ඡන්දදායකයන්ගෙන් 0.0025%ක් පමණි. එය මිලියන 17 නියෝජනය කිරීමට කිසිසේත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නියැදියක් ද නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍ය ආධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම IHP සමීක්ෂණය මුළුමනින්ම බැහැර කළ යුත්තක් බව පෙන්වා දෙන්නේ විද්‍යාත්මක නියැදියක් වෙනුවට IHP ආයතනයේ සායනික ප්‍රතිකාර සඳහා සහභාගී වූවන්ගෙන් තොරතුරු ලබාගෙන ඇතැයි පෙන්වා දෙමිනි. “ඔබ කාටද ඡන්දය ලබා දෙන්නේ’ යන ප්‍රශ්නය අහන්නේ වෛද්‍යවරයා එනතුරු පෝලිමේ සිටින රෝගීන්ගෙන්. එතනදි ප්‍රායෝගිකව එම රෝගියා ලබාදෙන පිළිතුර කිසිම විදිහකින් ධනාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම මෙහිදී භාවිතයට ගෙන ඇති ක්‍රමවේදය, නියැදි සංඛ්‍යා නිවැරදි නැහැ.” සායනවල පෝලිමේ සිටි පිරිස් නියැදිය ලෙස යොදාගත් බවට නැගූ චෝදනාව ප්‍රතික්ෂේප කරන වෛද්‍ය රවී පැහැදිලි කළේ පළමු අදියරේ හෝටල්, පන්සල්, පාසල් වගේම මහජන සෞඛ්‍ය සායන ආදි ක්ෂේත්‍ර විද්‍යාත්මක ක්‍රමයකින් පර්යේෂණය සඳහා යොදාගත් බවයි.
ප්‍රශ්නාවලියේ සමබරතාව – Balance
සමීක්ෂණයක් සඳහා භාවිත කරන ප්‍රශ්නාවලිය වැදගත් වන්නේ එය සමස්ත සමීක්ෂණයේ වලංගුභාවයට (Validity) තීරණාත්මක සාධකයක් බැවින්. මොක ද ප්‍රශ්නාවලිය සමබර නොවුන විටෙක ලැබෙන ප්‍රතිචාර පාර්ෂවීය වීමේ ඉඩකඩ වැඩී. දත්ත දායකයා වෙත යොමු කරන ප්‍රශ්නයේ යම් සීමාවක් තිබෙන විටෙක ඔහුගේ පිළිතුර එක් පසකට යොමු වේ. එමෙන් ම ප්‍රශ්නය හෝ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන තැනැත්තා අනුව ද ලැබෙන ප්‍රතිචාරය වෙනස් වෙයි. ප්‍රසිද්ධියේ කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ තැනැත්තෙක් ප්‍රශ්නාවලියක් යොමුකරන විට ප්‍රතිචාරය ලැබෙන්නේ ඔහු නියෝජනය කරන පක්ෂයට වාසිදායක ලෙසය. එනිසා ප්‍රශ්නය වගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාත් සමබර විය යුතුයි. ඉතින් ජනමත සමීක්ෂණ වාර්තාවක් සමඟ ඒ සඳහ යොමුකළ ප්‍රශ්නය/ප්‍රශ්නාවලිය ද ඉදිරිපත් කළ යුතු බව WAPOR මාර්ගෝපදේශය නිර්දේශ කරයි. IHP සමීක්ෂණය එම අවශ්‍යතාව සපිරීමටත් කටයුතු කර නොතිබීම තවදුරටත් එම සමීක්ෂණයේ විශ්වාසනීයත්වය හීන කරයි.
වෛද්‍ය රවී කියා සිටින්නේ ඔවුන්ගේ පර්යේෂණය ජාත්‍යන්තර විමර්ශිත සඟරාවල පවා පළ වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ පර්යේෂණයට අදාළ ප්‍රශ්නාවලිය පිළිගත් කමිටු හතරකින් අනුමැතිය ලද බවයි. “මීට පෙර ලංකාවේ කළ කිසිම සමීක්ෂණයක් මේ තරම් ස්වාධීන ආචාරධර්ම විමසුමකට ලක් නොවුන බව ස්තීරවම කියන්න පුළුවන්”
මැතිවරණය පිළිබඳ කෙරෙන ජනමත සමීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමේ දී ප්‍රවේශම් විය යුතු ආකාරය මහාචාර්ය උයන්ගොඩ විග්‍රහ කළේ ය. “සමහර මාධ්‍ය ගත්තහම, රූපවාහිනිය එහෙම කැමරා අරන් ගිහින් ප්‍රශ්න අහනවා ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා. ඒක නිවැරදි ප්‍රවේශයක් නෙමේ. ඡන්දෙ දෙන්නේ කාට ද කියන කරුණ දේශපාලන සංස්කෘතිය තුළ අතිශය පෞද්ගලික කාරණාවක් කියලයි ලාංකික පුරවැසියන් හිතන්නේ. ප්‍රශ්නය අහලා බල කරද්දී බොරුවක් කියන්නත් පුලුවන්. ඒ නිසා තමයි සංවේදී දේශපාලන ප්‍රශ්න ගැන මහජන මතය විමසන්න අපි පරිස්සම් වෙන්න ඕනේ, ඍජුව ප්‍රශ්න අහනවාද වක්‍රව ප්‍රශ්න අහනවාද කියලා.”
එමෙන් ම මැතිවරණයේ දී ජන්දය නොදී සිටීමට තීරණය කළ පිරිස් ද, ඡන්දය දෙන්නේ කාට දැයි අනාවරණය කිරීමට අකැමැති පිරිස් ද සිටිය හැකි වුවත් සමීක්ෂණය පුරා එවැනි පිළිතුරු ලැබුණු බවක් දක්වා නැත. එමෙන් ම සමීක්ෂණය සඳහා දී තිබෙන 4ට අමතරව වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දීමට සැලසුම් කර ඇති ඡන්දදායකයන්ට කිසිඳු වරණයක් ප්‍රශ්නාවලිය තුළ ඉදිරිපත් නොවීම මෙම සමීක්ෂයේ තවත් දුර්වලකමකි.
ක්‍රමවේදය සහ දත්ත රැස් කිරීමේ දී සිදුවන පක්ෂපාතීත්ව (Bias)
WAPOR මාර්ගෝපදේශය පෙන්වා දෙන්නේ සමීක්ෂණ ප්‍රතිඵලය සමඟ පර්යේෂණ ක්‍රමවේදය පැහැදිලිව විස්තර කළ යුතු බවයි. එමෙන්ම මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමානවලත් දැක්වෙන්නේ මාධ්‍ය ආයතනයක් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන විට ඒ සඳහා භාවිත කළ ක්‍රමවේදය සඳහන් කළ යුතු බවයි.
IHP සමීක්ෂණයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන වෛද්‍ය රවී රන්නන්-එළිය මහතාගෙන් ඔවුන් භාවිත කළ සමීක්ෂණ ක්‍රමවේදය දුර්ලභ ක්‍රමවේදයක් යැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. “අපේ ප්‍රධාන වාර්තාව පිළිගත් සමීක්ෂණ ක්‍රම පාවිච්චි කර තිබෙනවා. ඡන්දය දීමේ කැමැත්ත පිළිබඳව ප්‍රතිඵල ප්‍රකාශ කර තිබෙන සමීක්ෂණයට පිළිගත් සමීක්ෂණ ක්‍රමයක් අපි භාවිත කරන්නෙ නෑ. ඒ වෙනවුට අපි පාවිච්චි කරන්නේ බහු මට්ටමේ ප්‍රතිගමනය සහ පශ්චාත් ස්ථරීකරණය Multilevel Regression and Post-Stratification (MRP) නම් ක්‍රමයක්. ඒක YouGov බහුලව භාවිත කරන ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය විද්වතුන් දියුණු කළ ක්‍රමයක්. එනිසා ඡන්දය දීමේ අභිප්‍රාය පිළිබඳ ප්‍රතිඵල ආදර්ශ පදනම් වූ ඇස්තමේන්තුවක්.”
දත්ත දායකයන්ගෙන් ලබා ගන්න මූලික දත්ත සමස්ථ සමීක්ෂණය තුළම පිළිඹිබු වෙයි. ජනමත විමසුම් වැනි සංවේද කරුණු සමඟ ගනුදෙනු කිරීමට පුහුණු දත්ත රැස් කරන්නන් යොදාගත යුත්තේ පක්ෂපාතීත්වයන් අවම කිරීමටයි. ජාතික වශයෙන් සිදු කරන සමීක්ෂණවල දී රැස්කරගනු ලබන දත්තවල සත්‍යතාවයේ බරපතල ගැටලු පවතින බවට ක්ෂේත්‍රය (Industry) කියා සිටියි. මෙරට ප්‍රමුඛ පෙලේ පර්යේෂණ ආයතනයක සේවය කළ සිය අනන්‍යතාව අනාවරණය කිරීමට අකමැති පර්යේෂිකාවක් කියා සිටියේ දත්ත රැස්කරන්නන් ප්‍රශ්නාවලි කිහිපයක් පුරවන විට හඳුනගන්නා රටාව අනුව සෙසු සියලු ප්‍රශ්නාවලි පිරවීම බහුලව සිදුවන වැරැද්දක් බවයි.
මහාචාර්ය ආනන්ද සිය අත්දැකීමෙන් බෙදාගනිමන් පර්යේෂණ ආයතන ලාභය වැඩි කරගැනීමට අඩු පිරිවැයකින් පර්යේෂණ අවසන් කිරීමට දුරකතන සාකච්ඡා, ගූගල් ෆෝම් වැනි කෙටි ක්‍රම පාවිච්චි කිරීම හේතුවෙන් දත්ත විකෘති වන බව කීවේ ය. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනමත විමසුමක් සිදුකළ ආයතනයක් එහි ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළේ විශ්ව විද්‍යාලවලින් සහභාගීකරගත් දත්ත රැස්කරන්නන් රැස්කළ දත්ත විශ්වාස කළ හැකි මට්ටමක යථාර්තවාදි නොවන දත්ත ලෙස පෙනී ගිය බැවින් යැයි එම සමීක්ෂණයට සම්බන්ධ තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකු වන මහීල් බණ්ඩාර පෙන්වා දුනි.
සමීක්ෂණ ප්‍රතිඵල වෙනස් කිරීම
රෝහන හෙට්ටිආරච්චි අවධාරණයෙන් යුතුව කිව්වේ මෙරට ජනමත සමීක්ෂණ කිසියම් දේශපාලන නැමියාවක් සහිත පිරිස් කරන බවයි. එහි දී සමීක්ෂණයෙන් තමන්ට අවශ්‍ය ප්‍රථිපල නොලැබුණත් සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට කටයුතු කරයි. මහාචාර්ය ආනන්ද ද පෙන්වා දෙන්නේ ඇතැම් විටක සමීක්ෂණ පවත්වන ආයතන මූල්‍ය වාසිය තකා ව්‍යාජ ප්‍රතිඵල ඉදිරිපත් වන බවයි. “සමහර වෙලාවට එන ප්‍රතිඵලය නෙවේ ප්‍රසන්ට් කරන්නෙ. සංඛ්‍යාත්මක විදියට තමන්ට ඕන විදියට ගළපන අවස්ථා තියනවා. දේශපාලන පක්ෂයකින් කිව්වොත් මෙහෙම දාන්න තව ලක්ෂ 10ක් අපි දෙන්නම් කියල එතකොට දානවා. IHP සමීක්ෂණයේ ජනවාරි මාසෙ 52%ක් කිව්වා අනුරට, 34%ක් කිව්වා සජිත්ට. දැන් අනුරව තිස් ගාණක් බස්සලා. එහෙම විශාල වෙනසක් වෙන්න තරම් සිද්ධියක් වුණේ නෑනෙ.” මහාචාර්යවරයාගේ තර්කය අනුව IHP සමීක්ෂණය තනිකරම මුලාව(Manipulation) එකක්. එය ආර්ථික ප්‍රතිලාභ තකා දියත් කළ ව්‍යාපෘතියක්.
ආධාර මූලාශ්‍ර නිසා එල්ලවන බලපෑම්
ජනමත සමීක්ෂණය මුදල් උපයන, ලාභ ප්‍රතිලාභ තිබෙන කර්මාන්තයක් ලෙස ආචාර්ය ප්‍රදීප් පෙන්වා දෙයි. “මාධ්‍යයන්ට තමයි සමීක්ෂණ වැඩිපුරම ඕන කරන්නේ. ඒ හින්දා හුඟක් වෙලාවට මාධ්‍ය මේවා මෙහෙයවනවා.” ඉන්දියාව වැනි රටවල මැතිවරණ ආසන්නයේ රියැලිටි වැඩසටහන් මෙන් ජනමත විමසුම් සාකච්ඡා පවත්වා දැන්වීම් මගින් විශාල ලාභයක් උපයන බව ආචාර්ය ප්‍රදීප් පවසයි. රාජ්‍ය නොවන ආයතන ද ජනමත සමීක්ෂණ කෙරෙහි මූල්‍ය සාධකය නිසා වැඩි උනන්දුවක් දක්වන බව ද හෙතෙම කියයි. “මේක හොඳ ගාණක් හොයාගන්න පුළුවන් ව්‍යාපෘති නිසා හුඟ දෙනෙක් මේ වැඩේට බැස්සා.” තවදුරටත් ඔහු කියා සිටින්නේ ජනමත සමීක්ෂණයක් කිරීම වියදම් අධික කාර්යයක් හැටියටයි. “1400-1500ක් අතර හොඳ නිරවද්‍යතාවකින් යුතු සමීක්ෂණයකට දිවයින පුරා දත්ත රැස්කරනවා නම් සතියකට ලක්ෂ 70ක් වත් අවශ්‍යයි. කාර්ය අවසන් කරන්නත් මාස එක හමාරක් ගත වෙනවා. ඒ නිසා ලංකාවේ කරපු සමීක්ෂණයක සාම්පල් එක 2500කට වැඩියි කියල කවුරු හරි කියනව නම් ඒකෙන්ම ඔප්පු වෙනවා ඒක බොරුවක් කියලා.”
ජනමත සමීක්ෂණ වාර්තාවන්ට වලංගුභාවයක් තිබේ ද?
IHP ආයතනයේ සමීක්ෂණය පිළිබඳ එල්ල වන ප්‍රබල චෝදනාවක් හැටියට 2021 සිට අද දක්වා ලබාගත් දත්ත සමුච්චියක් ලෙස ගෙන අවසන් ප්‍රතිඵල සකස් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. 2021-22 කාලය තුළ තිබූ සමාජ ආර්ථික හා දේශපාල පරිසරය අද වන විට හාත්පසින්ම වෙනස් වී ඇති බැවින් එකල ලබාගත් දත්ත අදට වලංගු කරගන්නේ කුමන පදනමකින් ද! වෙනත් කාලසීමාවක් තුළ කළ සමීක්ෂණයක් මැතිවරණයක් ආසන්නයේ ඉදිරිපත් කිරීමත් ඡන්දදායක සිතාමතා නොමඟ යැවීමක් හැටියටයි සැලකෙන්නේ. කාලයත් සමඟ සමාජ ආර්ථික කාරණා වෙනස් වීම සැලකිල්ලට ගනිමින් එය 2012 සංගණනයට ගැලපීමට කටයුතු කළ බවයි වෛද්‍ය රවී පැවසුවේ. ඒ සඳහා 2019 වසරේ සකස් කළ වත්කම් දර්ශකය යොදගත් බව ද පෙන්වා දුන්නේ ය. “මෙලෙස වසර 3-5ත් අතර ගැලපීම් කිරීම ජාත්‍යතන්තර සමීක්ෂණ සාහිත්‍යයේ පිළිගත් ක්‍රමයක්” වෛද්‍යවරයා පැවසුවා.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජනමත විමසුම් කිරීම “දේශපාලන වශයෙන් පැහැදිලි අනන්‍යතාවයක් නැති අය නැතිනම් වෘත්තීය වශයෙන් සමීක්ෂණ කරන අය තමයි කරන්න ඕනේ” යනුවෙන් අවධාරණයෙන් කියා සිටියි. ඡන්දදායකයට පමණක් නොව දේශපාලන පක්ෂවලටත් බලපාන බැවින් ජනමත විමසුම් පිළිබඳ ප්‍රවේශම් විය යුතු බව රෝහණ හෙට්ටිආචරච්චිගේ අදහසයි. “දැන් මේ වෙලාවේ අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිහක් පනහක් ඉන්නවා. කොයි දේශපාලන ධාරාවටද සහාය දෙන්නේ කියල හිතමින්. මේ පක්ෂයේම ඉන්නව ද නැත්නම් කැඩිලා අනිත් පක්ෂයට එකතු වෙනව ද. මේවා ඔක්කොම තීන්දු කරන්නේ මහජන මතය කොහෙටද කැරකෙන්නේ කියන එක මත තමයි.” එනිසා පර්යේෂණ තොරතුරු විද්‍යාත්මක පදනමකින් තොරව ඉදිරිපත් වීමෙන් ජනතාව වගේම මහජන නියෝජිතයොත් නොමඟ යනු ඇතැයි හෙතෙම කියා සිටියි.
ජනාධිපතිවණය ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය උපමාන අනුව සියලු මාධ්‍ය කටයුතු යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අවධාරණය කරයි. “ඒවා පාලය කරන්න දැනට අයිතියකුත් අපට නෑ. නීතීමය වශනේ කටයුතු කරන්න පුළුවන් මැතිවරණ කාලය තුළ. එක් එක් පක්ෂවලට ඒක බලනවා කියන පදනමින් ඒවාට බලපෑම් කරන්න. අඩු ගාණෙ දැනුම් දීමක් හරි කරන්න පුළුවන්.” මාධ්‍ය නොවන වෙනත් ආයතන සහ කණ්ඩායම් සිදුකරන ජනමත සමීමක්ෂණ, මත විමසුම් ගැන කටයුතු කරන්න විශේෂ ප්‍රතිපාදනයක් දැනට නැති බවත්, එනිසා ඒවාට බාධා කිරීම අපහසු බවත් සභාපතිවරයා වැඩිදුරත් කියයි. ජනමත සමීක්ෂණ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක නියාමනයක අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිගනී. “අපි මේ ගැන හොයලා නෑ. ඒ නිසා මේ ගැන අනිත් රටවල් කටයුතු කරන්නේ කොහොම ද කියල හොයලා අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් මොන ආකාරයෙන් ද කියල ඉදිරියේ දී බලන්න පුළුවන්.”
කථිකාචාර්ය සකීෆ් සාම් | S.N.M Sakeef(Assistant Lecturer (Temporary)
කැළණිය විශ්වවිද්‍යාලය