iMage: onlanka
ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහී දිසාව නිශ්චය කරන ප්‍රධාන තීරක සාධක දෙකක් තිබේ. එකක් වන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ මෙන් ‘දුර්භික්ෂයක්’ යළි ඇති වීමට ඉඩ නොදී, ආර්ථික සංවර්ධනයේ මාවතට රට පත්කළ හැකි ආර්ථික-දේශපාලනයක් පිළිබඳව ජනතාව තුළ තිබෙන අපේක්ෂාව ය. දෙවැන්න වන්නේ, දූෂණයෙන් සහ සොරකමින් මෙන්ම දූෂිතයන් සහ සොරුන්ගෙන් තොර පාලන තන්ත්‍රයක් බිහි කරගැනීම පිළිබඳව ජනතාව තුළ තිබෙන අපේක්ෂාව ය.
දැන් සති කිහිපයක සිට ‘ඬේලි මිරර්’ පුවත්පත මත විමසුමක් කරගෙන යනු ලැබේ. ඒ විමසුම සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය මෙයයි:
‘‘දැන් මැතිවරණ දිනය තීරණය කර ඇති තත්වය තුළ, ඊළඟ ජනාධිපතිවරයාගේ අංක එකේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ කුමක්ද?’’
ඒ සඳහා උත්තර තුනක් සපයා තිබේ. ඒවා මෙසේ ය:
1. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම
2. දූෂණයෙන් තොර රටක් සහතික කිරීම සහ ආර්ථික අර්බුදයට රට ඇදහෙලූ අයවලූන්ට දඬුවම් කිරීම
3. ජීවන වියදම සහ බදු අඩු කරමින් දුප්පතුන්ට සහන සැලසීම
2024 අගෝස්තු 12 වැනිදා වන විට ඒ උත්තර සඳහා ලැබී තිබුණු ඡන්ද ප්‍රතිශතයන් මෙසේ ය: අංක (1) සඳහා සියයට 48 යි. අංක (2) සඳහා සියයට 50.2 යි. අංක (3) සඳහා සියයට 1.8 යි.
අද (2024 අගෝස්තු 21) වන විට ඒ සඳහා ලැබී ඇති ඡන්ද ප්‍රතිශතයන් මෙසේ ය: අංක (1) සඳහා 47.6 යි. අංක (2) සඳහා සියයට 50.6 යි. අංක (3) සඳහා සියයට 1.8 යි.
මෙයින් පෙනී යන්නේ කුමක්ද? ආර්ථික දියුණුවක් ඇති කරගැනීමට කලින්, දූෂණයෙන් තොර රටක් ඇති කරගැනීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන බහුතරයක් ජනතාව රටේ සිටින බවයි. දුප්පතුන්ට සහන සැලසීම අර්ථවත් කාර්යයක් ලෙස සැලකිය හැකි වන්නේ, ඊට ඉහළින් ඇති කර්තව්‍යයන් දෙක ඉෂ්ට සිද්ධ කරගන්නා තරමට පමණි. තුන්වැනි කාරණය සඳහා සියයට 1.8 ක් පමණක් ලැබීමෙන් පෙනී යන්නේ එයයි.
දැන්, මේ කියන ප්‍රධාන සිතිවිලි ධාරා දෙක මේ මොහොතේ නියෝජනය කරනු ලබන සහ රටේ පොදු ජනතාව විසින් ඒ අපේක්ෂා දෙක පවරනු ලබන දේශපාලන පක්ෂ දෙක කුමක්දැයි බැලිය යුතුය. එහිදී, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම පිළිබඳ අපේක්ෂාව රනිල් වික්‍රමසිංහ/සජිත් ප්‍රේමදාස ඇතුළු සම්ප්‍රදායික පාර්ශ්වයන්ටත්, දූෂණයෙන් තොර රටක් සහතික කිරීම සහ ආර්ථික අර්බුදයට රට ඇදහෙලූ අයවළුන්ට දඬුවම් කිරීම පිළිබඳ විශ්වාසය ජාතික ජනබලවේගයටත්, සාමාන්‍ය ජන විඥනය තුළ පැවරෙන බව අපට කිව හැකිය. කරුණු එසේ නම්, මේ සමීක්ෂණය දළ මාපකයක් වශයෙන් ගත්තොත්, ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරතියි කෙනෙකුට කිව හැකිය.
ඉංග්‍රීසි පුවත්පත් කියවන පාඨක පිරිස අල්ප බවත්, වෙනම සමාජ තීරුවකට ඔවුන් අයත් වන බවත් අපි දනිමු. එසේ වෙතත්, මේ කාරණාවන් වෙත ජනතාව පවරන වැදගත්කම මීට බෙහෙවින් සමාන වන බව පොදු සමාජයේද, බිම් මට්ටමේද මේ මොහොතේ දක්නට ලැබෙයි. සොරකම සහ නාස්තිය නැති කළ පමණින් ආර්ථිකයක් දියුණු වෙතැයි පිළිගත නොහැකි බව ඇත්ත. එහෙත්, සොරකම සහ දූෂණය රජයන රටක ආර්ථික වර්ධනයක් ඇති කරගැනීම උගහට බවත් ඇත්ත.
දැන් අප ඉදිරියේ පැනනැෙඟන ප්‍රශ්නය මෙයයි: පාලන තන්ත්‍රය තුළ සොරකම සහ දූෂණය නැති කිරීම අරභයා සහ රට ආර්ථික ප්‍රපාතයට ඇදහෙලූ අයට දඬුවම් කිරීම අරභයා ජාතික ජන බලවේගය ගැන කෙනෙකුට තැබිය හැකි විශ්වාසය, සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය කෙරෙහි තැබීමට හැකියාවක් ඇත්තේද යන්නයි. එවැනි කාර්යයක් කළ හැකි වන්නේ, හුදෙක් එකී අරමුණ ප්‍රකාශයට පත්කිරීමෙන් නොව, එවැනි චෝදනාවන්ට ලක්වී නැති පිරිසකගෙන් රාජ්‍ය තන්ත්‍රය සමන්විත කරගැනීමෙන් බව පුහුදුන් ඥනයට වැටහෙන කාරණයකි. මොනයම්ම හෝ දූෂිතයෙකු, වංචනිකයෙකු හෝ රටේ ආර්ථිකය ප්‍රපාතයට ඇදහෙලීමට සම්මාදම් වූ කෙනෙකු සිටින ඇමති මණ්ඩලයකින් සහ ආණ්ඩුවකින් එවැනි අරමුණක් ඉෂ්ට සිද්ධ කරගැනීමට නොහැකි විය හැකි බව ජනතාවගේ විශ්වාසයයි. එය, සර්ව සාධාරණ සිතිවිල්ලකි.
සජිත්ගේ කඳවුරට නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, චන්දිම වීරක්කොඩි, ජී. ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් වැනි පොහොට්ටු පිරිසක් මේ වන විට ඇතුළත්ව සිටිති. මේ අතරින් සමහරුන් දූෂිතයන් වන අතර, මොවුන් සියල්ලන්ම අතරමං වූවන් ය. මොවුන්ගේ එකම පරමාර්ථය වන්නේ ඊළඟ ආණ්ඩුවක් යටතේ ඇමති තනතුරක් ලබාගැනීම හෝ අඩුම වශයෙන්, ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවැනිම අතරමං වූවන් පිරිසකගෙන් තමන්ගේ ජයග්‍රහණය සඳහා වන මෙහෙයුම මේ මොහොතේ දියත් කර තිබීම අපට තේරුම්ගත හැකිය. මන්ද යත්, ඔහු අන් සියල්ලන්ටත් වඩා අතරමං වී සිටි කෙනෙකු වූ බැවිනි. ඔහුට, තමන්ගේම කියා පක්ෂයක් තිබුණේ නැත. ඔහුට තිබුණු එක්සත් ජාතික පක්ෂය පවා ඔහු විසින්ම ඝාතනය කර දමන ලදි. එසේ හෙයින් ඕනෑම හොරෙකු, දූෂිතයෙකු බාරගැනීම හැර ඔහුට කළ හැකි වෙන දෙයක් නැත.
එහෙත්, සජිත් ප්‍රේමදාසට ඉස්සර තිබූ එක්සත් ජාතික පක්ෂය මුළුමණින්ම පාහේ තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 69 ලක්ෂයක් ලබාගන්නා විට සජිත් ප්‍රේමදාස ඡන්ද 55 ලක්ෂයක් ලබාගත්තේය. එසේ තිබියදී, ජනතාව අතරේ පාරාජිකා වී සිටි මෙම පිරිසත් තමන්ගේ සන්ධානය තුළට ගැනීමෙන් ඔහු අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ පිරිස මාර්ගයෙන් ඡන්ද ගොඩ වැඩි කරගැනීමද? එසේ නම්, ‘අරගලයෙන්’ පසු ඇති වූ බිම් මට්ටමේ වෙනස ඔහු තේරුම්ගෙන නැති බව කිව යුතුය. මේ කියන කිසි දේශපාලනඥයෙකු, ඔවුන්ගේ බිම් මට්ටමේ ශක්තිය සම්බන්ධයෙන් ගත් විට, 2020 සිටි පුද්ගලයන් නොවේ. ඔවුන් නියෝජනය කළ ඡන්දදායකයා ඔවුන් සමග දැන් නැත. ඇත්ත වශයෙන්ම, අවසානයේ සිදුව ඇත්තේ, සජිත් ප්‍රේමදාසගේ කඳවුරත්, රනිල් වික්‍රමසිංහගේ කඳවුර සේම දූෂිතයන්ගේ කඳවුරක් වී ඇති බවට හැඟීමක් ජනතාවට සැපයී තිබීමයි.
මොවුන් එකතු කරගැනීම නිසා ලැබෙන හෝ නොලැබී යන ඡන්ද ප්‍රමාණය ගැන කතාව පැත්තකින් තියන්න. ඡන්ද ගොඩ වැඩි කරගැනීමට වඩා ප්‍රතිපත්තිගරුක වීම යහපති. එහෙත්, තමන් බලයට පත් වූ පසු දූෂණය දුරලමියි පොරොන්දු වෙන, දූෂිතයන්ට දඬුවම් කරමියි පොරොන්දු වෙන කෙනෙකුගේ ප්‍රතිපත්තියට, මෙවැනි රාජපක්ෂවාදී පිරිසක් එක් කරගැනීමෙන් කුමක් වෙයිද? ජී. ඇල්. පීරිස් වැනි කෙනෙකුට දූෂණ වංචා චෝදනා නැති බව කෙනෙකු කීමට පිළිවන. එහෙත්, රාජපක්ෂ කාලයේ සිදු කළ කිසි දූෂිත ක්‍රියාවකට එරෙහිව ඔහු වචනයක් කියා නැති බවත් ඒ හා සමානම සත්‍යයකි. මේ ප්‍රශ්නය මතු කරද්දී කෙනෙකු මට කීවේ මෙයයි: ඔහු විද්වතෙකු නිසා, ඔහුගේ අවධානය යොමු වී තිබුණේ, නීතිය, ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනි විෂයයන් කෙරෙහි නිසා, සෙස්සන් කරන, විශේෂයෙන් රාජපක්ෂලාගේ පවුලේ උදවිය කරන දූෂණය සහ වංචාව පිළිබඳ සිද්ධිවලට තමන් මැදිහත් නොවී සිටියොත් ප්‍රමාණවත් යැයි ඔහු සිතන්නට ඇති බවයි. එහෙත්, ඒ සිතිවිල්ලම අති අවස්ථාවාදීයි. අනිත් අතට, විද්වතෙකු වශයෙන් තමන් මැදිහත් විය යුතු තැන්වලදීත් ඔහු මැදිහත් වී ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් නොව, ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු පැත්තෙනි. අපේ ව්‍යවස්ථාවේ තිබෙන අති-අධිකාරීවාදී සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සන්ධිස්ථානමය සංශෝධන දෙක වන්නේ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ 20 වැනි සංශෝධනයයි. ඒ දෙකම ඔහු අත උස්සා පිළිගත්තා පමණක් නොව, ඒවා යුක්තිසහගත කිරීම සඳහා ‘විදග්ධ’ තර්ක විතර්කත් ගෙනහැර පෑවේය. දින 52 නීති-විරෝධී ආණ්ඩුව නෛතික භාෂාවෙන් යුක්තිසහගත කළ ‘විදග්ධයා’ ද ඔහු ය. එබැවින්, සෘජුව මූල්‍යමය දූෂණයේ යෙදී නැති පුද්ගලයෙකු වූවත්, එවැනි දූෂිතයෙකු රටේ ආර්ථිකයට කරනවාට වැඩි හානියක් මොහු මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කර ඇති බව කිව හැකිය.
දූෂණය පිටුදැකීම පිළිබඳ කාරණයේදී, වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක පිහිටා මේ මොහොතේ කටයුතු කරන බව පෙනෙන්නේ ජාතික ජන බලවේගය පමණි. ඉහත කී පිරිසෙන් ඇතමුන් (ඩලස් අලහප්පෙරුම) ඔවුන්ට එක්වීමට ගත් උත්සාහය ඔවුන් ප්‍රතික්ෂේප කළ බව දැනගන්නට තිබේ. එවැනි තීරණයක පිහිටා කටයුතු කිරීම විශිෂ්ටයි. මෙසේ පිල් මාරු කරන පිරිස එසේ කරන්නේ, තමන්ගේ ප්‍රතිපත්තිවල ඇති වී තිබෙන වෙනසක් නිසා නොව, හුදෙක් තමන්ගේ ඉදිරි පැවැත්ම සඳහා පමණක්ම වන බව අප කවුරුත් හොඳින් දන්නා කාරණයකි. එය, නග්න අවස්ථාවාදයයි. ඒ අවස්ථාවාදයට ඉඩ දෙන ගමන්, දූෂණයට එරෙහි කිසි සටනක් කිරීමට අවකාශයක් ආණ්ඩුවකට ඉතිරි වන්නේ නැත. මේ රට මෙතරම් ප්‍රපාතයට ඇදවැටීමට එක හේතුවක් එයයි. එනම්, දූෂණය නැති කිරීමට දූෂිතයා සමග අත්වැල් බැඳගැනීමයි. මේ සියල්ලන්ම රාජපක්ෂලා සමග විවිධ ආකාරයේ මහ පරිමාණ දූෂිත සහ වංචනික ක්‍රියාවන්ට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ හෝ, ඒවා සිදුවෙද්දී නොදැක්කා සේ අහක බලාගෙන සිටියවුන් යැයි කිව නොහැක්කේ කාටද?
රාජපක්ෂ කඳවුරේ සිටි සියලූ දෙනා වරදකරුවන් කළ නොහැකි බව ඇත්ත. එහෙත්, ප්‍රධාන කාරණා තුනක් මත ඒ සියල්ලන් වෙත වරදකාරීත්වය ආරෝපණය කළ හැකියි. එකක් වන්නේ, දූෂිත චර්යාවන්ට අනුගතව සිටි ගොළුවන් ය. ඔවුන් මොන ආකාරයකින්වත් සහභාගී කරගන්නා කිසි පක්ෂයක්, මේ රට දූෂණයෙන් තොර රටක් කිරීම සඳහා කටයුතු කරතියි සිතිය නොහේ. දෙවැනි කාරණය වන්නේ, ආණ්ඩුකරණය සම්බන්ධයෙන් රාජපක්ෂලා සමග එකතු වී අධිකාරීවාදී සහ පවුල්වාදී පාලන තන්ත්‍රයක් ඇති කිරීම සඳහා එම කඳවුර තුළ කාර්යභාරයක් ඉටු කළ අයවළුන් ය. ජී. ඇල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි පිරිස් ඊට අයත් වෙති. තෙවැනි පිරිස වන්නේ, ආර්ථිකය මේ අගාධයට ඇද දැමීමට සෘජුවම සම්බන්ධ වූ අයවළුන් ය. ගෝඨාභය රාජපක්ෂගේ එක් ප්‍රධාන ආර්ථික උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ නාලක ගොඩහේවා වැනි කුප්‍රකට අය ඒ පිරිසට අයත් වෙති. මේ පිරිස, අනාගතයේ ලංකාවේ ආණ්ඩුකරණය ප්‍රජාතන්ත්‍රීය මාවතක් දිසාවටවත්, ආර්ථිකය සංවර්ධනයේ දිසාවටවත් යොමු කිරීමට කිසි අයුරකින් සහායක් වෙතියි ජනතාව කෙසේ නම් විශ්වාස කරන්නද?
බුද්ධිමත් නායකයෙකු මේ මොහොතේ සැලකිල්ලට ගත යුතු වැදගත් පාඩමක් තිබේ. එනම්, ‘අරගලයෙන්’ පසු ලංකාවේ බිම් මට්ටමේ දේශපාලනික සාක්ෂරතාවයේ වෙනසක් ඇති වී තිබෙන බවයි. සම්ප්‍රදායික දේශපාලනික කුලකය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් ඒ මගින් බිම් මට්ටමේ ඇති කර තිබේ. (එය, රටට යහපතක් වීමට ඉඳුරා ඉවහල් වෙයිද/නොවෙයිද යන්න වෙනම කාරණයකි). වැදගත් වන්නේ මෙයයි: සම්ප්‍රදායික දේශපාලනික කුලකය ඉස්සරට වඩා පරිස්සම් විය යුතුය. එහි නායකයන් ආදර්ශමත් විය යුතුය. ආදර්ශමත් වීම යනු, පාන්දර හතරේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා නොනිදා ජනතාවට සේවය කරන බව කීම හෝ දුප්පතා සේම තමන්ද රොටියක් අනුභව කරතියි පෙන්වන රූපරාමු පෙළගැස්වීම හෝ නොවේ. දූෂණය සහ සොරකම මැඩලීමට පොරොන්දු වන්නේ නම්, දූෂිතයන් සහ සොරුන් සමග එකට වාසය කිරීමෙන් වැළකී සිටීමේ ආදර්ශය රටට සැපයීමයි.
ඒ නිසා, සජිත් ප්‍රේමදාස පිළිතුරු දිය යුතු ප්‍රශ්නය මෙයයි: මේ රටේ දූෂණය, වංචාව සහ නාස්තිය මැඩලීමට, අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයට වඩා තමන්ගේ සමගි ජන සන්ධානය සමත් වෙතියි රටවැසියා විශ්වාස කළ යුත්තේ කුමන සාධකයක් මතද? ඊට පිළිතුරක් දීමට අපහසු නම්, විකල්ප ප්‍රශ්නයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය. එනම්, මේ කියන විෂය කාරණයේදී, රනිල් වික්‍රමසිංහගේ සන්ධානයට වඩා තමාගේ සන්ධානය පිරිසුදු යැයි කීමට ඔහුට ඇති සාක්ෂි කවරේද?
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda