අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින් උතුරු-නැගෙණහිර අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් අගෝස්තු 30 දා යාපනය, ආරියකුළම් මංසන්දිය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කළේය. ගිනි දැල්වූ මැටි බඳුන් අතින් ගෙන කළු ඇඳුමින් සැරසුණු මව්වරුන්ගේ එම පාගමන යාපනය පුස්තකාලය ඉදිරිපට දක්වා ගමන් කරමින් ගිණි දල්වමින් ඔවුන් ඉල්ලා සිටියේ අන් කිසිවක් නොව තමන් ට අවශ්‍ය වන්නේ යුක්තිය ම පමණක් බවය.

බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්, සිය ආදරණීයයන් පිළිබද තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා දින 2750+කට වඩා උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සාමකාමී විරෝධතාවයන්/ උපවාසයන් වල යෙදෙමින් සිටියි. එසේම 1980 ගණන්වල සිට 2009 සන්නද්ධ ගැටුම අවසන් වන විට 60,000 -100,000 අතර පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට ගණන් බලා ඇතැයි පැවසේ(මෙම සංඛ්‍යාවන් මෙයට වඩා වැඩි විය හැකි බවත්, විශේෂයෙන් මේ අතුරුදහන්වීම් තුළ හමුදාවට බාර දුන් සිය සමීපතමයින් ද සිටින බවට උතුරු-නැගෙණහිර මව්වරුන් පවසයි). නමුත්, මේ කිසිදු අතුරුදහන්වීමකට කිසිදු ආකාරයක ‘යුක්තියක්’ ලබා දීමට ශ්‍රි ලංකා රාජ්‍ය තවමත් අසමත් වී තිබේ.

මෙම විරෝධතාවයේ දී සුවිශේෂී පාඨයක් වූයේ ‘”වන්දි ගෙවන බව කියන්නේ අපරාධය වසන් කිරීමට යි.’/ “OMP එපා, යන්න යි. එම අදහස පසුගිය වසර කිහිපය පුරාම උතුරු-නැගෙනහිර වින්දිතයන් විසින් පුන පුනා පවසන ලද්දේ, යුක්තිය සොයා යන කටුක සහ වේදනාබර දීර්ඝ ගමනේ ඔවුන්ට විදින්නට සිදු වූ, සිදුවෙමින් තිබෙන අත්දැකීම් ඇසුරින් බව ඔවුන්ගේ වේදනාබර හඩ අසන ඕනෑම අයෙක්ට තෙරෙන සත්‍යකි. එම සත්‍ය වටහා නොගෙන ලාංකීය රාජ්‍ය විසින් ස්ථාපිත කරන ඕනෑම යාන්ත්‍රණයක් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන්ට ‘යුක්තිය’ ඉටු කරනු ඇතැයි සිතිය නොහැක.

ලංකාව තුළ 2017 දී එම ජාත්‍යන්තර දිනය සටහන් වන විට අතුරුදන්වූවන් සෙවීම සදහා ‘යහපාලන‘ ආණ්ඩුවේ යෝජනාවක් අනුව, 2016 අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන්වීම් හා ආගිය අතක් නැති පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා පළමු ස්ථිර ආයතනය පිහිටුවීම පිණිස නීතියක් පැනවූයේ ය. ඒ “අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය“(OMP) නමිනි. අවසානයේ දී ගොදුරු වූවන්ට පිළිතුරු සැපයීමටත්, නිහඬතාව අවසන් කිරීමත් එහි අරමුණ බව සදහන් විය. නමුත් OMP කාර්යාලය පිහිටුවා මේ වන විට වසර 7කට වඩා ගත වී ඇති අතර ඔවුන් විසින් මේ දක්වා සිදුකලේ මොනවා දැයි සොයා බෑලීම ‘යුක්තිය’ පිළිබද අදහසින් මේ දෙස බලන පුරවැසියන්, සංවිධාන විසින් විමසිය යුතුම කරුණකි.

‘‘අද කතාවක් තියෙනවා අතුරුදහන් වූ අයට මරණ සහතික ලබා දෙන්න යනවා කියලා. මරණ සහතික කොහොමද අපි ලබා ගන්නේ. එයට හා කියනවා මිසක් මින්ස්සු කැමති නෑ අතුරුදහන් වූ අයට මරණ සහතික ගන්න. මිනිස්සු බය වෙනවා මරණ සහතික දීමේ වැඩ පිළිවෙල අතරතුර තමන්ගේ දරුවෝ ජීවතුන් අතර සිටියත් මරලා දාවිදැයි කියලා.”

(තවසරී – Killinochchi, Srilanka (Full Story: http://www.vikalpa.org/?p=29725)

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,’ උතුරු-නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද ද පවසයි.

අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය මෙන්ම යුද වින්දිතයන්ගේ ප්‍රශ්ණය මේ රටේ ‘අභ්‍යන්තර යුක්තිය’ පිළිබද ප්‍රශ්ණයකි. එම ප්‍රශ්ණය යුක්ති සහගත අයුරින් විසදීමට ශ්‍රී ලංකා රාජ්‍ය දැඩි දේශපාලන අභිලාශයකින් යුතුව මැදිහත් නොවන්නේ නම්, පවතින ආණ්ඩු හෝ ඉදිරියට පත්කරවන ආණ්ඩු විසින් ‘කතා කරන’ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අගයන් පසුගිය වසර ගණනාවේ මෙන්ම ‘හිස් වචන’ පමණක් වීම වැළැක්විය නොහැකිය.

ශ්‍රී ලංකාවේ 26 වසරක කුරිරු සිවිල් යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවකුට දඬුවම් කිරීමට තම පරිපාලනය උත්සාහ නොකරන බවට, ජනතා විමුක්ති පෙරමුණේ හි වත්මන් නායක, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට (Associated Press-AP) පවසා තිබිණි. (මෙසේ පවසා ඇත්තේ, 1971 සහ 1988/89 වසරවල රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණෙන් සන්නද්ධ ව්‍යාපාර දෙකකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ(ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් අතිවිශාල පිරිසක් රාජ්‍ය සන්නද්ධ අංශ විසින්, අතුරුදහන් කළ බවත්, ඝාතනයට ලක් වූ බවත්, එහි නායක රෝහණ විජේවීර අත්අඩංගුවෙහි සිටියදීම ඝාතනය වූ බවත් ලෝකයම දන්නා කරුණකි) හි වත්මන් නායකයා ය.

කෘර, අමාණුෂික ලෙස මර්දනයට ලක් කළ දකුණේ දේශපාලන පක්ෂයක වත්මන් ජනාධිපති අපේක්ෂකයෙක් එසේ පවසන විට, අතුරුදහන් වුවන්ට යුක්තිය ඉල්ලා යාපනයේ පැවති විරෝධතාවයේ ඡායාරූප පෙළයි.

Anura Kumara Poster: Credit by Facebook/AnuraKumaraDisanayaka