ආණ්ඩු මාරුවක් සාමාන්‍යයෙන් සිදුවන්නේ, පවතින ආණ්ඩුව පිළිබඳ ඇති වන මහජන අප්‍රසාදය මූලික කරගෙනයි. තවත් විදිහකින් කිවහොත්, තමන් අලූතෙන් පත්කරගන්නා පාර්ශ්වය කෙරෙහි ඇති විශාල ලැදියාවකට වඩා, ඒ මොහොතේ බලයේ සිටින පාර්ශ්වය කෙරෙහි වන අප්‍රසාදය විසින් මැතිවරණ ප්‍රතිඵලය තීන්දු කෙරෙනු ඇති බවයි.

මෙවර, ‘මාලිමාව’ ජයග්‍රහණය කළොත්, එය මෙකී කාරණයෙන් පැහැදිලි වෙනසක් පෙන්නුම් කරනු ඇත. අද වන විට ‘මාලිමාව’ වටා ඇති ගොනුවීම තුළ පවතින්නේ රනිල් වික්‍රමසිංහගේ පාලනය ගැන සෞම්‍ය විවේචනයකි. රනිල් වික්‍රමසිංහගේ ගිණුමට බැර වන්නේ, අවුරුදු දෙකහමාරක් වැනි කෙටි කාලයක කාර්යභාරයක් පමණක් වීම ඊට හේතු විය හැකිය. ඒ කෙටි කාලය තුළ ඔහුගේ නිෂේධනීය අංශය වන්නේ ආණ්ඩුකරණය වශයෙන් අප සලකන ක්ෂේත්‍රයයි. මුලින්ම, ඔහු පළාත් පාලන මැතිවරණ නොපවත්වා සිටියේය. මේ කෙටි කාලය තුළ අධිකරණය කෙරෙහි ඔහු දැක්වූ අවඥසහගත ආකල්පය, ඉතිහාසගතයි. තවද, ආණ්ඩුකරණය වඩාත් ප්‍රජාතන්ත්‍රීය තලයක පිහිටුවීම සඳහා ඇති කරගත් ‘ව්‍යවස්ථා සභාව’ වැනි ආයතන ඔහු අපයෝජනය කෙළේය. එහෙත් සරදම වන්නේ, අද ‘මාලිමා’ වේදිකාව තුළ එකී පීලිපැනීම් ගැන බරපතළ විවේචනයක් අඩංගු නොවීමයි.

එහි අදහස වන්නේ මෙයයි. මෙවර, ‘මාලිමා’ ඡන්දය කේන්ද්‍රගත වන්නේ, තත්කාලීන පාලන බලය හොබවන ඒකල පාර්ශ්වයක් පමණක් එල්ල කරගෙන නොවේ. ඒ වෙනුවට, අනුර කුමාර දිසානායකට ඊට වඩා බරසාර, ඊට වඩා ජන මනසට කාවදින පුළුල් එල්ලයක් ලැබී තිබේ. එනම්, සමස්ත සනුහරයම ඉවරයක් කරදැමීමේ සමාජ උවමනාවයි. මේ අවශ්‍යතාව සූත්‍රගත කෙරුණේ ගෝඨාභයගේ චර්යාව පාදක කරගෙනයි. එහි සංකේතීය කූටප්‍රාප්තිය වුණේ, ‘අරගලයයි.’

මුලින් ඒ ‘අරගලයට’ හතුරුව සිටි ජනතා විමුක්ති පෙරමුණ, ‘අරගලය’ කෙමෙන් ඉදිරියට යන විට ඊට හිත හදාගත්තේය. ඉන්පසු ඒ වෙනුවෙන් පෙනී සිටියේය. ඔවුන් සේම තවත් දේශපාලන බලවේගත් ඒ වෙනුවෙන් එසේම පෙනී සිටි බව (රනිල් වික්‍රමසිංහ පවා) අපි දනිමු. එසේ තිබියදී, ‘අරගලය’ විසින් ගෝඨාභය රාජපක්ෂ රටින් පන්නා දමන තත්වයට පත්කිරීමෙන් පසු ඇති වූ මහා කීර්තිය අවසානයේ ගොනු වුණේ ජනතා විමුක්ති පෙරමුණ වටා පමණි. මන්ද යත්, මීට පෙරද අප පෙන්වා දී ඇති පරිදි, ‘සමස්ත සනුහරයට’ අයත් නොවන, පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම තරගකාරී දේශපාලන ප්‍රවාහය ඔවුන් වූ බැවිනි.

2022 මුල් භාගය වන විට පවා, ඊට අවුරුදු දෙකකට පසු, මේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකෙන් එකක් බවට පත්වීමට තමන්ට හැකි වෙතැයි අනුර කුමාර දිසානායක හීනෙන්වත් සිතන්නට නැතිව ඇති. ඒ වන විටත්, (සහ තවමත්) ඔවුන්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් තුන් දෙනෙකු පමණක් සිටින, නොවැදගත් පරිවාර බලවේගයක් පමණි. එහෙත් අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ, ඔවුන්ගෙන් පිටස්තර සුවිශේෂී ජන විඥනයක් තුළින්, ඉතිහාසයේ පුරප්පාඩුවක් පිරවීම සඳහා ඔවුන්ටත් අවස්ථාවක් ලබාදීමේ මනෝමය ක්‍රියාන්විතයක් සමාජයේ ස්වයංසිද්ධව දියත් විය. ඒ අනුව අපට කිව හැකි දෙයක් තිබේ. එනම්, අද වන විට, ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් දෙන්නාගෙන් කෙනෙකු වීමට ‘මාලිමාවට’ හැකිව ඇත්තේ, පසුගිය දෙවසරක කාලය තුළ ඔවුන් විසින් ඉෂ්ට සිද්ධ කළ විශේෂ කාර්යභාරයක් නිසා නොව. ඡන්දදායක සිත්සතන් තුළ, ‘අබ ඇටයක් සොයාගත හැකි නොමළ ගෙය’ ඔවුන්ම වූ බැවිනි. (සිය දරුවා මියගිය සොවින් තැවෙන කිසාගෝතමීට, මරණයෙන් ගැළවෙන කිසිවෙකු මෙලොව නැතැයි පෙන්වාදීම සඳහා, යම් ඖෂධයක් සොයාගෙන එන්නැයි බුදුන් වහන්සේ කීහ. එනම්, කිසිවෙකු මියගොස් නැති ගෙයකින් අබ ඇටයක් සොයාගෙන එන ලෙසයි. කිසාගෝතමී ගෙයක් ගානේ ගියාය. එහෙත්, කිසිවෙකු නොමළ ගෙයක් ඈට සොයාගැනීමට නොහැකි වුණි!*. තවත් විදිහකින් ගත්තොත්, අනිත් සියල්ලන්ට බැර කළ හැකි ‘පාපය’ ඔවුන්ට (මාලිමාවට) බැර කළ නොහැකි බවට ඇති වූ හැඟීමයි.

දැන් මෙසේ සිතන්න: මෙතෙක් කල් ආණ්ඩු වෙනසක් සිදු වුණේ, පවතින ආණ්ඩුවේ වැරදි නිවැරදි කිරීම සඳහා යැයි අපි කීවෙමු. මෙවර, ඊළඟ ආණ්ඩු බලය සඳහා ‘මාලිමාව’ තෝරාගත්තොත් එසේ වන්නේ, පවතින ආණ්ඩුවේ පමණක් නොව, මෙතෙක් කල් පැවති සියලූ ආණ්ඩු කළ වැරදි නිවැරදි කිරීම සඳහා ය! එය, මෙතෙක් බලයට පත් කිසි පක්ෂයක් වෙත නොපැවරුණු යෝධ අභියෝගයකි.

ඒ කාරණය හිතේ තියාගෙන මේ බවත් හිතට ගන්න:

(1) බලයට පැමිණීම සඳහා දෙන පොරොන්දුවක් බලයට පත්වීමෙන් පසුව ඉටු කිරීමට බොහෝවිට නොහැකි වන්නේ, දේශපාලනඥයාගේ ප්‍රතිපත්ති-විරහිත බව නිසා පමණක්ම නොවේ. එළියේ සිටියදී දෙන පොරොන්දුව, ඇතුළට පැමිණි පසු ක්‍රියාවේ යෙදවීමට, රාජ්‍ය පාලනයේම පවතින ප්‍රායෝගිකත්වයන් විසින් ඉඩක් නොසපයන බැවිනි. තවත් විදිහකින් කිවහොත්, න්‍යාය සහ භාවිතය අතර මතුවන නොපෑහීම හේතුවෙනි.

(2) මේ මොහොත වන විට ‘මාලිමාව’ සතුව පවතින බලය, මුළුමණින්ම දේශපාලනික-සදාචාරය විසින් ඊට පවරන ලද්දකි. එය ව්‍යුත්පන්න වන්නේ, කිසි දවසක පූර්ණ රාජ්‍ය බලය හිමිව නැති එකම කඳවුර එය වීමෙනි. ප්‍රධාන ප්‍රවාහයේ අනිත් සියල්ලන්ම, යම් අවස්ථාවක පූර්ණ රාජ්‍ය බලය දරා ඇත. ඒ නිසාම, 75 වසරක ශාපයට ඔවුන් සියල්ලන් වගකිව යුතුය. ‘මාලිමාව’ (ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුණ) පමණක් ඒ වගකීමෙන් නිදහස් කෙරේ. අනිත් අයට නැති, ඔවුන්ට පමණක් ඇති ‘සදාචාරමය හයිය’ ඔවුන්ට පැවරෙන්නේ ඒ මූලාශ්‍රයෙනි.

දැන්, මේ කාරණා දෙක, එනම්, න්‍යාය සහ භාවිතය අතර නොපෑහීම කළමනාකරණය කරගන්නේ කෙසේද යන්නත්, දෙවැනුව, අනිත් අයට නැති, තමන්ට පමණක් ඇති ‘සදාචාරමය හයිය’ අරපිරිමැස්මෙන් පාවිච්චියට ගන්නේ කෙසේද යන්නත්, ලිට්මස් පරීක්ෂාවට ලක්වන්නේ ඔවුන් බලයට පත්වීමෙන් අනතුරුවයි. අද ‘මාලිමාව’ වටා ගොනු වී සිටින විශාල සමාජ තීරුව ඒ ගැන නොසිතති. තමන් තුළ සහ ‘මාලිමා’ නායකත්වය තුළ ඇති අහිංසක සහ අව්‍යාජ අපේක්ෂාව විසින්ම ඒ ප්‍රශ්න විසඳා දෙනු ඇතැයි ඔවුහූ සිතති. නැතහොත්, එවැනි ‘ප්‍රශ්නයක්’ නැතැයි සිතති.

මේ අනුගාමිකත්වය සහ 2019 ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙළගැසුණු අනුගාමිකත්වය අතර බරපතළ සමානත්වයක් තිබේ. විශේෂයෙන්, විදේශීය ශ්‍රී ලාංකික ප්‍රජාව දෙස බලන විට, අද ‘මාලිමාව’ වෙනුවෙන් පෙනී සිටින බහුතරය එදා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි පිරිසමයි. එහෙත්, එසේ වූ පමණින්, ගෝඨාභය රාජපක්ෂ පාලනයෙන් රටට අත් වූ ඉරණම මෙවරත් අත්වෙතැයි ගැනීම සපුරා විද්‍යාත්මක නැත. හේතුව, අනුගාමිකත්වය එකක් වූවාට, නායකත්වය වෙනස් බැවිනි. ඒ තර්කයේ වාසිය ‘මාලිමාවට’ තිබේ. එහෙත් ඒ, බරපතළ සීමාකම් රාශියකට යටත්වයි. ආර්ථික සංවර්ධන මාර්ගය නිවැරදිව හඳුනාගැනීමට ‘මාලිමා’ නායකත්වයට ඇති හැකියාව එහිදී ප්‍රමුඛ වෙයි. එය, ‘ප්‍රතිපත්ති ප්‍රකාශන’ තුළින් පමණක් දැනගත හැකි දෙයක් නොවේ.

කෙසේ වෙතත්, ‘මාලිමාව’ ගැන පවතින අනාගත අපේක්ෂාවන් සාක්ෂාත් කරගත හැකි වෙතැයි විශ්වාසය තැබිය හැකි/නොහැකි ඉඟි මේ කාලයේ විටින්විට සැපයෙයි. ‘මාලිමාවේ’ ශක්තිමත්ම සහ අභව්‍ය නොවන ප්‍රධාන සටන්පාඨය වන්නේ, දූෂණ-විරෝධයයි. මේ ලියුම්කරු ඔවුන් කෙරෙහි දක්වන ලැදියාව කේන්ද්‍රගත වන්නේද ඒ කාරණාව මතම පමණි. ඔවුන් සමග තරඟවැදී සිටින වෙන කිසි අපේක්ෂකයෙකුට නැති උවමනාවක් ඒ කෙරෙහි ඔවුන්ට ඇතැයි විශ්වාස කළ හැකි බැවිනි. රාජ්‍ය මට්ටමේ සිදුවන මහපරිමාණ නාස්තිය ඔවුන්ගේ පාලනයක් තුළ අවසන් වෙතැයි අවංකවම විශ්වාස කළ හැකි බැවිනි. ඒ සඳහා අත්‍යාවශ්‍ය වන ‘නීතියේ ආධිපත්‍යය’ ගැනත්, වෙනත් අයට වඩා ‘මාලිමාව’ තත්පර වෙතැයි සිතිය හැකි බැවිනි.

පසුගිය දා ‘මාලිමාවේ’ නීතිඥ සමුළුවක් පැවැත්වුණි. මේ සමුළුවේ ප්‍රධාන දේශනය සඳහා ඇරැයුම් ලැබ තිබුණේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරියක් වන රෝහිණී මාරසිංහයි. ඈ නීතියේ ආධිපත්‍යය ගැන හරවත් කතාවක් කළාය. මහින්ද රාජපක්ෂ විසින් ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨත්වය අතින් ඈට වඩා ඉහළින් සිටි දෙදෙනෙකුට අවස්ථාව නොදෙමිනි. අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඉන් කෙනෙකි. (මෙවැනි පත්කිරීමක් සාධාරණ විය හැක්කේ, ඈට ඉහළින් සිටි පුද්ගලයන් පිළිබඳ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඇති දූෂිතයන් වන්නේ නම් පමණි. එහෙත් මෙකී ජ්‍යෙෂ්ඨයන්ට එවැනි චෝදනා කිසිවක් නොවුණි). ඒ නිසාම, මහින්ද රාජපක්ෂ විසින් ඇයව එසේ පත්කිරීම ගැන එදා දැඩි විවේචන එල්ල වුණි.

‘රෝයල් පාක්’ මිනිමැරුම ඔබට මතකද? තරුණ පෙම්වතියක් පෙම්වතා අතින් මෘග ඝාතනයට ලක්වුණි. පෙම්වතා එල්ලූම්ගහට නියම වුණි. යහපාලන රජය අවසාන වීමට සතියක් තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොහුට ජනාධිපති සමාව ලබා දුනි. නිදහස ලැබූ දාට පසුව දා ඔහු රටින් පිට විය. ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් සමාව ලැබූ දුමින්ද සිල්වාට අත් වූ ඉරණම (යළිත් සිරගෙට යාමට සිදුවීම) ඔහුට අත්වුණේ නැත. මන්ද යත්, මේ ජනාධිපති සමාවන් දෙකම නීති-විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වන විට තීන්දු කර ඇති බැවිනි. ‘රෝයල් පාක්’ ඝාතකයාට මෛත්‍රීපාල සිරිසේන විසින් මෙවැනි අවසාන මොහොතක සමාව ලබාදීම ගැන අතුරු කතා බොහොමයකි. අතුරලියේ රතන භික්ෂුව ඒ සම්බන්ධයෙන් කළ මැදිහත්වීමත් රටම දනී. ඒ සියලූ කාරණා පැත්තකින් තියන්න.

මොහුට සමාව දෙන්නැයි 2019 ජුලි 19 වැනිදා මෛත්‍රීපාල සිරිසේනට පෙත්සමක් ලියා ඉල්ලා සිටියේ කවුද? මේ රෝහිණී මාරසිංහයි! ඒ සඳහා ඈ ඉදිරිපත් කළ හේතු දෙකකි. (1) විත්තිකරුට අභියාචනයකට අවස්ථාවක් නොලැබීමෙන් යුක්ති ධර්මයේ අසාධාරණත්වයක් සිදුව තිබීම (2) ඔහු සිරගෙයි ගත කර ඇති කාලය තුළ ආදර්ශමත් වීම සහ සිරගෙදර සිටියදී අධ්‍යාපනික සහතික ලබාගැනීම.

පළමු කාරණය අමු බොරුවකි. මොහුගේ නඩුව ඇසුවේ ත්‍රී-පුද්ගල මහාධිකරණයකිනි. එහි විනිශ්චය වුණේ, මරණ දඬුවමයි. අභියාචනය ඇසුවේ අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලකිනි. එහි ඒතකමතික තීරණය වුණේද මරණ දඬුවමයි.

දෙවැනි කාරණය, එනම් සිරගෙදර ජීවිතය ආදර්ශමත් වීම, එළියේ කළ මෘග අපරාධයක් අහෝසි කිරීමට තරම් ප්‍රමාණවත් වෙතැයි සිතන, රටේ ඉහළම අධිකරණයේ අත්දැකීම් ඇති විනිසුරුවරියකගේ මානසිකත්වය කුමන ආකාරයේ එකක් විය හැකිද? එය, අතුරලියේ රතන භික්ෂුවගේ දූෂිත ආකල්පයට වෙනස් විය හැක්කේ එක කාරණයකින් පමණි. ඝාතනයට ලක්වුණේ ගැහැනියකි. ඇගේ මිනීමරුවාට නීති-විරෝධී සමාවක් ඉල්ලා සිටින රොහිණී මාරසිංහ, අතුරලියේ රතන මෙන් පිරිමියෙකු නොව, ගැහැනියකි!

නීතියේ ආධිපත්‍යය තේමා කරගත් ‘මාලිමා’ නීතිඥ සාමූහිකයක ප්‍රධාන දේශනයට මෙවැනි කෙනෙකුට ආරාධනා කිරීම මගින් අපට සැපයෙන සංඥව කුමක්ද?

න්‍යාය සහ භාවිතාව අතර පරස්පරය, බලයෙන් පිටස්තරව සිටියදී පවා මෙසේ ඇති විය හැකි නම්, බලය අභ්‍යාස කරන අවස්ථාවක එය කෙසේ විය හැකිද යන්නයි.

මේ මොහොතේ අනිත් ප්‍රධාන තරගකරුවාට වඩා ‘මාලිමාව’ ඉදිරියෙන් සිටින ප්‍රධාන තර්කණය වන්නේ, දූෂණ-විරෝධය බව කවුරුත් දනිති. එනම්, රාජ්‍ය අනුග්‍රයෙන් සිද්ධ කෙරෙන මහපරිමාණ දූෂණය සහ නාස්තිය නතර කිරීමට, ඔවුන් තරම් සෙස්සන් සුදුසු නොවන බවයි. මේ දක්වා අපට ඇති සාක්ෂි අනුව, එය ඇත්තයි. එහෙත්, තදබදය නැති කිසි තැනක පික්පොකට් ගැසීම කළ නොහේ. තදබදය ඇති වන්නේ, රාජ්‍ය බලයත් සමගයි. ඒ වාගේම, එහි අනිත් පැත්ත: එනම්, තදබදය ඇති වන තැනක සිටින හැමෝම පික්පොකට් ගසන්නේද නැත. ඉතිං, ‘මාලිමාව’ එහිදී කොපමණ දුරකට සාර්ථක වෙයිද නැද්ද යන්න පිරිසිඳ දැනගැනීමට නම් ඔවුන්ව බලයට පත්කිරීම මිස අන් ක්‍රමයක් අපට නැත.

දූෂණය සහ නාස්තිය ආයතනික මට්ටමින් නතර කිරීම, පාලකයා තුළ දැඩි අදිටනක් ඇතොත්, කෙටි කලකින් සාර්ථක කරගත හැකිය. එහෙත්, ආර්ථීකය නිවැරදි දිසාවක් වෙත මෙහෙයවීම එසේ පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. ඔවුන් සතු ආර්ථික දැක්ම සහ හැකියාව එහිදී තීරණාත්මක වෙයි. එය, දූෂණය සහ නාස්තිය නැති කළ පමණින් ඉබේ පහළ වන ඥනයක් නොවේ. ‘මාලිමාව’ වෙත ඇදී එන රැල්ල, ඒ කාරණය කෙරෙහි අවධානය යොමු කරන බවක් නොපෙනෙයි.

කෙසේ වෙතත්, මේ ද්විත්ව කාර්යභාරය- එනම්, දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සහ රටේ ආර්ථිකය පිළිසකර කර සීග්‍ර දියුණුවක් කරා ගෙනයාමේ කර්තව්‍යය සාර්ථක කරගැනීමට මෙතෙක් බලයට පත් කිසි පක්ෂයක් සමත්ව නැත. රාජ්‍ය බලයට පත්ව නැති පක්ෂයකට (මාලිමාවට) ඒ ද්විත්ව කර්තව්‍යය මේ අවස්ථාවේදි භාරදිය යුතු යැයි ජනතාව සිතන්නේ එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එවැනි අත්හදාබැලීම් කිරීමේ අයිතියක් ජනතාවට තිබේ.

කෙසේ වෙතත්, මේ ලියුම්කරු ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ වෙනම හේතුවක් නිසා ය. ඒ මෙසේ ය: වර්තමාන දේශපාලන කතිකාව තුළ ‘මාලිමාව’ වෙත ආරෝපණය කර ඇති හෝ ආරෝපණය වී ඇති සදාචාරමය ජවය පදනම් වන්නේ, සත්‍යයන්, අර්ධ-සත්‍යයන් සහ මිථ්‍යාවන් ගණනාවක් මතයි. ඒ කිසිවක්, අනුභූතිකව (දිව ගා බැලීමෙන්) මිස, න්‍යායිකව ඔප්පු කිරීම හෝ නිෂේධ කිරීම කළ නොහේ. ඒ සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක්ම අවශ්‍ය කෙරේ. එනම්, භාවිතයට අවස්ථාවක් සැලසිය යුතු බවයි. ඒ අවස්ථාව ඔවුන්ට ලබා නොදෙන තාක් කල්, ඔවුන් (මාලිමාව) වැඩසිටිනු ඇත්තේ, විපක්ෂයක් තුළ ගොඩනැෙඟන ප්‍රබන්ධාත්මක පූජාසනයකයි. එය, රටේ ඉදිරි ගමනට බාධාවකි.

ඉතිං මෙය, හොඳට හෝ නරකට ඉවරයක් කරගත යුතුය. එක්කෝ, බලයට පත්වීමෙන් පසු ඔවුන් ස්වකීය පූජාසනයට සාධාරණත්වයක් ඉටු කරනු ඇත. එය, රටට යහපති. නැත්නම්, ඔවුන් පූජාසනයෙන් මහපොළොවට බසිනු ඇත. එයත්, රටට යහපති. තවත් අවුරුදු පහකට කල් නොදමා එය මේ අවස්ථාවේම විසඳාගත යුතුව ඇති සමාජ අවශ්‍යතාවයකැයි මම අවංකවම සිතමි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda