ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 6කි. අපේක්ෂකයින් සියලු දෙනා අතුරින් තිදෙනෙක් පෙරමුණේ සිටින බව කියැවෙයි. ඔවුන් නම් අනුර, රනිල් සහ සජිත් ය. තිදෙනාම පවසන්නේ තමන් එළඹෙන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය. එය මැතිවරණයක ලක්ෂණයකි. එම උත්සහයන්ගේ ප්‍රතිඵල තීන්දු වන්නේ ජනතාවගේ කැමැත්ත මතය. එම කැමැත්ත ආකාර 2කකින් ක්‍රියාත්මක විය හැකිය. සත්‍ය ලෙසම තමන්ගේ සහ සමාජ ජීවිතය පිළිබද පුරවැසි කියවීමක්/දේශපාලන අදහසක් තුළ සිය ඡන්දය භාවිතා කිරීමය. දෙවැන්න නම්, විශේෂයෙන් මාධ්‍ය, සමාජ මාධ්‍ය ඇතුලු සන්නිවේදන ක්‍රියාන්විතයන් හරහා ජන්දදායකයාගේ කැමැත්ත කෘතීමව නිශ්පාදනය කිරීමෙන්ය. මෙහිදී දෙවැන්න ඉත්මත් දරුණුය. එය සමාජයට අත්පත්කර දෙන්නේ යහපත් දෙයක් නොවේ. කෙසේ නමුත් මේ වන විට මේ ආකාරයන් දෙකම ලංකා දේශපාලන භූමිය තුළ ක්‍රියාත්මක වන්නේ අපේක්ෂකයන්ගේ මූල්‍ය ඇතුලු අනිකුත් බල ව්‍යුහයන්ට සාපේක්ෂවය.

නමුත් මේ සටහන ලියනු ලබන්නේ මැතිවරණ ප්‍රතිපල පිළිබද පුරෝකතනයක් හෝ අනාවැකි ඉදිරිපත් කිරීමට නොවේ. කුමන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළත් ජනතාවට මුහුණ දීමට සිදුවන ප්‍රභල තත්ත්වයක් පිළිබදව අවධානය යොමු කිරීමටය.

එනම්, දේශීය වශයෙන්ද, ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රභල විවේචන සහ විරෝධය මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සම්මත කරගත් මර්දනීය පනතක් වන අන්තර්ජාල ආරක්ෂන පනතට(Online Safety Act) රහසින් ආශා කරමින් එය පවත්වාගෙන යාමට ජනාධිපතිධූර අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ප්‍රකාශනවල ඒ පිළිබදව දක්වා ඇති ප්‍රතිපත්තිය පිළිබද අවධානය යොමු කිරීමටය.(රනිල් වික්‍රමසිංහ ඒ පිළිබද කිසිවක් ප්‍රකාශ කර නැතැත් ඔහු මේ මර්දනීය පනතේ පියා ය. ඒ පිළිබදවත් කියවීමක් පහතින් දක්වා ඇත)

සජිත් ප්‍රේමදාස සහ Online Safety Act

සජිත් ප්‍රේමදාන සිය මැතිවරණ ප්‍රකාශනයේ Online Safety Act පිළිබදව දක්වා ඇත්තේ මෙසේය.

“2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ ඇති ප්‍රකාශනයේ නිදහසට එරෙහි වගන්ති ඉවත් කරන්නාවූ ද, අන්තර්ජාල සේවා සපයන ආයතනවලට ස්වකීය ව්‍යවසායන් බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන්නා වූ ද, පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම නව රජයේ ප්‍රමුඛ කාර්යයක් වේ”(පිටුව 31 Sajith Premadasa Manifestos )

මෙහිදී සමගි ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනයේ දී පැහැදිලිවම දක්වා ඇත්තේ Online Safety Act අහෝසි නොකරන බවය. එසේම ඉන් අවධාරණය කර ඇත්තේ “ප්‍රකාශනයේ නිදහසට එරෙහි වගන්ති” ඉවත් කරමින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවය.

අනුර කුමාර දිසානායක සහ Online Safety Act

අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ප්‍රකාශනයේ Online Safety Act පිළිබදව දක්වා ඇත්තේ මෙසේය.

“ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම”(පිටුව 60 – NPP Manifestos)

මෙහිදී ජාතික ජන බලවේගය විසින් ද දක්වා ඇත්තේ “ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට” පනත සංශෝධනය කිරීමය.

NPP සහ SJB වෙනස

මෙය තේරුම් ගැනීම සරලය.

සමගි ජන බලවේගය(SJB) ඉදිරිපත් කර ඇත්තේ ප්‍රකාශනයේ නිදහසට එරෙහි වගන්තීන් ඉවත් කරමින් “පනත් කෙටුම්පතක්” ඉදිරිපත් කිරීමය. “ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට” “පනත සංශෝධනය කිරීමට” ජාතික ජන බලවේගය(NPP) හී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇත.

තේරුම්ගැනීම සරලය. NPP සහ SJB “ප්‍රකාශනයේ නිදහස” පිළිබදව සංවේදී බවක් දක්වා ඇති නමුත් SJB විසින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටත්, NPP රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සම්මත කරගත්(දැන් නැවත සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කර ඇති) පනත සංශෝධනය කිරීමට යෝජනා කර තිබීමය.

දැන් සමගි ජන බලවේගය යෝජනා කරන්නේ අමුතු දෙයක් නොවේ. එය දැනටමත් වත්මන් ආණ්ඩුව විසින් ඉටුකරමින් තිබේ. එනම් ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දුන් සංශෝධනත් සලකාබලමින් ආදාළ පනත නැවත සංශෝධනය කිරීම ය. (වත්මන් ආණ්ඩුව විසින් සංශෝධනය කිරීමට යන පනත සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරමින් කියා සිටින්නේ මෙයින් සිය මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන බවය.)

ගැටලුව ඇත්තේ එහි නොවේ. ගැටලුව ඇත්තේ මූලික නීතිය සමගය. එනම් පනතේ පදනම ම, අරමුණ ම දණ්ඩනය පදනම් ව තිබීමයි. එහි සාරයම දෝෂ සහිතය. නැවත සකස් කල නොහැකි තරමට දෝශ සහිතය. එය නැවත සකස් කළ නොහැකි තරම් නරක තත්ත්වයක පවතියි. (ඒ පිළිබදව මා පසුගිය මස ලියූ සටහනකින් දීර්ඝව පවසා ඇත. https://www.vikalpa.org/article/43993) එය අදාළ පනත සම්මත කරගත් වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වන(පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ) ටිරාන් අලස්, මහජන ආරක්ෂක ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයක් හොදටම ප්‍රමාණවත්ය. ඔන්ලයින් අවකාශයේ දී කාන්තාවන් සහ ළමුන්ට සිදුවන අපයෝජනයන් වැලැක්වීම සදහා කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට මේ පනත ගෙන එන බව ඔහු පැවසීය. එසේම පනත සම්මත කරනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු එදවස සිටි බහුතරයක් මංත්‍රීවරුන් සිදුකළ කතා නැවත අහන්න. එහි ප්‍රධානම අරමුණ විසම්මුතික අදහස් මර්දනය කිරීම ට බව ඔබට තේරුම්ගැනීමට අමුතු දැනුමක් අවශ්‍ය නොවනු ඇත.

කිසිදු ජනාධිපතිධූර අපේක්ෂකයෙක් Online Safety Act අහෝසි කිරීමට කැපවී නැත.

රනිල්, සජිත් සහ අනුර අතුළු සියලු අපේකෂකයන් සිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබදව දිගින් දිගටම කතා කළත් කිසිදු අපේක්ෂකයෙක් මෙම මර්දනීය පනත අහෝසි කිරීම සදහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැති බව මා විසින් ඉහතින් පෙන්වා දී තිබේ. මෙයින් පෙනී යන්නේ ඔව්න් සියලු දෙනාගේම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංසකරණ පිළිබද ඇති පරස්පරතාවයයි.

එසේම Online Safety Act පිළිබදව NPP සහ SJB ප්‍රතිපත්තිය ස්ථාවරයන් වෙන් කර හදුනා ගැනීමට අපට නොහැකිය. නමුත් ජාතික ජන බලවේගය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනිකුත් අංශවලදී ඉතාමත් ගැඹුරු ලෙස සාකච්ඡා කරන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබද ප්‍රතිපත්තියට ඔවුන්ගේ Online Safety Act පිළිබදව වන අදහස සම්පූර්ණයෙන්ම පටහැනි වේ. ප්‍රධාන හේතුවක් නම් OSA හී පදනම් මූලධර්ම සහ යෝජිත ක්‍රියාකාරීත්වය විසින් පෞද්ගලිකත්වයට ඇති අයිතිය, සාමකාමී එක්රැස්වීම, ප්‍රකාශනයේ නිදහස ඇතුලු මානව අයිතිවාසිකම් මර්දනයට ලක් කරන නිසාය.

ඔන්ලයින් පනත රිපීල්(Repeal) කරන්න වෙනවා – පාර්ලිමේන්තු මංත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය(ජාතික ජන බලවේගය)

පසුගිය 2024 ජූනි 18වනදා ජාතික ජන බලවේගයේ, පාර්ලිමේන්තු මංත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය HARITV සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Online Safety Act පිළිබදව අදහස් පළ කළාය. එහිදී ඇය දැක්වූ අදහස්වලින් Online Safety Act අදාළ කොටස උපුටනයක් ලෙස පහතින් දක්වමු.

“ඩිජිටල් ලෝකය අපිටත් අදාලයි. අදාළ නෑ කියන්න බෑ. එහිදී සාක්ෂරතාවය නැතිවීම ඇත්තට ප්‍රශ්ණයක්.”

HariTV: NPP ආණ්ඩුවක් ආවොත් ඔල්යින් සේෆ්ටි බිල් එක හකුලා ගන්නවාද?

අචාර්ය හරිනි: “මේ තියන එක. අනිවාර්යෙන්, ඔව්. මේ තියන එක පවත්වාගෙන යා යුතු එකක් නෙවෙයි කියලා තමයි අපි නම් හිතන්නේ. මොකෝ මේක ගැහැණුන් හෝ ළමයින් හෝ ඒවා ආරක්ෂා කරන්න ආපු පනතක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම ඒක අදහස් දැක්වීමේ නිදහස සහ දේශපාලන ප්‍රතිවාදියා පාලනය කිරීමට ආපු පනතක්. අපේ නීතිඥ කණ්ඩායම සටර්ඩි කරමින් ඉන්නේ අපේ ස්ථාවරය කුමක් විය යුතු ද කියන එක. ඒ අනුව අපේ මැතිවරණ ප්‍රකාශනය තුළ අපි අයින් කළ යුතු පනත් මොනවද? වෙනස් කළ යුතු ඒවා මොනවාද? කියන එක ඉදිරියට මට කියන්න පුලුවන් වෙයි. මොකෝ මේක එක පනතක් නෙමෙයි. සහ අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න නේ. ඒ අලුත් ව්‍යවස්ථාවේ කොහොමද මේවා ඇතුල් වෙන්නේ කියන එක ගැන නිශ්චිත අදහසක් අපිට ඉදිරියට දෙන්න පුලුවන්. සමහර ඒවා රිපීල් කරන්න වෙනවා. මම හිතන්නෙ ඔන්ලයින් එක එකක්. ත්‍රස්ත විරෝධී පනත අනිත් එක.”

මෙහිදී ඇය සෘජුවම ප්‍රකාශ කරන්නේ Online Safety Act සහ ත්‍රස්ත විරෝධි පනත අහෝසි කළ යුතු බවය.එය ඉතාමත් ප්‍රගතිශීලි මෙන්ම ඉදිරිගාමී අදහසකි. නමුත් එයින් මාස 2කකට පසු ඇය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ Online Safety Act පිළිබදව අඩංගු වන්නේ අචාර්ය හිරිනි ට සම්පූර්ණයෙන් විරුද්ධ ප්‍රතිපත්තියකි. එය නැවතත් ලියා දක්වන්නේ නම් අචාර්ය හරිනි “Online Safety Act අහෝසිකිරීම කළ යුතු” යැයි ප්‍රකාශ කරන විට ඇය නියෝජනය කරන NPP ප්‍රතිපත්ති ප්‍රකාශනය විසින් දක්වා ඇත්තේ “Online Safety Act සංශෝධනය” කරන බවය.

රනිල් ශෝක්ද?

Online Safety Act සම්බන්ධයෙන් ජනාධිපතිධූර අපේක්ෂක වික්‍රමසිංහගේ ස්ථාවරය පැහැදිලි කිරීමට තවත් මේ ලිපියේ කාලය නාස්ති කළ යුතු නැත. මෙම මර්දනීය පනත ගෙන එනු ලැබූවේ වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින්ය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඩිජිටල් ආර්ථිකයත්, කෘතීම බුද්ධිය ඇතුලු විෂයන් සම්බන්ධයෙන් විශාල ලෙස දක්වා තිබුණත් [https://www.ranil2024.lk/si/manifesto] Online Safety Act පිළිබදව කිසිදු සටහනක් දක්වා නැත. ලියුම්කරුගේ අදහස නම් ඔහුට එසේ වෙනස් කිරීමට හෝ අහෝසි කිරීමට අදහසක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු ජනාධිපති වුවහොත් මේ මර්දනීය පනත දිගටම පවත්වා ගෙන යමින් විසම්මුතික අදහස් මර්දනය කිරීම සදහා අවශ්‍ය සංදර්භය නිර්මාණය කරගැනීමය. එබැවින් ඔහු දක්වා ඇති ඩිජිටල්කරණ ප්‍රතිපත්ති හා ඔහු විසින්ම ගෙන ආ Online Safety Act ගැඹුරු පරස්පරතාවයක් නියෝජනය කරයි. එසේම ඒ ගැඹුරු පරස්පරතාවයෙන් මතුවන තවත් හැගවුම් කාරකයන් වන්නේ දේශාපලනින ලෙස පුරවැසියන් රැවටීම මිස අන්කවරක් නොවේ. එය ඉතාමත් දරුණුය.

මෙසේ වන්නේ ඇයි?

අද වන විට ලංකාවේ පමණක් නොව, ලෝක මට්ටමින් ද විශේෂයෙන් මැතිවරණවලදී සහ රටක තීරණතාමක් කාලවලදී සමාජ මාධ්‍ය ඇතුලු Online Platform දැවැන්ත භූමිකාවකට පහසුකම් සළසයි. එහිදී මේ වන විට generative ai වල සීග්‍ර දියුණුවත් සමග අදාළ තත්ත්වය තවත් සංකීර්ණ සහ දියුණු තත්ත්වයකට පත්ව තිබේ. එබැවින් Online වේදිකාවල භූමිකාව බැහැර කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. උදාහරණයකට ලංකාවේද මේ වන විට සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන අයුරු සලකා බලන්න.

2024 ජූනි 14 සිට 2024 සැප්තැම්බර් 11 දක්වා, META සමාගමට අයත් සමාජ මාධ්‍ය වේදිකාවන්වල සිය මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් අපේක්ෂකයින් තිදෙනෙක් සිදුකල වියදම්,

රනිල් වික්‍රමසිංහ: රුපියල් 33230360.00
සජිත් ප්‍රේමදාස: රුපියල් 32514220.00
අනුර කුමාර දිසානායක: රුපියල් 7142795.00
(උපුටා ගැනීම – facebook.com/ads/library/report – Rasika Karunarathne | Gayan Hettiarachchi)

මෙයින් පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඇතුලු Online වේදිකාවන් සදහා මෙවර ජනාධිපතිරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් කොතරම් බරක් දක්වනවාද යන්නය. එසේම අදහස්, මතවාද හෝ විසම්මුතික අදහස්, විවේචන ඉදිරිපත් කිරීමටද මේ වන විට පුරවැසියන් වැඩි වැඩියෙන් භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය ඇතුලු Online වේදිකාවන්ය. එබැවින් විසම්මුතිය ඉවසීමට රුචියක් නොදක්වන පාලකයන් හෝ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් මෙම සන්නිවේදන මාදිලිය කෙසේ හෝ පාලනයට හෝ පාලනය කිරීමට සහය දක්වනු ලබයි. තවද ජනතාවගේ අදහස් හෝ විසම්මුතික අදහස් පාලනය කිරීමට ගෙන ආ පනතක් ලෙස ලංකාවේ Online Safety Act සැලකිය හැකිය. (වෛරී ලෙස හෝ ආචාර්ධාර්මික නොවන ලෙස අන්තර්ගතයන් එකතුකරන හෝ ප්‍රතිකාර දක්වන අන්තර්ගතයන් අප බැහැර කරන අතර, ඒවා යම් කිසි ලෙසකින් පාලනය කිරීමටත්, ඒ පිළිබදව දැනුවත් කිරීමටත් මේ වන විට අදාළ සමාගම්වල ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙයි. ලංකාව තුළද එවැනි ආකාරයක ආචාරධර්ම පද්ධතී ඇත. Social Media declarayion කියවන්න) එම නිසා 21 වනදායින් පසුව පත්වන කවර හෝ පාලනයකට එල්ලවන විවේචන, විසම්මුතික අදහස් මර්දනය කිරීමට Online Safety පනත උපයෝගී කර ගැනීමටත් ඒ මගින් දේශපාලන බලය තව දුරටත් පවත්වාගෙන යාමට OSA ප්‍රයෝජනවත් වනු ඇතැයි, OSA අහෝසි නොකිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයෙක් සිතුවා වන්නට බැරි නැතැයි කාට හෝ සිතුනේ නම් එහි වරදක් තිබේද?

කෙසේ නමුත් තවදුරටත් පවසන්නේ නම්, බලය ඇති පක්ෂයක් සිය බලය තවදුටත් කෙසේ හෝ පවත්වාගෙන යාමටත්, බලය නොමැති පක්ෂයක් කෙසේ හෝ බලය ලබා ගැනීමටත් මෙම පවතින පනත භාවිතා කිරීමට ඉඩ තිබේ. කෙසේ නමුත් එවැනි තත්ත්වයක් තුළ එයින් මර්දනයට ලක්වන්නේ ජනතාගේ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් බව මේ වන විට බොහෝ අපේක්ෂකයන්ට අමතකව ගොස් ඇති සේයකි. එහි සංකීර්ණත්වය තේරුම් ගැනීමට නීතිය පමණක් ප්‍රමාණවත් නොවේ. ගෝලීය ව දියුණු වී ඇති තාක්ෂණය, තාක්ෂණික මෙවලම්, එහි හැසිරීම වැනි පරාසයන් පිළිබදව දැනුමක්, අවබෝධයක් සහ සාකච්ඡාවක් අවශ්‍ය වෙයි.

කිසිදු අපේක්ෂකයෙක්ට අවශ්‍යතාවයක් නැත.

Online Safety Act සම්බන්ධයෙන් සියල්ලන්ම එකම බෝට්ටුවේය. කිසිදු අපේක්ෂකයෙක්ට මර්දනීය OSA පනතින් ගැලවීමට කිසිදු දේශපාලන වුවමනාවක් නොමැති බව පැහැදිලිය. එළැබෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රමුඛ අයිතිවාසිකම්වලට මෙම තත්ත්වය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. එම නිසා සිවිල් සමාජය ඇතුලු පුරවැසියන්ගේ ප්‍රමුඛ කාර්යක් විය යුත්තේ Online Safety Act ඇතුලු මර්දනීය පනත් වලින් සිදුවීමට නියමිත දරුණු තත්ත්වයට එරෙහිව පුරවැසියන් සංවිධානය කිරීමය. ඒ අන් කිසිවක් නිසා නොව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ම අනිකුත් මානව අයිතිවාසිකම්වල පදනම වන බැවිනි.


සම්පත් සමරකෝන්
| Sampath Samarakoon