ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම බොහෝ දෙනාට පහසු කාර්යයක් නොවේ.
සමාජමය කාරණාවලදී මෙන්ම දේශපාලනමය කාරනාවලදී ද එමෙන්ම ආර්ථික කාරණාවලදී ද එය එක හා සමානය. වැඩිදෙනාට පවතින තහවුරු වූ ක්‍රමය ට පිටින් සිතීම පහසු දෙයක් නොවනවා වගේම ආගන්තුක දෙයකි.
රජවරුන්ගේ ආධිපත්‍ය පැවති සමාජයන් වෙනස් කරමින් ජනතාවගේ පරමාධිපත්‍ය සහිත නියෝජන දේශපාලන ක්‍රමයක් බිහි වීමට වසර සිය ගණනක් ගත වූවා මෙන්ම එම ක්‍රියාදාමයන් ලෝකය තුළ සම්පූර්ණයෙන්ම මේ වනතුරුවත් පරිපූර්ණවී හෝ ස්ථාපිත වී හමාර නැත. මෙයින් පෙන්නුම් කරන්නේ මිනිසා පවතින සමාජ ක්‍රමය තුළ ජීවත්වීමට පුරුදු කළ සත්වයකු ලෙස ජීවත්වීමට හුරු වූ අයකු බවයි.
එමෙන්ම පුහුණු කළ ආකාරයට එපිටින් සිතීම සිදුවන්නේ ඉතා ටික දෙනෙක් තුළින් පමණි. එලෙස මුලින්ම එසේ සිතන අය ටික දෙනෙකු වන අතර එම වෙනස ආරම්භ වූවායින් පසු එය ප්‍රධාන ප්‍රවාහය බවට ද පත්වනු ඇත. නමුත් සමාජයක් එතැනට ගෙන ඒම පහසු කාර්යයක් නොවන අතර එයට හුරු වීමට මිනිස් මනසට පහසු නැත. ඒ ඔවුන් ගතානුගතික ලෙස සිතීමට පුහුණු කල කොටසක් බැවිනි. එනිසාම පවතින තත්ත්වය තුළ අවදානමේ වුවත් ජීවත්වීම අගයන්නේ අලුත් තත්ත්වයකට මුහුණ දීමට, නොදන්නා දෙයක් ඇතිකර ගැනීමට ඇති බිය හේතු කරගෙනයි. නමුත් මිනිස් සංහතියේ ගමන් මගෙහි සියලු සංවර්ධනයන් සිදුවී ඇත්තේ වෙනසක් සඳහා එසේ පියවර තබන, වෙනස සඳහා ඉදිරිපත්වන කොටස් තුළින් බව අපි දන්නෙමු.
පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව වුවත් කොටසක් තවමත් විශ්වාස කරන්නේ ඒ සිතීමට පුහුණු කල රාමුව තුල සිටමය.
රටෙහි සම්පත් අනවශ්‍ය ආකාරයෙන් පරිහරණය කරමින් ඒවා තම පුද්ගලික වුවමනාවන් සඳහා යොදා ගනිමින් රට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන සහ සමාජමය වශයෙන් බංකොලොත්භාවයකට ඇදගෙන ගිය අයම එය ගොඩගනී යයි කොටසක් තාමත් සිතන්නේ ඇදහිල්ලක් ලෙසිනි. ඇදහිම තුල නිදහස් සිතුවිලි නොමැති බව අපි දනිමු.
සමාජයක් තුළ සෑම විටම එහි පවතින තත්ත්වයන් හුරුපුරුදු සියලුම දේවල් වලට මිනිසුන් ඇබ්බැහි කරවීම සඳහා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙමින් පවතී. කාලයාගේ ඇවෑමෙන් මෙම දේවල්වලට ඇබ්බැහි වන මිනිසා ඒවා ප්‍රශ්න කිරීම වෙනුවට ඒවා සමඟ ජීවත් වීමට හුරුවේ. ඒවාගේම ඒවා සාධාරණීකරණය කිරීමට ද හැඩ ගැසේ.
සමාජයක් පසුගාමී වන තරමට ඒවායේ ඇති මෙවැනි ඇබ්බැහිද විශාලය. පදනමක් නැති අවිද්‍යාත්මක සිතිවිලිවලට අනුගත වීම ඒවා මත විශාල විශ්වාසයක් පවත්වා ගැනීම වැනි දේ ද මේ අතර වේ.
උදාහරණ්යක් ලෙස ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට තිබුණු මාර්ගය මගහැරී ඇත්තේ ද මෙවැනිම කාරණා හේතු කරගෙනයි. පවතින රාමුවෙන් එපිට සිතීමට හුරු නොකිරීම තුළින් අප රට තුළ සාමකාමීව විසඳා ගැනීමට තිබූ දේශපාලන ප්‍රශ්නයක් මිනිස් ජීවිතය ලක්ෂ ගණනින් විනාශ කර විශාල හානියක් සමාජය ට සිදුකරමින් යුද්ධයක් කිරීමෙන් පසුවවත් එය විසඳා ගැනීමේ මාර්ගයකට යොමුවී නොමැත.
නවසිය අනූ ගණන්වල වරක් මට ස්වීඩනයෙහි පැවති සාකච්ඡාවකට සහභාගී වෙන්නට අවස්ථාව ලැබුණි. විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර විද්වතුන් සහ ලංකාවේ විද්වතුන් ද සහභාගිවී සිටි එහි ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයා ගැනීම තේමාව විය.
මෙහිදී ලංකාවෙහි බිහි වූ කීර්තිමත් ඔලිම්පි ක්‍රීඩකයකු වූ නාගලිංගම් එදිර්වීරසිංහම් (Nagalingam Ethirveerasingam) මහතා කතා කරමින් ජනවාර්ගික ප්‍රස්නය විසඳා ගැනීමට නම් අප රාමුවෙන් පිට සිතීමට හුරු විය යුතු බව පැහැදිලි කළ ආකාරය මට අදත් මතකය. ඔහු එදා ඇසුවේ රජරට හෝ උඩරට හෝ රුහුණු රට කීම ඔබට ප්‍රශ්නයක් ඇති කරයිද? නමුත් යම් ආකාරයකින් ඊළාම් රට කිව්වොත් ඔබට ප්‍රශ්නයක් මතුවනවා නේද යන්නයි.
මෙතුළින් ඔහු පෙන්වා දුන්නේ රජරට, උඩරට රුහුණු රට, මේවා සියල්ලම විවිධ රටවල් ලෙස හැඳින්වූවා වුවත් ඊලම ලෙස හැඳින්වීම පමණක් අපට දරාගන්නට නොහැකි ඇබ්බැහියකට අපව ඇබ්බැහි කර ඇති බවයි. එනිසාම අපට රාමුවෙන් පිට ෆෙඩරල් ආකාරයේ විසඳුමකට යාමට මග අහුරනු ලැබීය. ප්‍රතිඵලය වූයේ දිගුකාලීන යුද්ධයක් ඇතිවීම සහ මිහිස් ජීවිත ලක්ෂ ගණනක් රටට අහිමිවීමයි. මිලියන ගණනක් සරණාගතයන් ලෝකයට යෑමයි.
අළුත් තත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම් දේශපාලනයේ දී අපට හුරුකර ඇති රාමුවෙන් පිටත සිට සිතීමට බියවිය යුතු නැත. හුරුකර ඇති රාමුවෙන් පිටට ගොස් නොසිතා අලුත් තත්ත්වයකට කිසි දිනක ළඟාවිය නොහැක. එසේ නැත්නම් අප කරනුයේ අපට හුරු වී ඇති පවතින ක්‍රමය තුළම එකම මඩ ගොහොරුවක ලැගීමයි.
අප සිටින්නේ කරවටටම ගිලී බව අපි දන්නෙමු. ඒ ආර්ථික වශයෙන් පමණක් නොවෙයි. දේශපාලන වශයෙනුත්, සමාජමය වශයෙනුත් මේ පිරිහීම පසුගිය වසර තිහ හතළිහක කාලය තුළින් සමාජ දේහයට කිඳා බැස නිදන් ගත රෝගයක් බවට පත් වී ඇත. එසේ නම් එයින් ගොඩ යාමට අලුත් ආකාරයක ක්‍රියාදාමයක්, දේශපාලනයක් අත්‍යාවශ්‍ය බව පැහැදිලිය. නමුත් එම අලුත් තත්ත්වයට යාමට අලුත් අයට එයට බලය දීමට රටෙහි ජනයාගෙන් විශාල ප්‍රමාණයක් තාමත් සූදානම් නැත. ඒ අප හුරුවී ඇති මේ ඇබ්බැහිය නිසාවෙනි. රාමුවෙන් පිට සිතන්නට රාමුවෙන් පිට ක්‍රියාත්මක කරන්නට දැන්වත් අපි නොපසුබට විය යුතු බව පැහැදිලියි.
ජාතික ජන බලවේගය සහ අළුතින් පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වනවිට ලංකාවෙහි අලුත් දේශපාලනයක් ඇතිවිය යුතු යයි එය පැවතුණු දේශපාලනයට වඩා වෙනස් ආකාරයක එකක් විය යුතු යැයි වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරමින් පවතී. බොහෝ අය ඔවුන් දෙස සැකයෙන් බලන්නේ ඉදිරිපත් කරන අළුත් තත්ත්වයෙන් තවත් අමාරුවට පත්වේද එසේ නැත්නම් ඒ අලුත් තත්වය කුමක්ද ආදි බියක් කැටි කරගෙනයි. ඒ පවතින රාමුවෙන් පිටත සිතීමට ඇති බිය නිසාවෙනි.
මෙතෙක් පැවැති විශේෂයෙන්ම දූෂිත සහ දූෂණයෙන් පිරි රාජ්‍ය යන්ත්‍රය තුළ සිටින විශාල නිලධාරීන් ප්‍රමාණයක් මෙන්ම දූෂිත දේශපාලනඥයින් අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය විනාශ කිරීමට සූදානමින් සිටින බව නොරහසකි. ඒ අන් කිසිවකටත් වඩා පසුගිය වකවානුවේ රාජ්‍ය දේපළ අවභාවිතා කළ දූෂන ක්‍රියාදාමයන් වලට වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් ලබාදීමට ඉඩ ඇති බව ඔවුන් විශ්වාස කරන හෙයිනි. එනිසාම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ඔහුගේ දේශපාලන බලවේගයට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතාම අවදානම් තත්ත්වයකටය. එනිසා අලුතින් පත් වූ ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය මේ මොහොතේ කරමින් සිටින්නේ අතුරේ ගමන් කරනවා වැනි අවදානම් දේශපාලනයකි.
“විශ්වාසය හොඳ දෙයකි. නමුත් සුපරික්ෂාකාරීත්වය වඩා හොඳය.” යනු ලෙනින්ගේ කියමනකි. ජාතික ජන බලවේගය තම ක්‍රියාදාමයන්වලදී පවතින නිලධාරි තන්ත්‍රය සමඟ ක්‍රියාත්මක වීමේදී විශ්වාසය මෙන්ම සුපරික්ෂාකාරීත්වයත් යොදවන්නේ නම් එයා හොඳ බව මගේ වැටහීමයි.
ඒ වගේම එදා මෙදා තුර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාත්මක වී විවිධ දේශපාලන මතභේද හේතුවෙන් ඉවත්ව ගිය නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ සිටින විශේෂයෙන්ම මිනිස් අයිතීන් පිළිබඳ කාරනාවන් තුළ ක්‍රියාදරයන් ලෙස ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයක් මේ හැර ගිය අය අතර සිටි. නමුත් ඉදිරි කාලයේදී අළුත් දේශපාලන නැම්මකට යාමට නම් දේශපාලන බලය හුවමාරු කිරීමට නම් ඇත්තෙන්ම අද ජාතික ජන බලවේගය මේ හැත්තෑ එකේ සිට මේ වනතුරු වසර පනහක් තිස්සේ තමන් ළඟ සිට ඉවත්ව ගිය නමුත් විශාල වශයෙන් සමාජ ක්‍රියාදාමයක යෙදී සිටින මේ කණ්ඩායම තමන් සමග එකඟ කරවා ගැනීම අලුත් දේශපාලනයකට මගපාදන බව මගේ වැටහීමයි.
රාමුවෙන් පිට සිතීමට ඔවුනට දිරිය ලැබේවා යන්න මගේ පැතුමයි.
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayaka Arachchi