iMage: SH/Anura Kumara Disanayaka and Mahinda Rajapaksha(Google)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත 51/1 කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය තීරය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් උපුටා දක්වමින් ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවත් ඔහු එහිදී පැවසීය.
එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට තීරණය කළ බවද ඔහු පවසයි.
ඒ, අනුව ගිය මස 09 වනදා සිට මේ මස 11 දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.” යනුවෙනි. (https://lankatruth.com/si/?p=174756)
අමාත්‍ය මණ්ඩල තීරණය මෙසේය:
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේපයි https://t.co/VZsjYEZhBc #srilanka #HRC57 #UN pic.twitter.com/kU9Gyi1GhY
— Vikalpa (@vikalpavoices) October 8, 2024
මෙකද්ද මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සාකච්ඡාවට සහ ඡන්ද විමසීමට ලක් කෙරෙන යෝජනා(උපුටා ගැනීම: ශ්‍රී ලංකා බ්‍රීෆ් – https://urlis.net/pwy0n3qy )
2022 ඔක්තොම්බර් 6 න් 51/1 යෝජනාව අනුව,
“1. මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව (1 A/HRC/57/19.) සාදරයෙන් පිළිගනිමු;
“2. මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ වරම සහ එයින් ඉල්ලා ඇති සියලුම වැඩ කටයුතු දීර්ඝ කිරීමට තීරණය කරන අතර, කවුන්සිලයේ 58 වන සැසියේදී වාචික යාවත්කාලීනයක් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙස කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 60 වන සැසියේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් අන්තර්ක්‍රියාකාරී සංවාදයකදී සාකච්ඡා කිරීමට නියමිතය.”
තවදුරටත් පිටු 4ක නිගමන සහ නිර්දේශ ලෙස දක්වා ඇත( කියවන්න )
එහි 67. මහ කොමසාරිස් ගේ කලින් වාර්තාවලින් කරන ලද නිර්දේශ තවත් වර්ධනය කරමින් පහත සඳහන් නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කෙරේ.
එයින් කිහිපයක් පහතින් දක්වමු.
(අ) වෙනස් කොට නොසැලකීම සහ කාන්තාවන්ට සහ සුළුතර ප්‍රජාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම, වෛරය සහ ප්‍රචණ්ඩත්වය උසි ගැන්වෙන ආගමික ක්‍රියාකාරිකයන්ගේ කතා සහ ක්‍රියා වැළැක්වීම සහ හෙළා දැකීම ඇතුළත් සියල්ලන් ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පදනම්ව ශ්‍රී ලංකාව සඳහා සියල්ලන් ඇතුළත් කර ගන්නා බහුත්වවාදී දැක්මක් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීම
(ඇ) හමුදාව පවරා ගෙන ඇති ඉඩම් නිදහස් කිරීම, උතුරු සහ නැගෙනහිර අලූතින් ඉඩම් අල්ලා ගැනීම නතර කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවා ගෙන ඇති සියලූ දෙනා නිදහස් කිරීම සහ වින්දිතයන්ගේ සිහිපත් කිරීමේ මුලපිරුම් අපරාධයක් සේ සැලකීම ඉවත් කිරීම සහ ඒවාට සහාය ලබා දීම වැනි විශ්වාසය ගොඩ නැගීමේ පියවර ක්‍රියාත්මක කිරීමෙන් සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම
(ඈ) ආණ්ඩුවේ, ආරක්ෂක අංශවලට හෝ තානාපති තනතුරුවලට මෙන්ම විශේෂයෙන් සංක්‍රාන්තික යුක්තිය සහ වගවීම සාක්ෂාත් කර ගැනීමට පිහිටුවන ලද කිසියම් ආයතනයක ඉහළ මට්ටමේ තනුරුවලට මානව අයිතිවාසිකම් චෝදනා කෙළේයැයි විශ්වාස කළ හැකි අය පත් කිරීමෙන් හෝ උසස්වීම් ලබා දීමෙන් වැළකී සිටීම සහ බලයෙන් ඉවත් කිරීම.
(ඊ) මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, ICCPR පනත, කෙටුම්පත් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන පනත සහ විදුලි සංදේශන පනතට යෝජිත සංශෝධන ඇතුළත් මතයක් දැරීමේ නිදහස සහ ප්‍රකාශනයේ, සංගම් පැවැත්වීමේ සහ සාමකාමී රැස්වීමේ නිදහස ට ඇති අයිතිවාසිකම අනවශය ආකාරයෙන් සිමා කෙරෙන පවතින හෝ යෝජිත පනත් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම
(ඌ) හදිසි කටයුත්තක් සේ අදාල තොරතුරු තක්සේරු කිරීමට සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ පසුගිය දශකවල සිදු කරන ලද අන්තර්ජාතික මානුෂීය නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාලව ස්වාධීන අභිචෝදනාත්මක තීරණ ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යන්ගෙන් වෙනස් වූ ස්වාධීන අභිචෝදනාත්මක අධිකාරියක් පිහිටුවීම
(එ) නීතිය බලාත්මක කිරීමේ දී, වානිජ සහ සිවිල් කටයුතුවලදී හමුදාවේ මැදිහත්වීම වැළැක්වීම සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදාව නතර කර තැබීම සැලකිය යුතු ආකාරයෙන් අඩු කිරීම
(ඒ) සියලූ ආකාරයේ සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම් සහ මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ට, ජනමාධ්‍යවේදීන්ට, මානව අයිතිවාසිකම් උල්ලංඝනයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල් වලට විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි පලිගැනීම් වහාම නතර කිරීමට සියලූම ආරක්ෂක ආයතනවලට සහ
බුද්ධි අංශවලට නියෝග කිරීම
(ඕ) මානව අයිතිවාසිකම් භුක්ති විඳීම කෙරේ දූෂණයේ නිෂේධනීය බලපෑම තක්සේරු කිරීම සහ මානව අයිතිවාසිකම් බැඳීම් සමග සම්බන්ධව ඇති දූෂණ විරෝධී පියවර සම්මත කිරීම, සහතික කිරීම
(ක) සමාජ ආරක්ෂණයට මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම ඇතුළත් අවාසි සහ කොන් වූ පුද්ගලයන් සහ කණ්ඩායම්වලට සමාජ ආරක්ෂණ පියවර ලැබෙන බවට සහතික කිරීම ඇතුලු කරුණු ගණනාවක් වාර්තාවේ සදහන් කර ඇත. (නිගමන සහ නිර්දේශ ඇතුලත් වාර්තාව සදහා පිවිසෙන්න)
ජාතින ජන බලවේගයේ ආණ්ඩුව විසින් “තරයේ ප්‍රතික්ෂේප” කර ඇත්තේ මෙවැනි යෝජනාය.
මෙසේ වීම පුදුමයක් නොවේ. පුදුම විය යුත්තේ ද නොවේ.
එහිදී අවස්ථා දෙකකදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අදහස් 2කක් උපුටා දැක්වීම සැහෙයි.
එකක් නම් අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකවරයා ලෙස සිදුකළ කතාවයි. දකුණේ ජනයා ලක්ෂ ගනනින් ජාතික ජනබලවේගය වටා පෙළ ගැසෙමින් ඇති බැවින් ඔබත් එයට එකතු විය යුතු බවත්ය. ඔහුගේ වචනයෙන්ම කිවහොත් “දකුණේ ජනතාව උද්දාමයෙන් නැගිටලා තියනවා. මම අහන්නේ උතුරේ ජනතාවගෙන් ඔබ ඒ වෙනසට එරෙහි වෙනවද? ඒ වෙනසට පක්ෂපාතී වෙනවද? මට වෙලාවකට හිතෙනවා සුමන්දිරන් මංත්‍රීතුමාගේ ප්‍රකාශය අර රටම අපේක්ෂා කරන වෙනසට එරෙහි වීමක්…” (https://www.youtube.com/watch?v=U9oFPkNBZbM)
මෙයින් ඔහු හගවන ලද්දේ වෙන කුමක්වත් නොවේ. “දකුණේ කැමැත්ත” මත දෙමළා සිට ගත යුතු බවයි.
වසර 15කට පෙර දෙමළ මිනිසා සමූලඝාතනය කළ යුද්ධය ගැන වචනයක් වත් කතා නොකරීමටත්, උතුරේ ජනතාව වසර ගණනාවක් පුරා යුක්තිය සහ සත්‍ය පිළිබද ඔවුන්ගේ ඉල්ලීම් පිළිබදවවත් කිසිදු අදහසක් නොදක්වා “දකුණේ කැමැත්ත මත” දෙමලා සිට ගත යුතුයැයි හගිමින් අනුර කුමාර සිදුකළ කතාව අභ්‍යාස කිරීම දැන් සිදුකරමින් ඇත. එහි එක් අභ්‍යාසයක් වන්නේ ජිනීවා යෝජනා ‘තරයේ ප්‍රතික්ෂේප’ කිරීමෙනි.
දෙවැන්න, අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දී සිදුකල ‘ජාතිය’ ඇමතීමේ කතාවය. වසර ගණනාවක් පුරාම ආණ්ඩු විසින් කෘර ලෙස මර්දනයට ලක්කළ සිය පක්ෂයේ අතීතය කොන්ක්‍රීට් පදාසයකින් වසා දමා ඇත්තේ කෙසේ ද යත්, සිය පක්ෂය(ජනතා විමුක්ති පෙරමුණ/ විවේචන සහිතව) වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ(විවේචන සහිතයි) සිය සාමාජිකයන් ඇතුලු නායකයින් වෙනුවෙන් වචන කිහිපයක් හෝ වැය නොකිරීමට පරිස්සම් වනු දක්නට ලැබිණි. අවම වශයෙන්, පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවිර පිළිබදව ද ඔහු මුනිවත රැක්කේය.(රෝහණ විජේවිර හමුදාව විසින් ඝාතනය කළ බවට ඇසින් දුටුවා යැයි ඉන්ද්‍රානන්ද සිල්වා පවසයි)
මේවාට ද පුදුම විය යුතු නැත. එය එසේ වන්නේ ජතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් විශ්‍රාමික හමුදා බලඇණි පෙරටු ගන්වා ගනිමින් සිටි කුමාර දිසානායක, එම විශ්‍රාමික හමුදා සාමාජිකත්වයේ එක් අයෙක් හෝ කොපමණ අපරාධ සිදුකලා වුවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානම් නැති බව දැන් රහසක් නොවේ. ඒ මහින්ද රාජපක්ෂ සමග දෙමළා කුඩුපට්ටම් කිරීමට බර අවිගෙන ඉදිරිපෙළින් ගමන් ගත් ලේ තැවරුනු අතීතයක් ඔවුන් සතු වීමත් තවමත් ඒ ලේ තැවරුනු ගෝත්‍රික, සාහසික අතීතය තවමත් නඩත්තු කරමින් සිටින නිසාත්ය.
සත්‍ය සහ යුක්තිය ඉටු කිරීම සදහා වන ප්‍රගතිශීලී, ශිෂ්ට සහ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම්වලින් හෙබි ජිනීවා යෝජනා ‘තරයේ ප්‍රතික්ෂේප’කරන්නේ ඒ නිසාය. එයට පුදුම විය යුතු වන්නේ ද නැත.
එසේම අවසානයේ කිවයුතු වන්නේ ජිනීවා යෝජනා සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර ගමන් ගනිමින් ඇත්තේ ජාතිවාදයත්, යුදවාදයත් තුළින් මේ රට විනාශ කළ රාජපක්ෂලාගේ නරුම මාවතේම බවය.
“අපි කෝපයට පත්වී සිටින බව ඇත්ත.කෝ පයට පත්වීමට හේතූන් මෙන්ම අයිතියක්ද අපට තියෙනව. ඒත් එක් දෙයක් මතක තබා ගත යුතුයි. අප මේ අරගලය කරගෙන යන්නේ කිසිවකුත් මරන්න නොවෙයි. එක වර්ගයක මිනිහෙක් තවත් වර්ගයක මිනිහෙකුට වඩා උසස් යන විශිෂ්ටයි කියන අදහස මරා දැමීමටයි මේ අරගලය”
-ස්ටීව් බිකෝ-