iMage: https://marumoli.com/the-aftermath/

සමහර ඉතිහාස පෙරළි ඉදිරියේ ඉතිහාසඥයෝ වල්මත් වෙති. හේතුව, ඔවුන්ගේ සම්මත ඉතිහාස ඥානයට සහ ගණිතයට හසු නොවන අපූරු නියාමයක් මගින් මෙවැනි කාලයක විපර්යාසවල ස්වභාවය තීන්දු කරනු ලැබීමයි. එනම්, සිදුවීම් කිහිපයක සුවිශේෂී අන්තර්-ක්‍රියාකාරීත්වයක් මගින් ඇති කරනු ලබන ප්‍රතිඵලය, එකිනෙක සිදුවීමේ ඒකල ප්‍රතිඵලයන්හි ඓක්‍යයට හෙවත් එකතුවට සමාන නොවන බවයි. උදාහරණයක් වශයෙන්, දෙකයි දෙකයි එකතු කළ විට ලැබෙන ඓක්‍යය හතර නොවී, තුන හෝ පහ ආදී වශයෙන් වෙනත් අගයක් ගත හැකි බවයි. මේ තත්වය හඳුන්වන සිංහල වචනය වන්නේ, ‘සහක්‍රියාකාරීත්වය’ යන්නයි. ‘අනේකකර්තෘවාදය’ වශයෙන්ද එය හැඳින්වෙයි. (Synergy)

අනුර කුමාර දිසානායකට මොන විදිහකින්වත් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත නොහැකි බවට තර්ක කළ සම්මත ඉතිහාස ඥානය තුළ වැඩ කළ ජනප්‍රිය තර්කණය සැලකිල්ලට ගැනීමෙන් මේ කාරණය වඩාත් හොඳින් අවබෝධ කරගත හැකිය. ජනාධිපතිවරණයෙන් ජයගැනීම සඳහා අවශ්‍ය කරන ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට, අනුර කුමාර දිසානායක ගමන් කළ යුතුව තිබූ දුර, ගව්-යොදුන් වශයෙන් ගත් විට, එසේ මෙසේ එකක් නොවුණි. ඔහු සතුව තිබූ සියයට 3 ප්‍රතිශතය, ජනාධිපතිවරණයේ ජයග්‍රාහී ප්‍රතිශතය දක්වා වර්ධනය වීමට නම්, එකිනෙක දිස්ත්‍රික්කයෙන් ඔහු ලැබිය යුතුව තිබුණු ඡන්ද ප්‍රතිශතය අධිකතර විය. එකී විශාලත්වය ගණිතමය වගුවකට ඇතුළත් කළ විට, ඔහු ජයග්‍රහණය කරනවා තබා ඒ අසලකටවත් පැමිණීමේ ශක්‍යතාවක් ඇත්තෙකු බව නොපෙනුණි. බොහෝ දෙනා සමග මේ ගැන ඒ දිනවල වාදවිවාද කරද්දී, අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරතියි කී පිරිස, අවසානයේ ප්‍රතිවාදියාගේ අර කී සියයට 3 තර්කණය ඉදිරියේ දුර්මුඛ වූහ. සියයට 3 ප්‍රතිශතය දෙගුණයකින් හෝ තුන් ගුණයකින් නොව, දහ ගුණයකින් වර්ධනය වූවත්, ජයග්‍රාහී කනුව කරා ඔහුට ළඟා විය නොහැකි බව, එදා ඉතා ආකර්ශනීය සහ ශක්තිමත් තර්කයක් විය. එහෙත්, ඉහත කී ‘සහක්‍රියාකාරීත්වය’ හේතුවෙන්, සාමාන්‍ය ගණිතමය නියාමය අභිභවා යමින් ඔහු ජයගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වීම අනීතිකයි. හේතුව, ඔහු ජනාධිපති පදවියට පත්වෙන අවස්ථාවේ ලංකාවේ පුරවැසියෙකු නොවීමට අමතරව, ඇමරිකානු පුරවැසියෙකුද වීමයි. ඒ සැබෑව සහ යථාර්ථය, දේශපාලනික බල ගනුදෙනුවේ තීරණාත්මක සාධකය විණි නම්, සම්ප්‍රදායික ඉතිහාසඥයන්ට තමන්ගේ ශාස්ත්‍රීය ඥානයෙන් හදාගන්නා කේන්දර බලා නිවැරදිව අනාගතය පුරෝකථනය කළ හැකි, නිශ්චිත මාර්ග සංඥා සහිත, පැහැදිලි මාර්ගයක් ඔස්සේම, 2019 සිට ඉතිහාසය ඉදිරියට ගලා යන්නට තිබුණි. එහෙත්, ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම සහ ඇමරිකානු පුරවැසියෙකු වීම, අපේ ධූරාවලීගත කාර්යාවලිය තුළ ස්ථාපිත වුණේ නැත. අධිකරණය ඔහුගේ ශ්‍රී ලාංකීය පුරවැසි භාවය සහතික කෙළේය. ඊට අමතරව, එදා කිසි ජනාධිපති අපේක්ෂකයෙක් ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය, නාමයෝජනා භාර දෙන අවස්ථාවේ ප්‍රශ්න නොකෙළේය.

ඊළඟට, එවර ජනාධිපතිවරණයෙන් ඔහු ලැබූ ජයග්‍රහණයත්, නීතියේ හැටියට කෙසේ වෙතත්, සදාචාරමය අර්ථයෙන් අනීතිකයි. හේතුව, ඒ ජයග්‍රහණය ඔහු ලබන්නේ මහා දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් වීමයි. පාස්කු ප්‍රහාරය හුදෙක් ආගමික අන්තවාදයක කූටප්‍රාප්තියක් පමණක් නොවේ. එය සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන අදියර තුනම, අදිසි දේශපාලනික හස්තයක මඟපෙන්වීමක් මත සිදු වූ ක්‍රියාවලියක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ. එදා පවා, ඒ පිළිබඳ බලවත් කුකුසක් තිබුණි. පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අහිංසකයන්ගේ මිනී වැළලීමටත් කලින්, තමා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ තකහනියක් රටට ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණය හත් මාසයකටත් එහා තියාගෙන ය! පාස්කු ප්‍රහාරය වනාහී අහිංසක ජීවිත 279 ක් බිළිගත් ඛේදවාචකයක කම්පාවට වඩා, ‘ජාතික ආරක්ෂාව’ ඉස්මත්තට ගත යුතු හදිසි ‘දේශපාලනයක්’ බවට එක රැයකින් රුපාන්තරණය කෙරුණි. ඔහු වෙනුවෙන් හැටනව ලක්ෂයක් ජනතාව පෙළගැසුණේ, එකී ‘හදිසි ජාතික ආරක්ෂාව’ වෙනුවෙනි. පාස්කු ප්‍රහාරයේ අලගියතැන් මුලගියතැන් වර්තමාන ආණ්ඩුව සද්භාවයෙන් විමර්ශනය කළොත්, මේ කියන කාරණය අනාගතයේදී පැහැදිලි වනු ඇත. කෙටියෙන් කිවහොත්, ගෝඨාභයගේ ජයග්‍රහණය, ශිෂ්ට ප්‍රජාතන්ත්‍රීය ක්‍රියා සන්තතියකට වඩා, කූට කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කූටප්‍රාප්තියක් බව එහිදී ඔප්පු විය හැකි බව ය.

එතැන් සිට දිගහැරෙන ඉතිහාසය, ඒ දක්වා ගෝඨාභයගේ පැමිණීම තරමටම, අසාමාන්‍යයි. අස්වාභාවිකයි.

ලංකාවේ නීත්‍යනුකූල රජයක් පෙරැළීමට, සාමූහික මහජන බලයක් පෙළගැසුණු ප්‍රථම ප්‍රයත්නය වශයෙන් සටහන් වන්නේ 1953 හර්තාලයයි. එය, අගමැතිවරයාට (ඩඞ්ලි සේනානායකට) ඉල්ලා අස්වීමට බල කිරීම දක්වා සාර්ථක වුණි. ඉන්පසු, 1971 දී සෘජුව, රාජ්‍ය බලය අත්පත් කරගැනීම සඳහා වෙනත් බලවේගයක් (ජනතා විමුක්ති පෙරමුණ) ආයුධ සන්නද්ධව නැඟී සිටියේය. එය, ලත් තැනම ලොප් කෙරුණි. එම ව්‍යාපාරයම යළිත් වරක් 80 දශකයේ අවසාන භාගයේ ගැසූ ප්‍රචණ්ඩ කැරැල්ල රාජ්‍ය යන්ත්‍රය විසින් නිර්දය ලෙස මර්දනය කෙරුණි. ඒ ප්‍රයත්නයන් සියල්ල පරයමින්, ලංකාවේ ආණ්ඩුව පමණක් නොව, ලංකා රාජ්‍යයත් අභියෝගයට ලක්කළ, අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ දියත් වුණ, ඒ දක්වා ලෝකයේ සාර්ථකම කැරලිකාරී කණ්ඩායම වශයෙන් පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානයට අත්වුණේද අන්ත පරාජයක්මයි.

1953 හර්තාලයෙන් පසු, පවතින නිත්‍යනුකූල ආණ්ඩුවක්, ආයුධ සන්නද්ධ නොවන මහජන බලවේගයක් විසින් ප්‍රථම වරට අභියෝගයට ලක්කළ පාලනය මුදුනේ සිටියේ ගෝඨාභය රාජපක්ෂයි. 1953 හර්තාලයේ පීඩනය යටතේ ඉල්ලා අස්වීමට තල්ලූ කෙරුණු අගමැතිවරයාගෙනුත් එහා ඉමකට තල්ලු කෙරුණු ගෝඨාභය රාජපක්ෂ, ස්වකීය රාජ්‍ය බලයත් අතහැර, ජීවිතාරක්ෂාව පතා රටින්ද පලාගියේය. ඩඞ්ලි සේනානායක ඉල්ලා අස්වන විට ඔහුගේම පක්ෂයේ සර් ජෝන් කොතලාවල අනුප්‍රාප්තියට සිටියේය. ඒ නිසාම සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊට වසර තුනක් ඇවෑමෙන් එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක දීප ව්‍යාප්ත ජයග්‍රහණයක් අත්කරගනිමින් බලයට පත්වෙන බව ඕනෑම ඉතිහාසඥයෙකුට සාමාන්‍යයෙන් පෙරදැකිය හැකි විය. එහෙත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නැඟී සිටි අසංවිධිත මහජන බලවේගය (අරගලය) විසින් ඇති කරනු ඇත්තේ කුමන අනුප්‍රාප්තිකත්වයක්ද යන්න කිසිවෙකුට පෙරදැකිය හැකි දෙයක් නොවුණි.

රනිල් වික්‍රමසිංහ නමින් අද අප දන්නා ප්‍රපංචය, එකී අවිනිශ්චිත ඓතිහාසික මොහොතේ අහඹු උපතකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහව සිය අගමැති වශයෙන් පත්කරන අවස්ථාවේ, එනම් 2022 මැයි මාසයේදී ජනාධිපතිවරයා නොදැන සිටි එක දෙයක් තිබුණි. එනම්, තව මාස දෙකකින්, එනම් 2022 ජුලි මාසයේදී ජනාධිපති ධුරය අහිමි වීමට පමණක් නොව, තමා උපන් රටත් අතහැර පලායාමට තමන්ට සිදු වන බවයි. එසේ හෙයින්, තමාගේ අනුප්‍රාප්තිකත්වය තමාගේ ඇවෑමෙන් පැවරෙනු ඇත්තේ රනිල් වික්‍රමසිංහට බව, 2022 මැයි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ දැන සිටියේ නැත. අවසාන මොහොත වන විට, ‘අරගලය’ විසින් රට තුළ ඇති කර තිබුණු අවිනිශ්චිත මොහොතේ, වෙනත් අනුප්‍රාප්තිකත්වයක්, එනම් රාජපක්ෂ පවුලේ හෝ පවුලට පක්ෂපාතී කඳවුරේ කිසිවෙකු අනුප්‍රාප්තිකත්වයට පත්කිරීමේ වාතාවරණයක් ඔහුට තිබුණේද නැත. මරණය වැනි ස්වාභාවික හේතුවක් උඩ නොව, පාලකයා විසින්ම ඇති කරගත් අර්බුදයක් විසින් (1) තමාගේ කඳවුරේ නොවුණු, (2) ජනතා ඡන්දයකින් පත් නොවුණු කෙනෙකු ප්‍රථම වරට රටේ ජනාධිපතිවරයා බවට උසස් කරනු ලැබීම, වචනයේ සාරාර්ථයෙන්ම ‘අහඹුවකි.’

ගෝඨාභය රාජපක්ෂ ඒ මොහොතේ නොදැන සිටි තවත් දෙයක් තිබුණි. එනම්, තමාගේ අන්ත අසාර්ථකත්වය විසින්, එතෙක් පරිවාරයේ සිටි තෙවැනි බලවේගයක් ප්‍රධාන ධාරාවේ බලවේගයක් බවට එක රැයකින් ඔසවා තැබෙන බවයි. අප මුලින් කී ‘සහක්‍රියාකාරීත්වය’ නමැති නියාමය ක්‍රියාත්මක වන්නට පටන්ගත්තේ එහිදී ය. එකී ක්‍රියාවලිය තාර්කික අවසානයක් දක්වා ගමන් කරවීම සඳහා අවශ්‍ය කෙළේ තවත් පොඩි තල්ලූවක් පමණි. ගෝඨාභය රාජජපක්ෂගේ ප්‍රථම අහඹු ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ විසින් ඒ කාර්යය ඉෂ්ට කෙළේය. එනම්, තමන් පරාජය වන බව හොඳින් දැනගෙනත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙනි. ඔහු තරඟ කෙළේ ජයග්‍රහණය කිරීමට නොව, පරම හතුරාව (සජිත් ප්‍රේමදාස) පරාජය කිරීම සඳහාම ය. මීට පෙරත් මේ කොලමේ පෙන්වා දී ඇති පරිදි, රනිල් වික්‍රමසිංහගේ ඒ ක්‍රියාව සමාන වන්නේ, 2005 දී කොටි සංවිධානය ලවා උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් දියත් කරවීම මගින් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය යථාර්ථයක් කළ තත්වයටයි.

මේ දෙන්නාම, එනම් රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙන්නාම ‘අහඹු’ ජනාධිපතිවරුන් වූවද, ඒ දෙන්නා අතරේ බරපතළ වෙනසක් තිබේ.

එක්කෙනෙකුට, එනම් රනිල් වික්‍රමසිංහට සුජාත භාවයක් තිබුණේ නැත. මහජනයා විසින් (2020 මහ මැතිවරණයෙන්) සෘජුවම ප්‍රතික්ෂේප කරනු ලැබූවෙකු වීමට අමතරම, මහජන ඡන්දයකින් ජනාධිපති තනතුරට තේරී පත්නොවූවෙකු වීමත් ඊට හේතුවයි. ඒ අර්ථයෙන්, අනුර කුමාර දිසානායකට අංගසම්පූර්ණ සුජාත භාවයක් තිබේ. ඊටත් වඩා ඔහුව සුජාත නායකයෙකු කරන වෙනත් වැදගත් සාධකයක්ද තිබේ. එනම්, ආරම්භයේ පටන් (1965) ප්‍රචණ්ඩකාරී මාර්ගයෙන් බලය ගැනීමේ දෘෂ්ටිවාදයක සිට, ප්‍රජාතන්ත්‍රීය ක්‍රමය තුළට අවශෝෂනය වීමෙන් සහ අනුකලනය වීමෙන් රාජ්‍ය බලය ලබාගත් ව්‍යාපාරයක නායකයා වීමයි.

ජනතා විමුක්ති පෙරමුණ හැරුණුකොට, රාජ්‍ය බලය ලබාගැනීම එල්ලය කරගත් සහ ඒ මාර්ගයේ බොහෝ දුරක් ගිය අනෙක් වාමාංශික ව්‍යාපාරය වන්නේ ලංකා සමසමාජ පක්ෂයයි. එහි ආරම්භයේ සිට (1935) අද වන විට එම ව්‍යාපාරය වයස 90 කට ළංව සිටී. එහෙත්, කිසි දවසක රාජ්‍ය බලය තනියෙන් උරගාබැලීමේ අවස්ථාවක් අත්පත් කරගැනීමට ඊට හැකි වුණේ නැත. ඊට එක් ප්‍රධාන හේතුවක් වුණේ, නිදහස ලැබූ ගමන් අපේ පළමු අගමැති ඞී. ඇස්. සේනානායක විසින් වතුකරයේ ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනතාවකගේ පුරවැසි භාවය අහෝසි කිරීමයි. ඇත්ත වශයෙන්ම, අපේ පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් (1947) ලංකාවේ ප්‍රථම විපක්ෂ නායකයා බවට ලංකා සමසමාජ පක්ෂයේ නායක ඇන්. ඇම්. පෙරේරා පත්වීම පසුපස පැවති ගාමක බලය වුණේ මේ වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්දයයි. ඞී. ඇස්. සේනානායකට අවශ්‍ය කෙළේ, වාම ව්‍යාපාරයකට මෙරටේ බලයට පත්වීමට තිබූ ඒ ප්‍රභවය අහෝසි කර දැමීමයි. 2005 දී එල්.ටී.ටී.ඊ සංවිධානය ලවා උතුරු-නැගෙනහිර ඡන්ද වර්ජනය කිරීමෙන් මහින්ද රාජපක්ෂව ජනාධිපති තනතුරට පත්කිරීමත්, පසුගිය මාසයේ රනිල් වික්‍රමසිංහ තරඟයට ඉදිරිපත් වීම තුළින් අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පහසුවෙන් ඔසවා තැබීමට සහාය වීමත්, අර කී ඞී. ඇස්. සේනානායක විසින් දෙමළ ජන කොටසකගේ පුරවැසි භාවය අහෝසි කිරීමෙන් සමසමාජ පක්ෂය රාජ්‍ය බලයට පත්වීම වැළැක්වීමේ පියවරට සමානත්වයක් දරයි. එහෙත්, වෙනස හඳුනාගත යුතුය. ඞී. ඇස්. සේනානායක කෙළේ වාමාංශිකයන් බලයට පත්වීම වැළැක්වීමයි. ඔහුගේ පක්ෂයේ තත්කාලීන උරුමකරුවා වන රනිල් වික්‍රමසිංහ කෙළේ එහි අනිත් පැත්තයි.

කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක ‘අහඹු’ ජනාධිපතිවරයෙකු වන්නේ, රනිල් වික්‍රමසිංහගේ එකී ක්‍රියාකලාපය නිසා නොවේ. ‘සතුරාගේ සතුරා මිතුරා වීම’ සාමාන්‍ය ස්වභාවයයි. ඒවා මොන ලෙසකින්වත් අහඹු නොවේ. එසේම, රනිල් වික්‍රමසිංහ තරඟයට නොපැමිණියත්, සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරතියි කීමට, අංකගණිතමය තර්කයක් හැරුණුකොට වෙනත් විශේෂ තර්කයක් නොමැත. අප මුලින් කී ‘සහක්‍රියාකාරීත්වය’ නමැති විශේෂිත ස්වභාවය තුළ, ඒ අංකගණිතමය තර්කයත් (එනම් සජිත් ප්‍රේමදාස ලද සියයට 32 ප්‍රතිශතය සහ රනිල් වික්‍රමසිංහ ලද සියයට 17 ප්‍රතිශතය එකට එකතු වීමේ සම්භාවිතාවත්) පුස්සක් විය හැකිය. නැත, අප කියන්නේ වෙනකකි. කලින් කී ‘සහක්‍රියාකාරීත්වය’ තුළ, සුසමාදර්ශී වෙනසක අපේක්ෂාවක් ජන විඥනය අරක්ගත්තේය. එය, ගෝඨාභය රාජපක්ෂ විසින් ජනිත කළ, පෙර නොවූ විරූ තත්වයකි. බිම් මට්ටමේදී එය ‘අරගලය’ නමින් දියත් විය. මැතිවරණ දේශපාලනය තුළ එය ප්‍රතිසන්ධිය ලැබුවේ, ‘මාලිමා’ ජයග්‍රහණයක් වශයෙනි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda